කෙටි කතාව
වියපත් පිය සෙනෙහස
සතර දිගින්ම අඳුරු ගලන් එද්දි, ගල්කිස්ස මුහුදු තීරයට සමුදී තම නිවස බලා යන ජනකාය අතරින් මම මුහුදු තීරයේම තනි උනෙමි. මාගේ කතාවට මුලක් සෙව්වෙමි. කිසිවෙකුත් නැති මුහුදු තීරයේ මේ ඇසෙන සියුම් ඉකිබිඳුක කාගේද??
මං මාගේ ආම්පන්න ටික පසෙකලා මදක් වටපිටට සවන් දුන්නෙමි...ඒ මහළු මිනිසෙකි... ඔව්, ඔහු අඬනවා.
"මගේ තාත්තා වගේ නේ..."
මට සිතුනේ එපමණයි. මම ඔහු වෙත ගියෙමි...
"තාත්තේ.. මේ රෑ වේගන එන්නේ. තාත්තා කොහෙද ඉන්නේ. මං ඇරලවන්නද? " ඒ අසරණ තාත්තා මා දෙස තවත් අසරණ ලෙස බැලුවේය
"පුතේ, මාව කොහේ ඇරලවන්නද පුතේ, උඹ දවසක දකී, මෙතැනම මං වැටිලා ඉන්නවා.එදාට මාව ඇරලවපන්.." ඔහුට කැස්සත් ඇත. ඔහු පපුව අල්ලන් කහිනවා.ඒ අතර ඔහු ඉකි ගසයි. ඔහු යමක් සිතේ හිර කරන් ඉන්නවා. ඔහුට පැවසීමට යමක් ඇත.
මාගේ ඉල්ලීම පරිදි ඔහු එය පැවසුවා.....
"පුතේ, මේ මගේ ගෙදර, මේ ගල උඩ තමයි මම අවුරුදු 8ක් තිස්සේ ඉන්නේ, අවුරුදු 8කට කලින් මම කුලී වැඩ කලා, මට වාරු නැති වෙද්දි මට උරුම උනේ මෙතන තමයි.." නැවතත් අර පෙර කැස්සම පටන් ගත්තා.පපුව අල්ලන් ඔහු කතාව පටන් ගත්තා. "මම බැඳලා හිටියේ සමන්ති කියලා කෙනෙක්ව.අපිට පුතෙක් හිටියා. මම ඒත් කලේ කුලී වැඩම තමයි. අපි ගොඩාක් සතුටින් ආදරෙන් හිටියා.. ඔහොම ඉද්දි සමන්තිට තව දරුවෙක් ලැබෙන්න හිටියා. පුතාටයි සමන්තිටයි මම කිසි අඩුවක් කලේ නෑ.සමන්තිගෙ බඩට මාස 8ක් උනා විතරයි, මං පලංචියකින් වැටුනා. එදා ඉඳලා තමයි අපිට ප්‍රශ්න එන්න පටන් ගත්තේ.මට රස්සාව නැති උනා. අගහිඟකම් තදින්ම දැනුනා.සමන්තිට දරුවෙක් ලැබුනා.දරුවෙක් නෙමෙයි.. දරුවො දෙන්නෙක්. එදාම සමන්ති අපි 4 දෙනාව තනි කරලා ගියා..." ඔහු ඉකිගසයි... වේදනාවෙන් හඬයි.... "රස්සාවක් නැති මම දරුවෝ තුන් දෙනෙක් හදන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නයක් උනේ..
කොහොම හරි සමන්තිගේ මරණයෙන් පස්සේ කොළඹ ඉන්න මගේ යාළුවෙක් ආවා. එයාගෙත් යාළුවෙක් හදාගන්න දරුවෙක් හොයනවා කිව්වා.එදා එයාව දෙවියො එව්වා වගේ. මගේ එක දරුවෙක් මම දුන්නා.මගේ චූටිම දුව, එයාට ඒ වෙද්දි වයස මාසයක් වත් නෑ.මම එයාව දුන්න.... සමන්ති බඩත් උස්සන් හරි සතුටින් මහපු රෝස පාට ලස්සන ලේන්සු පොඩියෙන් ඔතපු මගේ රෝස මල එයාලට දුන්න.අඬ අඬම දුන්නා.. මගේ සමන්තිගෙන් සමාව ඉල්ල ඉල්ල දුන්න." ඔහු නැවතත් ඉකි ගසයි..
" කාලයක් ගත උනා. මම ලොකු පුතයි පොඩි දුවයි එක්ක හිටිය.. මම උන් දෙන්නව කොහොම හරි හැදුවා.. ලොකු පුතාට අවුරුදු 25ක් වෙද්දී ගෑණියෙක් කැන්දන් ආවා.මටත් නොකියම.මම මුකුත් කිව්වේ නෑ.ඇත්තටම මට මුකුත් කියන්න දුන්නේ නෑ. කාලයක් ඉද්දි පුතාට දාව දරුවෙක් ලැබෙන්න හිටියා. ඒ අතර මම අපේ ගේ කෑල්ල දරුවෝ දෙන්නට ලිව්වා.පොඩි දුව බඳින්න කැමතී කියලා කොලුවෙක් ආවා. මගේ හිතට නම් ඇල්ලුවේ නෑ. මගේ අකමැත්තෙන්ම දුව මටත් නොකියා මඟුල් කෑවා.. පුතයි ලේලී නම් ගිහින් තිබුණා.ඒකත් මම දන්නේ පස්සේ... කොහොම හරි පුතාටත් දරුවෙක් ලැබුනා.
මට ඉතින් අඩුවක් නැතුව සමන්තිවම මතක් වෙනව.. තෙරුවන්සරණින් මගේ මුණුපුරා හොඳින් ලොකු මහත් වෙනවා.." ඔහු ටිකක් නිහඬ විය. විටින් විට එන කැස්සෙන් ඔහු විඩාවට පත් වී ඇත.පපුව අත ගාමින් නැවතත් ඔහු කතාව පටන් ගත්තා....
"මොන හේතුවකටද මංදා දවසක් දා පුතා මට බැන්නා.. උගේ ගෑණිගෙ බොරු වැරදි මං පුතාට ඉගැන්නුවලු.... මොකටද පුතේ මේ නාකි මිනිහා ඕවා කරන්නේ.... කොහොමත් ලේලිට මාව රුස්සන්නේ නෑ. කොහොමින් කොහොම හරි අන්තිමට මාව පුතා එලෙව්වා.... උගේ දෑහට නොපෙනීම යන්න කිව්වා...." ඔහු නැවතත් අඬනවා.... කහිමින් අඬනවා....
"මං එලියට බැහැලා ආවා. මේ මගේ උරුමේ කියලා හිතලා අවා.ඒත්, ඒත් මං උන් දෙන්නට කිසි අඩුවක් කරල නෑ.. අම්මා නෑ කියලා වෙන ගෑනියෙක් ගෙනාවේ නැත්තේ, ඒ ගෑණිගෙන් මගේ දරුවො දෙන්නට අඩුවක් වෙයි කියලා හිතලා... එහෙම කරපු තාත්තා තමයි මේ මුහුද ලඟ තනි උනේ.හිඟන්නෙක් වගේ.."
මේ කැස්ස නම් ඉවරයක් නැති හැඩයි.. මං වතුර ටිකක් පෙව්වා.. "මේ පුතාට පිං,මැරෙන්න කලින් මේ දේවල් කියන්න කෙනෙක් නැතිව හිටියේ, දැං නම් අද මැරුනත් කමක් නෑ"
"මං කුලී වැඩ කලා.මගේ කෑම වේල පිරිමහගෙන, පොඩි කාමර කෑල්ලක් අරන් මන් හිටියේ.. මට ඇඟේ පතේ වාරු නැති වෙනකොට මට වැඩ කරගන්න බැරි වෙනකොට, මට උරුම උනේ මේ ගල තමයි..." "මෙතන අව්වට වේලෙනවා. වැස්සට තෙමෙනවා... සමහර දාට අකුණු ගහනවා. ඒත් මම මෙතනම තමයි.. මූදු හුලඟ මේ වයසක ඇඟට රුස්සන්නෙ නෑ පුතේ... පේනවා ඇති නේ මේ කැස්ස.. මාසයක් හමාරක් ඉඳලා මේ.. අනේ මේ මාස එකහමාර ඇතුලෙ වෙච්ච දේවල් "
ඔහු සුසුමක් හැරියා.කතාවේ වැදගත්ම කොටසට ආ වග මට දැනෙනවා.... මම හරි බරි ගැසුනෙමි.....
සඳ දකින තුරු රෑ වෙලා කියලා දැනුනේ නෑ...තදා සුලඟක් අපි ව පසු කරන් ගියා...මුළු ඇඟ පුරාම හිරිගඩු පිපුණා. අනේ මේ තාත්තා මේ සීතලේ කොහොමද ඉන්නේ.. මට තිබුන එකම ප්‍රශ්නේ ඒකයි..ඔහු නැවතත් කතාව පටන් ගත්තා
"මේ සීතලට, හුලඟට මට උණ ගත්තා. ඒ එක්කම කැස්සක් ආවා.. මට බැරිම තැන ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගියා. පුංචි දොස්තර නෝනෙක් හිටියේ.. මට බෙහෙත් දුන්න.ටිකක් සැරෙන් බැන්නා.මේ තරම් කල් බෙහෙත් නොගත්තේ ඇයි කියලා.. පිටින් ගන්න බෙහෙතක් දුන්නා.. ඒක ගන්න මට කොයින්ද සල්ලි.නිකන් දුන්න බෙහෙත් ටික බිව්ව මම. දවස් 5කින් පස්සෙ මට ආයෙත් වැඩි උනා.. ඊටත් වඩා අර පුංචි දොස්තර නෝනා බලන්න ආස හිතුනා. හරි සිරියවන්ත දරුව.... මං ආයෙත් ගියා" එවර නම් ඉකි බිඳුමට වඩා මන්දහාසයක් මුව රඳවාගෙන ඔහු මදක් සිටියා.. සඳ එළියෙන් ඔහුගේ දෑසේ කඳුලු කැට දිලිසෙනවා......
"එදත් ඒ පුංචි නෝනා මට බෙහෙත් ලිව්වා.. කලින් පිටින් ගන්න කිව්ව බෙහෙත් නොගත්තා කියලා බැන්නා. මං මගේ අසරණකම කිව්වා. මට බෙහෙත් ගන්න සල්ලි දුන්නා.හොරෙක්, වංචාකාරයෙක් කියලා මං ගැන හිතුවේ නෑ ඒ නෝනා. ඇත්තටම මගේම දරුවෙක්ටත් වඩා මට සැලකුවා.ඒ ලෙංගතුකම මට දරාගන්න බැරි උනා. පහුවෙනිදා අනිවාර්‍යෙන්ම ඒ නෝනාව ඇවිත් හම්බ වෙන්න කීවා.. ඒ විදියටම මම පහුවෙනිදා ගියා.. මාව ත්‍රී වීල් එකක නග්ගල කොහෙදෝ ගෙනිච්චා... අනේ අසරණ මාව කොහේ ගෙනිච්චත් මොකෝ කියලා මම ගියා..."
"මහා බංගලාවකට ආවා. මාව පොඩි කාමර කෑල්ලකට ගෙනිච්චා.එදා ඉඳාලා ඒක මගේ නවාතැන උනා. මෙහෙමයි වෙලා තියෙන්නේ.ඒ නෝනට මං ගැන අනුකම්පා හිතිලා. ඒ නෝනාගේ දෙමාපියන්ගෙන් අහලා, එයාලාගේ වත්තේ කොනක කාමර කෑල්ලක් මට දුන්නා. මට හරි ලැදියි ඒ චූටි නෝනා.. මටත් තාත්තේ කියලා කිව්වේ.. මට ඒ ගෙදරින් කන්න දුන්නා..." ඔහු ඉකිබිඳින්න් පටන් ගත්තා.. නැවතත් කැස්ස ආවා.. ඒත් කතාව කියනවා.
"දවසක් ඒ ගෙදර ලොකු නෝනාගේ උපන්දිනය කියලා කිරිබත් කෑල්ලක් කන්න මට එන්න කීවා. මං ඒ බංගලාවට පය තිබ්බ මුල්ම දවස ඒ. හරියටම මීට දවස් 9කට කලින්. මාව දැක්ක ඒ මහත්තයා ටිකක් කලබල උනා.. ඒ එක්කම ගෙදරට තව මහත්‍තයෙක් ආවා. ඒ මහත්තයා නම් මාව හොඳට අඳුරගත්තා.මාත් උන්දෑව අඳුරගත්තා. ඒ මගේ කොලඹ යාලුවා.. මාව අඳුරන වගක් මට පෙන්නුවේ නෑ.මට ටික ටික තේරුනා..ඒ ලොකු නෝනා, ලොකු මහත්තයා එයාගේ දොස්තර දුව පොඩි කාලේ ගත්ත පොටෝ එකක්. ලොකු කරලා.රාමු කරලා." ඔහු ඉකිබිඳිනවා....
"ඒ අම්මයි තාත්තයි වඩන් හිටපු දරුවව ඔතල තිබ්බ රෙදි කෑල්ල, ඒ මගේ සමන්තිගේ මැහුම්... මගේ සමන්ති බඩත් උස්සන් මහපු රෙද්දක්. මට ඔක්කොම තේරුණා... පුංචි නෝනා අපි ඔක්කොටම වැඳලා පිටත් උනා වැඩට යන්න.පුංචි නෝනා ඔය මුකුත්ම නොදන්න හැඩයි. මට මේ වැන්දේ මගේ ලෙයින් හැදුන දරුවා නේ... කියල විතරයි මට හිතුනේ... මං ඇඬුවේ නෑ.. නෝනා ඒක දැනගනි කියලා" ඔහු අඬනවා. තව තවත් අඬනවා....මගේ ඇස් වලත් කඳුළු... "අන්තිමට ඒ ලොකු නෝනා මට වැන්දා. වැඳලා කිව්වා, දරුවව නම් ඉල්ලන්න එපා කියලා... මට තව දුරටත් එහෙ ඉන්න බෑ.දරුවා මගේ යන්න රහසක්... එය රහසක්ම ලෙස තියා ගන්න එක පොරොන්දුවක්. මගේම දරුවො දෙන්නෙක් මාව එපා කියද්දි, මං තාත්තා කියල නොදැන මේ දුව මට මෙහෙම සැලකුව එකට මම සතුටු උනා... මම එවෙලෙම එහෙන් පිටත් උනා.... අන්තිමට මේ ගල උඩටම ආවා. ඒත්, හිතේ සැනසීමෙන්, එක දරුවෙක් හරි මට සැලකුවානේ කියලා හිතනවා....."
ඔහු අඬනවා.. ඉකි ගසන්නේ නැති උනත් ඔහු අඬනවා... කඳුලු නාවත් ඔහු අඬනවා.. මේ ජීවිතෙන් සමුගන්න තුරුම ඔහු අඬනවා... වරෙක අහිමි වූ දරුසම්පත.. නැවත හමුවිය.එහෙත් වෙනස් කෙනෙක් ලෙස. තමාට දාව ඉපිද, තමාගෙ සෙවනේ හැදුනු, දරුවන්ට තමාව එපා වෙද්දී, තමා පියා යැයි නොදැන, පියෙකුට සේ සලන දරුවෙක් ඔහුට හිමිවිය, දෛවයේ සරදමකට මෙන්, ඒ ඔහුට දාව උපන් දියණියක්ම විය. තමාගේම දුව බව දැන දැන එහෙ සිටිය නොහැක. එහෙත් ඇය ගැන හිමිකම් කිව නොහැක. එය රහසකි.. තවත් කෙසේ ඇය දැක දැක පිච්චෙන්නද.. ඒ නිසා ඔහු එන්න ඇති....... .........
කතාව කියෙව්වට ස්තූතිය. ඔයාගේ අදහසත් comment කරලම යන්න
උපුටා ගැනීමකි
No comments:
Post a Comment