ප්‍රේමය නම්

- ප්‍රේමය නම්-

දිනෙක හදිසියේම මගේ දුරකථනයට කෙටි පණිවිඩයක් ආවේය.. එය නිර්මාණිගෙන් යැයි මට සිතුනි.මා වේලාව බැලුවෙමි..

දෙවියනි! උදේ දහයත් පසු වී විනාඩි විස්සක් ඉක්ම ගොස්ය.. වෙනදා මෙන්ම අදත් ඇය මගෙන් 'උදේට කෑවදැයි ?' විමසා විය යුතුයි..

" මෝඩයා උදේට කෑවද ? නෑ නේද? කන්නයි කිව්වේ.. නොකා ඉඳලා එක එක ලෙඩ හදාගෙන එන්න එපා මට කියන්න.."

සුපුරුදු කෙටි පණිවිඩ මතකට නැඟී මට සිනා නැඟිනි. අතේ ගෑවී තිබූ මජං ටික රෙදි කඩකින් පිසදා ගත් මා ඩෙනිම් සාක්කුවේ ඔබා හුන් දුරකතනය ගෙන බැලුවෙමි...

දෙපා පාමුල හෙනයක් පිපිරුවා වැනිය. මුලු සර්වාංගයම පණ නැති විය.. ඇතැඟිලි අතර රඳවා හුන්  දුරකථනය බිම වැටී සී සී කඩ විසිර ගියේය....

" තමුසෙත් එපා. මට තමුසෙගෙ ආදරෙත් එපා.. අදින් පස්සෙ මන් ගැන හොයන්නත් එපා.. "

නිර්මාණිගේ කෙටි පණිවිඩය මගේ දෙනෙත් පුරා ඇවිලී ගියේය.. අදහාගන්නට නොහැකි මා නැවත දුරකථනයේ කෑලි අහුලා එක් කර කෙටි පණිවිඩය නැවත කියෙව්වෙමි...

මගේ දෑස් බොඳවී කඳුලු පොකුරු කඩා වැටුනි... ඔබ සිනා සේවි.. 'උබ පිරිමියෙක්දැයි අසාවි.. ඔව් මම පිරිමියෙක්.. ඒත්....මටත් තියෙන්නේ හදවතක්... මම වහා නිර්මාණිගේ දුරකථන අංකයට ඇමතුමක් ගත්තෙමි..

එය ක්‍රියා විරහිතය..
නැවතත් උත්සාහ කලෙමි..
කී වරක්ද නොදනිමි...
දිගින් දිගටම උත්සාහ කලෙමි.. ඵලක් නොමැති තැන මා ඇගේ යෙහෙළියට ඇමතුමක් ගත්තෙමි...
ඇගේ දුරකථනය නාදවෙයි..

හදවත වේගයෙන් ගැහෙද්දී මා හුස්මක් පිට කර සංසුන් වන්නට වෙර දැරුවෙමි...

ඇය දුරකථන ඇමතුම සම්බන්ඳ කර ගන්නේ නැත..

" මොන හු.. මන්දා"

මා අත මිට මොලවා වැරෙන් බිත්තියට පහරක් ගැසුවෙමි..
නැවත උත්සාහ කලෙමි.. එවර ඇය දුරකථන ඇමතුමට සම්බන්ද වූවාය.

" හෙලෝව්"
" හෙලෝව්... හෙලෝව්.. සඳුනි.. නිර්මාණි ඉන්නවද?"
"න්.. නෑනේ... හදිසියක්ද?"
" ඔව්.. එයාගේ ඵෝන් එකත් වැඩ නෑ.. කොහෙද ඉන්නේ කියලා බලලා ඵෝන් එක ඔන් කරගන්න කියනවද?"
" අද නිර්මාණි වැඩට ආවේ නෑ. මන් බිසී අයියේ .. තියන්නම්.."
"ස්...සඳු.." ඇය දුරකතනය විසංධි කලාය..

මට කිසිවක් සිතා ගත නොහැකිය. කෙදිනකවත් ඇය මට තමුසේ කියා විහිලුවටවත් ආමන්ත්‍රණය කර නැත...
ඇය කොතරම් මට ප්‍රේම කලාද? කොතරම් ගරු කලාද? අනාගතය ගැන මැවූ තරමක් සිහින මැව්වේ ඇයය...

මා දෑතින්ම හිස බදා ගතිමි... මා වහා යතුරු පැදියට නැඟී නිර්මාණගේ බෝඩිම බලා පිටත් වූයෙමි... මා යනවිට බෝඩිමේ අයිතිකාරිය මිදුලේ සිටියාය.

" නැන්දේ නිර්මාණි ඉන්නවද?"

ඇය මදෙස බැලුවේ පුදුමයෙන්ය.

" නැන්දේ නිර්මාණි ඉන්නවද?"
" ඇයි ළමයෝ උදේ වැඩට ගියේ. මොකද කිව්වේ නැද්ද?"

ඇයට උත්තර දෙන්නට තරම් මට සිහියක් නොවිනි.. මා යතුරු පැදිය හරවාගෙන නැවත ගරාජයට ආවෙමි...

සවස්වන තුරුම නිර්මාණිගේ දුරකතනය විසන්ධි කර තිබුණි.. වේලාව බැලුවෙමි. නිර්මාණි වැඩ නිමවී එන වෙලාවය.. මා මඟට ගියේ සඳුනි මුන ගැසී මෙහි අගක් මුලක් අසා ගන්නටය...

රෙදි කම්හලේ වැඩ අවසන්ව කියවමින් එන තරුණියන් අතරේ මා සඳුනිව සෙව්වෙමි.... දෙනෙත් අදහාගත නොහැකි මා ගහක් ගලක් මෙන් එක තැන නතර විය. සඳුනි සමඟ ඉදිරියට ඇවිද එන්නේ නිර්මාණිය. මා දැකි ඇය ගමන බාල කලාය. සඳුනිගේ මුහුන බැලූ ඇය නැවත ගමන ඉක්මන් කර මා පසු කර යන්නට තැත් කලාය..

" සුද්දි"

මා ඇගේ අතින් අල්ලා ගතිමි.. ඇය මගේ අත ගසා දමා මා දෙස නපුරු බැල්මක් හෙලුවාය..

" අතාරින්න.. මේක පාර. ලැජ්ජා නැද්ද?"

"අතාරින්නම්... හෙන ගැහුවා වගේ මොකක්ද මේ වුනේ කියන්න..මොකක්ද උදේ එවාපු මැසේජ් එකේ තේරුම"

මා ඇගේ දෙනෙතට එබුනෙමි.. වෙනදා සෙනෙහස උතුරන ඒ නෙතුවල අද ගිණි පුපුරු මෙන් දිස්වෙන තරහව විය...

" තේරුම ... තේරුමද? ...එහෙනම් අහගන්න.. මන් ඔයාව කසාද බඳින්න කැමති නෑ.. ඔව් කැමති නෑ... නිකම්ම නිකන් ගැරේජ් කාරයෙක් එක්ක ඇවිත් මට දුක් විඳින්න බෑ..."

නිර්මාණිගේ අත මා අතහැරියාද ? නෑ අත්හැරුනි... මේ මගේ නිර්මාණි නොවේ.. යැයි සිතී අත්හැරුණි...
කාමරයට ආවේ කෙසේදැයි නොදනිමි.. කපා දැමූ කෙසෙල් කඳක් මෙන් මා බිම වැටී බලාගත් අත බලා සිටියෙමි...

" ගාමන්ට් කෑලි විශ්වාස කරන්න එපා බන්. උන්ට එකක් කියලා නෑ.. උබට පිස්සුද?"

නිර්මාණිට පෙම් කරන වග ඇසූ සමහර මිතුරන් කියූ වදන් මතකයට විත් මගේ මුලු ශරීරයම වේදනාවෙන්, තරහෙන්, විටෙක වෛරයෙන් දැවී ගියේය...

රැය ගෙවුනේ කෙසේදැයි මට නිනව් නැත. වරින් වර මත්පැන් බෝතල් කීපයක් කාමරයට ගෙනාවා මතකය. එපමණකි..

" නිර්මාණි "

මට ඇය මතක් විය. මා දුරකතනය ගෙන බැලුවෙමි. නිර්මාණිගෙන් කෙටි පණිවිඩයක් විය..

" මන් ඊයේ රෑම ගමේ ආවා. තමුසේ වගේ හිඟන්නෙක් එක්ක මට ජීවත් වෙන්න බෑ. අම්මලා හොඳ තැනකින් මට යෝජනාවක් ගෙනත්.. හෙට මන් කසාද බඳිනවා"

මා දුරකථනය හැකි වෙර යොදා පොලවේ ගැසුවෙමි.. අතට හසුවෙන සෑම දෙයම කඩා බිඳ දැමුවෙමි..  නිර්මාණි ලඟ නැති බව දැන  දැනත් අමු තිත්ත වදනින් නිර්මාණිට බැන වැදුනි.. සියල්ල අවසන මම මගේ පිරිමි කම පැත්තක දමා කෑ ගසා හැඬුවෙමි......

" ඇයි රත්තරං ඔයා මට මෙහෙම කලේ.."
හදවත ඇසුවේ එපමණකි....

" තමුසෙ නිකම්ම නිකන් ගැරේජ් කාරයෙක්.හිඟන්නෙක්.."
මොලය දැඩිව ග්‍රහණය කරගත්තේද එපමණකි...

දෙවසරක් ගෙවී ගිය ඉක්මන........,

"කේතක... කේතක..."
උදෑසනම මා සොයන්නේ කවුරුන්දැයි මා බැලීමි... බෝඩිමේ නැන්දා තවත් කොලුවෙකු සමඟ මිලුලෙහිය.

"ආ නැන්දේ.. මොකෝ..."

"මේ.. ඔයාගේ පත්තරේ දැන්වීම දැකලා මේ ලමයා හොයන්  ඇවිත් තියෙන්නේ.. සේල් එකේ වැඩට.."

මා ඔහු දෙස බැලුවෙමි. ඔහු තරමක් කුලෑටි යටහත් පහත් කොලුවෙකු යැයි මට දැනුනි. ඒ මුහුනේ මොකක්දෝ හුරු පුරුදු බවකුත් සිතට දැනුනි..

"සර්... මං ... ඉස්කෝලේ ගිහින් නැවතුනා විතරයි.... කොහෙවත්... වැඩ කරලා නෑ...."

"හ්ම්..හ්ම්. එනවා එනවා.. මාත් මුකුත් නොදැන ගැරේජ් එකක මජං අතගාපු නිකම්ම නිකන් ගැරේජ් කාරයෙක්... කොටින්ම කිව්වොත් ඒ කාලෙ හිඟන්නෙක්.. හැබැයි එක වචන ටිකක බලයෙන් අද මන් වාහන සේල් තුනක අයිති කාරයෙක්..." එසේ කියූ මා මගේ අතීතයට හඬ නඟා සිනා සුනෙමි...

" ආ..කේතක.. මන් ටික දවසකට කලින් අර ළමයා නැවතිලා උන්නු කාමරේ අස් කලා.. මෙන්න මේ ඩයරිය පොත් වගයක් අස්සේ තිබිලා හම්බුනා.. දෙන්න ඕනේ කිය කියා හිටියා මිසක්.. මේ වැඩ අස්සේ බැරි වුනානේ."

"මේවනම්.. මොකටද දැන් නැන්දෙ.." දින පොත අරගත් මා එය පරණ පත්තර ගොඩට වීසි කලෙමි...

තවත් සතියක් ගෙවුනි.........

උදෙන්ම , අලුතින් වැඩට  ආ කොලුවා මහ හයියෙන් අඬාගෙන ආවේය..

"සර්... අනේ සර්.. මට ගමේ යන්න ඕනේ.."
" ඒ මොකද ? උබ ඇවිල්ලත් සතියයි"
"අනේ ඔව් සර්.. මගෙ අක්කා.. මගෙ රත්තරං අක්කා ... මැරිලා සර්.."

ඔහු පඩිය උඩ හිඳගෙන හඬන්නට විය.

" මොනවා.. හදිසියේම... මොනා වෙලාද?"

" මගෙ අක්කට .. පිළිකාවක් තිබ්බා සර්.. එයා... එයා ගොඩක් අමාරුවෙන් හිටියෙ.... මට එයාට  සළකඟන්න බැරි වුනා සර්.. මට හිටියේ එයා විතරයි.. මේ.. ඉන්නේ මගෙ.. රත්තරං අක්කා..."

ඔහු කලිසම් සාක්කුවේ තිබී කුඩා ජායාරූපයක් ගෙන මගෙ අතින් තිබ්බේය.

" දෙයියනේ......"

මගෙ කකුල් පණ නැතුව ඇද වැටෙතැයි මට සිතුනි.. මා එක හුස්මට දිවගොස් එදා පරණ පත්තර ගොඩට වීසි කල නිර්මාණිගේ දින පොත සොයා ගතිමි..මුල සිට කියවන්නට තරම් සිහියක් මට නොවිනි.. අප්‍රාණිකව ගැහෙන ඇඟිලි තුඩු වලින් මා දින  පොතෙහි අවසන් පිටුව පෙරලුවෙමි.. එහි අවසන් වරට මෙසේ සඳහනක් විය....

" අසනීප තත්වයේ අවසාන  රිපෝට් ආවා.. මට තියෙන්නේ කෑන්සර් එකක්.. අනේ දෙවියනි, මං කොහොමද මේක මගෙ කේතකට කියන්නේ. එහෙම උනොත් හම්බ කරන හැම සතේම මාව හොඳ කරන්න ගනියි. එක දවසක් හරි වැඩියෙන් මාව ජීවත් කරවන්න එයා මිනිස්සු ලඟ හිඟාකයි.. එතකොට එයා නිතරම ආස කරපු එයාගේ හීනය කවදාවත් ඉටු වෙන එකක් නෑ.. මං ගැන ආදරෙන් හිටියොත් එයා මන් ගැන හිත හිතා විනාශ වෙයි. ඒත්... එයාට මං ගැන කලකිරිමක් ඇති කලොත්, ඔව්... එහෙම කලොත් එයා ඒ තරහට එයාගේ හීන වලට යයි.. මට සමාවෙන්න කේතක.. මගෙ ආදරේ හැමදාමත් ඔයාට.. ඔයා හැබෑකරගන්න හීන දිහා මන් කොහේහරි ඉඳන් බලන් ඉන්නම්....මම හැමදාමත්  ඔයාගෙම නිර්මාණි "
-----------------------------------
                 -සඳරේකා විජේන්ද්‍ර -

උපුටා ගැනීමක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment