#මට_විතරක්_නුඹ_දුර_ඇයි
මුහුදු වෙරලේ දිය රැළි විසුරෙද්දි ඒ පිපුණු පෙණ පිඩු අස්සෙ මම මගේ ජීවිතේ හෙව්වා.. ඔයාලා හිතෙනවද මට පිස්සු කියලා. වෙලාවකට එහෙමද කියලා මටත් හිතෙනවා. මම අහිංසා... අහිංසා විහාරි. නමින් මම හරි අහිංසකයි. ඒත් මම වෙන කිසිම දේකින් අහිංසක උනේ නෑ...
ඒත් එක දවසක්....
"අහිංසා... අයි ලව් යූ." සිතිජ ඇවිත් මගෙ මූණට එබිලා කියද්දි මුකුත් කියාගන්න බැරුව ගොලු උනා. ඒ තත්පර ගානට මම ගොලු උනා. වෙනදා හැමදේටම සිතිජ එක්ක පැටලෙන මගෙ මුව එදා ඒ වෙලාවෙ ගොලු උනා.
"සි...සි..ති..ජ..." මම හරිම අමාරුවෙන් සිතිජගෙ නමේ අකුරු ගලප ගත්තෙත්.
"බය වෙන්න එපා. මෙතන කවුරුවත් නෑ. කවුරුවත් එන්නෙත් නෑ. මම චාමිකයා තියලා ආවෙ." සිතිජ මගේ මුවට මුව ලං කරමින් කිව්වා.
මම එහෙම්මම ඇස් පියාගත්තෙ මගේ දෙතොලට ඔහුගෙන් ලැබුනු උණුසුම් ස්පර්ශය නිසා දැණුනු අමුතු හැඟීමත් එක්කමයි.
"මට ආදරෙයිද?" සිතිජ ටික වෙලාවකින් ඇහුවා. ඔව් මටත් දැනුනා ඒ ආදරේ බව. මම හෙමිහිට හිස වැනුවා.
"ම්ම්... මට ආදරෙයි නම් මේ දැන් වගේ අහිංසක කමට ඉන්න ඕනෙ. හැමදාටම." සිතිජ එහෙම කියලා මගෙ නළලට හාදුවක් දීලා ගියා. මම එහෙමම ඉඳන් කල්පනා කලේ මොකද්ද ඒ උනේ කියලා.
"ඒ අහිංසා මොකද මෙතන. අනික තනියම.." ඒ මුදිතා. පුංචි කාලෙ ඉඳන් මගේ පාසල් මිතුරිය.
"මු.. මුකුත් නෑ මුදිතෝ. මට නිකන් කැරකිල්ලක් වගේ ඇවිත් බිත්තියට හේත්තු උනා." මම බොරුවක් ගෙතුවා.
"උඹට අමාරුයිද?" මුදිතා කලබලෙන් ඇහුවෙ. මුදිතා මං වගේ නමින් අහිංසක නොවුනට ඇය අනිත් හැම අතින්ම හරිම අහිංසක කෙල්ලෙක්. ඒකි මට පණ උනත් දෙයි. යාලු ෆිට් එක ඒ තරම් ලොකුයි.
"නෑ නෑ දැන් හරි. ක්ලාස් එකට යමු නේද?" මම මුදිතාගෙ උරහිසෙන් අල්ලගත්තා.
"මූණ ටිකක් සෝදගෙන යමං." මුදිතා එහෙම කියලා ටැප් එකෙන් වතුර අරන් මගේ මූණෙ ගෑවා. මට දුක හිතුනා ඇයට බොරුවක් කියන්න උන එකට. මම ගොඩක් සයිලන්ට් එකේ ඉද්දි කාටත් ඒක ප්‍රශ්නයක් උනා. ඒත් මුදිතා කිව්වා මම අසනීපෙන් කියලා. චාමික ඈත ඉඳන් බලන් හිටියෙ දුකෙන් වගේ. ඒත් සිතිජගෙ මූණෙ තිබුනෙ හරි ජයග්‍රාහී හිනාවක්. මම ඒ දෙන්නා දිහා බලාගෙන කල්පනාවට වැටුනා.
ඒ විදියට කාලය ගත වෙද්දි අපේ ආදරේ දුර ගියා. අපිට නොදැනුවත්වම අපි අපේ උනා. මට නම් මේ වෙද්දි සිතිජ නැති ජීවිතයක් හිතාගන්නවත් බැරි උනා. ඒත් අදටත් අපේ සම්බන්ධය දන්නෙ චාමික විතරමයි.
"අහිංසා.." චාමික අපේ ගෙවල් ලඟ ලමයෙක්. හැමදාම විහිලු කර කර තමයි අපි එන්නෙ. ඒත් අද චාමික කතා කලේ වෙනද වගේ නෙමෙයි.
"ඇයි චමී..." මම හැරිලා ඔහු දිහා බලාගෙන නැවතුනා.
"යමං යමං යන ගමන් කතා කරමු." චාමික එහෙම කියාගෙන ඉස්සර උනා.
"උඹ සිරාවටම සිත්තාට කැමතිද?" චාමික ඇහුවා.
"ඇයි ඒ?" මම ඇහුවේ පුදුමෙන්. මෙච්චර දවසක් හැම දේටම උදව් කරලා මූ මොකද්ද මේ අහන්නෙ. එහෙමයි මට හිතුනෙ.
"නෑ නිකන්." චාමික ඉස්සරහා බලාගෙන කිව්වා.
"කියපංකො." මගේ ඇවිටිල්ල නිසාම චාමික කට ඇරියා.
"ඌ උඹට ආදරේ නෑ." චාමික කියද්දි මගෙ ඉහ මොළ රත් උනේ මේ වෙද්දි වෙන්න ඕනෙ හැමදේම වෙලා ඉවර නිසා.
"ඒ කිව්වෙ?" මම ඇහුවෙ ඇස් වලින් වැටෙන්න ඔන්න මෙන්න කඳුලක් නලියද්දි.
"ඌ මුදිතා එක්කත් යාලුයි." චාමික කියද්දි එක පිට එක හෙන සීයක් විතර ගහනවා වගේ මට දැනුනෙ. මම එහෙමම හිස බදාගෙන බිම ඉඳගත්තා.
"අහිංසා... ඒ... නැගිටපං. මේක පාර බං." චාමික මාව නැගිට්ටෙව්වා.
"අහිංසා කතා කරපං... ඒ ඒ අනේ බං.. මට තවත් උඹ රැවටෙනවා බලන් ඉන්න බැරි නිසයි කිව්වෙ. කතා කරපංකො." චාමික මගේ හිස අත ගාමින් කිව්වා.
"තවත් මොනව රැවටෙන්නද චමී. කවුරුවත් නොදන්නව උනාට මම දැන් සිතිජ නිසා ගෑණියෙක් වෙලා ඉවරයි." මම එහෙම කියනවත් එක්කම විදුලි සැරයක් වැදුනා වගේ චාමික එහාට විසි උනා.
"උඹට පිස්සුද යකෝ... හැමදේම මාත් එක්ක කියනවා. උඹ ඇයි ඔය ගොන් වැඩේ කරගන්න කලින් නිකමට මට නොකිව්වෙ?" චාමික මගේ කම්මුලක් රත් වෙන්න ගහලා කෑගැහුවා.
"චමී මං..." මට කියන්න උනේ නෑ චාමික මගේ අනිත් කම්මුලටත් ගැහුවා.
"තෝ වගේ ගොන් හරකෙක්." චාමික මාව තල්ලු කරලා ඉස්සරහට ගිහින් පාර අයිනෙ තිබුන ලයිට් කනුවක හිස ගහගෙන ගහගෙන ගියා.
"චමී... අනේ ඇයි මේ... චමී" මම පුලුවන් තරම් මහන්සි වෙලා චාමිකව නැවැත්තුවා.
"උඹ .... උඹ දන්නවද මම ආදරේ කරපු තරම්. ඇයි උඹ මෙහෙම දෙයක් කරගත්තෙ. අයියෝ මම නිසයි මේ සේරම." චාමික ඇඬුවා හොඳටම.
"චමී ඔයාගෙ වරදක් නෑ. මගේ කරුමෙ. මම මේ කරුමෙ ගෙවන්නම්." මම එහෙම කියලා ගෙදරට දිව්වා.
ගරා වැටෙන්න ඔන්න මෙන්න තියෙන කටුමැටි ගේ දකින හැම වෙලාවකම මගේ පපුව හෝස් ගාලා යනවා. අත්තම්මා දවල් වරුවර බබෙක් බලාගන්න යන්නෙ මට උගන්නන්න. ඒත් ඒ අසරණ මනුස්සයා දන්නව නම් මම කරගත්ත අපරාදෙ ගැන. මම එහෙම හිත හිතම කාමරේට ගිහින් ඇඳුම් මාරු කරන් ඇඳට වැටුනා.
"සුද්දියේ... ඇයි මයෙ පුතේ. අසනීපයක්ද?" අත්තම්මා තමයි මට අම්මා උනේ. මම අම්මගෙ බඩට එද්දි අම්මා මගේ වයසෙ විතර ඇතිලු. ඒ කියන්නෙ අවුරුදු දහ අටයි. මගෙ තාත්තා කවුද කියලා අත්තම්මා දන්නෙ නෑ. මම ඉපදෙනකොටම අම්මත් නැති වෙලා. ඉතින් එදා ඉඳන් මගේ අම්මා තමයි අත්තම්මා.
"නෑ අත්තම්මේ.. හිසේ කැක්කුමයි වගේ. අත්තම්මා දැන්ද ආවෙ." මම හිනාවෙලා ඇහුවා.
"ඔව් පුතේ හප්පා හරි මහන්සියි. මම පාන් ගෙඩියක් ගෙනාවා මොනව හරි රත් කරන් රෑට කමු." අත්තම්මා එහෙම කිය කිය ගේ පිටිපස්සෙ ලිඳට ගියා.
මම මගේ ප්‍රශ්නෙ හංගගෙන මාසයක් විතර හිටියා. ඒ මාසය තුලදි මම දැනගත්තා මුදිතාගෙන් ඒ දෙන්නගෙ සම්බන්ධයට දැන් සති කීපයයිලු වෙන්නෙ. ඒ කියන්නෙ මාත් එක්ක සම්බන්ධය පටන් අරන් ටිකක් කල් ගියාට පස්සෙයි ඒක පටන් අරන් තියෙන්නෙ. මම මුදිතාගෙ සතුට වෙනුවෙන් සිතිජගෙන් ඈත් වෙන්න උත්සාහ කලා. ඒත් අත්තම්මා නැති හැම සෙනසුරාදා රෑකම සිතිජ අපේ පුංචි පැල හොයාගෙන ආවෙ පුරුද්දකට වගේ. සති දෙකකට සැරයක් සෙනසුරාදට අත්තම්මා වැඩ කරන ගෙදර නවතිනවා. මුලදි මුලදි මාත් එහේ ගියත් දැන් මම පාඩම් කරනවා කියලා හිතාගෙන අත්තම්මා මට කතා කරන්නෙත් නෑ. අත්තම්මා මගෙ ගැන පූර්ණ විශ්වාසය තියලයි තිබුනෙ.
"මේක දුර යනවා වැඩියි සිත්... අපි මේ කරන වැඩේ වැරදියි." සිතිජ මගේ පපුව මත හිස තියාගෙන නිදියන්න ලේස්ති වෙද්දි මම කිව්වා.
"මට දැන් ඔයා නැතුව බෑ අහිංසා." සිතිජ මගේ ලැම සිපගෙන කිව්වා.
"සිත් මම දන්නවා ඔයා මුදිතා එක්ක.." මම එහෙම කියද්දි සිතිජගෙ හිස එසවුනේ එක පාරටමයි.
"මොකද්ද?" සිතිජ ඇහුවෙ පුදුමෙන්.
"මම හැමදේම දන්නවා සිත්. මම අහන්නෙ නෑ ඇයි මට මෙහෙම කලේ කියලා. ඒත් එක ඉල්ලීමක් කරනවා දැන් ඉඳන් මාව අමතක කරලා ඔයා මුදිතා එක්ක සතුටින් ඉන්න. මට මේ කරපු දේ එයාට කරන්න එපා." මම ඇස් වලින් කඳුලු වැටෙද්දි සිතිජගෙ කකුල් දෙක බදාගෙන කිව්වා. එදා රැයෙන් පස්සෙ සිතිජ මට මූණ දුන්නෙ නෑ. මම හිත හදාගෙන ඉවසීමෙන් බලාගෙන හිටියා. මුදිතාගෙ සතුට වෙනුවෙන් මම දරාගත්තා.
ඒත් දවසක් උදේ පාන්දර මට වමනෙ ගිහින් කලන්තයක් වගේ ආවා.
"වෙලාවට අත්තම්මා අද වේලාසනින් ගියේ. නැත්නම් බය වෙයි." මම එහෙම හිත හිත මූණ ටිකක් සෝදගෙන ඇඳට වැටුනා. ඇඳේ ඉද්දි එක එක දේවල් කල්පනා උනා.
"අම්මට වගේම මටත්?" මට කල්පනා උනේ එච්චරයි. එතනින් එහාට කිසිම දෙයක් මට හිතුනෙ නෑ. මම ඉක්මණට ලේස්ති වෙලා ඉස්කෝලෙ ලඟට ගියා.
"නංගී... නංගී උදව්වක් කරනවද?" ගෙවල් ලඟ නංගි කෙනෙක් පාසල් මිදුලේ හිටපු නිසා මම ඇයට කතා කලා.
"අහිංසා අක්කේ අසනීපෙන්ද? මොකද මේ මූණත් ඉදිමිලා."
"ඔව් මට ටිකක් සනීප මදි. උදව්වක් කරන්නකෝ. අපේ ක්ලාස් එකේ චාමිකට කියනවද මෙතෙන්ට ඇවිත් මාව හම්බෙන්න කියලා." මම කියපු සැනින් කෙල්ල හිනා වෙලා උඩට දිව්වා. ටිකකින් චාමික ආවා.
"අහිංසා ඇයි? මොකද උනේ?" චාමික ආවෙම එහෙම අහගෙන.
"චාමික... මට ප්‍රශ්නයක්." මම ඉක්මණින් කිව්වා.
"ඇයි කියපංකො සේරටම කලින්." චාමික කලබල වෙලා.
"මට බයයි. මාව ඩොක්ටර් කෙනෙක් ලඟට එක්කන් යනවද?" මම ඇහුවා. මේ වෙලාවෙ උදව්වක් ගන්න පුලුවන් එකම කෙනා චාමික විතරයි.
"ඔහොම ඉඳපං." චාමික ක්ලාස් එකට දුවලා පොත් ටිකත් අරන් එලියට ආවා.
"යමං. මට කියපං මොකද්ද ප්‍රශ්නෙ?" චාමික දිගට ඇහුවත් මම මුකුත් කිව්වෙ නෑ.
"මේ ලමයා පේෂන්ට්ගෙ කවුද?" ඩොක්ටර් ඇහුවෙ චාමිකගෙන්.
"ආ.. මේ මගේ මල්ලි ඩොක්ටර්." මම ඉක්මණින් කිව්වා. චාමික හිටියෙ යුනිෆෝම් එකෙන් නිසා මම බය උනා චාමිකගෙ නම කැත වෙයි කියලා.
"හා ඔය ලමයගෙ වයස කීයද?" ඩොක්ටර් මගෙන් ඇහුවා.
"විසි හතරයි." මට සාධාරණ සැකයක් ඇති උනා මේ අසනීපය ගැන. ඒ නිසා මම බොරු කිව්වා.
"මැරි කරලා කොච්චර කල්ද?" ඩොක්ටර් අහද්දි මගේ සැකය තවත් තහවුරු උනා.
"ම්ම් දැන් මාස පහක් වෙනවා ඩොක්ටර්." මම හිත හදාගෙන දිගටම බොරු කිව්වා.
"හ්ම්ම් එහෙනම් සුබ ආරංචියක්. ඔන්න ඔයාගෙ අක්කා ප්‍රෙග්නන්ට් වෙලා. මාමා කෙනෙක් වෙන්නයි යන්නෙ." ඩොක්ටර හිනාවෙලා චාමිකට කියද්දි චාමිකගෙ ඇස් දිලිසුනා.
"තෑන්ක් යූ ඩොක්ටර්." මම එහෙම කියලා නැගිටලා එන්න හැදුවෙ.
"හස්බන් මොනවද කරන්නෙ?" ඩොක්‍ටර් එක පාරටම ඇහුවා.
"අයියා ආමි එකේ ඩොක්ටර්." චාමික කියද්දි මගෙ හිතට දැනුන සහනය වචනයෙන් කියලා නිම කරන්න බෑ.
"ආ රණවිරු පැටියෙක්. ගුඩ් ලක්." ඩොක්ටර හිනා වෙලා කිව්වා.
"උඹ මොකද්ද මේ කරගත්තෙ." චාමික ඇහුවෙ මාව කන්න තරම් තරහකින්.
"තෑන්ක් යූ ආවට. මම ගෙදර යන්නම්." මම එහෙම කියලා ගෙදර ආවා. චාමික බලාගෙන ඉඳලා යන්න ඇති. මම ගෙදර ආව ගමන්ම කලේ ඇඳුම් ටික බෑග් එකකට අසුර ගත්ත එක. අත්තම්මා එන්න කලින් කොහොම හරි පැන ගන්න ඕනෙ කියලයි මම හිතුවෙ.
එදා අත්තම්මට හොරෙන් ඇවිත් ගෙයක් ගෙයක් ගානෙ බැල මෙහෙවරකම් කරලා මම මගේ ජීවිතේ ගැටගහගත්තා. එක දවසක් හම්බ උන නෝනා කෙනෙක් මාව එයාගෙ ගෙදර වැඩට ගත්තා. එයා හිටියෙ තනියම. සැන්ඩ්‍රා මිස්. එයා මාව දරුවෙක් වගේ බලාගත්තා. ඉතිං ගමත් එක්ක කිසිම සම්බන්ධකමක් තියාගන්න මට ඕන උනේ නෑ. කාලය ගතවෙලා මට ලැබුනෙ පුතෙක්. ඒත් එයා ඉපදිලා දවස් හතයි ජීවත් උනේ. එයා මැරුනා. එක අතකට හොඳයි. තාත්තෙක් නැති දරුවෙක් ජීවත් වෙලා එක එකාගෙන් කතන්දර අහනවට වඩා කොච්චර දෙයක්ද මැරුණ එක. මම හැමවෙලාවෙම එහෙමයි හිතුවෙ.
අවුරුදු පහක් ගත වෙලා මම තාමත් හැම හවසකම සැන්ඩ්‍රා මිස් එක්ක මුහුදු වෙරළට ඇවිත් බිඳෙන රළ දිහා බලාගෙන කල්පනා කරන්නෙ මගෙ ජීවිතේට උන දේ. එක පාරටම හිතුනෙ අත්තම්මව බලන්න. ගමෙන් ආවට පස්සෙම මම ගමේ ගියෙ නෑ. මේ අවුරුදු පහට මම වෙනස් වෙලා. කාටවත් අඳුරගන්න බැරි තරම් මම වෙනස් වෙලා. සැන්ඩ්‍රා මිස්ගෙ බියුටි කල්චර් වැඩත් එක්ක මම ටිකක් ලස්සන වෙලා.
"විහාරි... මොකද?" මුහුදු රළ දිහා බලන් කල්පනා කර කර ඉද්දි සැන්ඩ්‍රා මිස් මගෙ ලඟට ඇවිත් ඇහුවා.
"දුවට ඕනෙ නම් අපි ගමේ යමු." සැන්ඩ්‍රා මිස් කිව්වා. මම ඉඳන් උන් තැනින් නැගිට්ටෙ එක පිම්මට. අපි ගෙදර ඇවිත් ලේස්ති වෙලා ගමේ ආවා.
"අත්තම්මා..." මම මිදුලෙ ඉඳන් කතා කලා.
"සුද්දී... මගේ සුද්දි ඇවිත්. මගෙ කෙල්ල.." අත්තම්මා කියව කියව එලියට ආවත් මගේ දිහාත් සැන්ඩ්‍රා මිස් දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා.
"මේ නෝනලා කාව හම්බ වෙන්නද?" පිටිපස්සෙන් ඇහුනෙ පිරිමි කටහඬක්. මම හැරිලා බැලුවා.
"චාමික..." මගේ ඇස් ලොකු උනා.
"අහිංසා..." චාමික මාව දැක්ක ගමන් අඳුර ගත්තා.
හැමදේම අත්තම්මටයි චාමිකටයි කියලා ඉවර වෙද්දි හවස් උනා. මායි චාමිකයි මිදුලට බැස්සෙ ටිකක් නිදහසේ කතා කරන්න.
"අම්මා යමු අපි එක්ක." සැන්ඩ්‍රා මිස් අත්තම්මගෙ අතින් අල්ලගෙන කිව්වෙ අපි එලියට බහිද්දිමයි.
"අනේ මට මයෙ පැල් කොටේ හොඳයි නෝනෙ. මගෙ කෙල්ලව බලාගත්තට පිං." අත්තම්මා සැන්ඩ්‍රා මිස්ගෙ අත් දෙකම අල්ලන් සිපගත්තා.
මම ඇස් වල කඳුලු පිසදාගෙන චාමිකගෙ පැත්තට හැරුනා.
"අර දෙන්නා බැඳලා දැන් දුවෙක් ඉන්නවා." චාමික කිව්වා.
"හ්ම්ම්... හොඳයි. මට ඕන උනෙත් ඒකනෙ." මම හිත සැනසීමෙන් කිව්වා.
"උඹ බඳින්නෙ නැද්ද?" චාමික ඇහුවා.
"කවුද බං මාව බඳින්න එන්නෙ දැන්. මට මේ ජීවිතේ හොඳයි." මම දිගු හුස්මක් පහත දාන ගමන් කිව්වා.
"හ්ම්ම්.." චාමික සුසුමක් හෙලලා ගේ පැත්ත බැලුවා.
"උඹට ගොඩක් පිං මගෙ අත්තම්මව බැලුවට." මම කියද්දි චාමික හිනා උනා.
"ඇයි?" මම ඇහුවෙ චාමිකගෙ හිනාව ඇතුලෙ මොකක් හරි කතාවක් තියෙනවා කියලා දැනුන නිසා.
"මම කලේ මගෙ යුතුකම. උඹ වෙනුවෙන් කරන්න තිබුන යුතුකම." චාමික කිව්වා.
"ඒ කිව්වෙ?" මම චාමිකගෙ අතින් අල්ලලා ඇහුවා.
"සිතිජ උඹ ගැන හිතන්න කලින් මම උඹ ගැන හිතුවෙ. ඒත් මම පරක්කු උනා. මම ඉස්සර උනා නම් උඹට මෙහෙම වෙන්නෙ නෑ. ඒ නිසා මට කරන්න පුලුවන් උපරිමය මම අත්තම්මා වෙනුවෙන් කලා. උඹ කවදා හරි එයි කියලා හිත කිව්වා. ඒ නිසා හැමදවසකම ඉවසුවා. මං හිතන්නෙ දැන් ඉවසුවා ඇති." චාමික කිව්වා.
"ඒ කියන්නෙ?" මම ඇහුවෙ මට හිතාගන්න බැරි උනා චාමික මට ආදරේ කරපු බව.
"මම කැමතියි උඹව බඳින්න. උඹ මොකද කියන්නෙ?" චාමික කෙලින්ම ඇහුවා.
"මම? මම දැන්..." මම කියන්න හදද්දිම චාමික මාව ඇදලා අරන් වැළඳ ගත්තා.
"දැන්වත් මම කියන දේ අහන්න" චාමික ආදරෙන් කියද්දි ඒ ආදරේ ලඟ මගෙ හිත නැවතුනා.
"විහාරි මොකද කියන්නෙ?" සැන්ඩ්‍රා මිස් ඇහුවා.
"මම.." මම සැන්ඩ්‍රා මිස් දිහා බැලුවා.
"මම නම් කැමතියි." සැන්ඩ්‍රා මිස් කිව්වා.
"මාත් කැමතියි සුද්දියේ." අත්තම්මා මගෙ ලඟට ඇවිත් හිස අත ගෑවා.
මම හිනාවෙලා ඒ අයගෙ තීරණයට හිස නැමුවා. එදා අපි හතර දෙනාම සැන්ඩ්‍රා මිස්ගෙ ගෙදර එන්න ආවා. මගදි සිද්ධ උන ඇක්සිඩන්ට් එකෙන් ඒ තුන් දෙනාම සදහටම ඇස් පියා ගනිද්දි තවත් පව් ගෙවන්න මම විතරක් ඉතුරු උනා.
ඉපදෙන්න ඉද්දිම තාත්තා දාලා ගියා. ඉපදෙනකොටම අම්මා මැරුනා. මිනිහෙකුට රැවටිලා දරුවෙක් බඩට ආවා. දරුවා ඉපදෙනකොටම මැරුනා. අන්තිමට මගේ කියන්න ඉඳපු අත්තම්මා සැන්ඩ්‍රා මිස් මට ආදරේ කරපු චාමිකත් මට නැති උනා.
"ඇයි මම විතරක් ඉතුරු උනේ." හැම හවසකම මුහුද දිහා බලාගෙන මම කල්පනා කලා. සමහරු මගෙ දිහා බැලුවෙ හරි අනුකම්පා හිතෙන විදියට.
"ඇයි මාව අරන් නොයන්නෙ? ඇයි මට විතරක් උඹ දුර." මම මුහුද දිහා බලාගෙන කෑ ගහලා ඇහුවෙ මාරයාගෙන්.
"පව් නේද?" කෙනෙක් කියනවා ඇහිලා මට හිනා ගියා. හයියෙන් හිනා ගියා. හති වැටෙනකන් මම හිනා උනා. වෙන කාටවත් නෙමෙයි මගේ දෛවයට මගේ ඉරණමට මම හිනා උනා.
අවසානයි.
තෙරුවන් සරණයි
By Sherangi Shanika.
උපුටා ගැනීමකි
No comments:
Post a Comment