ඉදුල් කුමාරි

'ඉඳුල් කුමාරී'

අතට ගත්තු කහට කෝප්පෙ බොන්න අල්ලට සීනි ටික හලා ගන්න හදලත් අමා ඒ ටික ආපහු බෝතලේටම දැම්ම..

තේ කහට උගුර මේ දවස් වල ගෙවන ජීවිතේ තරම් තිත්ත නෑ..

කුස්සියෙ දොර පලුවට හේතුවෙලා එහෙම්මම රූටලා පඩියෙ ඉඳගත්තා..

තාත්තා ඇඳට වැටිලා මාස දෙකකට වැඩියි.. නංගිට ලබන සතියෙ ආයෙම ඉස්කෝලෙ පටන් ගන්නවා...................... පොත් ලිස්ට් එක අරන් දෙන්නවත් විදියක් නෑ....... තාත්තා රස්සාවට යන කාලෙ නම් පන්තියෙ ලස්සනටම පිටකවර ටික දාපු පොත් ගෙනිච්චෙ මැදවත්තෙ ලමයි.

'මෙහෙමනෙ.. අපිට රෑ මේ වාහනේ පෙණුනෙ නෑ.. අඩුම තරමේ ලුමිනස් ස්ටිකර් එකක්වත් අලවල තිබ්බ නම් දුරට දකිනවා.. මටත් හිතට හරි අමාරුයි.. මේ සල්ලි ටික තියා ගන්න ... වන්දියක් විදියට නෙමේ.. '

තාත්තගෙ පුෂ් බයිසිකලේ හප්පපු ප්‍රයිවෙට් බස් අයිතිකාරය රුපියල් දාහෙ කොළ ටිකක් අත මිට මෙළෙව්වා..

'මේක අරන් පස්සෙ පොලිසි ගානෙ එහෙම ගිහින් ආයෙ වාත කරන්න එපා.
හරිද..'

බල්ලට වඩා නටන්නෙ බලු නකුට නෙ..

බස් එකේ කොන්දොස්තරගෙ සද්දෙට අමා ඇස් කරකවලා බැලුවා.. ඒකා එහෙම්මම අහක බලා ගත්තා..

අසරණ වෙලා කියලා දැනගත්තම පුළු පුළුවන් විදියට තලා පෙලා දාන්නමයි හැමෝම බලන්නේ..

කල්පනා කර කර හිටියට ලැබෙන දෙයක් නෑ.. පපුවෙ දුක හේදිල යන්න හුස්මක් පහල දාපු අමා නඟිට්ටෙ කඩේ රුවන් කියපු පණිවිඩේකට එළියට යන්න..

෴෴

රුවන් එක්ක කළුබෝවිල ඉස්පිරිතාලෙ ගාවින් ඇතුල් පාරක අමා ඇවිදන් ගියේ දිව්‍ය ලෝක සිරි නරඹනවා වගේ..

'කොහොමද ගෙවල් ටික.. අපිට ජීවිත කාලයක් නොකා නොබී ඉතුරු කළත් ඕකක් හදා ගන්න බෑ..'

ආයෙ උත්තර දෙන්න දෙයක් නෑ.. කතාව ඇත්ත.. අමා ඒවා බල බල යන්න ගිහින් තව පොඩ්ඩෙන් බැල තණකොළ පඳුරක හැප්පිලා වැටෙනවා..

'ආ.. යන්න කලින් කඩා ගන්නවකො බෙල්ල.'

රුවන් කිව්වෙ අමා පාරෙ පැත්තකට අදින ගමන්............
ඉස්සර ඉස්කෝලෙ ඇරිලා කොණ්ඩ කරල් දෙක පස්සෙ වද්ද අමා යනවා රුවන් බලාගෙන ඉන්නවා..................... ඒ දවස්වල යාලු වෙලා හිටියනම් අවුලක් නෑ..
...........................කෙල්ල කොච්චර හොඳ උනත් ලස්සන උනත් දැන් නම් අම්මගෙ කැමැත්ත ගන්න ලැබෙන්නෙ නැ....

ඔන්නොහෙ හිටපු විදියටම ඉන්නවා.. රුවන් හිතේ පොඩිම හරි ආදර හැඟීමක් මෝදු උණානම් ඒකත් පිහල දැම්ම..

ආ.. යං.. මේ දොස්තර මහත්තයා ඉස්පිරිතාලෙ කාලයක් ඉඳල රට ගිහින් ආයෙ ඇවිත්.. නෝනලා බබාල රට. '

'ආ .. මම තනියමද ඉන්න වෙන්නෙ මෙහෙ.. '

මොකක්දෝ ආගන්තුක බයක් ආගේ ඇඟ පුරාම දිව්වා.

'අනේ මේ. ඔයාට සර්ව සම්පුර්ණ තැන් හොයල දෙන්න මටබෑ අමා.. හොඳ නැත්නම් දවසක් දෙකක් බලලා නවතින්න..'
රුවන් අමනාපෙන් කිව්වට ඒ ගැන පොඩි අවුලක් කොල්ලගෙ හිතෙත් තිබ්බ...

'ආ.. එන්න..එන්න.. මෙයාද ගෑනු ලමයා.. කම් ඉන් .. ම්ම්. යමු යමු.. '

මහා මාලිගය ඇතුලෙන් කෙලින්ම ගියෙ කුස්සියට.. වැරදුණා කිචන් එකට...

කුස්සිය කියන වචනෙ හරි මදි වගේ.. අමා ජීවිතේටවත් මෙහෙම ලස්සන පිරිසිදු කුස්සියකට පය ගහල තිබ්බෙ නෑ..

'මේ ඉන්නේ ලතා.. ලතා .. ඔන්න යලුවෙක් ආවා. මෙයාට උගන්න ඕනෙ.. ඕකේ..?

හෝදපු පිඟන් වගයක් අඩුක්කරන තව ගෑනු කෙනෙක් දැක්කට පස්සෙ තමා අමා දොරෙන් ඇතුල් වෙද්දි ඉහළට ගත්තු හුස්ම පහල දැම්මෙ..

රුවන් දොස්තර මහත්තය එක්ක ගියාට පස්සෙ ලතා හරි හරි දේවල් කියල දුන්න අමාට..

කෑම උයන්න ඕනි සුදට.. පොල් කිරි බෑ.. නොන් ෆැට් පිටි කිරි දාල උයන්නෙ ඒ වෙනුවට .............. තෙල් දාන්න බෑ.. ඕනම නම් ඔලිව් තෙල් හැන්දක් වගේ..
මාලු උයනව එක සැරේ දවස් දෙක්කට ඇති වෙන්න..

දහයට විතර ඇවිත් උයල දවල් කෑම එක්කෙනෙකුට ඇති තරම් මේසෙට තියල......... තමනුත් කාලා ඉතිරි ඒවා බාස්කට් වලට පුරෝලා ෆ්‍රිග් එකට දාන්න ඕනෙ. රෑට ඒවා රත් කරලා මහත්තයා කයි..

දෙක තුන වෙද්දි ගෙදර...

'නියමයි නෙ. ඇයි අක්කා මෙතනින් යන්නෙ...' ප්‍රශ්නයක් නාහා කට පියාගෙන ඉඳල පුරුද්දක් නැති කමට වගේ අමාට ඇහුණා..

'මෙතන රුපියල් පන්සීයයි දවසටම.. මට මදි.. බබෙකුත් බලාගෙන උයන්න ගෙදරක් හම්බුණා.. පෙරේර මාවතේ.. රුපියල් විසිතුන්දාහයි..   අනික මෙහෙ හැමදාම වැඩත් නෑ.. '

මිනිස්සුන්ට ජීවිතේ මොනතරම් අමාරුද කියලා අමාට අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑ.

අමාට කලින් ලතා පිටත් උනා.. අමා කුස්සිය අතු ගාලා මොබ් කරලාම පිටත් වෙන්න හැදුවා..

'ආ මෙන්න ඔය ලමයට ... ආයෙ යද්දි කතා කරල ගන්න ඕනෙ..'

රුපියල පන්සීයක්..

ඒ හැටි වැඩක් නොකරපු හින්දා අද සල්ලි බලාපොරොත්තු උනේ නෑ.. ඒත් එපා කියන්න බැරි තරමට මේ සල්ලි මේ වෙලාවෙ වටිනවා..

බයාදු ඇස් දෙකින් ස්තූති කරලා අමා ආපු පාර දිගේ ආපහු ගියේ ඉගිල්ලිලා..

'ලොක්කි.. ඔහොම හිටපං..'

අවුරුදු තුනක විතර කොලු පටියෙක් අතින් ඇදගෙන කොට සාය කෑලකුයි හිර බ්ලවුස් එකකුයි ඇදාන් කොණ්ඩෙ බම්ප් එක තියල ආවෙ අමාගෙ අම්ම..

'ඇත්තද අර ජයවතී කියපු කතාව..'

'මොකද..

'උඹ ගෙවල්වල ඉඳුල් හෝදන්න යනව කියල..'

රස්සාවට ගියපු පලවෙනි දවසෙම රුවන්ගෙ අම්ම හැමෝටම කියල වගේ..

'ඉතිං.'

'ඉතිං.. ලජ්ජ නැද්ද උඹට..'

'මේ අම්ම ...........මෙච්චර ලොකු කෙල්ලො දෙන්නෙක් ඉද්දි අර බෝධිසත්වයෙක් වගේ හිටපු තාත්තා දාල ,තමන්ට වඩා බාල මිනිහෙක් එක්ක පැනල ගියපු ඔයා කවුද මගෙන් ලැජ්ජව ගැන අහන්න. '

'ගිහින් වරෙංකො බඩක් හදාගෙන..'

'ශි....... ඔයාගෙ බඩින් ඉපදුනා කියන්නත් ලජ්ජයි මට අම්මේ .. '

අමා ගෙදරට දිව්වෙ තරහට එන කඳුළු ඔහේ වැටෙන්න ඉඩ දීල..

සතුට .. එන්නත් කලින්ම උදුරගත්තනෙ..

෴෴

අමා.. පොඩ්ඩක් මෙහෙට එන්න..

දවසක් උඩු මහලේ පඩිපෙලේ ඉඳන් දොස්තර මහත්තයා කතා කරද්දි සැකයටයි බයටයි අමාට තුන්කාන්සෙන් දාඩිය දැම්ම..

'බෑ කියනවද.. නොකියම පැනලා යනවද... එක්කොත් ගිහින් බලලා මොනා හරි නපුරක් කරන්න ආවොත් ගහනවා..'

හිත සට සට ගාලා වෙව්ලද්දි අමා උඩ තට්ටුවට යන්න ගියා.

'දොස්තර මහත්තයා..'

සුදුපාට ඇතරිලි දාපු සැප පහසු විසාල ඇඳක්.. එතනම බිම වාඩිවෙලා මොනවද පෙට්ටි පෙට්ටි තියාගෙන පිහින අවුරුදු හතලිස් පහක් විතර වයස  කෙසඟ මිනිසා අතින් අද දිවියේ තීරණාත්මක අවස්ථාවක් එනු ඇත.. එක්කො මම.. නැත්නම්...

'අමා මේ මගෙ පරන කම්පුටර් එක.. තාම හොඳට වැඩ.. මට දැන් ඒක ඕනෙ නෑ..අර එදා ආවෙ.. කවුද අර බෝයි......... එයාට එන්න කියල මේක අරන් යන්න..'

'හම්මේ .. ඇති යාන්තම්.. '
හීතල හුස්මක් පපුව මැද්දෙන් පෙනහළුවලට පියෑඹුවා..

'මම ගෙනියන්නම් මහත්තයා... මට පුළුවන්.. '

'හ්ම්ම්.. මම පහලට ගෙනත් දෙන්නම්... අපි එහෙදිත් පාවිච්චි කරන්න පුළුවන් ඒත් අනවශ්‍ය බඩු අයින් කරනවා.. '

දොස්තර මහත්තයා හිනාවෙලා ආයෙම තමන්ගෙ වැඩ පටන් ගත්ත..

'අමා කම්පියිටර් පාවිච්චි කරන්න දන්නවද..'

'මේ .. ඉස්කෝලෙන් ඉගැන්නුවා සර්..'
දන්නෙ නෑ කිව්වොත් නොදී ඉඳියිද දන්නෙ නෑ..

'හ්ම්ම්.. අර ඊ අයි එකේ උගන්නන ලමයෙක් මම දන්නවා.. මම එතන කතා කරවල දෙන්නම්.. පොඩි ගානක් ගෙවන්න වෙයි.. ඉගන ගන්න '

'හරි සර්.. දොස්තර මහත්තයා.. '

අමාට සතුටය වචනත් පැටලුණා.. වස ලැජ්ජවයි.

෴෴

හැමදාම හවස පැය තුනක් වගේ ගිහින් ගිහින් අමා වර්ඩ් .. ෆොටෝශොප්.. ඉලස්ට්‍රේටර්.. කොරල්ඩ්‍රෝ ඉගන ගත්තා..

පන්ති වලට අමතරව එතන යට තට්ටුවෙ තිබ්බ ඇඩ්වටයිසින් ඔෆිස් එකත් 'ඒ අයි'
එක අයිති කෙනාගෙමයි..

එතනට ලැබෙන නිබන්ධන අමා ගෙදර ගෙනෙහින් රෑ නිදි මරාගෙන ටයිප් කළා.. අමතරව තවත් කීයක්  හරි  ලැබෙන  එක ඉහටත්  උඩින්.

දැන් තනියම ආර්ට් වර්ක් එකක් දාලා ප්‍රින්ට් එකට ෆයිනලයිස් කරන එක සිම්පල්..

මාස හයක් නොදැනිම ගිහින් කෙල්ල අතට සහතිකේකුත් ගත්තා..

'අමා.. කොහොමද පන්තිය.. '

දවසක් එන්න ලෑස්තිවෙලා සල්ලි ගද්දි දොස්තර මහත්තය ඇහුවා..

'ඒක ඉවරයි.. දැන් හොඳට පුලුවන්..'

'ම්ම්.. මම ආයෙම රට යනව.. ලබන සතියෙ.. '

'දෙයියනේ මගෙ රස්සාව..' අමා ගොලුවෙලා ගියා.

'අමාගෙන් මට තව උදව්වක් ඕනෙ.. '

'කියන්න සර්.

'මෙහෙ තියන පරණ ඇඳ පුටු කබඩ් අනං මනං යන්න කලින් අයින් කරගන්න ඕනෙ.. ඔයාට පාවිච්චි කරපුවා දෙනව නෙමෙයි.. ඔයා දන්න කාට හරි වත් දෙන්න.. මට ඕනේ  මේ ටික අයින් කරන්න..'

අමා බෝනික්කෙක් වගේ ඔලුව හෙලෙව්වා.. කරන්න ඕනෙ දේ දැම්මම ඔලුවට ආවා..

දොස්තර මහත්තයා ආයෙමත් රට ගියා.

'අළුත්ම තත්වයේ ගෘහ භාන්ඩ.'

අමා ඉන්ටෙර්නෙට් එකේ දැන්වීමක් දැම්ම.. ඉඩම්.. වාහන.. ගෘහ භාණ්ඩ විකුණන එකක..

සතියක් යන්න කලින් ඒ බඩු ටික සල්ලි උණ...

රුවන්ගෙ කඩේ ගාවම අඩි දහyඑ දහයෙ කඩ කෑල්ලක් තිබ්බ.. මාසෙය රුපියල් අටදායි..
කෙදිරි ගාල කෙදිරි ගාල මාසෙන් මාසෙට කුලිය ගෙවන්න අයිතිකාරයව කැමති කරවගත්ත.. හෙමීට  ගෙවන්න පොටෝ කොපි මැෂින් එකකුත් ගත්තා. 

'අමා වින්'
නංගිගෙ අතකුත් අල්ලන් කිහිලි කරු දෙකින් පැන පැන ආපු තාත්තා සුභ මොහොතට පහන පත්තු කරා.. දොස්තර මහත්තයා දුන්නු පරිඝණකය  මේස කොනේ රජ වෙලා...

රුවන් හිටියේ අමාගෙ දියුණුව ගැන අවංකවම සතුටින්.....................ආයෙත් හිතේ අස්සක වළලපු ප්‍රේමය අළු ගසා දාගෙන එනව වගේ රුවන්ට දැණුනා..

ආදරේට වඩා ජීවිතේ දේවල් තව දින්න තියන හින්දා සහෝදර හිනාවක් මූනෙ අතුරගෙන අමා ඈත අහස බැලුවෙ දොස්තර මහත්තයාට පින් දෙන්න..

මේ ලෝකෙ තාම හොඳ මිනිස්සු ඉන්නව අම්මෙ...

නිමි..

මල්කාන්ති රණතුංග

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment