මා ඔබේ කුමරියද

#මා_ඔබේ_කුමරිය_ද

"එපා සිඹින්නට හදවත සුවඳක් නෑ අද හිතවත"

ඇය කඳුළු සලන්නියක් නොවේ... ජිවිතය පිලිබඳව දකින්නියක්... #කතා_අරණ තුලින් ම මා හදුනාගත් ඇයගේ කතාවයි මේ.....

සත්‍ය කතාවක් ඇසුරින් ලියන තවත් එක් ජිවිතයක පරිච්ඡේදයක්.....

ජිවිතේ අපි හැමදේම ගැන ම හිතන්න ඕනා හරියට. හැඟිම් ලඟදී ජිවිතේ අසරණ වෙනවා තමයි. නමුත් බුද්ධියට අවස්ථාව දෙන්න ඕනා. හැඟිම් නැතිව ජිවිතයක් නෑ. ඒ වගේම බුද්ධිය නැතිව ඒ ජිවිතේට පැවැත්මක් නෑ.

මම සදුනි. සාමාන්‍ය පවුලක සාමාන්‍ය විදිහට ජිවත් වුනු කෙල්ලෙක්. ටිකක් දඟයි. එත් ඒ යාළුවෝ එකක් එකතු වුනාම තමයි. මේ මගේ ජිවිත කතාව. නෑ මේ මගේ ජිවිතේ කතාවේ එක පරිච්ඡේදයක්.

ඕ ලේවල් ඉවර වෙලා අපි කම්පියුටර් ක්ලාස් එකකට යන්න ගත්තා නුගේගොඩ.අපි යාළුවෝ කට්ටියම ඒ ක්ලාස් එකට ගියා.නිසලි මගේ හොඳම යාළුවා. ඉතින් මම හැමදාම ක්ලාස් යන්නේ එන්නේ නිසලි එක්ක. දවසක් අපි ක්ලාස් ඉවර වෙලා එනකොට මඟදී අපි food city එකට ගියා නිසලිට ක්‍රිම් එකක් ගන්න කියලා. ඒ වෙලාවේ නිසලිගේ පොන් එකට කෝල් එකක් ආවා... බඩු ටික නිසලි අතේ තිබුනු නිසා නිසලි මට කිවුවා ඕක ආන්ස්වර් කරපන් බං කියලා. එයා කියපු නිසා මම කෝල් එක ආන්ස්වර් කලා.

හෙලෝ....කවුද කතා කරන්නේ...

හෙලෝ මම ඔයා ව දන්නවා. මම නිපුන්...

මොකක් ඔයා මාව දන්නවාද....

ඔව් මගේ යාළුවෙක් මට ඔයාගේ නම්බර් එක දුන්නේ....ඔයාගේ නම මොකක්ද....

මට කෝල් එක කට් කරලා දැම්මා. මට තේරුනා මේක නිකම් ගත්තු කෝල් එකක් කියලා. මොකද නිසලි ගැනවත් මේ බෝයි දන්නේ නෑනේ.ඊට පස්සේ දිගින් දිගටම ඒ ⁣නම්බර් එකෙන් කතා කරනවා. මං ආන්ස්වර් කලේ නෑ.නිසලි ආවාට පස්සේ මම විස්තරේ කියුවා.

ඉතින් බං අපි බොරුවක් කියමුකෝ.... ඔන්න ආයේම ගත්තෝත් කතා කරපන් හොදේ....

කියලා කට ගන්න ලැබුනේ නෑ ඒ නම්බර් එකෙන් ආයේම කෝල් එකක්.නිසලිගේ වදේ පොරේ නිසා මම කෝල් එක ආන්ස්වර් කලා....

හෙලෝ.... ඇයි කෝල් එක කට් කලේ....

නෑ නිකම්....

මම නිපුන... එතකොට ඔයා...

මම සදුනි....

ඊට පස්සේ මම එයාට කියපු හැමදේම බොරු කිවුවේ.එයාගෙන් ප්‍රශ්න කෝටියයි. ඉතින් මම හැම එකකටම බොරු කිවුවා. ඔය විදිහට හැමදාම ක්ලාස් ඇරිලා එනකොට එයාට අපි මිස් කෝල් එකක් ගහනවා. එතකොට එයා කෝල් කරනවා. දවසක එයා කිවුවා මාව දකින්න ආසයි කියලා. මම කොහොමවත් කැමති වුනේ නෑ එයාව මුණ ගැහෙනවාට. ඒ එයාව දකින්න මම ආස නැති නිසා නොවෙයි.එයා මාව දැක්කාට පස්සේ මම කියපු බොරු ⁣ඔක්කෝම අහු වෙනවානේ ඒකයි. එත් මගේ හිතත් හැම වෙලාවේම එයාව දකින්න ආස කලා. ඒ නිසා දවසක් මම එයාට කිවුවා බස් ස්ටෑන්ඩ් එකට එන්න කියලා. ඒ කියපු දවසේ හරියටම එයා බස් ස්ටැන්ඩ් එකට අැවිත් තිබුනා.මම ඉන්නවා කිවුවේ බස් ස්ටැන්ඩ් එකේ. එත් මමයි නිසලියි හොරෙන් බස් එකක නැගලා එයා දිහා බලන් හිටියා. මම නම් එයාව දැක්කා. පවු එයා මාව හොයනවා. ඊට පස්සේ එයා මට කෝල් එකක් ගත්තා. මම කෝල් එක කට් කරන්න යද්දිම නිසලි පොන් එක ඇදලා අරන් ආන්ස්වර් කරලා අපි බස් එකේ ඉන්න බව කිවුවා. ඒ කියන කොටම එයා බස් එක දිහා බැලුවා. එයා අපි දෙන්නාව ම දැක්කා. මට දැන් කර කියා ගන්න දෙයක් නෑ. දැන් ඔක්කෝම බොරු ටික අහු වෙනවා. නිපුන අපි ඉන්න බස් එකට නැගලා මං ලඟින් ම වාඩි වුනා.

දෙවියනේ.... පිරිමි ලමයෙක් මං ලඟ මේ තරම් ලඟින් ඉන්නවාමයි. හරිම නුහුරුයි. එදා මට ඇත්ත හැමදේම කියන්න වුනා. ඉන් පස්සේ නිපුන හැමදාම ක්ලාස් ඇරෙන වෙලාවට ක්ලාස් එක ලඟට ආවා. එයා මගේ වයසේමයිනේ. ඒලෙවල් එයා කලේ ආර්ට්.මම කලේ කෝමස්. එයා හැමදාම නුගේගොඩ බෝ ගහ යටට වෙලා මං ක්ලාස් ඉවර වෙලා එනකම් බලාගෙන ඉන්නවා. දැන් නම් මට දවසක්වත් එයාව නොදැක ඉන්න කතා නොකර ඉන්න බෑ. එයාටත් එහෙමයි. නිපුන මට හරිම ආදරෙයි. මාව පරිස්සමෙන් බලා ගන්න එයාට හැමවෙලේම ඕනා. මට පුංචි තුවාලක් වුනා කියලා කිවුවොත් නිපුනගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. අපි දෙන්නා ඒ තරම් ආදරෙන් ජිවිතේ ගෙවුවේ.
ඉතින් ක්ලාස් නැති සමහර දවස් වලට අපි කොහේ හරි ඇවිදින්න ගියා. අපි මුලින්ම ගියේ නුගේගොඩ වැලිපාර්ක් එකට. ඒ දවස අදටත් මුළු ජිවිතේම එක මොහොතක හිරි වට්ටන්න පුළුවන් තරම් මගේ හිත සිප ගන්නවා.

කෙල්ලෙක් පලවෙනිම වතාවට පිරිමි ලමයෙක්ගේ උණුහුම ලඟින් ම විඳිනවා කියන්නේ ඒක ජිවිතේ අමතක කරන්න පුළුවන් හැගිමක් නෙමෙයි. එයා මාව එයාගේ පපුවට තුරුළු කර ගත්තු වෙලාවේ මාව ගැහෙන්න ගත්තා.එයත් බය වුනා මාව ගැහෙනවා දැකලා. එයා මගේ බය නැති කරන්න මාව තදින්ම අල්ලගෙන හිටියා.පිරිමි පපුවක උණුසුමට ගෑනු හිත ගොඩක් ලෝබයි.

සදුනි....

හ්ම්ම්මම්....

බයයි නේද... ගැහෙනවා ඔයාව....

හ්ම්ම්ම්ම්ම්....

අපි මුණ ගැහුනු හැටි හරිම පුදුමයි නේද....

පුදුමයි තමයි.. මේ විදිහට wrong number කීයකට අරන් තියේද...

නෑ සත්තකින්ම එහෙම අරන් නෑ.එදා මමත් මුලින්ම ඔයාට ගත්තේ බයෙන්.

එදා මම නැතිව නිසලි පොන් එක ආන්ස්වර් කලා නම් නිසලි එකක් යාළු වෙනවාද...

අහ්... එහෙම වෙන්නත් තිබුනා නේද... ඔව් ඉතින් එහෙනම් දැන් මෙතැන ඉන්නේ නිසලි...

එහෙම කියලා එයා හයියෙන් හිනා වුනා.

මං බොරු තරහවක් මවන් එයාට එරෙවුවා. මගේ කම්මුලක් මිරිකලා එයා ආයේම මගේ ඔළුව එයාගේ පපුවට හේත්තු කර ගත්තා.

------------------------------------------------------------------------------

ඉන් පස්සේ අපි පුළුවන් හැමවෙලාවේම වගේ මීට් වුනා.අපි විහාරමහාදේවි පාර්ක්..ගෝල් ෆේස් ඒ හැම තැනකම වගේ ඇවිදින් ගියා. අපි දෙන්නා කෑම කන්නේ බො⁣රැල්ලේ කඩේකින්. මට කන්න අරන් දිලා එයා ආසාවෙන් බලන් ඉන්නවා. එයා කන එකෙනුත් මට කෑල්ලක් කවනවා. අපි දෙන්නා හරිම ආදරෙන් ජිවත් වුනා.

මේ කාලේදීම නිපුනගේ ගෙදරින් ඒ කිවුවේ නිපුනගේ අම්මා අපි ගැන දැන ගෙන තිබුනා. නිපුනගේ අම්මා ගුරුවරියක්. අපි ගැන දැනගත්තාත් අම්මා අපිට විරුද්ධ වුනේ නෑ. මොකද අපේ පවුල පසුබිම නරක එකක් නොවයි. එත් හැමදේම හොඳින් විසදෙනකොට හොඳට තිබුනු දේවල් නරක් වෙනවා වගේ මට හිතුනා. ක්ලාස් ඇරිලා මං විනාඩි පහක් පරක්කු වුනත් නිපුන මගේ ඇඟට කඩන් පනිනවා. මාව බනිනවා. මහ පාරේ මැදදි වුනත් එයාට ගානක් නෑ මට බනිනවා. මුල් කාලේදී ඒවා මම ඉවසගෙන වරද මගේනේ කියලා හිතාගෙන ආයේම කොහොම හරි අපි දෙන්නා යාළු වෙනවා. මේ විදිහට අවුරුදු තුනක්ම ගත වුනා. ඒලෙවල් ඉවර වෙලා අපේ සම්බන්දේ ගැන අපේ ගෙදරටත් අපි කිවුවා. අපේ ගෙදරිනුත් නිපුනට අකමැති වුනේ නෑ. ඒ නිසා අපිට ඒ පැත්තෙන් නම් කිසිම කරදරයක් තිබුනේ නෑ. දෙමාපියන්ගේ ආශිර්වාදය අපිට ලැබුනා. නිපුනට අළුත් ජොබ් එකක් ලැබුනා. නිපුනගේ අම්මා ඉංග්‍රිසි ගුරුවරියක්නේ. අම්මා ගෙදර ක්ලාස් එකක් පටන් ගත්තා. මාත් හොඳට ඉගෙනගෙන තිබුනු නිසා එහේ ගියා ලමයින්ට උගන්වන්න.

නිපුන දැන් වැඩට යනවා. ගෙදර ආවාත් වෙනදා වගේ මා ගැන හොයලා බලන්නේ නෑ. මහන්සි කියලා ඉක්මනින් නින්දට යනවා. මට දුකයි.. හැම රෑකම මම කදුළු එක්ක ජිවත් වුනේ. කොච්චර ඇඬුවත් එයා ලඟ පින්සෙන්ඩු වුනත් එයාගේ හිත උණු වෙන පාටක් තිබුනේ නෑ. ඒ මොහොතේ මාව රවට්ටවන්න වචනයක් දෙකක් කිවුවත් පස්සේ එයා ඒවටත් හරියන්න මට බනිනවා. එයාට කොහේ හරි ගමනක් යන්න තියෙනකොට ඒක මට නොකියා යන්න ඕන නම් එයා කරන්නේ මා එකක් රණ්ඩු කර ගන්න එක. එතකොට මම කෝල් මැසේජ් කරන්නේ නැති නිසා එයා එහෙමත් කරන්න පුරුදු වුනා. අපේ ගෙදර මගේ නෑදෑයෝ එකක් මා ගැන වැරදි කියන්නත් පටන් ගත්තා. මං කරන වැරදි මොකක්ද කියලා මමවත් දන්නේ නෑ. ඒ දේවල් එයාගේ හිතින් මවා ගත්තු දේවල්. මම ගෙදරින් එලියට කියලා යන්නේ එයාලාගේ අම්මා ඉන්න තැනට විතරමයි. එත් එයා මාව මගේ අය ඉස්සරහා අඩුතක්සේරුවට කතා කරන්න පටන් අරන් තිබුනා.කොහොම හරි මේ හැමදේම නිසා අපේ ගෙදර අයත් මට ම බනින්න ගත්තා.

ජිවිතේ එපා වෙන තරමටම මම අපහාස විදින්න ගත්තා. මට හිතා ගන්නවත් බෑ නිපුන ඇයි මෙහෙම කියලා. එදා ආදරේ බිංදුවක්වත් දැන් එයා ලඟ නැති වුනේ කොහොමද. බැරිම තැන මම වැඳලා වැඳලා වගේ එයාව කැලණිය පන්සලට ගෙන්න ගත්තා. මේ ගැන කියන්න. එදා මං පැය හතරක් තිස්සේ එයා ලඟ ඉදන් ඇඬුවා. අපි ඉස්සර වගේ ඉමු කිවුවා. මං පරණ දේවල් හැමදේම අමතක කරන්නම් අපි සතුටින් ඉමු කියලා මං එයා ලඟ වැඳ වැටුනා. කැලණි මළුවේ වැලි කැට ගානේ මගේ කදුළු ඇස් වලින් වැටුනත් එයාගේ හිත වුනු වුනේ නෑ.

---------------------------------------------------------------------------------

මං පස්සේ එයාට කෝල් නොකර මැසේජ් නොකර හිටියා. දවස් ගනන් මං එයාට කෝල් නොගත්තාත් එයා මට ගනිවි කියලා මං බලන් හිටියා. එයා නිකම්වත් මට ගත්තේ නෑ. එයාලාගේ අම්මාත් නිතරම මට බනින්න පටන් ගත්තා. ඒ නිසා මම ක්ලාස් යන එක නැවත්තුවා. ඊට පස්සේ නිපුන ආයේම මට කෝල් කරන්න ගත්තා. එත් එක ඉස්සර ආදරේ නෙමෙයි.එයා වෙනස් වෙලා නෑ. මං මානසිකව බිංදුවයම ඇඳන් වැටිලා තිබුනේ.මොකද නිපුන,එයාගේ අම්මා කොටින්ම කිවුවොත් අපේ ගෙදර අය පවා මාව වැරදිකාරියෙක් කලා. මට නිපුනගේ වැරදි කියන්න කවදාවත්ම හිතුනේ නෑ. එත් මං මේ හැමදේකින්ම ඈත් වුනා. මට තනියම ඉන්න ඕන වුනා. මට ම මගේ මුළු ජිවිතේ ගැනම ලොකු මහන්සියක් දැනුනා.මේ අතර මට පාමසියක ජොබ් එකක් ලැබුනා. මම එහේ වැඩට ගියා. මට එහේවත් නිදහසේ යන්න ලැබුනේ නෑ.අෑත පාරේ නිපුන ඉන්නවා.

සදුනි....

අනේ නිපුන මට පාඩුවේ ඉන්න දෙන්න.

සදුනි මම හැදෙන්නම්.. ප්ලිස්...

එයා එහෙම කියලා මගේ අතින් අල්ල ගත්තා. ⁣මීට අවුරුදු තුනකට කලින් 2013 මාර්තු දොලහා මට දැනුනු හැඟිම මට එදා දැනුනේ නෑ. මාව නිපුන ඒ තැම් දරදඩු කරලා. මම එයාගේ අත අතහැරලා දාලා යන්න ගියා.

--------------------------------------------------------------------------------

2016 මාර්තු 12 උදේම නිපුන මට තෑග්ගකුත් අරන් අපේ ගෙදර ආවා. එත් එයාගේ වෙනසක් නෑ. එදත්පමා එකක් රණ්ඩු වෙලා මගේ පොන් එක පවා පොලොවේ ගැහුවා. ගහලා සිම් එක කඩලා දැම්මා. එදා මම තිරණය කලා මම නිපුනගෙන් අයින් වෙනවා කියලා. ආදරේ කියලා බැඳිමක් ඇති වෙන්නේ කොයිතරම් පිවිතුරු දෙයක්ද..

විශ්වාසය සෙනෙහස නැති තැනක බොරු බැඳිමක පැටලිලා මොකටද.. සම්බන්ධකම කොච්චර පරණ ද අළුත් ද කියන එක නෙමෙයි වැදගත්. ජිවිත කාලේම එකට ඉන්න දෙන පොරොන්දුව හරියට නොගත්තොත් එතැනින් එහාට අපායක ජිවත් වෙන්න වෙනවා. ගෑණු හිත බොළඳ වුනත් මං මගේ හිත හයිය කර ගත්තා.

නිපුන මාව මරනවා කියලා තරජනය කලා. මට ඇසිඩ් ගහනවා කිවුවා. ඒකට නම් මම බය වුනා. ඒ නිසා මම අපේ ගෙදරට කිවුවා ඒ ගැන.අපේ අම්මා බැන්නේ මට. ඊට පස්සේ අපේ අම්මලා අපේ කේන්දර බැලුවා. අපේ කේන්දර පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑලු.

ඊට පස්සේ අපේ ගෙදරින් නිපුනව බදින බල කරන එක අඩු වුනා. එත් නිපුනගේ කරදර අඩු වුනේ නෑ. අන්තිමට නිපුනවයි මාවයි පොලිස්සියට පවා එක්කන් යන්න වුනා. පොලිස්සියෙන් නිපුනට අවවාද කලා මට කරදර කරන්න එපා කියලා.

ඒ කිවුවත් ඒ කරදර අඩු වුනේ නෑ. එයා වෙන කෙල්ලෙක් එක්ක යාළුයි කියලා එයා මට මැසේජ් කරලා තිබුනා.ඒ කෙල්ල මට වඩා හොඳයි එයාලා සතුටින් ඉන්නවා කියලා එයා මට එවලා තිබුනා. මට ඒක දැක්කා කියලා දුක හිතුනේවත් නෑ. එත් පස්සේ මට හිතුනා ඒකත් බොරු කියලා. මොකද නිපුන ආයේම මට කරදර කර කර මැසේජ් කලා. දැන් සති දෙක තුනකින් කතා කලේ නම් නෑ.

මගේ හිත මේ තරම් දරුණු කලේ එයාමයි. එක⁣ට ඉන්න බැරිනම් වෙන්වෙන එක හොඳයි. දැන දැනම අපි දෙන්නාගේම ජිවිත විනාස වෙනවා නැතිනම්. මං මෙතැනදී හැඟිම් අමතක කරලා බුද්ධියෙන් මේ ප්‍රශ්නය දිහා බැලුවා. ඒත් එයාගේ මතකය අමතක කරන්න මට බැරි වෙිවි. මුළු නුගේගොඩ හැම පාරක් ගානේ මට එයාව පේනවා. දකින දකින හැම කෙනාම නිපුන කියලා මටත් පේනවා. මේ ජිවිතේ කවදාහරි මම තනි⁣වෙන්නේ නෑ. එත් නිපුනට කවදාවත් වරදින්න එපා කියලා මං හැමදාම ප්‍රාර්ථනා කරනවා. එයාගේ අසාමාන්‍ය කේන්තිය,සැකය අඩු වෙලා ලස්සන ජිවිතයක් එයාටත් ලැබෙන්න කියලා මම අදහන දෙවියන්ගෙන් ඉල්ලනවා. මේ මගේ ජිවිතේ එක පරිච්ඡේදයක්... එක සොඳුරුද නපුරුද කියලා කියන්න මම දන්නේ නෑ. නමුත් මම ඒ හැමදේටම හරියට මුණ දුන්නා කියන හැඟිම මට දැනෙනවා.

මා ඔබේ ම කුමරියද......

                                      .........නිමි......
සදනි දිසාසේකර

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment