5.25 යි!!!
පැය දෙකේ ලෙක්චර් එකෙත් මිනිත්තු කට්ට පස්සෙ දුවන මට,5 පහුවෙද්දි මිනිත්තු කට්ටව බෙල්ලෙන් අල්ලන් හොල්ලන්න හිතිල තිබ්බෙ😒.AC රාජයෙක් ගාවම වාදිවෙලා හිටපු නිසා ලේ ටිකත් ඝනීභවනය වෙලා.
"ළමයි අදට නවත්තමු"
පුනපුනා බලන් හිටපු වචන තුන,සර්ගෙ කටින් පිට උනා ම පාඩම නැවතිච්ච එක ගැන හරීඊඊඊඊ දුකෙන් වගේ අපි හා කිව්වා😏
සීතලට ගල් උනු අහිංසක පස්චාත්භාගෙත් උස්සන්,මල්ල කරේ එල්ලගත්ත මං,බායි ටටා සමාචාර වලින් පස්සෙ දුවන්න පටන් ගත්ත බස් කට්ටක් අල්ල ගන්න.
කඳුහෙල් තරණය කරන්,තෙල් බැම්ම පහු කරන් කැලණි කන්ද බහින අතරෙ,මහා සද්දයක් පිට්ටනිය පැත්තෙන්.ඒ පැත්තට ඇහැක් දාල බැලුව.දැවන්ත ප්‍රාකාරාකාර අයියන්ඩිල ටිකක් රගර් සෙල්ලම් කරනව.ඒව බලන්න වෙලාවක් නෑ,මම ගෙදර යන සිහියෙන්.
*#අයින්න්න්න්න්න්න්න්න්න්න්*
*කොහෙන්ද මතු උන ගුගුරන කට හඩක් එහෙම කියනවත් එක්ක ම ස්නායු පද්ධතියට පින්සිද්ධ වෙන්න,පස්සට පැන්න මං.මඩ පාට බෝලයක් ඇස් ඉස්සරහින් විදගෙන ගිහින් පොලොවට පතිත උනා.තප්පර තුන හතරක් ගියා ස්ටක් උනු මොලේ වැඩ කරන්න පටන් ගන්න.*
*"නංගි අව්ලක් නෑනේ ද???"*
*ඇස් ඉස්සරහ ප්‍රාදූර්භූත වෙච්ච,තාල වර්ගෙට අයත් පොරක් අහපි මගෙන්.*
*"ඔහොමද බූරුවෝ සෙල්ලම් කරන්නෙ?මේ තඩි බිත්තරේ වැදුන නම් අවුල පෙන්නනව😡"කියල කියන්න කටට ආවත්,ජේෂ්ඨ උත්තමයා මාව බෝලෙට ගනි කියල බය උන නිසා ස්වයන් මුඛ පාලන අවස්තාවක් ප්‍රකාශෙට පත්කරගත්ත මම😷*
*"නෑ අයියෙ මට අවුලක් නෑ"බෙල්ල කොකෙක් ගානට ම උස්සන් ගොන් හිනාවකුත් එක්ක ඒ පොල්ගස් අයියට එහෙම කිව්ව මං කන්දේ ඉතුරු ටිකත් බැහැල බස් එකකට ගොඩ උනා.🚆*
-*---------------------------*-************-----------------------------
"නෑ බන් එහෙම එකක් නෑනෙ මෙතන!........මොකාගේ?මොන ඉඹුල!කටු ඉඹුලද! තොටත් කොට්ටන් පොත් ම ඕන උනා!හිටපන් තව බලන්න"
ජීවිතේට පොතක් නොකියපු එකෙක් ද කොහෙද,ෆෝන් එකකුත් කනේ ඔබන් පොත් හොයන්නෙ පුස්තකාලේ!පොත් රාක්කෙ එහා පැත්තෙ හිටපු කෙනා නොපෙනුණත්,එතුමගෙ පොත් සම්බන්ධ අතිවිශිෂ්ට දැනුම නිසා ම බකස් ගාලා හිනා ගියා මට.මල සොහොන් පිට්ටනිය වගේ පුස්තකාලේ ඇතුලෙ මගෙ කිංකිණි බකස් හිනාව ඇහිල,රාක්කෙ එහා පැත්තෙන් බෙල්ලක් දික් උනා මෙහා පැත්තට🙊🙊🙊
මලා😳😳😳මෙන්න බොලේ එදා රගර් බෝලෙ එක්ක හුරතල් උන,පොල්ගස් අයියා😨හිනාව කැස්සකට පෙරලන්න උත්සහ කරත් වැඩේ හරි ගියෙ නෑ.ඇස් හාරන් යන බැල්මක් ඒ කලු ඇස් දෙකේ රදවන්,එයා බලන් ඉන්නව මං දිහාම!
"මෝඩි!!!!!!"දැන් ඉතිම් සින්නගෙන් අහගන්නවා බඩපිරෙන්නම"මගේ හිත මට ම බනින්න පටන්ගත්ත😥ඒත් එයා මුකුත් නොකිය බලන් ඉන්නව.මගේ ඇස් එහෙ මෙහෙ දුවන්න ගත්තෙ උඟුලකින් ගැලවෙන විදිහක් හොයන මීයෙක්ගෙ වගේ!මොහොතකට ඇස් නැවතුන!
සෙංකොට්ටන්!!!! දෙයියනේ මෙන්න පොත මගේ අතට අහුවෙන මානේම තිබිල!කාන්තාරේ යන මිනිහෙක්ට වතුර බෝතලයක් දුන්න ම වගෙ පෙරේතකමකින්,රාක්කෙන් පොත උදුරල ගත්ත මං.
"අයියා මේ පොත ද හෙව්වේ???"(මගෙ හොඳම අහිංසක හිනාව පාවිච්චි කරා ඒ අවස්ථාවෙ😉)
"හ්ම්....ඔව්................එදා බෝලෙට මූණ පූජ කරන්න ගිය නෝනා නේද මේ?"
පොල්ගස් අයියට මාව මතක තිබිල.සිද්ධිය වෙලා සතියක් ම ගියත්!
"ඔව් අයියේ"(ආයෙත් අහිංසක හිනාව)
"ආර්ට් ද?"
"නෑ අයියේ මැනේජ්මන්ට්"
"හ්ම්"
තැන්ක් යූ වත් නොකියා මගේ අතෙන් පොත ගත්ත එයා,රාක්ක අතරේ නොපෙනී ගියා එදා.
-----------------------------------**********-------------------------
සමහර ඇස්වලට පුලුවන් හිතේ ගැඹුරු ම තැන් වලට එබිල හිත කලත්තන්න.එදා ග්‍රවුන්ඩ් එක ගාවදි මට හම්බුනු,ඝන ඇහි බැමින් වැහුන කලු උකුසු ඇස් දෙක මාව ටික ටික කලත්තන්න පටන් අරන් කියල දැනුනා.පුස්තකාලේ දි,ජිම් කැන්ටිමේ දි,බස් හෝල්ට් එකෙදි,කිරි හලේදි..මේ හැම තැනකදිම ඒ ඇස් මං දිහා ම හරි උවමනාවෙන් බලන් ඉන්නව දැක්කත්,නොදැක්ක ගානට හිටියෙ සිනියර්ස් ල සම්බන්දයෙන් ඇති අසීමාන්තික බය නිසා😥
අහම්බෙන් වගේ ඇස් එකට හැප්පුණ වෙලාවට දෙන්න ම ලාවට හිනා උනු එකයි කරේ.සමහර වෙලාවට ගුඩ් මෝර්නින් කියල තොල් හොල්ලල දෙපැත්තකට ඇදුනා😆
"යකෝ මුගෙ මල් හිනාව බලපන්"....."අඩෝ උකුස්සා බෝලේ තියෙන්නෙ පාරෙ නෙමෙයි ග්‍රවුන්ඩ් එකේ බන්"...."මූ සිල් බිඳන ඉන්නෙ නංගි"..........
මේ වගේ නසරානි කතා ගොඩක් ඇහෙන්න ගත්ත,හවසට රගර් ප්‍රැක්ටිස් වෙලාවෙ ග්‍රවුන්ඩ් එක ගාවින් යද්දි මං.ඒ වෙලාවට ලැජ්ජාව බේරෙන හිනාව හිරකරන් අධිවේගෙන් ඇවිදන් ගිය එකයි කරේ එතනින්🙈😌
"උකුස්සා අයියගෙ ප්‍රියම්බිකාව"කියල මගේ ම බැජ් එකේ පෝරිසාදයොත් මාව අනුභව කරන්න පටන් අරගත්ත😣.කොහොමත් කොල්ලෙකුයි කෙල්ලෙකුයි යාලුකමට කතා කරත් උන් දෙන්නව කසාදත් බන්දල,හනිමූනුත් යවන ආදරණීය කැම්පස් මිතුරු කැළක් ඉන්නව මට😏
----------------------------*************-------------------------
වැස්ස!ඔයාටත් මේ උදේ ම කඩන් වැටෙන්න ඕන උනානෙ ඉතිම්☔
බෑග් එකත් තුරුල් කරන්,කුඩෙත් අල්ලන අනිත් අතින්,ඇඳුම තෙමන්න පටන් ගත්ත චන්ඩි වතුර බිංදු වලින් බේරෙන්න දඟලන ගමන් කැලණි කන්ද නගින්න ගත්ත මම.
"මටත් ඉඩක් දෙනවද ???"
එකපාරට කුඩේ යටට අනවසරෙන් ආපු හුරුපුරුදු කට හඩක් අහනව මගෙන් 😳!කලබලෙන් ඔලුව ඉස්සුව මං.
" ආහ් ආආ අ අයියෙ ඔයා ද!"
ගොත ගැහෙන්නත් පටන් අරන් ඒ පාර!
"බය උනා ද"
(බය උනාද කියලත් අහනව!කොයිවෙලේ හරි මට හාර්ට් ඇටෑක් හැදෙනව මේ උකුස්සා නිසා!!!)
නෑ කියන තාලෙට ඔලුව දෙපැත්තට හොල්ලපු මම,පොල්ගහක් වැස්සෙන් බේරගන්න වගේ කුඩේ පුලුවන් උපරිම උඩට ඉස්සුව....
"කෝ කුඩේ මට දෙන්න අල්ලගන්න"
කුඩ මිටට හිර උන මගේ අතින් අල්ලන ගමන් එයා කිව්ව.
"කමක් නෑ.මට පුලුවන් අයියේ"මගේ කුඩ සටන නිසා තුන්කාලට තෙමිල හිටපු එයා දිහා බලන ගමන් මම මිමිණුව.
"පැහිච්ච ආච්චියෙ!බටු ඇට දෙකක් උස නැති ඔයාට බෑ මට කුඩ අල්ලන්න.කෝ දෙන්න....."
කලාතුරකින් මතුවෙන හිත හිරිවට්ටන එයාගෙ හිනාවත් එක්කම ඒ වචන ටික කනට කොඳුරපු එයා,කුඩේ මගෙ අතෙන් නිදහස් කරගත්ත.
හැමදාම හතිදාන්,ඉවරවෙන්නෙ කොයිවෙලේද කියල හිත හිත නගින කන්ද මේ! ඒත් අද!!!!
අනේ දෙවියනේ යන පාර පුලුවන් නම් තවත් දික් කරන්න කියල මම ප්‍රාර්ථනා කරා හදවතින් ම.....
දඟකාර වැහි බිංදු පොඳි ගනන් කුඩේ යටට ඇවිත් අපිව තෙමන්නම හදද්දි,උණුහුම පිරුණ අතක් මගේ උරහිස්සෙන් අල්ලන් තවත් කුඩේ යටට කරා මාව.අඳුරු අහස දෙබෑ කරන් මතුවෙන අකුණු,හරි සද්දෙන් පුපුරද්දි,ඇහුණා සිංදුවක් මුමුණනව එයා........
මුහුණට හිරිකඩ වැටෙයි
සුදු මුදු මදහස මැකෙයි හ්ම්ම් හ්ම්ම්ම්ම්
..............
........... .සගවන්නෙමි ඔබ මගෙයි
දිව එන්නට මට සිතෙයි........
බෙල්ල ලාවට උස්සල මම බැලුව ඒ මූණ දිහා හොරෙන්.එයත් මන් දිහා බලන්.....
"මොකෝ හොරෙන් බලන්නේ?හොදට බලාගන්න අද.ආයෙ දවස් තුනකින් දකින්න වෙන්නෙ මෙ පිංවන්ත මූණ"
හිනා වෙවි මගෙ මූණට එබිල එයා එහෙම කිව්වම,මං බැලුව ඒ හිත අවුල් කරන ලස්සන ඇස් දෙක දිහා.
"දවස් 3ක්😕?" ඒ මං.
"ඔව්.ඉන්ටර් යුනි රග්බි මැචස්,අපි ෆයිනල් සෙල්ලම් කරනව අනිද්දා.හෙට වයඹෙට යන්න ඕනෙ.දිනල ආව ම ඔයාට විශේෂ දේකුත් තියනව කියන්න චූටි නෝනා"දඟකාර ඇස් වලින් මගේ ඇස් වලට එබිල,එහෙම කියපු එයා,කුඩේ මගේ අතට දිලා වැස්සෙම දිව්ව ජිම් එක දිහාට.....
-------------------------------*********-----------------------------
දවස් තුනක ගෙවුණා.එයා ආව,පොරොන්දු උන විදිහට ම ආව.ඒත් එයා එදා කියන්නම් කියපු විශේෂ දේ!
නෑ ඒ දේ කිව්වෙ නෑ එයා.
එයාගෙ සීතල මිනිය බදාගත්තු අවාසනාවන්ත කෙල්ලක්"මං ඔයාට ආදරෙයි රත්තරනෙ"කියල කෑගහපු සද්දේ,ඉකි ගහපු සද්දෙ හැමෝට ම ඇහුනත් එයාට ඇහුන් නෑ.
එයා පණට වගේ ආදරේ කරපු රගර් බෝලේ ම,එයාගෙ පපුවෙ වැදිල හුස්ම ටික උදුරන් යයි කියල,හීනෙන්වත් හිතුවෙ නෑ කවුරුත්!
මාස 3ක් ගෙවිල ගිහින්.ගොඩක් අයට අමතක වෙලා ඒ උකුසු ඇස දෙක.........ඒත් තාමත් එයාගෙ මතකෙ තුරුල් කරන් කැලණි කන්ද නගිනව පොඩි කෙල්ලක්........
උපුට ගැනීමක්
No comments:
Post a Comment