කෙටි කතාව
ළඟ ඉන්න සසරේ පුරා
මලින්දි රෝද පුටුවත් තනියෙන් තල්ලුකරගෙන ආරාමේ මිදුලට ආවා. පුංචි මෙහෙණින් වහන්සේ නමක් ලස්සන රටාවට මිදුල අමදිනවා. බිම බලාගෙන මිදුල අමදින ඒ ඇස් දකිද්දි හිතට ලොකු සැනසීමක් දැනෙනව කියල මලින්දිට හිතුනා. ඒ නිරාමිස සතුට ලබන්න තමන්ට පින් මදි වුනේ පෙර පවකට වෙන්න ඇති කියල හිතෙද්දි මලිනිදිගෙ ඇස් දෙකේ කඳුළු බිඳු දෙකක් මෝදු වුනා.
“මලින්දිට කම්මැලියි නේද ඇතුළට වෙලා ඉන්න...” ලොකු මෙහෙණින් වහන්සේගෙ හඩින් මලින්දි ගැස්සිලා ඒ පැත්ත බැලුවා. මලින්දි ආරාමෙට ආව දවසෙ ඉඳන් බන්දුලා මෙහෙනින් වහන්සෙ මලින්දිව බලාගත්තෙ අම්ම කෙනෙක් වගේ දැඩි සෙනෙහසකින්. අම්මයි තාත්තයි තමන්ව ආරාමෙට ඇරලවල යද්දි ඒ දෙන්නගෙ ඇස්වලින් ගැලුව කඳුළු මතක් වෙලා මලිනිදිගෙ හිත ඇතුලෙන් සිහින් වේදනාවක් මතු වුනා. අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු නැති වෙන්න හේතු වුනේ තමන්ගෙම හිතුවක්කාරකම නේද කියන සිතුවිල්ලත් එක්ක මලින්දිගෙ මුවින් ඉකිබිඳුමක් පිටවුනා.
“ඇයි දරුවො මේ...දැන් ඉතින් ඒ දේවල් ගැන හිතල අඩන්න එපා...ජීවිතේ කියන්නෙ ලැබීම් නොලැබීම් අතර අපේ ඉවසා දරා ගැනීම...හැම දෙයක්ම අනිත්ය යයි කියල බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ මේ ලෝකෙ සතුටින් පටන් අරන් සතුටින් අවසන් වෙන කිසිම දෙයක් නැති හින්දනෙ. හැම සතුටකම වුනත් අවසානය දුකක්...”
“ඔව් මෑණියො...මම තරම් ඒ දේවල් අත්විඳපු කෙල්ලක් තවත් නැතුව ඇති කියල මට හිතෙනවා...”
“ඔයා එහෙම හිතුවට විවිධ දේවල් නිසා ජීවිතේ විඳවන අය ඕනතරම් මේ සමාජෙ ඉන්නවා...මලින්දි එක්කෙනෙක් විතරයි...මට මේ ආරාමෙදි ඒ වගේ අය කී දෙනෙක් මුණ ගැහිල තියෙනවද...ඒ හැම හිතකටම සුළුවෙන් හරි සහනයක් දෙන්න පුළුවන් වුනු එක තමයි මගෙ මහණ ජීවිතේ මම විඳින ලොකුම සැනසීම...”
“මෑණියො වගේ කරුණාවන්ත කෙනෙක් ළඟට මට එන්න ලැබුන එකනම් මගෙ ලැබීමක්...නැත්නම් මම මේ ජීවිතෙන් යන්න ගිහින් ගොඩක් කල්...”
“අපිටවත් අපේ ජීවිතේ අයිතියක් නෑ...ඒ නිසා මේ ජීවිතේ අතාරින එක අපේ අතේ නෙමෙයි තියෙන්නේ...ස්වභාව ධර්මයෙන් ලැබිල තියෙන දේවල් ආපහු ස්වභාව ධර්මයටම දෙන එකයි අපේ යුතුකම...ඒ නිසා අපිට ඕන වෙලාවට මේ ශරීරය විනාශ කරනව කියන්නෙ අපිට ආයෙමත් ස්වභාව ධර්මයෙන් ඒ දේ ලැබෙන්නෙ නෑ කියන එක...”
මලින්දි ආයෙමත් සැරයක් පුංචි මෙහෙණින් වහන්සෙ දිහා නෙත් යොමු කලා. මිදුල ඇමදල ඉවරවෙලා ඒ දිහා බලල සතුටු වෙන ලපටි මූණ මලින්දිගෙ හිතේ ආදරයක් ඇති කලා. එයත් මලින්දි දිහා බලල සිනහවක් පෑවා.
“හරිම යහපත් දරුවෙක්...අම්මයි තාත්තයි ගං වතුරට අහුවෙලා නැති වුනාට පස්සෙ එයාව බලාගන්න උන්නෙ වයසක අත්තම්ම විතරයි... ඩිංගිරි මැණිකා මාත් එක්ක ඇවිත් මිණිබිරී ගැන කියල අඩද්දි මට හිතුනා ඒ දරුව මේ සාසනේට හිමි කෙනෙක් කියල...මගෙ සිතුවිල්ල හරියටම හරි කියල මට දැන් තේරෙනවා...හැම දෙයක්ම කියන්නත් කලින් හිතල කරනවා...අපේ ජීවිතේ දෙයක් නැති වෙන්නෙ තවත් දෙයක් ලැබෙන්න මලින්දි...ඔයාගෙ ජීවිතේ වුනත් ඉස්සරහට ඔයාට හිතාගන්නත් බැරි තරම් හොඳ දෙයක් වෙන්න පුළුවන්...හිත හයිය කරගන්න...මම මෙහෙණින්නාන්සේලා කීප දෙනෙක් එක්ක දානයකට වඩිනව...මලින්දි අපි එනකම් පරිස්සමින් ඉන්න...”
“හොඳමයි මෑණියනේ...මම කිව්ව කාරණය ගැන අම්මටයි තාත්තටයි දන්නවන්න පුළුවන්ද...” මෑණියො කිව්වොත් අම්මයි තාත්තයි කවදාවත් අකමැති වෙන්නෙ නෑ...
“හරි මලින්දි...මම අද අම්මයි තාත්තයි එක්ක ඒ ගැන කතා කරන්නම්...” මලින්දි පුටුවෙ ඉන්න ගමන්ම පාත් වෙලා මෙහෙණින් වහන්සෙට වැන්දා.
“තුරුණුවන්ගෙ සරණයි...” මලින්දිට ඒ ආශිර්වාදය බුදු හාමුදුරුවන්ගෙ කරුණාව සිහි කෙරුවා...අද වුනත් මනුස්සකම ඉතුරුවෙලා තියෙනව නේද කියල එයාට හිතුනා. ටික වෙලාවකින් මෑණියො තවත් කීප නමක් එක්ක පිටත් වෙන්න වාහනේට ගොඩවෙද්දි මලින්දි ඒ දිහා බලාගෙන උන්නා. ඈත යන වාහනේ දිහා බලාගෙන ඉද්දි මලින්දිගෙ හිත අතීතයට ගියේ එයාටත් නොදැනුවත්වමයි.
***********************************************************************”සුදු දෝණි ඉස්කෝලෙ යන්න පරක්කු වෙනව නේද...නැගිටින්න දරුවෝ...” අම්ම ඇවිත් කතාකරනකම්ම මලින්දි උන්නෙ සුව නින්දෙ. පවුලෙ බඩපිස්සි නිසා මලින්දි පොඩි කාලෙ වගේම අම්මගෙයි තාත්තගෙයි උණුසුමේ දැවටුනා. අක්කයි අයියයි උසස් අධ්‍යාපනය ලබන අතරෙ මලින්දි උන්නෙ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට සූදානම් වෙන්න හිතාගෙනයි. අද තමයි උසස් පෙළ පන්ති ආරම්භ වෙන පළවෙනි දවස. මලින්දි පළමු වසරෙ ඉඳන්ම ඉගෙන ගත්තෙ බාලිකා විද්‍යාලයක. ඒ හින්දම උසස්පෙළට මැදි විදුහලට ඇතුළත් වෙන එක මලින්දිට අළුත් අත්දැකීමක් වුනා. ගෑණු ළමයි විතරක් උන්න පැසැලක ඉගෙන ගෙන මිශ්රු පාසැලකට යන එක මතක්වෙද්දි මලින්දිගෙ හිතේ කෝල හැඟීමක් ඇතිවුනා.
“අනේ අම්මා මම අපේ ඉස්කෝලෙම ඉන්නම්...මට බයයි සෙන්ට්‍රල් යන්න...”
“ඒ මොකද දරුවෝ...අයියයි අක්කයි උසස්පෙළ කලෙත් ඒ ඉස්කෝලෙමයි...අනිත් එක මගෙ යාළුවොත් ගොඩක් ඉන්නව ටීචර්ස්ල ඒකෙ...ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ...”
“අම්මා... ඔයා එහෙනම් මාරුවීමක් අරන් එන්න එහාට...මට එතකොටනම් බයක් නෑ...”
“මම ගමේ ඉස්කෝලෙට මැරුවීම අරගත්තේ හිතලමනෙ දූ...ඒ ඉස්කෝලෙ ඉන්න දුප්පත් අහිංසක දරුවන්ට ඉගෙනගන්න දක්ෂකම් තිබ්බත් ගුරුවරු නැති නිසා කොයි තරම් අසරණ වෙලාද...ඉතින් මමත් මගෙ දුව ගැන විතරක් හිතුවොත් මේ කරන සේවයෙන් වැඩක් නෑනේ...” මලින්දිගෙ අම්ම වෘත්තියෙන් ගුරුවරියක්. මොන තරම් හැකියාව තිබුනත් එයා නගරයේ පාසලකට නොයා නගරයෙ ඉඳන් දුෂ්කර ප්‍රදේශයක තිබුණු පාසැලකට මාරුවීක් ඉල්ල ගත්තේ එයාගෙ වෘත්තිය සේවයක් විදියට හිතුව නිසයි. ඒ නිසාම උදේ පාන්දරින අවදි වෙන්න සිදු වුනත් එයා ඒ ගැන කිසිම විදියකට පසුතැවිලි වුනේ නැහැ. මලින්දිගෙ තාත්ත වැඩ කලේ පොලිස් දෙපාර්තමේන්තුවේ. අවංක නිලධාරියෙක් විදියට කාගෙත් ආදරයට ගෞරවයට ලක්වුණු තාත්ත නිසාම මලින්දිලාටත් ගමේ අයගෙ ආදරය අඩුවක් නැතුවම ලැබුණා.
“දැන් නැගිටින්නකෝ...අද පළවෙනි දවසෙ පරක්කු වෙලා යන්න හොඳ නෑ...මමත් ලෑස්තිවෙලා එන්නම්...තාත්තනම් වේලාසනින්ම ලෑස්තිවෙලා පහන තියන්න මල් කඩනවා…” මලින්දි නැගිටල ලෑස්ති වෙලා එද්දි අම්මයි තාත්තයි බුදු ගේ සකසල තිබුණා. මලින්දි බුදුන් වැඳල අම්මයි තාත්තයි එක්ක පාසැලට යන්න පිටත් වුනා.
පාසැල් භූමිය පුරාම උසස් පෙළ නව පංති වලට ඇතුළත් වෙන්න ආව සිසුන්ගෙන් පිරිල තිබුණා. මලින්දි පාසැල් භූමිය පුරාම නෙත් පා කෙරුවා. පාසැලෙන් සාහිත්යි තරඟයකට සහභාගිවෙන්න ආවට පස්සෙ මලින්දි දෙවෙනි වතාවට තමයි සෙන්ට්‍රල් එකට ආවේ. අම්මයි තාත්තයි අඳුනන ගොඩක් දෙනා හිටිය නිසා අනිත් ළමයි අතරෙ මලින්දි කැපිල පෙනුනා. සමහර ළමයින්ගෙ ඊරිසියා බැල්ම මලින්දි දිහාට යොමු වෙද්දි මලින්දි අම්ම ළගටම වෙලා බිම බලාගෙන උන්නා. හැම ළමයෙක්වම භාර අරගෙන පන්ති වලට වෙන් කලාට පස්සෙ අම්මයි තාත්තයි මලින්දිගෙන් සමු අරන් නික්ම ගියා. නාදුනන මූනු අතරෙ මලින්දිට දැනුනෙ සාංකාවක් වගේ හැඟීමක්. මලින්දිගෙ යාළුවො හැමෝම වගේ කලා විෂයයි වාණිජ විෂයයි තෝරගත්ත නිසා එයාල බාලිකා විද්‍යාලයේම නැවතුනා. බාලිකාවට වඩා මැදි විදුහල ජීව විද්යාලවට නමක් අරන් තිබුණු නිසා අම්මයි තාත්තයි තීරණය කලා මලින්දිව මේ පාසැලට ඇතුළත් කරන්න.
“හායි...ඔයාගෙ නම මොකක්ද...මම ශානිකා...” ප්‍රසන්න පෙනුමක් තියෙන ගැහැණු ළමයෙක් මලින්දි වාඩිවුනු මේසෙට ආසන්න මේසෙන් වාඩිවෙන ගමන් ඇහුවා.
“මම මලින්දි...ගර්ල්ස් ස්කූල් ඉඳල ආවේ...ඔයා කොහෙද...”
“මමනම් මෙහෙමයි උන්නේ...මගෙ යාළුවන්ගෙන් මම විතරයි සයන්ස් කරන්නේ...යාළුවො නැති වුනාම හරිම පාළුයි නේද...” ශානිකා දුක්බර බැල්මක් හෙලල කිව්වා.
“හ්ම්ම්ම්...ඒත් ඉතින් හැමදාම එකට ඉන්න යාළුවො හම්බවෙන්නෙ අඩුවෙන්...කාලෙන් කාලෙට යාළුකම් උනත් වෙනස් වෙනවා...”
“එහෙනම් අපි දෙන් අද ඉඳන් හොඳම යාලුවො වෙමු...” ශානිකා කියද්දි මලින්දිගෙ මූණෙ ලස්සන හිනාවක් මතුවුනා.
“තෑන්ක්ස් ශානිකා...මම බයේ උන්නෙ මට යාළුවෙක් නැතුව තනියෙන් ඉන්න වෙයි කියලා...” ශානිකයි මලින්දියි ඒ දෙන්නගෙ විස්තර කතා කරමින් ඉද්දි එතෙන්ට පිරිමි ළමයි කීප දෙනෙක් ආවා.
“ශානිට අළුත් යාළුවෙක් හම්බවෙලා තියෙන්නේ...කොහෙන්ද පාත් වෙලා තියෙන්නේ...” ඒ අතර උන්නු දඟකාර පෙනුමක් තියෙන පිරිමි ළමයෙක් අහද්දි මලින්දි හෙමින් ඇස් උස්සලා ඒ අය දිහා බැලුවා.පිරිස අතර උන්න වැදගත් පෙනුමක් තියෙන කඩවසම් පිරිමි ළමයෙක් මලින්දිගෙ ඇස්වල ගැටුණා. එයා මලින්දි දිහා ඇස් පුංචි කරල බලද්දි මලින්දි සිනාවක් පෑවා. ඒත් ඒ මූනෙනම් ආඩම්ඩබර බැල්මක් මිසක් හිනාවක්නම් පේන්න තිබුනෙ නැහැ. අපෝ එයාගෙ ආඩම්බරේ. එයාගෙ ඉස්කෝලෙ කියල වෙන්න ඇති හිතන් ඉන්නේ.
“මනූෂ මෙයා ගර්ල්ස් ස්කූල් ඉඳන් ඇවිත් ඉන්නේ...එයාගෙ තාත්තා තමයි මෙහෙ පොලිසියෙ ඩී අයි ජී...ඒ නිසා කරදර කරන්න එහෙම එපා...”
“ඩී අයි ජී පොලිසියට මිසක් ස්කූල් එකට නෙවෙයිනේ...අනිත් එක ඔයා දන්නවනෙ අපි දඟ වැඩ මිසක් බලු වැඩ කරන්නෙ නෑ කියලා...ශෙවාන් අපි මෙයාට මොකක්ද දෙන රැග් එක...” මනූෂ සුදු පිරිමි ළමය දිහා බලල අහද්දි එයා විනිවිද යන බැල්මකින් මලින්දි දිහා බැලුවා. දකින ඕනම කෙනෙක්ට දෙපාරක් බලන්න තරම් රුවැත්තියක් වුනු මලින්දි පවුලෙ සමීපතම කීප දෙනෙක් එක්ක ඇරෙන්න පිරිමි ළමයි එක්ක ඇසුරක් තිබුනෙම නැති තරම්. ඒ නිසා මේ දේවල් නුහුරු ලැජ්ජාවක් එයාගෙ හිතේ ඇති කෙරුවා...
“අපි මෙයාට සින්දුවක් කියන්න දෙමු...මොකද කියන්නෙ ශානිකා...ඒකෙ වරදක් නෑනේ...”
මලින්දි ඔයා බයවෙන්න එපා...මෙහෙම උන්නට මෙයාල හරිම හොඳයි...අපේ තාත්ත හොස්පිට්ල් උන්නු වෙලාවෙ එයා ළඟනැවතිලා උන්නෙ මනූෂයි ශෙවානුයි...ඒ දෙන්න එයාට ලේ පවා දුන්නා...ශානිකා කියද්දි මලින්දිගෙ හිතේ මනූෂයි ශෙවානුයි ගැන ප්රවසන්න හැඟීමක් ඇතිවුනා. එයා ලැජ්ජාවෙන් වට පිට බලද්දි ශෙවාන් එයාගෙ මූණට එබුනා.
“ඔයාට ලස්සනට සින්දු කියන්න පුළුවන් කියල අපි දන්නවා...සාහිත්යය උත්සවය වෙලාවෙ ෆස්ට් වුනා නේද...” ශෙවාන් අහද්දි මලින්දිට පුදුම හිතුනා. එහෙනම් එයාට මාව මතක තිබිලා. මලින්දි හෙමින් කටහඩ අවදි කලා.
“බෝ කොළයක් සේ නිර්මල වෙන්න
වැලි මළුවක් සේ පිවිතුරු වෙන්න
සිහසුනක් වගේ සන්නුන් වෙන්න
ඔය සෙනෙහස මට නිවනක් වෙන්න”
කට්ටියම දැහැනට සමවැදිල වගේ මලින්දිගෙ මිහිරි හඩට සවන් දුන්නා. ශෙවාන්ගෙ ඇස් දෙකනම් මලින්දි ලගින් මිදුනෙම නැති තරම්.
“ඔයා හරිම ලස්සනට කියනවනේ...සාහිත්යන උත්සවය දවසෙ අපේ අයියගෙ වෙඩින් එක තිබුනු නිසා මට එන්න බැරිවුනා...ඒ නිසයි මට මතක නැත්තේ...” ශානිකා මලින්දිව අගයද්දි මලින්දි සිනහවකින් ඒක පිළිගත්තා. පාසැල නිම වෙනකම්ම මලින්දි ශානිකත් එක්කම වගේ උන්නා. ඒ අතර ශෙවානුයි මනූෂයි ඒ දෙන්න ළඟට ඇවිත් විහිළු තහළු කලා. හවස් වෙද්දි කට්ටියම හොඳ මිතුරන් බවට පත් වෙලා උන්නා.
***********************************************************************
කාලයත් එක්ක මනූෂයි ශානිකයි පෙම්වතුන් බවට පත් වුනා. ඒ වගේම ඉගෙනීමේ වැඩත් සාර්ථක විදියට කරගෙන ගියා.
“මලින්දි මනූෂ කියනව ශෙවාන් උඹට කැමතියි වගේලු...ආඩම්බරකමට කෙලින්ම කියන්නෙ නැතිවුනාට අපි ට්රිිප් එක ගිය වෙලාවෙ අරගත්ත ඔයාගෙ ලස්සන ෆොටෝ එකක් ශෙවාන්ගෙ ෆෝන් එකේ දාගෙන ඉන්නව කියල මනූෂ මට කිව්වා...” ශානිකා කියද්දි මලින්දිගෙ හිත ගැහෙන්න ගත්තා. තමන්ගෙ හිතෙත් ශෙවාන් ගැන ඇල්මක් බැඳීමක් තියෙනව කියල මලින්දිට වැටහුනේ පාසැලට ආව මුල් දවසෙම ඉඳලයි. ඒත් අම්මයි තාත්තයි කවදාවත් පාසැල් ප්රේනමයකට ඉඩක් දෙන්නෙ නැති බව දන්න නිසාම මලින්දි ඒ දේවල් හිත ඇතුලෙම තියා ගත්තා.
“අනේ ශානි...ඔයා දන්නවනෙ මගෙ එකම බලාපොරොත්තුව අම්මගෙයි තාත්තගෙයි හීනෙ සැබෑ කරන එක කියලා...ඒ නිසා ආදරේ ගැන හිතන්න මට බයයි...”
“අනේ මැට්ටි...ආදරේ කලා කියල ඉගෙනීම නැතිවෙන්නෙ ඒ දේ වැරදි විදියට කලොත්...දැන් බලන්න මමයි මනූෂයි...පන වගේ ආදරේ කරනව අපි දෙන්නා...ඒ වුනාට ඉස්කෝලෙ අයවත් ගෙවල්වල අයවත් දන්නෙ නෑ...ඒ වගේම තමයි ස්ටඩීස් හොඳට කරනවා...” ශානිකාගෙ කතාව නිසා මලින්දිගෙ හිත ඇතුලෙ තිබුණු මිහිරි හැඟීම් උඩට මතු වුනා.
“අද හවස මනූෂ ශෙවාන් එක්ක ජූස් බාර් එකට එනව කිව්වා...අපි දෙන්නත් යමු...” මලින්දි උත්තරයක් නොදුන්නත් ඒ යෝජනාවට කැමතියි කියල ශානිකාට වැටහුනා. ඒ වගේම ශෙවාන් එක්ක සම්බන්ධයක් ඇති වුනා කියල මලින්දිට කවදාවත් වරදින්නෙ නෑ කියලත් ශානිකා දැනගෙන උන්නා. මලින්දි හවස ශානිකා එක්ක ජූස් බාර් එකට යද්දි ශෙවානුයි මනූෂයි කල් තියා ඇවිත් උන්නා. ශානිකා මනූෂ ලඟින් වාඩිවුනේ ශෙවාන් ඉන්න තැනට යන්න කියල මලින්දිට ඇහෙන් ඉඟි කරන ගමන්. මලින්දි බිම බලාගෙනම ගිහින් ශෙවාන් උන්නු මේසෙන් වාඩිවුනා.
“මලී...මොකද මගෙ මූණ දිහා බලන්නෙ නැද්ද...තරහ වෙලාද...” ශෙවාන්ගෙ දයාබර වචන නිසා මලින්දිගෙ හිතේ එයා ගැන ආදරය වැඩිවුනා.
“නෑ ශෙවාන්...මම ඇයි ඔයා එක්ක තරහවෙන්නේ...” මලින්දි ඒ ඇස් දෙක අතරෙ එයාගෙ ඇස් දෙක රඳවගෙන අහද්දි ශෙවාන් හෙමින් මලින්දිගෙ අතකින් අල්ල ගත්තා.
“මලී...මම ඔයාට ආදරෙයි...ඔයත් මට ආදරෙයිද කියන්න...” මලින්දි ටික වෙලාවක් යනකම් ශෙවාන් අල්ලන් ඉන්න එයාගෙ අත දිහා බලන් ඉඳල අනිත් අත ඒ අත උඩින් තිබ්බා.
“මමත් ඔයාට ආදරෙයි ශෙවාන්...” ඒ වචන ඇහෙද්දි ශෙවාන්ගෙ ඇස්වල ආදරේ උතුරල යනව වගේ මලින්දිට හිතුනා.ටික වෙලාවකින් මනූෂයි ශානියි එතෙන්ට ආවා.
“මල්ලි දැන් හරි නේද වැඩේ...නහයෙන් ඇඩුවෙ ඕකටනේ...” මනූෂ ශෙවාන්ට කියද්දි හැමෝම හිනා වුනා. ශෙවාන් මලින්දිව බස් එකට ඇරලවල සමුගද්දි මලින්දිට වෙන කවදටත් වඩා දුකක් ඇති වුනා.එයා ගෙදර යනකම්ම මිහිරි සිතුවිලිවල අතරමංවෙලයි උන්නේ.
ආදරයයි ඉගෙනීමයි අතරෙ මලින්දිගෙ ජීවිතේ සතුටින් ගෙවුණා. මලින්දිලාගෙ පවුලෙ හැමෝම ගෙදර උන්න නිවාඩු දවසක ලොකු පෙජරෝ රථයක් ඇවිත් මිදුලෙ නැවැත්තුවා. ඒකෙන් බැහැල ආවෙ උස මහත පුද්ගලයෙක්. එයත් එක්කම තවත් කීප දෙනෙක් බිමට බැස්සා. ආව පුද්ගලය එයාලට එහෙමම ඉන්න කියල ගේ පැත්තට එද්දි මලින්දි උන්නෙ අයියයි අක්කයි එක්ක රූපවාහිනිය නරඹමින්.
“අයියා...කවුද එනවා...තාත්තව හම්බවෙන්නද දන්නෙ නෑ...” මලිත්ති කියද්දි අයිය ඉස්සරහට ගියා. ටික වෙලාවකින් එයා අමුත්තත් එක්ක ආලින්දයට ආවා.
“අන්කල් ටිකක් ඉන්න...මම තාත්තට කතා කරන්නම්...” අයිය තාත්තව එක්ක එන්න ගියාට පස්සෙ ආව අමුත්තා මලින්දියි අක්කයි දිහා බලල හිනා වුනා.
“මේ දරුවද මලින්දි කියන්නේ...” ඒ ප්‍රශ්නෙට මලින්දි පුදුමයට පත් වුනා.
“ඔව් අන්කල්...ඔයා කොහොමද මගෙ නම දන්නේ...”
“මම තමයි ශෙවාන්ගෙ තාත්තා...ඔය දරුව ගැන මට ආරංචි වුනා...මගෙ පුතයි ඔය දරුවයි අතර තියෙන සම්බන්ධය ගැන මම දැනගත්ත නිසයි ඔයාගෙ තාත්තව හම්බවෙන්න ආවේ...” ඒ කතාවට අක්ක ඇස් දෙකත් ලොකු කරන් මලින්දි දිහා බලද්දි මලින්දිගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා. තාත්ත ඇවිත් අමුත්ත දිහා බලද්දි එයාගෙ ඇස්වල ඇතිවුනේ තරහක්.
“මිස්ට වනිගසිංහ...මම ඔයාට කෙලින්ම කිව්වනේ...මේ නඩුවෙ සාක්ෂි තියෙන්නෙ තමුන්ට විරුද්ධව...හෙරොයින් රත්තරං දෙකම ගෙන්නල තියෙනවා...ඒ නිසා මා එක්ක නෙවෙයි තමුන්ගෙ ලෝය එක්ක කතා කරල මේ ප්ර ශ්නෙ විසඳගන්නවා...”
“මිස්ට යකන්දාවල...ඔය තරම් තරහ ගන්න එපා...මම අද ආවෙ ඒව ගැන කතා කරන්න නෙවෙයි...සුභ කටයුත්තක් ගැන කතා කරන්න...” මලින්දිට මේ වෙන දේවල් නිසා දැනුනෙ දරාගන්න බැරි දුකකුයි බයකුයි. එහෙනම් මේ ශෙවාන්ගෙ තාත්තා..ඒත් තරම් හොඳ දරුවෙක්ට මේ වගේ තාත්ත කෙනෙක් ඉන්නෙ කොහොමද.
“සුභ කටයුත්තක්...ඒ මොකක්ද...”
“මගෙ පුතා ශෙවාන් ඉගෙන ගන්නෙ ඔයාගෙ දුව මලින්දිගෙ ස්කූල් එකේමයි...ඉතින් ඒ දරුවො දෙන්න දෙන්නට දෙන්න ආදරේ කරනවා...” අපි වැඩිහිටියො විදියට එයාලට ආශිර්වාද කරන එක තමයි හොඳ...
“මොකක්ද කිව්වේ...සුදු දෝණි ඇත්තද මේ කතාව...ඔයාව ස්කූල් යැව්වේ මේවටද...”
“තාත්තා...මං...මං...” තාත්ගෙ රැවිල්ල ඉස්සරම මලින්දි ගොත ගහන්න පටන් ගත්තා.
“ළමයි නොතේරෙන කමට ඒ දේවල් කලාම දෙමව්පියො විදියට එයාලට තේරුම් කරල දීල නොගැලපෙන දේවල් වලින් ඈත් කරන එකයි හොඳ...තාත්ත වගේම ඇති පුතත්...මම මගෙ දරුවො හදන්නෙ ඇස් වගේ...දැන දැන ගිනි ගොඩට තල්ලු කරන්න මටනම් කිසිම උවමනාවක් නෑ...”
“තාත්තා...ශෙවාන් හරිම හොඳයි...” ශෙවාන්ට දොස් කියනව අහන්න බැරි තැනම මලින්දි ඉදිරිපත් වුනා.
“සුදු දෝණි කටවහගන්නවා...මම ඔයා ගැන පස්සෙ බලාගන්නම්...මිස්ට වනිගසිංහ දැන් තමුන් මගෙ ගෙදරින් පිට වෙලා යන එකයි හොඳ...මේ දේවල් ගැන ආයෙ වැරදීමකින්වත් කතා කරන්න හිතන්න එපා...”
“මිස්ට යකන්දාවල...මම තාත්ත කෙනෙක් විදියටයි මේ ගමන අද ආවේ...මට අපහාස කලාට පස්සෙ මේ ගෙදරින් ගෑණු ළමයෙක් තියා වතුර උගුරක්වත් මට එපා...ඒ වගේම ඔයාගෙ දෝණිට කියන්න මගෙ දරුවගෙන් ඈත් වෙලා ඉන්න කියලා...මොකද තනි අතින් අත්පොඩි ගහන්න බැහැනේ...” ශෙවාන්ගෙ තාත්ත කියද්දි මලින්දිට හිතුනෙ තමන්ව පනපිටින්ම මරල දැම්ම වගෙයි. දෙවියනේ..මම කොහොමද ශෙවාන්ගෙන් ඈත් වෙලා ඉන්නේ..මම එයාට පනටත් වඩා ආදරෙයි..
“දෝණි...මොනවද මේ මට අහන්න වෙලා තියෙන්නේ...ඔයාව ස්කූල් ඇරියෙ මේකටද...කුඩු බිස්නස් කාරයෙක්ගෙ පුතෙක්වමද ඔයාට යාළුවෙන්න හම්බවුනේ...මම මගෙ දරුවන්ට මේ වෙනකම් නිය පිටින් පාරක් ගහල නෑ...ඒක වෙනස් කරන්න හදන්න එපා...අයියයි අක්කයි වගේ හැදෙන්න බැරි ඇයි ඔයාට...මට පොරොන්දු වෙන් දෝණි...මේ දේවල් නවත්තනව කියලා...නැත්නම් සඳහටම මම ඔයාගෙ තාත්ත නෙමෙයි කියල හිතාගන්න...” තාත්තගෙ කතාව මලින්දිට දැනුනෙ ඊතලයක් පපුව පසාරු කරන් යනව වගෙයි. ශෙවානුයි තාත්තයි අතර අතරමංවුනු හිත තමන්ටවත් පාලනයක් නෑ කියල මලින්දිට හිතුනා.
“තාත්තා...ඔහොම කියන්න එපා...මම තාත්තට පොරොන්දු වෙන්නම් මේ හැම දෙයක්ම අතාරිනව කියලා...” මලින්දි අඩාගෙන කාමරයට දිව්වා. එදා දවසෙම මලින්දි කාමරෙන් එළියට ආවෙ නැහැ. අම්ම ඇවිත් පෙරැත්ත කරල බත් කටක් කවල ගියාට පස්සෙ මලින්දි අඩ අඩාම නින්දට ගියා.
මලින්දි සතියක්ම පාසැල් ගියේ නැහැ. ඒ වගේම ශෙවාන්ගෙවත් ශානිකාගෙවත් වෙන කිසිම කෙනෙක්ගෙවත් දුරකථන ඇමතුමවලට උත්තර දුන්නෙත් නැහැ. සතියකින් පස්සෙ පාසැලට ගිය මලින්දිට නුහුරු හැඟීමක් ඇතිවුනා. තමන් නොදන්න තැනකට ආව වගෙයි එයාට හිතුනේ.
“මලින්දි...ටිකක් ඔහොම ඉන්න...මට ඔයත් එක්ක කතා කරන්න ඕනි...ඔයා සතියක්ම ස්කූල් ආවෙ නෑ...මගෙ විතරක් නෙවෙයි ශානිගෙ කෝල් වලටවත් ආන්ස්වර් කලේ නෑ...මේ දේවල් වලට හේතුව දැනගන්න පුළුවන්ද...” පිටිපස්සෙන් ආව ශෙවාන් මලින්දිගෙ අත තද කරල අල්ල ගද්දි මලින්දි ඒ අත ගසල දාල පන්ති කාමරයට දිව්වා.
“මලින්දි...මේ මොකද...ඔයා ඇයි අඩන්නේ...” මලින්දි අඩ අඩාම ශානිකාට විස්තර කියද්දි ශානිකාගෙ ඇස්වලටත් කඳුළු ආවා.
“මට ඔයාව තේරෙනවා මලින්දි...මොනව කරන්නද...තාත්තට පොරොන්දු වුනාට පස්සෙ ඔයාට තවත් ශෙවාන් එක්ක ඉන්න බැහැනේ...මම මනූෂටයි ශෙවාන්ටයි මේ දේවල් කියන්නම්...” ශානිකා මලින්දිගෙ හිස අත ගාන ගමන් කිව්වා.
“අනේ ශානි...ශෙවාන්ට කියන්න මට වෛර කරන්න එපා කියලා...මම ගොඩක් අසරණයි...”
“පිස්සුද මලින්දි...ශෙවාන් කියන්නෙ බුද්ධිමත් ළමයෙක්...එයා මේ දේවල් තේරුම් ගනියි...”
ශානිකයි මනූෂයි ජූස් බාර් එකේ හම්බවෙලා ශෙවාන්ට සිද්ධ වුනු දේවල් විස්තර කරද්දි ශෙවාන්ගෙ ඇස්වලින් කඳුළු වැටෙන්න වුනා. මනූෂ ශෙවාන්ව වැළඳගත්තා.
“අඩන්න එපා සහෝ...අපි හැම දෙයක්ම ඉවසීමෙන් දරාගන්න ඕනි...මේ වෙලාවෙ මලින්දිත් ගොඩක් අසරණයි...ඒ අහිංසක කෙල්ල වුනත් මොනව කරන්නද...”
“මම මලින්දි එක්ක තුන් හිතකවත් තරහක් නෑ මනූෂ...එයා මට පන වගේ ආදරෙයි කියල මම දන්නවා...මගෙ අහිංසකී කවදහරි මගෙ වෙයි කියල මම බලාපොරොත්තු වුනා...ඒත් ඒ හැම එකක්ම හීනයක් වුනා...මට ටිකක් තනියම ඉන්න ඕනි...” මනූෂයි ශානිකයි ශෙවාන්ට සමු දීල යද්දි ශෙවාන් මේසෙට ඔළුව තියාගෙනයි උන්නේ. එයාගෙ උරහිස ගැස්සෙන විදියට ශෙවාන් ඉකිබිඳිනව කියල දෙන්නටම තේරුනා.
***********************************************************************
“මලින්දි...” ශානි හතිදාගෙන මලින්දි ළඟට දුවගෙන එද්දි එයා උන්නෙ නෝට් එකක් ලියන ගමන්.
“ශානි ඇයි මේ...හොඳටම බයවෙලා වගේ...”
“මලින්දි...අනේ...ශෙවාන්...” ශෙවාන්ගෙ නම ඇහෙද්දි මලින්දි ශානිකාගෙ උරහිසින් අල්ලගත්තා.
“ශානි...ඇයි ශෙවාන්ට මොකද...මට කියන්න...මාව ගැහෙනවා...”
“ඊයෙ රෑ ශෙවාන් එයාගෙ තාත්තත් එක්ක මාමලාගෙ ගෙදර ගිහින් එද්දි කට්ටයක් වාහනේට වෙඩි තියලා...වාහනේ පාලම උඩින් විසිවෙලා ගඟට වැටිලා...තවමඒ දෙන්නව හොයාගන්න බැරිවෙලා කියල මනූෂ කිව්වා...” මලින්දිට තේරුනේ මුළු ලෝකෙම අඳුරු වෙලා කරකැවෙනව වගෙයි. සිහිය එද්දි මලින්දි උන්නෙ හොස්පිට්ල් එකේ. අම්මයි අප්පච්චටි අයියයි අක්කයි නෑදෑයොයි මලින්දිගෙ ඇඳ වට කරන් උන්නා. ඒත් තමන්ට බලන්න ඕන වුනු අහිංසක ඇස් තියෙන ආඩම්බර මූණ ආයෙත් දකින්න ලැබෙන්නෙ නෑ කියල මතක් වෙද්දි මලින්දි ආයෙමත් සිහිසුන් වුනා.
“ඩොක්ටර්ස්ල කියන විදියට ෂොක් එක නිසා නංගිගෙ මොලේ ස්නායු වලට බලපාල තියෙනවා…එයාගෙ පැත්තක් පන නැතිවෙයි කියල තමයි ඒ ගොල්ලො කියන්නේ…” අයියා ඉකිබිඳුම අතරින් අම්මත් එක්ක කියනව නින්දත් නොනින්දත් අතර උන්නු මලින්දිට ඇහුනා.
“අනේ මගෙ අහිංසක දරුව කොට කරපු වරදකටද මේ සඬුවම් විඳින්නේ...” අම්ම විලාප තියද්දි මලින්දි ඇස් ඇරල අම්ම දිහා බැලුවා.
“අම්ම අඩන්න එපා...ඒක තමයි මගෙ දෛවය...මට මැරෙන්න තියෙනවනම් ඒක නවත්තන්න කාටවත්ම බැහැ...”
“මොනවද දෝණි මේ කියන්නේ...මගෙ රත්තරංව මම මේ ලෝකෙ අනිත් කෙලවරට හරි අරන් ගිහින් සනීප කරගන්නවා...”
“අම්මා...ඩොක්ට කිව්ව විදියට මේ තත්වෙට ඉංග්රීතසි බෙහෙත් හරියන්නෙ නෑ...මගෙ යාළුවෙක්ගෙ අක්ක කෙනෙකුටත් මෙහෙම වෙලා එයාල අනුරාධපුරේ තියෙන ආරාමෙකට එයාව එක්ක ගිහින්...ඒ ආරාමෙ මෑණියො හොඳට සිංහල වෙදකම් දන්නවා...අවුරුද්දක් විතර යද්දි එයාට හොඳටම සනීප වුනා...මම හිතන්නෙ නංගිව එතෙන්ට එක්ක යන එක හොඳයි...” අම්මයි අයියයි ගියාට පස්සේ මලින්දි සිවිලිම දිහා බලන් කල්පනා කරන්න වුනා. ශෙවාන්ගෙ තාත්තගෙ බොඩිය හම්බවුනත් ශෙවාන්ගෙ බොඩි එක හම්බ වුනේ නෑ කියල ශානි ඇවිත් කියද්දි මලින්දිගෙ හිතේ ඇතිවුණු බලාපොරොතතුව මනූෂගෙ වචන නිසා ආයෙමත් නැතිවුනා.
“ඒ ගඟ මැද්දෙ දිය සුළි තියෙනවලු...ඒ සුළියකට අහුවුනොත් කවදාවත් මිනියක්වත් හොයාගන්න බෑ කියල ගමේ මිනිස්සු කියනව මම අහගෙන...මට හරියට හීනයක් වගේ...මාත් එක්ක හය වසරෙ ඉඳන් එකටමයි ශෙවාන් උන්නේ...මගෙම සහෝදරයෙක් වගේ...ශෙවාන් තාත්තගෙ වැඩ නිසා ගොඩක් කලකිරීමෙන් උන්නේ...එයාගෙ අම්මත් තාත්තවයි එයාවයි පොඩි කාලෙම දාල ගියාට පස්සෙ ශෙවාන් තනිවුනා...මලින්දිගෙ ආදරෙන් ශෙවාන් ආයෙත් සැරයක් ඉපදුණා වගෙයි උන්නේ...” මනූෂ කියද්දි මලින්දි හයියෙන් ඉකිබිඳින්න ගත්තා.
“අඩන්න එපා කෙල්ලේ...ඔයා මේ දේවල්වලට මොනව කරන්නද...හැම දෙයක්ම තම තමන්ගෙ දෛවයට අනුවයි සිද්ධ වෙන්නේ...” ශානි මලින්දිගෙ හිස අතගාන ගමන් කිව්වා
දවස් දෙකකට පස්සේ වනිගසිංහගෙයි ශෙවාන්ගෙයි අවසන් කටයුතු සිද්ධ කලා. ශෙවාන්ගෙ බොඩිය වෙනුවට සීල් පෙට්ටියක් තියල තිබුණා. පාසැලේ යාළුවන්ගෙයි ගුරුවරුන්ගෙයි කඳුළු මැද්දෙන් ශෙවාන්ගෙ පෙට්ටිය මිහිදන් කරද්දි මලින්දිව අනුරාධපුරේ ආරාමයට එක්ක යමිනුයි උන්නේ. අහස අඳුරු වෙලා වැහිපොද වැටෙද්දි මලින්දිගෙ හිතේ නොමැකෙන විදියට ශෙවාන්ගෙ සිනා මූණයි අහිංසක ඇස් දෙකයි සටහන් වුනා.
***********************************************************************”ඔයාට කෑම බෙදන් එන්නද...” පුංචි මෙහෙණින් වහන්සෙගෙ හුරතල් හඩින් මලින්දි කල්පනා ලෝකෙන් එළියට ආවා.
“පුංචි මෑණියන්ට පුළුවන්ද...”
“මට ලොකු මෑණියො කියල ගියේ මලින්දිව බලාගන්න කියලා...මම බෙදන් එන්නම්...”
මලින්දිගෙ හිතේ ලොකු ආසාවක් තිබුණා ශෙවාන්ගෙ නමින් ආරාමෙ චෛත්‍යයක් කරවන්න. ඒකට අම්මගෙයි තාත්තගෙයි කැමැත්ත ගන්න එයාට අහන්න බියක් දැනුන නිසයි ලොකු මෑණියන්ට මේ ගැන කිව්වේ. ලොකු මෑණියො ආපහු ආරාමෙට වැඩියට පස්සෙ මලින්දිගෙ අම්මයි තාත්තයි එක්ක මේ ගැන කතා කලා. අම්මයි තාත්තයි මලින්දිගෙ යෝජනාවට කැමති වුනේ එයාගෙ හිතට පොඩිම දුකක්වත් දෙන්න අකමැති වුනු නිසයි.
“මලින්දිගෙ අශාව ඉෂ්ඨ වෙන්න යන්නේ...ඔන්න අම්මයි තාත්තයි කැමැත්ත දුන්නා...අපි ඉක්මනින් චෛත්‍යයේ වැඩ පටන් ගමු...” ලොකු මෑණියන්ගෙ වචන මලින්දිගෙ හිතට කියන්න බැරි තරම් සැනසීමක් ගෙනාවා. ඉපදෙන කිසිම ආත්මෙක මගෙ ශෙවාන්ට මේ වගේ දෙයක් වෙන්න එපා දෙවියනේ..මම කරන පින එයාට අනුමෝදන් වෙන්න ඕනි...මලින්දි ඇස්වල කඳුළු පිහදාගන්න ගමන් හිතුවා.
දවසින් දවස චෛත්‍ය ඉදිවෙද්දි මලින්දිගෙ හිතෙත් දවසින් දවස භක්තියයි සතුටයි වැඩිවෙන්න ගත්තා.අම්මයි තාත්තයි ආව දවසක මලින්දි ඒ දෙන්නට පින් දුන්නෙ තමන්ට ඒ වගේ සතුටක් දුන්න එකට වැඳ වැටෙන ගමන්.
“මගෙ සුදු දෝණි සතුටින් තියන්න මම ඕනම දෙයක් කරනවා...දැන් දුවගෙ කකුල් විතරයි සනීප වෙන්න තියෙන්නේ...ඒකත් ඉක්මනින් සනීප වුනාම මගෙ වස්තුවට ආයෙත් පුළුවන් ඉස්කෝලෙ යන්න...”
“අනේ තාත්තා මට ආයෙත් ස්කූල් යන්නනම් බෑ...ශෙවාන් ගැන මතක් වෙද්දි මට ආයෙමත් අසනීප වෙයි...මම මේ ආරාමෙ ඉඳන්ම ඉගෙන ගන්නම්...මෙහෙ ඉන්න එක මට ලොකු සැනසීමක්...”
“දෝණිගෙ කැමැත්තට මට විරුද්ධ වෙන්න බෑ...ඔයාට සතුටක් සැනසීමක් වෙන ඕනම දෙයක් කරන්න මම ඉඩ දෙනවා රත්තරනේ...” අම්ම මලින්දිව වැළඳගත්තා.චෛත්‍යයේ වැඩ අවසන් වුනාට පස්සෙ විවෘත කරන්න නැකතකුයි දවසකුයි මෑණියො යොදාගෙන තිබුණා. ඒ වගේම අවට ආරාමවල පන්සල් වල ඉන්න ස්වාමින් වහන්සේලටයි මෑණිවරුන්ටයි ආරධනා කරන්නත් කටයුතු කලා.
“මලින්දි හෙට දවස ගොඩක් සුභ දවසක්...දෙවිවරු පොලවට බැල්ම හෙලන සුභ නැකතකින් තමයි චෛත්‍ය විවෘත කරන්නේ...” ලොකු මෑණියො කියද්දි මලින්දිගෙ ඇස්වලට සතුටු කඳුළු ඉනුවා.
පහුවදා ආරාමය කාර්ය බහුල වුනා. හැම කෙනෙක්ටම පැවරුණ වැඩක් තිබුනා. මලින්දිගෙ පවුලෙ අයත් උදෙන්ම ඇවිත් පින්කමට ලෑස්ති වුනා. මනූෂයි ශානිකයි එයාලගෙ දෙමව්පියොත් එක්ක ඇවිත් උන්නා. ඒ දෙන්නට ගෙවල් වලින් කැමැත්ත හිමි වෙලයි තිබුණේ.ගොඩක් ආරාම පන්සල් වලින් සිව්වනක් පිරිස ඇවිත් ආරාම භූමිය පිරෙන්න වුනා.
“මලින්දි...ඔයා මේ වගේ පින්කමක් කරන එක මොන තරම් දෙයක්ද...ශෙවාන් වෙනුවෙන් එයාගෙ අම්ම තාත්තවත් කරන එකක් නෑ මේ දේවල්...”
“මට ශෙවාන් වෙනුවෙන් මීට වඩා දෙයක් කරන්න පුළුවන්නම් මම ඒක කරනවා...මගෙ මහත්තයට ආයෙ මේ සංසාරෙ කිසිම ආත්මෙක ඒ වගේ දෙයක්නම් සිද්දවෙන්න එපා...”
පින්කම ආරම්භවුනාට පසුවත් ආරාම වලින් පිරිස් එමින් උන්නා. මලින්දි ඒ දිහා බලාගෙන උන්නත් හිත තිබුනෙ ශෙවාන්ගෙ මතකය ගාව. වාහනේකින් ආව පිරිසක් බහිද්දි මලින්දි ඒ දිහා උවමනාවෙන් බැලුවෙ එතන උන්නෙ කුඩා සාමණේර හිමිවරු නිසයි. මලින්දි කුඩා දරුවන්ට දක්වපු සෙනෙහස නිසාම ඒ දිහා ආදරෙන් බලන් උන්නා. හාම කෙනෙක්ම බැහැල අවසානෙට බිමට බැස්ස රුව දක්ද්දි මලින්දිට ඇස් අදහගන්න බැරිවුනා. දෙවියනේ ශෙවාන්..මේ ඇත්තක්ද...නැත්නම් මට පේන මායාවක්ද..මලින්දි ආයෙමත් සැරයක් ඕනකමින් ඇස් දෙකත් පිහදාල බැලුවා..ඒ ශෙවාන්ම තමයි..ඒ ඇස් දෙක එයාගෙම තමයි..මලින්දිට දරාගන්න බැරි සතුටක් ඇත්වුනා. එයා වටපිට බලද්දි කට්ටියම ස්වාමින් වහන්සේගේ බණට සවන් යොමු කරන් තමයි උන්නේ. එයාට නැගිටල යන්න උවමනා වුනත් රෝද පුටුව පිරිස අතරින් තල්ලු කරන් යන්න බැරි වුනු නිසා එයා කකුලට බර තියල නැගිටින්න උත්සාහ කලා. දෙපාරක්ම අසාර්ථක වුනත් තුන්වෙනි පාර එයාට පුටුවෙන් හිටගන්න පුළුවන් වුනා. හැම කෙනෙක්ම පුදුමයෙන් එයා දිහා බලද්දි ශෙවාන් සාමණේර හිමිවරුත් එක්ක ආරාමය දෙසට එමින් උන්නා. මලින්දි වෙවුල වෙවුල අඩි කීපයක් අමාරුවෙන් තියද්දි අම්ම නැගිටල එයා ළඟට එන්න හැදුවත් මෑණියො අම්මව වැලුක්කුවා. මලින්දි අඩි කීපයක් අමාරුවෙන් තියලා ඊට පස්සෙ බර අඩි තියල ෂෙවාන් ඉස්සරහට දුවගෙන ගියා. හැමෝම ඇස් ලොකු කරන් මලින්දි දුවගෙන යන දිහා බලන් උන්නා. ශෙවාන් ඉස්සරහට ගිහින් නැවතුන මලින්දි එයාගෙ අත් දෙකෙන් අල්ලගද්දි ශෙවානුත් එයා දිහා පුදුමයෙන් බලන් උන්නා.
“ශෙවාන් ඔයා මැරිල නෑ...මගෙ මහත්තය පනපිටින්...ඇයි මට මේ වගේ දුකක් දුන්නේ...” මලින්දි අත් දෙකෙන් ශෙවාන්ගෙ පපුවට ගහගෙන ගියා.
“මලී...ඔයා මෙහෙ...මට වුනු දේවල් මම ඔයාට කියන්නම්...එදා ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මාව ගහගෙන ගිහින් එහා ඉවුරට වෙනකම්ම...පන්සලේ වැඩ කරන මනුස්සයෙක් දැකල මාව අරන් ගිහින්...ඒ පන්සලට වැඩකට ආව ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මට වෙදකම් කලේ...එයාට මම හැම දෙයක්ම කිව්වට පස්සේ එයත් එක්ක එන්න කැමතිද කියල ඇහුවා...මටත් ඔයාවයි තාත්තවයි දෙන්නවම නැති වුනාට පස්සෙ ඒ ගමේ ඉඳල වැඩක් නෑ කියල හිතුනා...මම මැරුණු කෙනෙක් විදියටම ගමෙන් පිටවෙලා මෙහාට ආවා...මාස හයකත් තිස්සෙ මම ආරාමෙ ඉන්නේ...එහෙ ඉඳන් ඉගෙනගන්නවා...මට ස්වාමීන් වහන්සේ ආරාමෙට ගුරුවරු ගෙනල්ල දෙනවා...”
“ඔයා ගියාට පස්සෙ මට වුනු දේවල් දන්නවද...” මලින්දි එයා මූණ දුන්නු දේවල් කියද්දි ශෙවාන්ගෙ ඇස් වලින් කඳුළු ගලන්න වුනා.
“මට සමාවෙන්න මැණික...මේ වගේ දෙයක් වෙයි කියල දැනගෙන උන්නනම් මම ඔයාව තනිකරල යන්නෙ නෑ කොහොමවත්...” ශෙවාන් මලින්දිව වැළඳගත්තා.
“මේ සංසාරෙ කියන්නෙ හරිම පුදුම තැනක්...අපිට හිතාගනන් බැරි දේවල් සිද්දවෙනවා...හැම දෙයක්ම සිද්දවෙන්නෙ හොඳටයි කියල හිතාගන්න එක තමයි හොඳම දේ...” ලොකු මෑණියො කියද්දි හැම කෙනෙක්ම ඒ කතාව අනුමත කරමින් හිස වැනුවා.
- හිමාලි -
No comments:
Post a Comment