නොකැලැල් ප්‍රේමය.....
සරුසාර කුඹුරු යායේ කොළ සුළඟට එහාට මෙහාට පැද්දි පැද්දි නිලට නිලේ දිස් වන්නට උනා. උදෙන්ම අවධි උන තිළිණ ඒ දෙස බලන් අම්මා දුන්න කිරි එක බිව්වා. උදෙන්ම මෙහෙම දෙයක් දකින එක කොච්චර නම් හොඳද තිළිණ එහෙම තමන්ගේ සිතටම කියාගත්තා.
තිළිණගේ ගෙදර තිබුණේ වටේටම කුඹුරු යායකින් වට වෙලා. ඒ පරිසරය බොහොම නිස්කලංකයි. හරි අමුතු සිසිලසක් ඒ අවට තිබුණා.
" අම්මේ මං ගිහින් එන්නම් අද දෙමව්පිය රැස්වීමට ඔයා එන්න හොදද "
" හරි පොඩි පුතේ මං එන්නම් පරිස්සමෙන් ගිහින් එන්න ජේසුපිහිටයි "
" අනේ මගේ අම්මේ අප්පච්චිට නම් එන්න දෙන්නෙපා ඔයාම එන්න. නැත්නම් එයා ඔහේ කියවයි මගේ වැරදිම "
" ඔව් ඉතිං මොකද කියන්න හොඳක් තියෙනවා කියලයෑ කරන්නෙම දඟ වැඩනේ "
එහෙම කියලා අම්මා තිළිණව තුරුලට ගෙන ඔලුව අතගෑවා.
තිළිණ පොත් බෑගයත් අරගෙන ගේ ඉස්සරහා පාරෙන් දිව්වේ කුඹුරු ගාය දෙසට. නියරවල් දිගේම දිව ගිය තිළිණ විනාඩි කිහිපයකින් එහා තිබුණ අතුරුපාරට ළඟා උනා.
ගෙවල් කිහිපයක් පසුකරගෙන ගිහින් තිළිණ නැවතුණේ සුදු හුණු ගාලා තිබුණ නවීන පන්නයේ තරමක ලොකු ගෙයක් ළඟ. ඒ ඔහුට වඩා අවුරුද්දක් බාල නදීෂාගේ ගෙදර. ඔවුන් පාසල් යන්නටත් පාසල් නිම වී නිවසට එන්නටත් පුරුදු වී සිටියේ එකටමයි.
මුලින් මුලින් නැතත් දහය වසරෙදි වගේ තිළිණට නදීෂා ගැන ආදරයක් ඇති උනා. ඒත් ඉතිං කිසිම වෙලාවක මේ ගැන කියන්න තිළිණට නොහැකි උනා. ඔහු නිතරම බය උනා මේ යාලුකමත් නැති වෙයිදෝ කියලා.
" නදී මං නම් ආවා ඉක්මනට එන්ඩෝ "
" අනේ තිළිණ පුතේ ඔහොම ඉන්න මං මේ තාම කෙල්ලගේ කොණ්ඩේ ගොතනවා "
ඒ නදීගේ අම්මගේ කටහඬයි.
" ආ හරි නැන්දේ තව වෙලා තියෙනවා ලෑස්ති කරලා එවන්න පොඩි එකීව "
" අනේ බූරුවෝ මං දැන් 10 වසරේ හරිද දැන් මාත් ලොකුයි "
" අනේ අම්මෝ හරි ලොකුයි මොනවද හලෝ අපේ නංගි 8වසරේ ඉන්නේ එයාටත් පුළුවන් කොණ්ඩේ ගොතන්න "
" අනේ ඉන්නවකෝ ඉතිං මටනේ එහෙම බැරි "
ගේට්ටුව ළඟ ඉදන්ම නදීට විහිලු කරපු තිළිණ දුර ඉදන්ම ඒ මූණ දිහා බලන් හිටියේ ගොඩක් ලොකු ආසාවකින්.
දෙදෙනාම පාසල් යන්න පිටත් උනේ ටික වේලාවකට පසුවයි.
" අද දෙමව්පිය රැස්වීමට කවුද එන්නේ තිළිණ අයියේ "
" අම්මා තමයි නංගි අප්පච්චි ආවොත් මගේ චරිතේ ඉවරයි "
" හෙ හෙ හොද වැඩේ "
" අනේ ඉන්නවා නිකං "
දවස් හෙමීට ගෙවිලා ගියා. තිළිණගේ හිතේ නදීෂා ගැන තිබුණ ආදරේ දවසින් දවස වැඩි උනා. පාසල් ඇරිලා අනෙකා එනකල් මුලින් එන කෙනා ගේට්ටුව ළඟට වෙලා මඟ බලන් හිටියා.
ගමේ පරිසරය එක්ක හැදුණු මෙයාලගේ දඟ වැඩත් අඩුවක් තිබුණේ නෑ. ඉස්කෝලේ ඇරිලා එද්දි පාර දිගට තියෙන එරමිණියා වගේම උගුරැස්ස, සියඹලා කඩන් කන්න මේ අය අමතක කලේම නෑ. එකහමාරට ඉස්කෝලේ ඇරියත් හවස දෙකහමාර තුන වෙද්දියි මෙයාල ගෙදර එන්නේ. ඒ ඉස්කෝලේ ගොඩක් දුර නිසා නෙවෙයි කැලෑ ගානේ කටු පඳුරු ගානේ මෙයාලා ඇවිද්දා සෙල්ලමට වගේ.
පාසලේ ගුරුවරුන්ගේ හිත දිනාගෙන සිටි තිළිණට හැමෝම වගේ ගොඩක් ආදරේ කරා ඒ ඔහු දඟයි වගේම ඉගෙනීම් වැඩත් හොඳට කරපු නිසා.
නදීෂාගේ දඟ වැඩ හුරතල් වැඩ දවසින් දවස තිළිණ ළඟ වැඩි වෙද්දි තිළිණට හිතේ හිර කරන් හිටිය ආදර හැඟීම වචන වලට පෙරලන්න සිද්ධ උනා. තිළිණ දවසක් පාසල් නිමවී නිවෙස් වලට එද්දි නදීෂාට ආදර යෝජනාවක් ගෙනාවා.
" නදීෂා නංගි අපි ගොඩක් කල් ඉදන් දන්නවා ඔයා මාව දන්නවනේ මං නරක නෑ මං ඔයාට ආදරෙයි නංගි ඔයා හිතලා තීරණයක් දෙනවද මට "
" පිස්සුද අයියේ අපි තාම ඉගෙනගන්නවා අනික මං ඔයාව ආශ්‍රය කරේ එහෙම හැඟීමකින් නෙවෙයි ආයේ ඔය වගේ දේවල් මගෙන් අහන්නෙපා. "
" හරි නංගියෝ සමාවෙන්න මට අපි හිටියා වගේම ඉමු "
" හ්ම්ම්ම් හරි "
ඒත් එදායින් පස්සේ නදීෂා ටික ටික තිළිණව මඟෑරියා. ඒ ඇයි කියලා තිළිණ නිතරම කල්පනා කරා. එතකොට තිළිණගේ හිත දුන්නු උත්තරය තමයි තමාගේ මොකුත් අඩුපාඩු තියෙන නිසා නදීෂා අකමැති බව. තව දුරටත් බලාපොරොත්තු තියාගෙන තේරුමක් නෑ කියලා හිතුණ තිළිණ ආයෙමත් නදීෂා ගැන හිතුවේ නෑ.
නදීෂාට ළං වෙලා සමාව අරගෙන ආයෙමත් තිබුණ යාලුකම ගොඩනඟා ගන්න තිළිණට ටික දවසකින් පුළුවන් උනා. නදීෂා ගැන ආදරයක් තිළිණගේ හිතේ නොතිබුණත් තිළිණ නදීෂාව ගොඩක් හෙව්වා. ඒ සමහර විට උඩු හිතේ නැතත් යටි හිතේවත් නදීෂා ඉන්න නිසා වෙන්නැති.
ඔය අතරෙදි තමයි තිළිණ සාමාන්‍ය පෙළ කරන්නේ. විභාගෙන් පස්සේ තිළිණ ප්‍රථිපල එනකල් පරිඝණක පාඨමාලාවක් හැදෑරුවා. ඒ කාලයේදි තිළිණත් නදීෂත් හිටියට වඩා ගොඩක් දුරස් උනා.
සාමාන්‍ය පෙළ ප්‍රථිපල ආවට පස්සෙත් තිළිණ වාණිජ අංශයෙන් උසස්පෙළ හැදෑරුවෙත් ඒ පාසලේමයි. ඔය අතරෙදි තමයි පාසලට වෙනත් පාසලකින් ගැහැණු ළමයෙක් එන්නේ උසස්පෙළ හදාරන්න. ඇය නමින් සුවිනි. තිළිණගේ හිත ඇයව දුටු සැනින් ඇදිලා ගියා. ඒ ඇය ගොඩක් දඟ කෙල්ලෙක් නිසා. දඟ කෙල්ලෙක් එක්ක දඟ කොල්ලෙක් එකතු උනාම ජීවිතේ ගොඩක් ලස්සනයිලු කියලා තමයි තිළිණ හිතන් හිටියේ. ඉතිං තිළිණ සති කිහිපයකින් සුවිනිගෙන් ආදරේ ඉල්ලුවා.
තිළිණ ආදරේ ඉල්ලා දවස් කිහිපයකින් සුවිනි ඇගේ ආදරේ ඔහුට පුදකරා. පාසලේදි මොවුන්ගේ ආදර කතාව ගොඩක් රසවත් උනා. වෙනදට නදීෂා එක්ක පාසල් ඇරිලා යන තිළිණ සුවිනි එක්ක පාසල් ඇරිලා ගාට ගාටම තමයි ගෙදර ගියේ. ඒ වන විට සුවිනි නැවතිලා හිටියේ තිළිණලගේ අල්ලපු ගමේමයි. ඒ නිසාම දෙන්නා එක්කම පාසල් ඇරිලා ආවේ එකටමයි. ඉස්සර නදීෂා එක්ක ආදරේ නැතත් දඟ වැඩ කර කර ගියපු ඒ පාරෙම තිළිණ සුවිනි එක්ක ආදර බස් දොඩමින් ගියා.
ඉස්සර තමන් එනකල් මඟ බලන් හිටිය තිළිණ අයියා අද තව කෙල්ලෙක් සමඟ දෑත් පටලන් යන හැටි බල බලා නදීෂා සුසුම් හෙළුවා. ඒ ඇයි කියලා ඇයවත් දැනන් හිටියේ නෑ. ඇයි මං කලබල ඇත්තටම මං තිළිණ අයියට ආදරෙයි ද ඇය ඇයගේ හිතින්ම නිතරම වගේ ඇහුවා.
ඔහොම ඉන්න අතර සුවිනිගෙන් පාසලේ ගොඩක් කොල්ලෝ ආදරේ ඉල්ලුවා. ඒ අතර දහතුන වසර අයියා කෙනෙක් කරපු ආදර යෝජනාවට ඇය කැමති උනේ තිළිණගේ ආදරේ ගැන ගොඩක් වැරදි කියමින්. දින ගණන් සති ගණන් ආදරේ කරපු ඒ පෙම්වතුන් වෙන් උනේ කවුරුත් කවදාවත් නොහිතුව විදිහට.
ඒ වන විට තිළිණ ගොඩක් දුකින් හිටියේ. තමන් ආදරේ කරන අය හැමෝම වගේ තමන්ට අකමැති එක ගැන. ඔය අතරෙදි තමයි නදීෂා සාමාන්‍ය පෙළ කරලා ඉංග්‍රීසි පාඨමාලාවක් කරන්නේ. " තිළිණ අයියත් අන්න බූට් කාලා "
දවසක් නදීෂගේ යාලුවෙක් කිව්ව කතාවෙන් නදීෂගේ ඉහේ මලක් පිපුණා වගේ. එදා පංති ඇරිලා එනගමන් තිළිණගේ ගෙදර යන්න ඇය අමතක කලේ නෑ.
" ආ තිළිණ අයියේ "
" නදීෂා නංගිට අපිව කාලෙකින් මතක් වෙලා තියෙන්නේ "
" අනේ ඉතිං ඒ ගැන මොකට කතාද නේද කාටද දන්නේ නෑ අමතක වෙලා තිබුණේ "
" අනේ නෑ නංගි අමතක වෙලා තිබුණේ නෑ මට ඒත් ඔයා මාව ගොඩක් මගෑරියාම මං ආයේ ආයේ ඔයාට කරදරයක් වෙන්න ආවේ නෑ "
" හරි හරි දැන් මොකද ඔයාගේ ලව් එක "
" ඒක ඉවරයි නංගි අපි ඒ ගැන තවත් කතා නොකර ඉමු ප්ලීස් "
" ආ හරි කොහොමද අයියා studies එහෙම "
" හොදයි නංගි ඔයත් හොඳට ඉගෙනගන්න ඒක තමයි අවසානේ ඉතුරු "
" ඔව් අයියා මං ඒක දන්නවා "
ආගිය තොරතුරු කතා බස් කර කර ඉදලා මද වේලාවකින් නදීෂා ගෙදර ගියා.
........................................................
සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් උන නදීෂා එම පාසලේම කලා අංශයෙන් උසස්පෙළ හදාරන්නට පිවිසියා.
ටිකෙන් ටික ආයෙමත් නදීෂත් තිළිණත් යහලු උනා. වෙනදා වගේම දඟ වැඩ කරමින් පාසලේදිත් පාසලෙන් පිටතදීත් තිළිණ කැපී පෙනෙන චරිතයක්ම උනා. හිත යට යටපත් වෙලා තිබුණ තිළිණගේ ආදර හැඟුමන් නැවත වාරයක් මේ අතර දළුලෑවා. වෙනදාටත් වඩා නදීෂා තමන් ගැන උනන්දුවක් දක්වන නිසා තිළිණ හිතුවේ නදීෂත් ඔහුට ආදරෙයි කියලා. තම සිතේ ඇති ආදරය පවසන්නට තිළිණ සුදුසු වෙලාවක් එනකල් බලාගෙන සිටියා.
පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව සමය එළැඹුනේ ඔය අතරේදියි. පාසල් කාලයෙන් පසුවත් ළමයි නැවතිලා ක්‍රීඩා පුහුණු වීම් කලා. එම පාසලේ තිබුණ සදු හිරු තරු නිවාස තුනෙන් හිරු නිවාසයේ කැප්ටන් වෙලා හිටිය තිළිණට ඒ නිවාසයේම ක්‍රීඩා නායිකාව උන නදීව නිතර නිතර මුණ ගැසුණා. වෙනදට පාසලේදිට වඩා පාසලෙන් බැහැරවයි මොවුන් දෙදෙනා කතා බස් කරේ ගොඩක්ම. මොකද මොවුන් සිටියේ එකම පංතියක නොවන නිසා.
කෙසෙවෙතත් නිවාස වලට සුදුසු බැජ් එකක් සාදන්න මොවුන්ට දවසක් පාසල නිමවී නවතින්නට සිද්ධ උනා. එදා තිළිණ පංතියේ ළමයි ඉන්න තැනම නදීෂාට කතා කලා.
" නදීෂා නංගි මට ටිකක් කතා කරන්න ඕනේ "
" ආ කියන්න අයියේ මෙහෙම "
" කතා කරන්න ඕනේ තනියෙන් මට ඔයා එක්ක "
" දැන් වැඩක්නේ අයියා පස්සේ කතා කරමුද "
" බෑ මට දැන්මම කියන්න ඕනේ නංගි ප්ලීස් "
" එහෙනම් ඉතිං පස්සේ කතා කරමුකෝ අයියේ හොදේ "
" නංගි මං ඔයාට ආදරෙයි ගොඩක් කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ ආයේමත් "
" අනේ අයියේ මං ඔයාට කලිනුත් කිව්වනේ මං ඔයාට ආදරේ නෑ ඔයාට කැමතිත් නෑ මං "
වෙනදටත් වඩා තමාගේ අෆයාර් එක නැවතුණාට පස්සේ ගොඩක් ළං උන නදීෂා නංගි හැමෝම ඉස්සරහා කිව්ව දේ ගැන තිලිණ ගොඩක් හිතුවා. ඇයි මට එයා අකමැති මොකක්ද හේතුව ඔහු නිතරම හිතන්නට උනා.
....................................................................
දෙවෙනි වතාවටත් තම ආදරේ ප්‍රතික්ෂේප උනාට තිළිණ සිටියේ බොහෝ සිත් තැවුලෙන්. ඔහුට ඒ නිසා පාඩම් වැඩ පවා මදක් අතපසු උනා. එම වසරේදීම උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණත් ඔහුට එය හරි හැටි කරගැනීමට නොහැකි උනා.
" උසස්පෙළ ප්‍රතිඵල ඇවිත් "
දවසක් තිළිණගේ යාලුවෙක් තිළිණට කිව්වම තිළිණ පාසලට ගියේ ප්‍රතිඵලය බලන්නයි. එහෙත් ඔහුට එම අවුරුද්දේ තිබුණේ S සාමාර්ථ 4ක් පමණමයි.
" ආ තිළිණ අයියේ කොහොමද ඔයාගේ රිසල්ට් "
ප්‍රතිඵල පුවරුව දෙස බලාසිටි තිළිණගේ පිටුපසින් ඇසුනේ ඔහුට වඩාත් හුරු පුරුදු කටහඬක්. ඔව් ඒ නදීෂා නංගි.
" අයියෝ වැඩක් නෑ නංගි S තියෙන්නේ ඔක්කොටම. "
" ඔන්න ඕක තමයි මං තමුසෙට අකමැති උනේ මුලින් ඉගෙනගන්නවා තමන්ට කියලා තත්වයක් හදාගන්නවා කෙල්ලොන්ට පැණි හැලුවට තේරුමක් නෑ "
එකවරම නදී කවදාවත් නැතුව ඔහුට තදින්ම බැන වැදුනා.
" ඇයි නංගි බනින්නේ ඉතිං මේ පාරත් මං ලියනවා සමාවෙන්න ඔයාගේ ආදරේ ඉල්ලුවේ අපි ගැළපෙනවා කියලා හිතුණ නිසා "
" මොන ගැළපීමක්ද ආයේ මට කතා කරන්නවත් එන්නෙපා බායි "
එහෙම කියලා නදී එතනින් යන්න ගියා. " හරි නදී අද ඔයා මට එහෙම කතා කරානේ නේද හරි ආයේ ඔයාට ඔහොම කතා කරන්න මං දෙන්නේ නම් නෑ මං මට කියලා හොද තැනක් හදාගන්නවාමයි ඉන්නකෝ බලාගෙන " තිළිණ තම හදවතින්ම එහෙම හිතන්න ගත්තා.
එදා ඉදන්ම තිළිණ රෑ දවල් නොබලා හොඳට පාඩම් කලා.
ඔහු නිතරම හොදින් ඉගෙනගන්න ඒ වසරේ හොදින් විභාගයට මුහුණ දෙන්න සිතුවා.
ඒ වසරේදි උසස්පෙළ විභාගය ලියා අවසන් වූ දවසේ තිළිණ ගෙදර එන්න පිටත් උනා.
" තිළිණ අයියා ඔහොම ඉන්න "
" ඇයි නංගි මොකද "
" අයියා එදා ඔයාට අර විදිහට මං කතා කරාට මට සමාවෙන්න ඔයා ඒත් මං එහෙම කතා කරපු එකටත් හේතුවක් තියෙනවා "
" මොකක්ද නංගි හේතුව දෙපාරක්ම මගේ ආදරේ එපා කියලත් ඔයා කිව්වනේ මොකක්ද හේතුව අහ් "
" අයියා අපි ආදරේ කරන්න ගත්තොත් එහෙම අපි දෙන්නගෙම ඉගෙනීම එතැනම අවසන් වෙයි කියලා මට හිතුණා ඒකයි ඒත් මේ පාර අපි හොදට පාස් වෙලා ඇති මං ඒක දන්නවා ඔයා වගේම මාත් ගොඩක් පාඩම් කරා "
" හරි නංගි මං යන්නම් පරිස්සමෙන් ඉන්න "
" අයියා මං ඔයාට ආදරෙයි ගොඩක් "
" මැට්ටි මාත් ගොඩක් ආදරෙයි මං පල්ලියට යනවා ගිහින් ඇවිත් එන්නම්කෝ ගෙවල් පැත්තේ "
" හා අයියා පරිස්සමෙන් "
......................................................................
ඒ මීට අවුරුදු දහයකට කලින්. අද තිළිණත් නදීෂත් සමාජේ පිළිගත්ත හොද රස්සා දෙකක් කරනවා. තමන්ටම කියලා අවශ්‍ය සෑම දෙයක්ම ඔවුන් එකට එකතු වී ගොඩනඟා ගත්තා. ඔවුන් ඊට පස්සේ දෙමව්පියෝ ආශිර්වාද මැද එකතු උනා. ඇත්තටම ආදරේ කියන්නේ මොකක්ද ආදරේ කියන්නේ ආදරේ කරන කෙනාගේ සාර්ථකත්වය පිටිපස්සේ ඉන්න එකට නෙවෙයිද තිළිණ නිතරම එහෙම සිතුවා.
....................................................................
අද කාලේ ගොඩක් ඉන්නේ කොල්ලෙක් යාලුවෙන්න ඇහුවම ඒ කොල්ලාට සල්ලි තිබුණා හෝ නෑ කොහොම හරිම සල්ලි කීයක් හරිම ගසන් කන්න දඟලන කෙල්ලෝ. උන්ට ඕනේ නෑ කොල්ලා කොහොම කොතැනක අනාගතේ හිටියත්. ඒ නිසා කෙල්ලෙක් තෝරගද්දි ඒ ගැන සිතන්න. අවංකවම ආදරේ කරන කෙල්ලෙක් අනිවාර්යයෙන්ම මොන දේ උනත් පිරිමියාගේ සාර්ථකත්වය පිටුපස සිටිනවා මයි.
වතාවක් දෙවතාවක් තම ආදරේ ප්‍රතික්ෂේප වූවොත් කොල්ලෝ ගොඩක් කරන්නේ කෙල්ලගේ ජීවිතෙන් පළිගන්න. එහෙම නැත්නම් තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න. නිකං බොරුවට අත පය කපාගෙන වේදනා විදින්න. එහෙම නැත්නම් සැර බීම ජාති බොන්න. ඒත් හොඳම දේ අපි අපේ ජීවිතේoහදාගන්න එකමයි. යම් දවසක අපිට හරියන හොඳම කෙනා අපිට ලැබෙනවාමයි. ඒ තාක් ඉවසන්න.
...............................................................
කතෘ -: චතූ හෙට්ටිආරච්චි
(උපුටාගැනීමකි)
No comments:
Post a Comment