ආදරෙයි වස්තුවේ...ඔයා මගේ පණ

** ආදරෙයි වස්තුවේ - ඔයා මගේ පණ **

"ඔයා මට ආදරේ නෑ."

අදත් ඇගේ සුපුරුදු නෝක්කාඩුව. කතා කරන ලස්සන ඇස් වල කදුළු පුරෝගෙන ඉන්න ඇය ගැන ඔහුට දැනුණේ දුකක්.

"මං ගොඩක් ආදරෙයි වස්තුවේ."

ඔහු ඇයව තමන්ට තුරුළු කරගත්තා. ඇය ඔහුගේ ඇස්වලට කතා කරන්නෙ. ඒ ඇස් වල ආදරේ පිරිලා. කොල්ලට, කෙල්ල ගැන දැනෙන්නෙ අසීමිත ආදරයක්. ඒ ආදරේ ගැන අප්‍රමාණ  ලෝබකමක් ඔහුගෙ හිතේ තිබුණා.

"ඔයා බොරු කියන්නෙ, මට චුට්ටක්වත් ආදරේ නෑ."

"අනේ ඇයි එහෙම කියන්නෙ වස්තු? මං කොච්චර ආදරෙයිද?"

"ඔයා මට 'ගුඩ් නයිට්' කිව්වෙත් නෑ. මං කිව්ව නිසානෙ 'ගුඩ් මෝර්නිං' කිව්වෙත්."

ඇගේ කතාවට ඔහුගෙ හිත රිදුනෙ නැත්තෙමත් නෑ. මේ කෙල්ල මෙච්චරම බොලද විදිහට හිතන්නෙ ඇයි කියලයි ඔහු හිතුවෙ.

  තමන්ට තුරුළු වෙලා ඇස් දිහාම බලන් කියවන කෙල්ල දිහා ඔහු බලන් හිටියෙ දැහැනකට සම වැදුනා වගේ.

   එකවරම ඔහුට මතක් වුණේ පෙර දිනක ඇය එව්ව කෙටි පණිවිඩයක්.

   "Your soft KiSs 
       means a lot to me,
    Bcoz I feel safe
       When your arms wrapped
        around me
     With much LOVE.."

                    ඇගේ ආදරෙන් පිරුණු දෑස්... පොපියන දෙතොල් මොහොතකට ඔහුට ඔහුවම අමතක කළා.

    ඇගේ කොපුලක මොහොතක් රැදුනු ඔහුගෙ උණුසුම් දෙතොල් ඇගේ දෙතොල් වල හුගක් මෘදුව තැවරුණේ ඇයත් නොහිතුව විදිහට. හරිම ආදරණීය සිපගැන්මකින් පසු ඔහු ඇගේ නළලත දෙතොල තිබ්බෙ පියෙකු දියණියක සිපගන්න සෙනෙහස් හැගීමෙන්.

    ඔවුන් ආදරෙන් බැදී ගෙවුණු කෙටි කාලය පුරාවටම, ඔවුන් ආදරවන්තයන් විදිහට මුලින්ම මුණගැහුණෙ එදා.

      සැබෑ ජීවිතයේ දී ඔවුන් කලින් දැන හදුනාගෙන සිටියත්, අහම්බෙන් සිදුවූ මේ බැදීම මෙතරම්ම හිත් ලං කරාවියැයි දෙන්නම හිතුවෙ නෑ.

      ඔහු තමන්ට ආදරේ කරන බව මුලින්ම ඇය විශ්වාස කලෙත් නෑ. ඒත් ඔහු නොදන්නවා වුණාට ඇගේ හිතෙත් කාලෙක ඉදන් ඔහු ගැන විශේෂත්වයක් තිබුණා.

        ඒක මොන විදිහෙ හැගීමක්ද යන්න කෙල්ලට පහදන්න නොතේරුණත්, ඔහුව ඇයට විශේෂ වුණා. ඒත් කොල්ලගෙ ආදරේ එක්වරම පිලිගන්න විශ්වාස කරන්න ඇය මැලිවුණා. මොකද ඒකට ඕනි තරම් හේතු තිබුණ නිසා.

        දෙන්න ඉමෝ එකේ පැය ගණන් චැට්  කළා. කොහොම හරි කෙල්ල දවසක් තමන්ගෙ හිතෙත් ඔහු ගැන තියෙන ආදරේ කිව්වා. එදා ඔහු ගොඩක් සතුටු වුණා. ඊට පස්සෙ කෙල්ලට ඔහුව නැතිවම බැරිවුණා.

      ඇත්තටම ඔහුත් සීමාරහිතව ඇයට ආදරේ කළා. ඒත් ඔවුන්ගේ ආදරේට සීමාවක් තිබුණා. ඔහුගෙ හිතේ ඇය ගැන, ආදරේ සෙනෙහස ප්‍රේමය මේ හැම විදිහකින්ම අර්ථ ගන්වන්න පුළුවන් හැගීමක් තමයි තිබුණෙ.

    ඔහුගෙ ඒ ආදරේට ඇයත් පුදුම විදිහට ලෝබකම් කරා. එක මොහොතක්වත් ඔහු නැතිව බැරි තරමට ඇය ඔහුට ලංවී අවසන්. හැම මොහොතකම ඔහු ලග රැදෙන්න ඇය ආස වුණත්, ඇගේ දෛවය ඇයව ඒ තරම්ම වාසනාවන්තියක් කලේ නෑ. ඒ වුණත් ඔහුට බැදුණු හිත වෙනස් වුණේ නෑ. මොකද ඔවුන් ආදරේ කලේ ඔවුනොවුන් ගැන දැනගෙන.

   "ආය මාව රිද්දන්න ඔට්ටු නෑ හා ද?"

  ඇගේ හඩින් ඔහු පියවි ලෝකෙට ආවා. ඇය ලග ඉදගෙනම ඔහුගෙ හිත තිබුණෙ දුරක.

   "නෑ වස්තුවේ කවදාවත් නෑ. මං හිතල එහෙම කරන්නෙ නෑනෙ."

   "ඒත් ඔයා මට මැසේජ් නොකර කතා නොකර ඉන්නෙ නපුරුකමට."

   "ඔයානෙ නපුරු. චුට්ට බැරිවුණාම නොකා ඉන්නෙ."

   ඔහු කිව්වේ කෙල්ලව අවුස්සන්න හිතාගෙන.

   "ඉතිං ඒ ඔයා මාව රිද්දන නිසානෙ."

        හැමතිස්සෙම කෙල්ලට ඕනි කොල්ලගෙ ආදරය. ඔහු තමන් ගැන හිතනව කියලා හිතෙනකොටත් කෙල්ලගෙ සතුට උපරිමයි. චුට්ටක් හරි ඔහු don't care කියලා දැනුණ ගමන්, කෙල්ලට ඉවසගන්න බෑ.

         කෙල්ල නොකා නොබී දුකෙන් ඉන්නෙ, ඔහු කොයි වෙලේම හරි මැසේජ් කරල කෝල් කරල හොයල බලයි කියල. ඒත් කොල්ලට එහෙම ගාණක් නෑ. ඔහු පාඩුවේ තමන්ගෙ වැඩ. ඇය ගැන එච්චරම හැගීමක් ඔහුට නෑ. මොකද ඔහුගේ ජීවිතේ ඇගේ ආදරේම නෙමෙයි. ඒත් කෙල්ලට ඒ ආදරේ මහමෙරක්.

    හිතකින් නොවුණ වුණත්, කෙල්ලගෙ තරහ ළග කොල්ල නිහඬ වෙනවා. ඒත් කෙල්ල හිතන්නෙ ඒ තමන්ට ආදරේ නැති නිසා කියලා. කොච්චර හිතන්නැහැ කියලා හිතුවත්, ඉතිං කෙල්ලට ගොඩාක් දුකයි. කෙල්ල දුකින් ඇති කියල හිතන්න තරම් ඔහුට ගාණක් නෑ.

        ඉතිං එහෙම දවසට "ගුඩ් මෝර්නිං" මැසේජ් එකට කෙල්ලත් හිතලම පරක්කු කරල රිප්ලයි යවනවා. ඊට පස්සෙ කොල්ලගෙන් දවස පුරාවටම මැසේජස් නැති වුණත්, කෙල්ලත් පුළුවන් කමකට නොවුණත් පාඩුවේ ඉන්නවා. ඒත් හිත එක්ක සංවාදයෙන් අන්තිමටම කෙල්ල පැරදෙනවා.

     කෙල්ල හොදටම දන්නවා ඔහු තමන්ට කොච්චර ආදරේද කියලා. ඔහු එක්ක හුරතල් වෙන්න, ඒ උණුසුමේ දැවටෙන්න ඇය ගොඩක් ආසයි. ඉතිං පුංචි පුංචි දේවලට ඔහු එක්ක රණ්ඩු කරන කෙල්ල බලාපොරොත්තු වෙන්නෙ, කොල්ලගෙ ආදරේ සෙනෙහස විතරයි.

    හැමදාටම ඔහුගෙ රැකවරණය තමාට හිමි නෑ කියලත් ඇය දන්නවා. ඒත් ඇය ඔහුට අසීමිතව ආදරෙයි.

           ආද්‍යාත්මිකව බැදුණු හිත් කිසිදු බේදයකින් තොරව එකිනෙකාට ලංවෙන්නෙ හිතාගන්න බැරි අපූර්වත්වයකින්. මේ දෙන්නත් එහෙමයි. ඒක ආත්මීය බැදීමක්.

       තවත් දවසක ඔහු කෙල්ලව බලන්න එන්නෙ ඇගේ හිතම සතුටින් පුරවලා. ඒ ආදරේට කෙල්ල පුදුම තරම් ලෝබයි කියලා ඔහුත් දන්නවා.

            නාලා තෙත කොණ්ඩෙ බාගෙට පිහගෙන හිටපු කෙල්ල ඔහුව දැක්ක ගමන්, ලගට ගිහින් තුරුල්වෙන්න බැරිව ලතවුණා. ඒකට හේතු තිබුණත් ඇගේ දග හිත හිතුවෙම එහෙම.
 
    කෙල්ල හදපු ඉගුරු ප්ලේන්ටියත් බීලා කොල්ල ගියේ ඒ තොල් හාදුවකින් උණුසුම් කරලා, කෙල්ලගෙ නළලත් සිපගෙන. ඒ ආදරේ කෙල්ලගෙ පපුවේ සියුම් පටක පුරාවටම දැනුණා. තත්පරයක් දෙකක් නලලත රැදුනු ඒ දෙතොල් පහස කෙල්ලට ගෙනාවේ අපූරු රැකවරණයක හැගීමක්.

.....................................................................

         දවසක් කෙල්ලට ඔහුගෙන් දෙයක් දැනගන්න ඕනි වුණා.

   "තව කාටද ඔයා 'වස්තුවේ' කියන්නෙ?"

   "..............."

   ඔහුගෙ පිළිතුර ඇගේ හිත රිදෙව්වත්, ඒ තමයි ඔවුන්ගේ කතාවෙ ඇත්ත.

                       ආදරේ දී අපි හැමෝම ආත්මාර්ථකාමීයි. ඇයත් එහෙමයි. තමන්ගෙ ආදරේ කිසිම කෙනෙක් එක්ක බෙදාගන්න කෙල්ලෙක් කැමති නෑ. ඒත් තමන් ආදරේ කරන්නෙ ජීවිතේට අහිමි කෙනෙක්ට.

     ඇය ඔහුට කොච්චර ආදරේ වුණත්, මේ ඇත්ත ඇයව රිදවනවා. කෙල්ලට ඕනි ඔහු විතරයි. ඔහුගෙ බැදීම් නිසා හිත රිදවගන්න ඇයට ඕනි උනේ නෑ. ඒක ආත්මාර්ථකාමී හැගීමක්. ඔහුත් එහෙමයි. ඔහුටත් ඕනි කෙල්ල තමන් එක්ක ඉන්න.

        තමන්ට තමන්ව හිමි නැති බව දැන දැනම, දුරින් ඉදන් ඔවුන් ආදරේ කරන්නෙ, ඒ සෙනෙහස ඔවුන්ව සතුටින් තියන නිසා. ඒත් කෙල්ලගෙ හිත රිදෙන අවස්ථා වැඩියි. හිතෙන හිතෙන වෙලාවට ඔහුට කතා කරන්න ඇයට හැකියාවක් නෑ. ඉතින් කෙල්ල ඉන්නෙ ගොඩක් දුකෙන්.

      "ඇයි ඔයා මට වෙනදා වගේ කතා කරන්නැත්තෙ?"

         "එහෙම එකක් නෑ වස්තු."

  ඒත් තමන්ගෙන් දුරස් වෙන්න හදන ඔහුගෙ වෙනස ඇයට දැනෙනවා.
......................................................................

                 පුංචිම දේටත් හිත රිද්දගන්න කෙල්ලගෙ හිත ආයෙම පෑරෙන දෙයක් ඔහු කරල තිබුණ, හිතාමතාම නොකළත් ඔහුගෙ හිතේ තමන්ට තියෙන්නෙ මොන වගේ හැගීමක්ද කියලා ඇය එදා තේරුම් ගත්තා.

      කොච්චර තමාව විශේෂයි කිව්වත්, ඔහුගෙ ජීවිතේ තියෙන බැදීම් ඔහුට සුවිශේෂ බව ඇයට දැනුණා. ඔහු තමන්ට ඇත්තටම ආදරේ නෑ කියලා ඇය හිතුවා. එහෙම නොහිතා ඉන්න ඇයට බැරිවුණා.

    ඔහු මොන තරම් කිව්වත් ඇය සිතන දේ නිවැරදි නොවන බව, ඇයට එය පිළිගත නොහැකි වුණා. ඇගේ නිරන්තර චෝදනා හමුවේ ඔහු නිහඩ වුණත්, ඇය හිතුවෙම ඒ ඔහු තමන්ට ආදරේ නැති නිසා එහෙම ඉන්නවා කියලා.

    ඔහුව අමතක කරල හිත හදාගන්න හිතුවත්, කෙල්ලට ඒක කරන්න පුළුවන්කමක් තිබුණෙත් නෑ. ඔහු දවස් දෙක තුනක්ම කතා නොකර හිටියෙත් ඇගේ තරහ නිමෙනකම්.

     ඒත් කෙල්ල හිතුවෙ ඔහු ආදරේ නැති නිසා එහෙම ඉන්නවා කියලා. දවස් ගාණක් ඔහේ ගෙවිලා ගියේ ඇයට කන්න බොන්නවත් සිහියක් නැතිව.

ඔහු මැසේජ් කලත් වෙනදා වගේ ආදරණීය නොවන බව ඇයට තේරුණා. දවසට කීප සැරයක් කතා කළ ඔහු නිහඬ වුණේ ඇගේ හිත දුකින් පුරවලා. තමන්ට ආදරේ නැති නිසා ඔහු නිහඬ වෙද්දී, කතා කරල කරදර කරන්න ඇය හිතුවෙත් නෑ.

        ඒවා හිතලම ඇය දවසක් අසනීප වුණා. ඒත් කොහොමද අහනවා ඇරෙන්න ඔහු ඇය ගැන ඊට එහා හිතුවෙ නෑ. කෙල්ල හිතුවෙම ඔහු තමන්ව බලන්න එයි කියලා. ඒත් එහෙම නොවුණම කෙල්ල තේරුම් ගත්තා ඔහු තමන්ට ආදරේ නැති බව.

    ඒත් ඔහුට බැදුණු හිතේ වෙනසක් නෑ කියලා ඇය දන්නවා. ඔහුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන්න ඇය හිතාගත්තා. තමනුත් පාඩුවේ ඉන්න තරමට හිත හදාගන්න පුලුවන් වෙයි කියල කෙල්ල හිතන්නෙ.

...............................................................

      අපි ආදරේ කරන්නෙ විදින්නෙ අපේ හදවතට දැනෙන හිතකින්. ඉතිං ඇයත් ඔහු ලග ආදරේ විදීම වරදක් නෙමෙයි.

    ඔහුට ඇය හා රැදෙන්න තිබෙන අවස්ථාව ඉතාමත් කෙටියි. ඒ වගේම ඔහුට ඇය ගැනම හිතනවට වඩා වැඩ වැඩියි.

   "කෝ ඔයා...?"

   ඉතිං කෙල්ලට ඉන්න බෑ. කොල්ලගෙන් පිලිතුරු ප්‍රමාද වෙද්දි කෙල්ලට තරහයි.

   "You don't LOVE me, I won't disturb U again."

   මේ කෙල්ලගෙ සුපුරුදු නෝක්කාඩු මැසේජස්. ඉතිං කොල්ලට හිනා. මොකද ඔහු දන්නවා ඔහොම එව්වට කෙල්ලට ඉන්න බෑ කියලා.

    "It's okay, I love when you disturbing me."

   ඉතිං කෙල්ල දිගට හරහට මැසේජස් යවනවා. ඒත් කොල්ලගෙන් හැම එකටම පිළිතුරු නැති වුණාම කෙල්ලට දුක වැඩියි.

    කෙල්ල බොලදයි; සංවේදීයි. ජීවිතයේ කවුරුත් නැතිව තනිවුණු කෙල්ලට ඒ ආදරේ මහමෙරක්. ඉතිං කෙල්ල ඒ ආදරේට ලෝබවෙන සංවේදී වෙන එක අරුමයක් නෙමෙයි.

                ඒත් වෙලාවකට කෙල්ලව තේරුම්ගන්න ඔහුට අමාරුයි. ඇගේ හිතේ තියෙන දෙයක් ගැන, ඔහුට දැනෙනවා අඩුයි. කෙල්ල දුකින් වුණත් ඔහුට දැනෙන්නෙ නෑ.

"අමාවක සිත් අහස
  දිදුළ පුන් සද
  නුඹ...."

     මේ වරක් ඇය ඔහුට ලියූවක්. ඇගේ හිතේ ඔහුට වෙන්වුනු ආදරේ කොයි තරම්ද කියලා ඔහුට තේරුමක් නෑ.

    ඔහු ගොඩක් වෙලාවට ඇය ගැන හිතුවත්, ඔහුගෙ සීමාවන් වල ඔහු හිරවෙලා. ඉතිං කෙල්ලගෙ දුක ගැන ඔහුට හැගීමක් නෑ. කෙල්ලගෙ සංවේදී බව එක්ක සමීප වෙන්න තරම් ඔහු විවේකි පුද්ගලයෙක් නෙමෙයි.

     "ඔයාට මාව මතකවත් නෑ..."

වෙලාවකට බලන් ඉදලා බැරිම තැන කෙල්ල යවනවා.

    "මතකයි always."

     "ඔයා මට කොච්චර ආදරේ ද?"

     " no limit.."

          හැරෙන පමාවට ඔහුගෙන් පිලිතුර. මොකද කොල්ල දන්නවා කෙල්ලගෙන් බේරෙන්න බෑ කියලා.

         ඔහුගෙ හිතේ තමන් වෙනුවෙන් මොන විදිහෙ හැගීමක්ද තියෙන්නෙ කියලා කෙල්ලට තාමත් හිතාගන්න බෑ. වෙලාවකට මහ හුගක් ආදරේ පෙන්වන ඔහු වෙලාවකට හිතාගන්න බැරි තරම් නිහඩයි.

       කෙල්ල හැමතිස්සෙම ඉන්නෙ හිත රිද්දගෙන. ඇය ඔහුට ඒ තරමටම ආදරෙයි. ඔහු කෙල්ලව මීට වඩා තේරුම් ගන්නවානම් හොදයි.

     ......................................................

    නමක් දන්නැති ඒ බැදීම කොහොම ඇති වුණාද කියලා කෙල්ලවත් තාම දන්නෙ නෑ. ඔහු කොච්චර තමන්ව රිදෙව්වත් ඇයට ඔහු නැතුවත් බෑ. ඔහු රිදවනවටම වඩා කෙල්ලම හිතල හිත රිද්දගන්න අවස්ථා වැඩියි.

    ඒත් මොන වැඩ අස්සෙ වුණත් ඔහු වෙනුවෙන් කාලය කැප කරන්න ඇය දෙවරක් හිතන්නෙ නෑ.

         කොල්ලට වැඩත් එක්ක ඇය ගැන බලන්න බැරිවෙන අවස්ථා වැඩියි. ඒකයි කෙල්ලට ගොඩක්ම දුක. ඒක ආදරේ වැඩිකම ද මෝඩකම ද බොලදකමද කියල කෙල්ල දන්නෙත් නෑ. ඒත් ඇය දන්න එකම දේ ඔහු තමන්ගෙ ජීවිතේ කියලා.

       ඒත් තමන් බලාපොරොත්තු වෙන තරමටම ඔහුගෙන් සැලකිල්ලක් නැතිවෙද්දි කෙල්ලට හිතාගන්න බෑ ඔහු තමන්ට ආදරේද නැද්ද කියලවත්. ඒක ඇගේ නොතේරුම්කම වෙන්නත් පුළුවන්.

             ආදරේ විග්‍රහ කරන්න පුලුවන් හැගීමක් නෙමෙයි වුණත්, වෙලාවකට කෙල්ලට බයයි ඒ ආදරේ වෙනස් වෙලාද කියලා.

     "ඔයාට මාව කරදරයක් නම් මං ඔයාගෙ ජීවිතෙන් අයින් වෙලා යන්නම්."

     ගොඩක්ම දුක හිතුණු වෙලාවක ඇය එහෙමත් හිතුවා. තමන්ට ඔහු ආදරේ නැත්නම් කලින් වගේ හොයා බලන්නෙත් නැත්නම් ඔහුට කරදරයක් නොවී අයින් වෙන එක හොදයි කියලයි ඇය හිතුවෙ.

     පැය ගාණකට පස්සෙ ඔහුගෙන් පිලිතුරක් ලැබුණත්, ඇගේ රිදුනු හිත ඔහු හදුනගෙන තිබුනෙ නෑ.

    "මං ඔයාට ආදරෙයි. වැරදියට තේරුම් ගන්නෙපා."

    ඔහු ආයෙම එවලා තිබුණත් ඇය නිහඬ වුණේ, ඔහුගෙ වෙනස්කම් ඇයව ගොඩක් රිද්දලා තිබුණ නිසා. ආයෙම කතා නොකර ඉන්නවා කියලා, කෙල්ල කොච්චර හිතුවත් ඇයට ඒක කරන්නත් බෑ.

    තමන් හුස්ම ගන්නෙ ඔහුගෙ සුවද හිතේ පුරෝගෙන කියලා ඇය දන්නවා. මොන තරම් රණ්ඩු වුණත්, ආදරේ නෑ කිව්වත් ඇගේ යටි හිත පතන්නෙම ඔහුගෙ ආදරේ.

    "ඔයා ඇයි මට ආදරේ? ඔයා කොහොමද කියන්නෙ මට ආදරෙයි කියලා?"

   ඇයට දැනගන්න ඕනි ඔහු ඇත්තටම තමන්ට ආදරේ ද කියලා. අහේතුකවම නොවුණත් ඇගේ හිතේ නොපැහැදිලි හැගීමක් තියෙන්නෙ. ඉතිං තමන්ට හිතෙන්නෙ මොනවද ඇය ඔහුට යවනවා.

           ඒත් ඔහුගෙන් ඒවට පිළිතුරු නෑ. එතැනදි ඔහු නිහඩයි. ඔහුගෙ හිතේ තියෙන දේ කියන්න ඇයි ඔහු පැකිලෙන්නෙ? ඇය හිතන්නෙ එහෙම.

     ඇත්තටම ඔහු නිහඩ වෙද්දි, කෙල්ල හිතන්නෙ එයාට කියන්න දෙයක් නැත්තෙ මට ආදරේ නැති නිසානෙ කියලා.

    මෙතනදි අපි ඔහුගෙ හිතේ හැගීම් කියන්න දන්නෙ නෑ. ගොඩක් වෙලාවට පිරිමි ළමයි තමන්ගෙ අවංක හැගීම් ප්‍රකාශ කරනවා අඩුයි. ඔවුන් ආදරේ වුණත් ලේසියට පෙන්වන්නෙ නෑ.

    ඒත් ඇයට ඕනි ඔහු තමන්ට ආදරෙයි කියල නිතර කියනව අහන්න. මේ දේ නිසා මං ඔයාට ආදරෙයි කියනවා අහන්න. ඒත් ඔහු ඒ ගැන වැඩිය හිතන කෙනෙක් නෙමෙයි.

    කොච්චර වැඩ අස්සෙ වුණත් ඔහු වෙනුවෙන් බලන් ඉන්න කෙල්ලට මේක හිතට මදි. කෙල්ලට ඉවසීමක් නෑ. ඔහු කාර්යබහුල අවස්ථාවකද ඉන්නෙ කියල ඇය දන්නෙ නෑ.

   මේ කිසි දෙයක් නොදැන කෙල්ල ආදරේට හිතල එවන මැසේජ් එකක් නිසා කොල්ලට තරහ ඇවිත් නිහඩව ඉන්නවා. ඒත් කෙල්ල හිතන්නෙ එයා මට ආදරේ නෑ කියලා.

   ඇයි එහෙම එයාට හිතෙන්නෙ. කොල්ල තමන්ගෙ ආදරේ පෙන්නන්නෙ නෑ. හිතේ තියන් ඉන්නවා. ඒත් කෙල්ලට ඕනි තමන්ව තුරුළු කරගෙන හාදුවක් දීලා හුරතල් වෙන කෙනෙක්. ආදරේ දී අපි හැමෝම බොලදයි. ඒක සරලයි. එහෙම නොවෙන ආදරයක සුන්දරත්වයක් නෑ.

      ආදරේ දී මොන ප්‍රශ්න ආවත් නිහඬ වීම නෙමෙයි උත්තරේ. හිත රිදවගෙන හරි ඒ ගැන කතා කරල හරි අවබෝධයකට එන්න ඕනි. ඔහුත් ඇයත් දෙන්නම වැරදියි. තමන්ගෙ ජීවිත ගැන මීට වඩා හිතන්න ඕනි.
......................................................................

       සමහර අවස්ථාවලදී අපිට අපි ආදරේ කරන අය වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කරන්න වෙනවා. ඒක සාමාන්‍යයි.

    පහුගිය දවසක, හිත රිදවගත්ත අවස්ථාවක ඇය ඔහුට මැසේජ් යවනවා,

     "මට මේ ජීවිතේ ඇති වෙලා. මැරෙන්න හිතෙනවා...." කියලා.

   ඒ ඇගේ හුදෙකලා හිතට දැනුණ හැගීමක් වෙන්නැති.

    "විකාර කියවන්නෙපා. කවදාවත් එහෙම හිතන්නෙපා."

      "නෑ මට දැන් මේ ජීවිතේ එපාවෙලා තියෙන්නෙ. මං තනිවෙලා, ඔයාත් දැන් ගොඩක් වෙනස්. මට ආදරේ නෑ."

    "මං වෙනස් වෙලා නෑ. මං ඔයාට ආදරෙයි."

   කෙල්ලට හිතට සතුටුයි, මොකද ඔහු කෝල් කරලම කෙල්ලගෙ හිත හදනවා. දෙන්න මැසේජ් කර කර ඉන්නවා.

    "ඔයා කෑවද මං කන්න හදන්නෙ."

     "මාත් කන්නම්..මට උම්මා එකක් ඕනි."

     "ආදරෙයි මං."
  
      " ඉල්ලලත් උම්මා එකක් දුන්නැහැ, ඔයා හොද නෑ."

      කෙල්ල යන්තමට කාල නිකම් ඉන්නවා. ඒ තරහයි දුකයි දෙකම නිසා. ඇය ඔහුට ආදරෙයි. හැම පුංචි දේම ඇයට හරි ලොකුයි. ඉතිං උම්ම ඉල්ලුව එක අමතක කරල මැසේජ් කළ එකට ඇය ඉන්නෙ තරහෙන්.

      "මං ඇවිත් දෙන්නම්."

       "කවද්ද?"

      ඔය විදිහට දෙන්න එක්ක හුරතල් වෙවී කතාව. කෙල්ලට ඕනි නිතරම කොල්ල එක්ක පුංච් එකෙක් වගේ දගලන්න. ඒ ඇස් එක්ක කතා කරන්න. ඒත් කොල්ල ලේසියට ඇයව බලන්න එන කෙනෙක් නෙමෙයි. ඔහුව දකින්න , නිතර කතා කරන්න බලන් ඉන්න ඇගේ හිතට ඔහුගෙ මේ හැසිරීම් ගෙන්නෙ දුකක්.

    වෙලාවකට ඇය එක්ක හුරතල් වෙන ඔහු, ඊලඟ තත්පරයෙ සම්පූර්ණයෙන් වෙනස්. ඇයට ආදරෙයි කිව්වද කියල හිතාගන්න බැරිතරම්. ඉතිං ඇය මේ දේවල් නිසා හිතින් විදවනවා.

    "මගේ ආදරේ ඔයාගෙ ජීවිතේට ප්‍රශ්නයක් කරගන්න එපා."

       ඔහු කියන්නෙ එහෙම.

    "ඔයාට හොද කෙනෙක් හම්බවෙයි."

     ඒත් ඔහුට ආදරේ කරන කෙල්ල, තව කෙනෙක්ට ආදරේ කරන්නෙ කොහොමද? ඒක කෙල්ලට ගැටළුවක්.

     ඔහුව තමන්ට අහිමි වුණත්, ඇය ඒ හිතට පෙම්බැද අවසන්. ඔහුත් ඇයට ආදරෙයි. ඇගේ කුමක් හෝ විශේෂත්වයක් නිසා, කොල්ල ඇයට ආදරේ කරනවා වෙන්නත් පුළුවන්. කෙල්ලව තමන් ලගට ගන්න බැරි නිසා, කෙල්ලගෙ අනාගතය ගැන ඔහු හිතල එහෙම කියන්න ඇති.

     "ඔයා මට ආදරේ ඇයි?"

  ඒකයි ඇය මෙහෙම කොල්ලගෙන් ඇහුවෙ. එහෙම ඇහුවත් ඇයට උත්තරයක් ලැබුණෙ නෑ. ඔහුටත් උත්තරයක් නැතිව ඇති. කෙල්ලටත් ඔහුටම හිත බැදෙන්න ඇත්තෙ සංසාරගත පුරුද්දකට වෙන්නැති.

    දවස පුරාවටම සතුටින් ඉදල, එක සැරේ නිහඩ වෙන ඔහු කෙල්ලට යමක් හිතන්න ඉඩ දෙනවා වෙන්න පුළුවන්. ඔහුට බැදුණු හිත ආය වෙන කෙනෙකුට දෙන්න තරම් ඇය, ඔහුගෙ ආදරේ සැහැල්ලුවෙන් හිතන්නෙ නෑ. එක හිතින්ම ඔහුට ආදරේ කර ඇය, ඔහුවම අපේක්ෂාවෙන් හිටියත්, ඔහුට ඉඩ වඩා වැඩ.

   තමාගෙ හීන ලෝකෙ සිටි ඔහුට මේ විදිහට ආදරේ කරන්න ලැබුණ එකත්, ඇයට හීනයක් වගේ. ඒ නිසාම ඇයට එය විශ්වාස කරන්න බැරි හැගීමක් ඇති.

       ඔහුගෙ උණුසුමේ රණ්ඩුවෙවී ගත කරන මේ ජීවිතේ අවසානයක් ඇය දවසක දකීවි. එදාට ඇය දුක් වෙයිද පසුතැවිලි වෙයිද ඇයම තේරුම් ගනීවි.
                     ...........................
     
   අහම්බෙන් නොසිතූ මොහොතක හමුවුණු කෙනෙක්ට වුණත් අපේ හිතේ  ආදරයක් ඇතිවෙන්න පුළුවන්. කිසිම කෙනෙක් පස්මහ බැලුම් බලල ආදරේ කරන්නෙ නෑනේ. 

      අපි හීනෙකින්වත් බලාපොරොත්තු නොවූ කෙනෙක් අපේ ඇස් ඉස්සරහට ආවොත්, ඒ ඇස් එක්ක දොඩමළු වෙන අපේ හිතේ ඇතිවෙන ආදරේ අපිටත් හොරාම ඇතිවෙන හැගීමක්.

   ඒ වගේමයි ඇය කොල්ලට ආදරේ කළෙත්.

   ඔහු සමග කළ කතාබහ, ඔහුගෙ හිතේ තමන් ගැන තිබුණ කැමැත්ත දැනගත්තම ඇයත් නොදැනුවත්වම ඔහුට ආදරේ කරන්න ගත්තා. දෙහිතක සෙනෙහස අපූරුවට දළුලෑවා.

    ඔහුගේ ආදරේ ඇයට මහමෙරක්; ඊටත් වඩා ඇයට කොල්ලව දැනුණා. නිතර කතා කරල තමන් ගැන බලද්දි ඔහු ඇයට කොච්චර ආදරේද කියලා කෙල්ල තේරුම් ගත්තා. ඇයටත් ඔහු නොමැතිව බැරිවුණා.

        ඔහුගෙන් ඇමතුමක් බලන් ඉදල බැරිම තැන ඇය නෝක්කාඩු කියල මැසේජස් යවනවා. එතකොට ඔහු හිතන්නෙ කෙල්ල ඉන්නෙ කේන්තියෙන් කියලා, ඉතිං ඒ බව දැනුණම ඔහු කරන්නෙ නිහඬ වෙන එක.

     ඒත් ඒ නිහඬ බව ඇගේ හිතට දුකක්. ඇගේ මැසේජස් එකකටවත් ඔහු පිලිතුරු එවන්නෙ නෑ. කොල්ලගෙ හිත තේරුම් ගන්න ඇය අපොහොසත්. ඔහුව නැතුවත් බෑ. වෙලාවකට කෙල්ල හිතන්නෙ මේ හැමදේම අමතක කරලා නිහඩ වෙන්න. ඒකට හිත හදාගන්නත් ඇයට අමාරුයි.

    තමන් කතා නොකරන එක ඇයට දුකක් බව ඔහු හිතන්නෙ නෑ. ඇය හිතන්නෙ කොල්ල තමන්ට ආදරේ නෑ කියලා. කෙටි ඇමතුමකින් පණිවිඩයකින් හැමදේම කතා කරගන්න බෑ. ඒත් ඔවුන්ට හමුවෙන්න අවස්ථාවත් අඩුයි.

      හිතේ තියෙන දේවල් කතා නොකර හිතේ ගුලිකරන් ඉන්න එකෙන් දෙන්නම හිත රිදවගන්නවා විතරයි. ඔවුන් තාමත් එකිනෙකාගෙ සිතුවිලි හරියටම තේරුම් අරගෙන නෑ. ඒකයි දෙන්නම හිත් රිදවගෙන නිහඩව ඉන්නෙ.

   "ඔයා මට චුට්ටක්වත් ආදරේ නෑ."

ඇය නිතරම ඔහුට චෝදනා කළා. ඇය දන්නවා ඔහු තමන්ට ආදරෙයි කියලා. ඒත් ඇයට ඕනි ඔහුගෙන්ම ආය ආයෙම ඒක කියවගන්න. ඒත් ඔහුට ඇගේ බොලද සිතුවිලි වැටහෙන්නෙ නෑ.

"මං වෙනස් වෙලා නෑ."

    ඔහු කියන්නෙ එපමණයි. ඒත් කීප දිනකින්ම ඔහුගෙන් "GOODNIGHT" මැසේජස්  නැතිවුණාම ඇය තේරුම් ගත්තා, ඔහු වෙනදා වගේ තමන් ගැන සැලකීමක් නැති බව.

   ඒ ගැන ඇහුවම කොල්ල කියන්නෙ තමන්ට නින්ද ගිය බව. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් දවස් කීපයක්ම මෙහෙම වෙද්දි, කෙල්ල හිත රිදවගන්නෙ ඔහු හිතාමතාම එහෙම කරන බව හිතලා.

    කෙල්ලට කිසි දෙයක් හිතාගන්න බෑ. තමන් නිකරුණේ කොල්ලව සැක කරනවද කියලත් ඇයට හිතෙනවා. ඒත් ඔහුගෙ මේ හැසිරීම ඇයව රිදවනවා. මේ අවිනිශ්චිතතාව ඇගේ හිතට බරක්. මොකක්ද කරන්න ඕනි කියලා ඇයට වැටහීමක් නෑ.

       ඇය නිකරුණේ හිත රිදවගන්නේ ඔහු ගැන ඕනිවටත් වඩා සිතන නිසා. තමන්ට ඔහුව අහිමි වේවියැයි බියක් ඇගේ හිතේ තියෙනවා. කෙල්ලෙක් සියුමැලි වැඩි වුණාමත් ඒක ඇගේ ජීවිතයට අහිතකර විදිහට බලපානවා. කෙල්ල ඔහුව ජීවිතයම කරගෙන උන්නත්, ඔහුට එහෙමට විශේෂයක් කෙල්ල ගැන දැනෙන්නැතිව ඇති.

       පුංචි දේකට කෙල්ල නෝක්කාඩු කිව්වත් ඔහු නිහඩ වෙන්නෙ ඒකයි. ඒත් ඔහුගෙ නිහඬතාවය ඇගේ හිතේ ඇති කරවන්නෙ ඔහු තමන්ට ආදරේ නෑ කියන වැටහීම.

       දවසක් කෙල්ල තීරණයක් ගන්නවා, ඒ ඔහුගෙ ජීවිතෙන් සමුගන්න. ඒක කරන්න පුළුවන් කමකට කරපු දෙයක් නෙමෙයි. ඒත් හැමදාමත් රණ්ඩුවෙවී කරන මේ ආදරේ දවසක ඔහුටත් එපාවේයැයි ඇය හිතනවා.

        ඔහුගෙ නොතැකීම් එක්ක මේ දේවල් සිදුවුණත්, කොල්ලට ඒ ගැන අවබෝධයක් නෑ. කතා කරත් හරි හදිසියෙන්; ඉතිං හිතේ තියෙන දෙයක් කියන්නවත් කෙල්ලට අවස්ථාවක් නෑ. ඉවසලා බැරිම තැන ඇය මේ තීරණය ගන්නවා.

      මොකුත් නොදන්න කොල්ල ආයෙම වෙනසක් නැතිව කෙල්ල එක්ක කතා කරනවා. ඉතිං හදාගත්ත හිත වෙනස් වෙන්න ඇයට වැඩි වෙලාවක් යන්නෙ නෑ.

       නිරන්තරයෙන් සිදුවෙන මේ රණ්ඩු වල අවසානයකුත් නෑ. ඇයටත් ඔහුගෙන් ඈත්වෙන්න හිතක් නෑ.

     ******************************

       දවසක් ඔවුන් හමුවෙන්න තීරණය කරනවා. කෙල්ල ඉන්නෙ හරිම සතුටින්. ඇය ඔහු ගැන දහසක් හීන මවනවා. ඉතිං ඒ සුපුරුදු දවසෙ ඔහුව හමුවෙන්න හිටපු අන්තිම තත්පරයෙ ඇය ක්ෂණික සිතුවිල්ලක් නිසා ඔහු හමු නොවී යනවා.

      තමන් ගත් තීරණය ගැන පසුතැවිලි වුණත් ඇයට එවෙලෙ කරන්න දෙයක් තිබුණෙත් නෑ.

    ඇය කතා කළත් ඔහු හිත රිදවගෙන ඉන්නෙ කියලා කෙල්ලට වැටහුණා.

  "ඔයාට මාව විශ්වාස නැති නිසානෙ හිටියෙ නැත්තෙ?"

   "එහෙම දෙයක් නෙමෙයි පණ, කියන දේ තේරුම් ගන්නකො. විශ්වාස නැත්නම් ආදරේ කරන්නැහැනෙ."

   "ඔව් ඒකනෙ විනාඩි දහයක් ඉන්න බැරිවුණේ."

    "ඉතිං ඔයා ඉන්න කිව්වෙත් නෑනේ."

    "ඒක ඔයා හිතන්න ඕනිනේ."

    තමන් නොහිතා කළ දෙයින් දෙන්නගෙම හිත් රිදුණු බව කෙල්ල තේරුම් ගත්තා. ඒත් ඔහුගෙ මුරණ්ඩු හිත ඇයට නැවත අවස්ථාවක් දුන්නෙත් නෑ.

      ඒ සිදුවීමෙන් පස්සෙ ඔහු තමන්ගෙන් දුරස් වූ බවක් ඇයට දැනුණා. කොල්ල හිත රිදවගෙන ඉන්න නිසා එහෙම කරනවද නැත්නම් ඇයගෙන් අයින් වෙන්න හිතාගෙන එහෙම කරනවද කියලා කෙල්ලට හිතාගන්න බැරිවුණා.

    "Good morning වස්තුවේ!"

     හැමදාමත් උදේට ඇය බලාපොරොත්තු වෙන ආදරණීය කෙටි පණිවිඩය. ඉතිං ඒක දැක්කම හිතේ තිබුණ තරහ ඔක්කොම ඉවරයි.

     "Good morning පණ!"

     ඇගේ ජීවිතයම ඔහු තමයි. ඔහු ගැන නිරන්තර සිතුවිල්ලෙන් ඉන්න කෙල්ලට ඔහුගෙන් ලැබෙන ඇමතුමත් ගොඩක් වටිනවා. දවස පුරාවටම බලන් ඉදල ඇමතුමක් නැති වුණාම කෙල්ලට දුකයි. ඇගේ බොලද හිත ගැන වැටහීමක් ඔහුට නෑ.

     ඒ නිසා කෙල්ල නිතරම ඉන්නෙ දුකෙන්. තමන්ගෙ වැඩත් හරියට කරගන්නැතිව කරන මෝඩ වැඩ ගැන කෙල්ල පසුතැවිලි වුණත්, ඔහුව අමතක කරන්න හිත හදාගන්න ඇයට බෑ.

    මේ විදිහට ඔවුන්ගෙ ආදරේ නෝක්කාඩු මැදින් ගෙවුණත් එහෙම වෙන්න හේතුවක් දෙන්නටම හිතාගන්න බැරිවුණා. ඒකට ප්‍රධානම දේ දෙන්නගෙම වැරදි වැටහීම වුණත් කවුරුත් ඒක තේරුම් ගත්තෙත් නෑ.

        හිතේ හැගීම් ගුලි කරගෙන හිත රිදවන්න අකැමැත්තෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරපු දෙන්නම තනි තනිවම විදෙව්වා.

      "ඇයි ඔයා මට ඉස්සර වගේ කතා කරන්නැත්තෙ, ම්ම්ම්ම්... දැන් මැසේජ් කරන්නෙත් නෑ."

     "ඔයා වෙනස් වෙලා."

     "මගේ කිසි වෙනසක් නෑ. ඔයා වැරදියට තේරුම් අරන්."

      ඔහු නිතරම කියන්නෙ එහෙම. ඒත් කලින් පැය ගණන් චැට් කරපු, ඉඩක් ලද විට කතා කරපු කොල්ලගෙ වෙනස ඇයට දැනෙනවා. ඒකට හේතුවක් දෙන්න ඔහු අසමත්. ඔහුගෙ නිහඩ බව කියාපාන්නේ ඇය හිතන දේවල් නිවැරදි බව.
  
     ඇත්තටම මේ ආදරෙන් සිත රිදවගත්තත්, ඔහුගෙන් ඈත්වෙන්නත් ඇය අකැමැතියි. රණ්ඩුවෙවී ඇය ඒ ආදරේම හෙව්වෙ ඒකයි. කොයිතරම් ඔහු එක්ක හුරතල් වෙන්න, ඒ ආදරේ ලග දග කරන්න හිතට එන සිතුවිලි හිර කරන් හිටිය කෙල්ල තම සිතැගි ඔහුට කිව්වා.

   "මාව බලන්නවත් ආවෙ නෑ. දැකපු දවසක් මතකත් නෑ. ඔයා මට චුට්ටක්වත් ආදරේ නෑ."

   කෙල්ල එහෙම කිව්වෙ ගොඩක් දුකෙන්, ඉවසලා බැරිම තැන.

   "හෙට උදේ එන්නම්."

   "කීයටද?"
  
   "මං උදේ ඔයාට කෝල් කරන්නම්."

එදා කෙල්ල හිටියෙ පුදුම සතුටකින්. අළුත් අවුරුද්දට ඔහු වෙනුවෙන්ම ගත් තිළිණය දෙන්න මීට වඩා අවස්ථාවක් නොලැබෙන බව කෙල්ල දන්නවා.

                        ඉතිං ඔවුන්ගේ ආදරයේ හාපුරා කියා එලඹුණු මේ අවුරුද්ද ඇයට සුබයි. ඇය හීනෙනුත් දකින්නෙ ඔහුව.

   "Good morning පණ!"

     ඇය උදෙන්ම ඇහැරෙන්නෙ ඔහු එන බව දන්න නිසා. ඇය පේවෙන්නෙ තමන්ගෙ හිත හොරාගත් ඒ ආදරේ හිත පුරා දැකගන්න.

   "Good morning වස්තුවේ!"

   ඔහුගෙ පිළිතුර ප්‍රමාදයි. ඒත් ඇය හිතන්නෙ ඔහු එයි කියලා.

    "Coming?"

    "No, had to ..... however will come today."

                      එයට කුමක් කියන්නද නොතේරුණත්, කෙල්ල එක දෙයක් තේරුම් ගත්තා. ඒ තමන් මෙච්චර කාලයක් දැකපු හීනෙන් අවදිවුණ බව. ඒ හිතේ තමන්ට ඉඩක් නැති බව ඔහු නොකියා පැවසුව බව කෙල්ල දැනගත්තා.

    ඒ සියල්ලම දැනගෙන ආදරේ කළත්, මේ සත්‍ය තමාට නොතේරුණේ ඇයි කියලා හිතින් ඇහුවත් කෙල්ලට උත්තරයක් තිබුණෙ නෑ.

  හීන් ඉකිය වළකා නැගුණ හුස්ම හිරවී ගියානම් හොද බව ඇයට හිතුණා. හැමදාමත් හිතුවත් ඔහුගෙන් වෙන්ව යන්න බැරිව ලතැවුණු ඇය ගැන ඇත්තටම හැගීමක් ඔහුට තිබූණේ නෑ. එහෙම වුණා නම් මේ තරම්ම ඔහු කෙල්ලව රිදවන එකකුත් නෑ.

      ඒත් ඇගේ දෛවය කෙල්ලට උරුම කළේ දුකම විතරයි.

   "If you don't have time, if you don't want to talk, if you can't do anything for me, why did you love me?"

  අවසානෙටවත් ඔහුගෙන් ඒකට උත්තරයක් ආවෙ නෑ.

   තමන් මෙච්චර දවසක් මිරිගුවක් පස්සෙ ගිහින් කියන එක කෙල්ල තේරුම් ගත්තෙ, ඔහුගෙන් කිසිම විදිහක හිත සැනසෙන විදිහෙවත් ප්‍රතිචාරයක් නොමැති වුණ නිසා.

     ඇයට මේ දේවල් හිතාගන්න බෑ, කෙල්ල හීනෙකින්වත් මේ තරම් බොරුවක් බලාපොරොත්තු වුණේ නෑ.

හිතින් විදව විදව ජීවත්වුණ ජීවිතයට හිනාවක් අරන් ආව ඔහුම ජීවත් වීමත් එපා කරාවියැයි ඇය හිතුවෙ නෑ.
    
      ***********************

    ඔහු කෙරෙහි තම හිත බැදුනෙත් මේ යැයි හේතුවකින් පැහැදිය නොහැකි හැගීමකින් කියල කෙල්ල දන්නවා. ඔහු තමන්ට ලංවෙද්දී අහිතක් නොසිතාම ඒ ආදරේ විදින්න ඇය කැමති වුණෙත් ඒකයි.

    "මං ඔයාට ආදරෙයි." කොල්ල හැමදාමත් කිව්වෙ එහෙම.

"මං අද ඔයාව බලන්න එනවා."

දවසක් උදේ කොල්ල කිව්වෙ ඇගේ හිතේ සතුටු මල් පිපෙද්දී.

ඉතිං කෙල්ල පෙර මග බලන් උන්නෙ ආසාවෙන්.

ඒ සුදු මූණ දකිද්දී කෙල්ලට ලෝබයි.

"ලස්සනයි ෂර්ට් එක..." ඇය කිව්වෙ ඒ සුරතෙ පැටලිලා.

නිලට හුරු කොටු කොටු ෂර්ට් එක ඒ කඩවසම් රුව තවත් ලස්සන කළා.

   කෙල්ලගෙ අතින් අල්ලල ලගින් වාඩි කරවගෙන ඒ ඇස් එක්ක කතා කරද්දී, ඇය නොදැනුවත්වම ඒ උණුසුමේ දැවටුණා. ඇස් වල පිරුණු හැගීම් එක්කම ඒ සුරත බද වටා එතෙද්දී ඇය ඔහුට ඉඩ දුන්නෙ ආදරෙන්.

     අල්පෙනෙත්තක් බිම වැටුණත් ඇහෙන තරම් නිහඩ බවක් පැතිරෙද්දී, ඒ දෙතොල් උණුසුම් වුණා. ඔහුගේ පහසට නතුවෙලා හුරතල් වුණ කෙල්ලට ඔහුගෙන් මිදෙන්න ලෝබකමක් ඇතිවුණේ ඒ ආදරේ උණුසුම සදාතනික නොවන බව දන්න නිසා.

  ඇයව තුරුල් කරගෙන සිපගත්ත කොල්ල හැමදාමත් වගේ ඒ නළලත උණුසුම් හාදුවක් තවරන්න අමතක කළේ නෑ.

    මේ විදිහට දවස් කීපයක්ම කොල්ලගෙ තුරුලේ උණුසුම් වුණ කෙල්ල, ඒ දෙතොල් පහස මැද අතරමං වුණේ ඒ ආදරේ පපුව පුරා විදගනිමින්.

     ඔහුගෙ දෑගිලි තම සිරුර පුරා  දග කරද්දි මොහොතකට ඇය තිගැස්සුණා.

    "බයවෙන්නෙපා වස්තුවෙ.. මං ඔයාට කරදරයක් කරන්නැහැ."

        සිපගැන්මකින් එහා නොගිය ඒ ආදරේ ගැන කෙල්ල හිතුවෙ හරිම පහන් හිතකින්. ඒ අතින් ඔහු හරිම උසස්. තමන්ව හරි ආදරෙන් පරිස්සම් කරන  කොල්ල ගැන විශ්වාසයක් ඇයට තිබුණා.

           ඇස් පුරා ඉහිරෙන හැගීම් විදගෙන ඔහු තුරුලෙ හුරතල් වෙද්දි, තමන් කරන්නෙ වරදක් බව කෙල්ලට අමතකයි.

  "අපි දෙන්නම වැරදි නෑ." ඔහු කියන්නෙ එහෙම.

     ඉතිං ආදරේ විදින්න ඔවුන්ට තහනමකුත් නෑ.

    කොල්ලගෙ සුවද වත පුරා දැනෙද්දි, ඇගේ කෝල මුව ඒ ගෙල පාමුල සිපගත්තේ ඔහුගෙ හැගීම් තේරුම්ගෙන.

   කාලය ගැන නිනව්වක් ඔවුන්ට නෑ. ඒ උණුසුම් ආලිංගනයෙන් මිදෙන්න දෙන්නම ලෝබයි.

.....................................................................

          ඒත් ඒ ආදරේ වගේම හිත් රිදවීම් ද අඩු නොවෙද්දී, අන්තිමේ ඔහුගෙ ජීවිතෙන් අයින්වෙන්න ඇය තීරණය කළා. මොකද ඔවුන්ට කවදාවත් එක්වීමක් නැති බව දෙන්නම දන්නවා. ඇගේ තීරණයට ඔහු නිහඩ වෙද්දී, ඇය හිතුවෙම ඔහුත් එයට එකගයි කියලා.

        අපි අපටම හිමි කරගන්න හිතන පතන හැමදේම පහසුවෙන් නොලැබෙනවා වගේම, ජීවිතේ අපිට හම්බවෙන හැමෝම අපේ හදවතට ලංවෙන්නෙ නෑ. එහෙම ලංවෙන අය අමතක කරන්නත් බෑ. 

      ඇය කොයි තරම් හිතට පොරොන්දු දුන්නත්, කොල්ල කතා කරද්දි නපුරු වෙන්න ඇයට බෑ.

       අපි ආදරේ කරන්නෙ අපිට අහිමි අයට. මේ දෙන්නත් එහෙමයි.

     අනාගතයේ ඔවුන් කෙසේ තීරණ ගනු ඇද්ද අපිට කියන්න බෑ.

   ආදරයේ දී ගොඩක් බොලද වෙන මෝඩ තීරණ ගන්න අපි, ජීවිතේ ගැන හොදට හිතන්න ඕනි. නැත්නම් ජීවිත කාලය පුරාවටම දුකම විතරක් ඉතිරිවේවි. 

      ******** නිමි ********

උපුටා  ගැනීමක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment