-- ටිකක් දිග කතාවක් --
............................................................................................
"සරත්... හෙලෝ.. සරත්"
කැම්පස් එකේ ගේට්ටුවෙන් එළියට එද්දිම ඇහුනු කටහඬ නිසා මගෙ මනෝ ලෝකයෙන් පොඩ්ඩකට එළියට ඇවිත් ආපහු හැරිල බලන්න සිද්ධවුනා. උස ටයි කෝට් කාරයෙක් හිනාවෙවී මගෙ ඉස්සරහට එනව. ඒත් මට මේ මනුස්සයව නිච්චියක් නෑ.
"මේ සරත් නේද? සරත් සමරනායක? මාව අඳුරන්න පුලුවන්ද?"
ඒ රූපයෙ මොකක්හරි හුරුපුරුදු ගතියක් තියෙනව වගේ දැනුනත් මගෙ වයසත් එක්ක මතකෙට ගන්න ටිකක් අමාරුවුනා.
"සරත් මම රවී. රවීන්ද්‍ර ජයම්පති. ආනන්දෙ අවුරුදු අටක් එක පන්තියෙ හිටපු රවී"
මට කෑ ගැස්සුනේ නැති ටික විතරයි. අවුරුදු හතළිහක් ඈතට මාව විසිවෙලා ගියා දන්නෙම නැතුව.
"දෙයියනේ. රවී, මචන්"
"යකෝ උඹලට දැන් අපිව මතකත් නෑනෙ"
රවී එහෙම කිව්වෙ හිනාවෙවී මගෙ අතින් අල්ලගන්න ගමන්. කාලයක් මේ තමයි මට හිටපු අතිජාත මිත්‍රය. තාමත් ඒ අත්වල උණුසුම එහෙම්මමයි.
"කොහෙ අඳුරගන්නද දොස්තර මහත්තයො අපි දැන් වයසක මිනිස්සුනෙ. ඇරත් රවී වෙනස්වෙලානෙ"
"වෙනස්වෙලා? මම? ඒත් මට පේන්නෙ නම් අපි දැනගෙන හිටපු සරත් සමරනායක වෙනස්වෙලා වගෙයි"
මම ඒකට උත්තර දෙන්න හදනකොටම ගෑණු දරුවෙක් එතෙන්ට දුවගෙන ආවෙ මොනවදෝ කියවගෙන.
"අයියෝ තාත්ති අදත් ලේට්. මම කිව්වෙ මෙතන ඉන්න කියල නෙමෙ..."
මාව දැකපු ගමන් ඒ දරුව ගැස්සුනා. කතාවත් නතරවුනා. ඒ මුහුණ මට හොඳට දැකල පුරුදුයි.
"සර්.. මම දැක්කෙ නැහැ. තාත්ති, මේ අපේ ප්‍රොෆෙසර්"
"නෑ... සරත් එතකොට දැන් කැම්පස් එකේද වැඩ? මම ඒ වගක් දැනගෙන හිටියෙ නෑ. මේ මගෙ චූටි දූ උත්තරා. මෙයාගෙ වැඩකට ආපු ගමන් තමයි මම සරත්ව දැක්කෙ"
"මම දැන් අවුරුදු දහයකටත් වැඩියි මෙහෙට ඇවිත් රවී. දැන් ඉතින් කැම්පස් එක තමයි මගෙත් ජීවිතේ"
"අපි කැම්පස් එකෙන් අවුට් උනා, උඹ තවම කැම්පස් යනව. බලන් ගියහම උඹ තමයි මිනිහ. ඒත් හත්තිලව්වෙ උඹ එක පාරටම අතුරුදහන්වුනේ කොහෙද?"
රවීගෙ ඒ ප්‍රශ්නෙට දෙන්න උත්තරයක් මට තිබුනෙ නෑ. අවුරුදු ගානකට පස්සෙ ආයිත් අතීතය ඡායාවක් වගේ ප්‍රතිනිර්මාණය වෙන්න ගත්තෙ මටත් නොදැනිම. රවීගෙ කටහඬින් ආපහු මේ ලෝකෙට වැටුනෙ හොඳ වෙලාවට.
"මචන්, මෙහෙම කතාකරන්න බෑ. මටත් ටිකක් ලේට්වෙලා තියෙන්නෙ. ඒ උනාට මට ආපහු උඹව අල්ලගන්න ඕනෙ. අවුරුදු තිහ හතළිහක කතාවක් තියෙනව අපිට මතක් කරන්න. මට ෆෝන් නම්බර් එක දීපන්. අපි අද හෙටම මීට් වෙමු. උඹ දැන් ප්‍රොෆෙසර් කෙනෙක් උනාට මට තවම පරණ ෆිට් එක තමයි හරිද"
............................................................................................
ඊට හරියටම දවස් දෙකකට පස්සෙ රවී මට කතා කළා. එයා මාව එක්කගෙන යන්න ආව මම හිටපු ඇනෙක්සියට. නිවාඩු දවසක් නිසා අපිට ඕනෙතරම් වෙලාව තිබුන පැරණි රසාංග ස්මරණය කරන්න.
"යමු අපේ ගෙදර. අද වයිෆ් ලොකු පුතයි, චූටි දූයි එක්ක එළියට ගියා. මම ඉතින් බයිලයක් ගහල නතරවුනා. අපිට නිදහසේ කතා කරන්නවත් බැරියැ"
රවී එහෙම කිව්වෙ කාර් එකට නගින ගමන්.
"රවීට පුතෙකුත් ඉන්නවද?"
"ඔව් ඔව්. පුත්තු දෙන්නෙක් ඉන්නව. පොඩි පුතා ස්ටඩීස්වලට ඉන්ග්ලන්ඩ් ගිහින් ඉන්නෙ. ලොකු පුතා ඩොක්ටර් කෙනෙක්. එන මාසෙ එයාගෙ වෙඩින්ග් එක"
රවීගෙ ජීවිතේ සාර්ථක එකක් කියල මට කතාවෙන්ම තේරුණා. වාසනාවන්ත මනුස්සයෙක්.
"සරත්ගෙ වයිෆ් මොකද කරන්නෙ? එයා අද වැඩද? මම දැක්කෙ නෑ"
"මම බැන්දෙ නෑ බන්"
##@!?#බ්‍රාස්ස්ස් ස් ස් ස්...........$@@#!!!
ඒ ගහපු බ්‍රේක් පාරට මගෙ ඇඟත් වෙව්ලන්න ගත්ත. රවී මන් දිහා බයවෙලා වගේ බලන් ඉන්නව.
"මොකද බන් උනේ? භූතයෙක් දැක්ක වගේ බ්‍රේක් ගැහුවෙ"
"මමත් බැලුවෙ උඹ භූතයෙක්ද කියල තමයි. අපිත් එක්ක හිටපු හැන්ඩිය උඹ. කෙල්ලො වහ වැටිල හිටියෙ උඹට මිසක් අපිට නෙමෙයිනෙ. අනික උඹට ඒ කාලෙ කෙල්ලො කීයක් හිටියද. එහෙව් එකා බැන්දෙ නෑ කිව්වම බයවෙන්නෙ නැද්ද"
"ඒව දැන් පරණ කතා බන්. අන්තිමට මාත් ලස්සන කෙහෙල් ගහකට කොටල පැටලුනා"
"ඒ කිව්වෙ"
"මාත් කෙනෙක්ට ඇත්තටම ආදරය කළා අන්තිමට. ඒත් ඒක ලස්සනට ඉවරවුනේ නෑ. ඉතින් මම තාමත් ඒක හිතේ තියාගෙන තනියම ඉන්නව"
"සොරි මචන්, උඹට අන්තිම කාලෙ සීරියස් ලව් එකක් තිබුන කියල අපි දැනගෙන හිටිය. ඒත් උඹ අපිට කිසිදෙයක් කිව්වෙ නෑනෙ. එතකොට ඒකද උඹ අපි කාටවත් නොකියම මිසින්ග් උනේ"
"ඔව්"
"උඹට ඔහොම වෙන්න තරම් මොකක්ද උනේ?"
"උඹ දන්නවනෙ මම ඒ දවස්වල ආතක් පාතක් නැති එකා. හරියට ඉගෙන ගත්තෙත් නෑ. ගෙයක් දොරක් රස්සාවක් නෑ. ඉතින් මොන අම්ම තාත්තද බන් තමන්ගෙ දුවව මම වගේ එකෙක්ට දෙන්නෙ. ඒ මිනිස්සුන්ගෙ වරදක් නෑ. එයාගෙ තාත්ත මට කිව්ව රස්සාවක් හොයන් එන්න කියල"
"ඉතින්"
"මාස ගාණක් කට්ට කාල රස්සාවක් හොයාගත්ත මන්. ඒත් ඒ වෙද්දි පරක්කු වැඩියි. එයාව ගෙදරින් බන්දල දීල"
"ඉතින් බන් ඒ කෙල්ලනෙ වැරදි. ඇයි ඒකට උඹ මෙහෙම උනේ"
"එයා වැරදි නෑ රවී. මට කලින් එයාට ඒ අම්මල තාත්තල හම්බුනේ. පිටින් බලල අපිට හුඟක් දේවල් කියන්න පුලුවන්. ඒත් එයා කෙල්ලෙක්. අපි වගේම මනුස්සයෙක්. කොයිතරම් අසරණ වෙන්න ඇද්ද"
මම වීදුරුවෙන් ඉවත බලාගත්තෙ පරණ තුවාලයක් තදින්ම ආපහු පෑරුණා කියල දැනුන නිසා.
...................................................................................................
දන්නෙම නැතුව රවීගෙ ගෙදරටත් ආව. ඒක මාළිගාවක්. එක මොහොතකට මට මගෙ ජීවිතේ ගැන වේදනාවක් දැනුන. රවීගෙ සාර්ථකත්වය දැකල ඇතිවුන පුංචි ඉරිසියාවක්. ඒත් ඒ මොහොතකට විතරයි.
"ඉතින් මට මෙන්න මේක කියහන් සරත්. අච්චර පිස්සු කෙළපු උඹ ප්‍රොෆෙසර් කෙනෙක් උනේ කොහොමද කියල?"
"උඹ දන්නවනෙ මොනව නැති උනත් මම මැරෙන ජාතියෙ මිනිහෙක් නෙමෙයි කියල. මට ජීවත්වෙන්න අරමුණක් ඕනෙ උනා. ආදරය, විවාහය වගේ දේවල් ගැන මට කිසිම හැඟීමක් තිබුනෙ නෑ. ජීවත්වෙන්න මම කළේ ඉගෙනගත්තු එක. දිගටම ඉගෙනගත්ත. අන්තිමට ජීවිතේ එක පැත්තකින් මම මගෙ වේදනාව නැති කරගත්ත"
"ඒ අතින් උඹ මාරයි. උඹට හයිය හිතක් තියෙනව. ඔහොම ප්‍රශ්නවලදි වෙන මිනිස්සුන්ට දරාගැනීම බින්දුවයි. මට මගෙ වයිෆ් හම්බුනෙත් ඔය වගේ සිද්ධියක් හින්ද තමයි. අහසට පොළව වගේ උඹේ කතාවෙ අනිත් පැත්ත."
"ආ දොස්තර මහත්තයත් එහෙනම් ලව් කරල වගේ, නර්ස් නෝනෙක්ද?"
"මොන ලව්ද බන්. උඹට වගේ ලව් කරන්න මට ඉස්සරත් බෑ කියල උඹ දන්නවනෙ. ප්‍රපෝසල් එකක්. හැබැයි මගෙ පැත්තෙන්... අනික නර්ස් කෙනෙක් නෙමෙයි මගෙ පේෂන්ට් කෙනෙක්"
"පේෂන්ට්?"
"ඔව්"
රවී මොහොතකට නිශ්ශබ්ද වුනා. එතනින් එහාට මම ඒක අහන්න ගියෙ නෑ. මිනිස්සුන්ගෙ පුද්ගලික දේවල්නෙ.
"සරත්.. ඉස්සරත් උඹ මගෙ හොඳම යාළුව. උඹ ගියත් හරි මට කතා කරන්නවත් දෙයක් කියන්නවත් කෙනෙක් හිටියෙ නෑ. මගෙ හිතේ ලොකු බරක් තියෙනව. ඒව හැමෝටම කියන්න බෑ. ඒත් උඹ තවමත් මට පරණ සරත්මයි"
"කියහන් ඕනෙ දෙයක්. මොකක්ද ප්‍රශ්නෙ?"
"මට වයිෆ්ව හම්බුනේ හොස්පිට්ල් එකේදි. සූසයිඩ් කේස් එකක්. ඒකයි මම කිව්වෙ මුලින්ම උඹත් එක්ක බැලුවම අහසයි පොළවයි වගේ කියල... කොල්ලෙක් බූට් එක තියල. ගෙදරට ආරංචිවෙලා මිනිහ වෙන කෙනෙක්ව බැඳල කියල. කෙල්ල ඕක දැනගත්තු ගමන් වහ බීල. ඒ කොල්ලට කොහොමත් හොඳ චරිතයක් තිබිල නෑ. ඒත් මෙයා ඒක පිළිගත්තෙම නෑ"
"ඉතින්"
"අන්තිමට බොහොම අමාරුවෙන් තමයි හිත හැදුවෙ"
"ඊට පස්සෙද උඹ ප්‍රපෝස් කළේ?"
"ඔව්. ඒත් ඇත්තම කතාව ඒක නෙමෙයි. මම ඇත්තටම එයාට ප්‍රපෝස් කළේ එයාගෙ දේපළවලට. ඒක තමයි මගෙ හිතේ තිබුනු බර. එයා ගැන ආදරයක් මට තිබුනෙ නෑ. එයත් මට කැමතිවුනේ ගෙදර අයගෙ කීමට. ඒත් කාලයක් යද්දි හුඟක් දේවල් වෙනස් උනා. මම ඇත්තටම ආදරය කළා. එයාගෙ සතයක්වත් මම ගත්තෙ නෑ. ඒත් වරදකාරී හැඟීමක් මට තිබුන"
........................................................................................................
අපි සෑහෙන වෙලාවක් කතා කළා. මග ඇරුණු යාළුවො දෙන්නෙක්ට මොන තරම් දේවල් තියෙනවද කතා කරන්න. දවල්ට කාල යන්න කියල රවී පෙරැත්ත කරපු නිසාම මම තීරණය කළා එයාගෙ පවුලෙ අනිත් සාමාජිකයො ටික එනකම් රැඳෙන්න. ඒ අතරෙ මම රවීගෙ වත්තෙ සිරි නරඹන්න ගත්ත.
"මචන් සරත්, මම ලන්ච් ඕඩර් කරල තියෙන්නෙ. පුතාල දැන් මග එන ගමන්. මම පට් ගාල වොෂ් එකක් දාගෙන එන්නම්. මචන් මට විනාඩි පහක් දියන්"
කොච්චර වයසට ගියත් මූ තවම කොල්ල වගේ. කොහොම හිටපු එකෙක්ද? මම ආපහු මගෙ අතීතෙට ඇදිල ගියා. අවන්කවම ආදරය කරපු මම අද තනිවෙලා. ඒත් හැඟීමක් නැති මිනිස්සු කොච්චර හොඳින් ඉන්නවද. එක අතකින් රවී නරක මිනිහෙක් නෙමෙයි. පටන්ගැන්ම කොහොම උනත් දැන් ඌ ආදරය කරන්නවත් ඉගෙන ගෙනනෙ. ඔය වගේ සිතුවිලි ගොඩක් එක්ක හුදෙකලා වුණු මම පියවි සිහියට ආවෙ වාහනයක් ආපු සද්දෙට.
රවීගෙ ගෙදර අය වෙන්න ඇති. මම හෙමින් හෙමින් ඒ පැත්තට ඇදුනෙ අර ගෑනු දරුව මාව අඳුනගනී කියල හිතාගෙන. ගේ ඉස්සරහ නවත්තල තිබුන කාර් එක ළඟම තරුණ පිරිමි දරුවෙක් කෝල් එකක. රවීගෙ දුව ඉහින් කටින් ෂොපින් බෑග් වගයක් එල්ලගෙන. කාර් එකේ පිටිපස්සෙ දොර ඇරගෙන ගැහැණු කෙනෙක් එළියට බැස්ස. රවීගෙ වයිෆ් වෙන්න ඇති.
එක මොහොතකට මාව ගල් ගැහුණ. ඇදගෙන නොවැටුණේ කොහොමද කියල මටම හිතාගන්න බැහැ. මම ඉක්මණටම ළඟ තිබුනු මාර ගහට මුවා උනේ අපරාධකාරයෙක් වගේ. මාව තවම වෙව්ලනව. දෙයියනේ ඒ මූණ. අවුරුදු තිහකට පස්සෙත් කාව අමතක උනත් ඒ මූණ අමතක වෙන්න තරම් මම මැරිල ඉපදිල නැහැ.
රවී කියපුව එකින් එක මගෙ ඔලුව වටේ කැරකෙන්න ගත්ත. ඒ කියන්නෙ මෙච්චර කාලයක් අපි රැවටිලාද? සූසයිඩ් කතාව, මම බැන්ද කතාව, එයා බැන්ද කතාව....
මට හැමදෙයක්ම පැහැදිලි වෙන්න ගියේ ටික වෙලාවයි... පරණ ආදරය ආපහු දකිද්දි පුදුම සතුටක් මට දැනුනෙ. ඒත් එයා තවම හිතන් ඇත්තෙ මම වැරැද්දක් කළා කියලද? ඔව් දැන්වත් ඒක හදන්න.......
මොකක්ද මම මේ කරන්න හදන්නෙ කියන සිතුවිල්ලත් එක්කම මාව ආපහු පොළවට ඇදන් වැටුන. අවුරුදු තිහක පරණ තුවාලයක් වෙනුවෙන් තවත් විනාශයක් කරන්න තරම් අමුනුස්සයෙක් නෙමෙයි මම.
මම එහෙම්මම කාටත් හොරෙන් එළියට ආවෙ වේලිලා තිබුනු තුවාලයක් අලුත් කරගෙන. රවී කියපු එක දෙයක් මට දෝංකාර දෙන්න ගත්ත. "ඒ කොල්ලට කොහොමත් හොඳ චරිතයක් තිබිල නෑ".
-
සිත්තර සටහන්
උපුටා ගැනීමක්
No comments:
Post a Comment