"ඔය ළමයා කරුණාකරලා හෙට එද්දි අම්මව හරි තාත්තව හරි එක්කගෙන එන්න.."
කාල පරිච්ඡේදය අවසාන බවට හැඟවීමට නාද කරන සීනුවේ හඬද පරයමින් සිංහල ගුරුතුමිය කියන්නේ පැළඳ සිටි උපැස් යුවළට යටින් සදෙව් දිහා තියුණු බැල්මක් හෙලන ගමන්..
සීනුව නාද වුනේ කාලපරිච්ඡේදයේ අවසානය පමණක් නොව පාසලේ වැඩ කටයුතුද එදිනට අවසන් බව සනිටුහන් කරමින්..ගුරුතුමිය පන්තියෙන් නික්ම යද්දී සටහන් පොතත් අතට ගත් පුංචි සදෙව් තමන්ගේ මේසය අසලට යන්නේ විසිරුණු මනසකින්..
"බුදු සරණ වේවා...සදහම් සරණ වේවා..සඟ සරණ වේවා..මෙතුන් සරණින් ජයම වේවා..."
තාලයට ගායනා කල සිසු සිසුවියන් එකිනෙකා මත හැපෙමින් පෙරලෙමින් පාසලේ ප්‍රධාන ගේට්ටුව කරා දිව යද්දි පුංචි සදෙව් පමණක් ඔවුන්ගෙන් වෙන්ව හෙමින් හෙමින් පියවර තබන්නේ සිතිවිලි රාශියක් පුංචි හිත ඇතුලෙ තෙරපෙද්දි..
වෙනදා පාසල ඇරුන විට නිවස බලා යාමට තිබෙන ආශාව අද ඔහුගේ සිතේ නැති තරම්..නමුත් තමන් එනතුරු පෙරමගට වී බලා සිටින මෑණියන්ගෙ රුව සිතෙහි ඇඳුන නිසාම අකමැත්තෙන් නමුත් සදෙව් තම නිවෙස වෙත පියමං ඔසවනවා..
"මොකද පොඩි එකෝ අද මෙච්චර පරක්කු උනේ..මම මේ ඉස්කෝලෙ ලඟට එන්න කියලා ලෑස්ති වුනා විතරයි.."
කඩුල්ල අසල හිඳ බලා හිඳිනා සුදර්ශනී කියන්නේ ඉබි ගමණින් ඇවිද එන පුංචි සදෙව් එන මගට පියවර තබමින්..වෙනදා මිටින් හල කුරුල්ලෙකු මෙන් පාසල හැරුන විගස නිවෙස කරා දිව එන සදෙව්ගේ මේ වෙනස් හැසිරීම සුදර්ශනී ගේ සිතටද ප්‍රශ්නාර්ථයක් එකතු කරන්නේ ඉබේමයි..
"මොකද පොඩි එකෝ අද නිකම් හෝන්දු මාන්දු වෙලා වාගෙ ඉන්නෙ..මොකක් හරි අසනීපයක්ද...?"
පුංචි සදෙව්ගේ කරේ තිබුන පාසල් බෑගය එක අතකට ගෙන සුදර්ශනී අහන්නේ තම පුතුගේ ගෙළ හා නළල දෙපසට පිටි අල්ල තබා බලන ගමන්..
"කතා කරපන් පොඩි එකෝ මාව බය කරන්නෙ නැතිව.."
පිළිතුරක් නොලද තැන නැවතත් සුදර්ශනී අහන්නේ තම පුතු තුරුලට අරගනිමින්..
"අ...අම්මෙ...අ..ම්..මට සි..ංහල ටී..ච හෙ..ට්..ට ඉස්කෝ..ලෙට එන්..න කි..වුවා.."
සදෙව් කියන්නේ තම මවගේ දෑස් මග හරින ගමන්..දෙනෙත් පොළවට බර කරන්...වචන අහුලමින්..
"ආ.... ඒකයි මේ එහෙනම්...ඇයි මොකද...දඟ වැඩක් වත් කරලා ටීචට අහුවුනාද..?"
මුවට නැගුන සිනහව පිටතට නොපෙනෙන්ට සඟවා ගනිමින් සුදර්ශනී අහන්නේ පුංචි සදෙව්ගේ හිස පිරිමදින ගමන්...
සිය මවගේ පැනයට පිලිතුරක් ලබා නොදෙන සදෙව් නෙත් පොළවට බර කරගෙන හිස පමණක් දෙපසට සලන්නේ නැහැයි කියා කියන්නට වගේ...
"එහෙනම්...?"
"ගෙ..ද..ර වැ.ඩ ක.ර..ගෙන ගි.යේ නෑ ක්..කි.යලා... "
ඇහෙන නෑහෙන තරම් සිහින් ස්වරයකින් පුංච් සදෙව් මුමුණන්නේ කොයිතරම් නම් හුරතල් කරත් පාසල් වැඩ කටයුතු ආදියේදී තම මව ඉතා තද තැනැත්තියක් බව ඔහු අත්දැකීමෙන්ම දන්නා නිසාමයි..
සදෙව්ගේ පිළිතුරත් සමග සුදර්ශනී ගේ මුහුණේ ස්වභාවය වෙනස් වීමට යන්නේ විනාඩියකටත් වඩා අඩු කාලයක්..
"ඇයි දැන් ගෙදර වැඩ නොකලෙ..කතා කරනවා ඇයි ගෙදර වැඩ කලේ නැත්තෙ..?"
දෙතුන් වතාවක් විමසීමෙන් පසුවත් තම පුතුගෙන් කිසිදු පිළිතුරක් නොලද තැන නිවසට යාබදව තිබුන පේර ගස අසලට යන සුදර්ශනී එයින් කුඩා අත්තක් කඩාගෙන එන්නේ සදෙව් දෙස කෝපාවිෂ්ඨ බැල්මක් හෙලන ගමන්..
"කතා කරනවා දැන් ඉතින් සැරයක් කියුවාම..ගෙදර වැඩ කරගෙන යන්න බැරි තරමට මොකක්ද මේ ගෙදර තිබුන රාජකාරිය..මම දවස තිස්සෙ නැහිලා නැහිලා දුක් මහන්සි වෙලා සල්ලි හම්බකරලා කොච්චර අමාරුවෙන්ද උඹව ඉස්කොලෙට යවන්නෙ..උඹට ඉගෙන ගන්න බැරි නම් ගෙදරට වෙලා හිටහම්..මටත් මෙච්චර නැහෙන්න ඕන නැහැනෙ එතකොට.."
තරහෙන් පිපිරෙමින් සුදර්ශනී නොනැවතිල්ලේ කෑගසද්දී සදෙව් ගේ පිළිතුර වුනේ බිම බලාගෙන හිඳීම පමණයි..තමුන් මේ තරම් අහද්දිත් සදෙව්ගෙන් පිළිතුරක් නොලැබුන නිසාම සුදර්ශනීගේ සිතෙහි කෝපය තව තවත් දළු ලද්දී පුංචි සදෙව්ගේ දෑතට හා පිට මැද්දට පේර කෝට්ටෙන් පහර කීපයක් වදින්නේ බලාපොරොත්තු නොවුන විදියට..
"මේවා උඹලගෙ නෙමෙයි...උඹලගෙ මහ එකාගෙ වැරදි..ඒක ජීවත් වෙලා ඉන්නකම් කරේ මගේ ජීවිතේ නැති නාස්ති කරපු එක..කාලකණ්ණි කරපු එක..ඒ ලේමනෙ උඹටත් තියෙන්නෙ..ඉතින් ඒ ගති ගුණම පිහිටලා තියෙන එක අහන්නත් දෙයක්ද... මාව මරාගෙන කන්න කියලම ඇවිත් ඉන්න කාළකන්නියෙක්...මහ එකා වගේම...
මම කොච්චර දුක් මහන්සි වෙලාද උඹට උගන්නන්නෙ..ගෙවල් කීයක නම් අනුන්ට පක්කලිකම් කරලද කන්න අඳින්න දෙන්නෙ..ඒ හැමදෙයක්ම කරන්නෙ උඹව හොඳ තැනකට ගේන්න ඕන නිසා..උඹේ මහ එකා උඹව මගේ බඩට දීලා වෙන ගෑණියෙක් එක්ක ගිය වෙලාවෙ උඹව නැති කරලා දාන්න කියලා හැමෝම කියද්දි මම තනියම උඹව හදාවඩාගත්තෙ..ඒකට උඹ මට දෙන තෑග්ගද මේ..."
හිත් වේදනාව නිසාම කිව නොයුතු වදන් පවා සුදර්ශනී ගේ මුවින් පිට වෙද්දී ඒ කිසිවක් තේරුම් ගැනීමට නොහැකිව අසරණ ලෙස කදුලු පිරි දෙනෙතින් මද වේලවක් බලා සිටින සදෙව් සිය මෑණියන් සමීපයට යන්නේ ඊලඟ තත්පරයේදී..
තම පුතු තමන් සමීපයට එනු දැක දැකත් සුදර්ශනී සිත් පිත් නැත්තියක විලස එම ස්ථානයෙන් නැගිට යන්නේ සදෙව් දිහාවත් නොබලමින්..
තනිවම මූණ කට සෝදාගෙන කාමරයට ගොස් වාඩීවී සිටින පුංචි සදෙව්ට නින්ද යන්නේ ඔහුටත් නොදැනීමයි..මද වේලාවකට පසු කාමරයට එන සුදර්ශනී දකින්නේ සිය පුතු පාසල් නිල ඇඳුම පිටින්ම පුටුවට වී නිදා සිටින ආකාරයයි...
අනෙක් දිනවල පාසල් ඇරී නිවසට පැමිණ තමන් සමග හුරතල් වෙමින් කාලය ගතකරන සදෙව් අද සිටින ආකාරය දැක සුදර්ශනී ගේ හිතට දුකක් ඇති නොවුනාමත් නෙවෙයි..නමුත් දඩබ්බර පුතු මට්ටු කිරීමට ඇති එකම මෙවලම මෙය පමණක්ම බව සිතන සුදර්ශනී ආයාසයෙන් තම දුක යටපත් කරගෙන පුතු අමතන්නේ රළු ස්වරයෙන්ය..
"නිදගන්න කියලා කවුද දැන් කිවුවෙ...කෝ ගිහින් ගේනවා අර ගෙදර වැඩ කරන්න තියෙන පොත.."
මවගේ කටහඬත් සමග තිගැස්සී ඇහැරෙන සදෙව් පාසල් බෑගය ගෙන මවගේ දෝතට දෙන්නේ බියපත් සිතින්..
"මොකක්ද ටීච කරන් එන්න කියලා කිවුවෙ.."
සිංහල අභ්‍යාස පොත ගෙන පිටු පෙරලන සුදර්ශනී අහන්නේ සදෙව් දිහාවත් නොබලන ගමන්...
පෙරලාගෙන යන පිටු අතර එක පිටුවක් ලඟ සුදර්ශනී ගේ දෑත මෙන්ම දෑසද නවතින්නේ එක තත්පරයකට..
"පිය සෙනෙහස යන මාතෘකාව යටතේ වචන 150-200ත් අතර රචනාවක් ලියන්න.."
රතු පෑනකින් ලියවුනු අභ්‍යාස පොතේ අවසානයට සඳහන් වෙන ඒ වචන පෙල දකිද්දි සුදර්ශනී ගේ ඇස් කඳුලින් තෙත් වන්නේ ඉබේමයි...ගතවෙන්නේ නිමේෂයයි.. සුදර්ශනී ගේ ඇස් වලින් රූරා වැටෙන කදුලැලි සිහින් ඉකිබිදුමක් බවට පත් වෙන්නේ ඇයටත් නොදැනි...
සිදුවන සියලු දේ දිහා පුංචි ඇස් දෙක කරකවමින් බලා ඉන්න සදෙව් සිය මෑණියන් සමීපයට එන්නෙ මේ අතරෙදි..
"අම්මා අඬනවා නේද..අනේ අම්මෙ අඬන්න එපා..."
සදෙව් කියන්නේ සුදර්ශනී ගේ දෑස් දිහා බලන ගමන්...
"මෙ...මේකද ටීච කරන් එන්න කියලා කියපු වැඩේ..?"
කඳුලු අතරින් සුදර්ශනී අහද්දි පුංචි සදෙව් හිස සලන්නෙ ඔවු කියා කියන්න වගේ..
"ඉතින් මගෙ පුතා ලිවුවෙ නැත්තෙ...?"
සුදර්ශනී අහන්නේ පුතුගේ හිස අතගාන ගමන්..
"ඉතින් මට තාත්තා කෙනෙක් නෑනෙ..."
සුරතල් හඬින් පුතු කියද්දි පත්තුවෙන්නේ සුදර්ශනී ගේ මුලු පපුවමය...
"මගෙන් අහන්න තිබුනනෙ රත්තරනේ..."
සුදර්ශනී නැවතත් අසන්නේ පුතු තම තුරුලට ගනිමින්..
"ගමේ කට්ටිය මගේ තාත්තා කෝ කියලා අම්මගෙන් ඇහුවාම අම්මා ගෙදර ඇවිත් කාමරේට වෙලා තනියම අඬනවා මම දැකලා තියෙනවා අම්මෙ...ඉතින් මට බය හිතුනා මමත් එහෙම ඇහුවොත් අම්මා අඬයි කියලා...ඒකයි මම ඇහුවෙ නැත්තෙ.."
ලොකු වැරද්දක් කරලා අහුවුන ගානට පුංචි මුවත් උල් කරමින් තම පුතු සුරතල් හඬින් පවසද්දී සුදර්ශනීගෙ නෙත් වලින් කඳුලු කැට කඩාගෙන වැටුනෙ පුතු ගැන පමණක් නොව තමා ගැනද ඇතිවූ ආත්මානුකම්පාව නිසාමයි..
"කාළකන්නියෙක් කියන්නෙ කවුද අම්මෙ..?"
මද වෙලාවකට පසු සදෙව් ඇසූ බලාපොරොත්තු නොවුන ප්රශ්නය නිසා සුදර්ශනී තම පුතු දිහා බලන්නේ පුදුමයෙන්..
"කවුද මයෙ පුතාට එහෙම කිවුවෙ...?"
සුදර්ශනී අහන්නේ සදෙව් පැවසූ දෙය තේරුම් ගත නොහැකි නිසාවෙන්..
"අම්මා කිවුවෙ...මම අම්මව කන්න ආපු කාළකණ්නියෙක් කියලා.."
පුංචි සදෙව් කියන්නේ වචන අමුණමින්...
"මට සමාවෙයන් රත්තරනේ..."
දෑසට නැගුණ කඳුලු වලට නිදහසේ ගලායන්න ඉඩ දීපු සුදර්ශනී පුංචි පුතුව තරයෙ වැළඳගෙන ඔහුගේ හිස මත උණුසුම් හාදුවක් සටහන් කලේ හිත පත්ලෙන්ම නැගී ආ අපරිමිත මව් සෙනෙහස දෝර ගලා යද්දි...
සමාප්තයි..෴
#Pavie(කුරුලු)
No comments:
Post a Comment