කදුලු


      -කඳුළු කෙටි කතාව-

   "පාරි.. මේ මගේ ගෙදර අද ඉදන් මේක ඔයාගෙත් ගෙදර"

     ඇස්වල කඳුලු පිහදාපු අනුහස් මගේ අතින් අල්ලන් කාර් එකෙන් බැස්සුවා. දෙයියනේ මහ විශාල ගෙයක්. ඇත්තටම ඒක ගෙයක් නෙවෙයි මන්දිරයක්. මම පරින්දි ආලෝකා.මට මතක කාලෙක ඉදන් මං ජීවත් උනේ පුංචි කටු මැටි ගෙයක. පුංචි කාලෙදිම මගේ අම්මයි තාත්තයි මාව දාලා ගිහින් තිබුනා මාව බලාගත්තේ මගේ වයසක අත්තම්මා. අත්තම්මා මට පුලුවන් හැටියට ඉගැන්නුවා. මට අනුහස්ව හම්බුනේ අහම්බෙන්. අනුහස් මට පණ වගේ ආදරේ කලා. අනුහස් වගේ පෝසතෙකුට ආදරේ කරන්න මට බයක් නොදැනුනාම නෙවෙයි. ඒත් අනුහස් අනිත් සල්ලිකාර උදවියට වඩා ගතිගුණ වලින් සල්ලි වලටත් වඩා පෝසත්. අනුහස්ව මං දැක්කේ මිනිස්සු අතරෙත් දෙවියෙක් විදියට.
      මගේ අවාසනාවට මගේ අත්තම්මා මේ ලෝකේ දාලා ගියේ මාව කාත් කවුරුත් නැති කෙනෙක් කරලා. අත්තම්මගේ අවසාන කටයුතු ඉවර උන ගමන් අනුහස් මාව වාහනේට නංගවගෙන ආවේ මේ ගෙදරට.
      "පාරි... ඇයි මේ.. එන්න අපි යමු ඇතුලට..."
                 අනුහස් මට එහෙම කියලා මගේ අතින් අල්ලගෙන ගෙදර ඇතුලට ආවා.
   
"අම්මා... අම්මා...."
         
    අනුහස් ආලින්දයේ හිටගෙනම අම්මට කතා කලා.

           "අ⁣..අනේ අනූ මට බයයි අනූ"

       මං එහෙම කිව්වේ අනුහස් දිහා බලලා ගොඩාක් බයෙන්. අනුහස්ට හිටියේ අම්මා විතරයි. අම්මගේ ප්‍රතිචාරේ මොකක් වෙයිද කියලා මං දැනන් හිටියේ නෑ.

    "පුතා කවුද මේ?"

         නිවස තුලින් මතු උනේ උඩරට පන්නයට සාරියක් ඇඳපු අනුහස්ගේ මුනුහුවරම තියන ගෑනු කෙනෙක්. මේ අනුහස්ගේ අම්ම වෙන්නැති. මං මුකුත් නොකියා අනුහස් දිහා බැලුවේ ගොඩාක් අසරණව.

     "මේ පාරි අම්මා. මේ ඉන්නේ මගේ වයිෆ්. අද ඉදන් පාරි ඉන්නේ මෙහෙ. හෙට අපි දෙන්නා කසාදේ රෙජිස්ටර් කරනවා.."

     අනුහස් කියවන් ගිහින් නවත්තනවත් එක්කම අනුහස්ගේ කම්මුලකට හයියෙන් ගහපු අනුහස්ගේ අම්මා ලංඋනේ මං ගාවට. මගේ උරහිසෙන් අල්ලලා හොලවන ගමන් අනුහස්ගේ අම්මා කෑ ගහන්න ගත්තා

    " උඹ කවුද? මං දැනන් හිටියා කොහෙද යන උරචක්කර මාලයක් මගේ පුතාගේ ඇගේ එල්ලිලා ඉන් බව. තොට කොහෙන්ද එච්චර හයියක්.බැහැපන් පරට්ටි එලියට"

      අනුහස්ගේ අම්මා මාව ඇදල එලියට දාන්න හද්දි අනුහස් මාව පපුවට තුරුල් කරලා අල්ලගත්තා. මං මහ හයියෙන් ඇඩුවේ කරකියාගන්න දෙයක් නැතුව.

     "අම්මා.. පාරි මේ ගෙදරින් යනවානම් මමත් යනවා මේ ගෙදරින්"

         " අනේ පුතා උඹ විතරයි මට ඉන්නේ උඹ මේ මොනවද කරන්නේ පුතා. උඹ හිටපං කොහෙවත් යන්න එපා මගේ පුතේ"

        අනුහස්ගේ අම්මා අඬද්දි මගේ පපුව පැලෙන්න ආව. අනුහස් මාව ඇදගෙන එලියට යන්න හදද්දි මං අනුහස්ව නැවැත්තුවෙ අම්මෙක්ට පුතෙක්ව නැති කරලා පවු පුරව ගන්න බැරි කමට.
   
     "අනූ.. අනේ ⁣මං යන්නම් ඔයා කොහෙවත් යන්න එපා මහත්තයො"

      "හරි අම්මේ මම ඉන්නම් හැබැයි මම විතරක් නෙවෙයි. අද ඉදන් පාරිත් මේ ගෙදර ඉන්න ඕන. පාරි මේ ගෙදරින් මොන හේතුවකට හරි ගියොත් එදාට මමත් යනව"

     අනුහස් එහෙම කියලා මාවත් ඇදගෙන ගියේ අනුහස්ගේ කාමරේට. කාමරේ දොර වහපු අනුහස්ව ලොකු හුස්මක් පිට කරල ඇදේ ඉදගත්තා. මම ඒ කකුල් ගාවින් බිම ඉදගෙන හොඳටම ඇඩුවා. අනුහස් මං ගාව බිමින් ඉදගෙන මගේ මූන ඒ පපුවට තද කරගත්තා. මට අනුහස්ගේ පපුව උඩම නින්ද ගිහින්. මං ඇහැරෙද්දි අනුහස් තාම නින්දේ. මං අනුහස්ව ඇහැරවලා ඇඳේ නිදිකරවලා නාගෙන තිබ්බ ඇදුම්වලින් එකක් ඇඳගත්තා. හිමින් හිමින් පඩිපෙල බැහැලා කුස්සියට යද්දිත් අම්මා සාලේ ඉඳගෙන කල්පනා කරනවා. මං කුස්සියට ගියේ හැමෝටම තේ හදන්න හිතාගෙන. අනුහස්ගේ අම්මා මොන දේ කලත් ඉවසන් හැමදේම දරාගන්න මං හිතාගත්තා.
               තේ එකක් හදපු මම තේ කෝප්පේ අරගෙන ගිහින් අම්මට දේදිම අම්මා පුටුවෙන් නැගිට්ටා.

     "අ..අම්මේ තේ.."
 
          "තේ නෙවෙයි මට වහ ටිකක් දියං"

        තරහෙන් එහෙම කියපු අම්මා මගේ අතේ තිබ්බ තේ කෝප්පේ අරන් පොලවේ ගහලා මටත් ගස්සගෙන ගියා. මම ඇඬුවේ නෑ.මොකද ජීවිතේ ඉස්සරහට එන හැමදවසක්ම සමහර විට මට මේ දේවල් වලට මුහුණ දෙන්න වෙයි කියලා මම හිතුවා. හිමින් ⁣බිදිලා ගියපු කෝප්පේ කටු ටික එකතු කරපු මම ආයෙම තේ කෝප්ප⁣යක් හදාගෙන අනුහස්ගේ කාමරේට ඇවිත් ඇදේ ඉඳගෙනම අනුහස්ට කතා කලා.

    "අනූ.. නැගිටින්න. ඔයා දවල්ට කාලත් නැනේ අනූ. මේ තේ ⁣එක⁣ බොන්නකො"

         මං එහෙම කියද්දි අනුහස් අමාරුවෙන් ඇස් ඇරගෙන නැගිට්ටා. මගේ අතේ තිබ්බ තේ කෝප්පේ මුකුත් නොකියාම බිව්ව අනුහස් ඉතුරු ටික මට දික්කලේ හරිම ආදරෙන්. මමත් අනුහස්ගේ තේ එක බිව්වේ ඒ පපුවේ උනුහුමට තුරුල් වීගෙනමයි.
         පහුවදා අපි අපේ විවාහය ලියාපදිංචි කලා. අනුහස්ගේ අම්මානම් ආවේ නෑ අපිට සාක්ෂි අත්සන් කලේ යාලුවො දෙන්නෙක්. මට හිතුනා හවස ගෙදර අයට මගේ අතින් උයලා දෙන්න.

     "අනූ...."

     "කියන්න පාරි... "

    " මං හිතුවේ හවසට උයන්න අනූ... අම්මා මං උයන දේවල් කයිද දන්නේ නෑ නේද?"
  
        මං එහෙම කියද්දි අනුහස් හිනා වෙලා මගේ ඔලුව අතගෑවා.

      " අනිවාර්යෙන්ම කයි පාරි.. අපි යමු.. මාත් ඔයාට උදව් වෙන්නම්..."

       "ඕන නෑ මහත්තයො... මං උයන්නම්"

          "පිස්සුද මැණික.. දැන් අපි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්.. "

      අනුහස් එකක්ක මම පහලට එද්දි අම්මා අපිට ගස්සලා ගියේ වචනයක්වත් කතා නොකර. මං මුකුත් නොකියා අනුහස්වත් එක්කගෙන කුස්සියට ආවා. අනුහස් මට පොඩි පොඩි වැඩ කරලා දීලා උයන වැඩ වලට උදව් උනා. අපි දෙන්නා කහ බතක් උයලා , පරිප්පු හොද්දක් හදලා, කුකුල්මස් මිරිසට හදලා පපඩම් බැද්දා . හැබැයි අනුහස්නම් කලේ හදන හදන කෑම එකේ ලුනු බලපු එක. රෑ කෑම මේසෙටඇරලා මමයි අනුහසුයි ගියේ නාගෙන එන්න. අපි පහලට එද්දි අනුහස්ගේ අම්මා මං දිහා කන්න වගේ ත⁣රහෙන් බලන් ඉන්නවා.

     "උඹ ගෑනියෙක් හොයන් ඉන්නවා යසයි. හරිහමන් විදියට බතක් මාලුවක් උයාගන්න බැරි මූසලි"

     " මො..මොකද අම්මා මේ කෑගහන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ?"

        මටවත් අනුහස්ටවත් මේ කියන දේවල අගක් මුලක් තේරුම් ගන්න බෑ.

     "මොනවද කියන්නේ...හහ් බලපං මේවා කන්න පුලුවන්ද කියලා... මේකිව උඹ ගෙනාවේ මුහුදෙන්ද මෙච්චර ලුනු දාන්න මොකාද තොට ඉගැන්නුවේ"

      අනුහස්ගේ අම්මා කෑගහද්දි මං අනුහස්ගේ පපුවේ එල්ලුනේ බයටම. අනුහස් කෑම මේසේ ලගට ඇවිත් පරිප්පු ව්‍යාංජනේ ලුණු බලලා මූණ ඇඹුල් කරගද්දි මට හිතුනා මොකක් හරි අඩුපාඩුවක් වෙන්න ඇති කියලා..

     "අනේ අම්මේ... කවදද මේ නාඩගම නවත්තන්නේ? පාරි විතරක් නෙවෙයි මමත් පාරි එක්ක හිටියේ පාරි  උයන වෙලාවේ මමයි මේ හැම ව්‍යාංජනේකම ලුණු බැලුවේ. ඇයි අම්මේ පාරිට මෙහෙම සලකන්නේ. මොන වරදක් කරලද? ඇත්ත කියන්න අම්මේ අම්මා නේද මේ ව්‍යාංජන වලට ලුණු දැම්මේ?"

         අනුහස් තරහෙන් කෑගහද්දි අනුහස්ගේ අම්මා නිරුත්තරව එතනින් අයින් උනා. මං අනුහස් දිහා ඇස්වල කදුලු පුරවන් බලන් හිටියේ කරකියාගන්න දෙයක් නැතුව. රෑටත් නොකාම අපි කාමරේට ආවේ ලොකු හිත් වේදනාවකින්.

     "පාරි අපි මෙහෙන් යමු. මං නිසා ඔයා මේ විදියට දුක් විදින්න ඕන නෑ. පුංචි කාලේ ඉදන් දුක් විදපු ඔයාට තවත් දුක් දෙන්න නෙවෙයි මැනික මං ඔයාව මගේ ලගට ගත්⁣තේ"

        "නෑ මහත්තයො. අපි ගියොත් අම්මා  මේ ගෙදර තනිවෙයි. අපි කොහෙවත් යන්නෑ. මට පුලුවන් මහත්තයො මේ දේවල් ඉවසන්න ඔයා වෙනුවෙන්.."

      "අනේ පාරි ඇයි මැනික...."

    "ෂ්ෂ්... වචනයක්වත් කියන්න එපා. මට පුලුවන් එච්චරයි. දැන් නිදාගමුද මගේ මහත්තයා හෙට ඔෆිස් යන්නත් එපැයි"

             මම අනුහස් එක්ක ජීවත් උනේ හරිම සතුටින්. අම්මා මොන දේ කලත් අනුහස් මාව හැමදාම සතුටින් තිබ්බා. අනුහස් ගෙදර නැති වෙලාවට අනුහස්ගේ අම්මා මොන දේ කලත් මං ඒ දේවල් අනුහස්ට කියන්න ගියේ නෑ. ඒත් මං ගැනනම් චෝදනා ගොඩාක් අම්මා අනුහස්ට හැමදාම ඉදිරිපත්  උනා.
      
     " මේ ගෙදරට කොහෙ දරුපල ලැබෙන්නද කොහෙද ඉදන් ගෙනාපු වඳ ගෑනියෙක් නංගියේ. අපේ එකාට මොන යකෙක් වැහිලද මංදා "

       හයියෙන් හයියෙන් අම්මා කතා කරන්නේ අම්මාගේ නංගි එක්ක. 'වඳ ගෑනි' ඒ වචනෙන් මට දැනිච්ච දුක කියාගන්නත් බැරි තරම්. කාත් කවුරුත් නැතුව ඔහේ කාමරේකට හිරවෙලා ගෙවන ජීවිතේ නීරසයි. අනුහස්ගේ අම්මගේ කෙනෙහිලිකම්. දෙයියනේ මටත් චුටි පැටියෙක් හිටියානම්. මගේ පාලුව නැති  වෙන්න. සමහර විට දරුවෙක් ලැබුනාම අම්මා දරුවට හරි ආදරේ වෙයි. මං මගේ හිතත් එක්කම හිතුවා. කාලය ගෙවිලා යන්නේ පුදුම තරම් ඉක්මනට. මේ ගෙවෙන්නේ මගේයි අනුහස්ගෙයි අලුත් ජීවිතේ අටවෙනි මාසේ. ඒත් අනුහස්ගේ අම්මගේ චූටි වෙනසක්වත් දකින්න නෑ.

    "අනේ අනූ මගේ ඔලුව කියාගන්න බැරි තරමටම රිදෙනවා"

    "ඇයි පාරි... අපි බෙහෙත් ගන්න යමුද?"

        මම හිටියේ අනුහස්ගේ ටයිපටිය බෙල්ලේ බදින ගමන්. මට අසනීපයි කිව්වාම අනුහස් කලබල වෙන තරම්.
  
     "ඕන නෑ මහත්තයො. ඉන්නකො මට ඔයාගේ කොන්ඩේ හදන්න"

       මං එහෙම කියද්දි අනුහස් හිනා වෙලා පුටුවක ඉදගත්තේ මං අනුහස් තරමට උස නැති නිසා. මං සීරුවට ජෙල් අරගෙන අනුහස්ගේ කොන්ඩේ හදනකොට මට දැනුනේ කලන්තයක් වගේ. මං අනුහස්ගෙ උරහිසෙන් අල්ලගද්දි මාව වැටෙන්න ගියා. අනුහස් මාව වැටෙන්න නොදී අල්ලගෙන හිමින් ඇදේ ඉන්දෙව්වා.
    

 
           "පාරි ඇයි මැණික මේ?"

     "අ⁣නේ දන්නේ නෑ මහත්තයො. මට කලන්තේ වගේ"
 
             ඔලුව දෙපැත්තෙන් දැනුනේ මට දරාගන්න බැරි තරමේ වේදනාවක්.අනුහස් දිපු වතුර වීදුරුවට මුව ලංකරන්නත් මට දැනුනේ අපුලක්.

         "බලන් ඉදලා බෑ මැනික අපි මෙහෙමම ඩොක්ට කෙනෙක් ගාවට යමු. ඔයා අමාරුවෙන් ඉද්දි ඉන්න බෑ පාරී. කෝ ලෑස්ති වෙන්න මම අද ඔෆිස් යන්නේ නෑ.."

           අනුහස් එහෙම කියලා ටයිපටිය බෙල්ලෙන් ගලවලා.ඇද උඩට විසිකරලා මාව වත්තම් කරගෙන ගිහින් මූන හෝදවලා ඇදුමක් ඇඳගන්න උදව් උනා. අපි කාමරෙන් එලියට බහිද්දි අනුහස්ගේ අම්මා තොල් මතුර මතුර ආලින්දේ එහාට මෙ⁣හාට ඇවිදිනවා. අනුහස් මාවත් එක්කගෙන එතනින් ආවේ අම්මා දිහාවත් නොබලා.

       "මේ කොහෙද ඉදන් ආව එකියක් හින්දා මගේ එකා වැඩට යන්නෙත් නෑ. ඒකි මේකාව ඇදන් මගුලේ යනව"

            අම්මගේ වචන ⁣මට හොඳටම ඇහුනත් මං නෑහුන ගානට අනුහස් පස්සෙන් ආවා. අනුහස් මාව අරන් ගියේ පෞද්ගලික රෝහලකට. වෛද්‍යවරිය මං දිහා බලලා හිනා වෙලා මගේ කුසට අත තිබ්බා.

       "ඔන්න මිසිස් කැන්දගොඩ ඔයා අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ.."
 
       ඒ වචන ඇහෙද්දි මට දැනුන සතුට කියාගන්න වචන පිට උනේ නෑ. ඉබේම මගේ ඇස්වට කදුලු ආවා. මං කාමරෙන් එලියට එද්දි අනුහස් පුටුවක ඉදගෙන ඉන්නවා.මගේ ඇස්වල කදුලු දැකලා අනුහස් ගොඩාක් කලබල උනා

      "පාරි ඇයි මේ කදුලු?මොකද වෙලා තියෙන්නේ? අනේ ඩොක්ට පාරිට මොකද?

        "බී කූල් මිස්ට කැන්දගොඩ. ඒ දුකට නෙවෙයි සතුටු කදුලු වෙන්න ඇති  ඔයා  තාත්තා කෙනෙක් වෙන්න යන්නේ"
    
      ඩොක්ට හිනා වෙලා එහෙම කියද්දි අනුහස් මගේ අත රිදෙන්නම මිරිකුවා. අනුහස්ගේ සතුට ඒ ඇස් දිලිසෙන විදියෙන්ම පේනවා.

      " ඔන්න මේ ඔයාලගේ පලවෙනි බබානේ. ගොඩාක් පරිස්සම් වෙන්න මේ පලවෙනි මාස හයේදි. වමනේ යන එක, කලන්තේ සාමාන්‍ය දෙයක්. හැමවෙලේම හොදින් සතුටින් ඉන්න දෙන්නම. ශරිරයට ශක්තිය ලැබෙන කෑම ගන්න. බබාගේ තාත්තාට තමා වැඩි වගකීමක් තියෙන්නේ බබා එලියට එනකල්ම බබාගේ අම්මාව ගොඩාක් හොදින් පරිස්සම් කරන්න ඕන. කන්ග්‍රැජුලේෂන්ස්"
  
       "තැන්ක්යූ ඩොක්ටර්... තැන්ක්යූ වෙරි මච්"

       අනුහස් රෝහලෙන් එලියට ආවේ මගේ ඉන වටෙන් අතක් දාගෙන. අනුහස් ඉන්නේ ගොඩාන් සතුටින් කියලා ඒ වචනවලින්ම තේරෙනවා.

        "අනූ... මේ ගැන දැන්ම අම්මට කියන්න එපා. අපේ පැටියා බඩ ඇතුලේ හිමින් ලොකු වෙද්දි අම්මා දැනගනීවි අපිට පැටියෙක් ලැබෙන්න ඉන්න බව..."

           මං එහෙම කියද්දි අනුහස් හිනා වෙලා ඔලුව වැනුවා. මාව පරිස්සමට කාමරේට එක්කං ගිය අනුහස් දොර වහලා ඇදේ මාව හාන්සි කරලා ගොඩාක් ආදරෙන් මගේ කුස සිපගත්තා. කුසට ඔලුව තියන් ඉන්න අනුහස් ගැන මට දැනුනේ මහමෙරක් තරම් ආදරයක්. "වඳගෑනි" කියන ලේබල් එකෙන් මාව ගැලවිලා ඉවරයි. මමත් අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ. මට ඒක දරාගන්න බැරි තරම් සතුටක්.

      "අහන්න පාරි අනේ මං එනකල් පරිස්සමට ඉන්න. කොහෙවත් යන්න එපා. ⁣අනිවාර්යෙන්ම කන්න අප්පිරියයි කියලා නොකානම් ඉන්න එපා."

     "හරි මහත්තයො අනේ ඉතින් දැන් යන්නකො පරක්කු වෙලා තියෙන්නේ"

       අනුහස් මාව ගොඩාක් පරිස්සම් කරනවා. හැමදාම ඔෆිස් යන්න කලින් මේ දෙන උපදෙස් ටිකනම් මට දැන් කටපාඩම්. දැන් මගේ කුසට මාස දෙකක් මට දැනෙනවා මගේ කුසේ බරක් දරන් ඉන්නවා කියලා. අනුහස් ආදරෙන් ඇවිත් කුස ඉඹිද්දි මට දැනෙනවා මාත් අම්මා කෙනෙක් කියලා. මගේ ජීවිතේ දැන් සම්පූර්ණයි. තව තියෙන්නේ අනුහස්ගේ අම්මාගේ වෙනස් වීම විතරයි. මට හිතුනේ තව මාස කීපයකින් මගේ කුස ඉදිරියට නෙරද්දි අම්මා මට දරුවෙක් ලැබෙන්න ඉන්නේ බව දැනගෙන මට ගොඩාක් ආදරෙන් ඉදීවි කියලා.

        අනුහස් වැඩට ගිහින් එන්න ලංවෙද්දි විතරක් මං කාමරෙන් එලියට ගියා.නැත්තං හැමවෙලේම අනුහස්ගේ අම්මගේ ඇනුම් බැනුම් අහන්න වෙනවනේ. මං කාමරේ ඇතුලේ ඉන්න එක ගැනත් අම්මා අනුහස්ට පැමිනිලි කරලා තිබ්බා. ඒත් අම්මා ගෙදරට ගොඩ වෙද්දි මොන දේ කිව්වත් අනුහස් පඩිපෙල නගිද්දි ඒවා අමතක කරලා මගේ තුරුලට ඇවිල්ලා මාව ඉඹින්නේ ගොඩාක් ආදරෙන්.

      අනුහස් වැඩ ඇරිලා එන වෙලාව ලග නිසාම මං පහලට අාවා. අවසාන පඩියෙන් කකුල තියද්දිම නොහිතපු විදියට තිබ්බ වතුරත් එක්ක මාව ලිස්සලා වැටුනා. බඩ බිම ඇනෙනවත් එක්කම මට දැනුනේ දරාගන්න බැරි තරම් වේදනාවක්.

     "අනේ අම්මා..."

         මං මහ හයියෙන් බෙරිහන් දුන්නත් අනුහස්ගේ අම්මා ආවේ නෑ. මං නැගිටින්න හැදුවත් මට නැගිටගන්න බැරි තරමටම වේදනාවක් කුස පැත්තෙනුත් කොන්ද පැත්තෙනුත් මට දැනෙන්න ගත්තා. මට පෙනුනේ ටික වෙලාවකින් අනුහස් කෑගහගෙන මං ගාවට දුවගෙන එනවා විතරයි.
මං සිහිය එද්දි හිටියේ රෝහල් කාමරේක. කුසෙනුත් කොන්දෙනුත් දැනෙන්නේ ලොකු වේදනාවක්. නොදැනුවත්වම කුසට අත යද්දි මට කුසේ වෙනසක් තේරුනා. දෙයියනේ මගේ දරු පැටියා. මං ඇදෙන් නැගිටින්න හදද්දි අනුහස් මගේ උරහිස් වලින් අල්ලලා ආපහු ඇදේ නිදිකෙරෙව්වා. අනුහස්ගේ ඇස් හොඳටම රතුවෙලා.

         "අනූ...අනේ අපේ දරුවා අනූ"

   "පාරි අපේ පැටියා නැති උනා පාරි..."

        අනුහස් අඩමින් කියද්දි මට ඒක ඇහුනේ හීනෙන් වගේ. මට අඩන්නවත් හිතාගන්න බැරි උනා. මං හිටියේ හැගීමක් දැනීමක් නැති මනුස්සයෙක් ගානට. අනුහස් හැම තප්පරේම මං ගාවින් හිටියා. මටත් වඩා අනුහස්ට අපේ පැටියගේ වෙන්වීම දරාගන්න බෑ. මම රෝහලෙන් පිටවෙලා ආව දවසේ ඉදන්ම මගේ හැමදේම කරලා දුන්නේ අනුහස්. අනුහස් ටික කාලෙකට ඔෆිස් එක මැනේජර්ට බාර දීලා මං එක්කම කාලේ ගත කලා. මං හිටියේ ලොකු කම්පනේකින්. අම්මානම් මං ගැන හොයලා බැලුවේ නෑ.ඒත් මූනට හම්බෙන හැම වතාවෙදිම " දරුවෙක් හදාගන්න බැරි මූසලී "
කියන වචන ටිකනම් මට කිව්වා. මං හැමදේම ඉවසන් හිටියා. ඒ මගේ මහත්තයාව දස මාසයක් කුසේ තියන් හිටිය අම්මා.

        කාලය ඔහේ ගෙවිලා යනවා. මමත් මේ දැන් ඒකාකාරී නීරස ජීවිතේට හුරු වෙලා. අනුහස් මාව හැම සති අන්තෙකදිම ඇවිදින්න එක්කං ගියා. දවසක් අපි ගෙදර එද්දි අනුහස්ගේ අම්මා බිම වැටිලා ඉන්නවා. ඒ වෙලාවෙදිම අපි අම්මාව රෝහල් ගත කලා.

     "සොරි මිස්ට කැන්දගොඩ. අම්මගේ වකුගඩු දෙකම නරක් වෙලා. අපිට කරන්න පුලුවන් එකම දේ ඉක්මනින් අම්මට වකුගඩුවක් බද්ධ කරන එක හැබැයි මේ කාලෙදි අම්මාට ගැලපෙන වකුගඩුවක් හොයාගන්න ලේසි නෑ"

      ඩොක්ටර් එහෙම කියලා යද්දි අනුහස් මගේ පපුවට තුරුල් වෙලා ඇඩුවේ පොඩි එකෙක් වගේ. අම්මා අසනීපෙන් ඉද්දි මට කොච්චර වෙනස්කම් කලත් අම්මගේ කැත රෙදි පවා හේදුවේ මම. ඒත් අම්මා මට වචනයක්වත් කතා කලේ නෑ.  අනුහස් අම්මාට වකුගඩුවක් හොයන්න නොකල දෙයක් නැති තරම්. මම අම්මාව බලන ඩොක්ටර්ගේ රූම් එකට ගියේ ලොකූ තීරණයක් අරන්

          "එක්ස්කියුස්මී ඩොක්ටර්"

    "යෙස් මිසිස් කැන්දගොඩ.. කම් ඉන්සයිඩ්"

      "ඩොක්ටර් මං කැමතියි අම්මට වකුගඩුවක් දෙන්න. හැබැයි මේ ඔපරේෂන් එක ඉවර වෙනකල්ම මේ වකුගඩුව දෙන්නේ මම කියලා මගේ මහත්තයට දැනගන්න තියන්න එපා.ප්ලීස් ඩොක්ටර්"

     "ඕකේ මිසිස් කැන්දගොඩ එහෙනම් අපි ඉක්මනින් මේ ඔපරේෂන් එක කරමු "

      ඩොක්ටර්ගේ කාමරෙන් එලියට ආව මට දැනුනේ කවරදාකවත් නොදැනුන සැනසීමක්.

          "පාරි අම්මට වකුගඩුවක් දෙන්න කැමති උන කෙනාට ජාති ජාතිත් පිං ලැබෙන්න ඕන නේද පාරි."

       "ඔව් අනූ.... මගේ යාලුවාගේ අම්මාට ටිකක් අසනීපයි මහත්තයො. ඔයා අම්මව බලන්න හොස්පිටල් එකට යන්න. හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ පුලුවන් තරම් ඉක්මනින් මම හොස්පිටල් එකට එන්නම් අද අම්මගේ ඔපරේෂන් එකනෙ"

      "පාරි පරිස්සමින් මැනික"

       අනුහස් මගේ නලල ඉම්ඹේ ගොඩාක් ආදරෙන්. මං අනුහස්ට කලින් රෝහලට ගිහින් වකුගඩුව දෙන්න ලෑස්ති උනා. අනුහස්ගේ අම්මා මගේ වකුගඩුව අරන් ජීවත් වෙන්න ලෑස්ති වෙනවා. අනුහස් හිටියේ හි⁣තේ ලොකු සැනසීමකින් 

       පැය ගානක සැත්කමකින් පස්සේ මට සිහිය එද්දි මගේ දකුනු පසින් හිටියේ අනුහස්ගේ අම්මා. ඒ ඇස් කදුලු පුරවන් මගේ දිහ බලන් ඉන්නවා. මං මුකුත් නොකියා ඒ ඇස් එක්ක හිනා උනේ දැනෙන වේදනාවත් යටපත් කරගෙන. මගේ අත අල්ලගෙන මං ගාව ඉදගෙන හිටියේ අනුහස්. ඒ ඇස් වලින් කදුලු ගලනවා.

     "පාරි ඇයි මැනික මට නොකිව්වේ ඔයාගේ වකුගඩුව මගේ අම්මට දෙනවා කියලා. ඇයි පාරි... අනේ ඔයා කවුද පාරි...මගේ ජීවිතේට ඇවිත් ඔයාගේ සතුටනැති කරන් මගේ සතුට හදන ඔයා කවුද"

      අනුහස් අඩ අඩ කියවන දේවල් මං අහන් හිටියා.

         "අනු ඒ ඔයාට දසමාසයක් කුසේ දරන් හිටපු අම්මා. එයා නැත්තං මට ඔයා වගේ රත්තරන් මහත්තයෙක් ලැබෙයිද අනූ. මං මේ කලේ ඒ ණය ගෙවන්න පුංචි දෙයයි."

        මං එහෙම කියද්දි අනුහස් තවත් ඇඩුවා. සතියකින් මාවයි අම්මයි දෙන්නම රෝහලෙන් ගෙදර ගෙනාවා.

       "දුවේ...."

     
   මෙච්චර කාලෙකට අහලා නොතිබිච්ච ලස්සන කරුණාබර කටහඩකින් මට කතා කලේ අනුහස්ගේ අම්මා. මට සතුට දරාගන්න බැරි  කමට මටත් නොදැනිම කදුලු ආවා.

      "මට සමාවෙන්න දුවේ. මං ඔයාට කොච්චර නපුරු කම් කලාද.. ඒත් මගේ නපුරු කම් ඔයා ඉවසුවා.. මොන දේ උනත් මගේ පුතා මෙහෙන් යන්න හදද්දි ඔයා මගේ පුතාව ගෙදර නවත්තගත්තේ මං තනිවෙයි කියලා බයේ. මං ඒ කරපු වැරදි වලට මම මට කවදාවත් සමාව දෙන්නෑ පුතේ... කවදාවත් නෑ. ඔයා මගේ වෙනස්කම් හිතේ තියන් හිටියානම් අද මං මෙහෙම ජීවත් වෙන්නෑ. ඔයා දෙවියෙක් පු⁣තේ අනේ මට සමාවෙන්න."

     අම්මා වැදගෙන එහෙම කියද්දි මට දරාගන්න බැරි උනා.
 
         "මේක මගේ යුතුකම අම්මා"

     "අද ඉදන් ඔයා මගේ දුව. මගේම කුසින් වදාපු දුව"

        අම්මා එහෙම කියලා මාව ඒ පපුවට තුරුල් කරගත්තා. කවදාවත් අම්මෙක්ගේ උනුහුමක් විදලා නැති මට ඒ උනුහුම මහමෙරක්.

     දෙරට හේත්තු වෙලා අනුහස් අපි දෙන්න දිහා බලන් හිටියේ හරිම ආදරෙන්. අන්තිමට මම දින්නා

  කවුරු කොහොම නපුරුකම් කලත් අපි කවදාවත් නපුරු වෙන්න හොඳ නෑ. කවදාහරි එයාලා එයාලාගේ වැරදි තේරුම් ගන්න දවසක් එනවා එදාට අනිවාර්යෙන්ම ඒ අය පසු තැවෙනවා. අපිත් මතක තියාගන්න ඕන කෙනෙක්ට දෙන්න පුලුවන් ලොකුම දඩුවම සමාව දීම කියලා.

ඉෂාරා මධුවන්ති

උපුටා ගැනිමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment