~ ආදර ශෙනා ~
" අනුහස්..... "
" අප්පට.... ශෙනා.... " හැමදාමත් හම්බවෙන දෙන්නා කෑගහල පහක් දැම්මෙ හරියට අවුරුදු ගානකින් හම්බුනා වගේ.
" ආදරෙයි කියපංකො බං අයියෙ අදවත්... " ශෙනන්සි තණකොළ බිස්ස උඩ ඉදගෙන දනිස් දෙක බදාගෙන ලස්සනට හිනාවුනා.
" උඹ හිතුවද මට අපස්මාරෙ කියලා... ම්ම්..? " අනුහස් ශෙනන්සි ලගින්ම ඉදගෙන උරහිසෙන් කෙල්ලව තල්ලු කලා.
" ආහ්: පිස්සො... මහ හොද නෑ " ශෙනන්සි තණකොළ බිස්සට අත තියලා ආපහු හිටපු විදිහටම ඉදගත්තෙ අනුහස්ට පොඩ්ඩක් විතර රවලා. ඔලුව දනිස් දෙක උඩ තියාගෙන කෙල්ල අනුහස් දිහා බැලුවෙ මූණ ඇදකරන්.....
" ඒ..... බං.... මේ... මට උඹ අර උදව්ව කලේ නෑනෙ .... " අනුහස්ට හදිස්සියේම පරණ රික්වෙස්ට් එකක් මතකෙට ආවා.
" ම්හු.. " ශෙනන්සි රෝස පාට තොල් පිටපෙරලා දෙබැම ලංකලා.
" මොකද?"
" මෙමරි අවුල් අයියෝ ... "
" මොකද්ද බං හු .... "
" මේ අඩෝ අයියෙ ,එදත් මං කිව්වා.... මං කෙල්ලෙක් .... හ්ම්.... " ශෙනන්සි රෝස පාට චුට්ටි ඇගිල්ල දික්කරලා රැව්වට අනුහස් දන්නවා ඒකිගෙ හැටි.
" අප්පට බං.... ඈ.... ශෙනා....කෝ....?" අනුහස් ශෙනාගේ කෙස් කෙන්දෙ ඉදන් සෙරෙප්පුවේ අඩිය වෙනකන්ම බැලුවෙ චාටර් එකට වගේ.
" මොනාද? මේ..... දැන් ටොපික් එක රෝන් සයිඩ්.... මේ... අර මට අමතක උදව්ව මතක් කරපංකො අයියෙ " ශෙනන්සි රෝස තොල හිමින් හපාගත්තා.පේරාදෙණිය කැම්පස් එකේ කොල්ලො කෙල්ලො හැමතැනම පිරිලා කයිය.අනුහස් ඉතින් කොච්චර යාලුවො හිටියත් එදා ඉදන්ම ගොඩාක් උදව් ඉල්ලගත්තෙ ශෙනාගෙන්......
ශෙනන්සි දසනායක......
රත්නපුරේ කෙල්ලෙක් වුනාට ඒකි හිටියෙ කොළඹ හතේ වගේ.... ඒ තරම් ෆැෂන් .... කෙල්ලෙක් උනාට ශෙනාගේ වෙලාවෙ නම් තිබුණෙ රාක්ෂ ගණ,වෙළඹ යෝනි, කොලොං වෘක්ෂ,මයුර පක්ෂි,ආකාශ භූත,පුරුෂ ලිංග කියලා. අනුහස් හැමදාම ශෙනාට විහිලු කලේ ' තොගෙ වෙලාව හදපු එකාට තෝව බන්දලා දීලා දෑවැද්දට මට යන්න හිතෙනවා ' කියලා.
" මතකද අර අලුත් බැජ් එකට සෙට්වුන කෑල්ල... "
" ම්ම්... ම්හු... " ශෙනාගෙ පපුව ටිකක් රිදුනත් කෙල්ල හිනාවුනා.
" අර කොන්ඩෙ දිග............ සල්වාර් එක ගහගෙන එන පට්ට කෑල්ල බං.. "
" හා.... හරි හරි... මොකෝ ඉතින්...ඒකිවත් අමාරුවේ දාන්නද යන්නෙ?"
" මේහ්: අපි කවුරුවත් අමාරුවේ දාල නෑ හරී... "
" හරි හරි ඉතින් .... හ.... " ශෙනා ඈතින් පේන කහ මල් යාය දිහා ඇස් දෙක පුලුවන් තරම් චූටි කරල බැලුවා.එකම විදිහට ඉදල වෙනසක් ඕනි වගේ හිතුන නිසා අත්දෙක දෙපැත්තට දාලා පිටිපස්සට ටිකක් බරවුන ශෙනා මෙච්චරවෙලා දාගෙන හිටපු කොලු කැප් එක ගලවලා තණකොළ බිස්ස උඩට දැම්මා.
" දෑත බිම ඔබා...
පස්සට වාරු වී...
නිසලව හුන් ඇගේ කෙස් රොදක්...
මගේ මුහුණෙහි දැවටෙද්දී.... " සිංහල සාහිත්‍ය පාඩමේ තිබුණ හිතට දරුණුවටම වැදුනු නිසදැසක් අනුහස් හිමීට කියද්දී ශෙනන්සි කොල්ල දිහා බැලුවා.
" අහ්: " ඇත්තටම ශෙනාගේ කෙස් කෙදි ටිකක් ලගට වෙලා හිටපු අනුහස්ගෙ මූණෙ.කෙල්ල ඉක්මනට ඒ ටික අරන් ලස්සනට කන උඩින් තියාගත්තම අනුහස් අමුතු විදිහකට හිනාවුනා.
ඇත්තටම ඒ නිසදැස..... හොදම යාලුවො දෙන්නෙක් ආදරෙයි කියාගන්න බැරුව ඉන්නවා.... අනුහස්.... ගෙම්බො.... මං ආදරෙයි බං අයියෙ ..... පට්ට විදිහට.... ඇත්තමයි.... ඒත්..... ශෙනන්සි කාටත් හොරෙන් අනුහස් ගැන ඇතිවෙච්ච ආදරේ හැමදාමත් කියන්න ට්‍රයි කලාට වැඩේ හරිගියේ නෑ.අනුහස් හැමදාමත් ශෙනාගෙ පිස්සු වැඩ වලට හිනාවුනා.
' මං වගේ පිස්සියෙකුට අනුහස් අයිති නැතුව ඇති,මෙච්චරටම ලගට වෙලා ඉදලත්.... ෂිට්: ' ශෙනන්සි අනුහස් දිහා හොරෙන් බැලුවෙ සද්දයක්වත් නැතිනිසා.
" ඒහ්: කෙලි පෙරේතයො.... කොහෙද ඔය බලන් ඉන්නෙ.... මැට්ටා... " කොන්ඩ දිග සල්වාර් එක.... අනුහස් කම්මුලට අතකුත් තියාගෙන ඒකි දිහා බලාගෙන.ආයෙමත් දගකාර හිත හොදටම රිදෙන්න ගත්‍තත් අනුහස්ට ඒක දැනුනෙ නෑ.ඌ සල්වාර් එකට වශී වෙලා.
" හනේ.... පෙරේතයෝ.... මේ.... බලනවකො... " ශෙනන්සි අනුහස්ගෙ ඇස් දෙක වැහුවත් වැඩක් වුනේ නෑ.
" චහ්: පලයන්කො බන් " අනුහස් ශෙනන්සිගේ අත අල්ලලා අයින් කලේ පොඩ්ඩක්වත් ඒකිව ගනන් ගන්නෙ නැතුව.
" අදනම් අහනවමයි..... ෂුවර්... " මෙච්චරවෙලා බොරුවටහරි හිනාවෙලා හිටපු ශෙනන්සිගේ සුදු මූණ රතු උනා.
" එතකොට බං අයියෙ මට මොකෝ වෙන්නෙ..."
" පුහ්: උඹට කොල්ලෙක් කැමති වෙයිද බං... මොංගල් මගුලක්නෙ.... " අනුහස් විහිලුවට කිව්වත් ශෙනාගේ පපුව පිච්චිලා ගියා.කාටවත්ම කියාගන්න බැරිතරම් පපුව දන්න ගත්තා.කදුලු ඇස් වලට ඇවිත් දිලිසුනත් කෙල්ල හිතාගත්ත කීයටවත් වට්ටන්නෙ නෑ කියලා.
අනුහස් වික්‍රමසිංහ..... අවුරුදු දෙකකට කලින් ශෙනන්සිට පේරාදෙණි කැම්පස් එකේදි අහම්බෙන් වගේ කතාකරන්න සෙට් උන කොල්ලා.එදා ඉදන් ශෙනන්සි අනුහස්ට පණ වගේ ආදරේ කලත් අනුහස් කෙල්ලට සැලකුවෙ යාලුවෙකුට වගේ.
" ශෙනා.... "
" ම්..... ?"
" මොකෝ බං මූඩ් අප්සට් ගහලා... " අනුහස් පැත්තක තිබුණ බෑග් එක ඔඩොක්කුවට අරන් ඇතුළට අත දැම්මා.
" ම්ම්.... එහෙම නෑ ,ටිකක් ඔලුව රිදෙනවා වගේ " ශෙනන්සි දනිස් දෙක අස්සෙ ඔලුව ගහගත්තෙ ඇත්තටම ඔලුව ටිකක් රිදෙන්න ගත්ත නිසා.කඩා දාලා තිබුණ කොණ්ඩය දෙපැත්තෙන් බිම ගෑවෙන්නම වැටිලා.
" ශෙනා..... කෙල්ලෙ... " කවදාවත් නැති අමුතු විදිහට අනුහස් කතාකරපු නිසා ශෙනන්සි ඔලුව ටිකක් විතර උස්සලා බැලුවා.
" ම්ම්...?"
" I Love You " අනුහස් එක පාරටම අතේ තිබුණ පුංචි රතු පාට පෙට්ටිය ශෙනන්සි දිහාට දික්කලා.හරියට පරණ සිංහල ෆිල්ම් එකක වගේ.
" මොකක්? අනේ මේහ්: අර කුච් කුච් හෝතාහේ එකේ ශාරුක් රාණි මුඛර්ජීට ආදරෙයි කියන්න කාජල්ගෙන් ට්‍රේනින් උනා වගේද.... හහ්..: " ශෙනන්සි හිනාවුනත් පපුව ගොඩාක් ගැස්සුනා.
" නෑ මැට්ටියේ.... ඇත්තටම .... ඒ වගේම Happy Birthday ..... " අනුහස් ශෙනාගෙ අතට බලෙන්ම වගේ පුංචි පෙට්ටිය හිරකරලා කිස් එකක් දුන්නා.
" අහ්: " ශෙනන්සිගෙ මුලු ඇගම හිරිවැටිල ගියා.කෙල්ල ඉක්මනට වටපිට බැලුවෙ කවුරුවත් දැක්කද කියලා දැනගන්න.
" මොකෝ?"
" ම්... න්නෑ මේ.... මගෙ බර්ත්ඩේ එක.... හරි... ඒත් අයි.... ලව්.....යූ... ?" ශෙනන්සි වේගයෙන් හුස්ම ගත්තා.
" හ්ම්... ඕක ඇරල බලන්නකො... " අනුහස් තව ටිකක් ශෙනන්සිට ලංවුනා.
" මේහ්: අනේ ..... රත්තරන් ... ?" පුංචි පෙට්ටිය ඇරලා බලපු කෙල්ලගෙ ඇස් උඩගියා.
" හ්ම්... "
" අයියෙ .... " ශෙනන්සි ඇස් දෙස පුංචි කරලා අනුහස් දිහා බැලුවෙ සැකෙන් වගේ.
" ම්ම්...?"
" ජෝක්.....?"
" නෑ ජොක් "
" චහ්: අනේ විහිලු නෙමෙයි .... ඇත්තටම මේක මටද?"
" ඔව් බං... "
" ආදරෙයිද... ?"
" ඔව් යකෝ.... "
" මේ මොංගල් මගුලට... ආ....?" ශෙනා පට්ට සීරියස් වෙලා.
" ඔව් බං හු...... "
" අනේ අයියෙ .... මාව අඩවන්න එපා... ප්ලීස් .... මොකද්ද මේ? ඇයි අද මෙහෙම ? "
" ඔන්න ඔන්න ඉතින්.... මේ... ගෙම්බියේ.... මං ආදරේ කරන්නෙ,කලේ අර මොංගල් ශෙනාට මිසක් උඹ ඔය දැන් රගපාන පට්ට සීරියස් කැරැක්ටර් එකට නෙමෙයි ආ.... "
" හ්හ...... මැට්ටා... "
" මැට්ටි... " අනුහස් ශෙනන්සිගේ කන් පෙති සෙමින් මිරිකුවා.
" අඩෝ අයියෙ මේ මල් වත්ත නෙමෙයි,කැම්පස් එක ආ... " ශෙනන්සි අමාරුවෙන් හිනාවක් මවාගෙන කිව්වට කෙල්ලගෙ ඇස් වලින් කදුලු සට සට ගාලා විසික් වෙන්න ගත්තා.
" ඒ....ඒ.... ඒ.... මොකෝ මේ.... "
" මං ... අහ්: එක්කො ඕනි නෑ "
" කියපං ... "
" මං එදා ඉදන් බලන් හිටියා " ශෙනන්සි බිම බලාගෙන නියපොතු පටලවන්න වුනා.
" මොනවද ?"
" ඔයා ආදරෙයි කියනකන් "
" බොරු "
" සත්තකින්ම " ශෙනා කදුලු පිහිදගත්තා.
" එහෙනම් කිස් එකක්? "
" අනේ පිස්සො එහෙම ආදරෙයි කියපු ගමන් කිස් කරන්නෙ නෑ " කෙල්ල කදුලු අස්සෙන් ලස්සනට හිනාවුනා.
" ඇත්තට...? ආහා.... එහෙනම්... "
" ටිකක් අගේ කරන්න ඕනි "
" එහෙනම් හෙට..?"
" ම්හු.... ආ.... අමතක උනානේ... "
" ඒ පාර මොකද්ද ?"
" එතකොට අර සල්වාර් එකට මැරෙන්න හැදුවෙ? ම්ම්...?"
" ආහ්: ඒද... ඒ.... උඹේ හිතේ මං ගැන ආදරයක් තියනවා කියලා කන්ෆෝම් කරගන්න.. "
" ඒ කොහොමද ?"
" ඒකි ගැන කියන හැමවෙලාවකම මං උඹේ මූණ හොරෙන් බැලුවා බං "
" අනේ ... මහ හොඳ නෑ ... ඒත් ... ඉල්ලීමක් " දිග හුස්මක් පිටකරලා ශෙනන්සි පුංචි ලේන්සුවෙන් මූණ පිහිදගෙන අනුහස්ගෙ තද කලුපාට ඇස් දිහා බැලුවා.
" මොකක්ද?" අනුහස් වටපිට බලලා ශෙනන්සිගෙ අත හිමීට අල්ල ගත්තත් කෙල්ල අත ගත්තෙ නෑ.
" දැන් මට උඹ කියන්න එපා "
" අනේ මේ.. මටනම් බෑ "
" ඇයි?"
" මං කිව්වනෙ,මං ආදරේ කලේ උඹට මිසක් ඔයාට නෙමෙයි " අනුහස් මූණ පුරා හිනාවක් දාගෙන කියද්දි ශෙනා ඒ ඇස් දිහා තව තවත් ආශාවෙන් බැලුවා.
" අයියෙ "
" ඒ පාර මොකද බං?"
" මට අඩන්න ඕනි.. ගොඩාක් "
" යකෝ බදින්නෙත් නැතුව දොළදුකද?"
" ම්හු .... විහිලු නෙමෙයි අයියෙ "
" ඉතින් අඩහංකො රෙද්ද "
" එහෙම නෙමෙයි , අයියගෙ පපුවට මූණ තදකරන් "
" අනේ මේහ්... මට ඔය මල විකාර බෑ ,මං යනවා " බෑග් එකේ ෂිප් එක වහලා අනුහස් ශෙනාටත් පාරක් ගහලා නැගිට්ටා.
" අයීයෙ,මොකද්ද අනේ,කොහෙද යන්නෙ?" ශෙනන්සි දනිස් දෙක බිමින් තියලා ඉස්සුනා.
" මල් වත්තෙ "
" කා එක්කද?"
" උඹත් එක්ක "
" හ..... මැට්ටා.... යමු " ශෙනා අනුහස් එක්ක හෙමින් හෙමින් මල් වැටුණු පාර දිගේ ඉස්සරහට ගියා.
* * * * * * * * * * * * * * * * * * * * * *
" මැට්ටො " පේරාදෙණිය මල් වත්තෙ සද්දයක්වත් නෑ.අනුහස් තවත් ශෙනන්සිට ලංවුනා.
" ම්... "
" මට බයයි... " ශෙනන්සි අනුහස්ගෙ අතේ එල්ලුනා.කොල පාට ලොකූ උණ පදුර නිසා කාටවත් දෙන්නව පෙනුනෙ නෑ.
" ඒ මොකටද?"
" මං අහල තියන විදිහට ඉක්මනට ලැබෙන දේවල් ඉක්මනට නැතිවෙනවා "
" රෙද්ද තමයි " අනුහස් ශෙනාගේ කරට අත දැම්මත් කෙල්ලට ලොකු විශේෂයක් උනේ නැත්තෙ වෙනදටත් එහෙම නිසා.ඒත් අනුහස් එකපාරටම ශෙනාගෙ මූණ හරවලා රෝසපාට තොල් කිස් කරන්න ගත්තම ශෙනාගේ ඇස් උඩගියා.
" ෂූර්.......ස්...." එකපාරටම කනලගින් ඇහුන සිකුරිටියගෙ විසිල් සද්දෙට දෙන්නම ගැස්සිලා ගියා.
" නදකිං ගස් නරියා,ෂිට්: " අනුහස් හිමීට කියලා ගල් බංකුවෙන් නැගිට්ටම ශෙනා කොල්ලගෙ අත කොනිත්තුවේ ලස්සනට හිනාවෙලා.
*** සතුටින් ගෙවන පෙම්වතුන්ගේ ආදර ලෝකයේ මෙවැනි සුන්දරම ආදර කතාවන්ද නැතුවාම නොවේ.... ***
~~ නිමි ~~
නුවන් සුරංග හෙට්ටිආරච්චි
No comments:
Post a Comment