පටාචරාවක් නොවන පටාචාරාවක්

#පටචාරවක්_නොවන_පටචාරවක්

"අනේ මහත්තයෝ මට ගෙදර යන්න ඕනේ. මාව ගෙදර එක්කගෙන යන්න. මට බයයි මහත්තයෝ" පවනි, සාගරගේ දෙපා මුළ වැඳ වැටී ඉකිගසමින් හැඬුවාය.

"මොනවද සුදු මැණිකේ මේ කියන්නෙ? කොහොමද දැන් ඔයාව ගෙදර එක්කගෙන යන්නෙ? ඔයාම නේද සුදු මැණිකෙ කිව්වෙ ගෙදර ඉන්න බෑ. අම්මා ගහනවා හොඳටම එක්කගෙන යන්න කියලා."  තම දෙපාමුල වැඳ වැටී හඬමින් හුන් පවනිගේ උරහිස් දෙකෙන් අල්ලා ඇයව ඇඳමත වාඩිකරවන ගමන් සාගර පැවසුවේය. පවනි හඬනු දුටු සාගරගේ හදවතේ කීරී ගැසී ගියේ තමා පණ සේ ආදරේ කරන සිය පෙම්වතියගේ කඳුළු බලනු බැරි බැවින් හා ඇයව හොරෙන්ම තමා වෙත රැගෙන ඒම පිළිබඳව, තම හෘද සාක්ෂිය තමාටම දොස් පවරමින් සිටි බැවිනි.

"මේ අහන්න මගෙ පණ, දැන් ඔයාව එක්ක ගියොත් ඔයාගේ තාත්තා මාව මරල දායි. අනික ගමේ මිනිස්සු තවත් මගේ මැණිකට කතා කියාවි. ඒ නිසා අපි හැමදේම හොඳ අතට හැරුණට පස්සෙ යමු ඔයාගෙ ගෙදර" පවනිව සිය ළැමැදට තුරුළු කරගනිමින් ඇයගේ හිස අතගාමින් සාගර ඇයව සැනසීමට උත්සාහ කළේ නොනවත්වා ඉකිබිඳින පවනිගේ ඉකිබිඳුමෙන් දැඩි සේ කම්පිතවය.

"අනේ මගෙ මහත්තයෝ මාව දාල නම් යන්න එපා. මාව අතාරින්නත් එපා. මගේ ළඟට වෙලාම ඉන්න." තව තවත් සාගරගේ ළැමැදට ගුළි වෙමින් පවනි පැවසූයේ ඇගේ කඳුළින් සාගරගේ කමීසය හොඳටම තෙත් වෙද්දීය.

තවමත් දාහත් හැවිරිදි වියේ පසු වූ පවනි යනු සාමන්‍යයෙන් වැදගත් යැයි සම්මත පවුලක එකම දියණිය විය. ඇයගේ පියා පොලිස් නිලධාරියෙක් වූ අතර මව ගුරුවරියක් වූවාය. තුන් වේලටම හොඳින් කාබී යහමින් ජීවත් වන්නට හැකියාවක් පවනිගේ පවුලේ උදවියට තිබුණද සාගරගේ පවුලේ තත්වය මීට හාත්පසින්ම වෙනත් ස්වභාවයක් දැරීය. තවමත් කපරාරු නොකළ සිමෙන්ති නිවසක ජීවත් වූ සාගරට  නංගිලා මල්ලාම පස් දෙනෙක් වූහ. සාගරගේ පියා කුලී වැඩ කොට එදා වේල සරිකර ගැනීමට මහත් සේ වෙහෙසුණු අතර සාගරගේ මව  අතිශයින් අරපිරිමැස්මෙන් ජීවිතය ගැටගසා ගැනීමට වෙහෙසුණාය.

විශ්ව විද්‍යාලයට යෑමට සුදුසුකම් ලැබූවද සාගරට ඊට හැකියාවක් නොලද්දේ සිය අනාගතය තම පවුල වෙනුවෙන් කැපකොට ‍රැකියාවක් කිරීමට සිදු වූ හෙයිනි. රජයේ ලිපිකරුවෙකු වූ සාගර තම එම රැකියාවෙන් ඉවත්ව ත්‍රීරෝද රථ රියදුරෙකු වූයේ ඉන් ලැබෙන පඩිය සිය පවුලේ නඩත්තුව සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවූ හෙයිනි.

සාගර හා පවනි එකම ගමක වාසය කළද සාගරගේ පවුලේ ස්වභාවයද ඔහු ත්‍රී රෝදරථ රියැදුරෙකු නිසාම පවනිගේ දෙමාපියන් ඔවුන්ගේ ආදර සම්බන්ධයට දැඩි සේ විරුද්ධ වූහ. එබැවින් පවනි සෑම දිනකම පාහේ නොසෑහෙන ලෙස තම මවගෙන් හා ඇතැම් විට සිය පියාගේද තැළීම් පෙළීම් වලට විය. මේ හේතුව නිසාම ඈ සාගර හට වඩ වඩාත් ළං වන්නට විය.

තම නිවැසියන් දෛනිකව සිදුකරන ශාරීරික මෙන්ම මානසික හිරිහැර හමුවේ, ඇය සාගරගෙන් ලද  සෙනෙහසට වඩාත් ආකර්ෂණය වූවා සේම ඔවුන් අතර ඇති බන්ධනය වඩ වඩාත් ශක්‍තිමත් විය. පවනිගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැන ඈ සාගර වෙතට නිවසට හොර රහසේ යෑමට තීරණය කළාය.

කාලය ගත වුනේ සාගරගේ පවනිගේ ජීවිත වල වෙනස්කම් බොහෝමයක් සිදු කරමිනි.

"මහත්තයෝ දැන් මාසයක් විතර වෙනවනේ අපි ගමේ යමු. අනික තවත් ඔයාගෙ නැන්දට වද දෙන්න බෑනේ."

" තව ටික දවසක් ඉඳලම යමු ."

" අනේ මගේ හොඳ මහත්තයනේ අපි යමු. දැන් තාත්තලගේ හිත් වෙනස් වෙලා ඇති. අපි යමුකෝ."

" මේ අහන්න සුදු මැණික ලබන මාසේ ඔයාට දහ අට වෙනවා. එතකොට ඔයාව කසාද බැඳලම එක්කගෙන යන්නම්. එතකන් ඉවසන්න. මන් මෙහේ කුලී වැඩක් කරල කීයක් හරි හොයා ගන්නම්."

තම දෙමාපියන් දැක ගැනීමට දැඩි සේ උවමනා වුවද ඇය සාගරගේ පොරොන්දුව හමුවේ නිහඬ වූයේ කසාද නොබැඳ ගමට ගියහොත් තම පියා සාගරගෙන් ඇයව වෙන් කළහැකි යැයි සිතට නැගුණු අනියත බිය නිසාවෙනි.

සාගර කුලී වැඩකරමින් පවනිගේ එදිනෙදා අවශ්‍යතාවයන් ඉටු කිරීම පිණිස වෙහෙසුණේය. එසේම පවනිගේ දහ අටවෙනි උපන්දිනයට පසු දිනම තම යහළුවන් කිහිප දෙනෙකු ගෙන්වාගත් සාගර විවාහ රෙජිස්ටාර්වරයෙකු වෙත ගොස් පවනි හා නීතිමය වශයෙන්ද බඳුනේය. නමුත් පවනිව නැවත ගමට රැගෙන යාමේ පොරොන්දුව ඔහු අමතක වූවෙකු ලෙස කටයුතු කළේය.

"මහත්තයෝ.." දිනක් රාත්‍රීයේදී, ගමට යෑමේ අරමුණින් පවනි සාගරව ඇමතුවාය.

"හ්ම්ම්"  නිදියහනේ හාන්සි වී සිටි  සාගර අසළින් හාන්සි වූ පවනිගේ ඇමතීමට ප්‍රතිචාර වශයෙන් සාගර පැවසුවේය.

"අනේ මහත්තයෝ අපි ගමට යමුකෝ. මට තවත් මෙහේ ඉන්න බෑ." සාගරගේ නිරුවත් පපුව මත හිස තබාගනිමින් පවනි පැවසුවාය

"අහන්න සුදු මැණික ඔයාට ගෙදරදි ලැබුණු සැප සම්පත් දෙන්න මට අමාරුයි තමයි. ඒත් අපි මෙහේ ඉමු. මං මට පුළුවන් උපරිම විදිහට ඔයාව හොඳින් බලාගන්නම්." සාගර පවසද්දී එකවරම පවනිගෙ හදවතෙහි කේන්තියක් ඉපදිණි.

"කිව්වා නේද බැන්ඳට පස්සෙ යනවා කියල.ඇයි දැන් පස්ස ගහන්නෙ. ඔයා හරිම ආත්මාර්ථකාමී සාගර.මන් දැන් කොච්චර කාලෙක ඉඳන් කියනවද යමු කියල." පවනි කේන්තියෙන්ම සාගරට බැන වැදුණේය.

සාගර කිසිත් නොපවසා අනෙක් පසට හැරී දැඩි කල්පනාවකට බර විය. ඔහු රැය පහන් වනතුරා කල්පනා කළේය. අවසානයේ ඔහු පවනිගේ කැමැත්තට ඉඩදීමට කැමැති විය.

පසු දින දහවලින් ඔවුන් සිය ගම්බලා පිටත් වූහ. සාගර හා පවනි සාගරගේ නිවසේ පදිංචියට පැමිණි බව විදුලි වේගයෙන් ගමපුරා පැතිර ගියද පවනිගේ නිවසින් ඊට යහපත් හෝ අයහපත් කිසිදු ප්‍රතිචාරයක් නොවුණි.

"මහත්තයෝ තාත්තල අපිට සමාව දේවි. අපේ ගෙදර ගිහින් එමු." පවනි නැවතත් සාගරට ඇවිටිලි කරන්නට විය.

"මේ අහනව සුදු මැනික ගමට එන්න ඕනෙ කිව්ව නිසා එක්ක ආව. ඒත් ආයෙ ඒ ගෙදර යන්න බෑ. එච්චරයි. ආයෙ ඒ ගැන අහල මගේ යකා අවුස්ස ගන්න හදන්න එපා." සාගර කිපී පැවසුවේය.

" ඇයි ඒ මගේ අම්මයි තාත්තයිනෙ. එයාලව බලන්න බැරිද මට."
පවනිද දුකෙන් හා තරහෙන් ඇසුවාය.

"අම්මල තාත්තල? ඒ නිසාද දූ මැරුණා කියලා ගමටම කතා කරලා ලොකු දානයක් දීල තියෙන්නෙ?" සාගර ප්‍රකෝප වී පැවසුවේය.

"මොකක්? මොනාද මේ කියන්නෙ?"  පවනිගේ හදවත දෙපළු වී යනවා සේ ඇයට දැනිණි.

"මොනාද නෙවෙයි මන් ඇත්ත කිව්වෙ..දැන් එයාලට ඔයාව මැරුණු කෙනෙක් විතරයි සුදු මැණික. ඒ නිසා ඔයත් එයාල ගැන අදහස හිතින් අත් ඇර ගන්න. කොහොමත් පෙන්නනවා ඕකුන්ට මම කවුද කියල"  සාගර දැඩි සේ විස්සෝපව මෙන්ම ආවේගයෙන් යුතුව පැවසා නිවසින් පිටවී ගියේය.

සාගර නැවත ගමට පැමිණීමට නොහැකි යැයි පැවසූ කාරණය පවනිට වැටහිණි. ඈ රැයක් දවාලක් නොමැතිව හැඬුවාය.

කාලය කෙමෙන් ගතව ගියද පවනිගේ සිතේ වූ දුක තුනී වී නොගියේය. අතිශයින් සීමිත සම්පත් ප්‍රමාණයකින් පවුලේ වූ නවදෙනෙකුගේ අවශ්‍යතාවන් සපුරා ගන්නට සිදු විනි. විටෙක කළකිරීමද එපාවීම් රාශියක් පැවතියද  ඈ ඒ සියල්ල විඳ දරා ගත්තේ සාගර කෙරෙහි වූ සෙනෙහස නිසාවෙනි.
කාලයගේ ඇවෑමෙන් පවනි මවක් වූ අතර සාගර දැඩි සේ වෙහෙස මහන්සි වී තම පවුල නඩත්තු කිරීම සඳහා වෙහෙසුනේය. ඔහු සිය රියදුරු රස්සාවට අමතරව කුලී වැඩ පළද කළේය. එසේම රාත්‍රීයේ ඔහු ගඩොල් සෑදීමද සිදු කළේය. මේ සෑම දෙයටම පවනිද නොපිරිහෙළා වෙහෙසුණාය.
සියල් දුක් කම්කටොළු හා සාගරගේ ආදරයද සිය පුතුගේ දඟකාරකම් හමුවේ පවනි පරිණත ගැහැණියක් බවට පත් වූවාය. එසේම ඈහට දැඩි සේ අවැසි විනිද ඕ සිය දෙමාපියන් පිළිබඳව ඇතිවනා හැඟුම් ආයාසයෙන් මැඩගත්තාය.

කාලය සැමටම එකසේ නොසලකන අතර සෑම විටම එකම ආකාරයෙන් සැමටම බලනොපාන බව සැබෑවකි.මෙය පවනිගේ හා සාගරගේ ජීවිත වලටද පොදු වූ කරුණකි.

"ලොකු අක්කේ.." සාගරගේ බාල සහෝදරයා හතිලමින් දුව විත් කෑගැසුවේය.

"ඇයි චූටි මේ කෑගහන්නේ? මොකද උනේ"  තම බාල මස්සිනාගේ බිය හා ශෝකය මිශ්‍රිත මුහුණ දැක හිතට නැඟි බියෙන් යුතුව පවනි විමසුවාය.

"අයියාගෙ ත්‍රීවීල් එක හැප්පිලා අක්කේ. අයියව ඉස්පිරිතාලෙට එක්ක ගිහින්"
පවනිගේ මුලු සිරුරම සලිත වී ගියේය. ඈ ගල් ගැසී මෙන් බලාසිටියේ ඇසූ දේ තවමත් අදහා ගත නොහැකිවය.

"මන් පොඩ්ඩයිගෙ ත්‍රීවීල් එක අරන් ආව ඉස්පිරිතාලෙට යන්න . අක්කත් එනවද?" 

පවනි සිහිවිකල් වූඑකියක් ලෙස මිදුලේ සෙල්ලම් කරමින් සිටි තම පුතුව කුණුවැකුණු සිරුරෙන්ම වඩාගනිමින් සිය බාල මස්සිනා පසුපස දිව ගියේ නිවසට හැඳ සිටි දැලිකුණු තැවරුණු අණ්ඩ දැමූ ගවොමද පයට පාවහන්ද හෝ නොමැතිවය.

රෝහල කරා ගිය ඕ කෑගසමින් හඬන්නට වූවාය.
"අනේ දොස්තර මහත්තයෝ මගේ පණට මුකුත් වෙලා නෑනේද? කියන්න මහත්තයො.." පවනි සිය පුතු වඩාගෙනම වෛද්‍යවරුන්ට වඳිමින් පැවසුවාය.

" මේකයි අපිට හදිසි ශල්‍යකර්මයක් කරන්න වෙනවා අම්මේ. හැබැයි ඒක කරගන්න වෙන්නෙ පෞද්ගලික රෝහලකින්. දැනට අපි එයාගේ ලේ යන එක නතර කරල තියෙන්නෙ. ඒක රජයේ රෝහලෙන් කරන්න නම් සති දෙකක්වත් යනවා. ඒත් අඩුම තරමෙ දවස් පහකින්වත් ඒ ශල්‍යකර්මය කරන්න ඕනෙ. නැත්නම් ලෙඩාගේ ජීවිතේ අනතුරේ. රජයේ රෝහලකින් කළත් ටිකක් ලොකු ගාණක් යනවා. ඒ වගේම පෞද්ගලික රොහලකින් කලත් ඒ වගේ දෙගුණයක් විතර යනවා. ඒත් මේ ශල්‍යකර්මෙ පුළුවන් තරම් ඉක්මනට කරන එක හොඳයි."

"කීයක් විතර යාවිද දොස්තර මහත්තයෝ.." වෛද්‍යවරයා කී කරුණු ගැන ඒ තරම් නිනව්වක් නොවුනද ඈ හට අවශ්‍ය වූ එකම දෙය වූයේ කෙසේ හෝ තම ස්වාමියාව බේරා ගැනීමට පමණකි.

"අඩුම තරමෙ ලක්ෂ පහ හයක් වත්"

පවනිගේ චිත්ත දෛර්‍ය පවනට වඩා වේගයෙන් බිඳ වැටිණි. "එච්චර ගාණක් මේ හදිසියේ" ඈ සිය පුතු සමඟම රෝහලේ බිම මත වාඩි වෙමින් හිසට අත තබාගෙන ඇවිලෙමින් දැවෙනා සිය සිතුවිලි දරාගනිමින් තමාටම මුමුණමින් හැඬුවාය.

ඕ බොහෝ සෙයින් කල්පනා කළාය. අවසානයෙව් සිය තෙහැවිරිදි පුතුද කර පින්නාගෙන නිරුවත් දෙපයින්ම තම මාපියන්ගේ නිවෙස වෙත ඇවිදගියාය .

සිය අවසන් ආත්මවිශ්වාස පොද එකතුකරගත් ඕ දොරට තට්ටු කළාය.
නිවසේ දොර විවෘත වූ අතර ඇගේ මව ඈ ඉදිරිපිට සිටගෙන සිටියාය.
පවනි තම කර පින්නාගත් පුතුද සමඟින් සිය මවගේ දෙපා මුල වැඳවැටුණාය.

"අනේ මගේ රත්තරං අම්මේ මට සමාවෙන්න." පවනි හඬන්නට වූවාය. ඈසිය දෑත් මව වෙත පෑවාය.

"මේ හිඟන්නිට හිඟමනක් දෙන්න අම්මේ.. අනේ මගේ මහත්තයව බේරල දෙන්න." ඈ ඉකිගසමින් හැඬුවාය…

"අනේ මගේ රත්තරං කෙල්ලට ගිය කල දෙවියනේ..ඇයි දෝනියේ උඹ මේ වගේ හදියක් කරගත්තේ? "උතුරා ගලායන දාරක සෙනෙහසින් යුතුව හඬමින්ම තම දෙපතුළ අසල වැටී සිටි තම දියණියව නැඟිටුවමින් පවනිගේ මව පැවසුවාය.

"රජ කුමරියක් වගේ හිටපු මගේ කෙල්ල අද වැරහැළි ඇදගෙන දෙවියනේ. ඇයි රත්තරනේ උබ මෙහෙම කරෙ? දන්නවද දෝණි ගමට ආවම කීව දවසෙම තාත්තා ගියා දෝණිව බලන්න.එදා ඉඳන් හැමදාම හොරෙන් ගිහින් දෝණිව බලල ඇවිත් තමයි දවස පටන් ගන්නෙ. තාත්තා හැමදා හිතුවා ඔයා ඒවී කියල ඒත් උඹ මේ වගේ එයි කියල හිතුවෙ නෑ රත්තරනේ." සිය දියණියද් මුනුපුරාවද බදාගනිමින් පවනිගේ මව හැඬුවාය.

පසුව පවනි සිදු වූ සියල්ල මව හා පැවාසුවාය. අනතුරුව පවනිගේ පියා සාගරගේ ශල්‍ය කර්මය සඳහා අවශ්‍ය සියලු වියහියදම් දැරුවේය. සුවපත් වී පැමිණි සාගරද පවනිගේ දෙමාපියන්ගෙන් සමාව ගත්තේය. පවනිගේ දෙමාපියන් අකමැත්තෙන් වුවද සාගර හට සමාව් දුන්නේ සිය දියණියගේ හා මුණුපුරුගේ අනාගත ගැන සිතාය.

පසුව සාගරට පොලීසියේම රැකියාවකට යෑම සඳහා පවනිගේ පියා කටයුතු කළ අතර සාගරද පවනිද සිය දෙමාපියන් සමඟ සතුටින් කල් ගෙවූවද පවනිගේ දෙමාපියන්ගේ සිත් තුළින් පවනිට මීට වඩා යහපත් අනාගතයක් උරුම වීමට තිබුණෙ යැයි යන සිතුවිල්ල කිසිදින පහව නොගියේය.

*****************නිමි…
Apsara Shamali

උපුටාගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment