පුංචි සමනලී නෙත ගැටුනා

#කෙටි_කතවක්

"#පුංචි_සමනළි_නෙත_ගැටුණා.

" පුතේ.. මොකද්ද මේකේ තේරුම.. ගිය එකී ගියා.. එහෙම කියලා උඹ බීලා මැරෙන්න හදනවද.. දැන් අවුරුදු තුනක් ගියා.. අමතක කරපන් පුතේ.. මේ දුප්පත් ගෑණි ලණු වක්කරලා උඹේ කරඳඩු උස්මහත් කරේ.. උඹ දැන් ලොක්කෙක් තමා.. ඒත් මේ වයසක ගෑණි මැරෙන්න කලින් කැමති උඹේ දරුවෙක් බලලා ඇස් දෙක පියා ගන්න.. උඹ මේ කසාඳෙටවත් කැමති වුණේ නැත්තම් අම්මපා මං නියගලා අලයක්වත් කාලා මැරෙනවා.. "

අම්මා වෙනදටත් වඩා හිතේ දුකෙන් අඬමින් අම්මගේ දුක්ගැනවිල්ල කියන්න ගද්දි කටගොන්නක් බීගෙන ආපු මගේ වෙරි හිදුණා.

" හරි හරි.. මම එන්නම් හෙට මනමාලි බලන්න යන්න.. "

මම එහෙම කියලා කාමරේට ඇවිත් දොර වහ ගත්තා.

" බත් කන්නේ නැද්ද පුතේ.. "

අම්මා දොරට තට්ටු කරමින් ඇහුවා.

" බඩගිනි නැහැ.. "

මම එහෙම කියලා ඇඳට වැටුණා.

මම වනිඳු ලක්මාල්. ගොඩක් දුක් විඳලා හිතේ හයියෙන්ම ගොඩ ආපූ කොල්ලෙක්. ඒත් ඒ හිතේ හයිය දුන්නේ මගේ රත්තරන් අම්මයි මාව දැන් විනාශ කරාට ඉස්සර මට ලොකු කෙනෙක් වෙන්න කිව්ව මගේ ආදරේ. සෙනුරි දිනූෂා.

මට මගේ අතීතේ මතක් වුණා.

වසර හයකට පෙර මම උසස් පෙළ සමත් වෙලත් රස්සාවක් නැති නිසා ජීවිතේ කළකිරිලා හිටියේ. අම්මා දහ දුක් විඳලා වෙලා නොකා නොබී ඉගෙන්නුවා. වාණිජ විෂය ධාරාවෙන් විභාගේ කරල සමත් වුණත් විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. වැඩි දුර ඉගෙන ගන්න සැප පහසුකම් තිබිබෙත් නැහැ.

රස්සාවක් හොය හොය ඉද්දි හැමෝටම වගේ මටත් මගේ ආදරේ හම්බුණා. සෙනුරි ඇත්තටම අහිංසක තරුණියක්. මට වඩා ගොඩක් පැහැපත් අහිංසක කොණ්ඩේ ක්‍රේල් පුංචි කෙල්ලක්. මාස හයක් පස්සෙන් ගිහිල්ලා සෙනුරි එක්ක යාළු වෙලා ආදර සම්බන්ධතාවයක් පටන් ගත්තා. සෙනුරිත් මං වගේම දුප්පත්. කාත් කවුරුත් නැතිව අනාථ නිවාසෙක හැදුණු තරුණියක්. සෙනුරි ගාර්මන්ට් එකක වැඩ කරේ. එයා කොහොමහරි එයාට ඕන වියදම හොයා ගත්තා. ඒත් මට රස්සාවක් හරි ගියේම නැහැ.

" අයියේ.. මගේ යාළුවෙක්ගේ මහත්තයෙක් කොරියාවේ යනවා.. එහෙ පඩිත් හොඳයිලු.. ඔයත් බලන්නකෝ.. "

සෙනුරි වෙනදා වගේම එදත් හුරතල් වෙවි මගේ අතේ එල්ලිලා කිව්වේ රුපියල් දෙකේ වඩේ කන ගමන්.

" ඕවාට යන්න කලින් පාර්ස්පෝ⁣ට් එවටත් සල්ලි එපැයි.. මට කොහෙද සල්ලි.. එදා ඔයා දීපූ රුපියල් තුන්දාහෙන් තමා ගෙදර උයන පිහින බඩු ටිකක් ගත්තේ.. "

මම ඇස් වල කඳුළු පුරවගෙන ඇගේ පුංචි අත සිපගෙන කිව්වා.

" ඔයා මගේ මහත්තයා වෙන්නනේ ඉන්නේ.. මං ඉතුරු කරපු සල්ලි වගයක් තියෙනවා.. කසාඳෙට කියලා එකතු කරේ.. මගේ අයියනේ මාව කසාඳ බඳින්නේ.. ඔයා ඒ සල්ලි වලින් කොරියාවේ යන්නකෝ.. ඔයා කවදාහරි ලංකාවෙි හොඳ තැනකට එනවා කියලා මම දන්නවා.. "

සෙනුරි හැමදාම වගේ ආදරෙන් කුලි වැඩ කරලා දාඩිය පිරුණු මගේ පපුව සිපගෙන කියද්දි මම ඇස් වල කඳුළු පුරවගෙන සෙනුරිව මගේ පපුවට තද කරලා තුරුල් කර ගත්තා.

සෙනුරිගේ ආදරෙයි මහන්සියි මගේ රත්තරන් අම්මගේ ආශිර්වාදයි නිසා මම කොරියාවේ ආවා. මම හොඳ මුදලක් එකතු කර ගත්තා. අම්මටයි සෙනුරිටයි වියදමට මුදල් එවලා ඉතුරු මුදල් ටික ⁣මගේ ගිණුමේ ඉතුරු කරා. අවුරුදු දෙකකට පස්සේ මං ලංකාවට ආවා.

අපි හිටියේ හොරණ. සෙනුරි හිටියේ බණ්ඩාරගම යාළුවෙක්ගේ ගෙදරක නැවතිලා. මම සෙනුරිටත් නොකියා ලංකාවට ආවා. අම්මව බලලා ඉවර වෙලා සෙනුරිව පුදුම කරවන්න කියලා සෙනුරිට නොකියම මම සෙනුරි නතර වෙලා ඉන්න ගෙදරට ගියා. මම යද්දී ඒ ගෙදර කවුරුත් නැහැ. ගෙදර පාළුවට ගිහින්. ගෙදර දොර ඇරලා දාලා. මම ගේ ඇතුළට යන්න හදද්දිම මට ඇහුණේ පුංචි දරුවෙක් අඬන සද්දේ. කුස්සියේ ඉඳලා චීත්තෙකින් අත පිහිද පිහිද අඬ අඬ ආපූ සෙනුරි කාමරේට දුවගෙන ගියා. මම පුදුමෙන් වගේ ඒ කාමරේ දොර රෙද්ද මෑත් කරලා බලද්දී දැකපු දේට මගේ මුළු ඇඟටම විදුලියක් කෙටුවා වගේ දැනුණා. මගේ පුංචි කෙල්ල සෙනුරි එයා ඇඳ සිටි ගවුමේ ඉස්සරහා බොත්තම් දෙකක් ගලවලා අර අඬන පුංචි දරුවව වඩාගෙන සෙනුරිත් අඬ අඬම ඒ කිරිකැටියව පපුවට තද කරගෙන එයාගේ පියයුරක් ඒ දරුවගේ මුවඟට ලං කරා. දරුවා අඬන එක නතර කරලා සෙනුරිගේ ලමැදේ උණුසුමට නැලවුණා. සෙනුරි ඇස් වල කඳුළු පුරවගෙන දරුවගේ නළලත සිප ගත්තා.

මම අඬ අඬම කාමරේ ඇතුළට ආවා. මම සෙනුරිගේ අකමැත්තෙන් සෙනුරිගේ සුලැඟිල්ලක්වත් අල්ලලා නැහැ. තමන්ගේ දරුවෙක් පරිස්සම් කරනවා තරමට සෙනුරිව මම පරිස්සම් කරේ. මම පණ වගේ ආදරේ කරපු පුංචි කෙල්ල මම රට ගිහින් අවුරුදු දෙකකින් ලංකාවට එද්දී දරුවෙක්ගේ අම්මා කෙනෙක්. මම ඇස් දෙකටම දැක්කා එයාගේ ලමැදේ දරුවෙක් කිරි උරනවා.

" අයියේ.. "

සෙනුරි බය වෙලා මාව දැකලා දරුවා පපුවට තුරුල් කරගෙනම නැගිට්ටා.

" අයියේ.. මට ඔයාට ගොඩක් දේවල් කියන්න තියෙනවා.. "

සෙනුරි අඬමින් කිව්වා.

" මීට වඩා මොනා කියන්නද.. මම හැමදේම ඕනවටත් වඩා හොඳට දැක්කා.. මම දරුවා කාගෙද කියලා අහන්නේ නැහැ.. මොකද මම ඔයාගේ අතින් විතරයි ඇල්ලුවේ.. මං ආදරේ කරපු පුංචි අහිංසක කෙල්ල දැන් මහ ගෑණියෙක්.. දරුවෙක්ගේ අම්මෙක්.. මං යනවා.. ආ.. ඔයා මට රට යන්න දීපූ සල්ලි..."

මම තාමත් ඇඟේ කිරි උරලා නැලවුණු දරුවා දිහා බලමින් කියලා මගේ සාක්කුවෙන් මුදල් වගයක් අරගෙන ඇඳට විසික් කරා.

" අනේ මහත්තයෝ.. මාව දාලා යන්න එපා.. මං කියන දේ අහන්න.. මම මැරිලා යයි.."

සෙනුරි දරුවා වඩාගෙන මගේ දෙපා ළඟ වැඳ වැටුණත් මම සෙනුරි ගනන් නොගෙන ගෙදර ආවා. ගෙදර ඇවිත් පිස්සෙක් වගේ බිව්වා. ඒ මම සෙනුරිට දීපූ ආදරේට සෙනුරි මට දුන්න දේට මටම රිද්ද ගන්න. අම්මා මම දුක් විඳිනවා බලාගෙන ඉන්න බැරිව අඬන නිසා මම ඉතුරු කර ගත්ත මුදල් වලින් මම මගේ ව්‍යාපාරයක් පටන් ගත්තා. මම නොහිතපු විදියට මම දියුණු වුණා.

හැබැයි මම සෙනුරිව බලන්න ගියේ නැහැ. ඒ සෙනුරි දැන් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්. එයාට සැමියෙක් ඇති කියලා මම හිත හදාගෙන. ආදරේ කරපු හිතකින් වෛර කරන්න බැරි නිසා මම සෙනුරිට වෛර කරෙත් නැහැ. මම මගේම ගෙයක් හදගෙන අම්මා එක්ක කළුතරට ආවා. මට දැන් මුදල් වලින් අඩුවක් නැහැ. ඒත් මම තාම සෙනුරිගේ මතකයන් නිසා දුක් විඳිනවා. කොච්චර මුදල් තිබ්බත් මම හැමදාම රෑට ගෙදර එන්නේ බීගෙන. අදත් එහෙමයි. මම මේ සිද්දිය වෙලා අවුරුදු තුනක් ගිහිල්ලත් තාම සෙනුරි ගැන හිත හිත දුක් විඳිනවා. මම ⁣වෙනදා වගේම අදත් සෙනුරි ගැන හිතලා නිදා ගත්තා.

පහුවදා උදේ අම්මා බල කරන නිසාම අම්මා කතා කරපු ගාල්ලේ මනමාලි බලන්න ගියා. අම්මා කැමති නිසා මාත් ආයාසයෙන්ම හිනා වෙලා කතා කරා. ඒත් ඒ වෙලාවෙත් මගේ හිතේ හිටියේ සෙනුරි. මනමාලි බලලා ඉවර වෙලා මම අම්මා එක්ක එන්න හදද්දිම මම දැක්කේ එ් ගෙදර පිටිපස්සේ මිදුල අතුගාන තරුණියක්. දෙවියනේ ඒ සෙනුරිමයි. මම අම්මා මනාමාලිගේ ගෙදර අය එක්ක කතා කර කර ඉද්දි ඇස් වල කඳුළු පුරවගෙන සෙනුරි ළඟට දිව්වා. කොච්චර දේවල් වුණත් සෙනුරිව දැක්ම මගේ ඇස් වලට කඳුළු පිරිලා මගේ පරණ ආදරේ මතක් වුණා.

" සෙනුරී.. "

මම කෑ ගහද්දි සෙනුරි මාව දැකලා බය වෙලා මාව අඳුනගෙන ඉදල බිම දාලා පිටිපස්සේ ගේට්ටුවෙන් පැනලා දිව්වා. මම පස්සෙන් ගියත් සෙනුරි හොයා ගන්න බැරි වුණා.

ගෙදර ඇවිල්ලත් මගේ හිත තිබ්බේ සෙනුරි ළඟ. ඒ නිසා සෙනුරි හොයා ගන්නවා කියලා හිතාගෙන පහුවදා උදේ මම ආයිමත් ගාල්ලේ ගියා. ගිහින් එ් ළඟ ගෙවල් වලින් සෙනුරිගේ නම කියලා විස්තර ඇහුවා. මගේ පිනකටද මන්දා මම ගෙදර ලිපිනය හොයා ගත්තා. මම කාර් එක ගෙදරට තරමක් ඈතින් නතර කරා.

පුංචි පොඩි ගෙයක්.

" සෙනුරි.. "

මම දොරට තට්ටු කරලා කතා කරා.

" අනේ අන්කල්.. සෙනුරි නැහැ.."

පුංචි තුවායක් ඇඳගෙන ඒ තුවායෙන් මූණ විතරක් පේන විදිය⁣ට මුළු ඇඟම වහගෙන පුංචි ගෑණු ළමයෙක් එළියට ආවා. මේ එදා සෙනුරිගේ අතේ හිටපු දරුවා වෙන්නැති. ඒත් මට ඒ දරුවව දැක්කම ආදරේ හිතුණා. මොනා වුණත් මේ සෙනුරිගේ දරුවා කියලා හිතලා මගේ ඇස් වලට කඳුළු පිරුණා. ඇත්තටම මේ දරුවා පුංචි රෝස මලක්. ඒ තරමටම ලස්සනයි. හුරතල්. දොරෙන් හිස එළියට දාලා පාර දිහා බලමින් මාත් එක්ක කතා කරා.

" අම්මා කොහෙද දුව ගියේ.. "

මම ගේ ඇතුළට ගිහින් පුටුවක වාඩි වෙලා ඇහුවා.

" මොන්⁣ටිසූරියට හැමෝගෙම තාත්තා එනවා.. මගේ තාත්තා විතරක් නැහැ.. අම්මගෙන් තාත්තා ගැන ඇහුවම අම්මා ඇඬුවා.. මටත් ඇඬුනා.. අම්මා මාව යාළු කර ගන්න කියලා මයිලෝ ගේන්න ගියා.. "

පුංචි ⁣දුව ඇස් වල කඳුළු පුරවගෙන කියද්දි මගේ ඇස් වලටත් කඳුළු පිරුණා.

" අද මම මොන්⁣ටිසූරී යන්නේ නැහැ.. "

පුංචි දුව අත් දෙක ඉනට බැඳගෙන තරහෙන් කිව්වා.

" මගේ දුවගේ නම මොකද්ද.. "

මම ආදරෙන් ඇහුවා. මම නම ඇහුවා විතරයි දුව ගේ ඇතුළට ගිහින් සමනළයෝ දෙතුන් දෙනෙක් ඉන්න පුංචි ප්ලාස්ටික් බඳුනක් ගෙනවා.

" #සමනළිද..."

මම හිනා වෙලා ඇහුවා.

" සමනළි අහස්යා.. මම ආස නැහැ ඒ නමට.. "

දුව තරහෙන් කියද්දි මගේ හිතේ දරු සෙනෙහස පිරි ඉතිරෙන්න ගත්තා. මම අඬ අඬම දුවව තුරුල් කරගෙන ආදරෙන් සිප ගත්තා.

" මගේ දුවට මොනාද ඕනි.. "

මම පුංචි කොපුලක් සිපගෙන ඇහුවා.

" තාත්තෙක් ඕනි.. හැමෝටම ඉන්නවා.. මට විතරක් නැහැ.. යාළුවෝ විහිළු කරනවා.. මට විතරක් නැහැ කියලා.. මට මොන්⁣ටිසූරී යන්න බැහැ.. අ⁣ම්මට කියන්නකෝ මට මොන්⁣ටිසූරී යන්න බැහැ කියලා..."

පුංචි දුව කට උල් කර කර අඬ අඬ කියද්දි මගේ පපුව රිදෙන්න අරගෙන මට ඇඬුනා.

" මම එන්නද දුවේ තාත්තා විදියට..."

මම අඬ අඬම ඇහුවා.

" හැමදාම දවල්ට එනවද.. "

දුව මගේ අතින් බැහැලා හිනා වෙවි ඇහුවා.

" හා.. "

මම කඳුළු පිහිදාගෙන කිව්වා.

" තාත්තේ.. අපිට පරක්කුයි අනේ.. ඇඳුම් අන්දන්න.. "

පුංචි දුව මට ඇඳුම ගෙනත් දීලා මගේ කම්මුල් සිප ගත්තා.

" සුදු මැණික.. අම්මා මයිලෝ දෙකක්ම ගෙනාවා.. අද මගේ රත්තරන් මොන්⁣ටිසූරී යන්නම ඕනි.. "

සෙනුරි එහෙම කියාගෙන ගේ ඇතුළට ආවා. තුවායක් ඇඳගෙන මගේ අතේ හුරතල් වෙන දුව දැකලා සෙනුරි බයෙන් පස්සෙන් පස්සට ගියා.

" අම්මේ තාත්තෙක් හම්බුණා.. "

පුංචි දුව මගේ ගෙල වටා අත දාගෙන මගේ කම්මුල් සිපගෙන කියද්දි සෙනුරි අඬාගෙන බිම වාඩි වුණා.

" සෙනුරි.. මං මොකුත් අහන්නේ නැහැ.. මම ඔය දෙන්නව බාර ගන්නවා.. කසාඳ බඳිමු.. යමු.. "

මම දුවව වඩාගෙන බිම වාඩි වෙලා ඉන්න සෙනුරිගේ හිස පිරිමදිමින් කිව්වා.

" අනේ මගේ මහත්තයෝ.. මම තාමත් මහත්තයගේ නොඉඳුල් කෙල්ල සෙනුරිමයි.. ඇයි මට කතා කරන්න නොදී මාව දාලා ගියේ.. "

සෙනුරි මගේ දෙපා අල්ලගෙන අඬන්න ගත්තා. ඒ වචන ටිකකට මාව ගැස්සිලා ගියා. දුව බය වෙලා මගේ මූණ දිහා බැලුවා.

" මගේ දුව ඇඟ සේදුවද.. "

මම හිනා වෙලා ඇහුවා.

" අම්මා උණු වතුර දාලා දුන්නා.. එ්ත් මම හේදුවේ නැහැ තාත්තේ.. හේදුවා නම් මොන්⁣ටිසූරී යන්න වෙනවනේ.. "

දුව හුරතල් වෙවි කිව්වා.

" තාත්තා එන්නම් අම්මා එක්ක.. මගේ දුව යන්නකෝ.. "

මම දුවව බිමින් තියලා කිව්වා.

" #දාලා_යන්න_එපා_තාත්තේ.."

පුංචි දුව එහෙම කියලා ගේ ඇතුළට දුවගෙන යද්දී මගේ පපුව පිච්චිලා ගියා.

" සෙනුරි මොකද වුණේ.. "

මම බිම වාඩි වෙලා තාමත් අඬන සෙනුරිව උරහිසින් අල්ලලා නැඟිට්ටවලා ඇහුවා.

" මහත්තයෝ... මං.. "

" කියන්න..."

මම සෙනුරිව පපුවට තුරුල් කරගෙන ඇහුවා.

" මම හිටියේ සඳුනිගේ ගෙදරනේ.. සඳුනියි නිසල් අපේ අනාථ නිවාසෙමයි හිටියේ.. ඒ දෙන්නට කවුරුත් නැහැ.. අපි තුන්දෙනා පුංචි කාලේ ඉඳන්ම යාළුවෝ.. මහත්තයා රට ගියාම ඒ දෙන්නා කසාඳ බැන්දා.. සඳුනිගේ දුව තමා සමනළි.. එක දවසක් නිසල් වැඩ කරන තැන සර් කෙනෙක් නැති වෙලා ඒ දෙන්නා මළගෙදරක ගියා බයිසිකලේ.. දුවට එතකොට මාස හයයි.. මම ගෙදර නිසා ඒ දෙන්නට මම දුවව තියලා යන්න කිව්වා.. මල ගෙදර ගිහින් එද්දී බයිසිකලේ ටිපර් එකකට යට වෙලා දෙන්නම එතන මැරුණා මහත්තයෝ.. ඒ දෙන්නට කවුරුත් නැහැ.. ඉතින් මම මහත්තයා ආවම හැමදේම කියන්නම් කියලා දරුවා බලා ගත්තා.. ඒ දෙන්නා නැති වෙලා මාසෙකට පස්සේ මහත්තයා ආවේ එදා.. මාස හයේ කිරි බොන දරුවා පිටි කිරි බොන්නේ නැහැ.. බොහොම අමාරුවෙන් පොවා ගත්තේ ටිකක්.. දුව අඬද්දි මම හැමදාම නළව ගත්තේ මගේ කිරි නැති පියයුරක් උරන්න දීලා මහත්තයෝ.. එදා මගේ මහත්තයා ඒක දැක්කේ.. මම වරදක් කරේ නැහැ..."

සෙනුරි අඬ අඬ මගේ පපුවට තුරුල් වෙලා කියද්දි මගේ ඇස් වලින් කඳුළු වැක්කෙරෙන්න ගත්තා.

" අනේ මං වගේ පව්කා⁣රයෙක්..."

මම අඬ අඬම කිව්වා.

" මම මහත්තයා එනකන් හැමදාම බලාගෙන හිටියා.. එ්ත් මහත්තයා මං වැඩ කරන ගෙදර පුංචි නෝනව බලන්න ආවම මං බාගෙට මැරුණා මහත්තයෝ.. මං මහත්තයව හොයාගෙන හොරණත් ගියා.. මහත්තයා හිටියේ නැහැ.. "

සෙනුරි අඬ අඬ කියද්දි මට මං ගැනම කලකිරිමක් ඇති වුණා. මං එදා ඇහට දැක්ක දේ විශ්වාස කරා ඇරෙන්න සෙනුරිට වචනයක් කතා කරන්න දුන්නේ නැහැ. මම පරණ ගෙදරින් ඇවිත් ⁣කළුතර අළුත් ගෙයක් ගත්තා. මම සෙනුරි ගැන හිතින් හැමදාම දුක් වින්දා මිසක් කවදාවත් සෙනුරි ගැන හෙව්වේ නැහැ. මම සෙනුරිව පපුවට තුරුල් කරගෙන හොඳටම ඇඬුවා.

" මේ පව්කා⁣රයට සමාවෙන්න සෙනුරි.. ඔය දෙන්නා යමු මාත් එක්ක.. අපි අඳම කසාඳ බඳිමු.. සමනළි අද ඉඳන් මගේ දුව.. "

මම සෙනුරිගේ කඳුළු පිහිදාමින් කිව්වා.

" මම ආදරෙයි මහත්තයෝ.. මට සමාවෙන්න.."

" මටත් සමාවෙන්න සෙනුරි... අවුරුදු තුනක් ආදරේ කරලත් මම දැක්ක දේ විශ්වාස කරා ඇරෙන්න ඔයාට ඇහුම්කන් දුන්නේ නැහැ.. එදා මම විනාඩි පහක් ඔයා එක්ක කතා කරා නම් අද අපි දෙන්නා මේ විදියට දෙපැත්තට වෙලා දුක් විඳින්නේ නැහැ.. මගේ වැරැද්ද.. #මම_කොච්චර_ඔයාට_ආදරේ_කරත්_දැකපු_දේ_විශ්වාස_කරා_ඇරෙන්න_ඔයාට_ඇහුම්කන්_දුන්නේ_නැහැ.. "

මම අඬ අඬම කිව්වා.

" තාත්තේ හරි.. "

පුංචි දුව කෑ ගහද්දි මම හැරිලා බැලුවා.

"#පුංචි_සමනළියක්_නෙත_ගැටුණා.. "

මම හිතින් හිතලා තුවායක් ඇඳගෙන ඉන්න පුංචි දුවව වඩා ගත්තා.

" මගේ තාත්තා.. "

දුව මාව තුරුල් කර ගද්දි සෙනුරිත් මගේ පපුවට තුරුල් වුණා.

" ඔව් දුව මම ඔයාගේ තාත්තා.."

මම පුංචි සමනළීගේ කම්මුල් සිපගෙන කිව්වා.

👸 සමාප්තයි 👸

🔥 සිතන්නට යමක්...

👉 ආදරේදී එකිනෙකාට ඇහුම්කන් දීම වඩා වැදගත්ද....

👉 ආදරේදී ඔබ ඇස් දෙකට දකින දේටත් වඩා සත්‍යය එහෙත් ඔබ විශ්වාස කිරිමට අකමැති දේවල් තිබිය හැකිද..

👉 මෙවැනි අතපසුවීම් නිසා තවමත් දෙපැත්තට වී දුක්විදින වනිඳුලා , සෙනුරිලා අද සමාජයේ සිටිය හැකිද...

👉 දෙමාපියන් නැතිව අසරණ වී දුක් විඳින පුංචි සමනළිලාට පිය සෙනෙහස ලැබේද...

දුටුවදා ඒ පුංචි නෙතු අඟ
කඳුළු බිඳු මා හැඩෙව්වා
සමනළි ඈ මගේ සිත් ගත්
ඇගේ පියණාන් සොයනා

කිරි සුවඳ මුව පුරා තවරා
තාත්තේ යැයි ඇය කියා
තුරුළු කර ඇය හාදු දීලා
මම ඇය⁣ට යළි ලං වුණා

වැදූ නැති මුත් ආදරෙයි මං
මගෙයි නුඹ මගේ සමනළි
වෙමි පියාණන් හැම භවේදි
පතමි සියවර නුඹ සාදා...

උදාරි ප්‍රේමරත්න

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment