කෙටි කතාව...
ජුකී මැශිමට යට උන සිහින...
" අන්න මචං බඩු කෑලි ටික එළියට බැස්සා ....වරෙන් යන්න...."
සුපුරුදු පරිදි ගාමන්ට් එකෙන් එළියට බහිද්දිම වගේ පාක් එකේ හිටපු රස්තියාදුකාරයෝ ටික ඇඹලයෝ වගේ අපේ පස්සෙන් වැටුනා....
" ඇයි නංගී ඔච්චර ගණන් ආ.....ඇයි අපි හොද නැද්ද ...."
හැමදාම උන්ගේ කට කැඩිච්ච කතා අහන් එන එක අපට පුරුද්දට ගිහින්....ට්‍රාන්ස්පෝට් එකට වෙනම ගානක් දෙන්න ඕන නැති නිසා මායි සුරංගි අක්කයි දෙන්නා ගෙදර ආවේ පාරේ බස් එකේ...මාසෙකට රුපියල් දෙතුන් සීයක ලාභයක් වෙනුවෙන් කකුල් ගෙවෙනකං හන්දියට බඩ ගාලා කිටි කිටියේ තද වෙවී බස් එකෙන් යාන්තන් ගෙදරට එන්නේ....නයිට් ශිෆ්ට් එක තියෙන දවසට විතරක් ගාමන්ට් එකේ ට්‍රාන්ස්පෝට් එකෙන් එනවා...ඒකත් නෑවිත් බැරි කමට...සතෙන් සතේ හරි ඉතුරු කරගන්නයි මට උවමනාව තිබුනේ...
මම සංජනා ....හොදට ඉගෙන ගත්තු කෙල්ලෙක්...කැම්පස් ගියත් හරි හැටි රස්සාවක් නැති කමට ගෙදරටම වේලුන මට ගාමන්ට් රස්සාවවත් හොයලා දුන්නේ සුරංගි අක්කා...මැශින් එකක මහන්න තියා මැශින් එකක් අල්ලලවත් නොතිබුන මම ටික ටික මහන්න පුරුදු උනා...උදේ ඉදන් රෑ වෙනකන් මැශිමටම යට වෙලා ගෙවෙන ජීවිතේ මහ පුදුමාකාර දුකක්...ඒත් හැමදාම ගෙදර යන්නේ කිසි මහන්සියක් නැති ගානට...එහෙම නැත්තම් ලෙඩ ඇදේ ඉන්න අම්මා තාත්තට සැනසීමක් කොයින්ද....
" ඇයි නංගී....ගාමන්ට් එකේ ලොකු සර්ලා එක්ක විතරද හිනාවෙන්නේ....අපිත් එක්ක නැද්ද...ඇයි අපි කලුද ආ....."
හැමදාම මුංගේ කතා අහන් ඉන්න බැරි තැන මං පිටිපස්ස හැරුනා....
" ඕකුන් එක්ක කතාවට යන්නෙපා බං නංගී....නිකං නිස්කාරනේ අපේ හිත් නරක් වෙන එකයි වෙන්නේ..."
" එහෙම කියලා හැමදාම මුංගේ මේ ජරා කතා අහන් ඉන්න පුලුවන්ද අක්කේ...."
" මොනවා කරන්නද බං නංගී....ගාමන්ට් ජීවිතේට එනවනම් ඕවට හුරු වෙන්න ඕන...මුං හිතන් ඉන්නේ ගාමන්ට් එන හැමෝම වේස ගෑනු කියලා...අපට ඒ ලේබලේ වදින එක නවත්තන්න සක්කර දෙයියොන්ටවත් බෑ බං...ඉක්මණට යමං ....ඕකුන් එක්ක කතාවට යන්න ඕනේ නෑ......"
" අපි මහ කාළකණ්නි අක්කේ...මීට වඩා හොදයි බං අපි මැරිලා යනවා...."
" අපි මැරිලා ගියාම කවුද බං අපේ අම්මා තාත්තා ගැන බලන්නේ...."
" මාත් ජීවත් වෙන්නේ අන්න ඒක නිසා තමයි අක්කේ....මාත් නැති උනොත් ඒ අසරණ මිනිස්සු දෙන්නට කාගේ පිහිටක්ද......."
හැමදාම පුරුදු තැනින් කතාව නැවතුනා....ගෙදර ආපු ගමන් මං ගියේ ළිදට...නැත්තම් මහන්සිය පිරුන මූණ අම්මගෙන් හංගන්න මට බැරි වෙනවා....
" චූටි....මේ හැන්දෑවේ නාන්නෙපා බං...."
" නාන්නැතුව බෑ අම්මේ...දාඩිය ගදයිනේ...."
" උබට ඉතින් කියලා වැඩක් නෑනේ....ඉක්මණට වරෙං...මං තේ ටිකක් හදන්නම්..."
" කෝ තාත්තා...."
" අර ඉන්නේ බං හූල්ල හූල්ල...."
" ඒ මොකෝ හූල්ලන්නේ...."
" දීග දෙන්න ඕන වයසේ කෙල්ලෙක්ගෙන් මරව මරව වැඩ අරන් ඒකි හම්බ කොරන සොච්චමෙන් කාලා ඇදලා ඉන්න අපි වෙන මොනවා කරන්නද බං...."
" විකාර හිතන්නැතුව ඉන්න අම්මේ... අම්මලා තාත්තලට ළමයි සළකන්නේ නැතුව වෙන කවුරු සළකන්නද ....අනික මට ඕන ඇති දීගයක් නෑ...."
" ඇයි ගෙදරට නාකි වෙන්නද උබේ කල්පනාව....අම්මපා බං ගාමන්ට් එකේවත් නැද්ද හොද කොල්ලෙක්...."
" ඒ මොකටද...."
" නෑ මේ මං අහන්නේ.....උබ ගැන උනන්දුවෙන් ඉන්න කෙනෙක්...."
" විකාර....මට තේ ටිකක් හදන්නකෝ අම්මේ...."
කතාවෙන් මග ඇරියට මොකද ගාමන්ට් එකේ මගේ පස්සෙන් ආවේ කොල්ලෝ එකෙක් දෙන්නෙක් නෙමෙයි...ඒ කිසි එකෙක්ව මට පේන්න බෑ....ඒත් ඉතින් ඉවසන් ඉන්නවා...ඔය ඔක්කොම අතරේ එක්කෙනෙක් ගැන මගේ හිතේ පුංචි පැහැදීමක් තිබුනා.....
" ප්‍රියන්තයා උබට බොක්කෙන්ම ලව් බං....ඌ ඔය අනිත් අය වගේ නෙමෙයි සංජු..."
" ඇයි එයා අමුතු ජාතියේ ජීවියෙක්ද....පොඩි පිටසක්වල පාටක් පේන්න තියෙනවා තමයි...."
ලයින් එකේ කෙල්ලෝ ටිකව හිනස්සන්න එහෙම කිව්වට මොකද ප්‍රියන්ත අනිත් අය වගේ නෑ කියලා මටත් නොතේරුනා නෙමෙයි..එයා සුපවයිසර් කෙනෙක්.....ඒත් මැශිමටම යට වෙලා ගෙවෙන ජීවිතේ එක්ක ඕවා ගැන හිතන්න උවමනාවක්වත් වෙලාවක්වත් මට තිබුනේ නෑ....
ඔය අතරේ ලෙඩ ඇදේ හිටපු තාත්තා නැති උනා....එදා මම හිටියේ ගාමන්ට් එකේ නයිට් ශිෆ්ට් දවසක්...හිතට මොකද්දෝ සාන්කාවක් දැනුනත් මං ඒ තරම් ඒ ගැන හිතුවේ නෑ.....
" සංජු....අපි යමු...."
එකපාරටම ප්‍රියන්ත ඇවිත් මට කතා කරා...ලයින් එකේ කෙල්ලෝ ටිකත් කට ඇරන් බලාගෙන.....
" කොහේද....."
" කියන දේ අහලා එන්න ළමයෝ යන්න...ඔයාට මං ලීව් එකක් දෑවා...."
ප්‍රියන්ත මගේ අතින් ඇද්දා.. ලයින් එකේ කෙල්ලෝ ටිකත් මගේ දිහා බලාගෙන....පුදුමාකාර අපහසුතාවයක් මට දැනුනේ..
" අතාරින්න සර්...මං ඒ ජාතියේ කෙල්ලෙක් නෙවෙයි...."
" කියන දේ තේරුම් ගන්නේ නෑනේ....මේ අහන්න සංජු...ඔයාගේ ගෙදර පොඩි කරදරයක්...."
" මොකක්....ඇයි දෙයියනේ මොකද......"
" කලබල වෙන්නෙපා සංජු....ඔයාගේ තාත්තා නැති වෙලා...."
" දෙයියනේ......"
මං එහෙමම ප්‍රියන්තගේ ඇගට කඩාගෙන වැටුනා මට යාන්තමට මතකයි...තාත්තගේ මලගෙදර හැම වැඩක්ම හොයලා බලලා කරේ ප්‍රියන්ත...හැමදේම හොයලා බලලා ළගට ඇවිත් සැරින් සැරේට මගේ හිතත් හදනවා...
මලගෙදරින් පස්සේ ප්‍රියන්ත මට හුගක් ළං උනා...සර් කෑල්ල හැලිලා එයා මට ප්‍රියන්ත අයියා උනා...අන්තිමේදි කාටත් හොරා අපි බැන්දා...ප්‍රියන්තගේ ගෙදර කිසි කෙනෙක් ඒක දැනගෙන හිටියේ නෑ...හැබැයි අපේ අම්මා හැමදේම දන්නවා...අම්මා කොහොමටත් ප්‍රියන්ත ගැන හිටියේ හරි පැහැදීමකින්..හැබැයි ප්‍රියන්ත ගැන කිසින විස්තරයක් මම දැනගෙන හිටියේ නෑ....දැනගන්න උවමනාවක් මට තිබුනෙත් නෑ....කසාද බැන්දත් මම ගාමන්ට් යන එක නතර කරේ නෑ...පුලුවන් කාලේ කීය කීය හරි හම්බ කරගන්නයි මට උවමනාව තිබුනේ...ප්‍රියන්තත් මට හුගක් ආදරෙන් සැළකුවා....
" ප්‍රියන්ත අයියේ....."
මං ඒ නිරුවත් පපුවට හේත්තු වෙලා කතා කරා....
" ම්ම්ම්......"
" ආයිත් මට ගාමන්ට් යන්න බැරි වෙයි...."
"ඇයි ඒ......"
හිතේ තිබුනේ සැකයක් විතරක් නිසා මං හැමදේම ප්රියන්තයියට සතියක් විතර යනකල් හැංගුවා...ඒත් දැන් නම් ස්තිරයි...
" ඔයා තාත්තා කෙනෙක් වෙන්න යන්නේ......"
ඒ මූණේ තිබුනේ සතුටක්ද දුකක්ද නැත්තම් වෙන දෙයක්ද කියලා මට තේරුනේ නෑ....
" අපට දැම්ම දරුවෙක් ඕනද සංජු...."
" අයියේ....."
මං හිතුවේ ප්රියන්තයියා තාත්තා කෙනෙක් වෙන එක ගැන හුගක් සතුටු වෙයි කියලා...නෑ...එයා සතුටු උනේ නෑ....එයාට ඕනේ උනේ මගේ දරුවව ඉපදෙන්න කලින්ම නැති කරලා දාන්න....
" අපට තව කල් තියෙනවනේ සංජු...තේරුම් ගන්නකෝ....."
" බෑ අයියේ...මට මගේ දරු පැටියව නැති කරන්න බෑ...."
" එහෙනම් තමුසෙට ඕන දෙයක් කර ගන්නවා....මට නම් මුකුත් කියන්නෙපා..මං ගැන හොයන්නත් එපා....."
එදා එළියට බැහැපු ප්‍රියන්ත ගෙදර ආවේ මාස ගානකට දෙපාරක් තුන් පාරක් විතරයි....ඒ ආවත් දරුවා නැති කරන්න කියලා මාත් එක්ක රණ්ඩු උනු එක විතරයි එයා කරේ....පස්සේ පස්සේ ආවෙම නැති තරම්...ගාමන්ට් එකේ රස්සාවට පවා එයා ආවේ නෑ.....අපට ජීවත් වෙන්න විදියක්ම නැති උනා...කන්න බොන්න පවා නැති උනා....
ප්‍රශ්න නිසාම මං ආයිත් ගාමන්ට් එකේ රස්සාවට යන්න පටං ගත්තා..අම්මා හූල්ල හූල්ල මගේ දිහා බලන් අඩපු වාර අනන්තයි....
" ආ නංගී....වැඩ වැරදිලා වගේනේ...."
ඉස්සර පාක් එකේ රස්තියාදු කාරයෝ කියන කතා වලට තරහ ගත්තු මට කරබාගෙන ඉන්න උනා...
" සංජු නංගී....උබට කියන්න දෙයක් තියෙනවා...."
" කියන්න අක්කේ....."
" හැබැයි උබ කලබල වෙන්නෙපා...."
" මට තව අහන්න බැරි දෙයක් නෑ අක්කේ....කියන්න...."
" ප්‍රියන්ත කලිං බැදපු මිනිහෙක්...ළමයි දෙන්නෙකුත් ඉන්නවලු....."
" මොකක්...."
ඒ වචන මට ඇහුනේ හීනෙන් වගේ....මාව බදින්න ප්‍රියන්ත එක්කන් ඇවිත් තියෙන්නේ බොරු රෙජිස්ටාර් කෙනෙක්....ඒ කසාද සහතිකේ පවා බොරු....කොච්චර ලොකු රැවටීමකටද මං අහු වෙලා තියෙන්නේ....හැමදේටමත් වඩා ගාමන්ට් එකේ අයගේ අනුකම්පාව මට දරාගන්න බැරි උනා....දරුවා ලැබෙන්න සතියක් තියෙනකල්ම මම වැඩට ගියා...ටවුමේ ඉස්පිරිතාලෙදි මට පුතු පැටියෙක් ලැබුනා....හිතේ තිබුන හැම දුකක් සාන්කාවක්ම පිච්චිලා අලු වෙලා ගියා වගෙයි මට දැනුනේ....පැටියව අරන් ගෙදර ආපු දවසේ ඉදන් හුගක් සතුටින් හිටියේ....ඒත් ආයිත් එන්න එන්නම අඩු පාඩු වැඩි උනා...හිත හයිය කරන් මං මගේ දරු පැටියා වෙනුවෙන් ආයිත් ගාමන්ට් යන්න පටං ගත්තා....අම්මා පුතාව බලාගත්තා....
ඒ වෙද්දි මගේ ජීවිත කතාව ගාමන්ට් එකේ කාටවත් රහසක් නෙමෙයි...සමහර සර්ලා පවා මං දිහා බැලුවේ වැරදි ඇහැකින් කියලා මට නොතේරුනා නෙමෙයි...අමාරුවේ වැටුන ගෑනියෙක්ගෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු කොච්චර බලන් ඉන්නවද කියලා මට තේරුනේ ඒ කාලේ....ඒත් මං හැමදේම ඉවසන් මගේ දරු පැටියගේ මූණ මතක් කරන් මැරි මැරි වැඩ කරා...කොල්ලට ලස්සන අනාගතයක් හදන්න....දවසින් දවස කොල්ලා ලොකු වෙද්දි හිතට පුදුමාකාර සතුටක් දැනුනේ....
දැං මගේ කොල්ලා පේරාදෙණිය වෛද්‍ය පීඨේ වෛද්‍ය ශිශ්‍යයෙක්....අදටත් මං ගාමන්ට් එකේ මැශින් එක පාගනවා....මගේ කොල්ලගේ දොස්තර හීනේ හැබෑ කරන්න..... වෙනදා වගේ මහන්සියක් දැං මේ හිතට දැනෙන්නේ නෑ....ඒ කොල්ලගේ හීන මගෙත් හීන වෙච්ච නිසා වෙන්නැති...හැමදාම මං කොල්ලට කියන එක දෙයක් තියෙනවා...
" කවදාවත් උබේ තාත්තා වගේ නම් වෙන්නෙපා...අනික කෙනෙක් කරන රස්සාවෙන් ඒ මනුස්සයගේ චරිතේ මනින්න එපා..."
නිමි~~~~
චාමී.....
No comments:
Post a Comment