ආදරය.
-අශී-
ලා රෝස පාට සිනිඳු පෙති විහිදලා රෝස පඳුරේ රෝස මල් පිපුණු එක උදේක බෝඩිම් ජීවිතේ රහ හොඳ හැටියට බලපු රුචියි අනුයි ගාමන්ට් එකේ වැඩට යන්න උදෙන්ම පිටත් උනා.දෙන්නම ඇපරල් ගාමන්ට් එකක මහන යන්ත්‍ර ක්‍රියාකරන සේවිකාවන්.කලාපෙ කෙල්ලො කියලා ආයෝජන කලාපයේ වැඩ කරන කෙල්ලන්ට කියන්නෙ.තරුණ ශ්‍රමය තමයි මේ කලාපවල වැඩි වශයෙන් භාවිතා වෙන්නෙ.දෙන්නා උදේ පාන්දර නැගිටලා උයාගෙන බෝඩිමෙන් යන්නෙ අටටත් කලින්.ආපහු එන්නෙ පහට විතර.උයන්න බඩු එහෙමත් අරන් තමයි මෙයාලා බෝඩිමට එන්නෙ.
මේ දෙන්නා අතරින් අනූට ආදරවන්තයෙක් හිටියා.කොල්ලා ලස්සනයි ඉතිං.ඒ වගෙම අනූට ගොඩක් ආදරෙයි.රුචීට කොල්ලෙක් හිටියෙ නෑ.අනූගෙයි අනූගෙ කොල්ලගෙයි අතරෙ තිබුනේ ලස්සන ආදරයක්.දන්නවද..සමහර ආදර කතාවල ඉන්න පෙම්වතුන් ඒ ආදරය නිසා ලබන්නේ සැනසීමක්.ඒක හරියට සීතල පිරිසිදු වාතය පපුව පුරාවට හුස්ම අරන් ඉන්නව වගේ හැඟීමක්.මං හරිද මන්දා.
කෙල්ලගෙයි කොල්ලගෙයි ආදරේ අතරට එන්න ගොඩක් අය උත්සාහ කළත් මේ දෙන්නා හරිම අවබෝධයකින් ආදරේ කලේ.ඒ නිසා ආදරේ දවසින් දවස අලුත් උනා.හරිම වචනේ..නැවුම් උනා.අනූ ඒ ආදරය තුළින් ලබන සැනසීමත් සතුටත් දැකපු රුචීටත් ආදරයක අවශ්‍යතාවය තදින් දැනුනා.
කලාපයේ තරුණියන් සේවය නිම කර ආපසු පැමිනෙද්දී ඔවුන්ගෙන් ආදරය සිඟාකන්නට බොහෝ කොල්ලන් පැමිණෙන බව බොහෝ දෙනා දන්නා කරුණක්.ඇතැම් තරුණයන්ට පෙම් කළ තරුණියන් යහපත් විවාහ දිවියකට එළඹුනත් බොහෝ තරුණියන් සිය ආත්ම ගරුත්වයද අහිමි කරගනිමින් දිවියෙන්ද පලාගිය අවස්ථාද බොහෝයි.එබඳු දේවල් බොහෝ දුටු අනූ හා රුචී එසේ ආදරය සිඟා කන තරුණයන් දෙස හැරී බැලුවේ හෝ නෑ.නමුත්..එක් දිනක දුටු තරුණයෙක්ගේ නෙත් බැලුමකට රුචී ආකර්ශනය උනා.නිලූගේ අනතුරු හැඟවීම් නොසලකා රුචී ඔහු හා පෙමින් බැඳුනා.
"එයා හොඳයි අනේ..මාව බඳිනවත් කිව්ව..'
රුචී ඔහුව තදින් විශ්වාස කලේ එසේයි.
'කෝකටත් පරිස්සමින් කෙල්ලේ..අපි හොඳට අඳුරන්නෙත් නෑනෙ..'
'ඒකනෙ අඳුරගෙන යාලු උනේ..අනේ අනූ..හැම කොල්ලම එහෙම ගෑණු අමාරුවෙ දාන්නෙ නෑ..ඔයා ඉන්නකො..මං පරිස්සම් වෙන්න දන්නවා.'
රුචී අමනාපයෙන් එසේ පැවසූ විට අනූ සිනාවක් පා නිහඬ උනා.
දිනෙන් දින රුචි අනූගෙන් දුරස් උනා.නිවාඩු දිනවලදී පෙම්වතා සමඟ පිටත් වී යන ඇය කොහේ යනවාද කියා හෝ අනූට කිව්වේ නෑ..ඇඳුම් පැළඳුමෙන් මෙන්ම හැසිරීමෙන් පවා රුචී වෙනස් උනේ කෙමෙන් කෙමෙන්.
මේ අතරේදී ඔවුන්ට විශේශිත දිනයක් පැමිණියා.ඒ වැලන්ටයින් දිනය.අනූටත් රුචීටත් එදින නිවාඩු දිනයක්.රුචී පෙරදින සිට සූදානම්ව සිටියේ පෙම්වතා සමඟ දවසම ගත කරන්නට යන්නටයි.අනූ පෙම්වතා සමඟ පන්සල් යන්නට ලෑස්ති වෙද්දී රුචී මුවට සරදම් සිනාවක් නඟාගෙන ඔවුන් දෙස බැලුවේ.හඬ නගාගෙන පැමිණි දඬුමොණරයේ ආ පෙම්වතා සමඟ රුචී ඉගිළී ගියේ දූලි වලා නංවමින්.
'රුචී..අද මට ඔයාගෙන් මොනව හරි ඕන..ඩාලිං..'
මුහුදෙ වෙරළේ අත් අල්ලාගෙන එකිනෙකා වෙළී සිටියදී පෙම්වතා රුචීගෙන් එසේ ඉල්ලුවා.
'මොනාද ඕන ඩාලිං..'
"ඒක මෙහෙම ඉල්ලන්න බෑ ස්වීට්..අපි නිදහස් තැනකට යං..'
ඔවුන් දෙදෙනාගේ ගමනාන්තය වූයේ අද හතු පිපෙන්නාක් මෙන් බිහිවන කුලී කාමරයක්.විවාහ වෙන්නට සිටින නිසා රුචීත් ඒ ගැන වැඩිදුර සිතුවේ නෑ.
.
අනූත් ඇගේ පෙම්වතාත් පන්සල් ගොස් මල් පහන් පුදද්දී රුචීගේ පෙම්වතාගේ නොසන්සුන් අත්වලින් රුචීගේ ලැජ්ජාව නමැති ඇඳුම් ගැලවී ගියා.ලොවට හොරා ගැහැණියක් වී අවසානයේ ඇය බියෙන් නැවත බෝඩිමට ආවේ ආදරවන්තයන්ගේ දිනයේ සන්තක සියලු දෑ අහිමි කරගත් තවත් එක් කෙල්ලක් ලෙස.
දින ගෙවී ගියා.සැබවින්ම රුචීගේ මඟ වැරදී ගිය බව ඇයට වැටහී තිබුනේ.ආදරවන්තයන්ගේ දිනයේදී අඳුරු කාමරය තුළ සිදු වූ සියල්ල ඇගේ පෙම්වතාගේ දුරකථනය තුළ ගබඩා වී ඇති බව රුචී දැනගත්තේ ඔහුගේ එක් පහත් ඉල්ලීමක් නිසා.ඔහුගේ මිතුරෙකු හා යහන්ගත වන්නැයි පෙම්වතා ඉල්ලූ විට රුචී එයට දැඩිසේ විරුද්ධ උනා.එවිට ඔහු පැවසුවේ එසේ සිටීමට අකමැති වුවහොත් තමන් මේ ඡායාරූප සියල්ල අන්තර්ජාලයට මුදා හරින බව.රුචීට එවිටයි තමන්ගේ මෝඩකමේ මහත වැටහුනේ.
'අ..අනේ එහෙම කරන්නෙපා ප්ලීස්...'
'උඹ මං කීව දේට කැමති උනොත් ...
ඔහු වියරු සිනාවක් පෑවා.සියල්ල වැරදී ගිය බව වටහා ගත් රුචී හඬා වැටුනා.කොතෙක් කඳුළු සැලුවත් ඔහුගේ ගලක් බඳු සිත නම් උනු වූයේ නෑ.අවසන ඈ කල්පනා කර උත්තරයක් දෙන බව පවසා එතනින් නික්ම ආවා.
බෝඩිමේදී රුචී හොරෙන් කඳුළු සැලුවේ කිසිවක්ම අනූට පැවසීමට නොහැකි තරම් ලැජ්ජා නිසා.පෙරදිනක අනූට පැවසූ කටුක වදන්..අයියෝ මං ඉවරයි දෙයියනෙ..මං මැරෙනවා..තද තීරණයක් ගත් රුචී පැනඩෝල් කාඩ් කීපයකම පෙති ගෙන බී දිවි නසා ගැනීමට උත්සාහ කරද්දීම අනූ පැමින ඈ වළකා ඇගේ දිවි බේරුවා.
'දෙයියනේ..මොකද කෙල්ලේ මේ කරගන්න හදන්නෙ..'
අනූ හඬමින් අසද්දී සිදු වූ සියල්ල ඇයට පැවසූ රුචී ඇගේ දෑත් අල්ලා හඬාවැටුනේ කුමක් කරන්නදැයි සිතාගත නොහැකියි කියමින්.අනූ කෙල්ලගේ හිත හදන්න උත්සාහ කලත් ඇයටත් කිසිවක් සිතාගන්න බෑ.අනූ තම පෙම්වතාට ඇමතුමක් දී සියල්ල පැවසුවේ වෙන කළ හැක්කක් නොමැතිව.ඔහු මඳක් කල්පනා කර රුචීට දුරකථනය දෙන්නැයි කියා ඇයට කතා කළා.
පසුදාම රුචී නරුම පෙම්වතාට ඇමතුමක් දී පෙර කී යෝජනාවට කැමැත්ත දුන්නා.
'ඔය ඇත්තටමද ඩාලිං...සෝ ස්වීට් ඔයා...එහෙනම් හෙට උදේ නවයට හොටෙල් රියා එකේ රූෆ් ටොප් එකට එන්නකො..එතන මමයි යාලුවයි ඉන්නවා..'
ඔහු එයින් උද්දාමයට පත් වී කියාගෙන ගියේ.
'ම්ම්ම්..මං එන්නම්..'
"ඕකේ බබී..සී යූ ටුමොරෝව්..'
පසුදා රුචී හොටෙල් රියාහි රූෆ් ටොප් එකේදී පෙම්වතාත් ඔහුගේ මිතුරාත් හමුවෙන්නට ගියේ හදවතමියගිය අයෙකු ලෙස.ඇගේ හද බියපත් වී තිබුනේ දියෙන් ගොඩලූ මාලුවෙකු සේ.නරුම තරුණයන් දෙදෙනා රුචී අසලට යත්ම රැකලාගෙන උන් පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක වී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා.
මෙසේ අහිංසක ජීවිතයක් ආදරයේ මුලාවක් නිසා අසරණ වෙද්දී නරුමයන් දෙදෙනා සිරගත කෙරුණි .අද ඇය ගෙවන්නේ හුදෙකලා දිවියක්.
සත්‍ය කතාවක් නොවුනත් අද සමාජයේ මෙවන් දෑ බොහෝ විට සිදු වෙනවා.අභාග්‍යසම්පන්න ලෙස ඇතැම් තරුණ ජීවිත අකාලයේ විනාශ වී යන්නේ ආදරයේ මුලාවෙන් රාගයේ පැටලීමෙනි.වැරදිකාරයා කියා කාටවත් ඇඟිල්ල දිගු කළ නොහැක.හැඟීමට වහල් වී දිවියම අඳුරේ හෙලාගන්නා තරුණියද මවකගේ නෙතට කඳුළු දී සිරගත වන අවමාන ලබන තරුණයාද වැරදි?..එසේ නැතිනම් මෙවන් සමාජ නිර්මාණය කරගත් අපමද වැරදි?...
ඔබම තීන්දුව දෙනු මැනවි.අදහස් මතවාද සඳහා ද ඔබේ මතය දැනගැනීමටද කැමැත්තෙමි.
ආශා සදමාලි
උපුටා ගැනීමකි
No comments:
Post a Comment