පාසල් ප්‍රේමය
💐💐💐💐💐
"ඒයි අර බලකො අර කෑල්ල.. සුපිරි නේද..?" පාත්තය එහෙම කියද්දි අපි සේරම හැරිල බැලුව ඌ පෙන්නපු දිහාව..
අළුතෙන් ආව ගැහැනු ලමයි තුන්දෙනෙක් හිටියෙ එතන.. එතන හිටපු සුදු ගෑනු ළමයගෙ තිබුනෙ පුදූම ලස්සනක්..
"බලපන් මචං ඒ කටහඩ.. කෙතරම් මිහිරිද... එතකොට අර බලපන් ඒ හිනාව.. පොල් කෑල්ලක් තිබ්බනම් කන්න තිබ්බ..ඒ ඇස් බලපන්කො.. මට මචං නිකන් පිස්සු වගේ බං ඒ ලස්සනට.." පාත්තය කියවන් ගියා..
"පාත්තය නෙමේ මේකට කියන්න ඕන වලත්තය කියල.. මචං ඇයි බං ඔහොම.. කෙල්ලෙක් ඕන නෑ බං සාය කෑල්ලක් දැක්කනම් ඇතිනෙ උඹට.." දස්ස කිව්වෙ මහ ලොකු වැදගතා වගේ..
"අනේ පල පල.. තොපිල දෙන්නම මහ කැත හිත තියෙන උන් බං.. මට නම් ඒ නැගනිය මගේම නැගනිය හා සමානයි මා මිතුරනි.. සහෝදර ප්‍රේමයෙන් මා මුසපත්ව සිටිමි.. ආාහ්.. කෙතරම් සුන්දරද.." නලියා මෙතන වේදිකා නාට්‍යයක් රඟදක්වන්නයි යන්නෙ..
මේ සේරම අදහස් මගෙ කනට ඇහුනත් මගෙ හිතනම් තිබුනෙ ඒ සුදු මූනෙමයි..එතකොටම පාසල පටන් ගන්න සීනුව වැදුන..
"යමු යමු සයුරි.."එතන හිටපු එයාගෙ යාළුව එහෙම කියද්දි මම එයාගෙ නම සයුරි බව දැනගත්ත.. අපිත් ඒ වෙලාවෙ හෙමීට පන්තිය පැත්තට ගියා..
මී අඹ වනයේ ගී හඬ පතුරා
කාවද අමතන්නේ..
ලස්සන මූනට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ..
මිහිබට දෙවඟන ඇවිදින තාලෙට ඔහොමද ඇවිදින්නේ..
ලා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නලවන්නේ..
මම එහෙම ලිව්ව මගෙ පොත් මේසෙ කොලපාට පෑනකින්.. ඒක ලියල ඉවර වෙද්දිමයි පොඩි මල්ලි කෙනෙක් ඇවිත් මාව හෙව්වෙ..
"සිතිජ අයියෙ.. නැටුම් ටීච එන්න කිව්ව.." ඒ මල්ලි එහෙම කිව්වම මම නැගිට්ටෙ ටිකක් තරහින්..
"ඒයි ගයිය වරෙන් යන්න නැටුම් කාමරේට.. නාට්‍ය පුරුදු වෙන්නෙ කොහොමද බං අර චරිතෙට කෙල්ලෙක් නැතුව.." මම කියෙව්වෙ තරහින්..
"යමංකො බලන්න.." ගයාන් ඉස්සර උනා..
"ආ එන්නකො සිතිජ පුතා.. තව දවස් දහයයි තියෙන්නෙ කොන්සට් එකට..කෝ දැන් මේ නාට්‍ය කරන්නෙ කොහොමද මෙහෙම.." නර්තන ගුරුතුමිය එහෙම අහද්දි ගයාන් මැදට පැන්න..
"මිස් අර දහය වසරට අළුතෙන් ආව නංගි කෙනෙක්නම් ඉන්නව හැබැයි මාරම ලස්සනයි.. රඟපාන්න නම් පුළුවන් වෙයිද මන්ද.. ඒත් අපි හොයපු බාහිර පෙනුමනම් තියෙනව.." ගයාන් ඒක කියවන් යද්දි මම ටිකක් ගැස්සුනා... ඒ ලස්සන මූන ඉතිං මට දැන් රෑට හීනෙනුත් පේනව කියල මූ දන්නෙ නෑනෙ..
"ම්ම්.. හරි.. අපි බලමු.. සිතිජ පුතා දහය වසරෙ ඒ පන්තියට ගිහින් ඒ දුවව එක්ක එන්න.." නර්තන ගුරුතුමිය එහෙම කියද්දි මමත් ඉතිං ගගට එබුව ඉබ්බ වගේ දහය වසරට දිව්ව..
පන්තියෙ හිටියෙ ගනිත විෂය උගන්වන ගුරුතුමිය.. මම ඉතිං හෙන චන්ඩිය වගේ ඇතුලට ගියා..
"මේ මිස්..අර නංගිට නැටුම් මිස් එන්න කිව්ව.." මම ඉතිං කෝමටත් අපේ පාසලේ ප්‍රසිද්ධ චරිතයක්..
"හා පුතා.. එක්ක යන්නකෝ.. සයුරි අන්න ඔයාට නැටුම් ටීච එන්න කිව්වලු.." ගනිත ගුරුතුමිය එහෙම කිව්වම සයුරිගෙ මූනට ආවෙ බයෙන් පිරුණු හිනාවක්..
සංගීතය වගේම රංගනය අතින් මම ටිකක් දක්ෂ කම් පෙන්වන චරිතයක් වගේම විෂය බාහිර ක්‍රියාකාරකම් බොහෝමයක ප්‍රධාන චරිතයක් මම.. ඒ නිසාම ගුරුමන්ඩලයේ සියලුම දෙනා මට ඉතාම ආදරය කල බව මම දැනන් හිටිය.. මොන බාහිර වැඩේ කරත් ඉතිං ඉගන ගන්න වැඩ ටිකත් මම කොහොම හරි ගොඩදාගත්ත..
"ඇ.. ඇයි අයියෙ මට ටීච එන්න කිව්වෙ.." පන්තියෙන් එලියට ආව ගමන් සයුරි මගෙන් ඇහුවෙ බයෙන්මයි..
"අපි කොන්සර්ට් එකට නාට්‍යයක් කරනවනෙ නංගි.. ඒකෙ රගපාන්න ඔයාවත් ගන්න අපි තීරණය කරා.." මම කිව්වෙ හෙන පන්ඩිත විදියට..
"අනේ අයියෙ.. මටනම් බෑ."සයුරි එහෙමම අඹ ගහයට නැවතුනා..
"මේහ්.. පිස්සුද නංගි ඔයාට.. ඇයි බෑ කියන්නෙ.." මම ඇහුවෙ ලොකු මිනිහෙක් වගේ..
"අනේ අයියෙ මම මේ ඉස්කෝලෙට ආවෙත් ලගදි.. මට බයයි ඕවට යන්න.." ඒ නිල් පාට ඇස් එහා මෙහා කර කර සයුරි කියවද්දි මම ඒ මූන දිහාම බලන් හිටිය..
"ඉතිං ලමයො ඒක තමයි මාත් කියන්නෙ.. අළුතෙන් ආව ගමන් මේ ආව චාන්ස් එක මග ඇරගන්න එපා.. ඔන්න බෑ කියන්න එහෙම එපා හොදද.. ඔයා තරම් ලස්සන කෙනෙක් වෙන නෑ මේ ඉස්කෝලෙම.. ඉතිං ඔයා තමයි මේකට ගැලපෙනම කෙනා.." මම එහෙම කියද්දි නම් ඔන්න කෙල්ලගෙ මූනෙ ලස්සන හිනාවක් පිපුන..
"ම්ම්.. හා එහෙනම්.." සයුරි වැඩේට කැමති උනා..
එහෙම අදුරගත්ත සයුරි එක්ක ඉතිං මම ගොඩක් වෙලාවට කතා බහ කරා.. ඒත් ඒක විහිළුවක් නැත්නම් මිතුරු කතාබහකට එහා ගෙනියන්න මට බැරි උනා..
මම ඒ දවස් වල පාසලට යන්න හැඩ උනේ හරියට මනමාලයෙක් තමන්ගෙ විවාහ මංගල්‍යයට යන්න හැඩ වෙනව වගේ..උදේම නාලා, එක රැල්ලක්වත් නැති වෙන්න ඇදුම් මැදල, දිලිසෙන්න සපත්තු ඔපදාලා මම පාසලට යන්නෙ ඉතිං සයුරිගෙ හිතේ මං ගැන ආදරයක් ඇති කරවගන්න වගේ..
නිවාඩු දාට මූනෙ කෝමාරිකා එහෙමත් නැත්නම් සුදු හඳුන් ගානව මම කුරුලෑ නැති වෙන්න කියල.. කොන්ඩෙ සතියෙන් සතිය කපනව..
මෙහෙම කාලය ගත වෙලා ගියත් මම කවදාවත් සයුරිට මගෙ හිතේ තිබුන කැමැත්ත කිව්වෙ නෑ.. මං හිතුව මම ආදරේ බව එයා දන්නව ඇති කියල.. මගෙ අනෙක් යාළුවො කතා කරද්දි රවාගෙන අහක බලාගන්න එයා මං එක්ක හිනාවෙලා කතා කරද්දි මම හිතුව එයත් මට කැමතී කියල..
කාලය ඔහොම ගතවෙලා ගියා.. විභාගයට තිබුනෙ තව මාසයක් විතර කාලයක්... මම ටිකක් පාඩමට කාලය දුන්න මේ වෙද්දි.. දවසක් මට ගනන් හදන්න ලඝු පොතක් ඕන වෙලා මම ගියා අයියගෙ කාමරේට.. අයිය හිටියෙ නෑ ගෙදර..
පොත් ටික ඇදල ලඝු පොතක් හොයද්දි පොතක් අස්සෙ තිබිල ෆොටෝ එකකුයි ලියුමකුයි හම්බුනා..දැනුන කුතුහලයත් එක්කම මම ලියුම දිගඇරල බැලුව..
මගේම ආදර සංඛ අයියා වෙත, 💞
හදිස්සියෙම ලියන්නෙ මේක.ඒ නිසා වෙනද වගේ පිටු ගනන් ලියන්න බෑ මගෙ අයියෙ. හෙට හවස පන්ති ඉවරවෙලා මාර ගහ යට ඉන්න.
අදත් ඔයාලගෙ මල්ලි මට මී අඹ වනයේ සිංදුව කියල විහිළු කරා. එයානම් හරිම ස්වීට් අනේ.😁
ඔයා ඉල්ලල කරදර කරපු නිසාම මගෙ ෆොටෝ එකක් ඇති මේ සමග..
වැඩි විස්තර හෙට හමුවුනාම කතා කරමු.
අදට මම නවතින්නම්.
මම ඔයාගෙම ආදර සයුරි.💋
එහෙමයි ලියුමෙ තිබුනෙ.. මම ෆොටෝ එක කවරෙන් එලියට අරන් බැලුව.. ඒ තමයි මම හීනෙනුත් දැක්ක මිහිබට දෙවඟන.. ඒත් මම ප්‍රමාද වැඩියි ඒ වෙද්දි..
- නෙතුලි
උපුටා ගැනීමකි
💕
ReplyDelete