ශිෂ්‍යත්ව විභාගය

"ශිෂ්‍යත්ව විභාගය"
කෙටි කතාව

"තරූ.... මෙහෙ වරෙන්. උඹ මොකද්ද මේ ලියල තියෙන්නෙ. උඹේ මොලේ තියෙන්නෙ මොනවද? මී හරකා. ඉඳපං මම අප්පච්චි ආවම කියන්න." දිනේකා කෑගැහුවෙ ඇගේ ලොකු පුතාට.

තරූන් ලබන අවුරුද්දෙ ශිෂ්‍යත්වෙ ලියනවා. අම්මගෙන් කොච්චර බැනුම් ඇහුවත් අප්පච්චිගෙන් ගුටි කෑවත් තරූන්ට නෙමෙයි ගානක් උනේ. ගහද්දි ටොකු අනිද්දි ඇඬුවත් ටිකකට පස්සෙ එහෙම දෙයක් උනාද කියලවත් මතක නෑ. මල්ලිත් එක්ක නටන එකමයි වැඩේ. පුංචි කාලෙ ඉඳන්ම තරූන්ගෙ දක්ෂතා තිබුනා. ඉගෙනීමටත් ඔහුට උපතින්ම හැකියාවක් තිබුනා. ඒත් අම්මගෙත් අප්පච්චිගෙත් ඇණුම් බැණුම් නිසාම කොල්ලා මුරණ්ඩු වෙලා. කියන කිසිම දෙයක් කනකට ගත්තෙ නෑ.

"අම්මේ මේ අයියා ගහනවා..." එෂාන් කෑ ගහනවා. දිනේකා එන්නෙ වරම අතට අරන්.

"තරූ මෙහෙ වරෙං මම ආයෙ කියන්නෙ නෑ. මකනවා මම අද." දිනේකා තරූන්ව බිම දිගේ ඇදගෙන කාමරේට යනවා.

"අනේ අම්මේ ගහන්න එපා. අම්මේ අනේ..." තරූන් අඬන්නෙ දැන් සම්බෝල වෙනවා කියලා දන්න නිසාමයි. පන්තියෙ අනිත් යාලුවො අම්මලා අප්පච්චිලා එක්ක නිවාඩු දවසට ට්‍රිප් යනවා. විනෝද වෙනවා. ඒත්. කවදාවත් තරූන්ට ඒ ලස්සන ජීවිතේ තිබුනෙ නෑ. ඔහුට තිබුනෙ පොඩ්ඩ වැරදුන ගමන් අම්මගෙන් අප්පච්චිගෙන් අම්බානකට ගුටි කන්න වෙන ජීවිතයක්.

"අයියෝ ආව් ... අනේ... අම්මේ.. එප... එපා.... අනේ.... ආව්... ආච්චී... අනේ.." එච්චරයි. කොල්ලගෙ සද්දෙ නවතිනවා. පුංචි ඉකි බිඳුමක් විතරයි ඊට පස්සෙ ඇහෙන්නෙ.

"ඔය ලමය මැරේවි. මුන්ට දුක නැද්ද දෙයි හාමුදුරුවනේ අර පුංචි කොල්ලට මෙයාකාර ගහන්නෙ." ආච්චි බැන බැන කාමරේ දොරට තඩි බානවා.

තරූන්ව කාමරේට දාලා දොරත් ලොක් කරලා ගිහින් දිනේකා අල්ලපු ගෙදරට යනවා.

"මේ යක්ෂණී අර කොල්ලව කනවනෙ අම්මපා." තරූන්ගෙ ආච්චි හූල්ලනවා.

එෂාන් ඒ අතරේ ගිහින් කාමරේ ලොක් එක ඇරලා අයියව බලන්න යනවා. ඇඟ පුරාම රතු වෙලා තුවාලත් වෙලා. එෂාන් චූටි උනත් පසු තැවීමක් ඇති වෙනවා අයියට ගුටි කන්න උනේ තමන්ගෙ කෑගැහිල්ල නිසා කියලා.

"ශාන්...." දිනේකා අල්ලපු ගෙදර ඉඳන් කෑගහනවා.

"මල්ලි යන්න... ගුටි කන්න වෙයි." ඉකිබිඳුම අතරෙ තරූන් මල්ලිව කාමරෙන් යවනවා.

"ශාන්... මෙහාට එනවා..." දිනේකා ආයෙත් කෑගහද්දි එෂාන් ඒ ගෙදරට යනවා.

තරූන් මෙහෙම ගුටි කන්න ගුටි කන්න ඔහු තවත් මුරණ්ඩු වෙනවා.

හවස අප්පච්චි එනකොටත් තරූන් කාමරේ. එෂාන් දුවගෙන යනවා අප්පච්චි එන පෙරමගට.

"අප්පච්චී අයියා කෑවා අද හොඳටම." එෂාන් කේලම අප්පච්චිගෙ කනේ තියන්නෙ හිනා වෙවී. පුංචි කමට ඌත් අම්මගෙම පුතා.

"මූත් අර යකිණ්නිගෙම තමයි. කපාපු පලුව." ආච්චි තනියම මුමුණනවා.

ටික වෙලාවක් යනකන් කිසිම සද්දයක් නෑ. ඒත් ආයෙත් මොහොතකින්...

"තරූෂ මෙහේ එනවා." ඒ අප්පච්චි. චාමික.

තරූෂ ඇරුනු දොරෙන් සාලෙට යන්නෙ බයේ ගැහි ගැහි. සමහර දවසට අම්මා මදිවට අප්පච්චිත් ගහනවා.

"වාඩි වෙනවා මෙතනින්." චාමික සැර කලා.

තරූෂ ගැස්සිලා ගියා අප්පච්චිගෙ සද්දෙට. පුටුවෙ අගිස්සෙන් වාඩි උනේ දැන් නැතුවට දැන් කන්න වෙයි කියලා බයෙන්.

"ඇත්තද පේපර් එකට බොරු ලියලා කියන්නෙ?" චාමික ඇහුවෙ ටිකක් සද්දෙන්.

"නෑ අප්පච්චී. මම දන්නෙ නෑ." තරූෂ ගොත ගගහා කියද්දි චාමිකට කේන්ති ගියා.

"උඹ මොකද දන්නෙ නැත්තෙ. උඹ ඉස්කෝලෙ පන්ති යවන්නෙ ඉගෙනගන්න. නැතුව වෙන දේවල් වලට නෙමෙයිනෙ. අර කවීෂා හොඳට ලකුණු ගන්නකොට උබට විතරක් බැරි මොකද? ආයෙ වැරැද්දුවොත් මම උඹව එල්ලනවා." චාමික සද්දෙන් කියලා කාමරේට ගියා. තරූෂ බයේ ගැහි ගැහී එහෙම්මම හිටියා.

"තරූ මේ කෑම එක කනවා..." දිනේකා කතා කරා. තරූන් නැගිටලා හෙමිහිට කාමරේට කලා. තරූන්ට තේරෙන වයසෙ ඉඳන්ම ගොඩාක් දවසට ඔහුට හිමි උනේ මේ ඉරණම තමයි. කෑම කන්න වෙන්නෙත් කලුවර කාමරේ ඉඳන්.

වසරක් ගත උනා. ශිෂ්‍යත්වෙට මාසයයි.

"තරූ උඹ නම් හදන්න පුලුවන් එකෙක් නෙමෙයි. මට නම් ඇති වෙලා තියෙන්නෙ. බලපං අර කවීශා කොච්චර හොඳ ලකුනු ගන්නවද." දිනේකාටත් තරූන්ට ගහලම ඇති වෙලා තිබුනෙ. තියෙන හැම පන්තියකටම යැව්වා. ඒත් තරූන්ට ලකුනු අඩුයි.

"ඒයි මේ... මේ විදියට නම් තරූ විභාගෙ පාස් වෙන එකක් නෑ." දිනේකා කියන්නෙ චාමික නිවාඩු දවසකදි.

"ඉතිං මොකක් කරන්නද? මකන්න බෑනෙ." චාමික කිව්වෙ තරහෙන්.

"හරි ඉතින්. ඒයි... ශෝක් සර් කෙනෙක් ඉන්නවලු. සතියෙන් පේපරේට ලේස්ති කරනවලු. කවීශාත් ඒ පන්තියට යනවලු."  දිනේකා මේ කියන්නෙ සිකුරාදා ඉස්කෝලෙ ගේට්ටුව ලඟදි ඇහුන කතාවක්. තරූන්ගෙ ගෙදරට ගෙවල් දෙකක් එහායින් තමයි කවීශාගෙ ගෙදර තිබුනෙ. ඇගේ අම්මා ඇයට නිදහසේ ඉගෙන ගන්න ඉඩ දුන්නා. කවීශාට කවදාවත් මේ වගේ සැර කරලා ගහලා නෑ. දිනේකාට ඕන උනේ කවීශාට වඩා හොඳට තරූන්ට උගන්නන්න.

"හ්ම්ම්... ඒකටත් දාමු එහෙනම්." චාමික ලොකු හුස්මක් හෙලමින් කිව්වා.

"අද පටන් ගන්නවලු ඒයි. තව පැයකින්." දිනේකා කිව්වෙ ඔරලෝසුව දිහා බලමින්.

"තරූන්... ලේස්ති වෙනවා පන්ති යන්න." චාමික කතා කරා.

"අප්පච්චි අද නිවාඩුයිනෙ." තරූන් කිව්වෙ මූණත් එල්ලගෙන ඇවිත්.

සතියෙ දවස් පහේම ඉස්කෝලෙ හවස පහ වෙනකන් පන්ති. සෙනසුරාදා දවසෙම පන්ති. ඉරිදා විතරයි නිවාඩු තිබුනේ. චාමික මුකුත් කිව්වෙ නැතුව තරූන් දිහා බලන් හිටියා.

"අද දවසත් හරි." තරූන් එහෙම හිතමින් කාමරේට ගිහින් ලේස්ති උනා.

"මේ ඒයි මෙයාව පන්තියට දාලා ඉක්මණට එන්න. අර පූජාවට යන්න ඕනෙ." දිනේකා චාමිකලා යන මගට දුවලා කියනවා.

"දැන් ඉතින් මේ මාසෙම පන්සල් වල දේවාල වලවත් ගිහින් මේකව ගොඩ දාගන්න ඕනෙ." දිනේකා තනියම කියව කියවා ගෙට ගියා.

"දෙයියොවත් බලන්නෙ නෑ තොපේ අමුනුස්සකම් දිහා. නෙද්දකින් විතරක්. තූහ්.." ආච්චි කෙලත් ගහලා කාමරේට යන්නෙ තරහෙන්.

දේවාල වල ගිහින් බලි තොවිල් සේරම නටලා ඉවර වෙලා කොහොම හරි තරූන්ව අන්තිම ටිකේ බාගෙට මරලා විභාගෙට යැව්වා. තරූන් ගිහින් පුලුවන් උපරිමෙන් විභාගය ලිව්වෙ ෆේල් උනොත් අම්මයි අප්පච්චියි තමන්ව මරයි කියන බයේ.

විභාගෙ ලියලා මාස දෙකයි රිසාල්ට් එනවා. ෆෝන් එකෙන්ම රිසාල්ට් බලනවා. තරූන් විභාගෙ ෆේල්.

"මට මූට දෙන්න පුලුවන්. අනේ ඇත්තට..." දිනේකා පැන්නෙ තරූන්ගෙ බෙල්ලෙන්ම අල්ලගන්න. ඒත් චාමික ඇයව නැවැත්තුවා.

"දැන් ගහල වැඩක් නෑනෙ." චාමික අවුලෙන් කිව්වා. දිනේකා අඬාගෙන කාමරේට ගියා.

"මං කොහොමද අනිත් එවුන්ට මූණ දෙන්නෙ. ලැජ්ජාවෙ පන යනවා. ශුවර් එකට කවීශා පාස් ඇති. ඒකිට වගේද මූට මොනවද මම අඩු කලේ." දිනේකා කියව කියව ඇඬුවා.

"අපොයි ඔව් මුකුත් අඩු කරේ නෑ. පුංචි එකාව නොමරා මැරුවා. දැන් හරියට කියන්නෙ මල් වට්ටිය වගේ හැදුවා වගේ." ආච්චි කාමරේ ඉඳන් වෙනදා වගේම තනියම කියෙව්වා.

"අර එහා ගෙදර එකාත් පාස්ද බලන්න අනේ. මට එලියටවත් බහින්න බැරි වෙයි." දිනේකා කාමරේට ආව චාමිකව ආයෙත් එලවගත්තා.

"මදැයි අපරාදෙ දේවාල ගානෙ වියදම් කරපු සල්ලි." චාමික මුමුණ මුමුණා සාලෙට ආවා.

තරූන් මේ හැමදේම දිහා බලන් ඉඳලා එලියට ගියේ

"මම ෆේල් උනා කියලා අම්මටයි අප්පච්චිටයි දුක මං ගැන නෙමෙයි." තරූෂ එහෙම කියමින් මිදුලෙ බංකුවෙන් වාඩි උනා.

සමාප්තයි.

ශිෂ්‍යත්වය කියන්නෙ මහා ලොකු විභාගයක් නෙමෙයි. පුංචි දරුවන්ට උන්ගෙ ලෝකෙ දෙන්න. ඉගෙන ගන්න ඕනෙ තමයි ඒත් දරුවට ස්ව අධ්‍යනයේ යෙදෙන්න ඉඩ දෙන්න. දරුවට ඉගෙන ගන්න වගේම පොඩි දරුවොන්ට ලමා කාලය දෙන්න. සමහර අම්මලා ඉන්නවා ශිෂ්‍යත්වෙට ලමයව මරලා මරලා ඊට පස්සෙ අත ඇරලා දානවා. ලමයා ගැන හොයන්න බලන්නම ඕනෙ කාලෙදි ලමයි අත අරිනවා. ඊට පස්සෙ ලමයා විනාශ වෙනවා.

ගොඩක් ශිෂ්‍යත්වෙ පාස් උන ලමයින්ට වඩා ශිෂ්‍යත්වෙ ෆේල් දරුවො එතනින් එහා විභාග හොඳට පාස් වෙනවා. ඒක ඇත්තක්.

තෙරුවන් සරණයි!

ශෙරංගි ශානිකා

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment