~ උපන්දින තෑග්ග ~
# කෙටි කතාවකි #
රාත්‍රිය එළඹී බොහෝ වෙලාවක් ගතවී ඇත. නමුත් නින්ද නම් අහලකවත් නැත. ඒ මක් නිසා ද....?
හෙට මගේ දසවන උපන්දිනයයි. මෙතෙක් කලක් සිතේ තිබූ සිහිනයක් හෙට සැබෑ වන්නේය. මවුන්ටන් බයිසිකලයක් අරන්දෙන බවට තාත්තා වූ පොරොන්දුව ඉටුකරන දවස හෙටයි.
නිදාගැනීමට සිතා දෑස් වැසුව ද සිහිවන්නේ අලුත් බයිසිකලයයි. කෙසේ හෝ හෙට වනතුරු ඉවසා සිටිය යුතුවේ.
පසුදා උදෑසන ම වෙනදාටත් කලින් අවදි වූයේ ඒ නොඉවසිල්ල නිසා ම විය යුතුය. වහාම තාත්තා සොයා දිවගියේ කලබලයෙනි.
"තාත්තා තෑගි ගේන්න ටවුමට ගියා පුතේ."
අම්මා පැවසුවේ මා කඩිමුඩියේ දිවයන අයුරු දැකීමෙනි.
තාත්තා එනතුරු පැය දෙකක් පමණ බලා සිටීමට සිදුවිය. නමුත් එම කාලය මට දැනුනේ වසර දෙකක් මෙනි.
අවසානයේ ඒ මොහොත උදාවිය.
"ඇස් දෙක වහගන්නකො පුතේ..." තාත්තා පැවසීය.
මා තදින් ඇස් වසා සිටියදී තාත්තා මා අත යමක් තැබීය. දෑස් හැර බලනවිට දුටු දෙයින් සිත නොසන්සුන් විය. මා අත සිටියේ බලු පැටියෙකි.
"මේ මොකෙක් ද මේ???... කෝ මගේ බයිසිකලේ...??"
"ඇයි මේ තෑග්ග හොඳ නැද්ද පුතේ..? බයිසිකලයක් ඊළඟ අවුරුද්දෙ ගෙනත් දෙන්නම්කො..."
තාත්තා පිළිතුරු දුන්නේය.
"හොඳයි තමයි..."
මා පැවසුවේ නුරුස්සනා ස්වරයෙනි.
සුදු හිම ගොඩක් අහිංසක ඇස් දෙකකින් මා දෙස බලා සිටි අයුරු දුටුවත් මේ මොහොතේ මා සිතේ නැගුනේ තරහකි.
මාගේ සිහිනය විනාශ කර දැමූ මේ කරදරකාරයා කුමට මගේ ලොවට ආවා ද...? මට සැම විට ම සිතුනේ එලෙසයි.
දිනෙන් දින ගෙවී ගියේය. බලුපැටියාට "බෲනෝ" ලෙස නම් දුන්නේ අම්මා විසිනි. දැන් නම් මේ බෲනෝ මට මහා ඇණයක් වී ඇත.
මගේ සපත්තු සියල්ල හපා,ඉරා විනාශ කරන බෲනෝ සමහර දිනවල ජරා කිරීමට තෝරාගත්තේ ද මගේ සපත්තු ය. මේ වදකාරයාව පාරට විසි කිරීමට මට සිතුණු වාර අපමණය.
දින ,මාස බවට පෙරළී මාස, වර්ෂ බවට පෙරළෙමින් කාලය ගෙවී ගියේය.මා සමඟ බෲනෝ ද වයසින් වැඩෙන්නට විය.
මා දැන් වයස අවුරුදු 18ක් වූ තරුණයෙකි. දිනෙන් දින මට සමීප වූ බෲනෝ,දැන් මගේ හොඳම මිතුරා බවට පත්වී හමාරය.
පාසල් යනවිට මා සමඟ පාසල වෙත පැමිණෙන බෲනෝ,පාසල් නිම වන වේලාව වනවිට පාසලේ ගේට්ටුව අසලට වී බලා සිටින්නේ මා එනතුරුයි. මගේ කාමරයේ ම ඇඳ අසලට වී නිදා ගන්නා බෲනෝ නැතිනම් මට නින්ද යන්නේ ද නැති තරම්ය.
පාසලේ කොතරම් මිතුරන් සිටියත් මට බෲනෝ තරම් හොඳ මිතුරෙකු හමුවී නැත. මා විඩාබරව සිටින සෑම මොහොතක ම බෲනෝගේ හුරතලය දැකීමෙන් වෙහෙස නිවී යයි.
එදා සුපුරුදු පරිදි මම නින්දට යනවිට බෲනෝ මගේ ඇඳ අසල බිම වැතිරී සිටියේය. නමුත් නිදා ගැනීමට හැකි වූයේ පැය කිහිපයක් පමණි. බෲනෝ නොසන්සුන් වී ගොරවන ශබ්දයෙන් මා අවදි විය.
"ඇයි පැටියො...?"
එසේ විමසුවත් බෲනෝගේ කලබලයේ අඩුවක් නැත. බෲනෝ මට කොහේ හෝ යෑමට අඬ ගසන බවක් මට හැඟී ගියේය.
මම ඌ පසුපස ගියෙමි. බෲනෝ මාව කැඳවාගෙන ගියේ අම්මලාගේ කාමරය වෙතයි.
කාමරයේ කෙළවරක තිබූ අල්මාරිය අසල අඩඅඳුරේම යම් අයෙක් කිසිවක් කරමින් සිටිනු මා දුටුවේ එවිටය. බෲනෝ බුරන හඬ ඇසී කලබලයට පත් වූ ඔහු මා දෙසට හැරුණේ කලබලයෙනි.
මුහුණ කළු රෙදි කඩකින් ආවරණය කරගෙන සිටි ඔහු අතේ තිබුනේ ගිනි අවියකි. ඔහු අප නිවස මංකොල්ලකෑමට පැමිණි හොරෙකු බව මට වැටහුණේ එවිටයි.
"ඒයි තමුන් මොනවද කරන්නෙ?"
මම කෑගැසුවෙමි.
වහා ක්‍රියාත්මක වූ ඔහු ගිනි අවිය මා දෙසට යොමු කරන විටම බෲනෝ එදෙසට පැන්නේය. පළාතම දෙදුරුම් කවන වෙඩි ශබ්දයක් ක්ෂණිකව ඇසුණි.
සිදුවූයේ කුමක්දැයි මට සිතා ගැනීමට නොහැකි විය. බෲනෝ සොරාගෙ අත සපා කෑ නිසා ගිනිඅවිය ඔහුගේ අතින් ගිලිහී ගොස් තිබුණි. තාත්තා ඉක්මනින් පැමිණ සොරා අල්ලා ගත්තේය.
නමුත් සිදු වී ඇත්තේ කුමක් දැයි මට හරියට ම වැටහුණේ සුලු වෙලාවකට පසුවය.
බෲනෝගේ සුදුපැහැ ලෝම තට්ටුව ක්‍රමයෙන් රත් පැහැයට හැරෙන්නට විය. ඌ කෙඳිරිගාමින් බිම වැටී සිටියේ සොරාගේ වෙඩි පහර වැදීමෙනි.
මම වහා බෲනෝ ව තුරුලු කර ගත්තෙමි. නමුත් මා ප්‍රමාද වැඩිය. මගේ ජීවිතය රැක ගැනීම සඳහා බෲනෝ ඔහුගේ ජීවිතය පුද දීමට තීරණය කොට අවසන් ය.
පණඅදිමින් සිටි බෲනෝ අවසන් සුසුම් පොද හෙලුවේ මගේ දෑස් දෙස බලා ගෙනය. ඒ මගේ දසවන උපන්දිනය දවසේ මා දෙස බලා සිටි අහිංසක බැල්මම දෑසවල රඳවාගෙනයි.....
-නිමි-
~කිං~
උපුටා ගැනීමකි
No comments:
Post a Comment