මිලින රෝස මල


කෙටි කතාව

මිලින රෝස මල 🌹

"තමුසෙත් ඒ පාර අම්ම වගේ වේසකමේ යන්න ගත්තද"රොවේන්ගේ ඒ හඩ මහදට යවුල් අනී.
"රොවේන් ම..මන් ශෙවින්ගෙන් නෝට්ස් ඉල්ලගත්තා විත්..තරයි" ඒ කෝපසහගත බැල්මට මුවගට වචන නොඒ.දෑස්වල කදුලු පිරෙන්නට ගියේ එක් නිමේෂයකි.රොවේන්ගේ බැල්ම මුදු විනි
"මෙහෙට එන්න." රොවේන් මාව ඒ ළයට තුරුලු කරගත්තා.මට නිදහසේ හුස්ම ගන්න පුලුවන් එකම තැන හිතේ තියෙන හැම දුකක්ම අමතක කරලා හිනාවෙන්න පුලුවන් එකම තැන එතන.
"ඔයාට වෙන පිරිමියෙක්ගේ හුස්මක්වත් වැදෙනවට මන් කැමති නෑ රෝස මල" වැල්ලේ මිනිස්සුන්ට වේසියෙක්ගෙ දුවෙක් උන මන් රොවේන්ගේ රෝස මල.
ඇත්ත මන් මුදලට ඕන තැනක ඇග විකුනන්න සූදානම් නීලියා පතිරණගේ එකම දුව දෙවංගනා වීරසිංහ.මන් වැල්ලේ අකලට පිපුන රෝස මලක්.මගේ ජාතක තාත්තා කව්ද දන්නේ නැති උනාට මන් නමට තාත්තා කියන කෙනා විදත් වීරසිංහ.මුහුදු යන එක ජීවිකාව කරගත්ත එයා සල්ලි විසිකරේ සූදුවටයි බේබදුකමටයි විතරයි.
එහෙම දෙමාපියෝ දෙන්නෙක්ට මැදි උන මගේ ජීවිතේ මාව රුකපු එක්කෙනෙක් මගේ සීයා අනික් කෙනා රොවේන් කෝටිපති ව්යාපාරික දේවක මිරිහානගේ එකම පුතා.සීයා මාව දාලා ඇස් පියාගත්තට පස්සේ මගේ ආරක්ෂකයා, ආදරවන්තයා, හොදම යාලුවා, ගුරුවරයා උනේ රොවේන්.
මන් වැල්ලේ කෙල්ලෙක්.මන් ගොඩක් ලස්සනයි.කොච්චර අව්වක හිටියත් මේ හම කලු උනේ නෑ.අතපය වාත්තු කලා වගේ.ලොකු කැරලි කොන්ඩේ ඉනටත් පල්ලෙහාට දිගයි.ලැටිස් පටි ගහපු ගෙදරක මන් වගේ ලස්සන කෙල්ලෙක්ට තියෙන ආරක්ෂාව මදි උනාට රොවේන් නිසා මට අත තියන්න වැල්ලේ කව්රුත් බය උනා.
ඒත් වැල්ලේ හිටපු ගොඩක් කෙල්ලන්ගේ ජීවිත මොණර කොල වලට, බේබදු මිනිස්සුන්ගේ සල්ලාලකම් වලට යට වෙලා විනාස වෙලා තිබ්බා.
**********************************
"හෙට උදේම library එන්න ඉතුරු chemistry papers ටික කරන්න" රොවේන්ගෙන් පොඩි මෙසේජ් එකක්.
බාලිකාවේ දක්ෂම කෙල්ල උන මට තවත් හොදට උගන්නන්න රොවේන් ගොඩක් මහන්සි උනා.මගේම වයසේ හිටපු ගොඩක් දේවල් වලට දක්ශ රොවේන් තමා අපේ සහෝදර පාසලේ ප්රදාන ශිෂ්ය නායකයා.මට class යන්න වියදම් කලේ අමාරු පාඩම් මට ඉගැන්නුවේ රොවේන්.එයා හැම වෙලේම මට කිවේ හොදට ඉගෙනගන්න.මේ වැල්ලෙන් සදහටම අයින් වෙන්න නම් මන් කරන්න ඕන හොදම දේ හොදට ඉගෙන ගන්න එක කියලා එයා මන්තරේ වගේ කියෙව්වා.එයා කීවේ ඇත්ත.මට ජීවිතේ දිනන්න පුලුවන් හොදම විදිය ඒක.මන් හොදට පාඩම් කලා.තාත්තා රූට බීගෙන ඇවිත් කුණුහරපෙන් කෑගහද්දි මන් ඒවා ඇහෙන්නේ නැති බීරෙක් වගෙ පාඩම් කලා, අම්මා එක එක මිනිස්සු එක්ක ගෙදරට එක්ක ඇවිත් මගුල් නටද්දි මන් ඒවා දැක්කේ නැති අන්දයෙක් වගේ පාඩම් කලා.A/l  වලට තව මාස දෙකයි.මන් සෑහෙන මහන්සි උනා.
********************************
"ආ නංගී කොහෙද මේ යන්නේ" ටව්මේ කොලු රූන විහිලු කරනව.මන් මොකුත් කියන්නේ නැතුව කකුල් ඉක්මන් කලේ ගෙදර යන්න.අද රොවේන්ට මාත් එක්ක ක්ලාස් එන්න බැරි උනේ හදිසියේම ගෙදර අය එක්ක නුවර යන්න උන හන්දා නැත්තම් මේ කොල්ලන්ගේ කටවල් මෙහෙම ඇරෙන්නේ නෑ.
"මොකද නගා අපිව අදුරන්නේ නෑ වගේ යන්නේ.ඔයාගේ අම්ම නම් අපි දැක්කම ඔහොම නෑ" ඇස් දෙකට කදුලු ආව.නීලීයා පතිරණගේ දුව උන පලියට මිනිස්සු ඇයි මාව ඒ මිම්මෙන් මනින්නේ.
"උඹ නම් කෙල්ලේ චීස් කෑල්ලක් වගේ.උඹ ආවොත් නම් අම්මට වගේ දෙගුණයක් ගෙවන්නම්" ඇස් වලින් මාව නිරුවත් කරන ගමන් එක කොල්ලෙක් කීව.ඇස් වලින් සට සල ගාලා කදුලු බේරෙනව.රෝවෙන් හිටියා නම් මෙහෙම වෙන්නේ නෑනේ.
තවත් මොකුත් කියන්න උනේ නෑ.රොවේන්ලගේ කාර් එක බරාස් ගාලා බ්රේක් ගහලා නතර කරා.ඒකෙන් බැහැලා ආපු රොවේන්ගේ මූණ තරහටද කොහෙද රතුම රතු වෙලා.මගේ කදුලු දැක්කම ඒ මූණ තවත් කලු වෙලා ගියා.
මගෙන් වචනයක් වත් අහන්නේ නැතුව අර කොල්ලෝ සෙට් එකට ලගට ගිය රොවේන් ලේ පෙරෙනකන්ම ඒ කොල්ලෝ ටිකට ගහලා පාරෙම දාලා ආවා.
"පාහර බල්ලෝ.ගෑනියෙක්ට ගරු කරන්න ඉගෙන ගනින්.තොපි අම්මෙක්ට ජාතක උන එවුන් නේද.උඹලා වගේ කාලකන්නි හින්දා තමා අද කාලේ කිරි දරුවෙක්ටවත් ඉන්න නැත්තේ.ආයේ එහෙම මෙහෙම උනොත් බලාගමු.මේ රොවේන් මිරිහානගේ හැටි තොපි නොදන්නව වෙන්න බෑනේ" රොවේන් ගිගුරුවා.ඒ කරලා මාව පරිස්සමට ගෙදරට බස්සලා ආව.රොවේන් මාව පරිස්සම් කලේ මලක් වගේ ඒ තරම් ආදරෙන්.මගේ ජීවිතේ ගැන එයා මටත් වඩා වද උනා.
*********************************
A/l ඉවර උනෙන් හිතට දැනුනේ නිදහසක්.රෝවේන් මාව computer class එකකටයි මැහුම් class එකකටයි දැම්මා.
"කෙල්ලෙක් අතේ පයේ වැඩක් ඉගෙන ගත්තා කියලා ඒක කවදාවත් අපතේ යන්නේ නෑ රෝස මල" මාව මැහුම් ක්ලාස් එක ලගින් බස්සන්න කලින් එයා එහෙම කීවා.
රොවේන්ගේ සිතුම් පැතුම් හරිම වෙනස්.එයා වගේ දෙවියෙක් මගේ ජීවිතේට ලන් උනේ නැත්තම් මෙලහකට මේ ජිවිතේ අපායක්.මගේ ලෝකේ හිටපු දෙවියෝ එයා.ඒ ආදරේ මේ හිගන්නිගේ හිතට මහමෙරක් වගේ දැනුනේ.මන් ජීවත් උනේ, හිනා උනේ, දුක් උනේ, සැනසුනේ ඒ ආදරේ එක්ක.
*********************************
"හෙට රූ ගලදාරි එකේ මගේ birthday පාටි එක. ඔයා අනිවාර්යෙන් එන්න ඕන රෝස මල" රොවේන් කීවේ මගේ අතේ ලස්සන මොණර නිල්පාට දිග ගව්මකුයි ඒකටම ගැලපෙන හීල්ස් දෙකකුයි තියෙන ගමන්.
මන් කොහොමද ඒ වගේ තැනකට යන්නේ.එතන රොවේන්ගේ අම්මලා තාත්තලා නෑදෑයෝ යාලුවෝ ඔක්කොම එයිනේ.
"බය වෙන්න එපා මැණික මන් ඔක්කොම විස්තර ඔයා ගැන කියලා තියෙන්නේ ගෙදරට.එයාලා අව්ලක් නෑ" රොවෙන් කීවේ හරියට මගේ හිත කියෙව්වා වගේ.
"එයාලා දන්නවද මන් කාගේ කව්ද කියන්න" මන් ඇහුවේ පුදුම වෙලා.මොන දෙමාපියොද මගේ වගේ දෙමාපියෝ ඉන්න තැනකට තමන්ගේ දරුවට මගුලක් කරලා දෙන්න කැමති.
"මන් ඔක්කොම කීවා මැණික.එයාලගේ අකමැත්තක් නෑ" එදා රොවේන් මට ගොඩක් හිතන්න දේවල් ඉතිරි කරලා ගියේ හෙට රූ පාටියට එන්න පොරොන්දු කරගෙන.
*********************************
පහුවදා හවස මන් ලෑස්ති උනේ රොවේන්ගේ පාටියට යන්න.එයා දුන්න ගව්ම ඇදලා හීල්ස් දෙක දැම්මා.ඒ කරලා මොරින් අක්කට කියලා පොඩි මේකප් එකකුයි හෙයා ස්ටයිල් එකකුයි දාගත්තා.
"අප්පේ කෙල්ලේ උබේ හැඩ.ඇස්වහක් කටවහක් නෑ කෙල්ලේ උඹ සුරංගනාවියක් වගේ" වැල්ලේ ජීවත් වෙන හිත හොද ගෑණියක් උන මොරින් අක්කා කීවේ අහිතක් නැතිව.
හරියටම හත වෙද්දී රෝවෙන්ලගේ කාර් එක ආව.එලියට බහින්න හදද්දිම හූනෙක් චුක් චුක් ගෑවත් නොයා බැරි හන්දම හිතේ දෙගිඩියාවෙන් කාර් එකට නැග්ගා.
********************************
"මගේ රෝස මල" රොවේන් මාව පාටියට ආපු කට්ටියට අදුන්නලා දුන්නේ ආඩම්බරෙන්.මාව රොවේන් එයාගේ අම්මයි තාත්තයි ලගට එක්ක ගියා.
එයාගේ තාත්තා දේවක මිරිහාන මැදිවයසේ උනාට හොද පව්ර්ශයක් තිබ්බ කඩවසම් කෙනෙක් ඒත් එයා මන් දිහාට හෙලපු කෑදර බැල්ම මගේ හිත තිගැස්සුව.රොවේන්ගේ අම්මා මැදි වයසේ උනාට සංකර පාට ගෑණියෙක්. ඒ දෙන්නා රොවේන්ගේ දෙමාපියෝ උනාට රොවේන් ලග තිබ්බ නිව්න පාට ඒ දෙන්න ලගම තිබ්බේ නෑ.
"කොහෙන්ද සනා මේ මල හොයාගත්තේ" දේවක මිරිහාන ඇහුවේ විස්කි වීදුරුවක් තොලගාන ගමන්. එයා පෙරේත බැල්මෙන් මන් දිහා බලාගෙන හිටියේ මාව විනිවිද බලන්න වගේ.
රොවේන් ආඩම්බරෙන් හිනා උනා.එයාට තමන්ගේ තාත්තගේ බැල්ම දැනුනේ නෑ.
"Good choice සනා.හොද selection එකක්.I like it" දේවක මිරිහාන කීව.
ඒ දෙන්න එක්ක ටිකක් වෙලා කතා කර කර ඉදලා මායි රොවේනුයි එලියේ බැල්කනි එකේ අපි දෙන්නට විතරක් වෙන් කරලා ලස්සනට රෝස මල් වලින් decorate කරලා තිබ්බ table එකට ආව.ඇවිල්ලා වැඩි වෙලා ගියේ නෑ රොවේන්ගේ යාලුවෙක් ආව.
" මචන් අන්න මිනිස්ටර්කාරයා ඇවිත් පාටියට උඹව හොයනව"
"අම්මටසිරි එල එල ඩිලා මන් එන්නම්" ටිකකින් එන්නම් කියපු රොවේන් හෝල් එක ඇතුලට ගියා.
**********************************
විනාඩි දෙක තුන ගෙවුනා.
"Miss your cool drink" එතනට ආපු වේටර් කෙනෙක් orange juice ග්ලාස් එකක් තියලා ගියා.තිබහේ හිටපු මන් ඒක බීවේ එක හුස්මට.
එච්චරයි මතක.පරිසරය අදුරු වෙලා ගියා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි කව්රු හරි අල්ලගන්නවා විතරයි මතක.
ඇස් අරිනකොට මන් හිටියේ සැප පහසු යුගල ඇදක.ගත දැවටිලා තිබ්බේ තුනී පොරවනයක් විතරයි.ඇදේ මට එහා පැත්තේ මන් ඉදන් මන් දිහා බලන් හිටියේ දේවක මිරිහාන.ඒ වෙනකොට මට නැති වෙන්න ඕන ලොකුම දේත් නැති වෙලා ඉවරයි.මගේ පිවිතුරු බවේ සටහන් ඒ ඇද ඇතිරිලි වල සටහන් වෙලා තිබ්බා.යටිකය වේදනාවෙන් රිදුම් දුන්නා.
"You are so beautiful darling" එයා කීවේ මගේ අත අල්ලගන්න හදන ගමන්.මන් ඒ අත ගසලා දැම්මේ අප්පිරියාවෙන්.
"තමුසේ මොනාද කලේ මට" මන් ඇහුවේ ඒ මිනිහගෙන් ඈත් වෙන ගමන්. එයා හිනා උනා.
"මන් පොඩ්ඩක් ඔයා එක්ක enjoy කලා darling.ඔයා ඔයාගේ අම්මටත් වැඩිය ලස්සනයි කෙල්ලේ" මේ මිනිහා මට එවපු drink එකට මත් වෙන්න මොනා හරි දාලා මාව රූම් එකට අරන් ඇවිත් ඔක්කොම කරගෙන ඉවරයි.අව්රුදු ගානක් මාව රටේ ලෝකේ මිනිස්සුන්ගෙන් පරිස්සම් කරපු රොවේන්ට එයාගෙම තාත්තගෙන් මාව බේරගන්න බැරි උනා.
අඩන්න ඇස් වල කදුලු තිබ්බෙත් නෑ.මට දැනුනේ පිලිකුලක්.
"තමුසේ මහ බල්ලෙක් මිනිහෝ.ඔයිට හොදයි තමුසේ මාව මරාගෙන කෑව නම්.බල්ලා" මෙච්චර කාලෙකට සද්දෙට වචනයක් කියලා නැති මන් දේවක මිරිහානට අමු කුණුහරපෙන් බැන්නා.
"යකඩෝ බලපන්කෝ මේකිගේ කටේ සව්දම.හැබැයි ගෑණියේ මේක කාගේ හරි කනකට ගිහින් තිබ්බොත් උඹෙයි පව්ලේ අයගෙයි අවසානේ කියලා හිතාගනින්"
*********************************
මන් හෝටලෙන් එලියට බැස්සා.හදවත වැලපුනා.ජීවිතේ නැති කරගන්න නොහිතුනා නෙවෙයි ඒත් ජීවිතෙන් පැනලා යන එක නෙවෙයි දක්ෂකම.ජීවිතේට සාර්තකව මූණදෙන එක.ප්රශ්න නැති ජීවිත කොහෙද මන් හිතුව.කෙලින්ම ගියේ ගෙදරට.
මුලු රූම කල්පනා කලා.ඔව් මට මේ නගරෙන් ඈත් වෙන්න ඕන කලා.ආයේ කොහොමද මන් රොවේන්ට මූණ දෙන්නේ.එයාගේ රෝස මල එයාගෙම තාත්තා පර කරලා ඉවරයි කියලා කියන්නේ කොහොමද.
උදව්වක් ඉල්ලන්න පුලුවන් එකම කෙනයි ඉන්නේ.ඒ තමා සීයගේ හොදම යාලුවා බදුල්ලේ ඉන්න සමරකෝන් අන්කල්.
මන් කාටවත් නොකියම පාන්දරම කෝච්චියේ බදුල්ලට ආවා.පෙන්ෂන් ගිය ගුරුවරු දෙන්නෙක් උන ඒ දෙන්නා මාව පිළිගත්තේ ආදරෙන්.
*********************************
අව්රුදු අටක් බදුල්ලටම ගෙව්නා.ජීවිතේ වෙනස් උනා ගොඩක් දියුණු උනා.Engineering යන්නම a/l pass උනත් මට කැම්පස් යන්න බැරි උනා.මන් පොඩි ගාමන්ට් එකක මහන්න ගියා.ඒ ගමන්ම මන් ගෙදර තනියම මැහුවා පොඩි පොඩි ඕඩර්ස් වලට.මගේ ව්යාපාරේ ලොකු වෙද්දි මන් ගාමන්ට් රස්සාව අතෑරලා පොඩියට මගේම ගාමන්ට් එකක් පටන් ගත්තා orange apparels කියලා.අව්රුදු අටක් යද්දි සේවකයෝ සේවකයෝ 150ක් ඉන්න ගාමන්ට් එකක අයිතිකාරියක් වෙන්න පුලුවන් උනා. රොවේන් ක්ලාස් දාල මට මැහුම් උගන්නපු එක අපතේ ගියේ නෑ.බාදක මැදින් ආපු මේ ගමන ගැන සතුටක් දැනුනත් ඒ අතීතේ විටින් විට මාව රිද්දුවා.
බදුල්ලට ආවට පස්සේ සමරකෝන් අන්කලුයි ඇන්ටියි මට සැලකුවේ එයාලගෙම දරුවෙකුට වගේ.මේ ගෙන්දගම් පොලවේ ඒ දෙන්න මගේ අම්ම තාත්තා වෙලා ඉවරයි.
අද අපි තුන් දෙනා මගේ දෙවෙනියට ගත්ත අලුත්ම කාර් එකෙන් මුල්ම ගමන අනුරාදපුරේට ආවා.
**********************************
මන් උඩමලුවට වෙලා ඇස් දෙක පියාගෙන ඒ දැනෙන නිරාමිස සැනසීම විදගත්තා.
"මගේ රෝස මල" අව්රුදු ගානකට පස්සේ ඒ ඇමතුම.
"රොවේන්" මගේ ඇස් වලින් කදුලු පැන්නා.එයා ඉස්සර තරම්ම කඩවසම්. ඒත් ඒ ඇස්වල තිබ්බේ ලොකු දුකක්.
"කොහෙද මාව දාලා ගියේ මැණික.මන් කොච්චර හෙව්වද.ඔච්චර පොඩි දේකට මාව දාල යන්න තරම්,තනියම හිතිවක්කාර තීරණ ගන්න තරම් ලොකු ගෑණියෙක් උනාද ඔයා" ඒ ඇස් වලින් කදුලු වැටුනා.
"රොවේන් ඔයා දන්නේ නෑ උන දේවල්" මන් කියන්න යද්දි එයා මාව නැවැත්තුවා.
"මන් ඔක්කොම දන්නව මැණික.ඒ දේවල් දැනගත්තට පස්සේ මන් මගේ පව්ලෙන් ඈත් උනා.මන් engineer කෙනෙක් දැන්.තනියමම ගෙදරක් හදාගත්තා වාහනයක් ගත්තා දැන් ඔයා විතරයි අඩු රෝස මල" මන් ඒ උඩ මලුවෙදිම ඒ දෙපා නැමදුවා.අමනුස්සයන් වගේ මිනිස්සු ඉන්න ලෝකේ ඔයා මට දෙවියෙක්.රොවේන් මාව තුරුල් කරගත්තා.
"ඒ අතීතෙට යන්න දෙන්න මැණික.දැන් මගේ වෙන්න.මාව බදින්න මගේ රෝස මල.මන් කිසිම දුකක් දෙන්නේ නැතුව බලාගන්නම් ඔයාව සත්තයි" එයා මගේ දෙසවනට මිමිණුවා.
ඉතිං දුක් විදපු අතීතය ඈතට විසික් කරලා සතුටුදායක වර්තමානය හදවතින්ම වැලදගත්තා.ආදරෙයි රත්තරන් මන් මිමිනුවා.අපේ ආදරේට ජය ශ්රීමා බෝදියත් ආශිර්වාද කරන්න වගේ ඒ බෝපත් තාලෙට සෙලවුනා.

අවසන් ❤️

Nilnethu

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment