මරණයක්

මරණයක්
=========

ඉර  ගිනියමට දැල්වී තිබුණි. අවට පරිසරය ගින්නෙන් දැවෙමින් තිබුණි.

ඇය වටපිටත්, පහළත් බැලුවාය. ගිනිගන්නා නගරය ඇයට වඩා බොහෝ පහළින් පාසල් පිට්ටනියට එහා, තවත් පාසල් ගොඩනැගිල්ලකට එහායින් දිස්වෙමින් තිබුණි.
වාහන පෝලිම්ය. කහ ඉර ය. වාහන නලා හඬ ය. පාර දෙපස විසිරි පාසල් නිල ඇඳුම් හැඳි මනුෂ්‍ය ප්‍රාණීන් ය.  කහ ඉර  අසල පොලිස් නිලදරුවෙකු රාජකාරියේ දී සිටියේ ය.  හේ අතක් එසවූයේ ය. කඩිගුලක කඩිනමින් පිරිසක් පාර මාරු වූහ.

ඇය ඉහළ බැලුවා ය. පැහැදිලි නිල් අහසේ කුරුළු ගොයෙකු වට රවුම් පියාඹනු ඇය දුටුවාය. ඇගේ වමත පැත්තට වන්නට අහසේ ඇස් නිලංකාර කරවන ඉර ය. ඈ එදෙස නොබලන්නට පරිස්සම් වූවා ය. ඇය නගරයට පිටුපා, පාසලට මුහුණපා සිටගත්තාය. ඉනික්බිති ඇස් පියාගත්තා ය.

කුරුලුගොයා සිය වට රවුමක් සම්පූර්ණ කර ගොඩනැගිල්ල මුදුනට ඉහළින් අහසට ළඟා විය.

හරියටම ඒ මොහොතේ සත්මහල් පාසල් ගොඩනැගිල්ල මුදුනේ සිට කිලෝ අසූවක මිනිස් සිරුරක් පාසල් පිට්ටනියට අද වැටිණි.

——————————————————
තද නිශ්ශබ්දතාවය ය. උඩ බැලූ විට ඇස් නිලංකාර කරවන ඉර ය. බිම, පාසල් නිල ඇඳුමකින් වැසුණු, හැඩයක් නොමැති පණ සුන් සිරුරකි. වටා විසිරි ගිය මස් කැබලිති ය.
එක්වරම වික්ෂිප්තතාව හඟවන “සූස්” හඬවල් නැගුණි. ඇද තිබූ බෙර සමක් මෙන් වූ නිශ්ශබ්දතාවය එයින් කම්පනය වීය. ඉනික්බිති නිශ්ශබ්දතාවය ඉරාගෙන විලාප හඬවල් මතුවීය.
ගොඩනැගිල්ලේ තැන් තැන්වලින් මතුවූ සුදුමැලි වූ මුහුණු ය. පිට්ටනිය වෙත දිව විත්, භීෂණයට තරමක් දුරින් ධෛර්යය සිඳුණු නරඹන්නන් ය. දුරකථන සංවාද ය. නගරයේ තදබදය හාරාගෙන ආ ගිලන් රිය ය. එලියට ඇදුණු ගිලන් මැස්සය .  පුහුණු අත්වලින් පණ සුන් ස්රුර එසැවිණි. රෙදි  කඩෙකින් වැසුණි. ගිලන් රිය පිටත්විණි.
තවමත් පිට්ටනිය මත වියලෙමින් ඇති ලේය. මස් කැටිති ය.
පොලිසියය. කහ කළු ඉරි වැටි පොලිතීන් පටි ය.
කලබලයෙන්ද එබෙන අංක ය. නාද වන දුරකථන ය. දුරකථන සංවාදය.  ගිනිගන්නා නගරයට පාසල් ගොඩනැගිල්ල මුදුනෙන් බිමට පැන්න සිසුවිය පෙට්‍රල් හලා ඇත.
—————————————
“මගේ රත්තරං දූට ප්‍රශ්නයක් තිබ්බේ නෑ…වෙන්ද වගේම උදේ නැගිටලා ඉස්කෝලේ ආව.. අනේ රුපියල් දාහක් ඕනෙ අම්මේ නාට්‍යට කිව්වා, මගෙ අතේ තිබ්බේ නෑ… මං හෙට දෙන්නම් කිව්වා ..අනේ මං දන්නේ නෑ එතැනින් එහාට ….  මම ඊට පස්සේ දන්නේ වැඩ පොළට ඉස්කෝලෙන් කතා කරල කිව්වමයි… අනේ… ”

—————————————
“දවාලේ.. ඔව්.. මිස්ල එයාට බැන්න.. එයා ළමයෙකුගේ රුපියල් දාහක් හොරකම් කළානෙ…. “
“මේ එයාට කොල්ලෙකුත් ඉඳල තියෙනවලු .. “
“අම්මෝ මම තමයි ඉස්සෙල්ලම පිට්ටනියට ගියේ .. බලන්න බෑ… මූණේ පැත්තක් පොඩිවෙලා.. ඇසුත් අරගෙන හිටියේ.. “
“අයියෝ මේ ළමය කරගත්තු අපරාධයක්.. “
“මේ එයා ඉස්කෝලෙට ෆෝන් එකක් ගෙනල්ල අහුවෙලා ද ?”
“මේ ඇත්තටම එයා සල්ලි හොරකම් කරලද ?”
” දන්නේ නෑ අනේ.. දන්නේ නෑ.. “
“මේ ඔහොම මැරිච්ච අය හොල්මන් කරනවලු නේද ?”
“ගොනෝ !! ඒ හත්දවසේ දානේ හරියට දුන්නේ නැත්නම් !!!”
—————————————————————–
පාසල් ගොඩනැගිල්ල මුදුනෙහි අහසට විවෘත කොටසේ පරණ පාසල් පුටුවකි. සුළඟට ගසාගෙන නොයනු පිණිස එහි පාදයකට යට කළ ලිපියකි. අකුරු දෙපේළියකි. කඳුළු බිංදුවකි.
“මම සල්ලි හොරකම් කළේ නෑ අම්මේ..
මට සමාවෙන්න ..”
—————————————————————–
“හරි .. මිස් කියන්න බලන්න ඇත්තටම මොකක්ද අද දවල් වුණේ කියල.. “
“මම හිටියේ ඉස්කෝලෙන් පස්සේ තියෙන ශිෂ්‍යත්ව පන්තියට උගන්වන ගමන්.. එක පාරට ජනේලේ ගාවින් මොකක්ද වැටෙනවා වාගේ දැක්ක. මම නිකමට ජනේලෙන් එබිලා බැලුවේ..
අම්මෝ මගේ ඇඟ සීතල වෙලා ගියා. මට ටිකක් වෙලා ගියා වුණේ මොකක්ද වුණේ කියල හිතාගන්නම..
මම හෙමි හෙමින් පඩිපෙළ බැහැල එතනට ඇවිදගෙන ගියා.. එතකොට මේ මාලා මිස්,  ගීතා මිස් එහෙම එතනට ඇවිල්ල හිටියේ. තව ඉස්කෝලේ ළමයි කීප දෙනෙකුත් හිටිය.. ළමයින්ගේ නම් මූණු මතක නෑ..
මොකක්ද? ඔය කියන සල්ලි ගත්තු සිද්ධිය නම් මම දන්නේ නෑ සර්.. ඒක අහන්න ඕන පන්තිභාර මිස්, ජයන්ති මිස්ගෙන්.. “
” කෝ ජයන්ති මිස් .. හරි ජයන්ති මිස් කියන්න බලන්න මොකද වුණේ කියල ..”
ඊයේ හවස  ඉස්කෝලේ ඇරෙන්න පොඩි වෙලාවකට කළින් 12 පන්තියේ ළමයි ටිකක් මාව හම්බුවෙන්න ගුරු විවේක කාමරේට ආව. පන්තියේ ළමයෙකුගේ රුපියල් දාහක් නැතිවෙලා කියාගෙන.
ඉතිං මම පන්තියට ගියා. ඒ වෙද්දීමයි ඉස්කෝලේ ඇරෙන්න බෙල් එක වැදුණේ.
ඒත් මම පන්තියට කිව්වා ගාථා කිව්වට පස්සේ එක්කෙනෙක්වත් යන්න එපා බෑග් බලනකම් කියල.
ඉතිං මම පන්තියේ ළමයි පෝලිමට හිටවල බෑග් බලන්න ගත්ත.
මේ ළමය හිටියේ පෝලිමේ අන්තිමට වෙන්න.. බැලූ බැල්මටම ටිකක් කලබලෙන් වාගේ හිටියේ..
කොහොමහරි ඒ ළමයාගේ බෑග් එකේ තිබිල රුපියල් දාහක් හම්බවුණා.. ඉතිං මම අනෙක් ළමයින්ට ගෙදර යන්න ඉඩ දුන්න..
මේ ළමය කිව්වෙම මේ සල්ලි එයාගේ කියලයි.. පස්සේ මම රුපියල් දාහ ආපහු එයාටම දීල ගෙදර යැව්වා..”
“එතකොට මොකක්ද මේ ළමයි ෆෝන් එකක කතාවක් කියන්නේ මිස් ?”
“මටත් එහෙම කතාවක් අහන්න ලැබුණ අද, මේ ළමය මේ අපරාදේ කරගන්න කළින්.. හැබැයි එයාගේ ගාව ෆෝන් එකක් නම් තිබ්බේ නෑ මම බෑග් බලන වෙලාවෙ..”
—————————————
පුවත් කෙටි පණිවුඩ සේවා ය. රේඩියෝ ය. අසුභ පුවත මුලින් ම කීවේ අප ය.
තව තවත් පුවත් දැනගැනීමට දිගටම අප හා එකතු වී සිටිය යුතු ය.
සවස හයට, රෑ හතට සහ රෑ අටට හරි තොරතුරක් දැනගැනීමට ඔබ අපේ ප්‍රවෘත්ති විකාශය නැරඹිය යුතුය.
ප්‍රවෘත්තිය – මුලින් ම කියන්නට ඕනෑ ය.
—————————————
” දරුවා ඊයේ ගෙදර ඇවිත් මුකුත් කිව්වේ නැද්ද අම්මේ.. ඉස්කෝලේ වෙච්ච දෙයක් ගැන මොනවත් හෙම ?”
“අනේ මහත්තයෝ නෑ… ඊයේ ගෙදර ආපු ගමන් ඔලුව රිදෙනවයි කියල නිදා ගත්ත… අනේ මගේ දූ…
හිතේ අමාරුවෙන් හිටියේ මහත වැඩියි කියල.. ඒත් තාත්ත කිව්වා දැන් ඔය නාට්‍ය පුරුදු වෙද්දී මහත අඩුවෙලා යාවි කියල…
අනේ.. හිතේ දුකක් තිබ්බනම් අම්මත් එක්ක කියන්න තිබ්බනේ පුතේ…
.
.
.
මොකක්? හොරකමක්??? මගේ දූ…??? අනේ මගේ කෙල්ල එහෙම නෑ… අපොයි සහගහන කතා මේ .. ”

.
.
.
.
.
.
ක්ලාන්ත වීමක්.
—————————————
“දූට අද හවස පන්ති… එයාව ගන්න ආවේ මම.. මොකෝ මේ ඉස්කෝලේ කලබලයක්.. “
“ළමයෙක් උඩ තට්ටුවෙන් පැනල..!”
“හෑ !! මැරිලද?”
“මැරිලදත් අහනවා.. හත්වෙනි තට්ටුවෙන්..”
‘”මොකක් නිසාද පැනල තියෙන්නේ..?”
“මොකක් හරි කොලු සීන් එකක් වෙන්න ඇති..  දන්නෑ හරියට..”
—————————————
පොලිස් කැමරා ය. පාසල ඇතුලත ය. ගේට්ටුව අසල සිට පොදිකන කැමරා ය. ඇතුලට ඒමට අවසර නොමැතිවය.
පාසල් තාප්පයෙන් පිටත හයාගත් නෙතින් සහ සවනින් යුතු නගරයය. ආරංචි තටු ලැබී තාප්පයට ඉහළින් පියාඹති. ජංගම දුරකථන කැමරා පටිගත කරගනිති.
ෆේස්බුක් ය . යාවත්කාලින ය .  මියගිය ශිෂ්‍යාවගේ පින්තූර ය. හැලි ලේ වියලෙන්නට පෙර ගත් පින්තූරය.
වෙබ් අඩවි ය.
ශිෂ්‍යාව සියදිවි නසාගත් හේතුව තවම සොයාගෙන නැත. ප්‍රේම සම්බන්ධයක් යයි සැක ඇත.
ආරංචි පියාඹති. මග දිග වෙනදා මෙන් ම දිගට දිගේ වාහන පෝලිම්ය. වෙනදා මෙන් මැසිවිලි නැත.
පැයකට දෙහෙකට පෙර දැරියක් සියදිවි නසාගත් පාසල අසලදී වාහන ජනෙල වීදුරු පහත් වෙති. කුතුහල විසින්  සොයන දේ ආවරණය කරගත්  පාසල් බිත්තියේ සහ ගේට්ටුවේ අයාගත් ඇස් ඇලෙති.
—————————————
“මේ ළමය එහෙමට කතාබහ තිබ්බ ළමයෙක් නෙමෙයි.. යාලුවොත් නෑ එච්චර .. මහත ගැන කිය කිය පන්තියේ ළමයි විහිලු කරනවා කියල මට මෑතකදී ආරංචි වුණා… ඉගෙනගන්න නම් දක්ෂයි.. චිත්‍ර අඳිනවා කොච්චරවත්.. ඔය අනෙක් ළමයින්ගේ පාසල් ව්‍යාපෘතිවලට එහෙමත් චිත්‍ර ඇඳලා දීල තිබ්බ පහුගිය දවස් ටිකේ.. ඔය නාට්‍ය වැඩවලට සම්බන්ධ වෙන්න ගත්තයින් පස්සේ තමයි ටිකක් පන්තියේ පිළිගැනීමක් ආවේ.. ඒත් ලොකුවටම එළි පහලියට ආපු ළමයෙක් නෙමෙයි.. “
“හොඳයි .. අද දවසේ මොකද වුණේ ? “
“අදත් ළමයි හිටියේ ඊයේ සිද්ධියේ කලබලෙන්.. මේ ළමය උදේම ඉස්කෝලෙට ඇවිත් හිටිය.. මම පන්තියට එන වෙලාවේ මෙයා සාමාන්‍ය විදිහට හිටිය..
දවල් කෑම වෙලාවට කළින් පන්තියේ ළමයි කණ්ඩායමක් මාව හම්බවෙන්න ආව.. එයාල කිව්වා ඊයේ දවසේ මේ ළමයාගේ හැසිරීම සැක සහිතයි කියල. මෙයා අර සල්ලි නැතිවෙච්ච ළමයගේ බෑග් ඒක ළඟ ඉන්නව කීප දෙනෙක්ම දැකල තිබ්බ..ඒ වගේම බෑග් බලන වෙලාවට කළින් මෙයා ළඟ ෆෝන් එකක් තියෙනවා දැක්ක කියලත් ඒ අය කිව්වා.. හැබැයි මම ඒ කතාව ගණන් ගත්තේ නෑ .. මොකද මම බලන වෙලාවේ මෙයාගේ බෑග් එකේ ෆෝන් එකක් තිබ්බේ නැති නිසා.
මට ඕන වුණේ මේ සිද්ධිය ඉවරයක් කරන්න.. අර ළමයත් එක්ක පස්සේ කතාකරන්න හිතාගෙන මම මේ ආපු ළමයි කණ්ඩායමට කිව්වා එයා හොරකම් කළා කියල හරියටම කියන්න බෑ කියල…
ළමයි කණ්ඩායම පන්තියට ගියා. ඊට ටික වෙලාවකට පස්සේ මම පන්තියට යද්දි පන්තියේ ලොකු ගෝසාවක්. ළමයි ඔක්කොම හිටගෙන. මේ ළමය විතරක් මේසෙට ඔලුව තියාගෙන හිටිය.
ළමයි කිය කිය හිටියේ මේ ළමය සල්ලි හොරකම් කළා කියල. අන්තිමේදී  බැරිම තැන මම ඇහුව මේ ළමය සල්ලි හොරකම් කළා කියල හිතන අය අත උස්සන්න කියල.
පන්තියේ ඔක්කොමල අත ඉස්සුවා.
මේ ළමය ඒ හැමෝම දිහා බලන් හිටිය.
විවේක වෙලාවෙන් පස්සේ ළමය හිටියේ පුස්තකාලේ. මම මුකුත් කියන්නවත් අහන්නවත් ගියේ නෑ ළමය හිටපු තත්ත්වෙත් එක්ක..”
“දැන් ඊයේ.. මේ ළමයාගේ බෑග් එකේ තිබල සල්ලි හොයාගත්තු වෙලාවේ පන්තියේ අනික් ළමයි එතන හිටියද ?”
“ඔව් .. මුළු පන්තියම හිටිය.. “
.
.
.
.
.
.
නිශ්ශබ්දතාවයක්
—————————————
“මට මේ පාසලේ විදුහල්පතිනිය විදිහට මේ ගැන මොනවත් ම කියන්න බෑ.. පොලිසිය මේ ගැන පරීක්ෂණ පවත්වනවා. මගේ සේවා ජිවිතේ මම මුහුණ දුන්නු අවාසනාවන්තම සිද්ධිය මේක…
මොකක්ද? ගුරුවරුන්ට දොස් කියන්නේ මොකටද? මම කිව්වනේ තාම පොලිසිය මුකුත් හොයාගෙන නෑ කියල..
මොකක්ද ? කවුද ඔයා? මොන මීඩියා එකෙන් ද ? යන්න යන්න.. මේ වෙලාවේ අපිට තියෙන ලොකුම දේ මිඩියාවලට උත්තර බඳින එකද? …”
—————————————
ගුරුවරියත් එක්ක පන්තියේ තිහකි. එක මළ සිරුරකි.
කතා කරන්නට බැරි මළ සිරුරක් ගැන කියන්නට කතා තිහකි.
—————————————
“දැන් මේ නම් කියන පිළිවෙලට  ඔය එක එක්කෙනා ඇවිත් තමන් දන්න දේ කියන්න ඕන.. අරය මෙයා බේරන්න බොරු කියන්න බෑ.. දන්නවනේ .. වෙලා තියෙන්නේ බරපතල දෙයක්. ඔයාලගේම අතරින් කෙනෙකුගේ ජීවිතේ නැතිවෙලා. එයා වෙනුවෙන් අපි ඇත්ත හොයාගන්න ඕන..”
—————————————
” ඊයේ හවස සුභාෂිණි ගේ රුපියල් දාහක් නැතිවුණා. අපි ඒක ජයන්ති මිස්ට කිව්වම මිස් ඇවිල්ල බෑග් බැලුව. මෙයාගේ බෑග් එකේ තිබිල දාහ හම්බවුණා. අපි ඉස්කෝලේ ඇරිලා ගෙදර ගියා…
ඊයේ සල්ලි නැතිවෙන්න කළින් මෙයා සුභාෂිණි ගේ බෑග් එක ගාව හිටිය. . ඒ වගේම එයාගේ ළඟ ෆෝන් එකක් තියෙනවත් කීප දෙනෙක්ම දැකල තිබුණ..අපි ඒක මිස් ට කිව්වා..
මොකද එයා මොන දේ කලත් මිස්ට විශ්වාසයි එයාව.. “
—————————————
“එයාට කොල්ලෙක් හිටිය කියල හිතන්න බෑ.. එයා එහෙමට පෙණුම කෙනෙක් නෙමෙයි..අපිත් එක්ක? අපෝ අපි ඔව්ව කතා කරන්න තරම් එයා එක්ක කිට්ටු නෑ..හොඳම යාළුවො… අපෝ එයා ඉන්නේ තනියම..පොත්වලම එල්ලිලා ඉන්නේ…”
—————————————
“සල්ලි නැතිවුණේ මගේ.. තාත්ත මට ඒ සල්ලි දුන්නේ ඊයේ.. “
“මොකටද තාත්ත සල්ලි දුන්නේ ? “
“මගේ සුමානේ වියදමට ..”
“හ්ම්… “
“මම හැමදාම සල්ලි දාන්නේ බෑග් එකේ ඇතුලේ සාක්කුවක. ඊයෙත් එහෙමයි.. කෑම වෙලාවේ ඒ සල්ලි තිබ්බ කියල මට මතකයි..  ඉස්කෝලේ ඇරෙන්න කිට්ටුව ගෙදර යන්න බස් ඒකට සල්ලි ගන්න බෑග් එක ඇරියම දැක්කේ.. දාහේ කොලේ විතරක් නැතිවෙලා.. ඊට පස්සේ අපි ගිහින් ජයන්ති මිස්ට කිව්වා..

මම නම් ඒත් කිව්වා මිස්ට  කියන්න ඕන නෑමයි කියල … අපිට ඔය දාහ මහ දෙයක් නෙමෙයි.. ඒත් පන්තියේ අනික් ළමයි කිව්ව කියන්න ඕන කියල..

අපි අතරේම හොරු ඉන්නවා කියන එක ප්‍රශ්නයක් නෙ .. නේද සර් ? ”

“දැන් ඒ ළමය ඔය ළමයාගේ බෑග් එක ගාව හිටිය කියන වෙලාවේ ඔය ළමය කොහෙද හිටියේ… ?…”
“මම හිටියේ එහා පන්තියේ.. ඒ ගිහින් එන වෙලාවේ මගේ පොත් බෑග් එක බිම වැටිලා තිබිල එයා අහුලලා තිබ්බ කියල පන්තියේ ළමයි කිව්වා..  “
—————————————
“සර් එයා මේගොල්ලෝ කියන විදිහේ ළමයෙක් නෙමෙයි..එයා චිත්‍ර ඇන්ද , පොත් කියෙව්වා.. නිශ්ශබ්ද ළමයෙක්… එයාට යාළුවො කවුරුත් හිටියේ නැත්තේ නෑ.. පන්තියේ ඔක්කොම එයාට යාළුවො.. එයා හැමෝටම උදව් කළා..

ඊයේ සිද්ධිය ගැන මම දන්නේ නෑ.. මම ඊයෙයි අදයි  ඉස්කෝලේ ආවේ නෑ අම්මට අසනීප නිසා.. වෙච්ච ආරංචි වෙච්ච් ගමන් මම තාත්ත එක්ක ඉස්කෝලේට ආවේ..

මැරිලා කියල දන්නවා.. එයාට ගොඩක් තුවාල ද සර්.. ?
—————————————
කළු පැහැ පාසල් බෑගයක්ය. එහි පොත් ය. කුඩයක් ය.
කවරයක දැමූ රුපියල් පන්සියයේ කොළ දෙකක් ය.
ව්වෘත නොකළ කෑම පාර්සලයක් ය.
පසෙකින් කඳුළු සලන අම්මා ය.
“අනේ පුතේ… ඔයා අද බඩගින්නෙම හිටියද පුතේ? ..”
.
.
.
.
.
.
.
පිළුණු ගඳ ය.
—————————————
“මේ ළමයි.. මොකක්ද දැන් මේ නැතිවෙච්ච ළමය ඉස්කෝලෙට ෆෝන් එකක් ගෙනාවයි කියල කියන කතාව… ? කවුද ඒ කතාව ඉස්සෙල්ලම කිව්වේ ??”
—————————————
“හෙලෝ ! හෙලෝ !! කතෘතුමා … අර ඉස්කෝල ළමයෙක් උඩින් පැන්න තැන ඉන්නේ…
නෑ නෑ.. බොඩි එක ගෙනිහින් අපි එද්දී…
ෆෝන් එකකින් ගත්තු ෆොටෝ එකක් නම් තියෙනවා…
………………………………………………………………………
හා.. හා.. සිසුවිය සත්මහලින් බිමට පනී කියල දානන්ද එහෙනම් ?
…………………………………….හා හා ඕකේ !
—————————————
හෙඩ්ලයින් වෙනස් වෙනවා ළමයි..මේක ලියල ගන්න…
වීඩියෝ තව ටිකකින් ලැබෙයි ලෑස්තිවෙලා ඉන්න..

………………..

ඔව් ඔව්.. මුල් පිටුව… සම්පූර්ණ පිටුව දාමු

—————————————
ගුරුවරියත් එක්ක පන්තියේ තිහකි. එක මළ සිරුරකි.
කට උත්තර තිහකි. තව එකකි.
“සර්.. මට කියන්න දෙයක් තියෙනවා…”
“ඔය ළමය ඉස්සෙල්ලත් ආව නේද? “
“සර්… අනික් ළමයින්ට කියන්න එපා මම මේක කියපු විත්තියක්… ”

“ළමයෝ… ඔයා මෙතන දෙන්නේ කටඋත්තරයක් .. ඒක ඇත්තක් නම් ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ නෑ..”

“සර්.. ෆෝන් එක සුභාෂිණි ගේ.. එයා ඒක ගෙදරට හොරෙන් තියාගෙන ඉන්නේ…”

“එතකොට ඒ නැතිවෙච්ච ළමයත් ඔය ෆෝන් එක පාවිච්චි කළාද? “
“මම දන්න තරමට නෑ සර්… සල්ලි නැතිවෙලා කියල කියපු සුභාෂිණි කැමති වුණෙත් නෑ මිස් ඇවිල්ල බෑග් අවුස්සනවට…
ඔය ෆෝන් එකේ  කතාව කට වැරදිලා කාට හරි කියවෙච්ච එකක්… “
“ඒත් මේ මැරුණු ළමය ෆෝන් එක අතේ තියන් ඉන්නව දැකපු අය ඉන්නවා නේද ?”
“එහෙම කියන්නෙත් ඒ අයම නේද සර්? “
—————————————
කොණ්ඩා කරලක අගිස්ස පැටලෙන ඇඟිල්ලකි. මේසයට ගසාගත් හිසකි. වේගවත් උණුසුම් සුසුම් ය. කඳුළු සහ සොටු ය.

හිස අතගා සනසන අතකි.

“නාඩා ඉන්න සුභාෂිණි.. ඔයා වැරද්දක් කරලා නෑ නේ… “
—————————————
හමුදා නිල ඇඳුමකි.  බිමට නැමුණු හිසකි. අතක ලේන්සුවකි. කඳුලින් පෙඟුණු ලේන්සුවකි.
” දුව ඊයේ උදෙත් වෙනද විදිහටම ඉස්කෝලේ ගියා සර්.. යන්න කළින් රුපියල් දාහක් ඉල්ලුව නෝනගෙන් … නාට්‍ය පුහුණුවකටය කියල.. නෝන ගාව තිබ්බේ නෑ සර්..  ඒ ගමන මම දුන්න …
සර්? ………. පන්සීයේ කොළ දෙකකින් දුන්නේ සර්…
මම නිවාඩු ඉවරවෙලා ඊයෙයි ගියෙ සර් … මම දුවව අන්තිමට දැක්කේ ඊයේ උදේ ගෙදරින් යද්දී
අනේ මගේ දුව බිමට පැන්නේ ඇයි සර් ? ”
.
.
.
.
.
(නිහඬ ඉකිබිඳුමක් සහ සැලෙන උරහිසක් )
————————————-
කහ පැහැති ලියුම් කවරයකි. එතුල රුපියල් පන්සියයේ නෝට්ටු දෙකකි.
“නැතිවුණේ දාහේ නෝට්ටුවක් කියල නේද කිව්වේ?”
.
.
.
.
.
.
නිශ්ශබ්දතාවයක්
—————————————
පිට්ටනිය මැද ලේ මත නිල මැස්සන් පොදි කමින් සිටියහ.
ලේ  කැටි උඩින් වැලි විසිරිණි. ඉර බැස යමින් තිබුණි.
බලා සිටීමෙන් හෙම්බත් වූවෝ විසිර ගොසිනි.
ඉතිරිය රෑට ය. බත් කන ගමන් නරඹන ප්‍රවෘත්තිවලය.
—————————————
“දැන් ඇත්තම කියන්න ඕන… අපි ඔයාට හිංසාවක් කරන්නේ නෑ.. අපිට දැනගන්න ඕන ඇත්ත. ෆෝන් එක ඔයාගේ කියල අපි හොයාගත්ත.. ඇත්තටම රුපියල් දාහක් නැතිවුණා ද ? එහෙම නැත්නම් ඒක වැඩිදුර නොහිත ඔයා කියපු බොරුවක්ද ? “
“සුභාෂිණි… ?”
.
.
.
.
.
ඉකිබිඳුමක්
—————————————
“ෆෝන් එක මගේ තමයි සර්…ගෙදරට හොරෙන් තියා හිටපු නිසා  මම හැමදාම වගේ ඒක ඉස්කෝලේ ගෙනාව.. (ඉකිබිඳුමක් ) ඊයේ… කලබල අස්සේ කාටහරි කට වැරදිලා ෆෝන් එක ගැන කියවුණා.. (ඉකිබිඳුමක් )……….

මගේ සල්ලි නැතිවුණේ නෑ… මං.. මං… මට ගෙදරින් දීපු සල්ලි…. (ඉකිබිඳුමක් )…….මං සල්ලි නැතිවුණා කියල කිව්වට මෙහෙම දෙයක් හිතුවේ නෑ සර්… ඔක්කොමල එකතුවෙලා එයාව හොරකමට අල්ලද්දී මම සද්ද නැතුව හිටියේ ඒකයි ….

.
.
.
.
.
අනේ සර් මං ඒ සල්ලි තරිඳු අයියට දුන්න කියල දන්නවනම් ගෙදරින් මාව හම ගහවි සර්….!”

සදිනි ප්‍රාර්ථනා තෙන්නකෝන්
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment