අපි අපේමයි

අපි අපේමයි..
(කෙටි කතාව)

රුවී ගෙන්..

-------------------------------------------------------------------------

අම්මෙ.. දුවත් එක්කම මගෙ රූම් එකට එන්නකො ටිකක්..

වෛද්‍යවරයා සවිනිගේ රිපෝට්ස් බලන ගමන් සවිනිටයි අම්මටයි කතා කරා.. කෙල්ල දැන් ටික දවසක ඉදන් අසනීපෙන් උන්නු නිසා අම්මයි දුවයි හොස්පිටල් එකට ආවෙ චෙකප් එකක් කරගන්න.. අද තමා රිපෝට්ස් ආපු දවස..

ගැහෙන සිතින් වෛද්‍යවරයාගේ කාමරේට ඇතුලු උන අම්මටයි දුවටයි අසුන් ගන්න කියලා වෛද්‍යවරයා අතින් කිව්වා..

අම්මෙ අපි දුවගෙ රිපෝට්ස් චෙක් කරා.. ඇත්තටම.. අපි මේක කිව්වම කලබල වෙන්නෙපා.. අම්මෙ අපිට දුවව මහරගමට යවන්න වෙනවා.. සවිනිට.. සවිනිට තියෙන්නෙ බ්ලඩ් කැන්සර් එකක් අම්මෙ.. ඒකයි ගොඩක් වෙලාවට මෙයා ෆේන්ට් වෙලා වැටෙන්නෙ..

ඩොක්ටගෙ වචන ඇහෙනවත් එක්කම අම්මා මහ හයියෙන් අඩන්න ගත්තා.. සවිනිගේ ඇස් වලින් බේරුනේ පුන්චි කදුළු බින්දු දෙකක් විතරයි.. ඒ බොද උනු ඇස් අස්සෙන් කෙල්ලට මැවිලා පෙනුනෙ දොස්තර කෙනෙක් වෙලා ලෙඩ්ඩු ගොඩාක් සනීප කරන්න මවපු හීනෙ.. තාත්තත් නැතුව තමන්ව හදපු අම්මව කවද හරි රැජිනක් කරන්න මවපු හීනෙ.. ඒ වගේම කෙමිස්ට්‍ර් ක්ලාස් එකේදි සවීගෙ හිත හොරකම් කරපු දගකාර ඇස් අයිතිකාරයා පෙනී නොපෙනී ගියා.. දැන් නම් මට ඔයා හීනයක් විතරයි මහත්තයෝ.. කෙල්ලගෙ හිත නොලැබුණු ආදරේ වෙනුවෙන් කීරි ගැහුනා..

දැන් අපි කලබල වෙලා හරියන්නෙ නෑ අම්මෙ.. දුවගෙ හිත ශක්තිමත් කරන්න ඕනි අම්මා.. අපි ට්‍රීට්මන්ට් පටන්ගමු.. සවිනිට සනීප වෙයි ම්ම්.. අදම සවිනිව මහරගමට අරන් යන්න.. වෛද්‍යවරයා අම්මගෙ හිත හැදෙන්න එහෙම කිව්වෙ අම්ම කෙනෙක්ගෙ කදුළු බලන් ඉන්න බැරි නිසාමයි..

සවිනි අම්මත් එක්ක මහරගම කැන්සර් හොස්පිටල් එකට ගියා.. කෙල්ල පුන්චි කාලෙ ඉදන් පුන්චි දේටත් හුගක් සංවේදියි.. හොස්පිටල් එකේ උන්නු පුන්චි දරුවො දකිද්දී කෙල්ලගෙ පපුව හිර වෙනවා වගේ දැනුනෙ.. දෙවියො මේ තරම් නපුරු ඇයි.. මේ දරුවො කොච්චර වේදනාවක් විදිනවා ඇත්ද.. කෙල්ලට හිතුනෙ එහෙම.. සවිනි අම්ම එක්ක ගිහින් ඩොක්ටර්ව මීට් උනා.. ඩොක්ටර් සවිනිට බෙහෙත් දීලා ගෙදර යැව්වෙ හැමදාම ක්ලිනික් එන්න කියලා පුන පුනා කියමින්..

කෙල්ල වෙනදා වගේම ක්ලාස් ගියා.. යාලුවන්ටවත් ලෙඩේ ගැන නොකිව්වෙ කෙල්ලො ටික සතුටින් ඉන්නවා බලන්න ඕනි නිසා.. වෙනදා වගේ සතුටින් ඉන්න උත්සාහ කරත් සැරින් සැරේ තමන් මැරෙන්න ලගයි කියලා මතක් වෙද්දි කෙල්ලගෙ පපුව රිදුම් දුන්නා.. වෙනදා ඇස් පිය නොහෙලා බලා උන්නු දග ඇස් දෙක දැන් සවිනි හිතා මතාම මග හරිනවා..

සවිනි වෙනදා වගේම අම්මා එක්ක ක්ලිනික් ගියේ හරිම අකමැත්තෙන්.. උපතෙන්ම සංවේදී හිතක් තිබුන කෙල්ලට පිළිකා රෝහලෙදි අත් විදින්න වෙන දරුණු අත්දැකීම් හුගක් බර වැඩියි.. බලන් ඉද්දිම පුන්චි දරුවො අන්තිම හුස්ම හෙලනකොට,සෙල්ලම් කර කර ඉන්න ගමන් පොඩි උන් මැරිලා වැටෙනකොට කෙල්ලට දරාගන්න බෑ..

මේක තමයි දරුවො ජීව්තේ කියන්නෙ.. ඉපදුනොත් මැරෙන්නම වෙනවා.. අම්මා කෙල්ලගෙ හිත හැදුවෙ කදුළු හංගගෙන..

ක්ලිනික් එකට ගියත් ඒ අවට තිබුනු බෙහෙත් සැර කෙල්ලට උහුලගන්න අමාරුයි.. එක පාරම වමනෙ යන්න ආපු නිසා කෙල්ල එළියට දිව්වෙ අම්මටත් කියාගෙන..

වමනෙ කරලා මූණ කටත් සෝදගෙන එන්න හදපු සවිනි තිගැස්සුනේ හුරු පුරුදු රූපයක් හොස්පිටල් එකේ දැක්ක නිසා.. කෙල්ල ආයෙත් ඇස් පිහිදලා බැලුවේ මේ එයාමද කියලා.. ඔ.. ඔව් එයාම තමයි.. කෙල්ල දුවලා ගියේ එතෙන්ට..

නි.. නිකැළැල්.. කෙල්ල ඒ කෙනාගෙ උරහිසට අත තියලා කතා කරේ අවිශ්වාසෙන්..

ඒත් ඒ සද්දෙට එයා හැරුණේ පුදුමෙන්..

ස..සවිනී.. එයත් කෙල්ලව අදුරගත්තා..

ඒ තමයි සවිනිගේ හිත හොරකම් කරපු දග ඇස් වල අයිතිකාරයා.. කෙල්ල බලාගෙන හිටියෙ එක කෙස් ගහක්වත් නැති කොල්ලගෙ ඔලුව දිහා.. එතකොට කෝ අර ලස්සන කැරලි ගැහුනු කොන්ඩෙ..

නිකැළැල් ඔයා මෙහේ.. අ.. අනේ එතකොට.. එතකොට ඔයාටත්.. කියන්න හදපු දේ ඉවර කරගන්න බැරුව ඒ එක්කම වැටෙන්න ගියපු කෙල්ලව නිකැළැල් පැනලා අල්ලගත්තා.. කොල්ලා කෙල්ලව උස්සගෙන ඇවිත් කෙල්ලව බෙන්ච් එකක් උඩින් තියලා වතුර ටිකක් මූණෙ ගෑවා..

අ..අම්මා...

කෙල්ලට සිහිය එනකොටම අම්ම ලග හිටියෙ..

අනේ අනේ අම්මා කෝ මගේ නිකැළැල්.. කොල්ලා පේන මානෙක නොහිටිය නිසා කෙල්ල හොදටම කලබල වෙලා..

කලබල නැතුව ඉන්න මගෙ දූ පුතා ඔයාට බොන්න දෙයක් ගේන්න ගියා..

අනේ.. අනේ අම්මා මගෙ නිකැළැල්.. අර මන් ඔයාට කිව්වෙ.. අනේ එයාටත් කැන්සර් එකක් අම්මා.. අනේ පව් අම්මා..

කෙල්ල හිතේ තිබුනු හැමදෙයක්ම අම්මා එක්ක කියලා තිබුනෙ.. අම්මත් නිකැළැල් ගැන දැනගෙන හිටියෙ.. කොල්ලට වෙච්චදේ ගැන අම්මටත් දුකයි.. එතකොටම කොල්ලා සවිනිට බොන්න දේකුත් අරගෙන ආවා..

අ..අනේ නිකැළැල්.. කෙල්ල කොල්ලව දැක්කම ආයෙත් අඩන්න පටන් ගත්තා..

හරි පැටියෝ දැන් අඩන්නෙ නැතුව මේක බොන්නකෝ.. අම්මා කිව්වා ඔයා කාලා ආවෙ නෑ කියලා ඒක තමා ෆේන්ට් උනේ.. මේක බීලා ඉන්න.. කොල්ලා බලෙන්ම බීම එක කෙල්ලට පෙව්වා..

අනේ නිකැළැල් ඔයාට කොහොමද.. ඉහ්.. ඉහ්..

සවී.. අනේ මගෙ මැණික දැන් ඔය අඩන එක නවත්තන්න.. ඔයාට ඔච්චර අඩන්න හොද නෑ නෙ.. මන් කියන්නම්.. මන් දැනගෙන හිටියා පන ඔයා මට ආදරේ කරනවා කියලා.. මාත් ඔයාට හුගක් ආදරේ කරා.. ඒත් මන් ඔයාව මගහැරියා වස්තුව.. ඒ මන් ලෙඩෙක් කියලා දැන දැන ඔයාට ලං වෙලා ඔයාට දුකක් දෙන්න බැරි නිසා.. මන් දැනගෙන හිටියෙ නෑ ඔයාටත් මෙහෙම.. හ්ම්ම් ඔයා දන්නවා නම් ඔයාව මෙහේදි දැක්කම මගෙ පපුව පිච්චුනු තරමක්..

අනේ රත්‍තරන්.. කෝ ඔයාගෙ අර ලස්සන කැරලි ගැහුනු කොණ්ඩෙ.. කෙල්ල ඇහුවෙ කොල්ලගෙ මූණ ආදරෙන් අතගාන ගමන්..

මට කැන්සර් එක තියෙන්නෙ මොළේ ලු පැටියෝ.. බෙහෙත් කරද්දි කොණ්ඩෙ ඔක්කොම ගියා.. මන් දැන් දාගෙන ඉන්නෙ විග් එකක් සවී..

අනේ.. කෙල්ල තාමත් කොල්ලගෙ ඇස් දිහා කදුළු පුරවගෙන බලන් ඉන්නවා..

ම්ම්.. ඔහොම බලන්නෙපා මට ලෝබයි කෙල්ල.. මන්.. මන් ඉක්මනට මැරෙයි රත්‍තරන්.. අනේ.. අනේ එතකම්වත් මට ඔයාගෙ ආදරේ විදින්න තියෙනවා නම්.. කොල්ලා හිස් අහස දිහා බලාගෙන මිමිණුවෙ හුගක් දුකෙන්..

ෂ්.. මැරෙනවා නම් අපි දෙන්නම මැරෙන්නෙ එකට.. මන් ආදරෙයි මහත්තයෝ...ආදරෙයි හැමදාමත්.. කෙල්ල නිකැළැල්ගෙ පපුවට තුරුලු උනේ හුගක් ආදරෙන්..

ගොඩක් පෙම්වතුන්ගෙ ආදර කතා බීච් වල,හොටෙල්ස් වල,ෆිල්ම් හෝල් වල ලියවෙද්දි මේ අහින්සක පෙම්වතුන්ගෙ කතාව ලියවුණේ මහරගම පිළිකා රෝහල පුරාවට..

සවිනි දැන් ඉන්නෙ වෙනදාට වඩා හුගක් සතුටින්.. ටික දවසකට හරි පෙරුම් පුරපු ආදරේ හිමි කරගන්න ලැබුණු එක කෙල්ලට ලොකු සතුටක්.. කෙල්ල ඒ සතුටත් ගුලි කරගෙන නිකැළැල් මීට් වෙන්න ගියා.. කොල්ලා ඒ වෙනකොටත් ඇවිත්..

නිකී.. චුට්ටක් ඇස් පියාගන්නකෝ..

ඇයි කෙල්ලෝ.. මන් ඉතින් කොහොමත් තව ටික දවසකින් සදහටම ඇස් පියාගන්නනෙ ඉන්නෙ.. මේ ටිකේ වත් මට ඇස් ඇරගෙන ඉන්න දියන්කෝ..  කොල්ලා විහිලුවට කියපු දේ උනත් කෙල්ලගෙ ඇස් වල බලාගෙන ඉද්දි කදුළු පිරුනා..

අනේ ඔන්න මගෙ බබී අඩන්න පටන් ගත්තා.. සොලි සොලි ඔන්න මන් ඇස් පියාගත්තා..

කෙල්ල එතකොටම ඇවිත් කොල්ලගෙ බෙල්ලට මාලයක් දාලා නළලට හාද්දක් දුන්නා.. කොල්ලා ඇස් ඇරලා බැලුවේ මේ මොකක්ද කියලා.. ලස්සන පෙම්වතුන් යුවලක් සිපගන්න පෙන්ඩන්ට් එකක් තියෙන සුදු යකඩ මාලයක්..

ලස්සනයි මැණික.. කොහෙන්ද මේ..

මන් ඔයාටමයි ගත්තෙ මහත්තයෝ.. ඕක හැමදාම බෙල්ලෙ තියාගන්න හරිද.. මාව මතක් වෙන්න..

මේව නැති උනාට මට ඔයාව අමතක නම් වෙන්නෙ නෑ කෙල්ලෙ.. හැමදාම,සංසාරෙ හැම ආත්මෙකම මගේමයි නේද.. කොල්ලා ඇහුවෙ පපුවට තුරුලු වෙලා උන්නු කෙල්ලගෙ ඇස් වලට එබෙන ගමන්..

ම්ම්.. ඔව් මහත්තයෝ.. ඔයාගෙම විතරයි උපදින හැම ආත්මෙකදිම...ඔයා යන තැනකට මාත් එනවා.. මේක පොරොන්දුවක්.. කෙල්ල පොරොන්දු උනේ කොල්ලගෙ ඔලුවට අත තියලා..

ඔය ආදරේ මට මහමෙරක් වස්තුව.. නිකැළැල් තව තවත් කෙල්ලව පපුවට තද කරගත්තෙ හුගක් ආදරෙන්..

හදිස්සියෙම නිකැළැල්ව කැන්සර් හොස්පිටල් එකේ නැවැත්තුවෙ කොල්ලට හුගක් අමාරු උන නිසා.. මේ පණිවිඩේ දැනගත්තු කෙල්ල දුවගෙන ආවෙ පිස්සියක් වගේ..

අනේ මහත්තයෝ.. ඉහ් ඉහ්.. බට සවි කරලා හිටපු කොල්ලව දැක්කම කෙල්ල හොදටම අඩනවා.. නිකැළැල්ට දරාගෙන ඉන්න බැහැ.

අනේ මැණික අඩන්නෙපා ඉතින් අපි මේක දැනගෙනනෙ හිටියෙ.. ඔයා අඩනකොට මන් සතුටින් ඉන්නෙ කොහොමද.. කෝ දැන් නාඩා ඉන්න.. මට පොරොන්දු වෙන්න මන් මැරුනත් අඩන්නෙ නෑ කියලා..

අනේ නිකී...

අනේ නෙවෙයි බබී.. කෝ පොරොන්දු වෙන්න..

කෙල්ල පොරොන්දු උනේ අකමැත්තෙන්.. කොල්ලා නැති ජීවිතයක් ගැන හිතන්නවත් බැරි තරමට දෙන්නා ලං වෙලා හිටියෙ..

මන් නෑ කියලා බෑ හරිද හැමදාම බෙහෙත් බීල හබුන් කාල බෝලෙ වගේ ඉන්න ඕනි හොදද මගෙ කෙල්ල.. කොල්ලා මේ කියවන දේවල් කෙල්ලට දරාගන්න අමාරුයි..

අනේ නිකී දැන් ඇති.. අපි ඕව කතා නොකර ඉමු..

එදායින් පස්සේ හැම දවසකම සවී ගියා කොල්ලව බලන්න.. බෙහෙත් කරද්දි කරන්ට් එක අල්ලද්දි කොච්චර වේදනා වින්දත් හැම උදේකම කෙල්ල එනකම් හිනා වෙවී බලන් ඉන්න තරන් හයිය හිතක් කොල්ලට තිබුන.. කෙල්ල තමන්ගෙ අතින්ම කොල්ලට කැව්වා පෙව්වා ආදරෙන් බලාගත්තා.. දවසක් කෙල්ල එද්දි ඩොක්ටර්ස්ලා නිකීගෙ ඇද වටේ වට වෙලා කොල්ලගෙ පපුවට ප්‍රෙෂර් එකක් දෙනවා.. වේදනා බරිත මුහුණින් උන්නු කොල්ලගෙ මුලු ඇගම ගැස්සෙනවා.. ඒ දිහා බලන් ඉන්න බැරි නිසාම කෙල්ල එළියට දිව්වෙ අඩාගෙන..

ටික වෙලාවකින් ඩොක්ටර්ස්ලා එළියට ගියාම කෙල්ල ඇතුලට ගියේ කදුළු පිරුණු මූණ පිහදමින්..

අනේ ආවද මගෙ මැණික.. ඔයා දන්නවද අද මන් මැරෙන්නම ගියා.. මන් දෙවියන්ගෙන් ඉල්ලුවේ තව එක පාරක් මගෙ මැණිකගෙ මූණ බලන්න දීල මගෙ හුස්ම ටික ගන්න කියලා.. එයා මන් කියපු දේ ඇහුවා.. දැන් ඔයා ඇවිත්නෙ..

මෙච්චර ලොකු වේදනාවෙන් ඉදලා මේ ඉක්මන්ට කොල්ලා හිනා වෙන විදිය දිහා කෙල්ල බලන් හිටියෙ පුදුමෙන්..

ඇයි බබී.. ම්ම්.. මට කවන්නකෝ අද.. බඩගිනියි.. කොල්ලා හුරතල් වෙද්දී කෙල්ලට ලෝබයි හුගක්.. ඒ ආදරේ හිතේ පුරවගෙන කෙල්ල කෑම කවලා හුගක් වෙලා කොල්ලා ලග උන්නු කෙල්ල ගියේ පහුවදාත් එන්න පොරොන්දු වෙලා..

පහුවදා උදේම කෑම එකකුත් හදාගෙන කොල්ලා ආසම රෙඩ් රෝසස් බොකේ එකක් අරන් කෙල්ල හොස්පිටල් එකට ගියේ කොල්ලගෙ ලස්සන හිනාව බලන්න හීන මවමින්.. ඒත් කෙල්ල යනකොට කොල්ලා හොදටම නිදි..

අනේ.. අමාරුවට වෙන්නැති. එහෙම හිතලා කෙල්ල මල් ටික වාස් එකට දාලා කොල්ලා ලගට යනකොට කෙල්ලට දැනුනෙ ලොකු අමුත්තක්..

නිකී.. නිකී.. කෙල්ල කොච්චර කොල්ලව හෙලෙව්වත් කොල්ලා ඇස් ඇරියෙ නෑ.. දෙවියො නිකැළැල්ගෙ අවසන් ඉල්ලීමත් ඉටු කරලා කොල්ලව සදහටම එයා ලගට අරන් තිබුනා... කෙල්ලට මහ හයියෙන් ඇඩෙන්න ආවත් එක පාරට මතක් උනේ නිකීට දීපු පොරොන්දුව.. හිතට ආපු දුක පපුවෙම තද කරගත්තු කෙල්ලගෙ ඇස් වලින්  "ටක්" ගාලා කදුලු බින්දු දෙකක් ටයිල් එකට වැටුනා.. ඒ එක්කම නිකැළැල්ට දුන්නු පොරොන්දුව..
"හැම ආත්මෙකම මන් ඔයාගෙමයි නිකී.. මන් ඔයා යන තැනකට එනවා.. " ඒ පොරොන්දුව කෙල්ලගෙ කන් ඇතුලෙ දෝංකාර දුන්නා.. ඒ එක්කම කෙල්ලගෙ ඇස ගැටුනෙ කොල්ලගෙ ඇද ලගම තිබුනු කබඩ් එක උඩ තිබුණු ටැබ්ලට් පිරුණු බෝතලේ..

"ඔයා යන තැනකට මාත් එනවා නිකී.. " හෙමීට මුමුනලා ටැබ්ලට් බෝතලෙන් ටැබ්ලට් බාගෙකට වඩා ගිලලා කොල්ලගෙ නිසල සිරුර ලගින්ම වැතිරුනු සවිනි පෙම්වතුන් යුවලගෙ පෙන්ඩන්ට් එක අල්ලගෙන උන්නු කොල්ලගෙ අත උඩින් අතක් තියලා ඒ මූණ දිහා බලාගෙනම ඇස් පියාගත්තා..

                                  ~නිමි~

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment