සුසුම් සගවා සිනසුනි ඈ


"සුසුම් සඟවා සිනාසුණි ඈ"
කෙටි කතාව

"ධීර්.... මොනාද අනේ හිතන්නෙ.." ද්වාරා අහන්නෙ මුහුද දිහා බලාගෙන ඉන්න අධීර රණබාහුගෙන් මුහුදු වෙරළෙ එහා මෙහා දුව පනින ගමන්. ඇය මේ අධීර මුණ ගැහෙන්න ආවෙ සති ගානකට පස්සෙ.

"මේ කාලෙ ටිකක් විනෝදෙන් ඉන්නකො අනේ. හරියට ඔයා ඉන්නෙ මැරි කරලා ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙක් වගේ." අධීරට හිනයි කෙල්ලගෙ කතාවට.

"පිස්සු කෙල්ල.. කෝ මෙහෙට එන්න." ධීර් කතා කලේ අතක් දිගු කරමින්. ද්වාරා දුවගෙන ධීර්ගෙ ළඟට ආවෙ පුංචි දරුවෙක් වගේ.

"ඇත්තමයි ධීර්.. ඔයා හරියට හිතනවා එක එක ඒවා. කාලෙකට පස්සෙ මීට් උනේ. අඩුම තරමෙ ටිකක් ආදරෙන් ඉන්නකෝ." ද්වාරා කියන්නෙ අධීරගෙ පපුවට හේත්තු වෙලා ඔහුගෙ අතක් අල්ලගෙන පොඩි එකෙක් වගේ ඔහුගෙ ඇඟිලි එහා මෙහා කරමින්.

අධීර කියන්නෙ වළව් පෙළපතකින් එන හොඳ ධනවත් පවුලක අවසාන පිරිමි පුරුක. ද්වාරා විහාරි මීගස්තැන්න. සාමාන්‍ය පවුලක වැඩිමලා. ඇයට නංගිලා තුන් දෙනෙක් හිටියා. තාත්තා රජයේ සේවකයෙක්. ද්වාරාගෙ අම්මා නෑ. පුංචි නංගිලා තුන් දෙනාට අම්මා උනේ ඇය. චූටි නංගී ලැබෙනකොටයි අම්මා නැති උනේ. ඉස්සර ඉඳන්ම හරිම කෙළිලොල් ජීවිතයක් ගත කරපු කෙල්ල ඒ ගේ ඇතුලෙ තමන්ගෙ නංගිලාට අම්මා උනා. එලියට බැස්සම ගෙදර ප්‍රශ්න අමතක කරන්න උත්සාහ කරන මේ දඟකාර පුංචි කෙල්ල ලඟ අධීරගෙ හිත නැවතුනා. අධීර රණබාහු ද්වාරා විහාරි මීගස්තැන්න එක්ක සම්බන්ධෙ පටන් අරන් දැන් අවුරුදු දෙකක්. අධීරට වයස තිස් දෙකක්. ද්වාරාට තාම විසි එකයි.

"මගෙ යාලුවො මට හිනාවෙනවා ද්වාරා." අධීර කියන්නෙ ලොකු කල්පනාවක ඉඳන්.

"ඇයි ඒ?" ද්වාරා ඇස් උස්සලා අධීර දිහා බැලුවා.

"මම මේ බාල අපරාධ කරනවලු." අධීර පසු තැවීමෙන් කියද්දි ද්වාරා නැගිටලා අධීර ලඟ දණ ගහගෙන දෝතින්ම ඒ මූණ අල්ල ගත්තා.

"ලව් එෆෙයාර්ස් ඕන තරම් ඇති වෙනවා මීට වඩා වයස් පරතරයන් තියෙන අය අතරෙ. යාලුවො කියන දේවල් වලට ඇයි ඔයා හිත රිද්ද ගන්නෙ. මගෙ ධීර්ට මම ඉන්නවනෙ." ද්වාරා ඔහුට තුරුලු උනේ කඳුලු පිරි දෑසින්. ඇය ගොඩක් ආසා උනා අධීරට අයියා කියල කතා කරන්න. ඒත් එතකොට වයස පරතරය දැනෙනවා වගේ නිසා ඇය හැමවිටම අධීරව ඇමතුවේ ඇයම හදා ගත්ත ධීර් කියන නමින්. ඇය කියන්නෙ ද්වාරා කියන නමට මැච් වෙන්නෙ ධීර් කියලා.

"හරි හරි දැන් මොකටද අඬන්නෙ?" අධීර අකමැතිම දේ උනේ ද්වාරාගෙ කඳුලු.

"බේබි... නෝ නෝ අඬන්න එපා. කඳුලු පිහිදාගන්න. your tears are like a diamond. so don't waste it." ඔහු හැමවිටම කිව්වෙ එහෙමයි. ද්වාරා කඳුලු පිහිදාගෙන හිනා උනා.

"මගේ කඳුලු දියමන්ති උනා නම් මේ අවුරුදු හයට මම අඬපු තරමට මම කෝටි ප්‍රකෝටිපතිනියක්." ද්වාරා සැහැල්ලුවෙන් හිනැහුනා. අධීර ඒ හිනාවට ආසයි. ඒත් ඒ හිනාව අස්සෙ තියෙන දුක කොච්චරද කියලා ඔහු හොඳටම දන්නවා.

"එතකොට මට වයස පහළොවයි. නොහිතපු විදියට චූටි නංගි අම්මගෙ බඩට එද්දි සුදු නංගිට අවුරුදු නමයක්. හතරවෙනි දරුවෙක් ගැන අම්මලා හිතලාවත් තිබුනෙ නෑ. ඒ වෙද්දි අම්මට වයස හතලිහකට කිට්ටුයි. කොහොම උනත් චූටි නංගි ඉපදුනා. අම්මව ඕනෙම කාලෙදි එයා අපිට නැති උනා." අධීරට ද්වාරා මුණ ගැහුනු අලුතම ඇය කියපු හැටි අධීරට අද වගේ මතකයි. කොයි තරම් සැහැල්ලුවෙන් තමන් ලඟ හිටියත් ඇය ගෙදරට යන්නෙ නංගිලාට අම්මා වෙලා බව මතක් වෙද්දි අධීරගෙ හිත පිච්චුනා.

"ද්වාරා..."

"ම්ම්ම්..."

"මම මේ සතියෙ ගෙදර යන්න ඕනෙ."

"හා... හොඳ ලමයා. අම්මයි අප්පච්චියි මග බලාගෙන ඇති." ද්වාරා හිනා උනා.

"දුක නැද්ද?" අධීර අහද්දි ද්වාරා හොඳට වාඩි වෙලා අධීර දිහා බැලුවා.

"ඇයි?"

"ගෙදර ගිය ගමන් අම්මලා මාව මනමාලියො බලන්න එක්කන් යනවා." අධීර කියද්දි ද්වාරා හයියෙන් හිනා උනා.

"මොකද හිනාවෙන්නෙ." අධීර ඇහුවෙ අමනාපයක් තැවරුණු මුවින්.

"හිනා නැද්ද අනේ. මනමාලියෙක් බලන්න ගියාම ගෙවෙනවද? ගිහින් හොඳට කාලා බීලා එන එකනෙ." ද්වාරා සැහැල්ලුවෙන් හිනාවෙවී කිව්වත් ඇගේ හිත ඇතුලින් රිදුනා.

"ඔහොම හිනා වෙනකොට ඔයාගෙ හිත අඬන හැටි මට පේන්නෙ නෑ කියල හිතනවද?" අධීර ඇහුවෙ ද්වාරාව තදින් තුරුලු කරන්.

"මට රිදෙනවා." ද්වාරා කිව්වම අධීර එහාට උනා.

"දුකයි තමයි. ඒ උනාට ඔයා හැමදාම මගේ කියල මම දන්නවා." ද්වාර කිව්වා.

"ඔහොම කියද්දි ආදරේ වැඩි වෙනව මැණික."

"මාත් ආදරෙයි. හැබැයි ඔහොම ඉන්න බෑ. එනවා මෙහෙට." ද්වාරා හිනාවෙලා කියලා අධීරගෙ අතිනුත් අල්ලන් නැගිටලා මුහුදු රළ එන මානයට දිව්වා.

"ද්වාරා මාව තෙමුණොත් ආයෙ ඔෆිස් එකට යන්න බැරි වෙයි." අධීර කියද්දියි කෙල්ල ඔරලෝසුව දිහා බැලුවෙ.

"අනේ ධීර් බබාව ගන්න ස්කූල් එකට යන්න ඕනෙ. විනාඩි දහයයි තියෙන්නෙ තව." කෙල්ලගෙ මූණ මැලවුනා. ඒක ඇහුනු එහායින් ඉඳපු ජෝඩුවක් ද්වාරා දිහායි අධීර දිහායි බැලුවෙ අමුතුවට.

"හ්ම්ම්... යමු එහෙනම්" අධීර ද්වාරාගෙ අතින් අල්ලගෙන වෙරළ අයිනේ නවතා තිබුණු මෝටර් රථය ලඟට ආවා.

"ඒ අය හිතුවෙ මම බබාව ස්කූල් දාලා කොල්ලෙක් එක්ක ඇවිදින්න එන නරක ගෑණියෙක් ගානට දාලා." ද්වාරා කිව්වෙ දුකෙන්.

"කවුරු මොනවා හිතුවත් මොකද පණ. අපි දන්නවනෙ ඇත්ත මොකද්ද කියලා. කෝ පරක්කු වෙනවා නගින්න." අධීර කාර් එකේ දොර ඇරලා දුන්නා.

පාසල ලඟට එනකන්ම දෙන්නා අතරෙ ලොකු කතාවක් ඇති උනේ නෑ. ද්වාරා සාමාන්‍ය පෙළ කලේ ප්‍රශ්න ගොඩක් මැද. යාන්තන් තමයි සාමාන්‍ය පෙළ සමත් වුනේ. ඒත් ඇය මහන්සි වෙලා උසස් පෙළ හොඳට සමත් වුනා. ඇය රැකියාවකට ගියේ නැත්තෙ චූටි නංගිගෙ වැඩයි ගෙදර වැඩයි කරන්න කෙනෙක් නැති නිසා. තාත්තගෙ පඩියට තවත් මුදලක් එකතු කරන්න ඇය ඇඳුම් මැහුවා. ද්වාරා හරිම උත්සාහවන්ත කෙල්ලෙක් කියලා මුලු ගමේම ප්‍රසිද්ධයි.

ද්වාරා බහින්න කිට්ටු වෙද්දි අධීරගෙ හිතට දරාගන්න බැරි තරම් දුක හිතුනේ ආයෙ හමු වෙන දවස හිතාගන්නත් බැරි තරම් දුර නිසා.

"ධීර්... මම බහිනවා." ද්වාරා ඇඬුවෙ නෑ මේ ලස්සන මොහොතෙත් අධීරට දුකක් දෙන්න ඇයට හිතුනෙ නෑ.

"බුදු සරණයි මගෙ මැණික. පරිස්සමට යන්න.." අධීර කිව්වෙ දුකෙන්.

"බුදු සරණයි. අම්මා අප්පච්චිගෙ හිත රිද්දන්න එපා. පරිස්සමෙන් ගෙදර ගිහින් එන්න." ද්වාරා අධීරගෙ නළලට හාදුවක් දීලා කාර් එකෙන් බැස්සා.

දෙන්නා පණිවිඩ හුවමාරු කරගත්තෙ ද්වාරාගෙ තාත්තගෙ ෆෝන් එකෙන්. ඉඩක් ලැබුණු වෙලාවට තාත්තගෙ ෆෝන් එක අරගෙන ද්වාරා මැසේජ් එකක් දැම්මම එම සැණින් අධීර කෝල් එක ගන්නෙ ඒ කටහඬ අහන්න තියෙන ආසාවට.

"මම ෆෝන් එකක් ගෙනත් දෙන්නම් මැණික. කොහොමද කටහඬවත් අහන්නෙ නැතුව ඉන්නෙ." මුල් දවස් වල එහෙම කිව්වත් ගෙදර තත්වෙ කිව්වට පස්සෙ අධීර ඒ ගැන ආයෙම කිව්වෙ නෑ. ඔහු ඇගේ ක්‍රමයට හැඩගැහුනා.

"ලොක්කියේ..." තාත්තා කතා කරද්දි කෙල්ල හිටියෙ චූටි නංගිට අකුරු කියාදෙමින්.

"තාත්තා..."

"පුතේ ලබන මාසෙ මම රිටයර් වෙනවා. ඊට පස්සෙ ටිකක් අමාරු වෙයි."

"තාත්තා මම ජොබ් එකක් හොයාගන්නම්. දැන් මද්දුටත් එක්සෑම් ඉවර නිසා  තාත්තා ගෙදර නවතිනකන් මද්දුට බබා ගැන බලන්න පුලුවන්නෙ." ද්වාරා කිව්වෙ ඇයට ඕනම වෙලාවක රැකියාවක් හොයල දෙන්න අධීර සූදානමින් ඉන්න බව දන්න නිසා.

"කියන පරක්කුවට රස්සාවල් ලැබෙයිද පුතේ." තාත්තා කල්පනා කර කර කිව්වෙ.

"නෑ තාත්තා මගේ යාලුවෙක්ට කිව්ව නම් හොයාගන්න බැරි වෙන එකක් නෑ." ද්වාරා කිව්වෙ බලාපොරොත්තු දැල්වූ දෑසින්.

"තාත්තා අක්කා ජොබ් එකකට ගියාට කමක් නෑ. මාත් මොනව හරි කරන්න ඕනෙ. ගෙදරට වෙලාම හිටියොත් ඉගෙන ගත්ත දේවල් අපතේ යනවා." මද්දු කියන්නෙ ඇයට හොඳට ඉගෙන ගන්න පුලුවන් නිසා.

"නෑ නෑ මද්දු රස්සාවල් වලට යන්න ඕනෙ නෑ. ලේස්ති වෙනවා රිසාල්ට් එනකන් ඉන්ග්ලිෂ් කෝස් එකකට යන්න." ද්වාරා කිව්වෙ තරහින්.

"ඒත් අක්කා..."

"ඒත් මේත් නෙමෙයි ඔයාලා තුන් දෙනාම ඉගෙන ගන්න ඕනෙ. මෙච්චර කල් කරා වගේ ඉස්සරහටත් මේවා පිරිමහගෙන කරන්න මට පුලුවන්. මට හරියට රස්සාවක් හොයා ගත්ත නම් සේරම විසඳෙනවා. මම හෙටම රස්සාවක් බලන්න යන්නම්කො. එතකොට හරිනෙ." ද්වාරා තරහින් කියලා ගෙට ගියා.

"සුදූ මේ බබාගෙ ඉස්කෝලෙ වැඩ ටිකට උදව් වෙන්න. සේරම පණ්ඩිතයි එක්කෙනෙක්වත් නෑ මං කියන දේ අහන්න. මම ඔය විභාග පාස් කලේ උඹලට කලින්." ද්වාරා කේන්තියෙන් කියව කියව හාල් සෝදන්න ගත්තා.

"අක්කා... මේ අහන්න. ඔයාගෙ අනාගතේට මොකද වෙන්නෙ මෙතෙන්ටම යට වෙවී හිටියම." මද්දු ද්වාරාගෙ පිටිපස්සෙන්ම ඇවිත් කතා කරා.

"ඇයි මෙතන හිටියම මගෙ අනාගතේ හොරු අරන් යනවද? කියනදේ අහල හොඳට ඉගෙන ගන්නවා. රස්සාවක් හරියනකන් මේ මැහුම් ටික කරලා ගොඩ යන්න පුලුවන්. මොන රස්සාව ලැබුනත් මම මහන එක නවත්තන්නෙ නෑ කොහොමත්." ඇය සාරි ජැකට් සහ ලඟ තියෙන පොඩි ගාමන්ට් එකකින් ඕඩර් අරන් මැහුවා. ඒකෙන් විශාල ආදායමක් නැතත් සාමාන්‍ය මුදලක් සොයා ගන්න බැරි උනේ නෑ.

"ලොක්කිගෙ කැමැත්තක්. මටත් ඔය කඩේක හරි වැඩක් බලන්න බැරියැ." තාත්තත් එහෙම කිව්වෙ කරන්නම දෙයක් නැති කමට.

"රිටයර් වෙලා තාත්තා ගෙදර ඉන්න. බබාව බලන්නෙ කවුද නැත්නම්." ද්වාරා කිව්වෙ මද්දුත් සුදු නංගීත් ඉගෙනීමේ වැඩත් එක්ක ගෙදර හිටියත් චූටි ගැන සෙවිල්ලෙන් ඉන්න බැරි නිසා.

මාසයක් ඇතුලත ද්වාරාට පිළිගැනීමේ නිළධාරිනියක වශයෙන් රැකියාවක් ලැබෙනවා. ඇය ඒ රැකියාව කරගෙන අවුරුදු එක හමාරක් සතුටින් ජීවත් උනා. ඒ ඉන්න අතරෙදි තමයි ජීවිතේ හිටියටත් වඩා අගාධයට වැටෙන්නෙ. තාත්තා ඔවුන් අතරින් වියෝ වෙනවා. ද්වාරා කල්පනා කලා ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. බයක් නොදැනුනාම නෙවෙයි. කෙල්ලො තුන් දෙනෙක් එක්ක තනි උන අම්මා කෙනෙක් වගේ ඇයට තමන් ගැනම ලොකු දුකක් දැනුනා.

"ද්වාරා ඉක්මණටම කසාද බඳින්න වෙනවා. මම අම්මලාට ඔයා ගැන කියනවා. අම්මට හොඳටම අසනීපයි. එයාට මැරෙන්න කලින් මුණුබුරෙක්ගෙ මූණ බලන්න ඕනෙ කියනවා. හදිසියෙවත් මට ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කරන්න බැරි උනොත් අම්මගෙ ආත්මයටවත් සැනසීමක් ලැබෙන එකක් නෑ." අධීර කිව්වෙ පසු තැවීමෙන්. ඔහුට ද්වාරා නැති ජීවිතයක් හිතන්න අමාරුයි. ඒත් මේ වෙලාවෙ ඔහුට කරන්න දේකුත් නෑ.

"ධීර් මේ වෙලාවෙ මට මගේ පවුල අත අරින්න බෑ. දරුවො තුන් දෙනෙක් එක්ක ඔයාගෙ ගෙදරින් මාව භාර ගන්නෙත් නෑ. මම මැරි කරලා ගෙදරින් යනව කියන්නෙ දෙවනි වතාවටත් මගේ කෙල්ලො තුන් දෙනාට අම්මා නැති වෙන එක. අනික තාත්තත් නැතිව..... ඒ තුන් දෙනාටම තාමත් අම්මව ඕනෙ." ද්වාරා ධීර්ට තුරුලු වෙලා ඉඳන් කිව්වෙ.

"මැණික මම මොකද්ද මේකට කරන්නෙ?" අධීර හිටියෙ පඹ ගාලක පැටලිලා.

"ධීර්...." ද්වාරා කතා කලේ හිත හයිය කරගෙන තීරණයක් අරගෙන.

"ම්ම්ම්..."

"අර අම්මලා හොඳයි කිව්ව එයා. අර ගිය පාර බලන්න ගියේ...." ද්වාරා බොහොම නිවිසැනසිල්ලෙ කියන්න ගත්තා. ඒක හදවතට දරන්න බැරි විසඳුමක් උනත්.

"ඉතිං.."

"ඔයා එයාට කැමතියි කියන්න. අම්මගෙ බලාපොරොත්තුත් ඉෂ්ඨ වෙයි. ඔයාගෙ හිතට බරකුත් නෑ." ද්වාරා ඔහුව තදින් වැළඳ ගෙන කිව්වෙ.

"ද්වාරා කරන්න බැරි දේවල් කියන්න එපා. මට කවදාවත් එහෙම කරන්න බෑ." අධීර ඒ මූණ දෝතට ගත්තා.

"මගෙ ඇස් දිහා බලන් කියන්න ආයෙත්. ඔයාට පුලුවන්ද එහෙම ඉන්න. මාව වෙන කෙනෙක්ට දීලා?" අධීර ඇහුවා.

"පුලුවන්. මට අම්මා නෑ. ඒ නිසා මගෙ නංගිලාට අම්මා උනේ මං. මම දන්නවා අම්මලා දරුවොන්ට ආදරේ තරම. ඔයා අම්මගෙ තීරණේට එකඟ වෙන්න ධීර්. මගෙ ගැන හිතන්න එපා. මට කොහොමටත් අම්මා තාත්තා නැති කෙල්ලො තුන් දෙනාව මෙහෙම අත අරින්න බෑ." ද්වාරා ඒ ඇස් දිහා බලාගෙනම කිව්වා.

"මාව ඒ තරම් ඉක්මණට අයින් කරන්න පුලුවන් උනේ කොහොමද මගෙ පණ. මගෙ ලෝකෙම ඔයා බව දන්නව නේද?" අධීර කඳුලු පිරි දෑසින් අහද්දි ද්වාරා ඔහුව තුරුලු කරගත්තා. ඇය ඇඬුවෙ නැත්තෙ අධීරගෙ හිත හදන්න ඕනෙ නිසා.

"ඔයාගෙ අම්මගෙ ලෝකෙම ඔයා ධීර්. ඒ ලෝකෙ මට උදුර ගන්න බෑ. ඔයා යන්න. මම තරහ නෑ. මම හිත හදාගන්නම්." ද්වාරා එහෙම කියලා අවසාන වතාවට අධීරගෙ ඇස් වලින් වැටුණු කඳුලු පිස දාලා ඔහුගෙ නළල සිප ගෙන ඉඳන් උන් තැනින් නැගිටලා වෙරළ දිගේ ඇවිදගෙන ගියා.

"මම ගත්තෙ හරි තීරණයක්ද? ධීර් සතුටින් ඉඳීද? නෑ කමක් නෑ අඩුම ගානෙ එයාගෙ අම්මවත් සතුටු වෙයි මේ තීරණෙන්." ද්වාරා එහෙම හිතමින් ගෙදර ගියා.

දැන් ද්වාරාට හෑන්ඩ් ෆෝන් එකක් තියෙනවා. අධීරගෙන් කෙටි පණිවිඩ හා ඇමතුම් රාශියක් ආවත් ඇය ෆෝන් එක සයිලන්ට් කරලා බෑග් එකේ දාලා තිබුනෙ. හිත ගල් කරගත්තා අවුරුදු අටක් තිස්සෙ දරුවො වගේ හදපු කෙල්ලො තුන් දෙනා දිහා බලලා.  ඇය ආයෙ හැරෙන්න හිතුවෙ නෑ.

දෙමසකට පස්සෙ අධීරගෙන් කෝල් එකක්.... ද්වාරාගෙ හිත ගැස්සුනා.

"ඇයි මේ ගන්නෙ." ඇය කල්පනා කරා. "ආන්සර් කරනවද? නෑ ඔහොම රිංග් උනාවෙ." අවසානයේ ඇය තීරණය කලා.

"මම හෙට මැරි කරනවා." ඒ අධීර. මැසේජ් එකක් එවලා. දුකක් දැනුනා කියාගන්න බැරි තරම්. චූටි කෙල්ල ඉස්කෝලෙ පාඩමක් අහගන්න ආවා. ඒකිටත් බැනලා එලවලා ආයෙත් දුවගෙන ගිහින් බදාගෙන ඇඬුවා. ඇගේ හිතේ තිබුනෙ තමන් ගැනම දුකක්. ඒත් ධීර් සතුටින් ඇය හිතුවා.

"අක්කා අඬන්න එපා. බබාට දුක නෑ." චූටි කෙල්ල ඇයගෙ හිතේ අක්කා අඬන්නෙ ඇයට බැනපු නිසා කියලා. ඇයත් අක්කත් එක්ක දුක බෙදාගන්න ඇඬුවා. මද්දු මේ දිහා බලාගෙන. ඇයට තේරුණා වෙන ප්‍රශ්නයක් බව.

"බබා සුදු අක්කා ලඟට යන්න." මද්දු පොඩි එකීව කාමරෙන් යවලා ද්වාරාගෙ උරහිස් වලින් අල්ල ගත්තා.

"අක්කා.... මොකද්ද ප්‍රශ්නෙ?" මද්දු දැන් කැම්පස්. ද්වාරාට දැන් ඇය ගැන බයක් නෑ. ද්වාරා මද්දුගෙ උරහිසට බර වෙලා වරුවක් ඇඬුවා. ඒත් ප්‍රශ්නෙ කිව්වෙ නෑ. හිතුනා තමන් ගත්ත තීරණේ හරි කියලා. පස්සෙ කඳුලු පිහිදාගෙන කුස්සියට ගියා.

"මං උයලා ඉවරයි අක්කා." සුදු නංගී කිව්වා.

"මොකටද කුස්සියට ආවෙ. යනවා පාඩම් කරනවා." සුපුරුදු ද්වාරා එළියට ආවා.

ද්වාරා පහුවෙනිදා වැඩට යනවා කියලා ආවත් ඇය නිවාඩුවක් දැම්මා. නුවර යන බස් එකක නැගලා සීට් එකේ අයිනෙන් වාඩි උනා. කල්පනා කලා ගොඩක් වෙලා.

"නෑ මම වැටෙන්නෙ නෑ. මගෙ දරුවො තුන් දෙනා වෙනුවෙන් මම ඉන්න ඕනෙ. ආදරෙයි තමයි මට මගේ කෙල්ලො තුන් දෙනාව මග දි මෙහෙම අත අරින්න බෑ." ද්වාරා නැවතත් හිතුවා.

මාළිගාවට ගිහින් බුදුන් වැඳලා වරුවක් අඬ අඬ බුදු හාමුදුරුවොන්ට දුක කිව්වා. මාළිගාවෙන් එලියට ආවෙ ගෙදරින් එද්දි ඉඳපු ද්වාරා නෙමෙයි. පයින්ම වැව රවුම දිගේ එද්දි පුරුදු රුවක් ඇස ගැටුනා.

"ධීර්... මනමාලි ලස්සනයි." ඇය හිතුවා අධීරගෙ අසලම මනමාලියෙක් ඉඳපු නිසා. දුරින් ඉඳන් බලාගෙන ඉඳලා හදවතින්ම දෙන්නට සුබ පතලා ඇය යන්න හැරුනා.

"හෙට ඉඳන් සුපුරුදු ජීවිතේ...." ඇය හිතුවා.

වසරකට පස්සෙ ආයෙත් අධීරගෙන් කෝල් එකක්. ආන්සර් කලේ නෑ මොනවා කතා කරන්නද කියලා.

"ද්වාරා වයිෆ්ට බබෙක් ලැබුනා. පුතෙක්. අවුරුද්දකට පස්සෙ මම අද ඔයාට සමාව දෙනවා ද්වාරා. මම තේරුම් ගත්තා එදා ඔයාගෙ තත්වෙ. සතුටින් ඉන්න. බුදු සරණයි." ද්වාරාට හිනා ගියා. දැන් අම්මටත් සතුටු ඇති.

"මේ පිනෙන්වත් ලබන ආත්මෙදි මට මගෙ අම්මව දෙන්න දෙවියනේ." ද්වාරා හිතුවා. හවස ඇය ගෙදර ගියා නෙමෙයි පුරුද්දට යැවුනා. මද්දු බලන් හිටියෙ තරහින් වගේ. වෙනසක් දැනුනත් ද්වාරා කාමරේට ගියා.

අධීර දුන්නු තෑගි අධීර දුන්නු එකම එක ලියුමක් ඒ වගේම අන්තිමට අධීරගෙන් අයින් වෙලා ආවට පස්සෙ හිතේ වේදනාවට දුක කියලා අධීරට ලියලා තමන් ලඟම තියාගත්ත ලියුම..... මේ සේරම ද්වාරාගෙ ඇඳ උඩ තිබුනෙ. අල්මරිය සේරම ඇදලා. ද්වාරා එළියට එන්න හැරෙනකොට මද්දුයි සුදුයි දොරකඩ.

"මොකද්ද අක්කා මේ කරේ?" මද්දු පැනලා ද්වාරාගෙ උරහිස් වලින් අල්ලන් හෙලෙව්වා. ද්වාරා ඒ ඇස් දිහාම බලාගෙන හිටියා.

"ඇයි දෙයියෝ අපි වෙනුවෙන් මෙච්චර කැප කිරීම් කලේ. අම්මා නැති උනාට පස්සෙ අම්මා උනා තාත්තා නැති උනාට පස්සෙ අම්මයි තාත්තයි දෙන්නම උනා. ඒ මදිද? අපි තුන් දෙනාට තනියම ඉන්න පුලුවන්කම තියෙද්දි රත්තරං වගේ අයිය කෙනෙක්ව ඇයි අක්කා නැති කරගත්තෙ. බලන්න කොච්චර ආදරේ කරලද ඔයාලා දෙන්නා." මද්දු පොලවෙ හැපුනා. සුදු නංගී ද්වාරාව වත්තම් කරගෙන ඇඳෙන් වාඩි කරවලා ඇයව තුරුලු කරන් ඇඬුවා. අඬලා අඬලා ද්වාරා කතා කලා.

"ඔයාලා තුන් දෙනාට වඩා මට මේ ලෝකෙ වටින කිසිම දෙයක් නෑ පැටවුනේ. මට හැමදාටම උඹලා ලඟ ඉන්න ඉඩ දුන්නොත් ඒ ඇති."

"අපි එළවනවද අක්කේ... ඔයා අපේ අම්මනෙ." සුදු නංගී අඬ අඬා කිව්වෙ.

"මට දැන් ඔයාල විතරයි. ධීර් අද තාත්තා කෙනෙක් වෙලා. එයා අද තේරුම් අරන් ඇයි එදා මම එහෙම තීරණයක් ගත්තෙ කියලා." ද්වාරා කිව්වා.

"අක්කා තමයි මගේ අම්මා. හැමදාම මගෙ ලඟ ඉන්න...." අවුරුදු අටක් වයසැති චූටි නංගී දුවගෙන ඇවිත් ද්වාරාට තුරුලු උනා. ද්වාරා නංගිල තුන් දෙනාම තුරුලු කරගෙන හිනා උනා.

"කොහේ හරි ඉඳන් සතුටු වෙන්න අම්මේ. අද අපි හතර දෙනාම සතුටින්." ද්වාරා කෙල්ලො තුන් දෙනාම සිප ගෙන හිතුවා.

අවසානයි!

අවුරුදු විසි පහක කෙල්ලෙක් ජීවිතේ සියලු ප්‍රාර්ථනාවන් තමන්ගෙ නංගිලා තුන් දෙනා වෙනුවෙන් කැප කලා. ඒ වගේ සහෝදරකම් ලබන්න ගොඩාක් පිං කරන්න ඕනෙ. අම්මා තාත්තාව පාරට ඇද දාන සමාජෙක උපන් ගමන් දරුවව කුණු වලට විසි කරන සමාජෙක අම්මා තාත්තා නැති තමන්ගෙ පුංචි නංගිලාට මල්ලිලාට අම්මා වෙන අක්කාවරු නැතුව නෙමෙයි. ඕන තරම් ඇති. ඒ වගේම තාත්තා නැති මගේ ගෙදර තාත්තා වගේ රැක ගත්තෙ අදටත් රැක ගන්නෙ මගෙ අක්කා.

තෙරුවන් සරණයි!
ශෙරංගි ශානිකා

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

1 comment:

  1. හරිම සංවේදි කථාවක්. නියමයි.

    ReplyDelete