කතාවක්....
ගතින් ඉන්නට නැතත් ලංවී...
සිතින් යන්නට එපා වෙන්වී... 👫 💍
හැමදාම වගේ අදත් මහ පාන්දරම ඇහැරුනේ එහා වත්තෙ ඇග්නස් නැන්දලෑ නාකි කුකුලගෙ මර ලතෝනිය ඇහිලා... වෙලාවකට හිතෙනවා මුගෙ හොටට රබර් පටියක් දාලා එන්නත්... කුකුලගෙ සද්දෙට දෝනිත් නැගිටලා කෑ ගහන්න ගත්තේ කුක්කු ඉල්ලලා.. වදෙන් පොරෙන් දෝනිව නිදි කර ගත්තට මොකෝ ඒ අතටම හැරිලා ආපහු මටත් නිකම්ම නින්ද ගියා...
ඊලඟට ආපහු ඇහැරුනේ ගම දෙවනත් කරමින් ඇහුන රතිඤ්ඤා හඩට... අද සුමනා නැන්දලෑ ලොකු කෙල්ලගෙ කසාදෙ... ඇදේ ඉදංම ඔරලෝසුව දිහා බැලුවේ පුරුද්දට වගේ... වෙලාව 7.15ත් වෙලා... නයිටියට උඩින් හවුස්කෝට් එකත් දාගෙන කුස්සියට ගියේ දෝනිටත් එක්කම කිරි ටිකක් හදන්න හිතාගෙන..
ඉස්සරහා ජනේලෙ කූරු අස්සෙන් ඉර එලිය ටිකක් සැරට ඉස්තෝප්පුව දිගට තීරු තීරු වගේ වැටිලා දෝනි නිදන් ඉන්න කාමරේ දොර රෙද්ද ගාවටම ගිහින්... දෝනිව ආරක්ශා කරන පවුරක් වගේ දොර රෙද්ද පොඩි සෙලවීමක් වත් නැතුව ඔහේ තියෙනවා... උදේට වැටෙන ඉර එලිය ඇගට හොදයිලු... ඩී විටමින්ලු කියලා ඉස්කෝලේ යද්දි කිව්වා මතකයි... ඒ හින්දම කිරි එකත් අරන් ඉස්තෝප්පුවෙ තියලා තියන වේවැල් පුටුව උඩින් ඉදගත්තේ ඈත තියන යකඩ ගේට්ටුව දිහා බලාගෙමයි...
කෝප්පෙ මූණ ලගට ගද්දිම වගේ මටත් නොදැනම මගේ වම් අත දිහා බැලවුනේ ඒ එක්කමයි... වෙදැගිල්ල පාලුවට ගිහින්... ඉහලට ගත්ත හුස්ම ටික හෙමින් සැරේ වා තලයට මුසු කරේ හිත සැහැල්ලු කර ගන්න කියලා හිතලා වුනත් හොරෙන්ම හිත ටිකක් අතීතෙට ගියා..
අවුරුදු දෙකකට කලින් තිබුන ඒ අතීතෙට මං ගොඩාක් ආදරෙයි... එදා වගේමයි.. මතකයි ඔයාව දැකපු ඒ මුල්ම දවස.. එයත් එක්ක ආපු වෙලාවෙ නිකමට වගේ මම ගොඩාක් අය දිහා බැලුවත් මගෙ ඇස් දෙක එක පාරම නැවතුනේ ඔය ගාව... හ්ම්.. එදා බලපු එක බැල්මෙන් මගේ හිත ඔයා හොරකම් කරා.. ඒක ඇත්ත.. මං ඔයාට ආදරේ කරන්න පටන් ගත්තෙ අන්න එදා ඉදලමයි... ඒත් එයා දැනගෙන හිටියෙ නෑ මං ඔයාට ආදරේ කරන වගක්..
හ්ම්... අද වගේ මතකයි අපේ වෙඩින් එක.. එදා ගොඩාක් ලස්සන දවසක් වුනා.. ඔයා මං එක්කම මගෙ ලගින්ම හිටියා.. එදා වෙඩින් එකට ආපු හැමෝම කිව්වෙ ඔයා මට හරි අපූරුවට ගැලපෙනවා කියලා.. වෙඩින් එකට ආපු කෙල්ලො සේරගෙම වගේ ඇස් තිබුනෙ ඔයා දිහාවට.. එවෙලෙ නම් මගෙ හිතේ ඔයා ගැන ලොකු ආඩම්බරයක් ආවෙ මටත් නොදැනමයි..
එදා ඉදන් ඔයා මගෙ ලගින්ම හිටියා.. මට මතකයි... හැම වෙලාවකම ඔයා හිටියෙ මාත් එක්කමයි.. ඒත් කාලය කියන්නෙ මහා අමුතු දෙයක්... කාලය විසින් හැමදේම වෙනස් කරනවා කියලා මං දැනගෙන හිටියත් ඒක මෙච්චරම ඉක්මනට වෙයි කියලා නම් හීනෙකින්වත් හිතුවෙ නෑ මං... ඔයා ටික ටික මගෙන් ඈත් වෙන්න පටන් ගත්තෙ හරියටම අපේ දෝනිට හත් මාසයක් විතර වෙද්දි...
මුලින් මුලින් හේතුවක් හිතා ගන්න බැරි වුනත් අපිව ඈත් කරපු කාලය විසින්ම ටික ටික මට ඒ දේ තේරුම් කරලා දුන්නා..
"ඔයා මහත් වෙලානෙ ගොඩාක්.. ටිකක් ඇග අඩු කර ගත්තොත් නරකද..??"
එදා අම්මා මගෙන් එහෙම ඇහුවෙ නිමාඩුවට ගෙදර ගිය දවසක.. එදා මුලු රෑම මං කල්පනා කලා.. එතකොට මට තේරුනා ඔයයි මමයි ඈත් වෙන්න මූලිකම හේතුව මගෙ මහත කියන එක.. එදා නම් හිත ගොඩාක් රිදුනා... කොච්චර දෙව්වල් කරත් අපි දෙන්නා ලං වෙනවට වඩා සිද්දවුනේ තව තවත් ඈත් වෙන එක... අද වෙනකොට අපි දෙන්නා සදහටම වෙන්වෙලා වගේ.. එක ගෙදර හිටියත් ඔයා එක තැනක මං තව තැනක... ඒත් ඔයා අදටත් ඉස්සර වගේම,මං ඔයාව දැකපු මුල්ම දවස වගේම ලස්සනයි... හ්ම් ඇත්තමයි....
මෙච්චර වෙලා හිටපු හීන ලෝකෙන් එකපාරටම මිදුනෙ හදිස්සියෙම වගේ ගේට්ටුව ලගින් ඇහුන සද්දෙ හින්දයි..
"මොකද සුදූ ඉස්සරහා ඉදගෙන කල්පනා කරන්නෙ...?? වෙඩින් එකට යන්න ලෑස්ති වෙන්නෙ නැද්ද...??ඔන්න ඉක්මනට එන්න කිව්ව නිසා උදේම ආවා... කෝ මගෙ දෝනි පැටියා දොයිද...??"
"කිරි එක බිබී ඉද්දි නිකම්ම වෙලාව ගියා මහත්තයෝ... ඔයා එනවා දැක්කෙවත් නෑ... ඔව්.. දෝනි දොයි තවම... කෝ යමු.. වොශ් එකක් දා ගන්නකෝ... මං තේ එකක් හදන්නම් ඉක්මනට..."
අද මට ඔයාව ඕනම දවසක්.. ඒත් අද මට ඔයා නැතුවයි යන්න වෙන්නෙ.. වෙඩින් එකට එන හැමෝම මගෙන් අහයි ඔයා ගැන.. කෝ කියලා.. මං මොකද කියන්නෙ එතකොට... ??
එහෙම හිත හිත කාමරේ අල්මාරිය ගාවට යැවුනේ ඉබේටමයි... තව එක පාරක් ඔයාව බලන්න ඕන කියලා හිත වද කරා... හෙමීට හෙමීට ලාච්චුව ඇරියා...
අනේ.... ඔයා තාමත් දිලිසි දිලිසි මං දිහා බලාගෙන... ඔව් ඔව්...ඔයා හරි... වෙන මුකුත් නෙමෙයි... ඒ "මගෙ මගුල් මුද්ද..." 💍💍
...... නිමි......
උපුටා ගැනිමක්
No comments:
Post a Comment