පුංචි කතාවක්

පුංචි කතාවක්.... (කෙටිකතාවක්)

මදාරා.. ඇය  පුහුණු ගුරුවරියක්..
මදාරට පළවෙනි ගුරු පත්වීම ලැබෙන්නෙ දුෂ්කර පාසලකට.. ඒත් ඇය ඒ පත්වීම සතුටින් බාර ගන්නවා.. මේ මදාරා ජයනෙත්තිට ඒ දුෂ්කර පාසල් ජීවිතේදි විදින්න හම්බුන සන්වේදී අත්දැකීමක්..

❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

මට මුලින්ම ලැබුනෙ ප්‍රාථමික අංශ දරුවන්ට උගන්වන්න.. පුංචි එවුන් එක්ක වැඩ කරන එක ලේසි නොවුනත් ඒ හුරතල් කටහඩවල් අහ අහා ඒ මල් වගේ මූණු 🌼🌼 එක්ක හරිම තෘප්තිමත් ගුරු ජීවිතයක් මට ලැබුණා..
වෙලාවකට මම එයාලගෙ ලෝයර්.. නැත්තම් නඩුකාර තුමිය..

කට උල් කර කර ඇවිත්,

"ටීචල් මෙයා මත ගහුවා.."

"ටීචර් මෙයා මත හිනාවෙනවා, අනේ එපා කියන්නකෝ.."

ඔන්න ඔහොම කියද්දි ඒ නඩුව මට අහක දාන්නම බැරි එකක් වෙනවා.. හරිම සුන්දරයි ඒ හැගීම්.. 😌

ඔහොම කාලයක් යද්දි තමයි මට 3 වසර පන්තිය බාර වුණේ.. ඒ පන්තියෙදි චූටිම කාලෙ පන්ති වගේ නෙමෙයී.. එක එක විදියෙ පොඩ්ඩො මුණ ගැහුණා.. විවිධාකාර ළමයී..
පන්තියෙ ගොඩක් ළමයි හොදට ඉගෙන ගන්න උනන්දුව තියන දරුවෝ වෙද්දි තවත් කොටසක් හිටියා කම්මැලිකමට හුරු වෙච්ච අයත් ඒ අතර හිටියා..

මේ ළමයි අතරම හිටපු පොඩ්ඩෙක් තමයි සයුරු සත්සර..
ඒ ළමයා පන්තියෙදි ගොඩක් දග කරන ළමයෙක්.. ඉදලා හිටලා තරහ යන වැඩත් කරනවා.. ඒත් මේ සත්සර මන් මුල ඉදන්ම ගොඩක් ආදරේ කරප්‍ය් දරුවෙක්.. දග වැඩ මොනා කළත් පොඩ්ඩා දෙන හැම ඉස්කෝලෙ වැඩක්මත් කළා.. කණ්ඩායම් වැඩ, ගෙදර වැඩ, මේ මොන දේ දුන්නත් හරිම ඕනකමින් ඒ දේවල් කරගෙන එන්න ඒ දරුවා දන්නවා..

දවසක්, මම දරුවන්ට කිව්වා ගෙදරදි "තාත්තා" ගැන රචනාවක් ලියාගෙන එන්න කියලා.. පහුවදා වැඩි පිරිසක් රචනාව ලියාගෙන එද්දි ඕනම ඉස්කෝලෙක ඕනිම පන්තියක වගේ ලියාගෙන ආපු නැති පොඩ්ඩො කීප දෙනෙකුත් හිටියා..
ඒත් කවදාවත් ගෙදර වැඩ මග නොඇරපු සත්සරත් රචනාව නොලිව්ව පිරිස අතර හිටියා.. මොකක් හරි අතපසුවීමකින් වත් රචනාව ලියන්න බැරි වෙන්න ඇති කියලා හිතලා මන් සත්සරට වගේම අනිත් අයටත් සමාව දුන්නෙ ඊළග දවසෙ අනිවාරෙන්ම රචනාව ලියන් එන පොරොන්දුව පිට..

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

එදත් රචනාව නොලියපු දරුවො කීප දෙනෙක් අතරෙ පුදුමෙකට වගේ සත්සරත් හිටියා.. එදත් සත්සර රචනාව ලියලා නෑ.. මට දැනුනෙ කුතුහලයක් වගේම දරුවා ගැන හිතට වේදනාවක්..

හැමදාම වැඩ නොකරන ළමයෙක් වගේ නෙමෙයි සත්සර වගේ හොදට වැඩ කරන දරුවෙක් වැඩ අතපසු කරනකොට ගුරුවරුන්ගෙ හිතට ඒක වේදනාවක් ගේන කාරණයක්.. වචනෙන් දරුවන්ට ඒ ගැන නොකිව්වත් මට දැනුන ඒ දුකත් එක්ක මම වැඩ නොකරපු පොඩ්ඩො ඔක්කොම දණගස්සලා තිබ්බා..

සත්සර දණගහගෙන ඉද්දි උනත් මම දැක්කෙ එයාගෙ වෙනදට වඩා හාත්පස වෙනස් හැසිරීමක්..
සැරෙන් සැරේ බයෙන් මගෙ දිහා බල බල දරුවා හිටියෙ නොසන්සුන්කමක් එක්ක.. වෙනදා දග මල්ලක් වෙච්ච සත්සරගෙන් එදා පෙනුනෙ තනිවෙච්ච හික්මිච්ච පෙනුමක්..  මම පන්තිය බාරගත්තට පස්සෙ මේ දරුවා  වරදක් කරපු පළවෙනි වතාව මේක..

"සත්සර මෙහාට එන්න.."

මම කතා කළාම පොඩ්ඩා ගුරු මේසෙ ළගට ආවා.. ඒ අහින්සක බැල්ම මට තාමත් මතකයී..

"ඇයි රචනෙ ලිව්වෙ නැත්තෙ..?"

ප්‍රශ්නෙ අහනවත් එක්කම ඔලුව උස්සලා මගෙ දිහා බලපු දරුවගෙ ඇස්වල කදුලු පිරිලා තියනවයි මම දැක්කේ.. දරුවට දුක නොහිතෙන්න මම ඉවසීමෙනුයි කතා කළේ..

"තාත්තා ගැන ලියන්න අමාරු නෑනෙ සත්සර.. ඇයි ලිව්වෙ නැත්තෙ කියන්නකො මට..?"

එහෙම අහද්දිත් දරුවා කතා නොකරම ඔහේ ගුරු මේසෙ දිහයි බලාගෙන හිටියේ.. ඒත් එක්කම මේසෙ උඩ තිබුණ රෙකෝඩ් බුක් එක උඩට වැටුනෙ වතුර වගේ දෙයක්.. එතකොටයි මම දැක්කෙ සත්සර අඩනවා.. රෙකෝඩ් බුක් එක උඩට වැටුනෙ පුංචි දගයගෙ කදුලක්..

"අනේ සත්සර.. පුතේ ඇයි මේ..?"

මන් ඒ චූටි නිකට ඉස්සුවෙ දරුවගෙ කදුලු පිහින්න..

"මම තාත්තා ගැන ලියන්න දන් නෑ.."

දරුවා කිව්වෙ එච්චරයී..

"ඉතින් පුතේ, අම්මගෙන් අහන්නෙපැයී.."

"මන් අම්මගෙන් ඇහුවා එක සැරයක්, එතකොට අම්මා ඇඩුවා.. ඉතින් මට ආයෙත් අහන්න බය හිතුනා අම්මා අඩයි කියලා.."

දරුවගෙ කදුලු හීන් ඉකියකට හැරිලයි තිබුණේ..

"ඇයි සත්සරගෙ තාත්තා නැද්ද ම්ම්..?"

"නෑලූ"

"මක්වෙලාද පුතේ..?"

"හොරු ගෙනිහින්ලු"

ඒ අන්තිම වචන ටිකට මගෙ පපුව පිච්චුනා වගේ මට දැනුනේ.. අදටත් ඒ අහින්සක ඉකිබිදුම මගෙ ජීවිතේ අමතක නොවෙන දෝන්කාරයක්..

ඒ මොහොතෙ දැනුන හැගීම මට අකුරු කරන්න බෑ.. දුකක්ද කළකිරීමක්ද කියලා නොතේරුන ඒ හැගීමත් එක්ක මම දරුවව ළගට අරන් ඔලුව අතගෑවෙ හැමෝටම හොරෙන් ඇස්දෙකට උනපු කදුලු පිටි අත්ලෙන් පිහින ගමන්.. 😔😔

පස්සෙ මට දැනගන්න ලැබුණා සත්සරගෙ තාත්තා අසූනමයෙ කලබල දවස්වල අතුරුදහන් වෙලාලූ.. එතකොට දරුවා මාස ගානක අත දරුවෙක්ලූ..

මේ වෙද්දි සත්සර  වෙන පන්තියක.. දරුවා දැන් 5 වසරේ..

ඒත් අදටත් දරුවා මට දක්වන්නෙ හරිම ලැබැදි සෙනෙහසක්.. මගෙ හිතටත් සත්සර සන්සාරෙ කවදමහරි හුරුපුරුදු දරු සෙනෙහසක් මතක් කරනවා..

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

සැ:යුතුයී.. මෙය සත්‍ය සිද්ධියක් ඇසුරින් නිර්මාණය කරන ලද්දකී..

මේ කතාවෙන් ගන්න ආදර්ශයක් නැතුව ඇතී.. ඒත් දුකට හුරු අමුතු  හැගීමක් සන්වේදී කමක් ඔයාලට දැනෙයි කියලා හිතුවා මේකෙන්..

මේ ලෝකෙ පියෙක් අහිමි හැම දරුවෙක්ටම කොහෙන්හරි කාගෙන්හරි අසීමිත ආදරයක් සෙනෙහසක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා..

යාලුවනේ, ආදරේට සෙනෙහසට අපේ ජීවිතවලට සල්ලි වලින් කරන්න බැරි තරම් මහා විප්ලවයක් කරන්න පුළුවන්..

මනුස්සකමයි වටින්නේ..

අමු අමුවෙ මිනී මරාගන්න ලෝකෙක, මිනිස්සුන්ගෙ ආකල්ප බින්දුවට වැටිච්ච ලෝකෙක, සත්සර වගේ තවත් පුංචි පොඩ්ඩො ගොඩක් තනි වෙලා ඇතී.. අම්මා තාත්තා ගැන පේළි පහක් ලියාගන්න බැරුව ඒ හිත් ඉකිබිදිනවා ඇතී.. .. වැරැද්ද කාගෙද මන් දන් නෑ.. තීරණය අපි අපිටම බාරයී....
.
.
බුදු සරණයි හැමෝටම..
.
.
සෞමි සෙනාරා

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment