කෙටි කතාවකි..(රැග් එක.)
එක්තරා විශ්ව විද්‍යාලයට යෑම සඳහ සුදුසුකම් ලද තරුණයෙක් තමන්ගේ විශ්ව විද්‍යාල ජීවිතය ගැන සිහින දකිමින් ද අංශ භාගය හැදුණු පියාද හතියෙන් පීඩා විදින මවද බලා කියා ගැනීමට තම වැඩිම වැඩිමහළු සහෝදරියට උදව් දෙමින් තමාගෙ මහන්සියෙන්ම ඉපැයූ මුදල් වලින් තම ඉගෙනීම කටයුතු සියල්ල කරගැනීම පිළිබඳව ආඩම්බර වෙමින්ද පසු විය.
විශ්ව විද්‍යාලයට යෑම සඳහා අවශ්‍ය සියලු කළමණාකරන ආදිය සූදානම් කරගත් ඔහු නියමිත දිනය එළඹි පසු විශ්ව විද්‍යාලයට යෑමට පිටත් විය.
විශ්ව විද්‍යාලයේම වූ නේවාසිගාරයේ නවාතැන් ගත් ඔහු තම නව යහළු යෙහෙළියන් හා සතුටු සාමිචියේ යෙදුණේය.
සියලු දෙනාම වැඩියෙන් කතා කළ කරුණ වූයේ තමන්ට විඳීමට සිදුවනා නවක වධය කෙලෙස වේ දැයි කියාය.
මසක පමණ කාලයක්ම තරුණයා හා ඔහුගේ පීඨයේ වූ මිතුරු මිතුරියන් හට නවක වධය විඳීමට සිදු නොවූයේ එම මස තුළම විශ්ව විද්‍යාලයට නවක සිසු සිසුවියන් බඳවා ගත් බැවිනි.
නවක වධ කාලය එළඹියේය. තරුණයා හා ඔහුගේ මිතුරන් කීප දෙනෙකු එයින් කෙසේ හෝ ගැළවී සිටියද එක් දිනක් තරුණයා ප්‍රමාද වී සිය අධ්‍යන කටයුතු සඳහා විශ්ව විද්‍යාලය තුළට දුවමින් සිටියේය.
"ඔහොම් නැවතියං" එකවර ආ කටහඬකින් තරුණයාගේ දිවිල්ල මදකට පසුබෑමට ලක් වෙන ලදි.
"උඹව මම දැක්කෙම නෑ නෙ. හැංඟිලා නේද හිටියේ"
"නෑ අයියේ?"
"අයියේ? කියපං නෑ ජේෂ්ඨ උත්තමයණි කියලා." තරුණයා කරා පැමිණි තව තරුණයන් දෙදෙනෙක් පැවසුවේය.
"න්..න්.නෑ..ජේෂ්ඨ උත්තමයාණෙනි" එකවර සිතට පැමිණි විලිය නිසා මදක් වෙව්ලමින් තරුණයා පැවසුවේය.
"ඈ..මොකද්ද උඹ කිව්වේ? හයියෙන් කියපං" එක් ජේෂ්ඨ උත්තමයෙක් පැවසුවේය.
"නෑ ජේෂ්ඨ උතුමානෙනි" මද කෝපයෙන් යුතුව තරුණය පැවසුවේය.
"මුගේ රැස් බලපංකෝ. ගලවපන් සෙරෙප්පු දෙක" අනෙක් ජේෂ්ඨ උත්තමයා පැවසුවේය.
තමා ඉතා මහන්සියෙන් උපයාගත් මුදලින් මහත් ආසාවෙන් ගත් සෙරෙප්පු දෙක දෙස මොහොතක් බලා සිටි තරුණයා සෙරෙප්පු දෙක ගැලෙව්වේ ය.
"හරි දැන් උඹට පේනව නේද අතන මඩවලක් තියෙනවා. සෙරෙප්පු දෙක මඩවලට දාල උඹත් ඒ වලට බැහැලා සෙරෙප්පු දෙක පාග පාග කියපං මම අම්ඹරුවෙක්. මම සී සාමි. කියලා." ජේෂ්ඨ උත්තමයා නැවත පැවසුවේය.
ඉතා දුක සේ තම සෙරෙප්පු දෙක දෙස බලා සිටි තරුණයා ගැළවීමට මඟක් නැති බව වටහාගෙන තම සෙරෙප්පු දෙක මඩ වලට දමා තමාද මඩවලට බැස සෙරෙප්පු දෙක පාගමින් "මම අම්ඹරුවෙක්. මම සී සාමි." යනුවෙන් පැවසුවේය.
"ඔහොම බෑ. වටේට කැරකි කැරකි." සිනහසෙමින් අනෙක් ජේෂ්ඨ උත්තමයා පැවසුවේය.
ඉන්පසු තරුණයා මඩ වළ තුළම වටේට කැරකෙමින් තම "මම අම්ඹරුවෙක්.මම සී සාමි" යනුවෙන් පැවසුවේය.
තමා අලුතින්ම ගත් දිගු කලිසම පුරාවටද මඩ පැල්ලම් දුටු තරුණයාට අසීමිත ලෙස දුක සිතුණි. මෙය දුටු එක ජේෂ්ඨ උත්තමයෙක් තරුණයාව නැවත ගොඩට කැඳෙව්වේය.
"මේ අහපං කොල්ලා. මේ ලෝකෙ අලුත් කියලවත් පරණයි කියලවත් දෙයක් නැ. ඒක කාලෙට සාපේක්ෂ සිතුවිල්ලක් විතරයි." දුකින් බිම බලා සිටිනා තරුණයාගෙ කරවටා අතක් යවමින් පැවසුවේය.
"ඒ කතාව කාලෙට සාපේක්ෂ සිතුවිල්ලක් උනාට ජේෂ්ඨ උතුමාණෙනි, තව කාලයක් පාවිච්චි කරන්න කියල හිතන් ගත්ත මගේ කලිසමයි සෙරෙප්පු දෙකයි ගන්න වියදම් කරපු සල්ලි කාලෙට නිරපේක්ෂව හම්බකරේ" දුකින් ජේෂ්ඨ උත්තමයගේ මුහුණ බලා තරුණයා පැවසුවේය.
නිමි…
apsara shyamali
උපුට ගැනීමකි
No comments:
Post a Comment