මිතුරා

මිතුරා (කෙටිකතාව)

---------------------------

ජැකී...ජැකී... 

කොල්ලා යටි ගිරියෙන් කෑ ගසා හඩ ගැහුවේ කොල්ලාගේ ඉනටත් වඩා උස වූ ජර්මන් ශෙපර්ඩ් බලුරාජයාටයි...

ඇත්තටම  ....

පුංචි ගව පැටියෙක් තරම් වූ ජැකී ට බලු රාජයෙක් යැයි අැමතීමේ කිසිදු වරදක් නොමැති තරම්ය....

කොල්ලාටම පමණක් කීකරැ වු මෙම දඩාර සයිස් බලු රාජයා සමඟ කොල්ලා පාරේ යන්න‍ේද රටක් රාජ්ජයක් පාලනය කරන පාලකයෙකු  පරිද්දෙනි...

කොහෙදෝ ඉදන් මස් කටුවක් හප හප ඉන්න ගමන් කොල්ලාගේ සුවදට ඉව කරමින් නැට්ට වනමින් සිටි ජැකී දුවගෙන ඇවිත් කොල්ලාගේ කරට ඉදිරි ගාත් දෙක තියාගෙන කොල්ලාගේ මූණ ලෙව කන්නට පටන් ගත්තා...

ජැකී සමඟ හුරතල් වීමෙන් අනතුරැව කොල්ලා නැවතත් මස් කටු කිහිපයක් සාක්කුවෙන් එලියට ඇද ඈතට විසි කර බල්ලාව උසි ගැන්නුවා....

පිම්මට මස් කටු උඩට පැන ගත්ත ජැකී කුඩු පට්ටම් වෙන්න කටු හප හප ගිල දමන අයුරැ බලන් සිටි කොල්ලා නිවසට ඇතුලු වුනේ ඇදුම් ගලවා දමා නා ගැනීමටයි...

නිවස වට කොට තනා ඇති අඩි දහයකටත් වඩා උස බ්ලොක් ගල් බැම්මටම සම්බන්ධ කර ඇති සුවිශාල ගේට්ටුව නිසා විශාල මිදුලේ දඟ දාන ජැකී අසල්වාසීන්ගේ රැවුම් ගෙරවුම් වලින් ආරක්ෂා වුනත් , අමුත්තන් නිවස වටා ඉදි කර ඇති තාප්පයේ සීමාව වටා ඇති තාර පාරෙන් ගමන් කරද්දී නොනවත්වා ඇසෙන කන් බිහිරි කරවන බිරැම් හඬ නිසා කිසි සැකයකින් තොරව අසල්වාසීන්ගේ සාපයන්ට ලක් වුනා...

සමහර අවස්ථා වල කොල්ලා ජැකී සමඟ පාරේ ගමන් කරන විට අසල්වාසීන් බියටම කානු වලට බැස හෝ පාරෙන් ඉවත්වී රැදී සිටීම කොල්ලාට ඇති කලේ ආඩම්බරකාර සියුම් සතුටක්... නමුත් සෑම අවස්ථාවකදීම ජැකීගේ පටිය අත නොහැරීමට තරම් කොලුවා විමසිලිමත් වුනා...

මොනාද පුතා මේ?? අදත් කලිසම අස්ස‍ේ දාගෙන ආවාද අර යකා විසි කරන මස් කටු?? කට කැඩෙනකල් කියනවා මේ ලමයාට... අහන එකක්යැ..

කොල්ලාගේ අම්මා කොල්ලට පලු යන්න බැන බැන කලිසම පොගන්න දැම්මා වෙනම...

කොල්ලා හැමදාමත් වගේ අතේ තියෙන කීය වුනත් වියදම් කරලා හංදියේ මස් කඩෙන් අමු මස් කැබලි සමඟ මස් කටු ගෙනත් දෙන්න‍ේ ජැකීට දක්වන දැඩි ආදරය නිසාමයි...

නාලා කරලා ටී.වි එක ගාව සෙටියේ වාඩි වෙලා කකුල් දෙක තවත්  පුටුවක් උඩට දික් කරගෙන හිටපු කොල්ලා බිම දිගඇදිලා හිටපු ජැකීගේ ඔලුව අත ගගා ටී.වි එකේ චැනල් මාරැ කලා අනිත් අතේ තිබුනු රිමෝට් එකෙන්....

කොල්ලාට බැන බැන කලිසම ගසලා වේලෙන්න දාපු කොල්ලාගේ අම්මා කොල්ලාගේ ලගට කිට්ටු වෙද්දි ඔලුව උස්සලා බලපු ජැකී ගොරවන්න ගත්තා... සුපුරැදු විදියටම ඈතට වෙලා නැවතුනු අම්මා ඉනට අත්දෙක තියාගෙන කොල්ලා දිහාට හැරැනේ තවත් මොනා හරි කියන්නයි... ඒත් එක්කම ගේට්ටුවේ බෙල් එක වදින හඬ ඇහුනා...

ජැකී නැගිටලා ගොරවමින්ම ගේට්ටුව දිහාට යන්න හදද්දී කොල්ලා කෑ ගැහුවා...

ජැකී... sit here...  කොල්ලාගේ රළු ස්වරයත් එක්ක ජැකී නැවතත් බිම දිග ඇදී කෙල පෙරෙන දිව එලියට දා ගෙන ගේට්ටුව දිහාට කන් යොමා ගත්තා...

ගේට්ටුව පැත්තට ගිය අම්මා ටිකකින් ආවේ පිඟානකුත් උස්සගෙන...

කොල්ලා හිස ඔසවා ඒ පැත්ත බැලුවා...

අර රංජනී ඇන්ටිලාගේ ගෙදරට අලුතෙන් පදිංචියට කට්ටියක් ඇවිල්ලාලු...අද රෑට පාටි එකක් කියලා එන්න කිව්වා... මෙන්න කැවිලි වගයකුත් ගෙනල්ලා දුන්නා... කොල්ලාගේ අම්මා පිගාන පෙන්නලා කෑම මේසේ පැත්තට ගියා...

හ්ම්ම්... කොල්ලා මේ වන විට බෙල්ල උස්සලා අම්මා දිහා බලන් හිටපු ජැකීගේ බෙල්ල යටින් අත දාලා අත ගාන්න පටන් ගත්තා...

----------------------------------

පාටියට ගිහින් ආපු කොල්ලා ඇඳට වැටුනේ සිහින ලෝකෙක තනි වෙන ගමන්...

අම්මෝහ් ඒ කෙල්ලගේ ලස්සන...

ඒ බැල්ම....

කොල්ලා අමුතුම ලෝකෙක සැරි සැරැවා...

අලුතින් පදිංචියට ආපු එම නිවසේ  සාමාජිකයන් අතරින් කොල්ලාට කෙල්ලව විතරක් දැඩිව හිතට ඇල්ලුවා...

කොට්ටයකුත් තුරැල් කරගෙන කොල්ලා ඇද වට‍ේ පෙරලුනේ අමුතුම හැඟීමකින්...

-------------------------------------------

හංදියේ මස් කඩෙන් ආපහු මස් කටු ටිකක් අරගෙන කොල්ලා ගෙවල් පාරට හැරැනා...

අම්මා ගහයි බැට් එකෙන් කිව්වාලු... මේ අර කෙල්ල නේද???  කොල්ලාගේ ඇස් දෙක උඩ ගියා....

තරමක් වේගෙන් දුවගෙන ගිහින් කොල්ලා කෙල්ල ගාවින් හිටගත්තා...

ආහ්... අයියා.... මං බයවුනා.... කෙල්ල ලස්සන ඇස් නලව නලව කියද්දි කොල්ලගේ ඇග සීතල වෙලා ගියා...

නංගි... අද කොහෙද ගියේ.... හිරිමල් වයසේ යොවුන් හැගීම් ඉස්මතු වෙද්දී ආගිය තොරතුරැ කතා කරමින් දෙන්නාම ඉදිරියට ඇවිදගෙන ගියා...

නංගී ... එන්න තේකක් එහෙම බීලා යමු... කොල්ලා දැන් වෙනම ලෝකෙක...

කොල්ලා ගේට්ටුවට අත තියලා  තල්ලු කරලා ඇරියේ කෙල්ල දිහාම බලාගෙන...

අනේ..දෙයියනේ...ජැකී ගේ සයිස් එකට බියවුනු කෙල්ල කොල්ලාගේ පිටිපස්සට මුවා වෙන්න හැදුවා විතරයි...කට ආයා ගෙන රෞද පෙනුමින් ගොරවමින් ජැකී කෙල්ලගේ බෙල්ලටම පැන්නේ උගේ බරටම කෙල්ලව බිම වට්ටගෙන...

මොහොතකට වෙන දේ හිතාගන්න බැරිවුනත් කොල්ලා ක්ෂණිකව ඉදිරියට පැන කොටියෙක් බදු වූ ජැකීගේ බෙල්ලෙන් අල්ලලා අමාරැවෙන් ගේට්ටුව ඇතුලට තල්ලු කරලා ගේට්ටුව ඇදලා වැහුවත් කටින් ලේ පෙරමින් ජැකී ගේටිටුව කඩා ගන්න දගලන දැගලීමට ගේට්ටුව දෙදරන අයුරැ කොල්ලාට දැනුනා...

පලමු වතාවට කෝපය මුසු බියක් දැනෙද්දී කොල්ලා ලේ විලක වැටිලා හිටපු කෙල්ලව දෑතටම අරගෙන පාර පැත්තට දිව්ව‍ේ කිසිදු සිහියකින් නෙමේ...

---------------------------------

සොරි සර්.... දුවගේ මූණට ගොඩක් ඩැමේජස්... ඒ මදිවට එක ඇහැක් පේන්න‍ේම නැති වේවි...ප්ලාස්ටික් සර්ජරි එකක් කරන්නත් මේ තත්වේ උඩනම් අමාරැ වේවි....

වෛද්‍යවරයා කෙල්ලගේ තාත්තාට පැවසූ වදන් කදුලු වගුරවමින් හොරෙන් අහගෙන හිටපු කොල්ලා නිවස බලා පිටත් වුනා...

අම්මාගේ කෝපයෙන් දැවෙන නෙත් හමුවේ හිස ඔසවන්නටවත් ශක්තියක් නොමැතිව කුස්සියට ගිහින් තමාගේම අතින් බත් අනා , සාක්කුවේ තිබුනු මස් කටුත් එකතු කර ජැකීගේ පිගානට දමා මිදුලට බට කොල්ලා ජැකීට හඬ ගැසුවා.....

වෙනදාට පිම්ම‍ේ දුවගෙන එන ජැකී හෙමින් හෙමින් අැදිලා ඇවිත් කොල්ලා ගාව හුරතල් වෙලා බත් පතට ඔලුව දැම්මා...

Eat it..

කොල්ලාගේ අණින් බයාදු පෙනුම ඉවත් කරගෙන ජැකී කෑම කන්න පටන් ගත්තා...

දෑසට නැගුණු උණු කදුලැල් පිහිදමින් කොල්ලා ගෙට වැදිලා දොර වසාගෙන ජනේලෙන් එබිලා බලාගෙන හිටියා...

කෑම කාලා වටපිට බලලා වතුර කොප්පේ ලඟට කිට්ටු වුනු ජැකී වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා....

තවදුරටත් බලා සිටීමට ශක්තියක් නොමැති තැන කොල්ලා දුවගෙන ගිහින් ඇදට වැටුනා..

-------------------

නිමි

සුපුන් තාරක වීරකෝන්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment