----හෙවනැල්ල----
"නෙවිල් උඹ ඔය යන්නද"
" අහ් රත්නම්. ඔව්! මම යන්න කියලා. හෙට මම නිමාඩු. පොඩි එකා පෙර පාසල් දාන්න තියෙනවා "
රත්නම් ඇසූ පැනයට ඕනෑවට එපාවට උත්තර දුන්න නෙවිල් හනික පඩිපෙළ බහින්නට සැරසුනි. යමක් අමතක වූ බැවින් නැවතත් ඔහු මේසය වෙත දිව ගියේය. රත්නම් නෙවිල් ගැන දනී. මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රැකියාව සඳහා ඔහුන් දෙදෙනාට පත්වීම ලැබුනේ මීට වසර දහයකට ප්‍රථම එකම දිනයකදීය.
"පර්ස් එක අමතක වුනා නේද ? පරිස්සමින් පලයන්. උඹ දැන් කලින් වගේ නෙමෙයි හරි කලබලයි"
එය නෑසුනාක් මෙන් නෙවිල් පඩිපෙල බැස වමට දෙවරක් හැරී ගේ්ට්ටුව දෙසට ඉක්මනින් පා තබන්නට විය. එක් සපත්තුවක ලිහී ඇති ලේස් එකද ගැටගසාගෙන ඉක්මන් පියවර තබමින් කම්කරු කාර්යාලය දෙසට ගමන් කරන්නට විය.
දිනපතා ඔහු දෙපාර්තමේන්තුවෙන් පිටවී නාරාහේන්පිටින් වැල්ලවත්ත බසයට ගොඩ වී හයිලෙවල් පාර අසලින් බැස ගනී. ඉන් පසු ඔහු පයින්ම සීබල් ඇවිනිවු බස් නැවතුමට පැමින රත්තපුර බසයකට ගොඩ වෙයි. වෙනදාට වඩා පාරේ තදබදය වැඩිය. තරමක් කලින් කන්තෝරුවෙන් පැමිණුනත් සීබල් නැවතුමට එන විට සුපුරුදු වේලාවද පසුවිය. නොසන්සුන් මුහුණෙන් නැවතුමේ ඉදිරිපසට බරවුන නෙව්ල් විටින් විට බසයක් ඒ දැයි විපරම් කරයි. නැවතත් හැරී තම කන්තෝරු බෑගය නැවතුමේ බංකුවට අත හරිමින් නැවතුමේ කොනකට පිට දී සිටි සුදු වූ රැව්ලකින් මූන වසා සිටි වයෝවෘද්ධ හිඟන්නා දෙස පිලිකුල් සහගක බැල්මක් හෙලුවේය.උදාසන නාරාහේන්පිට බස් නැවතුමේ දුටු හිඟන්නා මොහුම බව නෙවිල් සිහිපත් කරයි. ඇතැම් විට මේ හිඟන්නාම උදේ හවස මේ ස්ථාන මාරු කරන බව නෙවිල්ගේ මතකයට නැගෙයි.
"චිහ් ගඳ විතරක් මේකගේ. කාළකණ්නි හැත්ත. හ්ම්ම්......බස් එකක් එනවා වගේ යන්තම් ඇති"
තමාටම කියා ගත් ඔහු බෑගය අතට ගැනීමට හැරී සැනින් කෝපාවිෂ්ට විය. ඉතා හදිස්සියෙන් ඔහුගේ බෑගය අදින හිගන්නා නැවතත් බෑගය ඔහු දෙසට දික් කරන්නට විය.
"මෙන්න මහත්...තයෝ. මහත්තයාගේ......"
කීමක හැකි වුනේ එපමනය. වේගයෙන් එල්ල වූ පා පහරෙන් හිඟන්නා හිටිවනම ඇද වැටුනි.
"තක්කඩියා. කාළකණ්නියා තෝ හිතුවද මාව කොල්ලකන්න. තොගේ වයස නිසයි මං ඉවසන්නේ. දීපං උඹ ගත්ත ඒවා සේරම මට.. දීපං ...දීපං..."
අනපේක්ෂිත පා පහරට ඇද වැටුනු හිඟන්නා තවමත් එක් අතක වාරුවෙන් යන්තමින් කොන්ද කෙලින් තබා ගෙන සිටියි. ඔහු ඇස් ලොකුකරමින් නැවත හකුලමින් පියවි සිහිය නොමැතිව කුමකට හෝ අත කැපි ලේ ගලන දෙස හිස හරවා බලා සිටියි.
" මං... මං... මං.. මොකුත් ගත්..තේ නෑ මහත්තයෝ"
ඉතා අපහසුවෙන් වචන ටික ගලපාගත් ඔහු කඳුලු පිසිමින් නෙවිල් දෙස යටහත් බැල්මක් හෙලයි.
"රත්නපුර..රත්නපුර.. ඔය හෝමාගම,කලුඅග්ගල, අවිස්සාවේල්ල, අහැළියගොඩ, රත්නපුර...රත්නපුර ..රත්නපුර..."
කොන්දොස්තරගේ බෙරිහන්දීමට කලබල වුනු නෙවිල් හිඟනනාටද රවමින් බෑගය පරීක්ෂා කරන අතරතුර බසයට දිව ගියේය.
"හරේ යං..."
බසය පිටවී යනතුරු අපහසුවෙන් බලා සිටි හිඟන්නා, සිදුවීම බලා සිටි පිරිසෙන් දෑස් සඟවා වෙනතක් බලා සිටියි.ඔහු ලැජ්ජාවටත් කෝපයටත් ශෝකයටත් පත්වී ඇත. අහස දෙස හිස් බැල්මක් හෙලා වර්ෂාවක ලකුණු දැක සෙමින් සෙමින් කිරුළපන හංදිය දෙසට පා තබන්නට විය.
සිකුරාදා දින නෙවිල් තම බිරිඳ සහ දරුවා සමග පෙර පාසලේ වැඩ කටයුතු සදහා පිටවී ගියේය. නැවත කොළඹට යා යුත්තේ සඳුදා දින උදාසනය. සෙනසුරාදා උදාසන ඔහු වත්ත කොනේ ඇති පරණ ගබඩාව අස් කරන්නට සූදානම් විය. ගබඩාවේ දොර මුල්ලක පරණ බයිසිකලයක් ඇත. බොහෝ සෙයින් මල අල්ලා ඇතත් එහි "ලුමාලා" වෙළද ලකුණ තවමත් පෙනෙන්නට ඇත. තම පියා ඔහු බයිසිකලය මත තබාගෙන මිදුල වටේ යන සැටි නෙවිල් සිහිපත් කරයි. විටෙක වේගෙන් විටෙක සෙමින් තමා සතුටු ලෙසකට බයිසිකලය පදවන අයුරු ඔහුට අද වගේ මතකය. මිදුලේ කොහොඹ ගස දැන් ඉතා විශාලය. කුඩා කල තමා බයිසිකලය මත තබා පදවද්දි කොහොඹ පැලයේ කොල හූරන්නට බයිසිකලයේ සිටම අත දිගු කරන විට, පියාගෙන් ඇසෙන රොස් පරොස් වචන ඔහුට තවම මතකය.
"ගුටි ඕනද.. අහ්..ඔය මොකද ඔය කරන්නේ. ඔය පැලෙත් පුතා වගේ තමා. ටික ටික ලොකු වෙලා වටේටම හෙවන දෙනවා. තාත්තා තමය පුතා ඉපදුනු දවසේ මේ පැලේ හැදුවේ"
එක වරම පියවි සිහියට පැමිණි නෙවිල්, බයිසිකලය සෙමින් අතගාමින් ගබඩාවේ දොර වසා සංතාපයට පත් හීනයක් අදුරේම දමා නික්ම පැමිණ, ඉස්තෝප්පුවේ කවීච්චිය මත දිගා වන්නට විය.හිඟන්නා ගැන මතකය සිතට මහත් පීඩාවකී. තම බිරිද හා හිත් අමනාපවී ගෙදරින් නික්මීගිය දවස සිහියට නැගෙයි. මහත් පීඩා මැද පියා තම නිවසෙන් පිටව යන තුරු බලා සිට, තමා මහා වරදකරුවෙකු වූවා යයි ඔහුට සිතේ. දෑස් තදින් වසා ගත් ඔහු කවීච්චිය මත තද නින්දකට වැටුනි.
සඳුදා වේලාසන අවදි වූ නෙවිල් වෙනදාට කලින් කොළඹ බලා පිටත් වූයේ නිවාඩු දින තම අතපසු ව වැඩ කොටසද අවසන් කිරීමේ අරමුණ ඇතුවය. ඔහු කිරුළපනන් බැස උදාසන හත වන විට නාරාහේන්පිට කම්කරු කාර්යාලය ඉදිරියට පැමිණියේය. විමසිල්ලෙන් අවට බැලූ ඔහු සොයන්නේ හිඟන්නාය. හිගන්නා පේන මානෙක නැත.
" මං ආවා කලින් වැඩි ඇති ඔය මිනිහා කොහේ හරි යන්න ඇති"
නෙවිල් කන්තෝරුවට පැමිණ උදාසන ආහාරය ගෙන තම ආසනයෙන් වාඩි වී, හිසට අත් දෙක තබා, විදුලි පංකාව දෙස බැල්මක් හෙලුවේය.
මේ ඔහු විදුලි පංකාව නිසොල්මනේ තිබෙනු දුටුවාමය. එහි කළු පැහැති දූවිලි බැදී ඇත. බලාපොරොත්තු රහිත වූවකු සේ හිස දෙපසට වැනූ ඔහු මේසයේ ලිපි ගොනු අදින්නට සැරසුනේය.
දවසම රාජකාරී අධික වූයෙන් නෙවිල්ගේ හිස කකියන්නට විය. එසේ වුවත් හවස නියමිත වේලාවට අත්සන් තබා කන්තෝරුවෙන් පිටවන්නට සූදානම් විය. හයිලෙවල් පාරෙන් බැස අෑතට පෙනෙන සීබල් නැවතුම දෙස එක එල්ලේ මොහොතක් බලා සිටියේය. ඉන් පසු නැවතුම දෙසට සෙමින් සෙමින් පා තබන්නට විය.
"අදනං නෑ වගේ.. ඒත් මුන්ට ලැබෙන හිගමන මදිදි ..හිත්වක්කාර මිනිස්සු..ගෙවල්වලින් සලකද්දිත් එනවා ඇති හිගාකන්න. එත් සලකනවද නැද්ද කව්ද දන්නේ..මොනා උනත් පව්.අතත් තුවාල වුනා පයින් පාරට"
සිතුවිලි තෙරපෙමින් බස් නැවතුමට පැමිණියද, බසයක් එනතුරු සිටි ගැහැණු දරුවෙක් මිස හිඟන්නෙක් සිටි සලකුණක්වත් නොවීය. වඩාත් සැලකිල්ලෙන් ඇස් කරකවා බැලූ නෙවිල්ගේ ඇස් නැවතුනේ පසෙකින් වූ බෝතල් පත්තර කඩේ ලග සිටින කොලුවා දෙසය. විමසිල්ලෙන් තමා දෙස බලා සිටින ඔහුගේ මුහුණ දුටු නෙවිල් නොදුටු සේ ඉවත බලා ගත්තේ
"එදා සිද්දිය මූට මතක ඇති" යයි තමාටම මුමුණන අතරය.
"නෙවිල් මහත්තයාද ඔය? නෙවිල් මහත්තයාද ඔය?"
කොලුවාගේ හඬට නෙවිල් නැවතත් හැරී බලන්නට විය.
"ඔව් !ඔව් ! මම තමා නෙවිල්"
"අර මිනින්දොරු කන්තෝරුවේ මහත්තය නේද?"
" ඔව් මම තමා ඇයි ....ඇයි..මොකද ?" නෙවිල් කොලුවා දෙසට පා තබන්නට විය..කොලුවාද පත්තර කඩේ අසල සිමෙන්ති බැම්මට කිට්ටු කලේය.
" නෑ ..නෑ මහත්තයා. කලබල වෙන්න එපා මහත්තයාට ලියමනත් දීලා ගියා බස් හොල්ට් එකේ හිඟන මනුස්සයා"
"මොනවා......මේ මට" කෝ ඒ මනුස්සයා..
කොලුවා උරයක බහා ලූ ලියුම් කඩදහියක් නෙවිල් අත තබා නැවතත් පත්තර වෙන් කරන්නට විය. මහත් කුතුහලයකන් බස් නැවතුමේ කණුවකට ඇල වුන නෙවිල් ලියුම ගෙන සෙමින් දිග හරින්නට විය.
කඩදහිය දිග හරින විට බිමට වැටුනු යමක් ඇහිදීමට ඔහු නැමුනා පමනි. "දෙයියනේ මේ මගේ පොඩි කාලේ ෆොටෝ එකක්" දනිස් දෙකද වෙව්ලා යමින් නෙවිල් බිම හිදගෙන වහා ලිපිය කියවන්නට විය.
"පුතේ උඹට මාව අදුරගන්න බැරි වුනාට කමක් නැ. ඒත් තාත්තෙක් දරුවෙක්ගෙ දෙයක් හොරකම් කරන්නෙ නෑ කවදාවත්. මම එලියට ඇවිත් ගිය උඹේ කඩදහියක් ඇතුලට දාන්නයි හැදුවේ. මෙච්චර කාලයක් .........
පපුව හිරවෙනු දැනුනු නෙවිල් ආයාසයෙක් කෙල පිඩක් ගිල දැමුවේය.
වහා පත්තර කඩය දෙසට පා තැබූ නෙවිල් බෙරහන් දෙන්නට විය.
" කොලුවෝ මෙහෙ වරෙන් කියපන් මට කියපන් ...කෝ මේ ලියුමේ අයිතිකාරයා. කෝ.....කෝ....කෝ මගේ තා..ත්..තා"
කොලුවාද කිසිත් නොදැන නෙවිල් දෙස එක එල්ලේ බලා සිටියේ නළලද රැලි කරගනිමිනි. ටික වේලාවකින් බිම බලා සිටි ඔහු හඩ අවදි කරන්නට විය..
"මහත්තයා....මහත්තයා... පෙරේදා ඔය මනුස්සයා පාර පනිනකොට ලොරියකට යට වෙලා එතනම පණ ගියා. මහත්තයාගේ තාත්තද නැද්ද මං දන්නෑ. සමාවෙන්න මහත්තයා...සිකුරාදා රෑ කඩේ වහන්න කලින් මට ඔය ලියුම දෙන්න කියලා බැගෑපත් වුනා ඒකයි මම.....
ඇස් නිලංකාර වී සියොලගම අප්‍රණික වෙනු දැනුනු නෙවිල් බිම ඇද වැටුනි. මොහොතකින් වටකරගත් පිරිස ඉදිරියේ පියවි සිහිය ලද නෙවිල් බස් නැවතුම දෙස හිස හරවා බලන්නට විය.
මුහුණ පුරා රැව්ල වවා ගත් රැලි වැටී කෙඩේරි ගැසුනු මිනිසෙකු තමා දෙස කදුලු සලමින් බලා සිටිනු ඔහුට මැවී පෙනෙයි. කදුලු කැට කමුමුල දිගේ රූරා වැටෙද්දී ලේස් ලිහී ඇති තම සපත්තුව දෙස උන්මත්තකයෙකු සේ බලාගත් වනම බලා සිටියේය.
"රත්නපුර..රත්නපුර.. ඔය හෝමාගම,කලුඅග්ගල, අවිස්සාවෙල්ල, අහැළියගොඩ, රත්නපුර...රත්නපුර ..රත්නපුර..."
හරේ...යං..
නිමි...
#කැලුම් #ඉලංගමුව
No comments:
Post a Comment