"මල් කෙල්ලක්"
කෙටි කතාව
"චූටි මැනික දැන් නැගිටින්න. වෙලාව දන්නවද?" අනුරංග අහන්නෙ සමාධිගෙත් අනුරංගගෙත් පළවෙනි රාත්‍රියෙන් පසු දින උදේ.
"ම්ම්ම්..." සමාධි හෙමිහිට ඇස් ඇරලා බැලුවෙ මේ ඉන්නෙ තමන්ගෙ ජීවිතේම නේද කියලා හිතමින්.
"මොනාද හිතන්නෙ." සමාධි ඇහිපිල්ලම් නොගහා තමන් දිහා බලන් ඉන්න අනුරංගගෙන් ඇහුවෙ ඔහුගේ කම්මුලක් පිරිමදිමින්.
"ඔයා මගේ වයිෆ් වෙලා. ඒක මට හීනයක් මගෙ මල් කෙල්ල." අනුරංග ඇගේ අත අල්ලගත්තා.
"ම්ම්ම්... මටත්." සමාධි එහෙම කියලා අනුරංගට තුරුලු උනා.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
"සමාධියෝ.... අනේ පුතේ අද නම් මල් කඩන්න යන්න මට නැගිට ගන්නවත් බෑ වගේ. රත්තරනේ මල් ටිකක් කඩාගෙන වරෙන්." සුමනාවතී කිව්වෙ කෙඳිරිල්ලෙන්.
සමාධි කියන්නෙ සුන්දර ගම්මානයක ඉන්න සුන්දර කෙල්ලෙක්. තාම ඉගෙන ගන්න නිසා ගෙදරින් එලියට යනවා අඩුයි ගොඩක්. ඇගේ අම්මා සුමනාවතී කරන්නෙ වැවෙන් මල් නෙලාගෙන ඇවිත් ඒ මල් පන්සල ලඟ විකුණන එක. තාත්තා රත්නපාල ගමෙන් දුර ගිහින් පතලක වැඩ කරනවා. කෙල්ලගෙ ඉගෙනීමේ වැඩ වලටයි ගෙදර වියදම් වලටයි රත්නපාල දෙන ගානත් එක්ක සුමනාවතී මල් විකුණලා ගන්න ගානත් එකතු කරන් පිරිමහගෙන ඔවුන් සතුටින් ජීවත් උනා. අඩු පාඩු තිබුනා කියලා නෑ සමාධි හොඳට ඉගෙන ගත්තා.
"මම කඩන් එන්නම් අම්මා." සමාධි එහෙම කියලා කූඩයකුයි පොඩි කෙකි කෑල්ලකුයි අරන් වැවට යන්නෙ ඔරුවෙන් යන්න බැරි දුර තියෙන මල් කෙක්කෙන් ඇදලා ගන්න පුලුවන් නිසා. කූඩෙ ගෙනියන්නෙ වැව අයිනෙ ඉඳන් මල් වල නැටි ටික ගානට කඩලා තියා ගන්න.
කෙල්ල වැව අයිනට යද්දි දැකපු දෙයින් සතුටේ ඉපිලුනා. අද වැව අයිනේ ටිකේ මල් පිපිලා නෑ. ඈ කූඩෙත් වැව අයිනෙ තියලා එහෙම්මම වතුරට බැස්සෙ ඇය ඔරුව පැදගෙන යන්න ආස නිසා. ඔරුව තිබුනෙ වතුරෙමයි. ඇය හදිස්සියෙන්නෙ මෙහෙම මල් නෙලන්නෙ එන්නෙ. අම්මාට එන්න බැරිම උන දවසට විතරයි සමාධිට මේ වැඩේ පැවරෙන්නෙ.
"ඈ බං මේ ගමේ ලස්සන කෑලි එහෙම නැතුව ඇති නේද බං. සිරාවටම මාර ගති ගමක් නේ බං." ජීවිතේ පළවෙනි වතාවට මේ ගම්මානයට පය තියපු සහන් ඇහුවෙ අනුරංගගෙන්.
මේක අනුරංගගෙ තාත්තගෙ ගම. ඔවුන් මේ ගමෙන් යන්නෙ අනුරංග පුංචි කාලෙදි. ඊට පස්සෙම ගමට අඩිය තිව්වෙ පෙරේදා උදේ. සහන් කියන්නෙ අනුරංගගෙ දුකට සැපට හැමදාම එක වගේ ඉඳපු යාලුවා. තව පැයකින් විතර කට්ටිය ආයෙත් කොළඹ යනවා. දෙන්නත් එක්ක වැවට එන්නෙ හවසට මෙතන ලස්සනයි කියල අනුරංගගෙ අත්තම්මා කියපු නිසා.
"වාව්..... අර බලපංකෝ." සහන් කිව්වෙ කටත් ඇරගෙන. ඒත් ඒ වෙද්දි අනුරංග ඒ සොඳුරු දසුන ඇසට හසු කරගෙන ගොඩක් වෙලා.
"ඒ...." සහන් අනුරංගගෙ දිහා බලද්දිම අනුරංග ඇඟිල්ලක් තොල් මතට තියලා කිව්වෙ සද්ද කරන්න එපා කියලා.
සමාධි ඔරුවෙන් බැහැලා මල් ටිකත් උස්සන් අමාරුවෙන් ඇවිත් කූඩෙන් මල් ටික තියලා ආයෙත් වැවට බැස්සෙ ටිකක් පීනන්න. ඇයට හොඳට පීනන්න පුලුවන්. සමාධි ඇඳන් ඉන්න ගවුම පිටින්ම වතුරට පනිද්දි අනුරංගයි සහනුයි බලන් හිටියෙ කටවලුත් ඇරගෙන. අනුරංග නම් හිටියෙ වෙනම ලෝකෙක.
"කිඳුරියක් වගේ බං. බලාංකො පීනන ලස්සන" කොච්චර කිව්වත් කට වහන් ඉන්න බැරි සහන් කිව්වා. අනුරංග නම් තාමත් කතාවක් නෑ බලාගෙනම හිටියා.
සමාධි පීනලා ඉවර වෙලා ඉවුරට ඇවිත් මල් ටිකේ නැටි කඩලා කූඩෙන් පිලිවෙලකට තියාගෙන කූඩෙ ඉනට තියාගෙන කෙක්කත් අරන් උඩට එද්දියි ඇය දැක්කෙ කොල්ලො දෙන්නෙක් බලාගෙන ඉන්නවා. ඇය වතුර නිසා ඇඟටම ඇලී තියෙන ගවුම දිහා ලැජ්ජාවෙන් බලලා බිම බලාගෙනම එතනින් ඉක්මණින් ඉවත් උනා.
"ඒ ඒකිගෙ සුදු බං. අම්මෝ පපුව හෝස් ගාලාගියා." සහන් කියවනවා.
"මේ යකෝ ඒකි මනුස්ස දුවෙක් නෙමෙයිද?" සහන් ඇහුවෙ අනුරංගගෙ මූණට එබිලා.
"ඒ මොකද?"
"නෑ ඉතින් උඹ හරියට ඉන්නෙ යකෙක් ගැහුව වගේනෙ. මෙච්චර වෙලා මම තනියමනෙ කියෙව්වෙ."
"ඇත්තටම කවුද බං ඒ. මේ ගමේ ඒ වගේ කෙල්ලෙක් ඉන්න පුලුවන්ද බං." අනුරංග ඇහුවෙ ඇත්තටමයි. ඇගේ රූපය පෑහුනේ නගරෙට.
"අනේ මන්දා. ඔලුව නිකන් කොහේ හරි වැදිලා වගේ මට දැනෙන්නෙ බං" සහන් කියද්දි අනුරංගට හිනයි.
"මේ යමං දැන් අම්මලා බැන බැන බැන ඇති." අනුරංග සහන්ගෙ කරට අතක් දාගෙන ගියේ ආයෙත් ඇය ගිය මාවත දිගේ ඇස් යවලා.
"මොකද පුතා පරක්කු. අපි ලේස්ති වෙලා කොච්චර වෙලාද?" අනුරංගගෙ අම්මා යනකොටම ඇහුවා.
"එතන මාර ලස්සනයි අම්මා. ඔයාටත් එන්න තිබුනේ."
"මම ගිහින් නැති වැවක්නෙ ඔය. යමු යමු පරක්කු උනා."
"මට නම් යන්න හිතෙන්නෙම නෑ ආන්ටි." සහන් කිව්වෙ අනුරංග දිහාත් බලන ගමන්.
"ඇයි ගමේ කෙල්ලෙක්වත් දැක්කද?" අනුරංගගෙ අම්මා ඇහුවෙ වාහනේට නගින්න හදපු සහන්ගෙන්. සහන් ඇතුලට තියපු පය ආයෙත් අරන් අනුරංගගෙ අම්මගෙ ලඟට ගියා.
"ආන්ටිත් ඒ කෙල්ලව දැක්කද? මං බයේ හිටියෙ හොල්මනක් කියලා." සහන් හිනාවෙලා කිව්වා. කට්ටියම හිනා උනේ සහන්ගෙ කතාවට.
"පිස්සු නැතුව යමන් බං." අනුරංග සහන්ව ඇදගෙන වාහනේට නැග්ගත් ඔහුටත් හිතුනා ආයෙත් වතාවක් ඒ කෙල්ලව දකින්න තිබුනා නම් කියලා. වාහනය කොළඹට එනකන්ම සහන් වගේම අනුරංගත් වචන දහයකට වඩා කතා කලේ නැති තරම්.
සමාධි නම් එතනින් පස්සෙ ඒ ගැන හිතන්න වෙලාවක් කැප කලේම නැති තරම්. ඇය උසස් පෙළ විභාගයට මුහුණ දෙන්නෙ ලබන මාසෙ නිසා අම්මට මල් ටික ගෙනත් දීලා ඇඳුම් මාරු කරගෙන පාඩම් කරන්න උනා.
නිදාගන්න ගියාට පස්සෙ ඇයට මතක් උනා ඒ පිරිමි ලමුන් දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ඇස් දෙක. ඒ අනුරංගගෙ. ඇය නින්දට වැටුනෙ ඒ මතකයත් එක්කමයි.
අනුරංගට නම් උදේ ඇහැරුන ගමනුත් සමාධි ගැන මතක් උනා. ඒ මූණෙ ඉරියව් ඇයට ගෙනාවෙ කියාගන්න බැරි තරම් සුන්දරත්වයක්. අනුරංගට ඔෆිස් එකට ගියත් ඒ කෙල්ලව මතක් උනා. ඔහු කල්පනා කලේ ආයෙත් ඇයව දකින්න මගක් ගැන. ඒ එක්කමයි සහන් කැබින් එකට ආවෙ.
"ආ කොල්ලා ගුඩ් මෝනින්."
"ගුඩ් මෝනින්."
"මොකද නිකන් අනුරංග ගෲප් ඔෆ් කම්පනි වහන්න වෙලා වගේ මල පර වෙලා." සහන් ඇහුවෙ හොඳට අනුරංගගෙ මූණ දිහා බලලා.
"මට අර කෙල්ලව මතක් වෙනව බං. ආයෙත් දකින්න ආසයි." අනුරංග කියද්දි සහන් ඔහු අතේ තිබුන කැලැන්ඩරයක් වගේ රෝල් කරලා තිබුන ෆොටෝ එකක් අනුරංග අතට දුන්නා.
"මේක බලපං පොඩ්ඩක්."
"මොකද්ද?" අනුරංග ඇහුවෙ නලල රැලි කරමින්.
"යකෝ ලිහන්න තියෙන මල්ල ඔබල බලන්න එපා කියලා බොලාගෙ අත්තම්මත් කිව්වා මං අහගෙන. බලල ඉඳපියකො." සහන් කිව්වා. අනුරංග හිනාවෙවී දිග ඇරියත් ඒ එක්කම ඔහුගේ හිනාව අතුරුදහන් උනා.
"උඹට මේක කොහෙන්ද බං" අනුරංග ඇහුවෙ පුදුමෙන්.
"මම එදා ගත්තෙ. ඒක මාර ලස්සන ශොට් එක." සහන් කිව්වෙ ආඩම්බරෙන්. සමාධි ඔරුවෙන් බැහැලා මල් ටික කූඩයෙන් තියන අයුරු ඡායරූපගත කරගෙන තිබුනෙ හරිම සොඳුරු විදිහට.
"මොකද? උඹට මේක ඕනෙද?" සහන් ඇහුවෙ අනුරංග සමවැදිලා වගේ ෆොටෝ එක දිහා බලන් ඉඳපු නිසා. අනුරංග සහන් දිහා බැලුවෙ ඔව් කියන්න.
"හැබැයි පුතෝ උඹ හිතන්න එපා ඒ කෙල්ලව හොයාගෙන ආයෙම ගමට යන්න. උඹලගෙ පෙලපතේ උදවිය ඒ කෙල්ලගෙ පැල්පතත් එක්ක නෑකම් හදා ගන්න කැමති වෙයිද දන්නෙ නෑනෙ." සහන් කිව්වෙ කොළඹ ප්‍රධාම පෙලේ ව්‍යාපාරික පවුලක් උන අනුරංගගෙ පවුලත් එක්ක ඒ කෙල්ලට පෑහෙන්න බැරි වෙයි කියලා හිතමින්.
"අපි බලමුකො." අනුරංග එහෙම කියලා සහන් ලඟ තිබුන ෆොටෝස් ඔක්කොම අනුරංගගෙ ෆෝන් එකට අර ගත්තා. එදා ඉඳන් අනුරංගගෙ හැම දවසක්ම උදා උනේ සමාධිගෙ ෆොටෝ එක දිහා බලාගෙන.
වසර දෙකකට පසු.
අනුරංග දවසක් කැම්පස් එකට යන්නෙ සමීපතම මිතුරෙක්ගෙ ආරාධනයකට ඔහුගේ ගීත ප්‍රසංගයකට සහභාගී වෙන්න. ප්‍රසංගයක ආරම්භ වෙලා සුලු මොහොතකට පසුව අනුරංගගෙ මිතුරා එක්ක ගායනයක් ඉදිරිපත් කරන්න වේදිකාවට ආවෙ අනුරංගට හොඳට පුරුදු රුවක්. ඒ සමාධි. රුව වගේම කටහඬේ සුන්දරත්වයත් විඳිමින් අනුරංග හිටියෙ සුපුරුදු ලෙසම සමවැදිලා.
ප්‍රසංගයක අවසානයේ අනුරංග චමත් ලඟට ගියේ අඩුම තරමෙ කෙල්ලගෙ නමවත් අහගන්න. ඔහු යද්දි සමාධිත් එතන හිටියා. ඇයත් මේ කොහේදි හෝ දැක පුරුදු කෙනා කවුද කියා සිතමින් හිටියෙ.
"මචං තෑන්ක්ස් බං ආවට. කොහොමද ශෝ එක." චමත් ඇහුවෙ සමාධි දිහාත් බලන ගමන්.
"හොඳයි බං. සුපර්බ්."
"ආහ් මේ ඉන්නෙ සමාධි. සමාධි මේ ඉන්නෙ මගේ ස්කූල් එකේ යාලුවෙක්. අනුරංග." චමත් අඳුන්වලා දෙද්දි සමාධි හිනා උනා.
"හෙලෝ. ඔයාගෙ වොයිස් එකත් ඔයා වගේම ලස්සනයි." අනුරංග ඇයට අත දිගු කරලා කිව්වා.
"තෑන්ක් යූ." සමාධි ඒ අතින් ඇල්ලුවේ හිත ගැස්සෙද්දි.
"මචන් මං පොඩ්ඩක් අර පැත්ත බලලා එන්නම්. මේ නංගි එක්ක කතාවක් දාගෙන ඉඳපං." චමත් එහෙම කියලා ටිකක් එහායින් ඉඳපු යාලුවො කට්ටියක් ලඟට ගියා.
"මට අයියව දැකල පුරුදුයි. ඒත් කොහෙදිද කියලා මතක නෑ." සමාධි කිව්වෙ කල්පනා කරල කරලා තාමත් මතක් කරගන්න බැරි උන නිසාමයි.
"මතකද දන්නෙ නෑ දවසක් වැවේ මල් නෙලන් එද්දි හම්බ උනා. මායි යාලුවෙකුයි හිටියෙ. ඔයා මල් ටික ගොඩින් තියලා පීනුවා. මායි යාලුවයි හිතුවෙ කිඳුරියක් කියලා." අනුරංග හිනාවෙවී කියද්දි එදා මතක් වෙලා සමාධි ලැජ්ජාවෙන් බිම බලාගත්තා.
"මම හිතුවෙ නෑ ඔයාව අද මෙහෙදි දකින්න ලැබෙයි කියලා. එදා වගෙම අද මේ ඇඳුමෙනුත් ඔයා හරි ලස්සනයි." අනුරංග කිව්වෙ ලෙහෙඟා එකක් ඇඳලා ඉඳපු සමාධිගෙ ඉහල ඉඳන් පහලට බලලා.
"විහිලු එපා." සමාධි ලැජ්ජාවෙන් බිම බලාගත්තා.
"ඇත්තමයි. ආදරේ හිතෙනවා." අනුරංග කිව්වා. සමාධි හිස උස්සලා ඇස් ලොකු කරලා බැලුවෙ ඇයට ඇහුනෙ මොකද්ද කියලා හිතමින්.
"සත්තයි ආදරෙයි මං." අනුරංග රහසින් කිව්වා. සමාධි පුදුමෙන් බලන් හිටියා.
"පුදුමද? මේ බලන්න බොරු නම්." අනුරංග කිව්වෙ ඔහුගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එක පෙන්නලා. සමාධිගෙ ඇස් දෙක නලලටම ගියා.
"එදායින් පස්සෙ හැම දවසක්ම මගේ එලි උනේ ඔයාගෙ මූණ බලලා." අනුරංග ආදරෙන් කියද්දි සමාධි පුදුමෙන් බලන් හිටියා.
"මේ තරම් ආදරයක් හිතක තියෙන්න පුලුවන්ද?" සමාධි එදායින් පස්සෙ හැම වෙලාවෙම හිතුවා.
"මං කාගෙද කින්ද මන්දා නොදැන මේ තරම් ආදරේ කලේ ඇයි ඔයා." සති දෙකකට පස්සෙ සමාධි ඇහුවෙ එදා හමු උන වෙලාවෙ දීලා ගිය අනුරංගගෙ ෆෝන් නම්බර් එකට කෝල් එකක් අරන් අනුරංග ආන්සර් කරපු ගමන්ම.
"සංසාරෙ පුරුද්දට වෙන්න ඇති." අනුරංග එහෙම කිව්වා.
"මාත් ආදරෙයි." සමාධි හැඟීම්බරව කිව්වෙ මුලු හදවතින්මයි.
කසාදයක් ගැන නොහිතා ඉඳපු කොල්ලා කසාද බඳින්න ඕනෙ කිව්වම අනුරංගගෙ ගෙදර අය කෙල්ල කවුද කින්ද මන්ද නොසොයාම කසාදයට කැමති උනා. සමාධිට වගේම අම්මට තාත්තටත් හීනයක් කරමින් ලස්සන වෙඩින් එකකින් සමාධි අනුරංගගෙ බිරිඳ උනේ ඒ විදියට.
________________________________________________________________________
"මං වගේ #මල්_කෙල්ලෙක්ට ඔයා වගේ කෙනෙක් ලැබුණෙ ඇත්තටම සංසාරෙ පතාගෙන ඇවිත් නිසා වෙන්න ඇති." සමාධි කිව්වෙ අනුරංගට තවත් තුරුලු වෙමින්.
"එහෙම කියන්න එපා ඔයා මල් කඩන්න වැවට ආවෙ නැත්නම් මම කොහොමද ඔයාව දකින්නෙ." අනුරංග ඇහුවෙ ඇගේ අතක් සිපගෙන.
"සංසාරෙ පුරුද්දට නම් මාව කොහේ හිටියත් ඔයාට හමු වෙනවාමයි." සමාධි හිනාවෙලා කිව්වා.
"ඔව් ඔව් ආච්චියේ... ඒත් මං ආදරේ කලේ ඒ සුන්දර #මල්_කෙල්ලට." අනුරංග එහෙම කියලා සමාධිව ආයෙත් තුරුලු කරගත්තා.
අවසානයි.
ආදරේට දුප්පත් පොහොසත්කම් උගත් නූගත්කම් මේ කිසිම දෙයක් බලපාන්නෙ නෑ. ඇත්තටම ආදරේ කියන්නෙ ආත්ම ගාණක පතාගෙන ආව දෙයක් වෙන්නත් පුලුවන්. ආදරේට නීති රීති මහගොඩක් දාගන්න එපා. කිරුම් මිනුම් තියාගන්නත් එපා. ආදරේ විඳින්න. ඒක හරි සුන්දරයි.
තෙරුවන් සරණයි!
Writer-sherangi shanika
(උපුටා_ගැනීමකි)
No comments:
Post a Comment