ඉංග්‍රීසි සර්

කට්ට කලා කලා ඉගෙන ගෙන පළවෙනි පත්වීම කොහොම හරි
හම්බුනා.. ඒකත් ලංකාවේ තියෙන දුෂ්කරම ගමකට. කමක් නෑ
මේකනේ මගේ හීනේ උනේ, ගම දුෂ්කර කර වුන පළියට මගේ
අරමුණ නවත්තන්න බෑ කාටවත්. තාත්තත් නැතිව මවා තනියම දුක්
මහන්සි වෙලා උගන්වපු අම්මටත් වැඳලා ඇඳුම් බෑග් එකත් අරගෙන
මම කොළඹින් බස් එකේ නැග්ගා පාන්දරම. බස් එක ඒ ගමට යද්දී දවල්
දෙකයි වෙලාව. පැය 7,8ක්ම බස් එකේ ඇවිල්ලා ඇඟත් රිදෙනවා.
ගමේ මිනිස්සුන්ගෙන් පාර අහගෙන කොහොම හරි ඉස්පිරිතාලේ හොයා
ගත්තා. අපරාදේ කියන්න බෑ ගමේ ඉන්නේ නම් හිත හොඳ මිනිස්සු,
ඉස්පිරිතාලේ කොහෙද කියලා ඇහැව්ව ටිකට. මාව පුස්සයිකලේකින්
එතෙන්ටම ගෙනත් ඇරලුවා. මේක හොස්පිටල් එකක් කියලා නම
ගහලා තිබ්බට පුංචි අබලන් වෙච්ච ගෙයක් වගේ.. හොස්පිටල් එක
එහා පැත්තෙමයි ගමේ ඉස්කෝලෙත් තියෙන්නේ. මම එතෙන්ට යද්දී
ළමයි හොස්පිටල් එක ඉස්සරහත් ක්‍රිකට් ගහනවා. හොස්පිටල් එකේ
කවුරුත් පේන්නත් නැහැ. මෙයාලටත් මම ආවා කියලා ගානක් නැහැ
එයාලා එයාලගේ සෙල්ලමේ. හොස්පිටල් එක ඇතුලට ගිය මම කවුරුත්
පේන්න නැති නිසා දොරට හයියෙන් තට්ටුවක් දැම්මා. එතකොටම
හොස්පිටල් එක ඇතුළේ ඉඳන් මනුස්සයෙක් සරමක් ඇඳගෙන ඉස්සරහට
ආවා. මේ මනුස්සයා නිදාගෙනද කොහෙද ඉදලා තියෙන්නේ මූණ දැක්කාම
ඒක කියන්න පුළුවන්,
"කාව හම්බවෙන්නද ?"
"මම තමයි මේ ඉස්පිරිත්තාලෙට අළුතෙන් පත්කරපු දොස්තර"
මේ මනුස්සයා ඒක ඇහුනා විතරයි එක පාරට ගැස්සිලා වගේ...
"ආ මේ අළුත් දොස්තර මහත්තයද... මම හිතුවේ නැහැ මහත්තයා අද
එයි කියලා.මටත් ලියමනක් නම් හම්බවුනා අළුත් මහත්තයෙක්
එනවා කියලා ඒත් මම හිතුවේ නෑ එයි කියලා. කොච්චරක් නම්
ඔය වගේ ලීයුම් ආවද මට ඒත් කවුරුත් ආවේ නම් නැහැ. දෙන්න
මහත්තයා බැග් එක, වාඩි වෙන්න මහත්තයට මහන්සිත් ඇතිනේ
මම හොඳ තැඹිලි ගෙඩියක් කපාගෙන එන්නම්..."
මහන්සියට තැඹිලි ගෙඩිය එක හුස්මට බිව්වා. අර මනුස්සයා මම
තැඹිලි බොද්දී මම දිහා උඩ ඉඳන් පල්ලෙහාට බලනවා පුදුමෙන් වගේ,
"මොකද දැකලා නැද්ද මීට කලින් දොස්තර කෙනෙක් තැඹිලි බොනවා.."
"නැහැ නිකම් බැලුවේ මහත්තයා, මම හිතුවේ අළුත් දොස්තර කෙනෙක්
එනවා කිව්වාම. කාර් එකකින්, හොඳට සූට් බූට් ගහලා එයි කියලා."
ඒ මනුස්සයගේ කතාවට හිනා වුණ මම,
"මම වගේ දුප්පත් දොස්තරලත් ඉන්න එපැයි... පස්සේ ගමුකෝ
කාර් එකක් මොකක්ද නම කිව්වේ"
"ගුණසේන...මම තමයි ඉතින් මේ ඉස්පිරිතාලේ නර්ස්ටයි,
ඇටෙන්ඩන්ටයි, මහත්තයගේ කෑම බීම ගැන බලා ගන්නයි ඉන්න එකම කෙනා.."
"මේ ගුණසේනගේ ගමද ?"
"ඕව් මහත්තයා හූවක දුර අපේ ගෙවල්.."
එදා දවස ගුණසේනත් එක්ක කතා කර කරම ගෙවිලා ගියා. පහුවෙනිදා
උදෙන්ම නැඟිට්ට මම. ස්කූල් ග්‍රවුන්ඩ් එකෙත් වට දෙක තුනක් දුවලා,
ලෑස්තිවෙලා හොස්පිටල් එකේ මගේ ඔෆිස් එකට ගිහින් වාඩි වෙලා
හිටියා. ගුණසේන, අපරාදේ කියන්න බෑ, මුළු රෑ ම ඔෆිස් එකම
තනියම අස්කරලා පිළිවෙලකට. දවල් 12ත් වුණා. තාම ආවේ
එක ලෙඩයි. කම්මැලි කමටම හොස්පිටල් එකෙන් එළියට බැහැලා ගමේ
ඉස්කෝලේ දිහා බලන් හිටියා. මම ඉස්කෝලේ ගිය කාලේ මතක්
වෙනවා.
"මහත්තයා කම්මැලිද ?"
පිටිපස්ස හැරිලා බලද්දී නැෂනල් කිට් එක ඇඳපු වයසක පිරිමි කෙනෙක්,
"මම තමයි ඉස්කෝලේ ප්‍රින්සිපල්.. මට ගුණසේන කිව්වා අළුත්
දොස්තර මහත්තයෙක් ආවා කියලා. එකයි මම මේ හදිස්සියේම
ආවේ මහත්තයව බලලා යන්න.
"යමු සර්, ඇතුළට වාඩිවෙලා කතා කරමු"
සර් එක්ක ඔෆිස් එකට ගිය මම ඉතින් කම්මැලි කමටම කතාවට
වැටුනා. මෙහෙම කතා කර කර හිටපු මට මම කවදාවත්
බලාපොරොත්තු නොවුන ආරාධනාවක්, සර් මට කලා. ඒ උසස් පෙළ
ළමයිට පුළුවන්නම්. නිකන් ඉන්න වෙලාවට ඇවිත් ඉංග්‍රීසි ටිකක්
උගන්වන්න පුළුවන්ද කියලයි... හොස්පිටල් එකෙත් වැඩි වැඩක් තිබ්බේ
නැති මම වැඩිය හිතන්නේ නැතිවම සර් කරපු යෝජනාවට කැමති වුණා.
පහුවෙනිදා උදේ රැස්වීමෙදී ඉස්කෝලේ ළමයින්ටයි, ඉන්න ගුරුවරු 3න්
දෙනාටයි, මාව හඳුන්වලා දුන්න ප්‍රින්සිපල් සර්...,
"එහෙනම් දොස්තර මහත්තයට බෝහොම පිං මේ ළමයින්ට ඉංග්‍රීසී
අකුරක් කියලා දෙන්න කැමති වුනාට. මම එහෙනම් කොල්ලෙක්ගේ
අතේ මහත්තයට පණිවිඩේ එවන්නම්. ඉංග්‍රීසි පීරියඩ් එක තියෙන
වෙලාව.."
මම ඊට පස්සේ ආයිත් හොස්පිටල් එකට ආවා. වෙලාව 11
විතර වුනා. තාම ආවේ ලෙඩ්ඩු දෙන්නයි. වෙලාව 11.30 විතර වෙද්දී ෂර්ට්
එකත් උඩට දාගෙන පොඩි පිරිමි ළමයෙක් ආවා...
"දොස්තර මහත්තයා... ප්‍රින්සිපල් සර් කියන්න කිව්වා.. 12ට ඉංග්‍රීසි
පීරියඩ් එක තියෙන්නේ කියලා..."
හරි පුතා යන්න මම එන්නම්..
"යන්න බෑ... ප්‍රින්සිපල් සර් කිව්වා, උඹ එතන ඉඳලම මහත්තයව
එක්කගෙන වරෙන් කියලා"
පොඩි එකා මේක කියලා. හොස්පිටල් එකේ තිබ්බ පුටුවක වාඩි වෙලා
මන් දිහා බලන් ඉන්නවා. මට තනියම හිනා,
"හරි එහෙනම් යමුකෝ" කියලා පුටුවෙන් නැඟිට්ට මම,
"ගුණසේන.. කවුරු හරි ලෙඩෙක් ආවොත් මට කතා කරන්න මම
ඉස්කෝලෙට යනවා.."
"හරි.... මහත්තයා.."
මමත් ඉතින් පොඩි එකා පිටි පස්සෙන්ම ගියා. ඒ පුතා මට පන්ති
කාමරයක් පෙන්නලා. සෙල්ලම් කරන්න ගියා ඉන්ටෙර්වල් නිසා. පන්ති
කාමරේ ඇතුලට ගිහින් ගුරු පුටුවෙන් වාඩි වුන මම හොඳට වටපිට
බැලුවා. ඩෙස් 5ක් විතරයි පන්තියටම තිබුනේ.. ඒත් එක ඩෙස් එකක්
උඩ විතරයි පොත් ටිකක් තිබුණේ. ඉන්ටර්වල් එකත් ඉවර වුනා. එක
ළමයෙක් විතරක් පන්තියට ආවා. ඒ ළමයට වාඩි වෙන්න කිව්ව මම,
"ඔයා විතරද උසස් පෙළ කරන්නේ..?"
"නැහැ දොස්තර මහත්තයා තව 4 දෙනෙක් ඉන්නවා."
"කෝ ඉතින් එයාලා.."
"එයාලා.... මේ..."
"දොස්තර මහත්තයා ඉංග්‍රීසි පීරීයඩ් එකට එනවා කියපු නිසා,
එයලා ඉන්ටර්වල් එකේම ගෙදර ගියා."
"හොරෙන්ද ?"
"ඕව්... දොස්තර මහත්තයා, ප්‍රින්සිපල් සර්ට නම් කියන්න එපා. මේ
කතාව.."
"නැහැ.. නැහැ මම කාටවත් කියන්නෑ.., ඉතින් මට කියන්න බලන්න
ඔයාගේ නම, උසස් පෙළට මොනාද කරන්නේ එහෙම කියලා"
"මම කවිඳු, අපි හැමෝම ආර්ට් කරන්නේ.."
"සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි වලට මොනාද තියෙන්නේ..?"
"ඉංග්‍රීසි ෆේල්.."
"එකත් එහෙමද.., කව්ද පාස් එතකොට ඉංග්‍රීසි"
"කවුරුත් නෑ.. අපි 5ස් දෙනාම ෆේල්.."
"ඇයි ඒ අනිත් විෂයන් පාස් වෙලා ඉංග්‍රීසි විතරක් ෆෙල් වෙන්න හේතුව."
"අපේ ඉස්කෝලෙට කවදාවත් ඉංග්‍රීසි සර් කෙනෙක් හිටියේ නැහැ,
ප්‍රින්සිපල් සර්...තමයි ඉඳලා හිටලා පන්ති වලට ගිහින්, ළමයින්ට
ඉංග්‍රීසියෙන් නම, ගම එහෙම ලියන්න කියලා දෙන්නේ"
"හරි එහෙනම් කවිඳු දැන් තමන් ගැන විස්තරයක්, දන්න විදියට මට
ඉංග්‍රීසියෙන් ලියලා ගෙනත් දෙන්නකෝ බලන්න. හදිස්සියක් නැහැ හිමින්
ලියන්න.."
12.15ට වගේ ලියන්න දුන්නේ.. දැන් වෙලාව 12.45යි.. මේ කොල්ලා තාම
ලියනවා. ගොඩක් වෙලා හිතලා පොඩ්ඩක් ලියනවා.
"හ්ම් කවිඳු, ඔය ඇති.. ගේන්නකෝ බලන්න.."
" I kawidu "
" I old 17 year "
" I like crucket "
පැය භාගයකටම ඔච්චරයි ලියලා තිබුණේ. ඒකත් ඔක්කෝම වැරදියි.
මේ ළමයගේ පොත දිහා බලපු මම කෙලින්ම බැලුවේ ආයිත් ඒ
ළමයගේ මූණ දිහා, කවිඳු බයවෙලා වගේ මගේ දිහා බලන් ඉන්නවා.
මුකුත්  නොකියම ආයිත් පොත දිහා බලපු මම, ලොකු හරියක් දාලා
වෙරි ගුඩ් කියලා දැම්මා. කවිඳුගේ මූණ සතුටින් පිරිලා. මම මුකුත්
කියලා නොදීම ආයිත් හොස්පිටල් එකට ආවා. මේ ළමයි මගේ කවුරුත්
නොවුනත්, මේ ළමයි ගැන මට දුකයි. ලංකාවේ වගේ රටක ඉංග්‍රීසි
දැනුමක් නැතිව, මොන විභාගේ පාස් වුනත් වැඩක් නැහැ. පව් මේ ළමයි,
පහුවෙනිදා උදෙන්ම හොස්පිටල් එකට ආපු මම, ඉස්කෝලේ උදේ රැස්වීම
පටන් ගන්නකම් ඉඳලා රැස්වීමට ගියා. ප්‍රින්සිපල් සර්ගෙන් රැස්වීමේ
කතා කරන්න අවසර ගත්ත මම,
"ප්‍රින්සිපල් සර් මට කතා කළේ උසස් පෙළ ළමයින්ට විතරක් ඉංග්‍රීසි
උගන්වන්න. ඒත් මම ඒ වැඩේ පොඩ්ඩක් වෙනස් කරන්න හිතුවා.
ඉස්කෝලේ ළමයි හැමෝටම පැය දෙකක් ඉස්කෝලේ ඇරිලා මම
නොමිලේ ඉංග්‍රීසි උගන්වනවා. ඔයාලා හැමෝටම එන්න පුළුවන්.. ලියන්න
අළුත් පොත් නැත්නම් බය වෙන්න එපා. මම ලියන්න පොතුයි, පෑනුයි
දෙන්නම්. ඒ වගේම හැම සතියෙම පොඩි තරඟයක් තියලා. දිනන
කෙනාට ලස්සන සෙල්ලම් බඩුවකුත් තෑඟි දෙනවා. එහෙනම් හෙට
ඉඳන් ඉස්කෝලෙන් පස්සේ පැය දෙකේ ඉංග්‍රීසි පන්තිය පටන් ගන්නවා.
ඔයාලා හැමෝම එයි කියලා. මම හිතනවා."
මගේ කතාව අහගෙන හිටපු ප්‍රින්සිපල් සර් බයවෙලා වගේ මන් දිහා
බලාගෙන ඉන්නවා. එදා හවසම ටවුන් එකට ගිහිපු මම අළුත්
පොත් පෑන් ටිකක් අරගෙන ආවා. පහුවෙනිදා හිතපු වෙලාවටම
ක්ලාස් එක පටන් ගත්තා. හිතන් හිටිය තරම් ළමයි ගොඩක් නම් හිටියේ
නැහැ. කවිඳුයි තවත් ළමයි 20ක් විතරයි හිටියේ. ආපු හැමෝමත්
එක්කම හිනාවුණ මම, ඉංග්‍රීසි පන්තිය පටන් ගන්න කලින් මම
ඔයාලට පොඩි ඇත්ත කතාවක් කියන්නම්.. හොඳට අහගන්නකෝ,
"කොළඹ හිටියා පිරිමි ළමෙක්, එයා මගේ යාළුවෙක්. එයාට ඉංග්‍රීසි සර්ලා
අතින්වත්, පොත්පත් අතින්වත් කිසිම අඩු පාඩුවක් තිබ්බේ නැහැ,
මේ ළමයා මොන විෂයට දක්ෂ උනත් ඉංග්‍රීසි වලට හරි බයයි.
උසස් පෙළත් කළේ විද්‍යා විෂය ධාරාවෙන්, සාමාන්‍ය පෙළත්
ඉංග්‍රීසි ෆේල්, උසස් පෙළත් ෆේල්.. හැබැයි සාමාන්‍ය පෙළයි, උසස් පෙළයි
විභාග දෙකම මේ ළමයා ඉහලින්ම පාස් වුනා. දවසක් මේ ළමයම
හිතුවා ඉංග්‍රීසි කියන්නේ විෂයක් නෙමෙයිනේ මිනිස්සු කතා කරන
භාෂාවක්නේ, මම කොහොම හරි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියලා.
එහෙම හිතපු මෙයා., අවුරුද්දක් යනකොට ඒ වෙනුවෙන්
කැපවෙලා.. වතුර වගේ ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න ඉගෙන ගත්තා...
ඔයාලත් මේක කවදාවත් විෂයක් විදියට හිතට ගන්න එපා.
මේක භෂාවක්,
අපි සිංහලෙන් බඩගිනියි කියද්දි, සුද්දෝ ඉංග්‍රීසියෙන් හන්ග්‍රිරී කියනවා.."
ඒ කතාවවෙන් පටන් ගත්ත මගේ ඉංග්‍රීසි පන්තිය අවුරුදු
තුනක් එක දිගට කළා. දවසින් දවස පන්තියේ ළමයි වැඩි වුණා. ඉංග්‍රීසි
අකුරක් බැරුව හිටපු ළමයි දැන් මාත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා.
කවිඳු උසස් පෙළ විභාගෙන් ඉස්කෝලෙන්ම මුලින්ම කැම්පස් තේරුන
පළවෙනි ළමයා, සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ෆේල් ළමයට උසස් පෙළට ඉංග්‍රීසි
වලට සී එකක්. අවුරුදු හතරක් ඒ ගමේ හිටිය මට කොළඹ මහ
ඉස්පිරිතාලෙට මාරුවක් ලැබුණා. මේ ළමයින්ව දාලා එන්න මට දුකයි. ඒත්
කරන්න දෙයක් නැහැ මට එන්න වුණා. දැන් මම ලංකාවේ ඉන්න අංක
එකේ හදවත් රෝග විශේෂඥයෙක්. ලෙඩුත් එක්කම මාත් වයසට ගියා.
ආයිත් ඒ ගමට යන්න වෙලාවක් ලැබුණෙත් නැහැ. දැන් මගේ ලෝකය
මගේ ළමයිනුයි, මගේ දරු මුණුපුරොයි.
"තාත්තේ තාත්තා හොස්පිටල් යන ගමන් අශාන්වත් ක්ලාස් එක ගාවින්
ඩ්‍රොප් එකරගෙන යනවද ?"
"හරි දුව.."
"පුතා එහෙනම් සීයත් එක්ක යන්න. අම්මි හවසට එන්නම් පුතාව ගන්න.."
මම ඉතින් හවස චැනල් සර්විස් එකට යන ගමන් මගේ
මුණුපුරාවත් ක්ලාස් එක ගාවින් දාන්න හිතාගෙනම කාර් එකට නැග්ඟා.
"අශාන්ට අයිස් ක්‍රීම් ඕනේද... සීයා අරන් දෙන්නද..?"
"හා...."
"ඔන්න අම්මිට කියන්නේ එහෙම නැහැ සීයා අයිස් ක්‍රීම් අරන් දුන්නා
කියලා... අම්ම මට බනී.."
අශාන් එක්කම අයිස් ක්‍රීම් මාත් කලා. අශාන්ව අතින් අල්ලගෙන ක්ලාස්
එක ඇතුළටම ගිහින් දැම්මා මම. අශාන්ව දාලා ආපහු කාර් එක ලඟට
මම එද්දී,
"ඩොක්ටර්....ඩොක්ටර්..පොඩ්ඩක් ඉන්න"
කියනවා මට ඈතින් වගේ ඇහුණා. මමත් හැරිලා බැලුවා, හොඳට
ඇඳ පැළඳ ගත්ත උස මහත පිරිමි කෙනෙක්..
"ඕව්... කියන්න.."
"ඩොක්ටර්ට, මාව මතකද..?"
"හ්ම්..... එක පාරට එහෙම මතකෙට එන්නේ නැහැනේ. පොඩ්ඩක්
කියනවද, කව්ද මේ කියලා.."
"ගමේ ඉස්කෝලේ කවිඳුව මතකද... මම වැරිදියට ලියලත්, මගේ හිත
හදන්න ඩොක්ටර් හරියක් දාලා වෙරි ගූඩ් කියලා දැම්මේ.."
"මේ... කවිඳුද, අඳුරගන්නත් බැහැනේ. උසමහත ගිහිල්ලා.. කොච්චර
කාලෙකින්ද.. ඉතින් කවිඳු දැන් මොනාද කරන්නේ.. මේ කොහේ යන
ගමන්ද ?"
"ඩොක්ටර් මේ ඉංග්‍රීසි ක්ලාස් එක මගේ.... මමයි ඉංග්‍රීසි සර්."

නිමි.

රයාන් ලක්මාල්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment