රැවටුනේ ඔහුමද...

#රැවටුනේ_ඔහුමද....
#තීරණය_ඔබට_භාරයි....

ට්‍රීන්... ට්‍රීන්.... ට්‍රීන්... නේවාසිකාගාරයේ ඇද මත නිදාගෙන හුන් සංසලා අවදි වන්නෙ ඒ හඬින්.....

"සංසි.... මං තව පැයෙන් එනවා.... ලෑස්ති වෙලා ඉන්නවා...." කෙල්ල දුරකතනය කණට ලං කරද්දිම ඇහුණෙ ඒ ගොරෝසු කට හඬ.....

"අනේ.... රනේෂ් අයියේ..., ඊයෙත් ආවනේ....." කෙල්ල කතා කරන්නෙ හැඬුම්බරව.....

"අනේ පණේ කතා වලින් වැඩක් නෑ..... හරියට දෙක හමාර වෙද්දි ටයර් හන්දිය ලඟ ඉන්නවා...." කියූ රනේෂ් ඇමතුම විසන්ධි කරන්නෙ සංසලා වදනක්වත් දොඩන්නට මත්තෙන්......

රනේෂ්ගෙ මේ හැසිරීම කෙල්ලට දැන් පුරුදුයි..... විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුවියක් වූ සංසලා අබිසාරු ලියක් නොවුණද රනේෂ් ඉදිරියේ ඇයට සිදු වුණේ ඔහුගේ ඕනෑ එපාකම් වලට ඉඩදී හැඟීම් විරහිතව දරාගෙන ඉන්න.....

විවාහකයෙකු බව දැන උන්නද ඇයට ඔහුගෙන් මිදිය නොහැකි වන්නෙ ඔහු සතුව ඇති ඇගේ වීඩියෝ පඨ හේතුවෙන්......

රනේෂ්ගෙ සියළු නොපනත්කම් දරන් උන්නු සංසලාට ඒවෙලේ ශිරංගව සිහිවන්නේ නෙත් අඟට කඳුළක් මෝදු වෙද්දි......

සංසලාට ශිරංගව මුණගැහෙන්නෙ උසස්පෙළ අමතර පංතියකදි..... ශිරංගගෙ හිතේ නම් කෙල්ල ගැන ආදරයක් ඇති වෙන්නෙ මුල්ම බැල්මෙන්ම......

කොල්ලා තමන්ගෙ ආදරේ ප්‍රකාශ කරන්න මැලි වන්නෙ ඒ වෙද්දිත් කෙල්ලගෙ ජීවිතේ රනේෂ් උන්නු නිසාවෙන්....... ඒත් දින සති මාස වෙද්දි සංසලාගෙත් ශිරංගගෙත් මිතුදම ආදරේකට පෙරලෙන්නෙ ඔවුන්ටත් හොර රහසේම.....

ඒ වන විටත් සුදු ගවුමට සමුදෙන්නටත් මත්තෙන් රනේෂ් අතින් ගැහැණියක් ව තිබූ සංසලාට ඔහුගෙ දරදඬු ගොරහැඬි සෙනෙහස හා සසඳන විට ශිරංගගෙන් ලඳ භාවනාවක් තරම් නිසල සෙනෙහස දැණුනෙ මහමෙරක් විලස..... කෙල්ල රනේෂ්ගෙන් ඈත්වී ශිරංගගෙ සෙනෙහසට ලං වන්නෙ ඒ නිසාමයි.....

රනේෂ්ගෙ දුරකතන ඇමතුම සමඟ කෙල්ලගෙ හිත නතර වෙන්නෙ ඒ අතීතෙ.....

ඇයට සිහි වන්නෙ ශිරංග ඇය වෙනුවෙන් කල කැපකිරීම්..... ඔහුගෙ ඒ සෙනෙහස....

එදා ඔහුගෙ දිළිඳු බව අවියක්ව ගෙන ඔවුන්ගේ ආදරයට ඇගේ දෙමාපියන් විරුද්ධ වූ විට උසස්පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වීමටත් මත්තෙන් ඔහු හමුදා සේවයට බැදෙන්නෙ ඇය වෙනුවෙන්..... ඇගේ දෙමාපියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට.....

එදා ඔහු තම දිවිය දෙවැනිකොට ඒ තීරණය ගත්තෙ ඇය වෙනුවෙන්ම බව සිතෙද්දි..., මතක් වෙද්දි කෙල්ලගෙ නෙතඟ කඳුළු බිඳු නැගෙන්නෙ ඇයටත් හොරෙන්.....

ඇය උසස් ලෙස උසස්පෙළ කඩයිම ජයගෙන ඇති බව දැනගත් දින ඔහුගෙ දෙනෙත් වල තිබුණු කාන්තිය.... රැලි ඔසරියට හවඩියක් දමා කොණ්ඩ ගෙඩියක් බැද පොත් මිටිය අත දරන් පාසල් යන ගුරුවරියක් ලෙස තමාව දකිනට ඔහු සිතේ වූ සිහිනය.... ඒ නිසාම සරසවිය අතහැර විද්‍යාපීඨය තෝරා ගන්නා ලෙස ඔහු සෙනෙහසින් ආයාචනා කල අයුරු.... එහෙත් ඒ වදන් බිඳකුඳු මායිම් නොකල ඇය එම ඉල්ලීම කුරිරු ලෙස ප්‍රතික්ෂේප කර ඔහුට බැණවැදුණු අයුරු.... අවසානයේ ආදරය වෙනුවෙන්ම ඔහු ඇයගේ සිතැගි වලට ඉඩ දුන් අයුරු..... ඇයව කුළුඳුලේ සරසවි බිම තුල තනිකර දමා යද්දි ඒ දෑස් අඟ දඟ කල කඳුළු කැට..... ඒ බැල්මෙ අසරණ බව..... "මගෙ මැණික පරිස්සමින් ඉන්න.... තෙරුවන් සරණයි...." කියා හිස අතගා තෙපළූ අයුරු..... කෙල්ලගෙ බොඳවූ දෑස් ඉදිරියේ මැවී බිදී යන්නෙ සිතුවමක් විලස....

අපරාදෙ එදා ශිරූ කිව්ව දේ අහලා පීඨ ගියානම් තවමත් අපි සතුටින්.... මගෙම හිතුවක්කාරකම් නිසා තමයි මට මේ හැම දෙයක්ම වෙලා තියෙන්නෙ.... ඒ හැම දෙයක්ම සිහි වෙද්දි කෙල්ලට එහෙම හිතුනෙ වරක් දෙවරක් නම් නෙවෙයි..... ඒත්.... දැන් තමා බොහෝ සෙයින් ප්‍රමාද බව කෙල්ල වටහාගෙන උන්නේ.....

කෙල්ලට මතක් වුණා වගේම ශිරංග කියන්නෙ සංසලාට ගොඩාක් ආදරේ කල පෙම්වතෙක්..... ඔහු කෙල්ලගෙ පුංචි ඉල්ලීමක්වත් නොසලකා නොසිටි තරම්.....

ඔහු ඇයවද තම මව තරමටම විශ්වාස කරන්නෙ.... තම මවට තරමටම ආදරය කරන්නෙ අනාගත බලාපොරොත්තු ගොන්නක් පොදි බැද....

එදා එක දවසක දි ආදරේ සීමාවන් අනුරාගයට යට වෙද්දි තම පිවිතුරුබව සනිටුහන් කර ගත නොහැකිව "අනේ මට සමාවෙන්න ශිරූ..... මං හීනෙකින්වත් ඔයාට වරදක් කරලා නෑ..... මීට කලින් මං වෙන කාගෙවත් වෙලා නෑ..... ඔයාගෙම විතරයි..... වෙන කා එක්ක වත් මෙහෙම ඉඳලා නෑ..." යැයි කියමින් තම වැරදි හංගන්න ශිරංගගෙ නිරුවත් පපුතුරේ හිස හොවාගෙන කඳුළු සලමින් පවසන සංසලාව විශ්වාස කර ඇගේ සිත සනසවා නලවන්නෙ කොල්ලගෙ හිත පුරාවටම ඇය වෙනුවෙන් පිරී තිබුණු ආදරය නිසාවෙනි.....

ජංගම දුරකතනයද උකුල මත තබාගෙන ඇද මත එරමිණියා ගොතාගෙන හිදගෙන කඳුළු අතරින් ඒ අතීතය සිහි කරන් සංසලාට ඒ සිද්ධිය සිහිවීමෙන් හිතට දැනෙන්නෙ විසල් ලැජ්ජාවක්..... තමාට පණ මෙන් ආදරය කල..., සියළු දෑ කැපකරමින් සෙනෙහසින් තමා අසලම රැඳුණු ශිරංගව රැවටීම ගැන වගේම ඔහුට ද්‍රෝහි වීම ගැනත් අද ඇගේ සිතේ වූයේ පසුතැවීමක්.....

එදා ඒ සිද්ධියෙන් පසු ඔහු රාජකාරිය සඳහා පිටත්ව යන්නට සැරසෙද්දි ඒ වතේ එල්ලිලා, හැර නොයන ලෙස ඇවටිලි කරමින් කෙල්ල කඳුළු සලා හැඬූ අයුරු..... ඇගේ කඳුළු හමුවේ ඒ කඳුළ පිසින්නට සියල්ල අමතක කරන ඔහු දඩුවම් විදීමට සිදුවන බැව් දැන දැනම වුවත් ආරක්ෂක අංශයේ රැකියාව අතැර දමා ඇඟළුම් කම්හලක සුළු රැකියාවකට ගිය අයුරු..... ඔහු විසින් කුලියට ගෙන තිබූ කුඩා නිවහනේ ඔවුන් දෙදෙනා කාටත් හොර රහසේ සතුටින් සමඟියෙන් දිවි ගෙවූ අපූරුව..... සිහි වන ඇයට දැනෙන්නෙ තමා හිතා මතාම අගාධයකට ඇද දමාගත්තෙ කෙතරම් සුන්දර ලෙස ගෙවිය හැකි ජීවිතයක්ද කියා.....

එදා සංසලා නොයන ලෙස ඇවටිලි කිරීමෙන් පසුව ශිරංග රැකියාව අතහැර ඇය වෙනුවෙන් කොළඹ අහස යට නතර විය.... ඇඟළුම් කම්හලක සුළු රැකියාවක් සොයා ගන්නා ඔහු අත ඉතිරි කරගෙන වුන් මුදලින් කුඩා නිවසක් කුලියට ගන්නෙ ඇය හා සතුටින් කාලය ගෙවන්න.... සිතූ පරිදිම ඔවුන් දෙදෙනා කල් ගෙවන්නෙ බොහෝ සතුටින්.....

කෙල්ලගෙ ඉගෙනීමේ වැඩ කටයුතු වලට ඉඩ ලබා දෙන ඔහු නිවසේ බොහොමයක් කටයුතු තම දෑතින් සිදු කරන්නෙ කිසිඳු අහිතක් කහටක් නොමැතිවම.....
කාලය ගෙවී යද්දි අඟහිඟකම් ගෙයි එළිපත්ත පනින්නෙ තම ඕනෑ එපාකම් සපුරාගැන්මට මුදල් හදල් නොමැති වන කෙල්ලගෙ හිතේ ආදරේ පෑල දොරින් පැන දුවද්දි.....

අඟහිඟකම් මධ්‍යයේ වුවත් තම බත් පත කැප කර හෝ කෙල්ලගෙ ඕනෑ එපාකම් ගැන සොයා බැළුවද 'මේ හිඟන්නා එක්ක ඉඳලා මට වෙන වගතුවක් නැතැයි' සිතන සංසලා රනේෂ්ව මුණගැසෙන්නෙ ශිරංගට හොර රහසේම.....

ඒ හමුවීමෙන් අළුත්වන සංසලාගෙත් රනේෂ්ගෙත් බැඳීම කෙලවර වන්නෙ ඇයව ශිරංගගෙන් ඈත් කරමින්..... කෙල්ල ඔහු හා දඹර කරගෙන නිවසින් පිටත්ව පැමිණ නේවාසිකාගාරයේ නතර වීමෙන්..... බලාපොරොත්තු නොවූ පරිදි එදා පටන් සංසලාට සිද්ධ වුණේ රනේෂ් අත නැටවෙන රූකඩයක් වෙන්න....

"මොකෝ උඹ ඇද උඩට වෙලා භාවනා කරනවද......" ඒ අතීත මතකයන් අතර අතරමංව උන්නු සංසලා පියවි සිහියට එන්නෙ අනුදි ගෙ හඬින්..... අනුදි කියන්නෙ සංසලා සමඟ නේවාසිකාගාරයේ එකම කාමරේ වුන් යෙහෙළිය..... ඒ වුණත් ඇයවත් සංසලාගෙ මේ දුක්බර කතාව දැනන් උන්නෙ නෑ.....

රනේෂ්ගෙ ඇමතුම ගැන කෙල්ලට සිහිවන්නෙ ඒ මොහොතෙ.... අනුදිට පිළිතුරු දීමට වත් පමා නොවන කෙල්ල දඩිබිඩි ගාලා ලෑස්ති වුණේ ඔහුගෙ ඇමතුමෙන් අඩහෝරාවක් පමණ ගෙවී තිබූ බැවින්....

ඇය ටයර් හන්දියට වී බලා උන්නෙ රනේෂ් එන තුරු.....

දෛවයේ සරදමකට දෝ එවෙලේම යම් ව්‍යාපාරික කටයුත්තක් සඳහා තම මෝටර් බයිසිකලයේ කොළඹ දෙසට යමින් සිටි ශිරංගගෙ ඇසට ඒ රුව හසුවන්නෙ අහම්බයෙන් වගේ....

එදා දඹර කරගෙන නිවසින් පිටවූ සංසලාව ඉන් පසුව කොල්ලා මුල්වරට දකින්නෙ දැන්..... තමාට ද්‍රෝහිකම් කලා වුව, ඇගේ සැබෑ මුහුණ දුටුවේ වුව කොල්ලගෙ හිතේ ඇය වෙනුවෙන් පිරී තිබුණු සෙනෙහස අදටද අඩුවක් නොවුණි.....

ඒ නිසාම ඇය හා වදනක් දොඩනට මෝටර් බයිසිකලය නැවත හරවාගෙන ඇය වෙත පැමිණෙන ඔහුට දක්නට ලැබෙන්නෙ ඇය ත්‍රීරෝද රථයකට ගොඩවන අයුරු.....
කොල්ලා ඒ ත්‍රීරෝද රථය පසුපස යන්නෙ කෙල්ල හා වදනක් දොඩන්න හිතාගෙන.....

මිනිත්තු දහයක පහලොවක ගමනකින් පසුව ත්‍රීරෝද රථය නතර වෙන්නෙ පැය ගාණට කාමර කුලියට දෙන ගෙස්ට් හවුස් එකක් ලඟ.... දුටුව දසුනින් කොල්ලව සීතල වෙලා යන්නෙ ඒ හිතින් තවමත් මකාදැමිය නොහැකි වූ ඇය වෙනුවෙන් උපන් ආදරය සෙනෙහස නිසාවෙන්.....

කොල්ලා මඳක් ඔබ්බෙන් මෝටර් බයිසිකලය නතර කරලා මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන ෆුල්ෆේස් හෙල්මටය නොගලවාම බලා උන්නෙ ඇයට නොපෙනී සිට කුමක් සිදුවේදැයි දැක බලාගන්න.....

නතර කල ත්‍රීරෝද රථයෙන් බිමට බහින්නෙ සංසලා.... ඇයට පසුව බට රුව දුටු කොල්ලාගෙ හිත ඇසිල්ලට දිව්වෙ අතීතෙට.... ඒ ඇයගෙ පැරණි පෙම්වතා වූ රනේෂ් බව හඳුනා ගන්න කොල්ලට ගතවන්නෙ තත්පරේකටත් අඩු කාලයක්.....

සිදුවූ සියළු දේ කොල්ලට එකිනෙක පැහැදිලි වන්නෙ එතකොට..... ඇය එදා ඔහුගෙන් වෙන්ව යන දිනයට පෙර දින සිදු වූ සිද්ධිය ඔහුට මතකයට නැඟෙන්නෙ නිතැනින්ම.....

එදා ඇය නිවසින් පිටවන්නෙ දුරකතනයද ක්‍රියාවිරහිත කරගෙන.... ශිරංග ලඟ දැන්නු අඟහිඟකම් මධ්‍යයේ කෙල්ල යන්නෙ රනේෂ් ලඟට..... එදා දවස පුරාවටම කෙල්ලට ඇමතුම් අරන් සම්බන්ධ කරගත නොහැකි වූ බවත් පසුදා ඇය ඔහු හැරදා ගිය බවත් මතක් වන කොල්ලට සිදුවූ සියල්ල තේරුම් යන්නෙ ඒ දුටුව දසුනින්.....

රනේෂ්ගෙ පසුපසින් දෑස් බිමට නැඹුරු කරගෙන ඔහේ ඇවිද යන කොල්ලව දුටු ඔහුට දැනුනෙ හදවත කැඩී බිදී යන තරම් වේදනාවක්..... ඒත්.... ඒ සියල්ල සිදුව ඇත්තේ ඇයගේම වරදින් බැව් සිහි වෙද්දි කොල්ලට ඇය ගැන ඇතිවන්නෙ අනුකම්පාවක්.....

තමාට පිටුපා ගෙස්ට් හවුස් එක තුලට ඇදෙන යුවල දෙස තවත් සුළු වේලාවක් බලා හුන් කොල්ලා බර සුසුමක් වාතලයට පාකර හැර බයිසිකලය පණගන්වා ගන්නෙ පියුම් විලක් ලෙස රැකගන්න පැතූ ජීවිතය මඩගොහොරුවක් ව විනාශවී යන අයුරු සියැසින්ම දැක හිත පත්ලේම ඇති කරගත් සංවේගයෙන්.....

නිමි....

යාළුවනේ මේ මං ලිව්ව පළවෙනිම කෙටි කතාව.... ඒ වගේම කතා රසය දැනවීම පිණිස සුළු සුළු වෙනස් කම් සිදුකලා වුවද මේ කතාව පිටිපස්සෙ තියෙන්නෙ මගේ මිතුරෙකුගෙ ඇත්තම ජීවිත කතාව.....

ඇත්තටම කෙනෙකුට ආදරේ කරද්දි ඒ කෙනා ලඟ තියන ඉඩකඩම්, මිල මුදල්, යානවාහන, ප්‍රසිද්ධිය, වාගේ දේවල් ගැන නැතුව හදවතේ ලස්සන ගැන හිතන්න පුළුවන් නම් අපිට ජීවිතේ වැරදුණු, වරදින ගොඩක් තැන් හදාගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන්.... භෞතික සම්පත් කියන්නේ ජීවිතේම නෙවෙයි.... ආදරේ, සෙනෙහස, හිතේ සැනසීම නතුව සල්ලි ගෝනි ගණන් තිබුණත් ඒ ජීවිතේ සතුට කියන දේ අහලක වත් නැති වේවි....

ඉතින් යාළුවනේ...., කතාව කියවලා ඔයාලට හිතෙන දේවල් කියාගෙනම යන්න.... ඒක මට තව ඉස්සරහට කතා ලියන්න වගේම මගෙ මිතුරාගේ හිත හදාගන්නත් උදව්වක් වේවි....

ගොඩක් ස්තූතී හැමෝටම.... තෙරුවන් සරණයි....

Thanuja De silva
උපුට ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment