උපුටද් ගැනීමකි

ඔයා හරි වෙනස්.

ඇයි එහෙම කියන්නෙ?

හැමෝම රික්ස්වෙට් කරද්දි ඔයා රික්ස්වෙට් එකක් දාල තිබ්බෙ නෑ.

හ්ම්ම්.

කතාව පටන්.ගත්තෙ ඔන්න ඔය විදියට. කාලයක් ගතවෙලා ගියා නොදැනීම.ඒ අතර රෑ දෙගොඩහරිය පහු වෙනකනුත් චැට් කලා සමහර දාට.

අයියේ..
ම්ම්ම්
ඔයා ඉන්නෝද?
ඕ.. තාම නොමැරි ඉන්නවා.
යනූ යන්න මැට්ටා.

මැට්ට කියල පටන් ගත්ත ඒ ආමන්ත්‍රණය නතර වෙන්නෙ සත්තු වත්තෙම නම් ලැයිස්තුව මාක් කරල කියල ඔහු අත්දැකීමෙන්ම දැනගෙන උන්නා. ඒත් එක අබැටක තරම්වත් තරහක් හිතුවෙ නැති ඔහු ඒ වචනවල තිබ්බ අහිංසක කම ආදරණීය බව වින්දා. තත්පර විනාඩි වෙලා පැය දවස් වෙද්දි ඇය ඔහුගෙන් තරමක් දුරස් වුනා. ඔහු ඇයගේ පැමිණීමක් බලා පොරොත්තුවෙන් රැඳී සිටිය මොහොතක් පාසා.

ආ.. අයියේ ඉන්නෝද ඔයා?
ඔන්න ඇවිත්.මං තරහයි.
වැඩ ගොඩයි අයිය බබෝ. අමතක වෙන්නැහැ කවදාවත්.
ම්ම්ම්. ඉතිං?.

ඔන්න ඔය වගේ හදිසියේම ඇය ඇවිත් ගියාම ඔහුට දවස් දෙක තුනකට හිත පිරෙනවා. ඇයගේ සමහර හුරු පුරුදු වදන් ඔහුගේ ආත්මයම වුනා. ඇය නොදන්නවාට ඔහු ඇත්තටම ඇයට පුදුම තරම් ආදරේ වුනා. නමුත් කවමදාකවත් කිව්වේ නැහැ මිතුරුකම නැති වේ යැයි බියෙන්. අන්තිමේදි දවසක..

අයියේ..
ආ ආවද කාලෙකින්?
හ්ම්ම්.
තරහයි මන්.
හ්ම්ම්.
අනේ ඇයි මේ දුකෙන් වගේ?
ගෙදරින් බඳින්න කියනවා.

ඔහුගේ ආත්මයම කඩා වැටුනා.නමුත් බිඳකවත් වෙනසක් ඔහුඇඟවූයේ නැහැ ඇයට.

ශා.. මරුනෙ.
හ්ම්ම්.
හැමදාම ඔහොම ඉන්නත් බෑනෙ.
හ්ම්ම්.
හ්ම්ම් කියල හරියන්නැහැ. මොකද කරන්නෙ මැට්ටි?
ගෙදරින් කියන දේකට කැමති වෙනව.

ඇයට දිනක ඔහුගෙන් පණිවිඩයක් ලැබී තිබුණා..

මට..
නුඹේ..
හිතවත් කම
සෙනෙහස
සිනහවක්
සුසුමක්
දැකීමක් පවා
අවැසි නැත..

"මහ නපුරෙක්"

ඇයට සිතුනා. ඉන් පසුව කවම කවදාවත් ඇයට ඔහු මුනගැසුනේ නැහැ. කාලය ගත වෙද්දී සියල්ල අමතක වුනා ඇයටත්. කාලය ගත වෙද්දී ඇය විවාහ වුනා. නව යුවලගේ මධුසමය සඳහා කඳුකර ප්‍රදේශයක නිවාඩු නිකේතනයක් තෝරාගැනුනා.

හිමිදිරියේ අවදි වී වටපිට නරඹන ඔවුන්ගේ නෙත ගැටුනේ පහලින් ක්‍රීඩා පිටියක දුව පනින ළමුන් පිරිසක්. යුවල සිනාමුසුව එදෙස බලා සිටියා.

හරිම සුන්දර පළාත නේද බබා?

තරුණයා ඇගෙන් විමසුවා..

"ඔය කොහෙවත් පේන තරම් සුන්දර නැහැ මහත්තයා"

එකවරම ඔවුනට පිටුපසින් ඇසුනේ රළු පිරිමි කටහඬක්. දෙදෙනාම එකවරට හැරී බැලුවා. තානායමේ මුරකරු යැයි සිතිය හැකි මැදි වයසේ පුද්ගලයෙක් ඔවුන් දෙස බලා සිටියා.

ඇයි ලොකු උන්නැහේ එහෙම කියන්නෙ?

හඬ අවදි කලේ තරුණයා. එවර මුරකරු යැයි සිතිය හැකි පුද්ගලයා අසල තිබූ ගලක් මත හිඳ ගත්තේ දිගු කතාවකට මුල පුරමින්. යුවල අසා සිටියා.

"මහත්තයා.. ඔය පහලින් පේන්න තියෙන්නෙ ළමා නිවාසයක්. ඉස්සර ඔතන තිබුනේ ගෙයක්. ඒ ගෙදර හිටියෙ මහ දෙන්නයි තව ඉලන්දාරියෙකුයි. කොල්ල ඉස්සර මෙහෙට ඇවිත් කියවනවා මා එක්ක. හරි අපූරුවට කැටයම් හදන්න පුළුවන් ඒ ඉලන්දාරියට. ඒත් මහත්තයො කරුමෙ වලක්වන්ඩ පුළුවනෙයි"

ඇයි මොකද වුනේ ලොකු උන්නැහේ?

"අර පල්ලමේ තියෙන මහ පරුවතේ පේනව නේද මහත්තයො? ඒක ඉස්සර තිබුනෙ මෙන්න මේ අඹ ගහට එහායින්. ඒක යට හතර පස් දෙනෙක්ට ඉන්න ඉඩ තියෙන ගුහාවක් තිබුන. ඒ ඉලන්දාරිය දවසම එතනට වෙලා කැටයම් කැපුවා. අප්පේ බලන්ඩ එපැයි තිබ්බ ජාති"

"කෝ ඉතිං කතාව පිට පනිනවනෙ"

තරුණයා හරස් වුනා.

"එක දවසක් නා කපන වරුසාවක් පටන් ගත්තා හැන්දෑවෙ. රෑ වෙනකනුත් අඩු වුනේ නැහැ.මුලින්ම එහා පැත්තෙං පස් කන්ඩිය ගලවගෙන හැලුන. අපි සේරෝම එතැනට ගියා. ඔය අස්සෙ අර ඉලන්දාරිය එකපාරට ගල්ගුහාවට දුවගෙන ගියා. අපි හැමෝම එපා කියල කෑ ගැහුවත් ඇහුවේ නෑ. ගිහින් එක කැටයමකුත් අතේ තියන් හිනා වෙවී දුවගෙන ආව"

කතාව මදකට නැවැත්වූ ඔහු දෙනෙත් පිස දැමුවා.

"අනේ ඒ අසරණය අපි ඉස්සරහම මහ ගලට යටවුනා"

අවසන් වදන් කීපය ඔහුගේ මුවින් ගිලිහුනේ බොල් හඬකින්.

අනේ පව්.. ඉතිං මොකක්ද එච්චර වටින කැටයම?

මෙතෙක් මුනිවත රැකගෙන හිටපු යුවතිය හඬ අවදි කලේ මහත් කම්පණයෙන්.

"ඒකෙ ඒ හැටි වටින කමක් නෑ නෝන. ලී කැටයමක්. ගෑණු දැරිවියක්ගෙ පින්තූරයක් මැද්දෙං දාපු. ඒක ඉතිරි වුනා. ගල පෙරලෙනව කියල හැමෝම කෑ ගහද්දි කොළුව ඒක වීසි කලා අපි හිටපු පැත්තට"

"පිස්සෙක්"

තරුණයා තමාටම මුමුණා ගත්තා.

ඉතිං කෝ ඒක?

යුවතියට දැන් ලොකු උනන්දුවක්.

"ඒ සිද්දියෙන් පස්සෙ මහ දෙන්න මේ සේරම ළමා නිවාසෙකට ලියල දීල යන්න ගියා. කැටයම තවම ළමා නිවාසෙ ඉස්සරහම තියල තියෙනවා. ඕන කෙනෙක්ට බලන්න පුළුවන්"

අපි යමුද ඒක බලන්න?

ඇය පුදුම නොඉවසිල්ලකින් තරුණයා දෙසට හැරීඇසුවා. කෙනෙක් ජීවිතෙත් නොතකා රැකගන්න හදපු ඔහුට මෙච්චරම වටිනා කමක් තිබ්බ කැටයම බලන්න ඇයට ආස හිතුන.

"පේන දුරනෙ බබා.. ඔයා බලල එන්න. මං එතකන් මේල් ටිකක් චෙක් කරන්නම්. ඊයෙත් දවසෙම වෙඩින් එකේ වැඩ අස්සෙ මුකුත් බලන්න බැරි වුනා"

"හනිමූන් ඇවිල්ලත් බිස්නස්. අනේ මංද"

ඇය සිතූ දෙය වදනකට නොපෙරලාම තනිවම පල්ලම් බැස්සා. නොඉවසිල්ල විසින් පටු මාවත දිගේ මිනිත්තු කිහිපයකින්ම ඇයව ගෙනගොස් තිබුනා ළමා නිවාසයේ දොරටුව වෙතට.

"මේ මිස් කාව හම්බ වෙන්නද?"

කාරුණික ආමන්ත්‍රණයකින් පිලිගත් පාළිකාවරියට ඇය අවශ්‍යතාව කෙටියෙන් පවසා සිටියා.

"ආ... අර තියෙන්නෙ. ගිහින් බලන්න"

ඇය අත දිගුකර පෙන්වූ දෙසට යුවතිය ගමන් කලා. අපූරු හංස කැටයමක් තුල රැඳවූ ඡායාරූපය ඈ විමසිල්ලෙන් බලන්නට වුනා.

"අනේ... දෙවියනේ"

ඇයට කෑ ගැසුනා. වසර දෙකහමාරකට පමණ පෙර මුහුණු පොතට එක් කල තම සේයාරුව ඇයට හඳූනා ගැනීමට අපහසු වුනේ නැහැ. ඉරිතලා ගිය වීදුරුවට යටින් ඇගේම රැව ඇය දෙස සිනාමුසුව බලා සිටියා.

මට..
නුඹේ..
හිතවත් කම
සෙනෙහස
සිනහවක්
සුසුමක්
දැකීමක් පවා
අවැසි නැත..

දිනෙක
නුඹට දැනුනොත්..
මෙලොව නුඹවම
ආත්මය කරගත්
ප්‍රාණියෙකු විසූ වග
එයයි මගේ සැනසීම.

ඡායාරූපයේ කෙළවරක සටහන් කර තිබූ ඒ වදන් පෙල ඇයට කඳුළු අතරින් බොඳවී පෙනුනා.

                       ෴ නිමි෴

      - චින්තක එපිටවල.....🖊

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment