හිමි වුණා නම් නුඹ මට

"හිමි වුණා නම් නුඹ මට"
කෙටි කතාව

"ගුඩ් මෝනින්." ඉස්කෝලෙට යද්දිම මම දකින්න ආසම රුව ඇස ගැටුණා.

"ආ ගුඩ් මෝනින්. පුදුමයි මනූ උදෙන්ම ඇවිත්. එන්න එන්න ආවත් එකේ ග්‍රවුන්ඩ් එකට යමු." සඳැසි මාවත් ඇදගෙන ග්‍රවුන්ඩ් එකට දිව්වා.

සඳැසි කියන්නෙ ඉස්කෝල ඉඳපු මම දැකපු හොඳම කෙල්ල. ටීචර්ස්ලා ලමයි හැමෝම එයාට ආදරෙයි. මාත් ආදරෙයි. ඒත් මගේ ආදරේ අනිත් අයගෙ වගේ නෙමෙයි. මම මනුජ. ගොඩක් අය කිව්වෙ මනූ කියලා.

සඳැසිව මට ගොඩක් සමීප වෙන්නෙ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවේදි. අපි දෙන්නම එකම නිවාසෙකට වැටුනෙ. ඇය නිවාස නායිකාව. මම ක්‍රීඩා නායකයා. සඳැසි ක්‍රීඩා කරන්නෙ නෑ. හේතුව මම දන්නෙ නෑ. ඒත් ඇය හරිම ක්‍රියාශීලී කෙනෙක්.

"මොනාද අප්පේ හිතන්නෙ. අන්න යාලුවොත් ඉන්නවා. මම අතෙන්ට යනවා. බායි."  සඳැසි එහෙම කියාගෙනම ග්‍රවුන්ඩ් එකේ එහාට දිව්වා.

"හරී බායි." මාත් මගේ යාලුවො ඉන්න පැත්තට ගියා.

"මෝනින් මචං. අදනම් මූණ එළියයි. මොකද අලුත් යමක් තියෙනවද?" හසුන් මගේ බොක්ක. හසුන් ඇහුවෙ මගේ මූණෙ තිබුන එළියක් නිසා වෙන්න ඇති ඇත්තටම.

"එහෙම දෙයක් නෑ බං. අද එද්දිම හම්බ උනා. ඒකයි." මාත් හිනාවෙවී කිව්වා.

"උඹට වැඩක් කියන්න තියෙනවා. වරෙන්කො." හසුන් මටත් අඬගහගෙන වෙරළු ගහ යටට ආවෙ අපි කවදත් කතා කරන්නෙ මෙතන නිසා.

"සඳැසිට කොමස් එකෙ විකුම් අයියා ට්‍රයි." හසුන් කියද්දි මගෙ මුළු ඇඟම ගිනි ගන්නවා වගේ දැනුනා.

"සඳැසි කැමතිද?" මං ඇහුවෙ එච්චරයි.

"දන්නෙ නෑ. හැබැයි පේන විදියට නම් අකමැත්තකුත් නෑ." හසුන් කියද්දි මම බලාගෙන හිටියෙ ග්‍රවුන්ඩ් එකේ එහා කෙලවරේම එක්සර්සයිස් කරන සඳැසිගෙ අපැහැදිලි රුව දිහා.

"උඹට කරන්න පුලුවන් දෙයක් ගැන හිතපං මනුවා. උඹට ඕක කරන්න බෑ." හසුන් මේ ගැන දැන ගත්ත දවසේ ඉඳන්ම මට කියන කතාව අදත් කිව්වා.

"මම කරනවා. හැමදාටම මම එයාට ආදරේ කරනවා. මගෙ නොවී වෙන කෙනෙක්ගෙ උනත්." මම හිතේ තිබුණ ආදරේ පිට කලේ ඒ වචන වලින්.

"උඹට හොඳටම පිස්සු මනුවා. බලපං ඔය කෙහෙම්මල් ලවක් නිසා ගිය ටර්ම් ටෙස්ට් එකටත් මාක්ස් අඩුයි. උඹ එක්සෑම් එකත් ඇන ගනියි මට පේන විදියට." හසුන් තැවෙනවා. ඌ මට පණ වගේ. මොකක්දෝ කරුමෙකට මට හිමි කරගන්න බැරි කෙනෙක්ට මම ආදරේ වෙලා.

"මම එක්සෑම් ගොඩ දාගන්නම් බං. උඹට පුලුවන් නම් මේ ටික කාලෙත් මාත් එක්ක මේ හිටියා වගේම ඉඳපං. මට ඒ ඇති." මම හසුන්ගෙ උරහිසට අත තියලා කියද්දි ඌ මගේ අත තද කරලා අල්ල ගත්තෙ ඒ පොරොන්දුව මට දෙමින්. මම හිනා වෙලා ග්‍රවුන්ඩ් එක මැදට දිව්වා.

"මනුවා කෙල්ලො හිතයි උඹට පිස්සු කියලා. උඩ පනින්නෙ නැතුව එක්සර්සයිස් කරපන්." හසුන් කෑ ගැහුවා.

අපි ක්ලාස් එකට යද්දි පහු වෙන සඳැසිගෙ ක්ලාස් එකේ සඳැසි ඉන්න තැන බලන එක මට දැන් පුරුද්දක් වෙලා. අදත් ඒ පුරුද්දට මම සඳැසිගෙ ඩෙස් එක ලඟ බැලුවා. උදේ ග්‍රවුන්ඩ් එකේදි දැක්කට පස්සෙම දැක්කෙ නැති නිසයි කැන්ටිමට යමන් කියලා හසුනයාත් ඇදගෙන මේ එලියට පැන්නෙ. ඒත් සඳැසි හිටියෙ නෑ.

"මනූ කොහෙ බලාගෙනද මේ යන්නෙ?" සඳැසි මගේ ඉස්සරහා. තව ඩිංගෙන් හැප්පෙනවා. සඳැසිගෙ හිනාවෙන ඇස් දෙකයි ඒ හිනාවයි දැක්කම මම ගොලු වෙන්නෙ ඉස්සර ඉඳලමයි.

"ඕහ් සොරි. අපි දැක්කෙ නෑ. අපි කැන්ටින් එකට යනවා." මං වෙනුවට හසුන් කතා කලා. මාත් හිනා උනා.

"මේ වෙලාවෙ මොකද ලමයි කැන්ටින් යන්නෙ. දැන් ටීචර් නැද්ද?" ඉස්කෝලෙ මැඩම් වගේ සඳැසි ඇහුවෙ.

"නෑනෙ." හසුන් කිව්වෙ දඟකාරකමින්.

"හරි හරි මාත් කැන්ටින් එකේ ඉඳන් එනගමන්. ගිහින් එන්න." සඳැසි එහෙම කියලා මගේ කොණ්ඩෙත් අවුල් කරලා ක්ලාස් එකට ගියා. මතක ඇති දවසෙ ඉඳලා සඳැසි මාත් එක්ක කතා කරලා යද්දි මගෙ හිසකෙස් අවුල් කරලා යන එක ඇගේ පුරුද්දක්. ඇය කතා කරලා යද්දි අවුල් වෙන්නෙ මගෙ හිසකෙස් විතරක් නෙමෙයි. මගෙ මුලු ලෝකෙම අවුල් වෙනවා. මම එයා යන දිහාම බලාගෙන ඉද්දි හසුන් මාව ඇදගෙන පඩිපෙල බැස්සා. තව ඩිංගෙන් වැටෙනවත් එක්ක.

"යකෝ වැඩි දවසක් නොගිහින් උඹව මාට්ටු වෙනවා." හසුන් කතා කලේ තරහින්.

"හරි හරි බං. කටවහන් යමන්." මම හසුනයත් ඇදගෙන කැන්ටිමට ගියා. යද්දි විකුම් අයියයි කට්ටියම කැන්ටින් එකේ.

"ආ මනූ මල්ලී... සඳැසිගෙ ෆේවරිට්." විකුම් කිව්වෙ අපි එන දිහා බලන්. මට නම් සතුටු හිතුනා සඳැසිගේ ෆේවරිට් කිව්වෙ මට කියලා දැනුන නිසා.

"කොහොමද විකුම් අයියා." මාත් ගිහින් එතනට සෙට් උනා.

"සඳැසි උඹ ගැන මාර වර්ණනාවක්නෙ දුන්නෙ." විකුම් අයියා කියද්දි මම කල්පනා කලේ සඳැසි විකුම් අයියා එක්ක කතා කරාද කියලා.

"විකුම් අයියා දැන් වැඩේ හරිද එහෙනම්." හසුන් ඇහුවෙ මගේ හිත ඇතුලෙ වද දෙමින් තිබුන ප්‍රශ්නෙමයි.

"ඒවා සේරම හරි මලයා.... දැන් ඇවිත් කතා කරලා ගියේ. උඹලා දෙන්නා ඩිංගක් කලින් ආව නම් බලාගන්න තිබුනා මුන් දෙන්නගෙ ප්‍රේම ජවනිකාව." විකුම් අයියගෙ යාලුවෙක් කියද්දි මගෙ මුළු ඇඟම වෙව්ලලා ගියා.

"ඒක නෙමෙයි මොකෝ මේ මලයලා මේ වෙලාවෙ කැන්ටිම පැත්තට ආවෙ." විකුම් අයියා අහද්දි මට මුකුත් කියාගන්න බැරි උනා.

"අපි මේ මොනව හරි බඩට දාගෙන යන්න ආවෙ අයියෙ. ටීච කෙනෙකුත් නෑ මේ වෙලාවෙ." හසුන් ඒ ප්‍රශ්නෙනුත් මාව බේරද්දි මම හෙමිහිට කවුන්ටර් එක ලඟට ගියා. හසුනයත් ඒ පස්සෙම ආවා.

"ඒ කට්ටිය ගියා." හසුන් කිව්වෙ මම කඳුලු හංග ගන්න අසාර්ථක උත්සාහයක යෙදෙන අතරෙ. ඒ වචනෙ ඇහුන ගමන්ම මගේ දුක දෝරෙ ගලා ගියා.

"යකෝ තොට පිස්සුද? මේ කවදාවත් අයිති වෙන්නෙ නැති අයිති කරගන්න බැරි කෙනෙක්ට ඔහොම ලව් කරන්නෙ. අඩෝ මනුවා මම හිතුවෙ නෑ බං උඹ මේ තරම් මෝඩයි කියලා. මචං ඒකි..." හසුන් ඊලඟට කියන්න යන දේ දන්න නිසා මම ඌව නැවැත්තුවා.

"මට ටිකක් තනියම ඉන්න ඕනෙ. උඹ පලයං ක්ලාස් එකට. මම ඉඳලා එන්නම්." මම එහෙම්මම පුටුවක් ඇදලා ඉඳගත්තා. හසුනයා මට පන වගේ ඌ මාව දාලා යන්නෙ නෑ.  ඌත් මගේ ලඟින්ම ඉඳගෙන හිටියා. කොහොම හරි පැයක් විතර කැන්ටින් එකට වෙලා හිටියා.

"මනූ... ඇයි තාමත් මෙතන?" සඳැසි ඇවිත්. සඳැසි මගේ පිටට අත තියලා අහද්දි මට තවත් දුක හිතුනා.

"මුගේ මේ හිසේ කැක්කුම හැදිලා. ඔයා මොකද ආයෙමත් කැන්ටින් එකට ඇවිත්?" හසුන් ඇහුවා.

"මං... නෑ මම මේ..." සඳැසි ගොත ගැහුවා.

"විකුම් අයියලා ගියා.. එයාව හම්බෙන්න වෙන්න ඇති එන්න ඇත්තෙ. නේද?" හසුන් ඇහුවෙ හිනාවෙලා.

"මම?? මම මොකටද විකුම් හම්බ වෙන්න එන්නෙ?" සඳැසි ඇහුවෙ පුදුමෙන් වගේ.

"නෑ නෑ විකුම් අයියා කිව්වා. අපි කාටවත් කියන්නෙ නෑ නේ බං." හසුන් මගෙනුත් ඇහුවා. මාත් හිස වනලා අමාරුවෙන් හිනා උනා.

"අනේ හසුන් කාටවත් දැන ගන්න නම් තියන්න එපා. ගෙදරින් දැනගත්තොත් මාව මරයි." සඳැසි බැගෑපත් වෙද්දි මට දුක දරාගන්න බැරි උනා. ඒත් මම හිනාවෙලා හිටියා.

"මනූ ප්ලීස් කාටවත් කියන්න නම් එපා." සඳැසි මගේ කොන්ඩෙත් අවුල් කරන් දුවගෙන ගියා.

"හරිනෙ දැන්. මෙන්න වැන්දා දැන්වත් ඕක හිතින් අත ඇරපං බං." හසුන් මාව ඇදගෙන කැන්ටිමෙන් එලියට බැස්සා.

"හසුනයා මට ඉන්න බෑ ම ගෙදර යනවා. බෑග් එක ගෙනත් දීපං." මම කිව්වෙ දරාගන්නම බැරි තැන.

"මනූ උඹට මම කිව්වා ඕක මට කියද්දිම. ඇයි උඹ මහ ලොකුවට ටෝක් කරේ එයා වෙන කෙනෙක්ගෙ උනත් මම ආදරෙයි කියලා. කෝ දැන් ඒ ගට?" හසුන් අහද්දි මට මං ගැනම දුක හිතුනා. 

"හසුනයා.... ඇයි බං මම සඳැසිටම ආදරේ කලේ?" මම අහද්දි හසුන්ටත් දුකයි.

"මනුවා සඳැසි කියන්නෙ අක්කා කෙනෙක්. උඹම හිතපං අඩුම ගානෙ ඒකි කැමති උනත් උඹලට එකතු වෙන්න පුලුවන්ද? මම මුල ඉඳන්ම ඕකට අකමැති උනේ ඒ හේතුව නිසා. උඹ නම් මහ මී හරකෙක්." හසුන් මට බැන බැනත් මගේ ලඟින්ම ඉන්නවා.

ඔව්. සඳැසි කියන්නෙ අක්කා කෙනෙක්. සඳැසි අපේ ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. මේ අවුරුද්දෙ උසස් පෙළ ලියනවා. මම..... මම මේ අවුරුද්දෙ සාමාන්‍ය පෙළ ලියනවා. අපි දෙන්නගෙ වයස් පරතරය අවුරුදු තුනක්. මම සඳැසිට ආදරේ කරේ ඇයි කියන්න මම දන්නෙත් නෑ. ඒත් මම එයාට ආදරෙයි.

"හසුන් මම ගෙදර යනවා බං. හෙට උදෙන් වරෙන්. අපි කතා කරමු." මම එහෙම කියලා හසුන්ව ක්ලාස් එකට යවලා බෑග් එකත් ගෙන්නගෙන ගෙදර ආවා.

"මම කොහොමද දරාගන්නෙ මගේ සඳැසි වෙන කෙනෙක්ගෙ වෙලා කියලා. බෑ බෑ කොහෙත්ම බෑ. සඳැසි මගේ." මම හිතුවා. අන්තිමට මම තීරණයක් ගත්තා.

____________________________________________________________________

මෙතැන් සිට කතාව හසුන්ගෙන්...........

මම උදේම ඇහැරුණේ මනූ ඊයෙ වේලාසනින් එන්න කිව්ව නිසා. ඒත් නැගිටපු වෙලාවෙ ඉඳන් ඇඟට කිසිම ෆිට් එකක් නෑ වගේ දැනුනා.

"චූටි පුතේ..." අපේ අම්මා ආවෙ පපුවත් අල්ලගෙන.

"අම්මේ... ඇයි?" මම බය උනේ අම්මට අසනීපයක්දෝ කියලා.

"හරි වැඩේ දරුවෝ අර මනූ ලමයා.." අම්මා මනූගෙ නම කියද්දිම මගේ හිතට කියාගන්න තේරෙන්නෙ නැති බයක් දැනුනා.

"ඇයි අම්මේ මනුවට මොකද?"

"අනේ පුතේ වහ බීලා...." අම්මා කියද්දිම මගේ ඔලුවට පොල්ලකින් ගැහුවා වගේ දැනුනා. මම එහෙම්මම බිම වාඩි උනා.

"මනුවා උඹ මොකද්ද බං මේ කරගත්තෙ." මම දෝතින්ම හිස බදාගෙන කිව්වා. ඒ එක්කම මම නැගිටලා ෂර්ට් එකක් දාගෙන දිව්වෙ මනූගෙ ගෙදරට. ගමේ කීප දෙනෙක්ම ඇවිත් හිටියා. මනූගෙ අත්තම්මා කියව කියවා අඬනවා.

මනූගෙ අම්මා මනූ පොඩි කාලෙ රට ගිහින් තාම ඇවිත් නෑ. තාත්තා නෑ. මනූ හැදුනෙ අත්තම්මා ලඟ. අත්තම්මා කිව්වෙ මනූගෙ අම්මගෙ අම්මා.

"අනේ පුතේ මගෙ කොල්ලා. අනේ මට දැන් කවුද ඉන්නෙ. මගෙ රත්තරං පුතා. ප්‍රශ්නයක් තිබුනා කියල මට හවසත් දැනුනා. මම අහද්දි මුකුත් නෑ මගෙ අත්‍තම්මේ කියලා මාව බදාගත්තා. මට මයෙ කොල්ලගෙ වෙනස දැනුනා. ඇහුවට කිව්වෙ නෑ. අන්තිමට මාව දාලා ගිහින් මම දන්නෙත් නෑ. මගෙ පුතේ අත්තම්මවත් අරන් යන්න තිබුන නේද? මම කොහොමද මේ ගින්දර දරා ගන්නෙ." අත්තම්මා මාව බදාගෙන ඇඬුවා. මටත් දරාගන්න බෑ. මූ මේ තරම් මොට්ට වැඩක් කරයි කියලා මම හීනෙන්වත් හිතුවෙ නෑ. එහෙම හිතුන නම් මම ඊයෙ පාඩම් කරන්න කියල හරි මෙහෙ එනවා.

"අත්තම්මේ අඬල වැඩක් නෑනෙ. දැන් අපි හිත හදාගමු." මම අත්‍තම්මව සැනසුවා. ඒත් මට මගේ හිත හදාගන්න බැරි උනා.

හවස් වෙද්දි මනුජගෙ දේහය ගෙදරට ගෙනාවා. දේහය බදාගෙන අත්තම්මා අඬා වැටෙද්දි මම අත්තම්මව අල්ලන් හිටියෙ හීනෙන් වගේ.

"උඹ ඇයි මටවත් කිව්වෙ නැත්තෙ මනුවා. අපි මෙච්චර ආදරේ කරද්දි උඹ කොහොමද මෙහෙම ගොන් බූරු වැඩකට හිත හදාගත්තෙ?" මම මනූගෙ හිස බදාගෙන ඇහුවා.

මම හොඳටම දන්නවා මනූ මෙහෙම කරගත්තෙ සඳැසි විකුම් අයියත් එක්ක යාලුයි කියලා දැනගත්තට පස්සෙ. මනුජගෙ ආසම සබ්ජෙක්ට් එක මියුසික්. මම මනූගෙ කාමරේට ගිහින් උගේ පොත් මේසෙ එහා මෙහා කරමින් බැලුවා මූ අන්තිම මොහොතෙ හරි මොකක් හරි කියල ඇති කියලා හිතුන නිසා. මියුසික් පොත අතට අරන් පෙරලුවෙ නිකමට. අන්තිම පිටුවෙ ඌ උගේ හැඟීම් හරි ලස්සනට ලියලා තිබුනා.

හසුන්....

මම මෙහෙම කරගත්තා කිව්වම මගේ අත්තම්මගෙන් පස්සෙ වැඩියෙන්ම දුක් වෙන්නෙ උඹ. මම ඒක දන්නවා. කවදාවත්ම සඳැසිට දැනගන්න තියන්න එපා මම එයාට ආදරේ කරපු බව. එහෙම උනොත් එයා දුක් වෙයි මම මැරුණෙ එයා නිසා කියලා. එයා සතුටින් ඉන්න ඕනෙ. මට විඳවන්න බැරි නිසා මම මෙහෙම කරගන්නෙ. පුංචි කාලෙ ඉඳලා මම ආදරේ කරපු අය මගෙන් ඈත් උනා. මම මහ කරුමක්කාරයෙක්. උඹ හොඳට ඉගෙනගෙන හොඳ තැනකට පලයං. පුලුවන් විදියට මගේ අත්තම්මාවත් බලාගනින්. බුදු සරණයි.

මනුජ.

"උඹ නම් පිස්සෙක් මනුවා." මම එහෙම කියද්දිම....

"අනේ මනූ.... මොකද්ද මේ කරගත්තේ..." ගෑනු ලමයෙක් කෑගහන සද්දෙ ඇහිලා මනූගෙ පොත අනිත් පොත් අස්සෙ හංගලා මම සාලෙට ආවා. මට මගේ ඇස් අදහා ගන්න බැරි උනා.

"සඳැසි....." මට ඉබේම කියවුනා. සඳැසි මනූගෙ හිස අතගගා අඬනවා.

"ඇයි මනූ මෙහෙම දෙයක් කරගත්තෙ. අපි ආදරේ තරම් දන්නෙ නැද්ද? ඔයාගෙ හිත මේ වගේ දෙයක් කරගන්න තරම් හයියයිද? නපුරුයිද? මම දන්න මනූ මෙච්චර නපුරු නෑ.... ඇයි මෙහෙම කලේ... බලන්න හැමෝම දුකෙන්." සඳැසි මනූගෙ හිස අත ගගා කියව කියවා අඬද්දි හැමෝම කසු කුසු ගාන්න ගත්තා.

"සඳැසි අක්කේ..." මම ගිහින් සඳැසිව පස්සට කරා.

"අනේ හසුන් මල්ලී... මේ ලමයා මොකද්ද මේ කරගත්තෙ." සඳැසි මගේ උරහිසට හිස තියාගෙන අඬනවා.

"කවුද ඒ?"
"මනුජ ලමයගෙ යාලු ගෑනු ලමයද?"
"එහෙනම් ඒ හුටපටයකට වෙන්නැති මේක කරගත්තෙ."
"අපරාදෙ ජීවිතයක්"
"නෑ ඒ ලමයා මනුජට වඩා වැඩිමල්."
"හැබෑද?"
"එහෙනම් හොඳ යාලුවෙක් වෙන්නැති."

එක එක්කෙනා එක එක කතා කියද්දි සඳැසිට කලන්තෙ හැදුනා. සඳැසි ඇවිත් තිබුනෙ සඳැසිගෙ යාලුවෙක් එක්ක. ඒ අක්කයි මමයි එහෙම්මම සඳැසිව වත්තම් කරන් මනූගෙ කාමරේට එක්කන් ගිහින් ඇයව ඇඳේ හාන්සි කලා.

වතුර ටිකක් ගෙනත් මූණෙ ගාලා සඳැසිට සිහිය ගත්තා.

"දැන් අඬලා වැඩක් නෑනෙ සඳූ." ඒ අක්කත් සඳැසිගෙ හිත හැදුවා.

සඳැසි අක්කා අඬ අඬම මනුජගෙ ඇඳේ තිබුන කොට්ටෙ උස්සලා ඇඳ විට්ටමට හේත්තු කරන්න හදද්දිම මොකද්ද ෆොටෝ කෑල්ලක් කොට්ටෙ යට තිබිලා අතට ගත්තා. සඳැසි ඒක හරවලා බලලා ඇස් ලොකු කරගත්තා.

"අනේ මනූ...." සඳැසි ඒ ෆොටෝ එක පපුවට තුරුලු කරගද්දිම ආයෙත් ඇයට සිහිය නැති උනා. සඳැසිගෙ යාලු අක්කා ෆොටෝ එක අරන් බලද්දි මාත් දැක්කෙ සඳැසියි මනුයි ස්පෝර්ට් මීට් එකේදි ගත්ත ෆොටෝ එකක්.

"මල්ලී මොකද්ද මේකෙ තේරුම?" අර අක්කා මගෙන් ඇහුවත් මන මුකුත් කිව්වෙ නෑ.  සඳැසිට සිහිය අරගත්තට පස්සෙ සඳැසි මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන ඉඳලා...

"හසුන් මට ඇත්ත කියන්න. මනූට මොකද්ද තිබුන ප්‍රශ්නෙ?" සඳැසි ඇහුවෙ කේන්තිය පිරුනු දෑසින්.

මම සේරම විස්තරේ කිව්වා. මනූ එපා කිව්වත් හැමදේම කිව්වා. විස්තරය කියන අතරෙ දෙතුන් වතාවක්ම සඳැසිට සිහිය නැති උනා. අන්තිමට ඊයෙ සිදුවීමෙන් පස්සෙ මනූ අප්සට් එකෙන් හිටියෙ බව කිව්වම සඳැසි ඇඳ විට්ටමට හිස ගහගෙන ගහගෙන ගියා. අපි දෙන්නටම ඇයව නවත්ත ගන්න බැරි උනා. අන්තිමට නලල පැලිලා ඇයව සිහිසුන් වෙනකන්ම ඇය ඒක නැවැත්තුවෙ නෑ. අපි ඇයව හොස්පිට්ල් ඇඩ්මිට් කරා. බෙහෙත් දාලා ඇයට සිහිය ආවට පස්සෙත් කියෙව්වෙ මනූ බලන්න යන්න ඕනෙ කියලා.

"මම මහ පව් කාරියක්. මාත් මනූට ආදරේ කලා. ඒත් එයා මල්ලි කෙනෙක්. මට වඩා අවුරුදු තුනක් බාලයි. මම කොහොමද ඒක කරන්නෙ කියලා හිතලා මම හිත හදාගත්තා. මනූගැන හිතෙන් අයින් කරන්න ඕනෙ නිසා විකුම්ට ලං උනත් මට මනූව අමතක කරන්න බැරි උනා. මම ඊයෙ කැන්ටින් එකට ආවෙ ඔයාලා කැන්ටින් එකට ගිහින් පැයකට වැඩියෙන් ගිහිල්ලත් ආවෙ නැති නිසා බලන්න. ඒත් ඒ වෙලාවෙ ඔයාලා දෙන්නම සතුටින් කිව්වම මම විකුම් එක්ක යාලු බව දන්නවා කියලා මගෙ හිත ටිකක් හැදුනා. ඒත් මනූ මට ආදරෙයි කියල දැනන් හිටියෙ නෑ මම. අනේ හසුන් මට මේක දරාගන්න බෑ." සඳැසි කියව කියවා ඇඬුවා.

අන්තිමට කිසිම දෙයක් නොදන්න මනූ මුලු ගමම හඬවා පොලව යට සැඟවුනා. ජීවත් වෙලා ඉඳගෙනත් සඳැසි මම අත්තම්මා මැරි මැරී ජීවත් උනා.

අවසානයි.

නොලැබෙන සහ ලබාගන්න බැරි දේවල් ගැන ලොකු බලාපොරොත්තු තියාගත්තම සමහර වෙලාවට අපිට තියෙන දේවලුත් නැති වෙන්න පුලුවන්. හැම විටම ලද දෙයින් සතුටු වෙන්න. ආදරය කියන මාතෘකාවෙදි හැමෝම බොළඳයි. පොඩි ප්‍රශ්නෙකදි පවා සැලෙනවා. ඒ නිසයි මේ වගේ දේවල් සිද්ද වෙන්නෙ. අපි කාට හරි ආදරේ නම් අපි එයාගෙ සතුට ගැන හිතන්න ඕනෙ. ඇත්තටම ආදරේ නම් ඒකයි විය යුත්තේ.

By Sherangi Shanika

තෙරුවන් සරණයි!

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment