අහිංසකි

#කතාව_කියවලා_අදහස_කමෙන්ට්_කරන්_යන්න ❤📖

😍?අහිංසකී.😉👇`_´¿

" සුදු මහත්තයා ඇහැරෙන්නකෝ ඉතිං දැන් ඇතිනේ දොයිගත්තා "

" ඉන්න මගේ මැණික ටිකක් දොයිගෙන නැඟිටින්නම්කෝ අද ඔෆිස් යන්නත් බෑ වගේ "

" අනේ අනේ කම්මැලියෝ නැඟිටින්නකෝ ඔයා ඔහොම කම්මැලි උනොත් පැටවුන්ටයි මටයි කන්න දෙන්නේ කවුද අහ් "

එහෙම කියලා සඳලි මාව ඇහැරවන්න ගත්තා. " සඳලි " එයා තමයි මගේ නෝනා. දැනට අපි බැඳලා අවුරුදු 27ක් වෙනවා. තාමත් ඉස්සර වගේම ආදරෙන් අපි ඉන්නවා. හෙට අනිද්දට මගේ ලොකු දෝණිගේ විවාහයත් සිද්ධ වෙනවා. මමත් විශ්‍රාම යන්න වැඩි දවසකුත් නෑ.

ඉස්සර මම ගොඩක් සෙල්ලක්කාරයි. ඒත් මගේ සඳලි නිසාම මං ගොඩක් දුරට හැඳුනා. එයා මට හැමදේම කියලා දුන්නා. ජීවිතේ සතුටින් ගෙවන්න ආදරේ ඇති කියලා එයා මට කියලා දුන්නා. මං ඉස්සර නම් සෙල්ලමටත් එක්ක කෙල්ලෝ ආශ්‍රය කරපු අමුම අමු කුපාඩියෙක්. ඒත් සඳලි නිසා එයාගේ ආදරේ නිසා අපේ ලෙයින් උපන් මගේ පැටව් තුන්දෙනා නිසා මට හැදෙන්න එච්චර කල් ගියේ නෑ. අතීතයේ මං කරපු වැරදි මතක් වෙද්දි සඳලිව බදින්න කලින් එයා එක්ක ආදර සම්බන්ධය තියෙද්දි එයාගෙන් නොලැබෙන පහස වෙන අයගෙන් හොයන්න ගියපුවා එහෙම මතක් වෙද්දි මං සඳලිගෙන් අදටත් සමාව ගන්නවා. මොකද එයා මට කවදාවත් වචනයකින්වත් වැරැද්දක් කරලා නෑ. එතකොට එයා නම් කියන්නේ අතීතේ නෙවෙයි වර්ථමානයයි යහපත් වෙන්න ඕනේ කියලා. ඒක ඇත්ත කියලා මටත් හිතෙනවා.

වයසට ගියත් සඳලි මං ගැන තිබුණ ආදරේ අඩු නොකරද්දි මං ගොඩක් වාසනාවන්තයි කියලා නිතරම මට හිතුණා. මං සඳලිට ආදරේට කිව්වේ අහිංසකී කියලා. දරුණු මැර කුපාඩි ගති තිබුණ මාව හොද මනුස්සයෙක් කරේ එයා. අපේ දෙමව්පියෝ අපිට අකමැති උනත් මාව හදාගන්න පුළුවන් කියන විශ්වාසය නිසා එයා ආවේ මගේ ළඟට. එහෙම ආව එයාට කිසිම අඩුපාඩුවක් නැතුව අද වෙනකල්ම මං සැලකුවේ ආදරෙන්.

අපේ පුංචි කැදැල්ලට පුංචි කුමාරිකාවක් තමයි මුලින්ම ආවේ. එයා සහංසා නෙත්මි ජයවර්ධන. ඊට පස්සේ තමයි අපේ පුතු පැටව් දෙන්නා ආවේ එක්කෙනෙක් සහස් විස්මිත ජයවර්ධන. අනිත් කෙනා සසෘ විනෝත් ජයවර්ධන. අහ් කියන්න බැරි උනානේ මම ශමිඳු අනෝජ් ජයවර්ධන.

අපේ පුංචි පවුලේ ආදරේ වගේම සතුටත් ගොඩක් තිබුණා. තව මාසෙකින් මගේ ලොකු දෝණී බඳිනවා. එයාගේ එන්ගේජ්මෙන්ට් එකටත් මට ඉන්න බැරි උනේ ඔෆිස් එකේ වැඩකට ඇමරිකා යන්න උන නිසා. දෝණිගේ ආදරේට විරුද්ධ වෙන්න බැරි කමටම මං අකමැති උනේ නෑ ඒ කිසිම දේකට. එයාගේ සතුට අපෙත් සතුට. අපි එහෙමයි හිතුවේ.

කාලේ ගෙවෙන්නේ හරිම ඉක්මනට. හිතාගන්නවත් බැරි තරම්. දෝණිගේ එන්ගේජ්මෙන්ට් එකටත් මට ඉන්න බැරි උන නිසා විවාහයේ වැඩ ටිකත් මං බොහොම සාරේට කරන්න හිතාගත්තා. දවසින් දවස දෝණිගේ විවාහය ළං වෙද්දි අපි හැමෝම කාර්‍යබහුල උනා. දෝණී තෝරගෙන තියෙන්නේ එයාටම ගැළපෙන නියම කෙනෙක් අලුත් බෑනා එක්ක කිහිප වතාවක්ම කතා කරපු මට එහෙම හිතුණා. ඒ කොලුවා ගොඩක් හොඳ ගුණයහපත් කෙනෙක්. බැලූ බැල්මට කෙල්ලෝ ඇඳලා ගන්න පුළුවන් ආකර්ශනයක් තිබුණට මං නම් ටිකක්වත් දැක්කේ නෑ කෙල්ලෙක් දිහා නිකමටවත් බලනවවත්. ඒ මදිවට කෙල්ලොන්ගේ ඉඟියකටවත් උදව්වක් කරනවාවත්. හරිම පුදුමයි මට ඒ කාලේ මං හිටිය විදිහට අද හැමදේම වෙනස් ලෝකෙක මෙහෙම කොල්ලෙක් හිඳීමත් හිතාගන්න බෑ. මගේ දෝණී හොඳම කෙනා හොයාගෙන.

..............................................................

විවාහයට දවස් තුනකට කලින්.....

" මහත්තයා අනේ ඉක්මනට ගෙදර එන්න ලොකු දෝණී ශොපින් ගිහින් තාම ආවේ නෑ. දැන් රෑ 12ටත් ළඟයි මට බයයි මහත්තයා "

දෝණිගේ විවාහයට සූදානම් වෙන්න ගොඩක් දේවල් තිබුණ නිසා එදා මමත් මගේ බෑනත් ගෙදරින් පිට හිටියේ. ඒ අතරදි තමයි ගෙදරින් හදිස්සියෙම කෝල් එකක් ආවේ. මං ඉක්මනට ගෙදර ආවේ මගේ දෝණී බදින්න හිටිය කෙනා එක්කමයි. මං කතා කරන්නත් කලින් ගෙදරට ආව ගමන්ම ඒ පුතා දෙව්‍රම් කතා කරා සඳලිට.

" ඇයි අම්මේ සහංසා කොහෙද ගියේ. මට කිව්වෙත් නෑනේ කොහෙවත් යනවා කියලා අනික ඇයි තනියෙන් යැව්වේ මල්ලි කෙනෙක් එක්ක හරි යවන්න එපැයි "

" නෑ පුතාට ගිෆ්ට් එකක් දෙන්න කියලා තමයි ඔය ගියේ කෝ තවමත් නෑ. මට හිතාගන්න බෑ කොහෙද ගියේ කියලා ෆෝන් එකත් වැඩ කරන්නේ නෑ ඒකත් ඕෆ් "

" හරි අම්මේ මං බලන්නම් යාලුවොන්ටත් කියලා අපි හොයලා බලමු "

" මල්ලි යමු මං එක්ක "

කරන්නේ මොකක්ද කියලා හිතාගන්නවත් බැරිව මං එතනම ගල් ගැහෙද්දි මගේ දෝණී හොයාගත්ත ආදරේ තාත්තා කෙනෙක් වගේ ඉස්සර උනා. මට මගේ දෝණිට මොකක්ද උනේ කියලා හිතේ ඇති උන වේදනාවට බයටත් සීමාවක් පනවගන්න පුළුවන් උනේ දෙව්‍රම් නිසා. එයා හැමදේම බලාගනියි. මට එහෙමයි නිතරම හිතුණේ.

සඳලිව වත්තන් කරගෙන එයාව සනසන ගමන් මං ඔලුව අතගෑවා.

" අපේ දුව ඉක්මනට එයි සඳලි "

" ඔව් මහත්තයා එයා එයි එයාට කරදරයක්ද දන්නේ නෑ මහත්තයා මට බයයි ගොඩක් "

" බයවෙන්නෙපා සඳලි මං වැරදි කරත් ඔයා කවදාවත් වැරදි කරලා නෑනේ ඉතිං මොකුත් වෙන්නේ නෑ "

" එහෙම කියන්න එපා මගේ දෙයියෝ ඔයා නරක නෑ ඔයාගේ යාලුවෝ නිසා ඔයා නරක් උනා විතරයි "

ගොඩක් දේවල් අපි දෙන්නා කතා කර කර ඉද්දි මගේ දුරකථනය නාද උනා.

" හෙලෝ තාත්තේ "

ඔව් ඒ දෙව්‍රම්ගේ කටහඬ.

" කියන්න පුතා මගේ දෝණී හම්බුණාද "

ගැහෙන කටහඬින් මම පිළිතුරු දුන්නා.

" ඔව් තාත්තා හම්බුණා. ඉක්මනට එන්න කුරුණෑගල හොස්පිටල් එකට. සහංසට පුංචි කරදරයක් වෙලා කලබල වෙන්න එපා එයා හොඳින් "

එහෙම කියලා දෙව්‍රම් දුරකථනය විසන්ධි කරා. මමත් සඳලිත් ඉක්මනට හොස්පිටල් එකට ගියේ වෙලා තියෙන්නේ මොකක්ද කියලාවත් නොදැනයි.

" ඇයි මගේ කෙල්ලට මොකද උනේ දෙව්‍රම් "

හොස්පිටල් එකට ගියපු ගමන් සඳලිටත් කලින් මං ඉස්සර උනා. ඒ දුවලට තාත්තලා ගොඩක් ආදරේ නිසා වෙන්න ඇති.

" කලබල වෙන්න එපා තාත්තේ සහංසා හොඳින්. එයාව කවුදෝ කට්ටියක් රේප් කරලා "

" දෙවියනේ මගේ දෝණී "

එහෙම කියලා ඔලුවේ අත තියාගෙන සඳලි බිම වැටෙද්දි මගේ ඔලුවේ ඉදන් කකුල් වලට යනකල්ම අකුණක් ගැහුවා වගේ උනා. මට හිතාගන්නවත් බැරි උනා මොකක්ද මේ උනේ කියලා.

බිම වැටුන සඳලිව නැඟිට්ටවලා තුරුළු කරගෙන හිටියේ දෙව්‍රම්.

" මොකක්ද මහත්තයෝ අපිට මේ උනේ "

හොස්පිටල් එකේ හයියෙන් කෑ ගගහා සඳලි මගෙන් අහද්දි මට ඒකට උත්තර දෙන්නවත් බැරි උනා. ඉස්සර මං කරපු පව් මගේ දරුවෝ පිටින් යනවද කියලා මට හිතෙන්න ගත්තා. දෙවියනේ මං අනාත කරපු කෙල්ලොන්ගේ පවුල් වල අයත් මෙහෙමම අඩන්න ඇති නේද??? මට එහෙම හිතෙන්න උන නිසාම මං එතනින් එහාට ගියේ මළකඳක් ගාණටයි.

ගණන්ගන්නෙපා තාත්තේ හිතන්නෙපා අම්මේ වෙන දේකට මූණ දෙමු කියලා මාවයි සඳලිවයි සනසන්න දෙව්‍රම් ගොඩක් මහන්සි උනා.

.......................................................

" මම සහංසව හෙට බඳිනවා සැලසුම් කරපු විදිහට හැමදේම සිද්ධ වෙයි "

දවස් දෙකක්ම මගේ දෝණිට මූණ දීගන්න බැරිව හිටිය මට දෙව්‍රම් එහෙම කිව්වම හිතාගන්න බැරි උනා.

" ඒත් පුතේ "

" ඒත් මේත් නෙවෙයි තාත්තේ මං සහංසව බඳිනවා. මං එයාට ආදරෙයි එයාගේ මොන දේ නැතත් ඒ නැති උනේ එයාගේ වරදින් නෙවෙයිනේ "

" ඒ මොන දේ උනත් දෝණී කැමති වෙන එකක් නෑ පුතේ මේ තත්වේ ඉදගෙන ඔයාට බරක් වෙන්න "

" මං මුලින්ම කියද්දි බෑ කිව්වා තාත්තේ ඒත් මගේ ආදරේ එයා දන්නවා එයාගේ ආදරේ මං දන්නවා අපිට අපි ආදරේ නිසා අපි අපේම වෙන්න කැමතියි තාත්තේ "

" පුතාගේ ගෙදරින් මේ දේවල් දැනගෙනත් කැමති වෙයිද පුතේ "

" නෑ තාත්තේ මගේ ගෙදරින් අකමැති වෙන්නේ නෑ එයාලා මෙහෙම දේකට අකමැති නෑ ඒ අය දන්නවා සහංසා ගැන. එයාගේ චරිතය ගැන එයාලා ගොඩක් පැහැදීමකින් හිටියේ "

" ඔයාලගේ කැමැත්තක් කරන්න පුතේ, ඔයා මගේ දෝණිව අද අතෑරියත් අපි ඔයාට දොස් කියන්නේ නෑ "

" ඔයාලා දොස් කියයි කියන දේ නිසා නෙවෙයි තාත්තේ මං සහංසව බදින්නේ, එයාගෙයි මගෙයි ආදරේ නිසයි අපි බඳින්නේ "

.............................................................

හිතුවා වගේම ලස්සනට මගේ දෝණිගේ විවාහයේ වැඩ ලස්සනට ලෑස්ති කරගත්තා අපි.

මගේ දෝණී බදාගෙන මං විවාහයට කලින් දවසේ රෑ ඇඩුවේ තාත්තා කෙනෙක් නෙවෙයි පොඩි දරුවෙක් වගේ. සිද්ධ උන හැමදේටම තාත්තා නෙවෙයි වැරදි කියලා මගේ හිත සනසලා මට මේ ලෝකේ ඉන්න හොඳම තාත්තා ඔයා කියලා එදා මගේ දෝණී කිව්වා.

විවාහය දවසේ මට එක පුරුදු මූණක් දකින්න ලැබුණා. ඔව් ඒ මීට අවුරුදු 28කට විතර කලින් මගෙන් වැඳ වැඳ ජීවිතේ ඉල්ලපු කෙනෙක්. අදටත් ඒ මූණ එහෙමමයි. හිස කෙස් ටිකක් සුදු වෙලා තිබුණත් ඒ ලස්සන ඒ විදිහමයි.

මගේ ළඟට ඇවිත් එයා මට කතා කරා.

" හෙලෝ මිස්ටර් ජයවර්ධන "

" හෙ...ලෝ... "

වෙව්ලන කටහඬින් මං එහෙම කියද්දි ඒ මූණේ කිසිම වෙනසක් නැතුව ලෙංගතු හිනාවක් විතරයි තිබුණේ.

ඒත් එක්කම අපි ළඟට ආවේ දෙව්‍රම්.

" ආ තාත්තේ මේ මගේ පුංචි අපේ අම්මගේ නංගි "

" ආ එහෙමද "

මං එතනින් යන්න හදද්දි දෙව්‍රම් මාව නැවැත්තුවා.

" තාත්තේ ටිකක් කතා කරන්න ඕනේ "

" කියන්න පු...තා... "

" තාත්තට මතකද මගේ පුංචිව "

" ඔ...ව්ව්ව් පුතා... "

" තාත්තා එදා මගේ පුංචිව යාලුවෝ එක්ක එකතු වෙලා අනාත කරලා තිබුණේ එයාගේ වෙඩින් එකට කලින් දවසේ. තාත්තා දන්නවද ඒ නිසාම එයාගේ වෙඩින් එක නැවතුණා. එයා අදටත් කසාඳයක් කරගෙන නෑ. එදා මගේ අම්මයි පුංචියි ඔයාගේ ළඟට ඇවිත් වැඳ වැටිලා පුංචිව බාරගන්න කිව්වම ඔයා කියලා තිබුණේ මොකක්ද තනියෙන් නෙවෙයි අනාත කරේ අනිත් උන්ට කියන්න කියලා නේද. ඒත් තාත්තේ ඔයා නේද ඒ හැමදේටම මුල් උනේ. ඔයා නේද පාඩුවේ ජොබ් එක කරන් හිටිය මගේ පුංචිව උස්සගෙන ගිහින් රේප් කරේ. "

" පුතා... ඔයා "

" ඉන්න තාත්තේ තාම ඉවර නෑ "

මගේ අතීතය ගැන මේ තරම් දැනගෙනත් තමන්ගේ පුංචිට මෙහෙම කරපු කෙනාගේ දුවව බඳින්න තරම් හිතක් කොහොමද දෙව්‍රම්ට ආවේ. ඒ ගැන ඇති උන කුතුහලේ නිසාම මං අහන්න යද්දි දෙව්‍රම් මාව නැවැත්තුවේ එහෙමයි.

" තාත්තා දන්නවද ඔයාගේ දුවගේ ජීවිතේ අද අපායක් නොවී තියෙන්නේ මෙන්න මේ පුංචි නිසා. එයා මට ආදරේ කියන්නේ මොකක්ද කියලා කියලා දුන්න නිසා. පුංචි කාලේ ඉදන්ම මං හැදුනේ මෙයා එක්ක. අම්මට වඩා මං ආදරේ පුංචිට. එයාට ඔයා ජීවිතේ නැති කරා. ඒත් එයාට මං වගේම අපේ පවුලේ හැමෝමත් ඉන්නවා. තාත්තිගේ දෝණී නේද තාත්තගේ ජීවිතේම. අද ඒ ජීවිතේ හිනාවෙන් වර්ණවත් කරේ මගේ මේ පුංචි කියලා දුන්න ආදරේ සුවඳින්. තාත්තේ කෙල්ලෝ මල් වගේ කවදාවත් පොඩි කරන්න හිතන්නවත් හොද නෑ. අපිත් දවසක තාත්තලා වෙනවනේ. එදාටයි තේරෙන්නේ කෙල්ලෝ කියන්නේ මල් කියලා.

ලොකු කතාවක් කියලා මගේ ඇස් කඳුලින් තෙත් කරලා පුංචිවත් එක්කගෙන දෙව්‍රම් එතනින් යද්දි මං ඇස් පොඩි කරගෙන ඒ දිහා බලන් හිටියා. එදා මං ළඟ ජීවිතේ සතුට ඉල්ලලා වැඳ වැටුන ඒත් ඒ ජීවිතේ මං නොදුන්නත් තරහක් නැතුවම මගේ ජීවිතේ සතුට අද මට දුන්න ඒ අහිංසක යුවතියට හිතින් ගොඩක් මං පිං දුන්නා.

..........................................................

පිරිමින්ට ජීවිතේ සෙල්ලමක් වේවි. අද එක කෙල්ලෙක්ව හෙට තවත් කෙල්ලෙක්ව විනාශ් කරාවි. ආදරේ නාමයෙන් මුලා කරලා හෝ කාමයේ වියරුවෙන්. ඒත් යම් දවසක ඔබත් තාත්තා කෙනෙක් වේවි. එදාට ඔබේ දුවත් ඔබ අද අසරණ තත්වෙට පත් කරන යුවතියගේ තැනට පත් උනොත්??? එදාට ඔබට තවත් එක දෙව්‍රම් කෙනෙක් මුණ නොගැසුනොත් ඔබේ ලෙයින් උපන් ඔබේම දුවලා දුක් විඳීවී. හැදෙන්න තිරිසන් ගති නැති සැබෑම අය ලෙස. පිරිමියෙක් කියන්නේ ගෑණු ගොඩක් එක්ක නිදි වඳින අයටවත් කෙල්ලන් ගොඩක් රවටා අසරණ කරන අයටවත් නෙවෙයි. ජීවිතේ එකම එක හදවතක් ළඟ ආදරෙන් බැඳෙන, ඒ ජීවිතේ ළඟ හැමදාමත් රැදෙන එකම එක්කෙනෙක්ට පමණක් සීමා වී ජීවිතේ රස සොයන කෙනෙක් වේ නම් අන්න ඔහුයි සැබෑම පිරිමියා.

පිරිමින් යැයි කියා ගන්නා දහසක් දෙනා අතර සිටින සැබෑම වූ පිරිමියෙක් වෙන්න. අන්න එවන් අයට මාගේ හිස නමා ආචාරය🙏..

උපුටා ගැනීම තියරිය පේජ්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment