ආදරේ කියල හිතේ ඉතුරු වෙන්නේ ආදරෙන් කරන දේවල් විතරමනේ...

#ආදරේ_කියලා_හිතේ_ඉතුරු_වෙන්නේ....
#ආදරෙන්_කරන_දේවල්_විතරමයි....

කෝටියක් විතර වැඩ ඉවර කරලා අපි තුන් දෙනා එකතු උනේ හෙටින් පටන් ගන්න මගේ අළුත් ජීවිතේ ගැන ටිකක් කතා කරන්න.අවුරුදු විසිපහක් ගෙවුනේ පුදුම ඉක්මණින්. අම්මයි තාත්තයි එක්ක හුරතල් වෙලත් ඉවරයි හෙටින් පස්සේ. හෙට මම විවාහ වෙන දවස.හිතට පුංචි දුකකුත් තියනවා ඉස්සර වගේ සැහැල්ලු ජීවිතයක් ගතකරන්න ලැබෙන්නේ නැති එක ගැන.ගෙදර කොල්ලටයි කෙල්ලටයි දෙකටම හිටියේ මම විතරයි.කෙල්ලෙක් උනාට අම්මයි තාත්තයි මට කතාකලේ පුතේ කියලා.
මගේ අම්මා බොහොම සංවේදී කෙනෙක්. තාත්තගෙයි මගෙයි වැඩ කරන එක තරම් සතුටක් අම්මට තිබ්බේ නැහැ.ටීවී එකේ යන නාට්ටි බලන්නත් පොත් පත්තර කියවන්නත් අම්මා හුඟක්ම කැමතියි.තාත්තා නම් ටිකක් අමුතුයි.මම තාත්තාගෙන් දැකපු විශේෂම දේ තමයි නිෂ්ශබ්දතාවය. අපි දන්නවා තාත්තා අපිට කොයිතරම් ආදරේද කියලා.ඒත් තාත්තා කවදාවත් ඒ ආදරේ අපිට පෙන්නුවේ නෑ. සමහර වෙලාවල් වලදී අම්මා උනත් තාත්තාගෙන් බලාපොරොත්තු උන ආදරේ අම්මට ලැබුණේ නෑ කියලා මට වෙලාවකට හිතෙනවා.
මගේ විවාහයෙන් පස්සේ නිතරම වගේ  අම්මයි තාත්තයි කැමතිම දේවලුත් අරගෙන මම අම්මලාව බලන්න ගියා.ඒත් පහුගිය සතියෙම මට අම්මයි තාත්තයි එක්ක ගතකරන්න කාලයක් තිබ්බෙම නැති තරම්.
දවසක් මට කෝල් එකක් ආවා ගෙදරින්. තාත්තා බොහොම කලබලෙන් මට කතා කලේ.
" පුතේ... අම්මට ටිකක් සනීප මදි වගේ. පුතා ටිකක් ඇවිත් යන්න."
මගේ හුස්ම හිරවුණා වගේ දැනුණා. අනේ දෙවියනේ මගේ අම්මට මුකුත් කරදරයක් වෙන්න එපා. මම හිතෙන ප්‍රර්ථනා කළා. පුළුවන් තරම් ඉක්මණට කර කර හිටපු වැඩ ටික ඉවරයක් කරලා මගේ මහත්තයටත් කෝල් එකක් දීලා පණිවිඩේ කියලා මම ගෙදර යන්න ලැස්ති උණා. ඒත් මගේ හිතට අමුතු බයක් දැනුණා.ගෙදර යද්දී මලානික විදිහට අම්මා ඇඳේ වැතිරිලා හිටපු හැටි දැක්කම මාව පිච්චිලා ගියා. තාත්තත් අම්මා ළඟින් වාඩි වෙලා හිටියා.
" අම්මේ... අම්මට කොහොමද අම්මේ...? " අම්මගේ ඔළුව යාන්තමට අතගාන ගමන් මම ඇහුවම
" මගෙ පුතා ආවද...? මගෙ රත්තරං..." කියලා මාව ආදරෙන් තුරුළු කරගත්තා.
අම්මගේ ඇස් වලින් කඳුළු කැට කඩන් වැටුණා. ඒ අතර තාත්තා මට එළියට එන්න කියලා ඉඟියෙන් කතා කළා. " තාත්තේ... අම්මට මොකද තාත්තේ...? "
" පුතේ... අම්මා වැඩි කල් ජීවත් වෙන්නේ නෑ මගෙ පුතේ... අම්මා තව මාස තුන හතරකට වඩා ජීවත් වෙන්නේ නැහැ.අම්මට පිළිකාවක්  කියලා ඩොක්ටර් කිව්වා  පුතේ...." තාත්තගේ ඇස් වල කඳුළු පිරිලා.
අනේ දෙයියනේ... කාටවත් වැරද්දක් නොකරපු මගෙ රත්තරං අම්මට මෙහෙම දෙයක් උනේ ඇයි...?
මම තාත්තව බදාගෙන හඬාවැටුණා.අම්මව ගෙදර තියාගෙන බල බලා ඉන්න පුළුවන් කමක් තිබ්බේ නෑ.අපි අම්මව පුද්ගලික රෝහලක නැවත්තුවා.ඒ තරමටම අම්මගේ තත්වේ දරුණු තත්වෙක තිබුණේ.ඒ තත්වයත් එක්ක පොරබදින්නවත්, අම්මගේ ජීවිතේ ගැන පුංචි හරි බලාපොරොත්තුවක් තියාගන්නවත් පුළුවන් කමක් අපි කාටවත් තිබ්බේ නැහැ.ඒත් අම්මව නිතරම සතුටින් තියන්න මමත්,තාත්තත් පුළුවන් තරම් උත්සාහ කළා. අම්මගේ ඇඳ ලඟට වෙලා පැය ගණන් මම අම්මා එක්ක කතාකලා.ඒත් අම්මගේ හිතේ මොකද්දෝ දුකක් හිරවෙලා.අම්මගේ ඇස් වලින් මම දැක්කේ පසුතැවීමක් වගේ ගතියක්.
" කෝ පුතේ තාත්තා....? "
"තාත්තා ගෙදර ගියා අම්මේ.. හවසට එන්නම් කිව්වා.අම්මා තාත්තට හුඟක් ආදරෙයි නේද...?"
මං ඒක ඇහුවේ විහිළුවෙන්.අම්මගේ මුණේ ලස්සන හිනාවක් ඇඳුනා.
" මම  විතරක් නෙවෙයි පුතේ...ඔයාගේ තාත්තත් මට හරිම ආදරෙයි.ඒක මම දන්නවා. ඒත් කවදාවත් ඔයාගේ තාත්තා මට ආදරෙයි කියල කිව්වේ නැහැ... මගෙ උපන්දිනේකට සුභ පතලා නැහැ... ඔයාගේ තාත්තා හරි නිහඬ චරිතයක්.හැම දේම හිතේ හිරකරන් හිටියා.මගෙත් එක්ක අදහස් බෙදාගත්තේ හරිම අඩුවෙන්.ඒත් ඔයාගේ තාත්තා බොහොම හොඳ ගතිගුණ තියන කෙනෙක්..."
අම්මගේ ඇස් වලින් කඳුළු ගලන් ගිහින් කෝට්ටේ උඩට වැටිලා බොඳ උණා.ඒ මලානික ඇස් දිහා ටික වෙලාවක් මං බලන් හිටියා." මං ඔයාට ආදරෙයි" කියන වචන තුන අහන්න කවුද අකමැති...? අම්මා විතරක් නෙවෙයි ඕනම කෙනෙක් කැමතියි තමන් ආදරේ කරන කෙනාගෙන් ඒ වගේ දේවල් අහන්න. තමන් ආදරේ කරන කෙනාට තමන්ව කොයි තරම් වැදගත්ද...? විශේෂයිද...? කියලා අහන්න, නිතරම අදහස් හුවමාරු කරගන්න කවුද අකමැති...? කොයිතරම් හිතේ හිරකරගෙන හිටියත්, කොයිතරම් ආදරේ බව හැඟෙවවත්, එහෙම ආදරණීය දේවල් වචනෙන් අහන්න නැත්නම් ඒක ලොකු හිස්බවක් කියලා මට හිතුණා...
තාත්තා එද්දී අම්මට හොඳටම නින්ද ගිහින් තිබුණා.මම තාත්තවත් එක්කගෙන එළියට ගියා. අම්මගේ හුස්ම යන්න කලින් අම්මගේ සතුට වෙනුවෙන් පුංචි හරි දෙයක් කරන්න මට ඕන උණා.
" තාත්තේ..." මං කතා කළා.තාත්තා බර කල්පනාවක....
" තාත්තා කවදාවත් අම්මට ආදරෙයි කියලා කිව්වේ නැද්ද....? "
" මං මොකටද පුතේ ඒක කියන්නේ....? ඔයාගේ අම්මා දන්නවා මං කොයි තරම් ඔයාගේ අම්මට ආදරෙයිද කියලා...? " තාත්තා එහෙම කිව්වේ අම්මා ගැන හොඳටම දන්නවා වගේ ආඩම්බරයකින්.
" ඒත් අම්මා ආසයි තාත්තේ... තාත්තගේ කටින්ම ඒ දේ අහන්න..."
තාත්තා මගෙ දිහා බැලුවේ පරාජිත හැඟීමකින්...
" මගෙ පුතා දැන් ගෙදර යන්න.උදේ ඉඳන්ම හිටියනේ..." තාත්තා කිව්වේ එච්චරයි...
පහුවදා මම අම්මව බලන්න යද්දී තාත්තා අඬ අඬ පුටුවක වාඩිවෙලා හිටියා. මාව දැක්ක ගමන් දුවගෙන ඇවිත් මාව බදාගෙන අඬන්න පටන් ගත්තා....
" ඔයා හරි පුතේ... මම අම්මට ආදරෙයි කිව්වම අම්මා හුඟක් සතුටු උණා පුතේ... අම්මා ඒ තරම් ලස්සනට හිනා වෙලා ඉන්නවා මම කවදාවත් දැකලා නැහැ....මට දුකයි පුතේ... ඔයාගේ අම්මා මේ ඔක්කොම හිතේ හිරකරගෙන මගෙ හිත රිද්දන්නේ නැතුව හිටිය නේද කියලා හිතෙනකොට මට මහා පසුතැවීමක් දැනෙනවා පුතේ..."
" අඬන්න එපා තාත්තේ... දැන් යමු... මට අම්මව බලන්න ඕනේ..."
" අම්මා අපි දෙන්නව තනිකරලා ගියා පුතේ..."
මාව හිස් උණා වගේ මට දැනුණා.තාත්තව බදාගෙන මම හොඳටම හැඬුවා.
මගේ අම්මා... මගේ රත්තරං අම්මා...  අම්මගේ මුණේ හිනාවක් බලන්න මට බැරි උණා...
අම්මා අන්තිම මොහොතේ හරි සතුටින් ඉන්න ඇති...
මම අම්මා ලඟට ගියා. ඒ මුණේ ලස්සන හිනාවක් ඇඳිලා...
මම පහත් වෙලා අම්මගේ සීතලම සීතල නළල ඉම්බා.
ඉපදෙන හැම ආත්මයකම ඔයා මගේම රත්තරං අම්මා වෙන්න අම්මේ...

Writer : Chanika Dhilini Elapatha

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment