අමුතු ආදර කතාවක්.
..............................................................................................
මේ ගෝතය හැමදාම පරක්කුයි. යාළුවට හිතින් බැන බැන ඌ එනකම් සුපුරුදු කට්ට කකා ඉද්දි ඔන්න වැස්සකුත් පටන් ගත්ත. මම ඉක්මණට මාර ගහ යට බස් හෝල්ට් එකට පැනගත්තෙ එතන හිටියනම් නැවකට නාන්න වෙන හින්ද. බස් හෝල්ට් එකේ බලු බල්ලෙක් නෑ. කම්මැළිකම යන්නත් එක්ක සින්දු කෑල්ලක් මුමුණන්න මරු වෙලාව. මගෙ උගුර බල්ලො කාපු ලාචෝරු වොයිස් එක මොකෙක්ටවත් ඇහෙන්නෙත් නෑනෙ.
"පාළොස්වක සඳ පායනු වැන්නේ
සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ
සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා..
පුරුවේ කළ පින් අපට කොයින්දා..."
කියල කටගන්න හම්බුනේ නෑ මේන් බොලේ එහා පැත්තෙන් සින්දුවෙ ඉතුරු ටික ඇහෙනව.
"සැතපෙන නින්දෙදි රෑ
තුන්යම හීන හතක් පෙනුණා
සඳ කිඳුරෙකු ලෙසිනා එම සඳ
ඔබෙ රුව නෙත ඇඳුණා..."
මම ෆුල් කොරවෙලා ඒ පැත්ත බැලුව. ජීවිතේ දැකපු ලස්සනම කෙල්ල තමයි ඒ හිටියෙ. පට්ට වොයිස් එකක්. එයා බිම බලාගෙන හිනාවෙවී ඉන්නව.
මම ගොනා හොල්මන් වෙලා. ඒ මදිවට විලි ලැජ්ජාවෙ පන යනව මගෙ ටකරන් වොයිස් එක මතක්වෙද්දි.
මාත් ඇරියෙ නෑ. වෙච්ච දේට වට් ටු ඩූ කියල ලැජ්ජාව බිමින් තියල සින්දුවෙ ඉතුරු ටිකත් ඇදල දැම්ම.
"සියුමැලි වත දකිනා
මා සිත ආල මතින් බැඳුණා
මියුරු තෙපුල් නඳනා
සවනත බිඟු ගී රැව් නඟනා..."
හම්මට මෙන්න මෙයා ආයිත් හිනාවෙවී ඉතුරු ටික කියනව. මම කොරේ කොර.
"කියා ගන්න බැරුවා
හිතු දේ තොල් අතරේ රැඳුණා
මනාප දෝ මන්දා
මා සිත ආදර මල් පිපුණා.."
එයාට හිනා. මට දැන් ගොත ගැහෙනව. කතා කරන්න කියල හදනකොටම කොහෙදෝ ඉඳල ආපු බස් පඩංගුවක් නැවැත්තුවනෙ. එයා දුවල ගිහින් ඒකට නැග්ග. පිටිපස්සෙ දොරෙන් බැස්සෙ මගෙ යාළුව.
.................... යාළුව - අඩේ සොරි බන්. වැස්ස හින්ද බස් එක ලේට් උනා.
.................... මම - අපරාදෙ ඕයි, තව ටිකක් ලේට් වෙන්නනෙ තිබුනෙ උඹටයි බස් එකටයි දෙකටම. කොහෙද ඉතින්. දැන් ඉතින් වරෙන් යන්න ගස් කෝඳුරුව වගේ ඔතන හිටගෙන ඉන්න නැතුව.
මම ඌවත් ඇදගෙන හෙමින් හෙමින් කන්ද උඩ පාර පැත්තට ඇවිදගෙන ගියේ වෙච්ච සිද්ධියත් කියන ගමන්.
....................................................................................................
එදා රෑ මට නින්දක් නෑ. දරුණුවට ටොපිය සෙට්වෙලා තිබුනෙ. පහුවදා එතෙන්ට යනකම් මට නිවනක් තිබුනෙම නෑ. වෙනදටත් වඩා පැයකටත් කලින්ම මම බස් හෝල්ට් එක මුර කරන්න පටන් ගත්ත.
වෙලාව ගියා... ඒත් එයා ආවෙ නෑ.
මන් ඉතින් මටම හිනාවෙලා හිත හදාගත්ත. පාරෙදි කොයිතරම්නම් ලස්සන කෙල්ලො දකිනවද. ඒත් ඒ කීයෙන් කී දෙනාද ආපහු දකින්නෙ. මටත් පිස්සු නැත්නම් ෂෝක්....
සුපුරුදු විදියටම යාළුවත් ඇවිත් බස් එකෙන් බැස්ස. බස් හෝල්ට් එක තල වවුලන්ට බාර දීල එළියට බහිද්දි තමයි දැක්කෙ අර ළමය බස් එකේ ඉඳන් මන් දිහා බලන් ඉන්නව. එයාට හිනාවක් ගියා. මගෙ පපුව ඇතුලෙ මියුසිකල් ෂෝ එකක් පටන් ගත්ත ඒ වෙලාවෙම. අලි කෙළි ගොඩයි. මම පියවි සිහියට එනකොට බස් එක අද්දලත් ඉවරයි. හැබැයි මෙයාව ආයිත් මෙතනදිම සෙට්වෙනව කියන එකනම් දැන් ඉතින් මට ෂුවර්. උන්නු හැටියට මළා මදැයි කියල මාත් ෆුල් ජොලියෙ පාරට බැස්සෙ යාළුවටත් කිස් එකක් දීගෙන.
.................................................................................................
මම පහුවදත් සුපුරුදු වෙලාවට මගේ බස් හෝල්ට් මාළිගාවට සැපත්වෙලා කේජු කෑල්ල වැටෙනකම් හිටපු නරිය වගේ අනිමිසලෝචන පූජාව පටන්ගත්ත.
එයා ආවෙ නෑ.... බස් එක ආව. ඒත් ඒකෙත් එයා පේන්න නෑ.
ඔන්න ඉතින් දැන් තනි අවුල. මොනව කරන්නද මැරෙන්නයැ. මිනිස්සුන්ට හැමදාම එන්නත් බෑනෙ කියල සිත නිවන කතාවකුත් කියාගෙනම එදා දවසෙ වැඩේ ක්ලෝස් කළා.
පහුවදත් ගියා.... ඊට පහුවදත් ගියා... දවස් හතරක්ම ගියා. ඒත් එයා ආවෙ නෑ.
අහෝ මිත්‍රවරුනි කියන්න කණගාටුයි කොල්ලගෙ තත්ත්වය අතිශය ශෝචනීයයි. ඒ බලාපොරොත්තුව අත් ඇරල දාල මම ආපහු සුපුරුදු තත්ත්වයට අනුගත උනා. ආයිත් පෙර පරිදිම යාළුව එනකම් බස් හෝල්ට් එකේ සින්දුවක් කියාගෙන ඉන්න එක තමයි ඉතින් සුපුරුදු තත්ත්වය. ආපහු බැස්ස මම මගේ විකාරද සංගීත දිවියට.
"පිපුනු මලක හැඩ දෑස සලා
සිතුම් විහඟ කැල වසඟ කළා
මගතොට රැඳි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කළා....
කවුරුද ඔබ මා ඉන්නේ කොතනා
නොම විමසා පෙම ඉඟිමැරුවා
සොඳුරු වසන්තෙක මොහොතක සුවපා
වෙන්වූවා අප සුසුම් දරා....
මතකේ රැඳෙනා පෙර රූ ඡායා
හමුවේ දෝ යළි සිත සනහා
ඔබේ නමටයි මා පාරමි පුරනා
ඇසේවී දෝ මේ ගී මාලා..."
කියල දිග හුස්මක් ගත්ත විතරයි කවුදෝ එහා පැත්තෙන් හම් කරනව ඒකම.
"හ්ම් හ්ම් හ්ම්... හ්ම්ම්ම්
හ්ම් හ්ම් හ්ම්... හ්ම්ම්ම්.....
..... සොඳුරු වසන්තෙක මොහොතක සුවපා
වෙන්වූවා අප සුසුම් දරා...."
දෙයියනේ.... එයා ඇවිත්.
මට උඩ පැනල නටන්න හිතුන..
.................... මම - කොහෙද හත්තිලව්වෙ ගියේ?
ෂික්කේ... ගම කෑවනෙ. මොන ලබ්බක්ද මම ඒ ඇහුවෙ? මම හිතුවෙම වැඩේ එතනම ජෝන් බාස් උනා කියල.
ඒත් එයාගෙ කිසිම වෙනසක් තිබුනෙ නෑ. ඇස් දෙකත් ලොකු කරන් හිනාවෙවී මන් දිහා බලන් ඉන්නව.
.................... මම - නෑ මේ, මම ඇහුවෙ සින්දු කියන්න කෙනෙක් නැතුව පාළුවෙන් හිටියෙ ඒකයි. මම හිතුව ඊට පස්සෙත් ඉඳී කියල.
ඔයා මේ කිට්ටුවද?
.................... එයා - ඔව්
ඔන්න ඔහොම ඉතින් තවත් එක කතාවක් පටන් ගත්ත.
.................................................................................................
ඔය විදිහට හැමදාම හවසට අපි දෙන්න මුණගැහුන. සින්දුවලින් පටන්ගත්තු අපේ කතාවෙ නිතරම වගේ ප්‍රධාන මාතෘකාව උනෙත් කලාව ගැන තමයි.
දැන් සතියක් විතර ගියා. යකෝ ඉතින් හැමදාම එකම දේ කතා කරන්න පුලුවන්ද මෙලෝ මිනිහෙක්ට. මම හිතුව ට්‍රැක් එක මාරු කරන්න. තවම අපි දෙන්නම අපි ගැන හාල් ඇටයක් තරම් දෙයක්වත් දන් නෑ නමේ මුල කෑල්ල ඇරෙන්න. ඒ මොක උනත් හැබැයි මේ වෙද්දිත් මම කරටි කඩාගෙන එයාට ලව්. ඔව් ඉතින් පොඩි කාලෙ ඉඳන්ම මම හෙන මී හරක කියල හුඟක් අය කියල තියෙනව.
.................... මම - ඔයාගෙ ගෙවල් තියෙන්නෙ කොහෙද?
.................... එයා - ගොඩා......ක් දුර.
එන්නද ඇහුවෙ?
.................... මම - අනේ නෑ, මම මේ ජන හා නිවාස සංගණනයක් කරනව. ඒකට ඇහුවෙ.
.................... එයා - අප්පෝ හරි හරි ඉතින්. මම කියන්නම්. ඇත්තටම ඇයි අහන්නෙ?
.................... මම - අහන්න තහනම්ද? අකමැතිනම් ඕනෙ නෑ.
.................... එයා - ඕකනෙ ඉතින්. එහෙම දෙයක් නෙමෙයි අනේ.
.................... මම - අපි මෙහෙම කතා කළාට මම ඔයා ගැනවත්, ඔයා මන් ගැනවත් දන් නෑනෙ. ඒකයි මම....
.................... එයා - අයියෝ මම ඔයා ගැන දන්නව.
මාව කොරවෙලා ගියා ඒ දීපු උත්තරේට. ඒ කියන්නෙ මෙයා මන් ගැන හොයලද?
.................... මම - දන්නව? මොනවද දන්නෙ.
.................... එයා - ඔච්චර බයවෙන්න එපා මෝඩයො. කෙල්ලො කී දෙනෙක් එක්ක යාළුවෙලා හිටියද කියල මම දැනගත්තෙ නෑ.
මෙයා මේ මඟුළක් කතා කරනව. මම කල්පනා කළේ එහෙම රෙද්දක් ගැන නෙමෙයි.
.................... මම - හරි හරි දැන් මොනවද දැනගත්තෙ මම ගැන?
.................... එයා - ඔයාගෙ සම්පූර්ණ නම මිථිල හරේන්ද්‍ර ඒකනායක... ගම මාතලේ.. ඒත් දැන් පදිංචිය නුවර... පවුලෙ එකම දරුව... ජොබ් එක පොත් ලියන එක... තව එතකොට...
.................... මම - හෝව් හෝව් හෝව්.... ඔච්චර විස්තර හොයාගත්තෙ කොහොමද?
.................... එයා - අනේ මෝඩයො... ඔයා ලියපු සේරම පොත් මගෙ ළඟ තියෙනව. මම ඔයාගෙ හොඳ රසිකාවියක්.
.................... මම - ඒ කියන්නෙ ඔයා මාව...
.................... එයා - ඔව් ඔව්... ඔයාව පළවෙනි දවසෙම මම අඳුනගත්ත. ඒත් ඔච්චර කැතට සින්දු කියනව කියලනම් දැනගත්තෙ එදාමයි.
විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. එහෙමත් කින්ඩිය දානවද. හරි වැරදිනෙ. අපි පව්නෙ. කෙල්ලො ඔහොම්මමයි.
.................... මම - ඉතින් ඇයි කිව්වෙ නැත්තෙ?
.................... එයා - දන් නැහැ.
එයා බිම බලාගත්ත. ඒ ප්‍රශ්නෙට උත්තරයක් එයාට තිබුනෙ නෑ. මොහොතකට අපි අතර තිබුනෙ නිහඬතාවක් විතරයි. මට ඒක බිඳින්න ඕනෙ උනත් අහන්නවත් කියන්නවත් දෙයක් ඔළුවට ආවෙ නැහැ.
.................... මම - මම ලියපුවට එච්චරටම කැමතිද?
.................... එයා - ඔව්. කවිවලට.
.................... මම - දැන් මම ගැන ඔච්චර දේවල් දන්න මේ ගෑණු ළමය ගැනත් කියමුකො එහෙනම්.
.................... එයා - මම ඉතින් සාමාන්‍ය කෙල්ලෙක්නෙ, ඔයා වගේ ෆේමස් නෑ.
.................... මම - ඉතින් මක් වෙනවද? සාමාන්‍ය කෙල්ලගෙ සම්පූර්ණ නමවත් මම දන්නෙ නෑනෙ.
.................... එයා - සෙව්වන්දි.
.................... මම - ඒක ඉතින් මම දන්නවනෙ මෝඩයො.
.................... එයා - ඒ ඇතිනෙ. සම්පූර්ණ නම මොකටද?
.................... මම - නෑ මේ ඔයාගෙ තියෙන වාසගම මොකක් උනත් ඒක අයින් කරල මගෙ ඒකනායක කෑල්ල දාන්න බැලුවෙ.
කොහොමත් මගෙ කටට බ්‍රේක් නෑ කියල මම දන්නව. ඒ කියපු ටිකටම කෙල්ලගෙ මූණ කළු උනා. මගෙ මූණ දෙක උනා.
.................... මම - අනේ මම විහිළුවට කිව්වෙ.
.................... එයා - විහිළුවට?
අප්පටසිරි ඒ පාර අඬන සයිස් එකෙන්. කවද කාපු මාළු පාන්ද මේව. දැන් දෙන්න උත්තරයක් නැතුව මටත් ඇඬිල.
.................... මම - නෑ නෑ. විහිළුවට කිව්වට විහිළුවටම නෙමෙයි. ඒක සීරියස් විහිළුවක්. නෑ මම කිව්වෙ විහිළුවක් වගේ සීරියස් කතාවක්.
මොන කෙහෙල් ඇවරියක්ද මම මේ කියවන්නෙ.
.................... මම - මම සීරියස් ඇහුවෙ සෙව්වන්දි. මට ඔයා ගැන දැනගන්න ඕනෙ. මම ගෙදරින් ඇවිත් අහන්නම්.
එයාගෙ ඇස් දිලිසෙනව. ඒත් බිම බලාගත්ත ගමන්මයි. මූණෙ තිබුනෙ මම කවදාවත් දැකල නැති ශෝකී බවක් විතරයි. මට බය හිතුන. මම ගම කාගත්තවත්ද? ඇයි හත්දෙයියනේ හම්බවෙලා සතියක්වත් නැතුව කෙල්ලෙක්ට ප්‍රපෝස් කරන්න ගියාම ඉතින් එහෙම නොවී තියෙයිද?
.................... එයා - සෙව්වන්දි අප්සරා දිසානායක.
.................... මම - මොකක්ද?
.................... එයා - ඒ මගෙ සම්පූර්ණ නම.
මම දෙයක් අහන්න හැදුවත් එතකොටම වගේ බස් එක ආව. එයා යන්න නැගිට්ට.
.................... මම - ඔයා මට උත්තරයක් දුන් නැහැනෙ.
එයා ආපහු මගෙ ළඟට ආව.
.................... එයා - ඔයාට මාව පොඩ්ඩක්වත් මතක නෑ නේද?
හෙට මේ වෙලාවට මෙතන එහා පැත්තෙ වත්තෙ ගේට්ටුව එක්කම තියෙන රොබරෝසිය ගහ යටට ඇවිත් ඉන්න. ඔයාගෙ සේරම ප්‍රශ්නවලට උත්තර ලැබෙයි.
එහෙම කියල එයා බස් එකට නැග්ග. මොකක්ද ඒ කිව්ව අණ්ඩර දෙමළෙ? මාව නිකන් ලිස්සන ගහෙන් වැටුන වගේ. දැන් ඉතින් ඉඳහන්කො හෙට වෙනකම් කොට්ටම්බ ගෙඩිය හිරවෙච්ච වවුල වගේ.
.................................................................................................
මට බස්වලින් පුදුම අපලයක් තියෙන්නෙ. වෙලාවටත් කලින් එන්න හැදුවට මේ බර කරත්තෙ කැඩුනනෙ. අලි මදිවට හරක් කියල වහිනවත් එක්ක. කොහොම කොහොමහරි මහ වැස්සෙ තෙමීගෙනම මම බස් හෝල්ට් එකට ආව. එයා පේන්න හිටියෙ නැහැ. හොඳටම කරුවල වෙලා තිබුනෙ වැස්ස නිසා. මේ කරුවලේ මෙයා මම එනකම් ගහක් යට ඉඳීද? ඒත් එයාගෙ බස් එකට තව වෙලාව තියෙනව. ඕනෙ පරිප්පුවක් දෙකයි පනහයි කියල මම කන්ද උඩ පාරෙ එයා කිව්ව වත්ත පැත්තට යන්න පටන් ගත්ත. ඒ වෙද්දි වැස්ස පායල. ඒත් කරුවල හින්ද ගහ හොයාගත්තෙත් හෙන අමාරුවෙන්. කෙල්ලෙක් තියා බල්ලෙක්වත් නෑ.
මටත් පිස්සුනෙ. මේ වැස්සෙ කෙල්ලෙක් ඉඳීද මම එනකම් මෙතන. මම එහෙම්මම ගහ යට තිබුන කොන්ක්‍රීට් ලෑල්ල උඩ ඉඳගෙන කල්පනා කරන්න ගත්ත මොකක්ද මේ අපබ්‍රන්සෙ තේරුම කියල.
වැස්ස සම්පූර්ණයෙන්ම නතරවෙලා හඳ එළියත් ටික ටික වලාකුළු අස්සෙන් වැටෙන්න ගත්ත. හඳ එළිය වැටෙද්දි වත්ත පුරාම තිබුනු පොඩි පොඩි ගස් වගේම තව මොන මොනවදෝ කණු වගයක ඡායාව මට පේන්න ගත්තෙ මේ වෙලාවෙ.
මගෙ කටේ කෙළ හිඳුන. මළ හත්තිලව්වයි. මේක කනත්තක්.
මට එක පාරටම සීතලක් දැනීගෙන ගියා. ඒත් මට බයක් දැනුනෙ නෑ. ඒ මොහොතෙම නිකමට වගේ මට මම ඉඳගෙන හිටපු තැන දිහා බැලුන. හුටා.. ඒකත් සොහොනක්.
දඩ බඩ ගාල නැගිටපු මම එතනින් මාරුවෙන්න හදනකොටම තමයි ඒ සොහොන්කොත දැක්කෙ.
"සෙව්වන්දි අප්සරා දිසානායක
උපත - 1990 මාර්තු 14
විපත - 2016 සැප්තැම්බර් 12"
ඊට උඩින් එයාගෙ ලස්සන ෆොටෝ එකක් තිබුන.
මම බයවුනා කියලද හිතුවෙ? නෑ. ඒත් පුදුමාකාර දුකක් එක්ක මිශ්‍රවුන කියාගන්න බැරි හැඟීමක් මට දැනෙන්න ගත්ත.
................................................................................................
මගෙ ඔළුවෙ වැඩ කළේ එක ප්‍රශ්නයක් විතරයි. ඒ එයා එදා මගෙන් ඇහුව "ඔයාට මාව පොඩ්ඩක්වත් මතක නෑ නේද?" කියන ප්‍රශ්නෙ. මට මතකයක් කියල නාමයක් නෑ. මොන ලෝකෙන්ද මේකට උත්තරයක් හොයාගන්නෙ. එයා ආපහු එයිද?
ආත්මයක් උනත්, අවතාරයක්, හොල්මනක් තියා මොන මළදානයක් උනත් මට එයාව දකින්න ඕනෙ උනා.
පුරුෂ ධෛර්ය්‍ය අතින් අරගෙන මම එදත් ගියා බස් හෝල්ට් එකට. එදත් වැස්ස.
.................... එයා - තරහද?
මම දන්නෙම නැතුව එයා ඇවිත්. මේ මොහොතට මුහුණ දෙන්නෙ කොහොමද කියල මම දහ අතේ කල්පනා කළත් මට ඒකට උත්තරයක් තිබ්බෙ නෑ. ඒත් මම හිතුව තරම් වැඩේ අමාරු උනෙත් නෑ. මට එයා ගැන තිබුනෙ පරණ තිබුන හැඟීමමයි.
.................... මම - නැහැ.
.................... එයා - ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර ලැබුන නේද?
ඒ මූණෙ තිබුනෙ මාරම දුකක්.
.................... මම - ඔව්.... ඒත් මට කිසි දෙයක් මතක නැහැ. කොහොමද මෙහෙම දෙයක්...
.................... එයා - මම මැරුණෙද?
මට කළින්ම එයා ප්‍රශ්නෙ සම්පූර්ණ කළා.
.................... මම - ඔව්.
.................... එයා - ඇක්සිඩන්ට් එකකින්.
.................... මම - ඒත් ඔයා මගෙන් ඇහුව මට ඔයාව මතක නැද්ද කියල... ඇත්තටම මට මතක නෑ. මොකක්ද සම්බන්ධෙ.
.................... එයා - ගිය අවුරුද්දෙ ඔයාගෙ කවි පොතක් එළි දක්වන උත්සවේට මාත් ආව. මට ඔයාව දකින්න පුදුම ආශාවක් තිබුනෙ. ඔයා හෝල් එක ළඟින් ඇතුලට යද්දිම මම ඔයාව දැක්ක. ඒ වෙලාවෙම මම ඔයා ළඟට එන්න පාර පනිද්දි තමයි අනිත් පැත්තෙන් ආපු බස් එකට හැප්පුනේ. ඔයාට මතකද?
ඒ වෙලාවෙ මගෙ ඔළුව ඇතුලෙ විදුලියක් කොටනව වගේ දැනුන. මට මේ සිද්ධිය මතකයි. ඒත් පැහැදිලි නෑ. මම මතක් කරගන්න ගොඩක් උත්සහ කළා. ඒ එක්කම මගෙ ඔළුවට යමක් දැනුන. මම එයා දිහා බැලුව. ඒත් එයා හිටියෙ නෑ. මට හැමදෙයක්ම ඡායාවක් වගේ මැවෙන්න ගත්ත. මම ක්ෂණිකව කනත්තෙ ගහ යටට දුවන්න පටන් ගත්තෙ පිස්සු හැදුනු මී හරකෙක් වගේ.
ඒත් මම හොයපු දේ එතන තිබුනෙ නෑ.
මම ඒ ගහේ අනිත් පැත්තට ගියා. මෙන්න තියෙනව මම හොයපු දේ.
"මිථිල හරේන්ද්‍ර ඒකනායක
උපත - 1987 ජනවාරි 20
විපත - 2016 සැප්තැම්බර් 12"
මගෙ සොහොන....
ඒ සැණෙකින් මට හැමදෙයක්ම මගෙ ඉස්සරහ මැවෙන්න ගත්ත.
එදා මගෙ බුක් ලෝන්ච් එක දවස. මම යාළුවත් එක්ක බයික් එකෙන් ඇවිත් බැස්සෙ හොඳටම ලේට් වෙලා. හෝල් එකේ තව වැඩ ගොඩයි. මම ඇතුලට යන්න හදද්දිම කවුද කෙල්ලෙක් දුවගෙන ඇවිත් මෝඩය වගේ පාර පනින්න හදනව මට එක පාරටම මීටර් උනේ අනිත් පැත්තෙන් කෙළගෙන ආපු බස් එක ඊට කලින් දැකපු හින්දමයි. ඒ වෙලාවෙ මොනව උනාද මට මතක නෑ. මම ඒ කෙල්ලව බේරගන්න පාරට පැන්න. එයාගෙ අතින් අල්ලගන්නව විතරයි මට මතක. යන්තම් ඔළුව උස්සල බලද්දි දැක්කෙ ඒ බස් එක කන්ට්‍රෝල් නැතුව අනිත් පැත්තට ගිහින් මගෙ යාළුව හිටපු බයික් එකේ හැප්පෙනව. අනිත් පැත්ත හැරෙද්දි මම දැක්කෙ මගෙ අත අල්ලගෙන වැටිල හිටපු අර ගෑණු ළමයගෙ ලස්සන මුහුණ. ඒ සෙව්වන්දි.
මම දිග හුස්මක් අරන් නැගිටිද්දි එයා මගෙ ළඟ. බිම බලාගෙනම.
.................... එයා - මට සමාවෙන්න. මේ හැමදෙයක්ම මම නිසා.
මොනව කියන්නද මට තේරුනේ නෑ. මම එයාව ළඟට අරගෙන නළල සිපගත්තෙ කවදාවත් දැනුනෙ නැති හැඟීමකින්.
.................... මම - දැන් ඉතින් හැමදාම මේ ටකරන් වොයිස් එකෙන් සින්දු අහන්න වෙයි.
මම එයාගෙ අත පටලවගෙන සින්දු කෑල්ලකුත් කියන ගමන් හෙමින් හෙමින් කන්ද උඩ පාර පැත්තට යන්න ගත්ත. ඒ යද්දි එයා මට තව දෙයක් පෙන්නුව. ඒ මගෙ යාළුවගෙ සොහොන.
No comments:
Post a Comment