#දෙනෙත්_බොද_කළ_දෙනෙත්
එක දිගටම වැටෙන වැස්ස දිහා මම බලාගෙන හිටියෙ හරිම දුකින්. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි, මේ වැහිබින්දු අතරිනුත් මට ඔයාව මැවිලා පෙනුණ නිසා. මේ මහ වැස්සත් කලුවරත් මට ඔයාවම මතක් කරන්නෙ ඇයි කියලා මම දන්නෑ. සමහරවිට මගෙ මතකෙන් තාමත් ඔයා ඈත්වෙලා නැති නිසා වෙන්නැති. වහින වැස්සටත් වඩා මගේ ඇස්වලට කදුලු පිරුණෙ පරණ හැම මතකයක්ම සැරින් සැරේ මගේ හිත හාරන හින්දා...
නුවර පන්ති යන්න පටන් ගත්තට පස්සෙ මට හරියට අත්තටු හම්බවුණා වගේ.....
හිතට පුදුම නිදහසක් දැනුණෙ. ඒ මුලු සතුටම හිතේ පුරවගෙන මම පන්ති යන්න ලෑස්ති වුණා. හැමදාම වගේ මම එදත් කෝච්චියෙ ජනේලෙන් එළිය බලාගෙන ආවා. සතියෙන් සතිය දකින දේවල් වල වෙනසක් නොතිබුණත් ඒ හැම දේකම අලුත් ලස්සනක් මම දැක්කා. කදුහෙල් දිය ඇලි පහුකරගෙන යන අතරෙ කෝච්චිය සරසවි උයන ස්ටේශන් එකෙන් නැවැත්තුව. කෝච්චියට නගින්න දගලන මිනිස්සු දිහා බලන් හිටපු මගේ දිහා ඔයා එක පාරටම බැලුවම දන්නවද මම ඇත්තටම ගැස්සුනා. කරන්න ඕන මොනවද කියලවත් මට එක පාරටම හිතාගන්න බැරිඋනා. මන් අහක බලාගත්තා. බලන්න ලොකු ඕනකමක් තිබ්බත් නුවරින් බහිනකම්ම මන් ඔයා දිහා බැලුවෙ නෑ. ඒත් ඊළග සතියෙ සරසවි උයනට ලං වෙනකොට මටත් හොරෙන් මන් ඔයාව හෙව්වා.
දන්නවද දෙනෙත් මං වැඩිපුරම ඔයාට කැමති ඇයි කියලා...කෝච්චියෙ කෑ ගහලා දගලන කොලු රෑන අතරෙ හිටපු අහින්සකම පිරිමි ළමයා ඔයා නිසා. ඒත් ඔයාගෙ යාලුවො හයියෙන් කෑ ගගහා දගලනකොට මට හරිම කේන්තියි. ඇයි ඉතින් මට ඔයා දිහා බලන්නවත් නෑනෙ. ඒත් දවසක ඔයාම ඇවිත්,
"පාරමී, මට ඔයත් එක්ක ටිකක් කරන්න පුලුවන්ද? කියලා ඇහුවම මට කරකියාගන්න දෙයක් නැතිවුණා. මොනව කරන්නද මමත් ටිකක් ආඩම්බරයිනෙ.
"මොනවද කතාකරන්න තියෙන්නෙ.." මන් ඇහුවෙ චුට්ටක් සැරෙන්.
"පාරමී මන් පේරාදෙණිය කැම්පස් එකේ ඉන්ජිනියරින් පැකල්ටි එකේ. ඔයා දන්නව ඇතිනෙ මන් ගැන විස්තර."
දැනගෙන නම් හිටියා තමයි. ඒත් කොහොමද මන් එයා ගැන උනන්දුයි කියලා දැනෙන්න අරින්නෙ.
" මට ඕන තරම් වැඩ තියෙනවා. ඔය එක එක අය ගැන හොය හොය ඉන්න වෙලාවක් නෑ මට."
දෙනෙත්ගේ මුහුණ සැනෙකින් අදුරු විය. මා නොකිය යුතු දෙයක් කී දැයි මා පසුතැවුණි.
"විභාගෙට මොනවහරි උදව්වක් ඕනෙනම් කියන්න. ඒක කියන්නයි මං ඔයාට කතා කලේ...ඔහු මගේ වචනයෙන් දුක් වී හිතට සිතුණු දෙයක් පවසා යන්න ගියේය.
නුවර වැව රවුමෙදි එහෙම කතා කරපු අපි දන්නෙම නැතිව ආදරේ කරන්න පටන් ගත්තා. මතකද දෙනෙත් ඔයා ඒ දවස්වල ඔය සිද්දිය මතක් කර කර මට ගොඩක් හිනා වුණා. ඔයාගෙ ආදරේ මගෙ ජීවිතේට හැම සතුටක්ම ගෙනාවා. ඔයා මට ජීවිතේ ගැන ගොඩක් දේවල් කියලා දුන්නා. කොහොමහරි මට කැම්පස් යන්න ලකුණු මදිවුණා. ඔයා කිව්වෙ වෙන මොනවහරි කෝස් එකක් කරන්න කියලා. ඔයා කැමති දේ කරන්න, ඔයා කැමති විදියට ඉන්න මාත් පුරුදු වුණා. ඒ හැමදාම ඔයා මගේම වෙන්න ඕන නිසා. මං ඔයාට ගොඩක් ආදරේ කරපු නිසා. යන එන හැමතැනක්ම ඔයාට කියලා ගියෙ. මුලින් ඒක පුරුද්දක් වුණත් පස්සෙ ඒක නීතියක් වුණා. මට මතකයි මන් ඔයත් එක්ක තරහ වෙලා නෑ ගෙදරක ගියා කියන්නෙම නැතිව. එදා රෑ ඔයාම කතා කළා..
"තරහවෙන්න එපා රත්තරන් කවදාවත්ම..."
"ළග නැතිවුණත් ඔයා ඉන්නවා වගේ මගෙ ළග"
"ඔයා නැතිව මට ජීවත් වෙන්න නම් බෑ පාරමී."
දෙනෙත්ගේ වචන මගේ සවන් පුරා රැව්පිළි රැව් දුන්නා.මගේ කන් දෙක පුපුරන්න වගේ. ඒත් අද ඒ හැමදේම අයිති අතීතයටම විතරයි. ඔයාගෙ ආදරේ නිසා ජීවිතේ කොච්චර සුන්දරව ගලාගෙන ගියාද?
මතකද දෙනෙත් ඔයාට ඒ දේවල්.??
වැස්ස වැහැලා හිතන්නැති වෙලාවක පායන්න වගේ ඔයා මගෙ ජීවිතෙන් ඈත් වුණේ.
"පාරමී මට ඔයාට කියන්න දෙයක් තියෙනව නංගි. "
ජීවිතේ පළවෙනි වතාවට එයා මට නංගි කියලා කතා කළේ. එයාගෙ කටහඩත් අමුතුයි වගේ...
" මොකක්ද දෙනෙත් ඉක්මනට කියන්න. ඔයා අද හරි අමුතුයි."
" මට ගෙදරින් යෝජනාවක් ගෙනත් පාරමී. අප්පච්චිගෙ හොදම යාලුවගෙ දුව. එයා ඩොක්ට කෙනෙක්. මම දන්නෙත් නෑ එයාලා කලින්ම කතා කරන් ඉදලා මේ ගැන. මට මේකට කැමති වෙන්නම වෙනවා පාරමී. මන් මේක කරන්නෙ අපි දෙන්නගෙම හොදට. මන් යන්නම්.."
ඔයා ඒ දේවල් කිව්වෙ කොච්චර ලේසියෙන්ද? දහසක් දෙන පෙම්වතුන් විදියට අපිව දැක්ක නුවර වැව රවුමෙම ඔයා මාව තනිකරලා දාලා යන්න ගියේ කවදාවත්ම ආදරේ නොකරපු කෙනෙක් ගානට
ජීවත් වෙන්න කියලා දුන්න ඔයාම මාව මේ විදිහට අතරමග දාලා ගියාම කොහොමද දෙනෙත් මන් තනියම ජීවත් වෙන්නෙ කියලා ඔයා නිකමටවත් හිතුවද? ඔයා මගෙන් කලේ කොච්චර අසරණ ඉල්ලීමක්ද? මං කොහොමද ඔයාට ශාප කරන්නෙ. මං ඔයාට ආදරේ කළේ මුලු හදවතින්මනෙ ඔයාගෙ සතුට දිහා බලාගෙන මං සතුටු වෙන්නම්..
මං තවමත් කෝච්චියෙ යන්නෙ කොහෙවත් යන්න වුවමනාවට නෙවෙයි. එක පාරක් හරි ඔයාව දකින බලාපොරොත්තුවෙන්. ඒත් මං ඒ තරමටම වාසනාවන්ත නෑ. අපේ මතක පිරුණ කෝච්චියෙ, නුවර ස්ටේශන් එකේ මං තවමත් යන්නෙ එන්නෙ හිතින් ගොඩක් විදව විදව. ඒක ඔයාට හිතාගන්නවත් බෑ දෙනෙත්. කා දිහාවත් බලන්නැතිව හැගීමක් නැතිව අපි ගෙවපු හැම තැනක්ම පහු කරන් යන්නෙ හිතින් ගලන කදුලු ඇස් වලට එයි කියන බය නිසා.
මට කියන්න දෙනෙත් මේක විතරක් කියන්න. ඒ තරමටම මට ආදරේ කරපු ඔයා මං නැතිව කොහොමද ඉන්නෙ කියල විතරක්....
සදක් විය ඔබ මට එදා
සිතෙහි දිලිසී සිටි නිසා
කදුලු බිදු විය ඔබ මෙදා
නෙතු අගිස්සේ සිටි නිසා..
ලියන්නේ - කුමාරි උදේශානි
(උපුටාගැනීමකි )
No comments:
Post a Comment