දරු සෙනෙහස

#කෙටි_කතාවකි.
(සියලු සිදුවීම හා නම් ගම් මනඞකල්පිතය.)

"මේ මගේ දරුවෙක් නෙවෙයි..මට එපා මේ දරුවා. මට මගේ දරුවව දීපල්ලා.." සෙව්වන්දි මොරදෙමින් හඬන්නට වූවාය. නිස්සංකද බලාගත් අතම බලාසිටියා විනා තම බිරිඳ වූ සෙව්වන්දිව සැනසීමට උත්සාහයක් නොගත්තාය.

නමුත් සෙව්වන්දිගේ මව ඇය සනසන්නට වූවද එය ඵල රහිත කටයුත්තක් විය.

"මොනව කරන්නද සෙව්වන්දි. දැන් ඔය දරු පැටියව වීසි කරන්නද මොනව උනත් ඔය උඹලගෙ දරුවා. දැන් ඔය දරුවට කිරි ටිකක් දීපං." නමුත් තවමත් සෙව්වන්දි ඉකිබිඳිමින් ඉවත බලාසිටියා මිසක් ඇය තම අලුත උපන් දරුවා දෙස ඇසකුදු නොයෙව්වාය. මුළු ළඳරු වාට්ටුවේම අවධානය යොමුව තිබුණේ සෙව්වන්දිගේ යහන දෙසටය.

"සෙව්වන්දි ඔයා ඔහොම මුරණ්ඩු වෙලා බෑ. ඔය දරුවට කිරි දෙන්න ඕනෙ."  එම ළදරු ඒකකයේ සිටි වින්නඹුවරිය පැමිණ පැවසුවාය. අවසානයේ වදෙන් පොරෙන් ඕ සිය අලුත උපන් පුතුහට කිරි දුන්නාය.

වෘතියෙන් නීතිඥවරුන් වූ සෙව්වන්දි හා නිස්සංක  සිය විවාහයෙන් අවුරුදු කිහිපයක් ගතව තිබුණද ඔවුන් හට දරුවන් සිටියේ නැත. මැදි වියේ පසු වූ ඔවුන් දෙදෙනා දරුවෙක් ලැබීම උදෙසා නොකළ දෙයක් නොමැත. භාරහාර වූ පන්සල්,කෝවිල්,දේවාලද මුණගැසීමට ගිය වෛද්‍යවරුන් ගණනද අප්‍රමාණය. අවසානයේ ඔවුන්ගේ විරිය පාරමිතාව අවසන් වූයේ සෙව්වන්දිගේ කුස තුළ දරුවෙකු පිළිසිඳ ගෙන ඇතැයි දැනගත් විටය. මේ ලොව සිටිනා වාසනාවන්තම යුවළ තමන් යැයි ඔවුන් සිතා සිටියේ ඔවුන් ලැබීමට යන උතුම් පදවිය ගැන සිතමිනි. ඔවුන් මෙම දසමස තුළ සතුටු නොවූ දිනයක් නොමැති තරම්‍ ය.නමුත් සියල්ලම නොසිතූ විරූ ලෙස වෙනස් වූයේ ඔවුන් අහස උසට මවමින් තිබූ පැතුම් සියල්ල සුණු විසුණුව යමින් ඇඟිලි ගනිමින් දින ගණන් කර ලද මාහැඟිම වස්තුව වූ තම කුළුඳුල් දරුවා අංගවිකල දරුවෙකු වීමය.

සෙව්වන්දි සිය නීතිඥ වෘතියෙන්ද සමුගත්තේ තමාහට දරාගත නොහැකි කම්පනය නිසාය. සෙව්වන්දි හා නිස්සංකගේ දරුවා වූ හේෂවගේ වයස අන්දරුවන් ලෙසටම ගතවූවද ඔහුගේ මොළය හා ක්‍රියාකාරකම් සෑමවිටම දරුවෙකුගේ මෙන් විය. හේෂව ක්‍රමයෙන් වැඩෙද්දී  ඔහු කෙරෙහි වූ සෙව්වන්දිගේ දරුසෙනෙහසද ලියලන්නට වූයේ තම හදවතේ වූ අප්‍රමාණ දරුසෙනෙහස ඇගේ හදවතේ වූ අන්සියලුම සිතුවිලි වලට වඩා අතිශයින් බලවත් වූ නිසාවෙනි.

" හැමදාම දරුවව හංඟගෙන ඉන්න බෑ නිස්සංක. දරුවටත් අනාගතයක් තියෙන්න ඕනෙ. දැන් එයාට අවුරුදු නවයක් වෙනවා. එයාවත් ඉස්කෝලෙකට දාමු අපි."
" එයාව භාරගන්නෙ මොන ඉස්කෝලෙන්ද සෙව්වන්දි? අපිට පුළුවන් දෙයක් මෙහෙම ඉදගෙනම උගන්නමු."
"මං කියන දේ තේරෙන්නෙ නැද්ද ඔයාට. එයාට අනාගතයක් ඕනෙ. ඔයාගෙ ඔය තත්වෙට මොකක් හරි වේවි කියලද එයාට මෙහෙම කරන්නෙ? දෙවියනේ ඒ අපේ දරුවා." සිතට දැනුණු දරාගත නොහැකි දරුසෙනෙහස හා සිත පෙළමින් තිබූ දුකද නිසා සෙව්වන්දි කෑගෑවාය.

" ඒ ඔයාගෙ දරුවා විතරක් නෙවෙයි සෙව්වන්දි ඒ මගෙත් දරුවා. වෙන ළමයි වගේ මගේ දරුවත් ඉස්කෝලේ යනව දකින්න මන් කොච්චර ආසද  කියල දන්නෙ මන් විතරයි සෙව්වන්දි. මන් විතරයි. ඒත් එයාව විශේෂ අවශ්‍යතා තියෙන ළමයි ඉන්න ඉස්කෝලෙකට යවන්න තරම් කොහොමද මම හිතහදාගන්නෙ කියල කියන්න මට. පිරිමියෙක් උණාම අඬන්න හොඳ නෑ කියල හිතන මන්ම අඬනව අද මගේ දරු පැටියා නිසා. මන් කරපු මොන පවටද මගේ කොල්ලට මෙහෙම උනේ?"  නිස්සංක සිය දෙඅතින්ම තම මුහුණ වසා හඬන්නට විය.

"අනේ අඬන්න එපා ඔයා නිස්සංක. ඔයා පුතාට ආදරේ කරන විදිහ මන් දන්නව නිස්සංක.අපි සල්ලි කීයක් හරි දීලවත් එයාව පොඩි ඉස්කෝලෙකට දාමු නිස්සංක " නිස්සංකව සිය ළමැදට තුරුළු කරගනිමින් සෙව්වන්දි ද හඬමින්ම පැවසූවාය.
අවසානයේ හේෂව පාසලකට ඇතුළත් කරගනු ලැබූයේ නිස්සංකගේ මුදල් වලට පිංසිද්ධ වන්නටය.  එසේම සෙව්වන්දි හටද නැවතත් පාසල් යෑමට සිදු වූයේ හේෂව සමඟ භාරකාරයෙක්ට පාසල් යෑමට පැමිණෙන්න යැයි පාසලේ විදුහල්පති විසින් ඉල්ලා සිටීම හේතුවෙනි.
"පුතා මගේ හොඳ මැණික වගේ පන්තියට යන්නකො. මන් එළියට වෙලා බලන් ඉන්නම්." ඒ හේෂව මුලින්ම පාසල් ගිය දිනය විය. හේෂවව පන්තිකාමරයට යැවීමට සෙව්වන්දි හා ඔහුගේ පන්තිභාර ගුරුතුමිය  මහත් සේ උත්සාහ දැරුවද එය ව්‍යර්ථ විය. ඔහු සිය මවගේ සාරියේ සැඟවී තම හිස සොලවමින්ද දඟලමින්ද බිහිරි බසින් යම් යම් දේ පවසන්නට විය. මේ හේතුවෙන් හේෂව සමඟ සෙව්වන්දි හටද පන්තිකාමරයට යෑමට සිදු විය.
"මහ මෝඩ වැඩක්. නීතිඥයෙක් වෙලත් අර මනුස්සයට තේරෙන්නෙ නැද්ද මන්දා අර ළමයව මේ වගේ ඉස්කෝලෙකට දැම්ම කියල වැඩක් නෑ කියල. මොනව ඉගෙන ගන්නද අනේ ඒ වගේ ළමයෙක්. ඊට හොඳයි ගෙදර තියන් ඉන්න එක." හේෂවගේ පන්තිය අසලින් ගුරුවරියන් දෙදෙනෙකු කියමින් යනවා සෙව්වන්දිට ඇසුණි. එම වදන් ඇගේ සිතට කුළුගෙඩි පහරවල් එල්ල කරන්නා සේ විය. ඈ එම වදන් දරාගැනීමට උත්සාහ කළද ඇයට එය කිරීමට කිරීමට අපහසු විය. ඇගේ දෙනෙතින් කඳුළු ගලන්නට වූයේ මේ කිසිවකුදු නොතේරෙන තම ලෙයින් උපන් අංගවිකල දරුවා දැකීමෙනි.

ඔහුගේ සමවයසේ ළමුන් අකුරු ලියමින් ගණන් හදනා විට හේෂව සිදුකළේ පොතේ බලිකුරුටු ඇඳීම පමණි. තම දරුවාගේ අනාගතය ගැන සිතමින් සෙව්වන්දි හා නිස්සංක  සිටියේ ළසෝගින්නෙන් තැවෙමිනි.

කාලය කෙමෙන් ගතවුවද හේෂවට, සෙව්වන්දිට හා නිස්සංක කාලයේ ගෙවීම පිළිබඳ වගක් වූයේ නැත.
"නිස්සංක මන් කල්පනා කරේ හෙට ඉස්කෝලෙ නොයව ඉන්න."
"ඇයි ඒ? "
"හෙට ඉස්කෝලෙ අවුරුදු උත්සවේ. පුතා එතන ගිහින් වැඩක් වෙන එකක් නෑ නිස්සංක. අනික එතනට එන මිනිස්සු අපේ දරුවට මොනව හරි කිව්වොත් මට ඒක ඉවසගන්න බැරුව යයි."

"ඒ උනාට කමක් නෑ එයා හෙට ඉස්කෝලෙ එක්කන් යන්න ඕනෙ. මමත් එනව හෙට යන්න."
පසුවදා නිස්සංකද හේෂව හා සෙව්වන්දි සමඟ පාසල් යෑමට පැමිණියේය.
ඔවුන් පාසලට ඇතුළු වන විටම පෙර සේම පාසලේ වූ ළමුන්ගේ උසුළු විසුළු හඬ ඇසෙන්නට වූ අතර ඔවුන් ඒ කිසිවක් නෑසුනාක් සේ පාසල තුළට ගියහ.

අවුරුදු උත්සවය ඇරඹි අතර පාසලේ වූ ළමුන්ද, ඔවුන්ගේ දෙමාපියන්ද, ගුරුවරුන්ද  මහත් යුහුසුළුව ඊට සහභාගී වුවද සෙව්වන්දි හා නිස්සංක තම පුතු සමඟ පසෙකට වී එදෙස බලාසිටියහ.
පාසල් අවුරුදු උත්සවයේ ධාවන තරඟ ඇරඹි අතර ප්‍රථමයෙන්ම තිබුණේ මීටර් හාරසීය කෙටි දුර ධාවන තරඟයයි.ඒ සඳහා සහභාගී වන සියල්ලෝම ක්‍රීඩාපිටියේ තරඟ ආරම්භක ස්ථානයට පැමිණෙන්න යැයි ශබ්ද විකාශන යන්ත්‍රය ආධාරයෙන් දැනුම් දුනි. අනතුරුව තරඟය ඇරඹි අතර අදාළ දරුවන්ගේ දෙමාපියන්ද පාසල් ශිෂ්‍යයොන්ද ඔල්වරසන් දෙමින් ඔවුන්ව දිරිමත් කළ අතර හේෂවද සිය සෙව්වන්දිගේ ඇකයෙන් මිදී එදෙසට දිවගියේය.
"හේෂව නවතින්න පුතා. කොහෙද මේ දුවන්නෙ." සෙව්වන්දි හා නිස්සංක ඔහු පසුපසින් දිවූහ.
හේෂව සිය හිස දෙපසට සොළවමින් අත් දෙපසට පද්දවමින් තරඟයට සහභාගී වන දරුවන් සමඟ දිව්වේය.
"අනේ රත්තරනේ නවතින්න." සෙව්වන්දි මොරදුන්නද ඒ වන විට හේෂව ඇයට අල්ලාගැනීමට බැරි දුරකින් දුවන්නට විය.

" අන්න අර මන්ද බුද්ධික කොල්ලත් දුවනවා. අර බලපල්ලකො." බොහෝ දෙනා ඔල්වරසන් දීම පසෙකලා හේෂවට සිනහසීමටද උසුළු විසුළු කිරීමට පටන් ගත්හ.
තම හදවතේ ඉතා අපහසුවෙන් දමා තිබූ පැලාස්තර ගලවා එයින් ආවරිත සිය පැහැවමින් තිබූ තුවාලය නැවත සිදුරු වී රුධිරය වැගිරීමට පටන් ගෙන ඇති ලෙසක සෙව්වන්දිට දැනිණි. සෙව්වන්දි හඬමින්ම බිම වාඩි වුනු අතර නිස්සංකද දෙනෙතෙහි වූ යෝධ කඳුළු බිඳු සඟවමින් ඇයව නැගිටෙව්වේය.

"අනේ අපේ අහිංසකයට මේ මිනිස්සු කියන කතා බලන්න නිස්සංක" ඇය නිස්සංකගේ පපුවේ සිය මුහුණ හොවා හඬන්නට වූවාය. නිස්සංකද කළ හැකි කිසිවක් සිතාගැනීමට නොහැකිව ඇගේ හිස අතගෑවාය.

තරඟය අවසන් වූවද හේෂව නොනවත්වාම දිව්වේය. නැවත සියල්ලෝම සිනහවෙමින් නානාප්‍රකාර වූ දේවල් හේෂවට පැවසූහ. සෙව්වන්දි කිසිවක් නොදත් තම පුතු දෙස බලමින් හැඬූ අතර නිස්සංක හේෂව අල්ලාගන්නා අටියෙන් ඔහු පසුපස දිව්වේය. හේෂව සිය කකුළ පැකිළී බිම ඇද වැටෙන තුරුම දිව්වේය. මෙය බලාසිටිනා මිනිස්සුන් හට මහත් ආශ්වදජනක දෙයක් විය.

නිස්සංක තම වැටුණු පුතු ඔසවාගෙන සෙව්වන්දි දෙසට දිව ආවේය.  ඒත් සමඟම එම පාසලේ ක්‍රීඩා භාර ගුරුවරයාද පැමිණියේය.
"ඉන්න මන් බලන්නම්." ක්‍රීඩා භාර ගුරුවරයා පැවසුවේය.
"එපා සර් මන් එයාව එක්ක ගිහින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්නම්." නිස්සංක සිය කඳුළු පිසිමින් පැවසුවේය.
" මේ අහන්න මහත්මයා. මන් කි…" ක්‍රීඩාභාර ගුරුවරයා කිසිවක් කීමට පෙරම නිස්සංක හා සෙව්වන්දි හේෂවද රැගෙන ගියහ.
****************************************
"හෙට මන් ගිහින් පුතාගේ අස්වීම අරගෙන එනවා සෙව්වන්දි. එයාව ඉස්කෝලෙ යවන්න ඕනෙ නෑ.අපිට පුළුවන් විදිහට එයාට උගන්නමු." සිය රත් පැහැ ගැන්වී ඉදිමුණු දෙනෙතින් සෙව්වන්දි දෙස බලා පැවසුවද සෙව්වන්දි , නිදියමින් සිටි හේෂව දෙස බලා සිටියා විනා කිසිවක් නොපැවසුවාය.

පසුදින නිස්සංක හේෂවගේ පාසලට ගියේ හේෂවගේ අස්වීම ගැනීමේ අටියෙනි. ඒ වන විටද පෙරදින උදව්වට පැමිණි ක්‍රීඩාභාර ආචාර්‍යවරයා විදුහල්පති කාමරයේ සිටියේය.

"ආ එන්න නිස්සංක මහත්තයා. ඇයි මේ හදිසියේම ආවෙ? අද හේෂව ඉස්කෝලෙ ඇවිල්ල නෑ නේද?." විදුහල්පති නිස්සංක හට පැවසුවේය.

"නෑ සර් මන් ආවෙ පුතාගෙ අස්වීම ඉල්ලගෙන යන්න කියලා."

"හ්ම්ම් මට තේරෙනව මහත්තයො ඊයෙ උනු සිද්ධියත් එක්ක මහත්තයගෙ හිත හොඳටම රිදිල තියෙන්නෙ කියලා. ඒ උනාට අපේ පීටී සර්ට තියෙනවලු මහත්තයට දෙයක් කියන්න." විදුහල්පති පැවසූවේ ක්‍රීඩාභාර ආචාර්‍යවරයා වරයා පෙන්වමිනි.
"මහත්තය එක්ක මන් ඊයෙ කතා කරන්න හැදුවට මට කතා කරන්න ඉඩක් නොදීම ගියානෙ.මහත්තයො මන් මහත්තයගෙ පුතා වගෙ දක්ෂයෙක් මම මීට කලින් දැකලා නෑ. වෙන ළමයෙක් ග්‍රවුන්ඩ් එකේ ඔච්චර වට ගාණක් දිව්ව නම් මෙලහකටත් මැරිල වැටිලා. ඒත් හේෂවට ඒකෙ ගාණක්වත් තිබුණෙ නෑ. එයා ඇත්තටම අද්විතීය දරුවෙක්. එයාව හොඳට ට්‍රෙයින් කරල ගත්තොත් මට හොඳටම විශ්වාසයි. එයා ලෝකෙම අංක එකේ මැරතන් ක්‍රීඩකයෙක් වෙනවා කියලා. මං මගේ පුළුවන් උපරිමේම කරන්නම්. මහත්තයට පුළුවන් නම් එයාව මේකට යොමු කරන්න."
ක්‍රීඩාභාර ආචාර්‍යවරයා කී දෙය නිස්සංක හට අදහාගත නොහැක්කක් විය. සිය පුතුගේ අස්වීම රැගෙන යාමට පැමිණි විට මේ ඇසූ දෙයින් සිය හදවත තුළ මෙතුවක් වැලලී තිබූ සතුට එකවරම එළියට පනින්නට වූ අතර ඔහු ක්‍රීඩාභාර ආචාර්‍යවරයා වැලඳගත්තේය.

නිස්සංකගේද, සෙව්වන්දිගේද, ක්‍රීඩාභාර ආචාර්‍යවරයාගේද නොමද කැපවීම මත හේෂව ක්‍රමයෙන් මැරතන් ධාවනය සඳහා පුරුදු පුහුණු වූවේය. නමුත් හේෂව තුළ වූ ශාරීරික අඩුපාඩු හේතුවෙන් බොහෝ දෙනා ඔහුව මැරතන් තරඟ සඳහා ඇතුළත්කර ගත්තේ නැත. නමුත් සෙව්වන්දිගේ හා නිස්සංකගේ අප්‍රතිහත ධෛර්යය හා නොමියන දරු සෙනෙහස හමුවේ හේෂවව එක් මැරතන් තරඟයක් සඳහා ඇතුළත් කරගැනීමට හැකි විය. එය හේෂවගේ දිවියේ සිදු වූ හැරවුම් ලක්ෂයක් විය. ඔහු එම තරඟයෙන් වාර්තාවක් සමඟ ජයගත් අතර ඉන්නොනැවතී ඔහු ජාතික මට්ටමේ මැරතන් ධාවකයෙක් විය.

අවසානයේ ඔහු ඔලිම්පික් මැරතන් ධාවන තරඟය සඳහා සුදුසුකම් ලැබුවේ ලොව සිටින ළාබාලතම මැරතන් ධාවකයා ලෙසය. එසේම ඔහු නොසිතූ විරූ ලෙස රන් පදක්කමක් දිනාගත්තේ ලොවක කතා බහට ලක්වන එකම මාතෘකාව තමා බවට පත් කරමිනි.

"අනේ මගේ රත්තරං පුතා" රන්පදක්කමද දරාගෙන සුපුරුදු ලෙසම සිය මවගේ තුරුළට එද්දී සෙව්වන්දි සිය පුතුගේ හිස සිඹිමින් පැවසූ අතර නිස්සංක සෙව්වන්දි හා හේෂව තුරුළු කරගත්තේ ලෝකයාටම සිය දරු සෙනෙහස ගැන පණිවුඩයක් දෙමිනි.

*************නිමි…

#ඇඩ්මින්_අප්සරා..

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment