෴නුඹයි දාසී෴
~කෙටිකතා~
මද පවනත් එක්ක ඔමරි කරන සුදු පාට ලේස් තිර රෙදි අතරින් වෑස්සෙන රන්වන් පාට හිරු කිරුණ, ලියන මේසේ උඩ තිබුණු බෙලෙක් කෝප්පෙන් බැට කාපු නිසාදෝ මන්දා අවපැහැ ගැහිලා කහ උනු බිත්තිය පුරාම රන්වන් පාට පැල්ලම් පින්තාරු කරා. කොහේදෝ ඈතක ඉදන් හමාගෙන එන සුළඟත් එක්ක පුංචිම පුංචි බටිති මලිත්තන්ගේ ගීත රාවයකුත් මුසු වෙලා තිබුණා. ඒත් මට බයක් දැනෙනවා ඒ මිහිරි සෘතියට හානි කරන්න අරුමෝසම් සද්ද බද්ද මේ ගෙන්දගම් පොළවේ පිරිලා තියෙන නිසා. කියලා කට ගන්න හම්බුනේ නෑ උදේ පාන්දරින්ම රේස් යන බස් වලින් පිටවෙන කර්කශ හඬින් මාව තිගැස්සිලා ගියා. ඇඳ වියට්ටමට බර වුණු මම ඇස් දෙක පියාගෙන වටපිටෙන් ඇහෙන ශබ්ද වලට අවදානේ යොමු කරා. අඩි සද්ද, හෝන් සද්ද හැරුණු කොට වෙන මොකුත්ම ඇහුණේ නෑ. පිටි අත්ලෙන් මුණ පිහාගත්තු මම කොන්ඩ කැරලි එකතු කරලා බූල් බෑන්ඩ් එකක් දාගත්තේ දැන් වෙලාව හරී කියලා හදවත පත්ළෙන් ඇහෙන කන් කෙදිරියෙන් බේරෙන්න ඕනකමටයි. දත් ඇන්ද පූට්ටු වෙන තරම් සීතල වතුරෙන් ඇඟ සෝදගත්තට පස්සෙ දැනෙන සැහැල්ලු බවට මං පුදුම ආසයි.
"ගීතා තේ එක ගෙනෙන්..!"
"ගීතා කෝ මගේ පොත් ටික..?"
"අයියෝ ගීතා මං කී පාරක් කිව්වද මේ බෑග් එක එපා කියලා..!"
"ගීතා දොර ඇරපන්..! කිරිකාරයා ඇවිල්ලා වගේ.."
විසි එක්වෙනි සියවසේ, කොළඹ අහස යට මේ වගේ සිද්දියක් වෙන්න පුළුවන්ද.. ඒක මං මගෙන්ම අහන ප්‍රශ්නයක් ඒත් ඒක තමයි කටුක යථාර්ථය. අහ් නෑ මේ මගේ යථාර්ථවාදී ජිවිතය. මම කවුද, ඇයි මං මෙතන, මේකද මට උරුම තැන, කවද්ද මට බේරෙන්න පුළුවන් වෙන්නේ.. ප්‍රශ්න කෝටියක් විතර ඉතුරුයි ඒත් උත්තර අතළොස්සක්වත් නැති තරම්.
"ගීතා මේ බලපන් අපරාදෙනේ, මේ කිරි එක.." සින්ක් එක උඩ තිබුණු පළිඟු කෝප්පය දිහා බලාගෙන ඩයනා එහෙම කිව්වේ.
"මේක පොඩි බේබිගේ වැඩක්.."
"එක එකාට බෝලේ පාස් නොකර වැරැද්ද බාරගනින් ගෑණියේ..!" උදේ පාන්දරම වරදක් නොකරම අහන්න වෙන වචන වල සැරට හිස් හුළඟත් එක්ක පාවුණු රොඩ්ඩක් ඇහි පිල්ලම් එක්ක සෙල්ලම් කරනවද මන්දා.
"හෙලෝ..! හෙලෝ..!! ගුඩ් මෝනින් මිස්ට පෙරේරා.." විසිත්ත කාමරය දිහායින් ඇහෙන කටහඬත් එක්ක ඇස් රතු කරපු රොඩ්ඩ හුළඟටම මුසු වුණා.
"මොනවා වෙන්න බෑනේ..! ඒ ප්‍රොජෙක්ට් එක මගේ නමුත් ඒක කරේ මගේ යටතේ වැඩකරන අය, ඉතිං මට බෑ ඕකේ වරද බාරගන්න. අනේ මිස්ට පෙරේරා මොනවද මේ කියවන්නේ..? වරද කරේ ඒගොල්ලෝනම් මං මොන එහෙකටද රෙස්පොන්සබල් එක ගන්නේ..!" තව මොන මොනවදෝ වචන ගංඟාවක් ඇගේ මුවින් වාතලයට මුදා හැරුණා.
"ඩැඩී ඩැඩී මට පොකට් මනී දෙන්න" හේරත් අසලට ගිය සැන්ඩ්‍රාගෙන් අදත් ඉල්ලීමකි.
"ඊයෙත් ඔයාට දුන්නනේ ළමයෝ"
"ඒ ඊයෙනේ මට අදත් ඕනේ"
"ඊයේ දුන්න තුන්දාහට මොකද කරේ..?"
"රී ලෝඩ් දැම්මා, ලන්ච් එක ගත්තා, ඕවා තමයි ඉතින්.."
"දුව, ඔයාව අපි අච්චර ගවර්මන්ට් යුනිවර්සිටිස් තියෙනකොට ප්‍රයිවට් එහෙකටම යවන්නේ අපේ තත්ත්වේ රැකගන්න.. අන්න ඒක අමතක කරන්න එපා"
"හරි ඩැඩී හරි.."
"හැමතිස්සෙම ඕකම කොට කොට ඉන්නේ නැතුව පොඩ්ඩක් ස්ටඩිත් කරන්න දුව.." සැන්ඩ්‍රාගේ නියපොතු පහරින් අනේක විද වද වේදනා විදින දුරකථන තිරය දෙසට නොපහන් බැළුම් හෙළමින් ඔහු පවසයි.
"අනේ හරි ඩැඩී.. කෝ දෙන්නකෝ.. මට ලේට් වෙනවා.. දැන් ෆ්බි යන්නත් ඕනේ.. ඊයේ රෑ අප්ලෝඩ් කරපු ෆොටෝ එකට කොච්චර ලයික්ස් ඇවිල්ලද දන්නෙත් නෑ.. අයි කාන්ට් වෙයිට් ඩැඩී.. ප්ලීස් ගිව් මී මයි පොකට් මනී.."
"හ්ම්ම්ම්.. ඕකේ ඕකේ බට් ඩෝන්ට් වේස්ට් ටූ මච්..!" රබර් පටියකින් හිර කරලා තිබුණු මොණරු තුන් හතර දෙනෙක් අතින් අතට පියෑඹුවේ නොඉවසිල්ලෙන්.
වියළුණු මුව දෝවනය කරගැනීමට පැමිණි හේරත් එකවරම තිගැස්සුනේ මාව දුටු නිසාම විය යුතුයි.
"කොහොමද ගීතා..?"
"හොදයි මහත්තයා"
"අහ් මං මේ කියන්නමයි හිටියේ ගීතා පහුගිය මාස දෙකේ පඩි සල්ලිත් එක්කම මේ මාසේ අන්තීමට පහළොස්දාහක්ම දෙන්නම්කෝ හොදේ.. මේ දවස් ටිකේම අතේ සල්ලි නෑ.. අපිටත් මේ හතර වටේම ලෝන් ගහගෙන රිම් එකේ දුවන්නේ.." ඔහු මගෙන් කුමන පිළිතුරක් බලාපොරොත්තු වෙනවාද යන්න මා සිතාගැනීමටත් ප්‍රථමයෙන් ඔහු මුළුතැන්ගෙයින් නික්මගොස් හමාරය.
"ගීතා..!" මඳ පවනට මුසු වුණු බටිති මලිත්තන්ගේ සෘතියට ගැයෙන ඒ කන්කළු ගී නාදය.
"අනුරුද්ධ බේබී.."
"මෝඩී මං කී දවසක් කිව්වද මට බේබී බේබී ගාන්න එපා කියලා.. මොකෝ මං කිරි බොන අතදරුවෙක් යැ.." දඟකාරකමේ පැහැ තැවරුණු ඒ ස්වර රටාවට මගේ හදවත ආල වඩන තරම.
"අහ් මේ මං අර පොත හොයාගත්තා..
"මොනවා..! ඔය ඇත්තමද..?"
"ඔව් අහ් ගන්න.. ඔයා අද පාඩම් කරනවා නේද..?" ඔහු මට විසල් පොතක් පිළිගැන්වීය.
"ගොඩක් ස්තුතියි අනුරුද්ධ.. හ්ම්ම් ඔව් අද පාඩම් කරනවා.."
"කීයටද ක්ලාස්..?"
"හවස පහට.."
"මං ඔයාව ගිහින් දාන්නම්.."
"ඔයා මහන්සි වෙන්න එපා.. මට පුළුවන් බස් එකේ යන්න.."
"විකාර නැතුව ලෑස්ති වෙලා ඉන්න.. මං එන්නම් එක්ක යන්න.. ගීතා..!"
"හ්ම්ම්ම්.."
"ඔයා තාමත් ඒ හීනේ අතෑරලා නෑ නේද..?"
"මට ඒ හීනේ අතාරින්න බෑ.."
"ගීතා ඔයා හිතනවද ඒ ණය ගෙවන්න පුළුවන් වෙයි කියලා..?" ඔහුගේ දෑස් චංචලය.
"මට විශ්වාසයි මට ඒක කරන්න පුළුවන් කියලා.." ජනෙල් පඩියට බර වුණු මම කොළඹ අහසට දෑස් යොමු කළා.
"ඔයා ඔහොම විදවනවා ගීතා මට ඒක බලන් ඉන්න බෑ.." ඒ දයාබර හදවත මොනතරම් උණුසුම්ද.. ඒ උණුසුමෙන් මිදෙන්න මට ලෝභයි.
"අනුරුද්ධ..!"
"හ්ම්ම්ම්.."
"මං වගේ වැඩකාරියෙක්ට ආදරේ කරන්න එපා රත්තරනේ.." කඳුළු කැටදෙක තුනකින් තෙමුණට සීතල ටයිල් කැට උණුසුම් වෙන්නේ නෑ කවදාවත්ම.
"පිස්සී ඔයා වැඩකාරියක් නෙවෙයි.. කවුද එහෙම කිව්වේ.."
"නොකිව්වට ඒකයි ඇත්ත.."
"මෝඩ කතා කියන්න එපා කෙල්ලේ.. අම්මාට දැන් සනීපද..?"
"හ්ම් ඔව් දැන් ටිකක් ගුණයි ඒත් තවම ඉන්නේ වැලිසර.."
"බෙහෙත් වලට වියදම් වුණු ලක්ෂ දෙක ඔයාට හොයන්න පුළුවන්ද මගේ කෙල්ලේ..?" ඔහුගේ හඬ තිගැස්සෙන සුළුයි.
"ඔව් මට පුළුවනී.. මට මාව විශ්වාසයි, ඒ වගේම ඔයාවත්.. ඔයා මට ඔයාගේ මාමාගේ ගෙදර මෙහෙමවත් වැඩ කරලා සල්ලි හම්බකරන්න හොයලා නොදුන්නානම් සින්න වුණු ගේකුත් තියෙන, තාත්තාත් නැති මං කොහේ කියලා යන්නද දෙයියනේ..?" නැවතත් කඳුළු බිඳු දෙක තුනකින් සීතල ටයිල් කැටවලට පහර දුන්නේ උණුසුම් කරන්න නොහැකි උනත් පැල්ලමක් හෝ ඉතිරි කිරිමේ බලාපොරොත්තුවෙන්.
"ගීතා.. ඔයාගේ හීනේ, ණය සල්ලි පියවන එක නේද..?" සරළ රේඛාවක් ඔස්සේ පැටළුණු ඔහුගේ බැල්මට මම හිනා උනා.
"ඇයි හිනාවෙන්නේ..?" ඔහුගේ දෑස් විමසනවා මට දැනුණා.
ගෙන්දගම් පොළව හූරන ඉදල් පහරක් මාවත කෙළවරින් දෝංකාර දෙනවා. ඒත් ඒ ශබ්දය මගේ අම්මා විසින් දූවිලි පොළව හාර අවුස්සන ඉදල් පහරට වඩා වෙනස්. අතරින් පතර නවතින ඉදල් පාරට හිලව් වෙන්නට ඇහෙන නොනවතින කැස්සට සවන් යොමු කරන් ඉදපු මම කවදාවත්ම හෙළි නොකරපු මගේ එකම හීනය,
"මගේ හීනේ තමයි දවසක අර වගේ මිනිස්සුන්ට හයියක් වෙන එක.." මෙලෙසින් එළිකළේ අනුරුද්ධ ගෙනවිත් දුන් වෛද්‍ය පුස්ථකය ලැමට හොවාගනිමිනුයි.
<•> නිමි <•>
සෙව්වන්දි පෙරේරා
(වස්සාන කුමරිය)
07/05/2016
උපුටා ගැනීමකි
No comments:
Post a Comment