සජිනි සුලෝචනා නිර්මාණයක්

#කෙටි_කතාවක්

අවුරුදු ගානකට පස්සේ මං ඒ ඇස් දැක්කේ..
එදා වගේම ඒ ඇස් අදත් දිලිසෙනවා..
ඔයාව දැකලා මං පුදුම වුනා..
ඊටත් වඩා බය වුනා..
මං ඔයාව මඟ ඇරලා යන්න හැදුවත් ඔයා මාව දැක්කා..

මං වගේම ඔයත් මාව දැකලා කලබල වුනා..
මං ඒක ඔයාගේ ඇස් දෙකෙන් දැක්කා..
එදා වගේම අදත් ඔයාගේ ඇස් මට කියවන්න පුලුවන් අයියේ..

ඔයා කාර් එකෙන් බැහැලා මං ලඟට ආවා..
මට මතක් වුනේ ඔයා ඉස්සර බයික් එකක් ගන්න විඳපු දුක..
ඒත් අද ඔයා ලඟ හැමදේම තියෙනවා..
ඒ ඔයාගේ බිරිඳ නිසා කියන එක මට රහසක් නෙමෙයි..

කො..කොහොමද ..

ඔයා ඇහුවේ හිනා වෙන ගමන්..

හො..හොඳින් ඉන්නවා..

මං කිව්වේ බොරුවක්..ඔයා මාව දාලා ගියපු දවසේ ඉඳලා මේ අවුරුදු 6ම මං ජීවත් වුනේ මැරි මැරී..
ඒත් ඒ දුක ඔයාට කියන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ..

කොහෙද මේ යන්නේ..

ඔයා ඇහුවේ මගේ ඇස් මඟ අරින ගමන්..

මේ වැඩට ගිහිල්ලා ගෙදර යන ගමන්..

ඔයා මාව දාලා ගියාම මට ජීවිතේම එපා වුනත්,කලකිරුනත් හැමදේම අත ඇරලා ජීවිතේ මඟ නතර වෙන්න පුලුවන්කමක් තිබුනේ නෑ අයියේ..

මට සිද්ද වුනා අකමැත්තෙන් වුනත් ජීවත් වෙන්න..
අකමැත්තෙන් වුනත් අනාගතේ ගැන හිතන්න..
මොකද ඔයා ගියේ ලොකු වගකීමක් මට දීලා..ඒ ගැන අදටත් ඔයා දන්නේ නෑ..
කවදාවත් දැන ගන්න ඕනෙත් නෑ අයියේ..

කොහෙද ජොබ් එක කරන්නේ..

ප්‍රයිවට් බෑන්ක් එකක..

ඔහ්..දැන් එහෙනම් මැරි කරලා එහෙම හොඳින් ඇති නේද..

ඔයා හිනා වෙලා එහෙම අහද්දී මගේ පපුව පිච්චිලා ගියා..
ඒත් මට ඕනේ වුනේ නෑ ඒක ඔයාට පෙන්නන්න..

ඔ..ඔව්..මං මැරි ක..කරලා ඉන්නේ..

කවදාවත් ඔයාට බොරුවක් කියපු නැති මං අද ඔයාට බොරුවක් කිව්වා..

එහෙනම් හොඳයී..

කොහොමද අයියේ නංගිට..

මං ඇහුවේ අයියාගේ බිරිඳ ගැන..

වරදක් නෑ..එයත් හොඳින්..අපි ඕස්ට්‍රේලියා ඉඳලා ලාස්ට් මන්ත් ලංකාවට ආවේ..

ඔයාව මගෙන් සදහටම ඈත් කරන්න ඔයාගේ බිරිඳ මීට අවුරුදු 6කට කලින් ඔයත් එක්ක පිටරට පදිංචියට ගියා කියලා මං දන්නවා අයියේ..
ඒත් ආපහු ඔයාව මේ විදිහට මුන ගැහෙයි කියලා මං කවදාවත් හිතුවේ නැහැ..

මං අවුරුදු 6ක් ඈත අතීතෙට ගියේ පරන මතක අලුත් කරමින්..

---------------------------

අයියේ..

හ්ම්..

බලන්නකෝ මං දිහා..

කියන්නකෝ..

මට ආදරෙයිද..

ඔව් ඔව් මැට්ටී..ගොඩක් ආදරෙයි..

අයියා කිව්වේ මාව එයාගේ පපුවට තුරුල් කර ගන්න ගමන්..

කවදාවත් දාලා යන්නේ නෑ නේද..

නෑ මැට්ටී..හැමදාම ඉන්නවා ලඟින්..

ඒත් ඒ පොරොන්දු හැම එකක්ම බොරු වුනා දවසක්..

තරූ..උබට දෙයක් කියන්න තියෙනවා..

කියන්න මධූ..මොකක්ද ..

ෂෙහාන් අයියා ගැන..

කියන්න..මොකක්ද ..

මං ඇහුවේ සැකෙන්..

කලබල වෙන්න එපා මං මෙහෙම කිව්වට..ෂෙහාන් අයියා වෙන ගර්ල් කෙනෙක් එක්ක පාර්ක් එකේ ඉන්නවා මං ඊයේ දැක්කා..

හොඳම යාලුවා වුනත් මට මධූ කියපු දේවල් විශ්වාස කරන්න බැරි වුනා..
මං ඒ තරම් අයියව විශ්වාස කරා..

මොනවද මධූ ඔයා මේ කියන්නේ..

වෙන කෙනෙක් කිව්වට නම් මං විශ්වාස කරන්නේ නෑ..ඒත් මං දැකපු දේ මට විශ්වාසයි තරූ..කෝකටත් උබ ටිකක් හොයලා බලපන්..ඒකි හොඳ සල්ලිකාර කෙල්ලෙක් වගේ..

මධූ කියපු කතාව විශ්වාස කරන්න බැරි වුනේ අයියා මට පනටත් වඩා ආදරෙයි කියලා මං ගොඩක් විශ්වාස කරපු නිසයි..

ඒත් ඒ විශ්වාසේ නැත්තටම නැති වුනා එදා මං ඔයාව ඒ ගෑනු ලමයත් එක්ක එකට ඉන්නවා දැකපු දවසේ..

වෙනදට ඔයාගේ අතේ එල්ලිලා හුරතල් වෙන මං වෙනුවට එදා ඔයාගේ අතේ එල්ලිලා හිටියේ වෙන ගෑනු ලමයෙක්..
එයා මට වඩා ගොඩක් ලස්සනයි..ඒ වගේම ගොඩක් පෝසත්..ඒත් මං දන්නවා එයා ඔයාට මං තරම් ආදරේ කරේ නෑ අයියේ..

ඇයි ඔයා මට මෙහෙම බොරු කරේ..

මං ඔයාගෙන් ඇහුවේ කඳුලු අතරින්..

මට මේ වෙලාවේ මං ගැන හිතන්න ඕනේ..මගේ අනාගතේ ගැන හිතන්න ඕනේ..ප්ලීස් මට බාධා කරන්න නම් හිතන්න එපා තරූ..අතට ආපු චාන්ස් එකට පයින් ගහන්ම මට බෑ..

ඔයාගේ ලස්සනට වශී වෙලා ඒ කෙල්ල ඔයාගේ පස්සෙන් ඇවිත් ලොකු ලොකු හීන පෙන්නලා ඔයාගේ ජීවිතේට ලං වුනා කියලා මං පස්සේ කාලෙක ඔයාගේ යාලුවන්ගෙන් දැන ගත්තා අයියේ..

ඔයාගේ ජීවිතේට හයියක් වෙන්න මිසක් බාධාවක් වෙන්න මට කවදාවත් ඕන වුනේ නෑ..

ප්ලීස්..ඔයා මගෙනුයි ෂෙහාන්ගෙනුයි ඈත් වෙලා ඉන්න..දැන් ෂෙහාන් අයිති මට..සෝ ප්ලීස් අපේ ජීවිත වලින් අයින් වෙලා ඉන්න..ඔයාට ඉල්ලන ගානක් දෙන්නම්..

ඔයාගේ සල්ලිකාර අලුත් පෙම්වතිය ඔයාට මිලක් නියම කරන්න කියලා මට කිව්වත් එහෙම කරන්න පුලුවන්කම් මට තිබ්බේ නෑ..

මට සත පහක්වත් ඕනේ නෑ නංගී..අයියව හොඳින් බලා ගන්න..

එදයින් පස්සේ මං අයියගේ ජීවිතෙන් සදහටම ඈත් වුනා..

ඊට පස්සේ මගේ අසරනකම නිසා මං ඔයාව මුන ගැහෙන්න දවසක් උත්සහා කරා..
ඒත් එතකොට ඔයාගේ වෙඩින් එකට හරියටම සතියයි තිරි වෙලා තිබ්බේ..

ඔය කාරනාව නිසා ෂෙහාන් මාව දාලා ගියොත් මං ෂෙහාන්ට පනපිටින් ඉන්න දෙන්නේ නෑ .මට නොලැබෙන දෙයක් වෙන කෙනෙක්ට ලබා ගන්න මං ඉඩ තියන්නේ නෑ..

අයියගේ අනාගත බිරිඳගේ අනතුරු ඇඟවීමත් එක්ක මං ගොඩක් අසරණ වුනා..

මට මගේ ජීවිතේටත් වඩා ඔයාගේ ජිවිතේ වටින නිසා මං හැම දුකක්ම හිතේ විතරක් හිර කර ගෙන හිටියා..
ඒ දේ රහසක්ම විතරක් වුනා..

ඔයා ඔයාගේ සල්ලිකාරක් පෙම්වතියව කසාද බැඳලා පිටරට පදිංචියට ගියා..

---------------------------

නංගී..

මං පියවි සිහියට ආවේ ඔයාගේ කටහඬින්..

මං ඔයාව ඩ්‍රොප් කරන්නද..

නෑ..ඕනේ නෑ අයියේ..මට බස් එකේ යන්න පුලුවන්..

මට ඕනේ වුනේ ඔයාට ඔයාගේ ඇස් මුන නොගස්සව ඉන්න..

එහෙනම් මං යන්නම්..පරිස්සමින් ඉන්න..

ඔයා එහෙම කියලා කාර් එකේ නැගලා යන්න ගියේ කියා ගන්න බැරි තරම් දුකක් මගේ හිතේ ඉතිරි කරලා..

හැමදාම වගේ අදත් ගෙදර එද්දී ඔයාගේ ඇස් මං දිහා බලන් ඉන්නවා අයියේ..

අම්මී..මං අම්මී එනකල් ගොඩක් වෙලා බල්න් හිටියා අම්මී..

චූටි දූ එහෙම කියලා මාව බදා ගත්තේ ගොඩක් සතුටින්..
ඔයාගේ ඇස්මයි අයියේ අපේ දුවට තියෙන්නේ..
කතා කරන ඇස්...
හැමදාම මං අපේ දුවගේ ඇස් වලින් ඔයාව දැක්කා..

හරි ඉතින් දැන් අම්මී ගෙදර ආවනේ..

අම්මී..අදවත් අම්මී තාත්තිව එක්කගෙන ආවේ නැද්ද ..

දූ හැමදාම අහන ප්‍රශ්නේ ඇහුවේ ඇස් වල කඳුලු පුරව ගෙන ..

මං කොහොමද රත්තරන් කියන්නේ ඔයාගේ තාත්තව අපිට දැන් අයිති නෑ කියලා..

තාත්තී පිටරටනේ පුතේ ඉන්නේ..සල්ලි ගොඩාක් අරන් සෙල්ලම් බඩුත් අරන් තාත්ති ඉක්මනට එයි මගේ හෝනිව බලන්න..

මං දූට කිව්වේ හැමදාම කියන බොරුව..

---------------------------

ප්‍රෙග්නන්සි රිපෝට් එක පොසිටිව්..

ඩොක්ටර් එහෙම කිව්වහම මට දැනුනේ කියා ගන්න බැරි තරම් අසරණකමක්..
අයියගේ වෙඩින් එකට සතියයි ඉතිරි වෙලා තිබුනේ..

මගේ කුසේ හැදෙන්නේ අයියගේ දරුවා..එයා අපේ දරුවව කොයි විදිහට බාර ගනීද කියලා හිතුනත් මේ ගැන අයියට කියන්න අන්තිමට මං තීරනේ කරා..

ඒත් එදා අයියගේ පෝන් එක ආන්ස්වර් කරේ අයියාගේ අලුත් පෙම්වතිය..

ඇයි ආපහු ෂෙහාන්ට කතා කරන්නේ..ලැජ්ජා නැද්ද ..

ප්ලීස් මට එක පාරක් අයියට කතා කරන්න දෙන්න..

මං බැගෑපත් වුනේ අපේ දරුවා වෙනුවෙන්..

මොකක්ද වුවමනාව..

මං ඒක අයියට කියන්නම්..

වුවමනාව මට කිව්වොත් විතරයි ඔයාට ෂෙහාන්ට කතා කරන්න පුලුවන්..

මට ඕනේ වුනේ අයියට කොහොම හරි කතා කරන්න..

මං..මං අයියා නිසා ප්‍රෙග්නට් ..

මං කිව්වේ කඳුලු අතරින්..

වට්..බොරු කියන්න එපා..

ම..මං ඇත්තමයි කියන්නේ..මට අයියට කතා කරන්න ඕනේ..

ඒත් මට ඒ අවස්ථාව ලැබුනේ නෑ..
ඒ වෙනුවට මට අයියගේ අලුත් පෙම්වතිය කිව්වේ අයියට මේ දේවල් කියන්න හැදුවොත් අයියගේ ජීවිතේට හානියක් කරනවා කියලා.

මට ෂෙහාන්ව ලැබෙන්නේ නැත්තම් තමුසෙට අයිති වෙන්න දෙන්නෙත් නෑ..

මට හැමදේකටම වඩා අයියව වටින නිසා මං අපේ දරුවා ගැන අයියට දැන ගන්න ඉඩ තිබ්බේ නෑ..

අයියගේ බිරිඳ මේ ගැන අයියා දැන ගන්න එක නතර කරන්න අයියත් එක්ක පිටරට පදිංචියට ගියා..

එදා ඉඳලා මං අපේ දූව තනියම හදා වඩා ගත්තා..
ඒත් එයා දැනුම් තේරුම් තියෙන වයසෙදී තාත්තා ගැන අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුලුවන්කමක් මට තිබුනේ නෑ.

---------------------------

පහුවදා වැඩට යද්දී අයියා කාර් එක මගේ ඉස්සරහින් හරස් කරලා නතර කරේ මාව පුදුම කරමින්..

ම..මට ටිකක් කතා කරන්න ඕනේ..

අයියා කිව්වේ පුදුම අසරණකමකින් කියලා මට හිතුනා..

මො..මොනවද..

මං ඇහුවේ සැකෙන්..

මං ගොඩක් විඳවනවා නංගී..

අනේ ඒ ඇයි අයියේ..මං හිතුවේ අයියා සතුටින් ඉන්නවා කියලා..

නෑ නංගී..මට පොඩිම සතුටක්වත් නෑ..මං ඔයාට කරපු දේවල් වලට විඳවනවා..

මොනවද අයියේ මේ කියන්නේ..

මල්ෂටයි මටයි දරුවෝ නෑ නංගී..මැරි කරලා අවුරුදු 6ක් වුනත් තාම මට දරුවෙගේ හුරතල් බලන්න බැරි වුනා..

අයියගේ වචන වලට මගේ පපුව පිච්චිලා යනවා වගේ මට දැනුනා..

අනේ ඔයාගෙම චූටි දූ පැටියෙක් මං ලඟ ඉන්නවා කියලා කෑ ගහලා කියන්න ඕනේ වුනත් මට ඒකට හයියක් තිබුනේ නෑ.

ඔයාට බබාලා ඉන්නවද නංගී..

මගේ හදවත මොහොතකට නතර වුනා..

ඔ..ඔව් අයියේ..දුවෙක් ඉන්නවා..

ඔයා ගොඩක් වාසනාවන්තයි නංගී..

අයියා කිව්වේ කඳුලු පිරුනු ඇස් දෙකින්..

මට සමාවෙන්න අයියේ..මං ගොඩක් අසරණයි..මට අපේ දරුවා ගැන ඔයාට කියන්න පුලුවන්කමක් නෑ..

ඔයයි මාව එපා කියලා යන්න ගියේ..
ඔයාගේ සතුට මං ලඟ නෑ කිව්වා..
තවත් මට විඳවන්න බෑ අයියේ..

අයියව මුන ගැහිලා දවස් කීපයක්ම ගත වුනා..
එදා සෙනසුරාදා දවසක්..
මං හිටියේ දූත් එක්ක මිදුලේ..

අයියගේ කාර් එක මිදුලේ නතර කරනකොට මට අඳුන ගන්න අමාරු වුනේ නෑ..

අයියා කාර් එකෙන් බැහැලා ඇසිපිය නොගහා බලන් හිටියේ දූ දිහයි..

අයියා එයාගේ දූව දැකපු පලවෙනි දවස..

අ..අයියේ ඔයා..

ඔව්..මම..

අයියා හිටියේ කවදාවත් නැති තරම් තරහින්..
තව කිසිමදෙයක් නොකියා අයියා ඇවිත් දූව වඩා ගත්තා ..

ඇයි මට කිව්වේ නැත්තේ ..

ඒ ප්‍රශ්නේ ඇහුවේ මගෙන්..

මො..මොකක්ද ..

මේ අපේ දරුවා කියලා..

ඔ..ඔයා කොහොමද ..

ඔය අහන්න හදන්නේ මං කොහොමද මේ ගැන දැන ගත්තේ කියලනේ..

ඔයා මැරි කරලා නෑ කියලා මං දැන ගත්තේ මධූගෙන්..ඔයා මට මැරි කරලා ඉන්නවා කියලා බොරු කිව්වේ මාව රවට්ටන්න වෙන්න ඇති කියලා මං හිත හදා ගත්‍තා.
ඒත් ඔයා එදා ඔයාට බබෙක් ඉන්නවා කියලා කිව්වහම මං පුදුම වුනා..ඒත් මං ඒ ගැන ඔයාට කිව්වේ නෑ ..
පස්සේ මං මේ පැත්තේ අයගෙන් විස්තර අහලා බැලුවා..එතකොට තමයි දැන ගත්තේ ඔයා අවුරුදු 6ක දුවෙක් එක්ක තනියම ජීවත් වෙනවා කියලා..ඔයා මැරි කරත් ඔයාට අවුරුදු 6ක දුවෙක් ඉන්න විදිහක් නෑ තරූ..

අයියා කිව්වේ ඇස් වල කඳුලු පුරව ගෙන..

අයියේ..

මොකුත් කියන්න ඕනේ නෑ..මං දන්නවා ඔයා ඇයි මේ ගැන මගෙන් හැංගුවේ කියලා..මධූ මට හැමදේම කිව්වා..මුලින් මල්ෂා වැරැද්ද පිලි ගත්තේ නෑ..ඒත් අන්තිමට එයා පිලි ගත්තා..

ඒත් එයා ඔයාගේ වයිෆ් අයියේ..එයාට සමාව දෙන්න..

නෑ..මං මටවත් සමාව දෙන්නේ නෑ නංගී..මං ඔයාට කරපු වැරදි නිසා මට මගේ දුවගෙනුත් ඈත් වෙලා ඉන්න සිද්ද උනා..ප්ලීස් නංගී මට සමාව දෙන්න..මං අපේ දුවට හොඳ තාත්තා කෙනෙක් වෙන්නම්..ප්ලීස් දූව මගෙන් ආයෙමත් වෙන් කරන්න එපා..

ඒත් අයියේ..මල්ෂා ..

මං එයාගෙන් වෙන් වෙනවා නංගී..සල්ලී තිබ්බා කියලා සතුට ලැබෙන්නේ නෑ..සතුට ලැබෙන්න නම් ලස්සන පවුලක්,ආදරයක් ලැබෙන්න ඕනේ..

අම්මී..මේ මගේ තාත්තිද අම්මී..

දූ ඇහුවේ මගේ මූනට එබෙන ගමන්..

අයියා කඳුලු පිරුනු ඇස් දෙකින් මං දිහා බලා ගෙන හිටියේ මගේ පිලිතුර දැන ගන්න හිතා ගෙන..

ඔ..ඔව් දුවේ..මේ දූගේ තාත්තී තමයි..

මං කිව්වේ අයියගේ අතකින් අල්ල ගන්න ගමන්..

                             -නිමි-
සජිනි සුලෝචනා නිර්මාණයක්

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment