අප්සරා ශ්‍යාමලීගේ පන්හිදෙන්

කෙටි කතාවකි…

සඳෙවි සිය රූමත් සල්ලිකාර බිරිඳ සමඟ සිය නවීන පන්නයේ මෝටර් රථයේ නැගී අගනුවර ප්‍රසිද්ධ හෝටලයක රාත්‍රී භෝජනය පිණිස පැමිණියේ අතිශයින් හෙම්බත්ව සිටි රාජකාරී දිවියෙන් මිදී මොහොතකට ගිමන් හැරීමයට.

සිය නිතඹ පෙනෙන්නට හැඳවුන් කළු පැහැති හැට්ටයද, දණහිසින අඟලක් පමණ ඉහළට වූ පිටුපසින්ද තව අඟලක් පමණ පැළූ සායද හැඳ එන විට සදෙව් ඊට සිය විරුද්ධත්වය ප්‍රකාශ කළද ඇය ඔහුගේ කියමන ගණනකට හෝ නොගෙන කාරයට විත් අසුන්ගත්තාය. සැබැවින්ම සදෙව් හට සිය විවාහ දිවිය පිළිබඳව දැනුණේ මහත් කළකිරීමකි. තම බිරිඳ වූ රශ්මිගේ රූපශ්‍රීයේ හා සල්ලි වල රශ්මියට ලොල් වූ වූ සිය පිරිමි සිත පිළිබඳව ඔහු ඔහුටම වෛරකරගත්තේය.

රශ්මිගේ අතොරක් නැති  දුරකතන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීම් හමුවේ සිය ජීවිතයේ පවතින හිඩැස ගැන මෙනෙහි කරමින් සඳෙව් මුනිවත රකිමින්ම මෝටර් රථය හෝටලය කරා පැදෙව්වේය.
" ඔයා මෙතනින් බහින්න රශ්මි. මං කාර් එක පාක් කරල එන්නම්."
සිය මෝටර් රථය වාහන නැවතුම්පොළේ නවතා යළි හෝටලය දෙසට පියමනිමින් සිටි සදෙව් එකවරම නතර වූයේ සිය දෙසවනට පුරුදු කටහඬක් ඇසීමෙනි.
"නිලුපුලී" ඔහු තමාටම පවසාගනිමින් හඬ ආ දෙසට හැරිණි. ඔහු දුටු රුවින් සිය යටි සිත තුළ එක්ටැම් කොට තිබූ අතීතය එහි වූ එක්ටැම් ගෙයි බිඳලමින් විදුලි වේගයෙන් සිය මතකයට නැගෙන්නට විය.

*******************************

සිය උසස්පෙළ ජීව විද්‍යා පන්තිය අසල මඟරකිමින් සිටි සඳෙව්, නිලුපුලී වෙනදා පැමිණෙන මිතුරු හවුල නොමැතිව තනිවම පැමිණෙනවා දුරතියාම දුටුවේය.
"නිලුපුලී මන් ඔයාව මුණගැහෙන්නමයි හිටියේ." දවස්කීපයක්ම මානබලමින් සිටි සඳෙව්හට නිලුපුලී සමඟ කතාකිරීමට ඇති හොඳම අවස්ථව මේ යැයි සිතා සතුටුවේය.
එය නෑසුණාක් මෙන් නිලුපුලී යන්නට තනද්දී සඳෙව් ඇයගේ අතගසා දැමුවේ පන්‍තිය අසල වූ කොල්ලන් කිහිපදෙනෙකු තමා දෙස බලා සිටිනු දැකය.
"පිස්සුද සඳෙව්? මොන විකාරයක්ද මේ කරන්නෙ?" තම හදවතේ ගැස්ම තමාටම ඇසෙන තරම් බියකින් ඈ පසු වුණිද ඒ බව සඟවා ඇසුවාය.
"ඔව් මට පිස්සු නිලුපුලී. පිස්සු. මෙච්චරයි නිලුපුලී මට කියන්න තියෙන්නෙ,මං ඔයාට කැමතියි. ඔයා මට කැමති වෙන්න. " සඳෙව් එම වදන් පැවසූ ආකාරයට ඈහට සිනහ නැගිණි.
"ඔයාට හිනා නේද නිලුපුලී. කමක් නෑ. මං ලබන සතිය වෙනකම් කල්දෙන්නම්. මට ඔව් කියල කියන්න. කතාව එච්චරයි."  ඔහුගේ ස්වරය විධානයක අයුරින් නොවූවද සිය ආදරය ප්‍රකාශ කළ ආකාරය පිළිබඳව නිලුපුලීට සියුම් බියක් දැනෙන්නට වූයේ ඔහුගේ දෙමාපියන් පිළිබඳව මතක් වීය…
සඳෙව්ද නිලුපුලීද වාසය කළේ එකම ගමකය. සඳෙව්ගේ දෙමාපියන් වී අයිතිකරුවන් වූ අතර කුඹුරු අක්කර ගණනාවකම හිමිකාරීත්වය දැරූහ. පවුලේ එකම දරුවා වූ සඳෙව් මේ සියල්ලගේම එකම උරුමක්කාරයා විය.
නමුත් නිලුපුලීගේ සමාජමට්ටම මීට හාත්පසින්ම වෙනස් එකක් විය. ඇයගේ පියා සඳෙව්ගේ දෙමාපියන්ට අයිති කුඹුරු වල අඳේට වැඩකළ අතර ඔවුනටම කියා තිබූ කුඹුරු අක්කරයද සඳෙව්ගේ පියාහට සින්න වීමට අසන්නව තිබුණි. එසේම නිලුපුලීගේ මව අංශභාග රෝගයෙන් පෙළීම හේතුවෙන් සිය මවගේද ,බාල නැගණියන් දෙදෙනා ඇතුළු පවුලේ සියලුම වැඩරාජකාරීන් ඉටුකරලීමට සිදුවූයේ නිලුපුලී හටය. සිය පවුලේ බඩවියත රැකගැනීම සඳහාත් සිය අධ්‍යාපනික වැඩකටයුතු සඳහාත් අවැසි මුදල් සොයාගැනීම පිණිස  ඈ රෙදි මැසීම හා උදේට කඩවලට කෑම දැමීම සිදුකළ අතර එම සියලු වැඩකන්දරා අතර ඇගේ ඉගෙනීම් කටයුතු වලද නිරතවූවාය.

සඳෙව් පිළිබඳව පෙම් හැඟුම් ලියලා වැඩුණද ඕ ඒ සියල්ල යටපත් කරගනු ලැබූයේ කිසිසේත් නොපෑහෙනා ඇයගේ හා සඳෙව්ගේ පවුල් පරතරයන් ගැන සිතමින්‍ ය.

කාලය කෙමෙන් ගතවුණු අතර නිලුපුලීගේ ගතිගුණ හා දක්ෂකම් හමුවේ නතරවුණු සඳෙව්ගේ  කෝඩුකාර හිරිමල් සිත දිනෙන් දිනම නිලුපුලීගේ ආදරය පතා ඇවිටිලි කරන්නට විය. සඳෙව්ගේ නොපසුබට විරිය හමුවේ අවසානයේ නිලුපුලී හා සඳෙව් සිය ප්‍රේමවෘතාන්තය තැනීමට අත්පොත් තැබීය.

"සඳෙව්,ඔයාව නිතර නිතර මුණගැහෙන්න එන්නෙ නැති එකට මාත් එක්ක තරහද?" පන්තිය අවසන් වී යනගමන් සඳෙව්ගේ සුරතේ එල්ලුණු නිලුපුලී ඇසුවාය. නමුත් සඳෙව් ඉවතබලාගෙනම සිටියේය.

"ඔයා දන්නවනෙ ඉතිං මන් ගැන සඳෙව්. කෝ ඒව වැඩක් නෑ. මන් කරගෙන එන්න කියපු පේපර්ස් ටික කරගෙන ආවද? එදා අමාරුයි කියල මගෙන් අහගත්ත  තියරි ටික මතකද ආ..?"

"අනේ යනව නිකන් නිලුපුලී. කී දවසක් කිව්වද ඔය මඟුල් නවත්තන්න කියලා. ලැජ්ජ නැද්ද ඕවා කරන්න. කඩවල් ගානෙ ගිහින් කෑම දානවයි. රෙදි මහනවයි. මගේ යාළුවෙක්ට වත් කොහොමද ඔයාව අඳුන්නල දෙන්නෙ ඔයි වගේ වැඩ කරනකොට.මන් කිව්වනෙ මන් වියදම් ඔක්කොම කරන්නන්  කියලා. ඕක නවත්තනවා."  සඳෙව්ගේ කෝපයෙන් මෙන් පැවසුවේය.
නිලුපුලීගේ හදවත දෙකඩ වී ගියා සේ දැනිණි. ඈ බිම බලාගෙනම හැඬුවාය.
"ඔය එපාර ඉතිං මූණ දණහිසේ ගාවන්න හද හදා ඉන්නවා. මන් කියන දේ ටිකක් තේරුම් ගන්නවා." නිලුපුලීගේ මුනිවත හමුවේ ඔහු යළි කෝපවිය.

"ඔයා මේ හැමදේම දැනගෙන නේද සඳෙව්ගේ මට ආදරේ කරන්න පටන් ගත්තේ.ඇයි දැන් එහෙම කියන්නෙ? " නිලුපුලීගේ නෙතු රතු වී ඉන් කඳුළු කැට කඩා හැලෙන්නට වූ අතර එය දුටු සදෙව්ගේ හදවත වෙඬරු පිඩක් මෙන් සැලෙන්නට විය.

"අඬන්න එපා නිලුපුලී. ඔයා දන්නව මන් ඔයා අඬනවට ටිකක්වත් කැමති නෑ කියල. අනික මං ආදරේ කරන්න දන්නෙ නෑ ඔය අනික් උන් වගේ. හ්ම් කැමති දෙයක් කරගන්නවකො එහෙනම්."

සඳෙව්ගේද නිලුපුලීගේ ආදර අන්දරය කාලය නම් ගඟ දිගේ ගලාගෙන ගියේ නිලුපුලී සිය ලෝකයම සඳව්ගේ දෙපාමුල තබාය. ඇයගේ ආදරය කෙසේද යත් ඇය සිය පතිවද පෙම් පුදසුන මත තබා සඳෙව්ට පූජා කළේ උසස්පෙළ අවසන් වන්නටද පෙරය.  එසේම ඈ හැකි සෑම විටම සඳෙව්ව අධ්‍යාපනය කරාම වෙහෙස වූවාය.

නමුත් සියල්ල වෙනත් දිශාවකට දිශානත වූයේ උසස්පෙළ විභාගය අවසන් වී සඳෙව් හටද නිලුපුලී හටද  පෙරසේ මුණගැසීමට නොහැකිවන විටය. එකිනෙකාව නොදැක තත්පරයක් හෝ සිටීමට නොහැකිම තැන සඳෙව්ගේ මුරණ්ඩු සිත නිලුපුලීගේ නිවසට යෑමට තරම් මුරණ්ඩු විය. මෙම සිදුවීමෙන් පසු නොසිතූ ලෙස ඔවුන්ගෙ ආදරය සඳෙව්ගේ නිවසට ආරංචි විය.

" නිමල්, නිමල් ..බැහැපිය එළියට." සඳෙව්ගේ මවද පියාද නිලුපුලීගේ නිවස ඉදිරියට පැමිණ මොරදුන්හ. බියෙන් සලිත වූ නිලුපුලී එළියට පැමිණෙන විටද සිය පියා හට සඳෙව්ගේ දෙමාපියන් නොසෑහෙන ලෙස අපහාස කරමින් සිටියහ.

"ආ ඔය එන්නෙ ළමාතැනී. තොපේ තියෙන තණ්හාවට හම්බුණේ මගේ කොල්ලවද ඈ බොලව්. තුහ් විතරක් තොපි. තොපේ ණය ගෙවාගන්න හොයා ගන්න ගහපු ගැටේ නරක නෑ. නොදෝකින් තොපි වගේ මිනිස්සු …" සඳෙව්ගේ මව , නිලුපුලීහටද ඇගේ මව හා පියා හටද නොසෑහෙන සේ අවලාද අපහාස කළාය. මෙය ඉවසාදරාගත නොහැකිම තැන නිලුපුලී සඳෙව්ගේ අම්මාගේ දෙපාමුල ඇද වැටුනාය.
" අනේ රත්තරං නෝනා මට ඕනෙ තරම් දේවල් කියන්න. ඒත් මගේ අම්මටයි තාත්තටයි මුකුත් කියන්න එපා. මන් කරපු වැරදිවලට මගේ අහිංසක අම්මයි තාත්තයි පළි නෑ."

සඳෙව්ගේ මවත් පියාත් නිලුපුලීගේ නිවසින් පිටත් වූයේ ඔවුන්ට ගෙවීමට තිබෙන ණය වහාම ගෙවන ලෙසටය. අවසානයේ නිලුපුලීගේ පවුල සන්තකව ඉතිරි වූයේ ඔවුන් ජීවත්ව සිටිනා නිවස පමණකි.

සඳෙව්වද ඔහුගේ පියාගේ කෝටිපති මිතුරෙකු වූ රශ්මිගේ පියාගේ නිවසේ නතර කල අතර  නිලුපුලීහටද සඳෙව් හටද මුණගැසීමට කිසිඳු අවස්ථවක් නොලැබිණි.

නිලුපුලීට වඩා සියගුණයකින් ලස්සන වූ රශ්මිගේ රූපය හා ඇගේ සූසැට මායම් හමුවේ සඳෙව් ක්‍රමයෙන් රශ්මිගේ රශ්මිය කරා දිවෙන්නට වූවාය.

කෙල්ලක සතු වටිනාම දෙයද  පුදදී තමාටම කියා තිබූ හදවතද රැගෙන ගිය සඳෙව් කෙරෙහි බලාපොරොත්තවෙන්ම තැවෙමින් සිටි නිලුපුලී හුන්නාය.
නමුත් කාලය බොහෝ සෙයින් ගෙවී ගොස් ඇති අතර සියල්ලම නොසිතූ ලෙස වෙනස් වී ඇත.
******************
තම කාරයට වඩා මිල අධික වූ කාරයකින් බට නිලුපුලීගේ රුව අතිශයින් වෙනස් වී ඇත. මුළු සිරුරම වැසෙන සේ ගවොමකින් සැරසී සිටි නිලුපුලී දෙසට ඉතාමත් කඩවසම් ලෙස හැඳසිටි මිනිසෙකු පැමිණියේය..
" ඔයා පරක්කුයි…ඇයි මට මෙහෙම බලන් ඉන්න දෙන්නෙ?" එම කඩවසම් පුද්ගලයා ඇයගේ සුරතින් අල්ලාගෙන හෝටලය තුළට යන දෙස සඳෙව් බලා සිටියේ දැවෙනා සිතිනි. ඔහුද ඔවුන් පසුපසින් ගියේ ඉබේමය.

"සොරි සර්, සර්ට මේ ඒරියා එකට එන්න බෑ." එකවරම පැමිණි හෝටල් සේවකයෙකු සඳෙව්ගේ මඟ හරස් කරමින් පැවසුවේය.
"ඇයි" එකිනෙකාගේ සුරත් වල වෙලී යන නිලුපුලී හා අනෙක් තැනැත්තා දෙස බලාගෙනම සදෙව් පැවසුවේය.
"මේ කොටස බුක් කරල තියෙන්නෙ සර්. අද නිලුපුලී මැඩම්ගේ බර්ත්ඩේ එක. ඉතින් ඒකට සාරනාත් සර් පාටි එකක් ඕගනයිස් කරලා. මේ කොටසම බුක් කළා." හෝටල් සේවකයා පවසද්දී සඳෙව්ගේ දෙනෙත් විමතියෙන් මහත් විය.
"සාරනාත්"
"ඔව් සර් මේ සැරේ ඒෂියන් ටොප් බිලියනර් අවෝඩ් එක ගත්ත කෙනා." තමා දෙස විමතියෙන් බලා සිටිනා සඳෙව් හට උඩඟු ලීලාවෙන් හෝටක් සේවකයා පවසද්දී සඳෙව්ගේ  හදවත ඉරිතලා යන්නා සේ දැනිණි.

වාවගත නොහැකි හැඟීම් සමුදායකින් ඔහු නැවතත් හැරුනේ තම නිලුපුලී කාන්තිය හමුවේ රශ්මී නම් කවරෙක් දැයි සිතමිනි.

**********නිමි….

අප්සරා ෂ්‍යාමලි

උපුට ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment