කාසි පනම්
කෙටි කතාව
"හේමා මොකෝ උඹ අද පරක්කු...."
"ටිකක් නින්ද ගියා ජෝර්ජ් මහත්තයා....."
"තොපි සැපට නිදාගත්තම අද දවසේ බිස්නස් එක කරන්නේ මමද යකෝ....."
සැපට නිදාගන්න....කටේ තොලේ නොගෑවී මේ මිනිහා ඒක කියපු ලස්සන...කුණු කාණුවක් ළඟ ගෝනි කෑල්ලක් යාන්තමට එළාගෙන නිදාගන්න එකට මේ මනුස්සයා සැපට නිදාගන්නවා කියලාද කියන්නේ....කොළඹ කුණු කානුවලින් හමන දුඟද ඉවසගෙන හරි හමන් කැමක් බීමක් නැතුව ගෙවන මේ ජීවිත දිහා දෙවියොවත් බලන්නේ නැති හැටි.....
"මහත්තයා මම...."
"මේ අහපන් හේමා..උඹ කට කියවලා මගෙන් මැරුම් කන්නේ නැතුව අර කොල්ලවත් අරගෙන නැගපන් ලොරියට...."
හරියට මූණක් කටක්වත් නොසෝදා සිටි කලුම කලු පාට පුංචි කොල්ලෙක්වත් අතේ එල්ලගෙන හේමා ඇයගේ අනිත් සඟයන් සිටින ලොරිය වෙත ගියේ ඉක්මන් ගමනින්....
"යකෝ මේකේ අඩියක්වත් තියාගන්න ඉඩක් නෑනේ බොල....මාවත් ගනිල්ලා ඇතුළට....නැත්නම් අර මිනිහාගෙන් අදත් ගුටි කන්න වෙයි...."
සුළු වැරැද්දකට පවා ජෝර්ජ්ගෙන් ලැබෙන පාපහර හේමාට මතක් විය...කඩිමුඩියේ ඉඩ ඇති විදිහට ඇය ලොරියට නැගුනේ ජෝර්ජ්ගෙ පාපහර ලැබීමට තිබුන අකමැත්ත නිසා...
"ආ හේමා බංඩියා කලුවා උඹලා තුන්දෙනා බැහැපන් මෙතනින්....ඉක්මන් කරපන් යකුනේ...."
ජෝර්ජ්ගේ සගයා වික්ටර්ගේ විධානයට හේමා කොලු පැටියවත් අරගෙන ලොරියෙන් බිමට බැස්සා..එසැණින් ඔවුන් පිට වෙලා ගියේ අනිත් පිරිස නියමිත තැන්වලින් බස්සවන්න අවශ්‍ය නිසා...
"මොකෝ කොලුවෝ උඹ සද්දයක්වත් නැත්තේ....."
"මට බඩගිනියි...."
"බඩගිනියි කියලා මැරෙන්නද යකෝ...මමත් මේ රස්සාව කරන්නේ දවසට වේලක් හරි බත් කටවල් දෙක තුනක් කන්න....මොනා කරන්නද බන්...උඹත් ඉපදිලා තියෙන්නෙන මේ අපායට වැටෙන්නද කොහෙද...."
හේමා කතා කරේ පාර කොණක තාප්පෙකට හේත්තු වෙලා ඉඳ ගන්න ගමන්...
"බලහන් මේ වගේ වෙලාවට මේ පාරවල් කොච්චර පාලුවට ගිහින්ද කියලා...ඒකටත් එක්ක හරියන්න තව පැයක් දෙකක් ගෙවෙන්න එපැයි....මිනිස්සුන්ටත් වඩා වාහනනේ මේ කොළොම්පුරේ තියෙන්නේ...."
දිගු හුස්මක් පිට කරන ගමන් හේමා අහස දිහා බලන් හිටියේ ඉර මෝදු වෙනකක්...තමන්ගේ රාජකාරිය පටන් ගන්න.....
"යමන් කොලුවෝ...."
පාරේ වාහන එකින් එක වැඩි වෙද්දි හේමා අව්වට පිච්චිලා කලු ගැහිලා කෑමක් බීමක් නැතුව කෙසඟ වෙලා හිටපු කොල්ලාවත් ඉණේ ගහගෙන පාරට වැටුනේ සුපුරුදු විදිහට සිඟමනේ යන්න......
"අනෙ මට බඩගිනියි....."
කොල්ලා ආයෙත් කැගහනවා......බඩගින්න ඉවසගන්න බැරුව කොල්ලගේ ඇස්වල කඳුළු පිරිලා....
"තව ටිකක් ඉවසහන් කොල්ලෝ....මේ ටයිම් එක පාස් උනොත් ගාණක් හොයාගන්න තියන චාන්ස් එක මිස් වෙනවා...."
තමන්ටත් දැනෙන කුසගින්න අමතක කරලා හේමා කාෂ්ටක අව්වේ ට්‍රැෆික් ලයිට්ස් වලට නැවතිලා තියන වාහන අතරින් එහා මෙහා ගමන් කරේ කාසි පනම් සිඟමන් කරමින්...
"අනේ නෝනා..පොඩි එකා අඬනවා කන්න නැතුව...කීයක් හරි දෙන්න නෝනා පිං සිද්ධ වෙයි...නෝනාගේ දෙමව්පියන්ටත් පිං අයිති වෙන්න කියක් හරි දෙන්න නෝනා...."
"අත පය හතර හරියට තියාගෙන මුන් හිඟාකන්න එන හැටි...ගිහින් රස්සාවක් කරනවා අපිට වද නොදී....පුදුම වදයක්නේ මුන්ගෙන් තියෙන්නේ....පලයන් යන්න මෙතනින්...."
හේමා දකිනවිට පිළිකුලෙනුත් වෛරයෙනුත් දිලිසෙන කලු පාට වීදුරු තුලින් පෙනෙන ධානපතියන්ගේ මූහුණු හේමා ළඟට එනවිට නොදැක්කා සේ සිටින වාර අනන්තයි....ඉන් සමහරෙකගේ දෝෂාරෝපනයට ලක් වීමටද ඇයට සිදු වේ....
"කොලුවෝ මේ බත් ටික කාපන්...කොල්ලෝ මොකෝ උඹට වෙලා තියෙන්නේ...උඹට නිදිමතයිද...."
"න්..නෑ..."
"එහෙනම්...."
"මට....මට සීතලයි...."
"සීතලයි....මේ ගිණි අව්වේ....වරෙන් බලන්න මෙහාට....යකෝ උඹට ගිණිමැලේට උණනේ බන්....උඹව වෙව්ලනවද..."
"හ්ම්ම්.....වමනේ...."
හේමාගේ ඇඟ පුරාම වමනේ දැමු පොඩි එකා මහ පාරේ අහස උසට නැගුණ ගොඩනැගිල්ලක හෙවබට වෙලා හාන්සි උනේ හෙම්බත් වෙලා....
"ඔහොම ඉඳලා බෑ යකෝ...යමන් බෙහෙත් ඩිංගිත්තක් ගන්න.....හිටහන් මම මේ වමනේ ටික සෝදගෙන එනකල්..."
වමනේ ටික යන්තම් සෝදගෙන අසිහියෙන් වගෙ හිටපු පොඩි එකාවත් වඩාගෙන හේමා අසල තිබුන රජයේ රෝහලක් වෙත ගියේ පිටින් බෙහෙත් ගන්න ගියොත් අතේ තිබුන පිච්චිය ඉවර වෙන නිසා...
"හේමා.....කෝ උඹ ගෙනාපුවා...ගනින් ඉක්මනට...."
"ආ ජෝර්ජ් මහත්තයා....."
"වික්ටර්...ගනන් කරපන් මේ ටික...."
රෙදි උරෙන් එළියට වැටුන සල්ලි ටික දැකලා වික්ටර්ගේ ඇස් උඩ ඉන්දවුනා....
"ජෝර්ජ් අයියා මේ...."
"ඇයි බන් බෙරිහන් තියන්නේ..."
"අයියා...මේ සල්ලි.."
"මොකක්.....හේමා...උඹ....උඹ මෙච්චරද අද දවසේ එකතු කරේ....විස්සේ කොළ දාහයයි....දහයේ කාසි විස්සයි.....රුපියලේ දෙකේ කාසි ගත්තම පන්සීයක්වත් තියනවද මෙතන....තෝ මොකද්ද පට්ට බැල්ලියේ අද කරේ.....වික්ටර්..ගනින් අර බෙල්ට් එක...."
"අනේ ජෝර්ජ් මහත්තයා....ගහන්න එපා දෙයියනේ....මම කියන්නම් වෙච්ච දේ....."
"හා කියපන් බලන්න..."
"අද මේ කොල්ලට සහලෝලා උණ ගත්තා...මං ඉතින් හොස්පිට්ල් එකට ගියා මූට බෙහෙත් අරන් දෙන්න....එතන පෝලිම තිබුනා හොඳටම....ඒකයි අද ගාණ ටිකක් අඩු උනේ..."
"මූට උණද..."
"ඔව් මහත්තයා...."
"ඉතිං උඹ මොන ඉලව්වකටද මූට බෙහෙත් අරන් දෙන්න ගියේ....ඒකෙන් මට අද කීයක් පාඩුද යකෝ..."
"පොඩි එකා පවුනේ මහත්තයා...."
"පව්....ඕකා මැරිලා ගියත් මට මොකද....උඹට මම අද....."
"අනේ බුදු මහත්තයෝ ගහන්න එපා...අනේ වඳින්නම්....ගහන්න එපා...."
"චටාස්....චටාස්....චටාස්......"
"අනේ බුදු මහත්තයෝ....කවුරුහරි මාව බේරගන්න අම්මෝ...."
අතේ තිබුන බෙල්ට් එකෙන් පහරදී නොනැවතුන ජෝර්ජ් අසලක තිබුන පොල්ලක් රැගෙන හේමාට තඩි බාන්නට උනේ හිතක් පපුවක් නැති අධමයෙකු ලෙසින්.....හේමාගේ විලාපය ඇහුණත් කාටවත් බෑ ඇයට උදවු කරන්න...
"පැත්තකට වෙලා ඉඳිං කොල්ලො මගේ මූණ අතගාන්න එන්නේ නැතුව....."
අසිහියෙන් වගේ හේමා පොඩි එකාට බැන්නේ ගතට දැනෙන වේදනාව ඉවසගන්න බැරුව...
"ඔයාට ගොඩක් රිදෙනවද අම්මේ...."
"මොකක්....මොකද්ද උඹ කිව්වේ...."
"ගොඩක් රිදෙනවද කියලා ඇහුවේ..."
"නෑ නෑ අර අන්තිමට කියපු වචනේ මොකද්ද ...."
"අම්මා....."
"උඹ ඔය මටද බං අම්මා කියලා කතා කලේ....."
"හ්ම්ම්ම්....."
"අපිට උරුම ජීවිතේ තමයි බන් මේක....අපිට කදාවත් මේ නරා වලෙන් ගොඩ ඒමක් නෑ....කවදාහරි උඹවත් මේකෙන් ගොඩ පලයන්..."
හේමා පොඩි එකාව ළමැදට තුරුල් කරගෙන දෙනෙතින් කඩාහැලෙන කඳුළු කැටවලට ඔහේ ගලායන්න ඉඩ හැරියේ කළවරක් නොපෙනෙන කටුක ජීවිතේ ඉදිරිය ගැන කල්පනාවෙන්....
නිමි....
උපුට ගැනීමකි
No comments:
Post a Comment