නිධානයක්...
'සුදූ... මොකද ඔය කරන්නේ.. බත් ටික කාල හිටපං...මේක යකෝ හරි මගුලක්නේ... ඉස්කෝලෙ පොතක් පතක් බලපංකො ඔහොම...'
අම්මා පාර අයිනට වී කවුදෝ සමග කදයක් දාගෙන අහවර වී කුස්සියට යන අතර තුර උණ්ඩි කරපු වදන් වලින් දමා ගැසුවද බිම එළූ පත්තර කොළයට නෙත් යුගලද.. දකුණු අත බත් ඇනූ මැටිකෝප්පේද ඔබාගෙන හිටි කෙල්ලට කන ගාවින් වත් ගිය පාටක් නෑ..
'මකාගෙ යලක්.. පියල් මාමගෙ චිත්‍ර කතාව .. කෙල්ල පත්තරේ ඉල්ලගත්තෙ ගමේ පහල සයිමන්ගෙ කොල්ලගෙන්...
අම්ම නම් කියයි අද හවස මේක කියවලා දෙන්නත් ඕනනෙ..
කෑම කාපු අත වේලිලා.. කියවලා ඉවරවුණු පත්තරේ අනිත් අතින් නමලා ස්ටූල් එක උඩට දාල හෙමින් හෙමින් කුස්සියට ගියෙ ආයෙ අම්ම දෙසා බායි කියල බයෙන්.. ඇට්ටරී උණාට අම්මට පන බයයි..
පොත්.. පත්තර.. සඟරා... ඒව තමයි රසම..
අකුරු ඉගන ගන්නත් කලින් ඇට්ටරී බැලුවෙ සදාවාසනා පත්තරේ රූප කතා..................... අනිත් වත්තෙ මාමලගෙ කොප්පර මැස්සෙ පොඩි අක්කයි ඒ මාමගෙ මල්ලියි ප්‍රේම කතාවට හිත් අමුණද්දි කෙල්ල කළේ රූප වලට කතා ගොතපු එක.........................
නාකි සිටුවරයයි........... එයාගෙ තරුණ බිරිඳයි .. තව තරුණ පිරිමි කෙනෙකුයි ගැන තමා කතාව කියලා ඇට්ටරී හිතුවා........ ඒකෙ ලියලා තිබ්බෙ මොකක් උනත් ඒක අදාලම නෑ.. තමන්ට හිතුණ කතාව මවා ගන්න එකයි කළේ..
කොච්චර පිස්සුද කියනව නම් තමන්ට වඩා ලොකු පන්තිවල ඉන්න උක්කුං.. තමරා.. පොඩි අක්කගෙ සිංහල බුද්ධාගම පෙළ පොත් කියවලත් ඉවරයි..
කිව්වට විශ්වාස කරන්න ලමයි කෙල්ල තාම දෙක වසරේ..
මේ පොත් කියවිල්ල හින්දා ගෙදර අයටත් විලි සංගේ නැතිවෙන වැඩක් උනා................ . දවසක් කෙල්ලට ලොකු පන්තිවල ඉගන ගත්තු අනුලක්කගෙ පරණ පොත් අයින් කරද්දි වරුවක් තිස්සෙ එතන ඇන තියාගෙන ගල් ගිලින්නා වගේ බලන් ඉඳල පොතක් හම්බු උනා......
කොල පාට පිට කවරෙ නමය ශ්‍රේණිය විද්‍ය ව් හා සෞඛ්‍ය.
ගෙදරට නෑදෑ කට්ටියක් එහෙමත් ඇවිල්ල.... ඔන්න රෑ චිමිනි ලාම්පු එළියෙන් ඒ පොත හයියෙන් කියවන්න ගත්ත...
'ප්‍රජනන සෞඛ්‍ය...'
පාඩමේ නම අහපු ගමන් අම්මට ඉහින් කනින් දාඩිය ගලන්න ගත්තා........... රොකට්ටුවක් වගේ ඇවිත් හිල් වෙන්න ටොක්කක් ඇනලා පොතයි කෙල්ලයි ඇතුල් කාමරේට තල්ලු කෙරුවෙ මේ දවස් වල වාහන වලින් යන ගමන් පාරට කුණු විසික්කරන වේගෙන්..
මේ වගේ දේවල් වලින් ඒ කියවිල්ල නවත්තන්න බැරි උණා..
දවසක් ඉස්කෝලෙ යද්දි බැනර් එකක් දාල.. මල් පියලි පොත් ප්‍රදර්ශනේ... .............
විවේකෙදි ඇට්ටරී පොත් අතරට රිංගුවා............... ඒ කතා ලෝකේ හිතේ හැටියට සැරි සැරුවා..
විවේකෙ ඉවර වෙලා එන්න ප්‍රමාදයි කියල අල්විස් ටීචර් හොඳ ගුටියක් දුන්නත් පොඩි එකීට චුට්ටක්වත් රිදුන්නෑ.................හිතේ තිබ්බෙ වෙනමම අදහසක්..
ඉස්කෝලෙ අහවර වෙලා
'එන්න නංගි යමු..' කියලා නදීකා අක්කා අඬගැහුවා..
'අක්කේ.. මට පොතක් ගන්න තියනවා.. අම්මට සල්ලි අරන් එන්න කියන්න..'
පොත් ප්‍රදර්ශනේ ගාව මෙන්න කෙල්ල නතර උණා..
අම්මා ඇවිත් පොතක් අරන් දෙයි.. ............පේර ගහට නැගලා ගමටම ඇහෙන්න කියවනවා.. හීන බලන අතරෙ ඇට්ටරී අම්මා එන පාරත් බැලුවා..
'දෙයියනේ..'
ගෙදරට ඇඳන් හිටපු චීත්තෙ පිටින් පනා කෝටුවකුත් අරගෙන උන්දැ එනව කියාපල්ලකො මහසොහොන් අවතාරේ ආරූඬ වෙලා වගේ..
රබර් සෙරෙප්පු දෙක යටින් දාඩිය දාල රත්වෙනව තේරුණා කෙල්ලට......... පොත් බෑග් එක පපුවට තද කර්ගෙන පාරෙ අනිත් පැත්තෙන් එක හැල්මට ගෙදරට ගියා..
ඔහොම ගියා කියල බේරෙයි............
පිටේ වැවරි හීන්න ගුටි කද්දි ඇට්ටරීට ඇඬුනෙ පාරවල් වල වේදනාවට නෙමේ.. ...............පොතක් ගන්න බැරි උණ නිසා..
ඉකිගහල ඉකි ගහල කෙල්ල හෙම්බත් වෙලා නිදා ගත්තා.. හීනෙන්තු පෙණුනෙ ඒ ලස්සන පොත් ටික..
හවස් යාමෙ ඇට්ටරීට ඇහැරුණා.. පුංචි හිතට ඕනෙ දෙයක් දරාගන්න පුළුවන්....................
ඒත්.....................
ඇඳ ගාව පත්තර් පිටි පන්සීයකින් විතර හදපු පොතක්..
'ඤාණාලෝකය.. විද්ව කෝෂය.. '
1969 ඉඳන් 1983 වෙනකම් සිළුමිණ අතිරේක වලින් පොතක් හදලා..
ඒකෙ මුල් කවරේ තිබ්බෙ ඇට්ටරී පුංචි කාළෙම දිව්‍යලෝකෙ ගිය තාත්තගෙ නම..
සේරම වේදනා අමතක කරලා .. ගුටි කාපු ලැජ්ජාවත් අමතක වෙලා මෙන්න කෙල්ල ඒක ආයෙම කියවන්න ගත්තා..
ගොම්මන් ඇඳුර වැටෙද්දි අම්ම කුප්පි ලාම්පුව ලං කළේ අඳුරට එළිය කැන්දමින්..
දැන් කෙල්ලට රෑටත් කන්න ඕනෙ නෑ කියල අම්ම දන්නවා..
පිටේ පලු දානකම් ගැහුවෙ තරහට නෙමේ............ අප්පත් නැතුව කෙල්ල හදන තමන්ට අලුත් කතා පොතක් අරන් දෙන්න අතේ සතේ නැති එක ගැන හිත කැකෑරුණු වේදනාවෙන්..........
මේ පොත අරන් තිබ්බෙ දැනුම් තෙරුම් එද්දි දෙන්න.. ඒ දවස කලින්ම ආව කියලා අම්මට තේරුණා..
'සුදූ.. '
ආයෙත් ගුටි කන්න බයෙන් කෙල්ල ඔළුව ඉස්සුවා.
'තව පොත් තියනව අප්පච්චිගෙ ටංකා පෙට්ටියෙ. අරගනින්..'
අම්ම පිටුපාල යන ගමන් චීත්ත පොටින් කදුළු පිහිද්දි කියාගන්න බැරි සතුටකින් ඇට්ටරීට කඳුළු ආවා..
ඒ තමයි නිධානෙ..
මල්කාන්ති රණතුංග
No comments:
Post a Comment