රිදුනි හොදටෝම

🌹🌹🌹🌹🌹කෙටි කතාවකි....🌹🌹🌹🌹🌹

මමත්වයෙන් ලියමි..

මම කොල්ලෙකි... සුන්දර කඩවසම්... කෙල්ලන් වරක් දෙවරක් නොව කීප වරක්ම හැරී බලපු...

මමද පෙම් කලෙමි.. එකියකට නොව කෙල්ලන් ගොඩකට... උනුත් මට කැමතිය... මා හිඟන්නෙකු බව ඔවුන් නොදන්නා නිසා ය.. මං ජැන්ඩියට ඇන්ඳෙමි... පැළන්ඳෙමි... අම්මා කුලී වැඩ කර ඒ සියල්ලටම බෑ නොකියා මට මුදල් දුන්නා ය...

" අපේ නැති බැරිකම් ලෝකෙට පෙන්නන්න ඕන නැහැ මයෙ පුතේ...
උඹත් අනිත් ළමයි වගේ ජේත්තුවට ඇඳහන්..."

අසරණ අම්මා මා තුළින් ලොකු මහතෙකු දකින්නට කැමතිය... අම්මලා එහෙමය... දරුවන් රජ පැටවුන් ය... මැණික් ය...

හිත නැවතුනි එකියක් ළඟ... ඒකිගෙ ගණං හොඳටම වැඩි ය...මෙඩිකල් කොලේජ් යනවලු ය... එ නිසා වෙන්ටැති ය... කී කලක් පසුපස ගියාද මතක නැත... දිගු කලක් කියා මතක ය...

" පොඩ්ඩක් සල්ලි පෙන්නපන්... ඒකි කැමති වෙයි..."

අති ජාත පාපී මිතුරෙක් කීවේ ය... අම්මාගේ මඟුල් මුදුව සොරා ගත්තෙමි... ඇයට මුදුවක් ගත්තෙමි...

" තමුසෙට සිංහලනම් තේරෙන්නෙම නෑ නේද ....?"

මුදුව මගේ මුහුණට ම දමා ගැසූ ඈ මට අතුල් පහරකුත් දුන්නාය ...

" කෙළවනව උඹට..."

මං එදා මසිතටම කියා ගත්තෙමි.....

උත්සහය අත් නොහලෙමි...පළිගන්නට උවමනා ය... එනිසාම පස්සෙන් ගියෙමි...

" ගොඩක් කල් ගත්තට සොරි අයියේ... මමත් ඔයාට ආදරෙයි..."

දිනක් ඈ මගේ දෑතම අල්ලා කීවා ය... ඉහේ මල් පිපුණි...

පලමුව පංසලට ගොස් ඈ සමඟම මලක් පූජා කලෙමි... දෙවනුව මුහුදු වෙරළට රැගෙන ගොස් තුරුළු කරගෙන මුහුද දෙස බලා සිටියෙමි.... තෙවනුව සිනමා ශාලාවකට කැටුව ගොස්  සිපගත්තෙමි... කීප පොළක් ම... පුදුමයකි... ඇයද කැමති ය... සමහරවිට ඈ මට පෙම් කරන්නේ සැබෑවටම විය හැක... සිව වනුව මගේ පළිය ගන්නට ඇඳන් කඩයකට ඇයව ගෙන ගියෙමි...

" අනේ මට බැහැ අයියේ..."

ඈ කඳුළු පුරවන් කීවා ය...

" තමුසෙට වෙන කොල්ලෙක් ඇති...

.....තමුසෙට ඉතින් මාව විශ්වාස නෑනෙ...

...විශ්වාස නැත්නම් මේ සම්බන්ධෙන් ඇති වැඩකුත් නැහැ ..."

ඇයට පිටු පා ,,මෙ වැනිම වදන් ගොඩක් මා කිව්වා මතක ය... හඬාගෙනම ඈ මා ළයට බර විය... ඉඳින් ඇයව ඇඳන් කඩයේ කාමරයකට රැගෙන ගියේ මා සතුටිනි...

ඇය ලස්සනය... මං ඇයව වින්ඳෙමි... ඇගෙන් සැනසුනෙමි... ඇයව හප කර දැමුවෙමි .... දැන් ඇගේ ගණං බැස ඇත... මා දෙපා අල්ලා හඬා වැටෙයි... මං ඇයව සැනසුවෙමි..

" අඬන්නෙපා රත්තරං ... කවද උනත් ඔයා මගේනේ... "

ඇගේ හිස සිඹ මා කිව්වෙමි....

එදින සිට මට ඇය අවැසි නැත.. මඟ හැරියෙමි... ඇමතුම් කට් කලෙමි... මල වදයකි... එක එක අංක වලින් ගනී... සිම් එකද මාරු කලෙමි... මං නිදහස්... අලුත් මල් සොයමින් නගරයේ කරක් ගැසුවේ සතුටිනි...

" පියඹා යනවා මා ආකාශයේ.... අවසානයි ප්‍රේමාදරේ.... ගිරවෝ.. කොවුලෝ... මිදුනා මා ආදරෙන්...."

මිල්ටන් මල්ලවආරච්චි මහතාද මටම කියන්නට කියා තිබූ ගීයක්ද මං මිමුණුවෙමි....

මසකින් දෙකකින් පසු මා ඇය දුටුවෙමි... කෙට්ටු වීලා ය... නොකා නොබී මා ගැන සිතනවා විය හැකි ය...

"හොඳ වැඩේ..."

මං සිතින් කීවෙමි...

" තමුසෙ කොහොමද මාව මගාරින්නෙ...
මං තමුසෙව ලේසියෙන් අතාරී කියල හිතුවද... මාව විනාශ කරල එක එකියො එක්ක හුරතල් වෙන්නෙ..."

මා අතින් අල්ලා සිටි කෙල්ලව ඉවතට ඇද දමා , ඈ මගේ කමිසයේ එල්ලී කෑ ගැසුවා ය... දෑසේ කඳුළුත් තිබුණි... මිනිසුන්ද වට විය...මා ඈව තල්ලු කර ඇගෙන් මිදුණි...

" තමුසෙ මං සල්ලි කාරයෙක් කියල හිතලනෙ මාත් එක්ක නිදා ගත්තෙ....

.... තමුසෙට කොහොමත් ඕව පුරුදු ඇති... ඒකනෙ මාත් එක්ක බය නැතුව ආවෙ....

....තමුසෙ ඩොක්ට කෙනෙක් වෙන්නනෙ ඉගෙන ගන්නෙ... ඔය නැති වෙච්ච බම්බුව තමුසෙටම හදා ගන්න පුළුවන් නේ... වද නොදී යනව මට..."

ඒ හා සමාන තවත් අපහාස ගොන්නක්ම මං ඇයට දුන්නෙමි.. ඇය හැඬුවාය... ඒත් හිත රිදෙන එක දෙයක් කීවා ය...

" තමුසෙ හිඟන්නෙක් කියලා දැන ගත්තට පස්සෙ තමයි මං කැමති උනේ....

.......අර අහිංසක අම්ම කුලී වැඩ කරල මහංසියෙන් හම්බ කරන තුට්ටු  දෙක වියදම් කර කර, තවත් මට තෑගි උස්සන් පස්සෙන් එන නිසා තමයි මං තමුසෙගෙ අම්ම ගැන හිතල තමුසෙට කැමති උනේ....

......හදා ගන්න පුළුවන් කියල හිතුවෙ ආදරෙන්...
ඒත් තමුසෙ මහ තිරිසනෙක්...."

ඇය කිව්වේ එහෙම ය... එවෙලෙනම් රිදුනේ ය.... ඒත් එවෙලෙට පමණය...

කාලය ගත විය... ඈ  නොදුටුවෙමි.. මගේ සුන්දර කඩවසම් පෙනුම නිසාම, සල්ලිකාර සුරංඟනාවියක අත ගෙන මා ඈ නිවසේ බින්න බැස්සෙමි...

ඈ සොඳුරු ය..... ගමන් බිමන කතාව සියල්ල සොඳුරුම සොඳුරු ය...

" සුදු මහත්තයෝ "

කියා මා අමතයි... විටෙක ,

පැටියෝ, බබා , ඩාලින් , වස්තුව , ස්වීට් හාට් කියා ද කියයි...

චුට්ටක්වත් තරහ නොගන්නා සුරඟනකි... නූගත් මා හට ඇගේ ව්‍යාපාර කටයුතුද බාර දුන්නාය... මා ඒවා ද සතුටින් බාර ගතිමි...

පව් පල දුන්නාද නොදනිමි... එහෙත් ජීවිතේ රහක් නැතැයි සිතුනි...

" අනේ සුදු මහත්තයෝ ... අද උයන්න කම්මැලියි බබා.... එළියෙන් කෑම අරන් එනවද......"

" ඩාලින් .... මට ටිකක් හෙඩේක් වගේ වස්තූ... ඔයාගෙ රෙදි ටික ඔයාම මැෂින් දාල හෝද ගන්නවද.....

" පාටි එකකට යන්න තියෙනව මහත්තයෝ ...... අදනම් කඩෙන් තමයි කෑම ...."

" ඔයා පොඩ්ඩක් ගේ අතු ගානවද මහත්තයෝ ... මං ෆේශල් එකක් කරන් ආව.. .. ඩස්ටෙක වදින්න හොඳ නැහැ මූණට...."

ඇය සුන්දරව මට වැඩිපුරම කියන්නේ ඕවා ය...

ඉඳ හිට ඈ මට රසම රසට මැගී නූඩ්ල්ස් එකක් සාදා දෙයි.... ෆ්‍රෙශ් මිල්ක් ටිකක් මග් එකකට දමා මයික්‍රොවේව් උදුනේ තබා , එයට ටී බෑග් එකකුත් ගිල්ලවා දුන් අවස්තා ද තිබුණා මතක ය....

ඉතින් මට අම්මාද මතක් විය... ඇය අසනීපෙන් බව මිතුරෙක් ඇමතුමක් දී කීවේය ..... යන්නටත් ඕනෑ ය... ඒත් සුන්දරීගෙන් අවසර පැතිය යුතුය ....

" ලැජ්ජ නැද්ද මහත්තයෝ ආයෙත් ඔය මුඩුක්කු ගානෙ රිංගන්න.... ඕනනම් සල්ලි ටිකක් යවන්නකෝ..... "

ඇය කීවා ය.... මා අසරණ ය....

" සුදු මහත්තයෝ .... අපි අම්මව එල්ඩර් හෝම් එකක නතර කරමු.... ඔයාට බලන්න උනත් ලේසියිනේ...."

තවත් දිනෙක ඈ කීවාය... හිත රිදුනි...  බැඳ බොහෝ කල් ය... දරුවෙක් බලන්නට අම්මත් ආසා ය... මමත් එහෙම ය....

" සුදු නෝනා... අපි දරුවෙක් හදමු...."

ඇගේ ආදරණීය වචනම අනුකරණය කරගෙන ඈ හා යහනේ සැනසුනු දිනෙක ඈ තුරුළට ගෙන මා කීවෙමි... .. ඇගේ දෑස් විසල් විය...

" මොනවද බබා ඔයා මේ කියන කතා...
තාම ලයිෆ් එක එන්ජෝයි කරන්න පටන් ගත්ත විතරයි ....
දැන්ම බේබීස්ල එක්ක ඔට්ටු වෙන්න...
මටනම් බැහැ ...
අනික මගෙ ෆිගර් අවුට්  වෙයි...
දැම්මම කැත වෙන්න මටනම් බෑ......."

ඇය කියන්නේ තව තවත් මට තුරුළු වෙමින් ය... ඒ නිසා බනින්නටත් බැරිය.... ඒත් දුක සිතුනි....අහේතුකවම  මට ඈ මතක් විනි... "විහාරා"

" ඔන්න අයියෙ මැරි කරල ඉක්මනටම අපි පුතෙක් හදමු....
මං ආසයි ...
ඔයා වගේම ලස්සන පුතු පැටියෙකුට...."

ඈ මුහුදු වෙරළේ දී මා ළයට තුරුළුව කිව්වා මතකය... හිත රිදුනි..... ගතින් සුන්දරී බදාගෙන සිතින් ... හැඬුවෙමි ....

" අද එන්න ලේට් වෙයි බබා... පාටි එක ඉවර වෙන එකක් නැහැ දැම්මම..... ඔයා ඩිනර් ගෙන්න ගෙන කන්න මහත්තයෝ ...."

ඈ සුපුරුදු ලෙස කියයි....

" මමත් එන්නද බබා පාටි එකට... බිස්නස් බලලම මටත් මහංසියි .... "

කෙටිම කෙටි ගවුම් කෑල්ලක් හැඳගෙන සාදයට යන්නට සූදානම් වී සිටි ඇයව පිටුපසින් වැළඳගෙන මම කීවෙමි ...

" පිස්සුද මහත්තයෝ ඔයාට....
මගෙ යාළුවො ඔක්කොම හයි ක්ලාස් ..
එඩ්‍යුකේටඩ් අය...
ඉංග්‍රීසි වචන දහයක්වත් එහෙ මෙහෙ කර ගන්න දන්නෙ නැති ඔයා එක්ක මං කොහොමද එතනට යන්නෙ....
මට ලැජ්ජ වෙන්න වෙයි....
අනිත් එක මං කැමති නැහැ මගෙ සුදු මහත්තයා මගෙ යාළුවො ඉස්සර ලැජ්ජ වෙනවට...."

තරහක් නොගෙනම ඈ තොඳොල් වෙමින් කියයි... අනේ ඉතින් බනින්නට බැරිය ... ඈ මා නූගත් බව සුන්දර ලෙස සිහිපත් කර දුන්නා ය....

මිතුරෙකුගේ නිවසට ගියෙමි..... ඔහුද විවාහකය..... බිරිඳද ශෝක් ය... දහවල් කෑමටද මට ආරාධනා කලා ය... පොළොස් ද, කංකුන් ද, බැදපු මාළුද, කැරට් සම්බෝලද මා අතීතයට ගෙන ගියේය ... විහාරා එදවස ඈ අතින්ම සෑදූ බත් පතක් මා හට දුන්නා මතකය...

" අනේ අයියෙ කෑම සැරයි ද....?"

මගේ කඳුළු දැක මිතුරාගේ බිරිඳ අහද්දී ලැජ්ජාවටම මා හිස වැනී මි.... විහාරා ගැන මිතුරාගෙන් ඇසුවෙමි... ඔහු සුසුමක්ද හෙලුවේ ය...

" උඹ දන්නැද්ද උඹෙන් ඒකිට දරුවෙක් හම්බුනා කියලා...."

ඔහු මා හිස මත අතෑරියේ බෝම්බයකි... මා දැවුනි... දරුවෙක් ... එදා එහෙනම් ඇය මා හමුවට ආවේ එය කියන්නට වෙන්ටැති ය... රිදුනි.... හොඳටෝම රිදුනි.....ඈ ගැන තවත් හාරා ඇසුවෙමි .....

" දැන් විහාරා ඩොක්ට කෙනෙක් .... "

ඔහු රිදෙන්නටම කීවේ ය... මා ඇය වැට්ටුවත් ඈ වැටී නොමැත.... මට ඇය බලන්නට ඕන විය ... සොයා ගියෙමි....

වෙද නලාවකුත් කරේ දමා ගෙන ය... ලස්සන හිනාව තවමත් එහෙමය.... අනේ ඇය තවත් ලස්සන වීලා ය...

" රත්තරං දොස්තර නෝනා....."

කවුදෝ කියනවාත් ඇසුනි.... තවත් ඈ හඹා ගියෙමි.... සුදු පාට හයිබ්‍රිඩ් එකකුත් ඇත.... දෙමහල් නිවසකුත් ඇත.... පුංචි පුතු පැට්ටෙක් සමඟ මුහුදු වෙරළේ ඈ සිනාසෙමින් නටන්නී ය... ඇය සතුටින්‍ ය...

දරුවාගේ දෑස් මගේ වාගේම ය... බොකුටු හිස කේ ත් මාගේම ය.... දිගු නාසය ..ඒත් මා වගේ මය.... දස මසක් කුස හොවා උන්නත් ඇගේ මයිලක්වත් දරුවාගේ වගේ නැත... දරුවා මා මය..... ඇගේ ආදරය කෙතරම් පිවිතුරු ඇද්ද.... මට හැඬුනි.....

හැඬුවා ඇතිය... අම්මා බලන්නට සිතුනි.... දිනක් ඈ සොයා ගියෙමි... ඈ නිවසේ නැති ය.... අහලින් පහළින් ඈ ඉන්නා තැනක් දැන ගතිමි...

" රත්තරං දොස්තර නෝනා.... ඒ උන්දැව එහෙ අරන් ගියා....."

උන් කීවෝ ය... දැන්නම් වැඩියෙනුත් එක්ක රිදෙන්නේ ය.... මගේ පව් සියල්ලටම ඈ සතුටින් කර ගසා ඇත.....

සොයා ගියෙමි... ඇගේ නිවසට.... ඇය උන්නේ නැත.... අම්මා රෝද පුටුවක උන්නා ය.... මාව මතක නැත..... ඇය රෝගී වී ඇත... මෙහෙ කාරියක් ඈ තල්ලු කරගෙන නැවතත් ගෙතුළට ගියා ය.....

පංසලට ගියෙමි.... බුදු සාදුට දුක කිව්වෙමි... වැඩක් නැත.... පව් කලේ මා ය... ඇය ඇවිදින් උන්නා ය... පුතුත් සමඟම ....

" විහාරා ..... මට සමා වෙන්න රත්තරං ...."

කොල්ලෙකු නිසා දණ ගසා වඳින්නට ලැජ්ජය... ඒත් දෑතම ඇගේ දෑත් සමඟ එක් කර දෑසේ කඳුළු පුරවන් කීවෙමි.....

චිත්‍ර පටි වල , නව කතා වල මෙන් ඈ.. මා සිප වැළඳ  ගෙන හඬාවි යැයි සිතුවෙමි.... දරුවාත් මා අතට දී මා හා යළිත් බැඳේවි යැයි සිතුවෙමි....
ඔයාට සමාව දෙන්නම් සුදු අයියේ කියා කියාවි යැයි සිතුවෙමි........

සරදම් සිනහවකින් ඈ මදෙස බැලුවාය.... මගෙන් දෑත් මුදවාගෙන පංසලේ ටැප් එකෙන් දෑතත් සෝදා ගත්තා ය.... වචනයක් හෝ නොකියා සරදම් සිනාවකින්ම මා හට සංග්‍රහ කරපු ඈ දරුවාද සමඟ පිටව ගියා ය...

" කවුද අම්මෙ ඒ අංකල්......"

" අතරමං වෙච්චි මිනිහෙක් පුතේ......."

මා ගැන ඇය මා පුතුට සරලවම කියා දැමුවා ය... ඇත්ත ය... මා අතරමං වූ බව සැබෑ ය... සිතුවේ ඇය අතරමං වී ඇත කියා ය... නැත එය උනේ මට ය... රිදෙන්නට තැනක් දැන් නැත... ඒත් ලබ් ඩබ් ශබ්දය එන තැන රිදෙනවා දැනුනි.......

නිවසට ආවෙමි....

" සුදු මහත්තයෝ.... මහංසිද පැටියෝ... වොශ් දාල නිදාගන්න වස්තු..... අද මගෙ යාළුවෙක්ගෙ බර්ත්ඩේ පාටි එකක්... මං ඉක්මන්ට ගිහින් එන්නම් ...බඩගිනි උනොත් පීස එකක් ඕඩ කරගන්න මහත්තයෝ .....ම්ම්ම්ම..."

සුපුරුදු ලෙසම ඈ මගේ කොපුළකට සායම් හාදුවක් තබා ටොක් ටොක් හඬ නංවමින් පිටව ගියා ය.....

රිදුනි... ඇඬුනි... හොඳටෝම....  මා සැප සේ දුක් විඳිමි.... උළු වස්සට බර දී මා හිස් අහස දෙස බලා ගෙන සුසුමක් හෙලුවෙමි....  මෙතැන් සිට මට ඉතිරි යමක් වේනම් ඒ සුසුම් පමණක්මය.... මට එහෙම සිතුනි.............

......නිමි..........🌹

...........Chami .............🌹
උපුට ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment