අප්සරා ශ්‍යාමලිගේ පන්හිදෙ

#කෙටි_කතාවකි..

"මං කියන දේ අහන්න සුදු නෝනා. මේ වතාවට විතරක් මට සමාව දෙන්න මැණික.මං ආයෙම බොන්නෙ නෑ සුදු නෝනා. ඔයා දන්නවා මට ඔයා තරහ වුනාම ඉන්න බෑ කියලා."

"අනේ නිකං ඉන්නවා සුදු අයියේ. මගේ ඔළුවෙ අත තියල දිවුරුවා ආයෙ කවදාවත්ම බොන්නෙ නෑ කියල. මන් එපා කියද්දිම යාළුවො එක්ක රස්තියාදුවේ ගිහින් හොඳටම බීල බයික් එකත් හප්පගෙන පොලීසියෙත් තැපලා. දැන් මොනවද මේ කියවන්නෙ. තමුසෙට මට වඩා බීම ඕනෙ නිසානෙ බිව්වෙ. ආයෙ මන් මැරුනත් හොයන්න එපා. තමුසෙගෙ මහලොකු බේබදු යාළුවොයි බෝතලෙයි බදාගෙනම ඉන්නවා. ආයෙ මට එක මැසේජ් එකක් දාන්න එපා. හැමදාම කියනව විතරයි කරන්නෙ නෑ. හැදෙයිනෙ කියල හැමදාම චාන්ස් දෙනවා. හැදෙන මිනිහෙක් පස් හය සැරේ චාන්ස් ඉල්ලන්නෙ නෑ. මට ආදරයක් නැති නිසානේ මෙහෙම කරන්නෙ. ආයෙ ඔය විදිහටම ඉන්නවා මන් මැරුනා කියල හිතන්." හිත තුළ වූ දුක,කෝපය,ආදරය,වෛරය සම්මිශ්‍රිත වූ ආවේගෙකින් හංසි දුරකතනය ඔස්සේ වක්කඩේ කැඩුවාක් සේ කියවාගෙන ගියාය.

"අනේ මැණික ඇවිල්ලා මගේ පපුවට පිහියකින් ඇනලා යන්න. ඔහොම කියනවට වඩා ඒක හොඳයි. හෙලෝ.සුදු නෝනා ..නංගි..හංසි..හංසි..හෙලෝ.." මදුක කොපමණ කතා කළද ඒ වන විටත් හංසි දුරකතනය ක්‍රියාවිරහිත කොට තිබුණි. තම ගතේ වූ තුවාල වලින් ආ රිදුමට වඩා වැඩි වේදනාවක් ඔහුගේ සිත පාරවමින් දැනෙන්නට විය.

කිහිපදෙනෙකුගේම පෙම්වතා වූ මදුකගේ හිතුවක්කාර සපෙම්වතියන්ල්ලාල ගති වෙනස් කිරීමට සමත් වූ එකම තැනැත්තිය වූයේ හංසිය. ධනවත් පවුලක බඩපිස්සා වූ මදුක නිතැතින්ම සෑමදෙනාගේම ආදරයට පත් වූයේ පවුලේ සිටි එකම පිරිමි දරුවාද ඔහුම බැවිනි. එබැවින් ඔහුගේ සිතුම් පැතුම් වලට පවුලේ කිසිවෙකුගේ එතරම් බාධාවක් නොවුණි. මේ හේතුවෙන් ඔහු, ඔහුට රිසි සේ ජීවිතය විඳිමින් සිටියදී හදිසියේ  මදුකගේ ජීවිතය උඩුයටිකුරු කිරීමට හංසි සමත් වූවාය. ඔහු සිය කෙළිලොල් සල්ලාල ජීවිතය හංසිගේ ආදරය හමුවේ වෙනස් කළද ඔහුට අතහැරීමට අපහසුම දේ වූයේ ඔහුගේ බේබදු කමය.

මදුක පෙරදින රාත්‍රියේ තම හොඳම මිතුරෙකුගෙ  සාදයකට සහභාගී වූයේ ද හංසිගේ බලවත්  විරෝධය මධ්‍යයේය. දහසක් පොරොන්දු දුන්නද හංසි ඊට සිය නොමනාපය පළකල අතර අවසානයේ ඇයගේ අකමැත්ත පිටම මදුක සිය මිතුරාගේ සාදයට සහභාගී වූ අතර මිතුරන්ගේ පෙරැත්ත මතම මත්වතුරෙන්ද සිය පවස හොඳහැටි නිවාගත් මදුක මතින්ම සිය නිවසට මෝටර් රථයේ නැගී පැමිණෙද්දී සිය මෝටර් සයිකලය ඉදිරියට පිනූ බලුනාම්බෙකු බේරීමට ගොස් මෝටර් රථය අසළ වූ ලයිට් කණුවක හප්පා ගත්තේය. මදූට සිදු වූ තුවාල වලට බෙහෙත් දමාගත් පසු ඔහුට සිදු වූයේ තමපියා ඇප දීමට පැමිණෙනතුරු පොලිස් කූඩුවේ ලැගීමටය..
------------------------------------------------------------------------------
"ධනුවා ඉක්මනට වරෙන් මට හංසිලගෙ ගෙවල් පැත්තෙ යන්න ඕනෙ." බොහෝ සෙයින් උත්සාහ කළද මදුක හට හංසිගේ දුරකතනය හා සම්බන්ධ වීමට නොහැකි විය. මේ හේතුවෙන් ඔහුට දරාගත නොහැකි ශෝකයක්ද හංසි බැලීමේ දැඩි අවශ්‍යතාවයක්ද ඇතිවීම හේතුවෙන් ඔහු මිතුරෙකු වූ ධනුෂ්ක හට දුරකතන ඇමතුමක් දී ගෙන්වා ගත්තේය.

" අහපං මදූ උඹට තාම සනීපත් නෑ. මන් පදින්නම් බන් බයික් එක. අනික උඹේ අම්මයි අක්කල දෙන්නයි දැනගත්තොත් උඹ බයික් එක පැද්ද කියල මගේ මෙහෙට එන්න තියෙන ටිකට් එකත් නැතිවෙනවා බන්."

"නෑ ධනුවා මට අමාරු නෑ. මට හංසිව බලන්න ඕනෙ. මන් පදින්නම්. උඹ කියන දේ අහල පස්සෙ වාඩි වෙයන්කො."

"ඕනෙ හංසියෙක් බලාගනින් මං අරන් යන්නෙ බයික් එක."  හංසි බැලීමේ අවශ්‍යතාව හේතුවෙන්ම සිය යහළුවාගේ බහට එකඟ වූ මදුක තම මිතුරාට බයික් එක පැදවීමට අවස්ථව දිනි.
නමුත් ඔවුන් හංසිගේ නිවස සමීපයේ කිහිපවරක්ම එහාට මෙහාට මෝටර් බයිසිකලය පැදෙව්වද හංසිව දැක ගැනීමට නොහැකි විණි.

බලාපොරොත්තු සියල්ල සිඳී ගියද ඔහු සිය මිතුරා සමඟ බොහෝ වේලා රැඳී සිටින්නට විය.

"කෙල්ල නෑ වගේ බං මදූ යමං දැන්. හවස් වෙලා. අනික දැන් උඹලගෙ අම්මලත් ඇවිත් ඇති බං."

"තව ටිකක් ඉඳිමු ධනුවා. තව විනාඩි පහක්.."

"අනේ පලයං. උඹේ ඔය විනාඩි පහ දැන් පැය තුන හතරක තිස්සෙ ගෙවෙනවා. අනිද්දට ක්ලාස්නෙ ඒකිට. ක්ලාස් එකේදි අල්ලගමු බන්. දැන් යමු."

"හ්ම් උඹ පලයං බන්. මන් ඉන්නවා. මට එයාව බලන්න ඔනෙ බන්. මට දැන් පිස්සු වගේ. මට එයා නොබල ඉන්න බෑ බන්."

"ඒකි එපා කියද්දි උඹ මොකටද අලුගුත්තේරුවො ගියේ. ඒකි උඹව වෙනස් කරපු හැටි උඹට වඩා හොඳට දැක්කෙ මන්. මන් කොච්චර ට්‍රයි කළාද උඹව හදාගන්න. ඒත් අන්තිමට උඹ මාවත් අතෑරියනේ. ඒකි නැත්තන් කොහොමත් උඹ ආයෙ මගෙ මූණවත් බලන්නෙ නෑ කියල දන්නව මන්. ඒත් මදූ දැන් ගෙදර යමන්. අම්මල මේ  සීන් එක දැනන් නිකන් ඒකිට තව කරදර දෙන්න ඕනෙ නෑනෙ බන්."

මදුක සිය හඬා වැටෙන අකීකරුසිත අපහසුවෙන් මෙල්ල කරගනු ලැබූවේ තම දෙමාපියන් හංසි පිළිබඳව දැනගතහොත් ඇයට කරදර විඳීමට සිදුවේ යැයි සිතමිනි.

මදුක මොහොතින් මොහොත හංසිට දුරකතන ඇමතුම් ගැනීමට තැත් කළද එහි කිසිදු ප්‍රතිඵලයක් නොවූයේ ඇයගේ දුරකතනය දිගින් දිගටම ක්‍රියාවිරහිත වී පැවතීම හේතුවෙනි.

මදූගේ පන්ති දින උදයේම මදුක විගස ඇයගෙ පන්තිය අසලට යැමට සූදානම් වූයේ ඇය හා කතා කිරීමේ තිර අදිටනිනි. ගෙදරට දහසක් බේගල් ගෙතීමෙන් අනතුරුව ඉතා අපහසුවෙන් අවසර ගත්තේ නිවසටම වී සිටියොත් තමාට කෙසේවත් සුව වීමට නොහැකි බව පවසමිනි.

ඔහු සිය මිතුරා වූ ධනුක සමඟ ඇයගේ පන්තිය අසලට යනවිට හංසි පන්තියට පැමිණ නොසිටියාය.
"මේ අහපං මදූ වඩේ අලකරගන්නෙ නැතුව තියෙන ප්‍රශ්නයක් පරිස්සමට විසඳගනින්. ආ අන්න එනවා කෙල්ල. පලයං පලයං." ධනුක මදූක හට පැවසුවේය.
හංසිව දුටු මදූකට ඉහිළුම් නැතුව ගියේය. ඔහු ඉබෙම හංසි අසළට ගියද මදූක දෙස බැලූයේ හංසි නම් නොව. ඈ ඉවත බලාගෙනම ගියාය.

"සුදු නෝනා " ඉවත බලායන සිය පෙම්වතියගේ අතින් ඇද මදූක පැවසුවේය. 
"මොකද" මදුකගේ අත ගස්සාදමමින් හංසි පැවසුවාය.
"මොකද අහන්නෙ ඇයි සුදු නෝනා . ඇයි මෙහෙම කරන්නෙ මට." මදූකගේ දෑසෙහි එළියට පිනීමට ආසන්නව කඳුළු කැට දෙකක් දෑසෙහි තිබුණි. නමුත් හංසි ඉවත බලාසිටියා විනා ඇය මදූකගේ මුහුණ දෙස හෝ නොබැලුවාය.

"අහන්න මැණික ඔයා ඔහොම අහක බලන් ඉන්නකොට මට දරාගෙන ඉන්න බෑ රත්තරනේ. අඩුම තරමෙ මගේ මූණ දිහා බලාගෙන මට බනින්න." ශෝකය දරා ගත නොහැකිම තැන මදුක පැවසුවේය
"ඔය විකාරෙ දැන් නවත්තන්න. මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මට ක්ලාස් එකට පරක්කු වෙනවා. මන් යනවා." හංසි ඉවත බලාගෙන පවසා යන්නට ගියාය.
මෙතෙක් වෙලා අපහසුවෙන් නතර වී තිබූ මදුකගේ නෙතෙහි තිබූ කඳුළුකැට දෙක ඔහුගේ කම්මුල් හරහා රූටා වැටුණි.
"මොකෝ බන් උනේ මදූ?"
"හැමදේම ඉවරයි ධනුවා හැමදේම ඉවරයි.  වැඩක් නෑ බන් දැන් මන් ඉඳලා."
"බොට පිස්සුද යකෝ? විහිළුවක් වෙන්නෙ නැතුව ඉඳපන් රටේ මිනිස්සුන්ට. ඉඳපං මන් විසඳන්න ඔය ප්‍රශ්නෙ.."  නමුත් මදූකට සිය හදවත පුරාවටම තුවාල වී ඉන් ලේ වැගිරෙනා ලෙසකට විය.
************************
සිය අමතර පන්තිය අවසන් වී මදූකා නැවත නිවස බලා යෑමට පිටත්විනි. එකෙනෙහිම පැමිණි මෝටර්සයිකලයක් ඇය ඉදිරිපිට නතරවිණි.
"නංගී. මදුවා ඇක්සිඩන්ට් වුනා." මෝටර්සයිකලයේ පැමිණි පුද්ගලයා ධනුක විය. ඔහු කී දෙයින් හංසිගේ හදවත නතර වන ලෙසක් ඇයට දැනිණි.

"මොකක්." ඇය දරාගත නොහැකි විශ්මයෙන්ද එකවර සිතට ආ ශෝකයෙන්ද යුතුව පැවසුවාය.

"ඔව් නංගී.  ඌට හොඳටම අමාරුයි. ඌ ඔයාවම හොයනවා නංගී. පුළුවන් නම් මාත් එක්ක යන්න එන්න." හංසි දෙවරක් නොසිතාම මෝටර්සයිකලයට ගොඩවූයේ හඬමිනි.

"කොහොමද අයියේ එහෙම උනේ. අනේ මගේ අයියට අමාරුද ධනුක අයියේ.දෙවියනේ ඇයි මගේ අහිංසකයට එහෙම උනේ. අනේ කොහොමද අයියේ හැප්පුනෙ." ඈ ඉකිගසමින් හඬමින්ම පැවසුවාය.
"දැන් ගියාම ඔයාටම දැනගන්න පුළුවන් වෙයි." යැයි ධනුක පවසා දිගටම ඔහු සිය මෝටර් සයිකලය ධාවනය කරන්නට විය. ඔවුන්ගේ ගමනාන්තය වූයේ හංසි හා මදුක වෙනදා හමුවන ඔවුන්ගේ සුපුරුදු උද්‍යානයය. උද්‍යානය ඉදිරිපිට සිය මෝටර්සයිකලය නැවැත්වූ ධනුක හංසිට මෝටර්සයිකලයෙන් බහිනා ලෙස පැවසුවේය.

"කෝ කොහෙද අයියේ හැප්පුණේ.කෝ එයා." එතරම් සිහියකින් නොසිටි ඇය හඬමින් බයිසිකලයෙන් බහිනගමන් ඇසුවාය.

"ඔහොම ඉන්න නංගි විනාඩියකට." මෝටර්සයිකලයෙන් බැසගත් ධනුක හංසිව මෝටර්සයිකලය අසළ රැඳීමට සන්කර ඉවතට ගියේය.
"සුදු නෝනා.." එකවරම ආ හඬ දෙසට ඇය හැරුණි.

"ඔයා..ඔයා හොඳින්ද?" කිසිඳු අනතුරක ලකුණක් හෝ නොමැති මදුක දෙස බලා හංසි ඇසුවාය.

"නෑ සුදු නෝනා. ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ නිසා ධනුක එහෙම ඔයාට කියන්න ඇත්තේ."
එකෙනෙහිම හංසි විසින් මදුක හට කම්මුල්පාරක් දුන්නාය.
"තමුසෙට මගෙ හැඟීම් සෙල්ලමක්ද? මාව විහිළුවක්ද? ඇයි මට මෙහෙම කරන්නෙ..තමුසෙ ඕනෙ මඟුලක් කරගන්නව. මාව අතඇරලා." හංසි ඉවවහා ගිය කෝපයෙන් කියවාගෙන ගියාය.
"අහන්න මගේ පණ. ඔයා එහෙම නම් මන් මෙහෙම පස්සෙන් එන්නෙ නෑ නෙ. අහන්න සුදු නෝනා. මට ඔයා නැතුව ඉන්න බෑ. ඔයා එක්ක කතාකරන්න ඕනෙ නිසා මෙහෙම එක්ක ආවෙ. මන් කියනදේ විනාඩියක් අහන්න."
"බෑ. විනාඩියක් තියා තත්පරයක් වත් බෑ. මගේ අත අතාරිනවා.  මේ වෙනකම් තිබ්බ නම් ඒ හැම බැඳීමක්ම මේ මොහොතෙ ඉඳලම ඉවරයි. තමුසෙ හැදෙන මිනිහෙක් නෙවෙයි. මට දැන් තේරෙනවා අනිත් කෙල්ලින්ටත් උනේ මොකද්ද කියලා. දැන් අපි අතර කිසිම සම්බන්ධයක් නෑ. තමුසෙ මට එක විනාඩියකට හරි ආදරේ කරා නම මට පේන්නවත් එන්න එපා. මෙන්න වැන්ඳා මට මගේ පාඩුවේ ඉන්න දෙනවා." ඇය අතිශයින කෝපිතව ඉකිගසමින්ම පැවසුවාය.
"ඒ කියන්නෙ මාව එපා කියලද සුදු නෝනා."
"ඔව් එපා. කිවවනෙ දැන්." ඈ ඉකිගසමින් යන්නට සැරසුණාය.
"හ්ම් හොඳයි.ඔයාගෙ කැමැත්තක් සුදු නංගි. ඒත් මන් ආදරේ කරන්නෙ ඔයාට විතරයි. ආයෙ කාටවත් ආදරේ කරන්නෙ නෑ මැරෙනකම්. ඒක මතක තියාගෙන ඉන්න." තමාගෙන් ඉවතට යන හංසි හට මදුක පැවසුවේය.

"නංගි..නවතින්න මදුවගෙ වරදක් නෑ නංගි." ධනුක හංසි පසුපස දුවමින් පැවසුවේය.

එකවරම මහත් ගිගුම් හඬක් ඇසෙන්නට විය. ධනුකද හංසිද ඒ දෙසට හැරුණු අතර මිනිසුන් එම ශබ්දය ආ දෙසට දුවන්නට විය.

"අර කොල්ලට ලොරිය පේන්නවත් නැති තරම් මොන සිහියකින්ද බන් පාර පැන්නෙ?." දුවමින් සිටි එක් මනුස්සයෙක් කියනු ඇසිණි.
හංසිගේ හදවත නැවතත් වේගයෙන් ගැහෙන ලෙසක් ඈ හට දැනුණි.

"සුදු අයියා." හංසි නැවත පිටුපස හැරී මදුකව සෙව්වද මදුක ඒ වන විට ඇගේ ඇස් මායිමේ නොසිටියේය.
"ධනුක අයියේ." සීතල වී ගිය සිය දකුණු අතින් ධනුකගේ වම් බාහුව අල්ලමින් ඈ පැවසුයේ භීතියෙන් විසල් වූ දෙනෙතින් යුතුවය.
පසුව හංසිද ධනුකද මිනිසුන් රැස්කමින් සිටි දෙසට දිවගියහ.

"අනේ මගේ රත්තරනේ.." ඒ වන විටද ලේ විලක් මැද මදුක වැතිර සිටියේය.
"අනේ ධනුක අයියේ බලන්න..මගේ පණ ඉන්න හැටි." ඈ සෙනඟ මෑත් කරමින් ගොස් මදුකව බදාගනිමින් පැවසුවාය.
ඒ වන විට මද සිහියෙන් සිටි මදුක අමාරුවෙන් හංසි දෙස බැලුවේය.
"අනේ ධනුක අයියේ ගිහින් වාහනයක් අරන් එන්න."  ඒ වන විටද ත්‍රී රෝද රථයක් පැමිණ තිබුණි. මදුකව ත්‍රීරෝද රථයට දමාගත් හංසි හා ධනුක ඔහු ව රෝහලට රැගෙන යන්නට විය.

"අනේ මගේ රත්තරනේ මාව දාල නම් යන්න එප.දෙවියනේ ඔයාව හදාගන්න ඕනෙ නිසා මන් කතා නොකර හිටියෙ බැන්නෙ. අනේ ඇයි මගෙ අයියේ ඔයා මෙහෙම කරේ ? මේ පව්කාරි පේන්න එන්න එපා කීවෙ ආපු කේන්තියට සුදු අයියේ..අනේ මන් කොහොමද මගේ වස්තුව නොදැක ඉන්නෙ. එදා මගෙ අයියා මාව බලන්න ආපු වෙලේ ඔයා යනකම්ම මන් කාමරේ ඇතුලට වෙලා ඔයා දිහා බලන් හිටියා සුදු අයියේ.." හංසි ඉකිගසමින් හඬමින් පවසද්දී ධනුකගේද දෙනෙතින් කඳුළු බිඳු ඇද හැලුනි. එසේම දෙනෙත් පියාගෙනම ඉතා අපහසුවෙන් මදුක ඈ කියනා බස් අසා සිටියේය.

"මගෙ සුදු අයියා අහගෙන නේද ඉන්නෙ වස්තුව. මගෙ රත්තරං ඉක්මනට සනීප වෙලා ආයෙම එන්න මා එක්ක රණ්ඩු වෙන්න. මට තව ඉන්න බෑ. ඒ නිසා අපි බඳිමු. ඔයා කිව්ව වගේ අපි ළමයි හත්දෙනෙක්ම හදමු. මන් කැත උනාට කමක් නෑ. මන් ආසයි මගෙ මහත්තයො. මන් මගෙ මහත්තය කැමති කෑම හදන්න පුරුදු වෙන්නම්. අනේ ඒ නිසා ඉක්මනට සනීප වෙලා මන් ළඟට එන්න. ඇවිල්ල ආයෙම මට පිස්සුවෙන් වගේ ආදරෙ කරන්න වස්තුව. ඔයාට පිස්සු වැටිලා ඉන්න මේ පිස්සිට ආදරේ කරන්න එනව නේද.? අයියේ..සුදු අයියේ.." හංසි මදුකගේ තොල්පෙතිද කම්මුලද සිඹිමින් පැවසුවද

ඒ වන විට මදුක සිය අවසන් හුස්ම පොද හංසිගෙ උකුළමත හෙළා අවසන් වී තිබුනි.නමුදු හංසි සිහිවිකල් වූවෙකු ලෙස කියෙව්වාය.

"නංගි..හංසි."
ඇයට ධනුක කතා කළ බවක් හෝ නොඇසුණි.
"අනේ හංසි නංගි අහන්න. මදුවට දැන් ඔයා කියන දේවල් ඇහෙන්නෙ නෑ කෙල්ල." ධනුක හඬමින් පැවසුවේය.
"ඇයි ඇයි ඔයා එහෙම කියන්නෙ..එයාට ඇයි ඇහෙන්නෙ නැත්තේ. එයා මන් කියන දේවල් හොඳට අහගෙන ඉන්නෙ." මදුකගේ නළලට හාදුවක් දෙමින්  හංසි පැවසුවාය.
"ඌ අපිව දාල ගිහින් නංගි ඌ අපිව තනිකරල ගිහින්."  ධනුක හඬමින්ම පැවසුවාය.

ඒ වන විට ත්‍රීරෝද රථය රෝහලට පැමිණුනි.
"නෑ එයා පොඩ්ඩක් නිදා ගන්නවා. නේද සුදු අයියේ. නැඟිට්ල කියන්න ඔයා නිදාගත්තා කියල වස්තුව." හංසි ඉකිගසමින්ම පැවසුවාය.
ධනුක විගස් ගිස් ඇටෙන්ඩන්වරු දෙදෙනෙක් කැඳවාගෙන ආ අතර ඔවුන් මදුකගෙව් නිසල දේහය ට්‍රොලියක් මත තබා රෝහල තුළට රැගෙන ගිය අතර හංසිද ධනුක ට්‍රොලිය පසු පස දිවගියහ.

පසුව වෛද්‍යවරයෙකු පැමිණ මදුකගේ දේහය පරීක්ෂා කළේය.
"හ්ම් මේ ලෙඩා නැති වෙලා දැන් විනාඩි දහයක් විතර වෙනවා." එය වෛද්‍යවරයා පවසනවාත් සමඟම හංසි වෛද්‍යවරයාගේ සුදු ලෝගුවේ එල්ලී මොරදෙන්නට වූවාය.
"නෑ.. තමුසෙ බොරු කියන්නෙ.ඩොක්ටර් කෙනෙක්ද තමුසේ ඈ " අවුල් වී ගිය සිය හිසකෙස් අදිමින්ද තම හිසට ගසා ගනිමින්ද ඈ හඬන්නට වූ අතර ධනුක පැමිණ ඈ මෙල්ල කිරීමට තැත් කළද එය ඉතා අපහසු කටයුත්තක් විනි.
හංසි දිවගොස් මදුකගේ නිසල සිරුර තුරුළු කරගනිමින් හඬන්නට වූවාය.
"අනේ මගේ වස්තුව ආයෙම එන්න ඔයාගේ සුදු නෝන ළඟට. ඔයා දන්නව මට ඔයා නැතුව ඉන්න බෑ කියල. ඇවිත් මාවත් අරන් යන්න මගෙ මහත්තයෝ ඔයා ළඟට." හංසි විලාප තියමින් හඬන්නට වූවද මදුක නැවත් සිය දෑස් හැර ඇය දෙස නොබැලුවාය.

************************නිමි….

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment