මේ වගේ ආදරයක්

මේ වගෙ ආදරයක්......

වෙලාව පහ හමාරට විතර ඇති. මං හිටියෙ බාත් රූම් එකේ.
"මචං ෆෝන් එක රිං වෙනෝ.." සුරාජ් රූම් එකේ ඉඳන් මොර දුන්නා.

"බලපං කවුද කියල. නදීද?" "නදියක් නෙවේ බං. පොකුණක්. හිහ් හී.." ඒ රවිඳු. ඌට ආතල්.
"කවුද දන් නෑ බං සේව් කරපු නැති නම්බර් එකක්."
"පොඩ්ඩක් හිටපං මං එන්නං."
"ආ...කට් උනා...ආ..මෙන්න ආයෙත් රිං වෙනවා.." මං ටවල් එක පිටින්ම එලියට ආවා.
"හෙලෝ...ආ...ඔව් ඇන්ටි..ඔව්. ම්ම්..ඔව් අම්මෙ..හරි හරි. බුදු සරණයි." කෝල් එක ඉවරයි. මුන් ටික කටවල් අරන් මං දිහා බලාගෙන.

"ඈ...බං කාගෙන්ද ඒ කෝල් එක? මුලින් ඇන්ටිලු, පස්සෙ අම්මලු." "නදීගේ අම්ම බං."
"අම්මට සිරි. එළනේ."
"හුරේ...කොල්ල ගොඩ..." මුන් හුරේ දැම්මා.
"මචං මේ..වැඩේ ගොඩ. දැන් ඉතිං බැන්ද වගේ තමයි."
"හා..හා..එහෙම කියල ඒක හිතට අරන් එක එක දේවල් කරනවා එහෙම නෙවේ මචෝ හරී..." මුන්ගෙ කුපාඩි කතාත් අහන්න එපැයි.
"එව්ව මෙව්ව බෑ. පාටියක් දියන්. මේ දැන් ඕනෙ."
"මේ..දැන්? සල්ලි නෑ බං. පන්සීයයි තියෙන්නෙ."
"අපෝ..වැඩිත් එක්ක. එහෙම කිව්වට වැඩි නෑ. දියන් ඒක."
"ඒක උඹලට දුන්නම මං හෙට ඉඳන් කන්නෙ ලබුකිරිබත්ද? "
"කමක් නෑ ඕන නම් කාපං. අපෙ මොකෝ.." මෙන්න මුන් මගෙ 500ත් අරන් යනවා.
"කොත්තු තුනයි, ස්ප්ර්යිට් ඒකයි. මදි පාඩු අපෙන්"

මගෙ අම්මේ...මුන් වගේ යාළුවො ලබන්න පිං විතරක් කරල මදි මගෙ හිතේ. ශික් විතරක්. ඒක නෙවේ දැන් ඉතිං හෙට මොකද කරන්නෙ? මොනව අහයිද? ඇඳන් යන්නෙ මොනවද? මුකුත් ටිකිරි මොලේට එන්නෙත් නෑ. අරුන් කොත්තු අරං එනකං මං හිටියෙ බොහොම අමාරුවෙන්.

"මචංලා..මේ...මොකක්ද බං මං හෙට ඇඳන් යන්නෙ? අර උඹේ කොළ පාට ෂර්ට් එක හොඳයි නේද?"
"ආයෙ කියහන් බලන්න. යකෝ මුන්ගෙ මගුල් වලට අපේ ෂර්ට් කලිසන් පලිද?"
"ඒක හරියන්නේ නෑ . මුගෙ නිල් පාට ෂර්ට් එක ඇඳපන්. ඒක ටිකක් ඩීසන්ට්."
"නෙදකින් විතරත්. තොත් මුගෙ පැත්තේද?" පාටියත් ඉවර කලා. ඔයාලට කියන්න එදා රෑ මට හරියට නින්ද ගියෙත් නෑ.

"ඈ..බං. ඇන්ටි එනව කිව්වෙ 10ටනේ. මෙන්න මූ උදේ 5.30 ඉදං මේකප් දානවා."
"යකෝ ඇන්ටි කෙනෙක් මීට් වෙන්න යන්නෙ. කෙල්ලෙක් නෙවේ." "හරි හරි...අද ඕන මගුලක් කියපල්ලා. අද උඹලගේ. හෙට ඉඳන් ආයෙ මගෙ. " මං ඒ ටික කියල කට වහගත්තා.

9ත් උනා කියමුකෝ. මං ආයෙත් සෙන්ට් ගැහුවා.
"තෝ එනකොට ගෙනාපුවද මේ...බොල ගස් කපුටෝ මේ මගෙ එකම කෙල්ල මට උපන්දිනේට දීපු ප්රාසන්ට් එක. තෝ ඒක ඔලුවේ ඉඳන් නාල."
"මේ..මගෙ එකත් ඉවරයි. හැම එකම ගහල උඹ ළඟ කුණු කරෝල ගඳයි බං. පලකො දැන් වත්. "

උන් ටික හරි ආදරෙන් මාව බෝඩිමෙන් එලියට දැම්මා. මං 9.35 වෙද්දී ටවුන් එකේ. තව විනාඩිම 25ක් තියෙනවනෙ 10ට. අවු කාස්ටකෙන් බේරෙන්න මං ගහකට හේත්තු වෙලා කකුලක් වන වන හිටියා. රන් හා වටින කාලය කාල දාන්නත් එපැයි. දෙයියන්ගෙ පිහිටයි ඇන්ටි වෙලාවටත් කලින් එනව කියහන්කො.

මං දුර තියලම හිනා උනා. ඇන්ටිත් හිනා උනා. කතාව කොහෙන් පටන් ගන්නද? "ඇන්ටිට මහන්සි පාටයි."
"ආ..ඔව් මේ..කාලෙකින් බස් එකේ ටික දුරක් ආවෙ."
"වෙන කොහෙ හරි යන ගමන්ද?.."
"ම්ම්..ඔව් වෙන වැඩ ටිකකුත් කර ගන්න තියෙනව."
"අම්මට මහන්සිත්නේ..(මං ඒ සැරේ නම් 'ඇන්ටි' කියන එක හැලුව) මං මොනවහරි බොන්න ගේන්නම්. අතනින් වාඩි වෙන්න. " මං අයිනේ තිබුන බංකුවක් පෙන්නුවා.
"නෑ..පුතා..ඕන නෑ.."

ඇය සාරි පොටෙන් දාඩිය යවා ගන්න උත්සාහ කලා. නදී කිව්ව වගේ අම්ම එච්චර සැර නෑ වගේ. හුස්මක් පිට කරල අම්ම කතාව පටන් ගත්තා.

"අපේ දූ පුතා ගැන ගොඩක් දේවල් කියල තියෙනව." අම්මෝ..මගෙ කන් දෙකේ ඉඳන් රතු වෙන්න පටන් අරන්. මං අමාරුවෙන් හිනා උනා.
"දෙන්න කථා බහ කරන්න පටන් අරන් දැන් මාස තුනක් විතර වෙනවලු නේද?"

බයටද කොහෙද නදී බොරු කියල තියෙන්නෙ. මං නම් එයාට ආදරේ කරන්න අරන් මාස 10 ක් විතර ඇති. ඒත් මං ආදරෙයි කියල මාස...8 ක් විතර වෙනවා. ආදරේ සුන්දරද මෙතරම්... සිංදුව කියල තියෙන්නෙ මේ වගේ වෙලාවකද කොහෙද. අම්මගේ ඇහිබැමත් නදීගෙ වගේමයි. නෑ අම්මගෙ ඇස් මයි නදීට තියෙන්නෙත්. අම්මගෙ පාටමයි. සුදුයි.

"පුතා මං කෙලින්ම කියන්නං. පුතාගෙ පවුලෙ විස්තර මං දන්නව. පුතාගෙ නංගිත් තාම ඉස්කෝලෙ යනවනේ. තාත්තත් ටිකක් අසනීපෙන්. ඉස්සරහට පුතාට තමයි පවුල ගොඩ ගන්න වෙන්නෙ. "
"ඒකනම් ඇත්ත අම්මෙ." මං හිනාඋනා.
"පුතේ..අපේ දුවට පුතා ගැලපෙනවා කියල අපට හිතෙන්නෙ නෑ.."

නදීගෙ අම්ම එහෙම කිව්වද කියලත් මට හිතාගන්න බැරි උනා. අම්ම තාමත් මගෙ වම් අතට දාල තිබුන හෑන්ඩ් බෑන්ඩ් එක දිහා බලාගෙන. අම්ම මාව මැන්නේ මෙකෙන්ද අම්මේ? දෙයියනේ..මේක නදී මට දුන්න පලවෙනි තෑග්ග. මං මැරුණත් මේක ගලවන්නෙ නෑ කියල මං හිතාගත්තෙ මේක මගෙ අතට දාල එයා හෙමින් මගෙ කම්මුල සිපගත්ත වෙලාවෙමයි. මට ඒ වෙලාවෙ ඇඬුනත් එක්ක. ජීවිතේට කීප දෙනෙක් ඇවිත් ගියාට, මට ආදරේ කළේ නදී විතරයි. ඇයි අම්මේ මට මෙහෙම කරන්නෙ? මගෙ හිත එහෙම ඇහුවට වචන පිට උනේ නෑ. මං අන්තිමට ඇඬුවෙ එදා අම්මේ. එදායින් පස්සෙ මගෙ කරදර වලදී ඇඬුවෙ මං නෙවේ, නදී.

මං හිතුවෙ මාගෙ කඳුළු ග්ර.න්ථි නෂ්ඨ වෙලා ඇති කියලයි. මොන ලෝකෙ තිබිලද මන්ද, දැන් මගේ ඇස් දෙකම පිරෙන්න කඳුළු. ශික්!

"අම්මෙ මං..."
"පුතා..මට මුකුත් කියන්න එපා. අනිත් එක තමයි පුතාට වෙන සම්බන්ධයක් තියෙනෙව. මං ළඟ ෆොටෝ එකකුත් තියෙනව."

ඇය සිය දුරකථනය අරන් ගෑණු ලමයෙකුයි මමයි ඉන්න පින්තුරයක් පෙන්නුවා. මං වෙන වෙලාවක නම් හිනාවෙනවා. එහෙනං අම්ම ඇවිත් තියෙන්නෙ තීන්දුවක් ගන්න නෙවේ. ගත්ත තීන්දුව මට කියල යන්නයි. මොනවද මේ වෙන්නෙ? මගෙ හුස්ම වැටෙන වේගෙන් මේ වෙන දේවල් තේරුම් ගන්න පුළුවන් උනා නම්..මේ ෆොටෝ එකේ ඉන්නෙ අපේ බාප්පාගේ දූ. තාම ඉස්කෝලෙ යන පොඩි කෙල්ල. එහේ ගියාම මගෙ අතේ එල්ලුණු ගමන්මයි. ඇරත් මං නදී එක්ක කිව්වත් බාප්පල ඇවිත් හොටෙල් එකකින් කෑම කෑවා කියල.

"ඒ දේවල් කොහොම උනත්...මං ගැනත් හිතන්න පුතා..මං අම්ම කෙනෙක්. අම්මලට බෑ දරුවන්ට නරකක් නපුරක් වෙනවා බලන්න. මං වැරදි නම් මට සමාවෙන්න. මට මගෙ පොඩි එකී දෙන්න පුතේ..."

අම්ම අත් දෙක එකට එකතු කරල මට කිව්වා. මං මොන තරම් පව් කාරයෙක්ද? මං පුටුවෙන් නැගිට්ටා.

"අනෙ අම්මේ..මේ මොකද? අම්ම කරන වැඩ වලින් මටයි පව් සිද්ද වෙන්නෙ."
"පුතාටත් අම්ම කෙනෙක් ඇතිනෙ. මගෙ පැත්තෙනුත් බලන්න දරුවෝ. මාත් එක්ක තරහ වෙන්න එපා. අපි හොඳ තැනක් බැලුවා. ගුණ යහපත් ඉගෙන ගත්තු ළමයෙක්. සල්ලි බාගෙත් තියෙනවා. දෙන්නටම පුළුවන් රට ගිහිං ඉගෙන ගන්න."
"ඒක හොඳයි. නදී කොහොමත් MSc එකක් කරන්න ආසාවෙන් හිටියෙ. "
"ලබන සඳුඳා වෙඩින් එක."
"හදිස්සියෙම???"

මං අහුවෙ මේ ලෝකේ තියෙන හොඳම ගොන් ප්‍රශ්ණ වලින් එකක්. ඒ ප්‍රශ්නෙ අහන්න මට තියෙන අයිතිය මොකක්ද?

"අර ළමය ලංකාවට ඇවිත්. ලබන සඳුදා ආයෙත් රට යනවා. ඊට කලින් බැන්දම දෙන්නටම යන්න පුළුවන්." ඒ කියන්නෙ ඔක්කොම ප්ලෑන් වෙලා ඉවරයි.
"ම්ම්...මං කොහොමත් නදීව අතාරින්න හිටියෙ අම්මේ. මොකද..අපේ පවුලේ ලේ වල පොඩි ප්‍රශ්නයක් තියෙනව."
"මොකක්ද කිව්වෙ?"

නදීගෙ අම්ම පැනපු ගමන් මගෙ කම්මුලට ගැහුවා. ඊට පස්සෙ පාරෙන් පැනල ගිහිං යන බස් එකක එල්ලුනා. කටට අමුතු රහක් ආවා. තොල පැලිලා. ලේ එනවා. ඒත් හිතට මොකක්දෝ කාලකන්නි සතුටක් දැනුනා. දැන් අම්මටයි, නදීටයි දෙන්නටම හිත හදාගන්න ලේසි වෙයි. මට ඒ බොරුව කොහෙන් කටට ආවද මන්ද?

අද හරි පුදුම දවසක්. මං පාරෙන් පැනල මුහුදු වෙරළ පැත්තට ගියා. කවුරුත් එන්නෙ නැති පාලු තැනකට ගිහිං බලාගෙන හිටියා. ඔයාල මට බනිනවා ඇති. සමහර විට පව් කියල හිතනවත් ඇති. මට ඒවගෙන් වැඩක් නෑ. මං ආයෙත් හීනයක් වගේ එක පෙලට උන දේවල් කල්පනා කලා.

"පුතාට අම්ම කෙනෙක් ඇතිනෙ " කියල ඇන්ටි කිව්වෙ අමතක වෙලා වෙන්න ඇති. මට අම්ම නැතිවෙලා තියෙන්න මට යන්තම් මාස 8 ක් වෙද්දී. තේරෙන්න පටන් ගත්ත කාලෙ ඉඳන් මං තේරුම් ගන්න උත්සාහ කළේ අම්ම කෙනෙක්ගෙ ආදරේ මොන වගේද කියන එක.
නදීත් එයාගේ අම්මට හරි ආදරෙයි. අපි පැය බාගයක් කතා කලොත් විනාඩි 10 ක්වත් අම්ම ගැන.

"මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන්නෙ කවුද?"
"අනේ මන්ද" ඒ මගෙ උත්තරේ. "වැඩියෙන්ම ආදරේ කරන්නෙත්, වැඩියෙන්ම ආදරේ ලැබෙන්නෙත් අම්මලට" ඒ නදීගෙ වචන. මගෙ අතින් අල්ලාගෙන හැමදාමත් කිව්වෙ "අම්ම ඔයාට කැමති වෙනවමයි උදාර අයියෙ. මට ඒක විශ්වාසයි." කියලයි. මං මේ ලෝකෙ වැඩිම කාලයක් ආදරේ කළේ අම්ම කෙනෙක්ගෙ උනුහුමට. නදීගෙ අම්මගේ වචනෙට මං පිටුපාන්නේ කොහොමද යාලු?

මට නදීගෙ හිනාව මතක් උනා. එයා ටිකක් වෙනස්. මං ඒ වෙනසටයි කැමති. එයා මාව මේ තරම් තේරුම් ගත්තෙ කොහොමද කියල මටවත් හිතාගන්න බෑ. මගෙ හිතේ තිබුන ඔක්කොම නිල ටික එයා දැනන් හිටියා. මං මොකක් හරි මෝඩ වැඩක් කරන්න හදද්දී මට ගොඩක් නොරිදෙන විදියට එයා හෙමින් ඒ නිල වලින් ඇල්ලුවා. ඉතිං මට ඒ මුණට දුකක් දෙන්න හිතන්නවත් බැරි උනා.

මට ඕනෙ එයත් එක්ක විසේ කරන්න. දඟලන්න. එයත් ඒකට ඔට්ටුයි. මට හිතුනොත් එයාව බදාගෙනම ඉන්නව. ඒ වෙලාවට ටිකක් එහෙම ඉන්න ඇරලා "මේ..මිනිස්සු බලාගෙන.." එයා ආදරෙන් රවනව. එයත් පාරෙ බැහැල යන්න ඕන කියල මගෙ මෝඩ මොලේට තේරෙන්නෙ එහෙම කිව්වට පස්සෙයි. එතකොට මට දුකකුත් හිතෙනව. ඒත් මං ඒක පෙන්නන්නෙ නෑ. අපි කොල්ලොනේ..

මට හිතුනොත් මං එයාගේ ඇඟිලි වලින් පටන් අරගෙන උරහිස වෙනකන්ම රූප අඳිනවා. මෝඩ කෙල්ල, කවදාවත් එපා කිව්වෙ නෑ. ඒ මගෙ ආදරේ හැටි කියලත්, මං අනිත් අය වගේ ආදරේ කරන්න දන්නෙ නෑ කියලත් එයා දන්නව. එයා ආදරේ කළේ මං ආදරේ කරනවට. මං ආදරේ කළ විදියට. සමහර දවස් වලට අත කුඩෙන් වහගෙන ගෙදර යනවා. චිත්‍ර මකාගන්නෙත් නෑ. එයා දන්නව මං ඒවා ඇන්දෙ ආදරේට කියල. ඒ ආදරේ නැති කරගන්න එයා බය උනා. පිස්සු කෙල්ල.
සමහර දවසට අපි ඇවිදගෙන යද්දී මං හෙමින් පයිනුත් ගහනවා. එයා මුකුත් කියන්නෙවත් නෑ.

"ඔයත් මට පයින් ගහන්නකෝ" ඒ මං.
"බෑ.."
"ඇයි බැරි?"
"එහෙම කරන්න හොඳ නෑ."
"ඇයි හොඳ නැත්තෙ?" මං ඉතිං මොඩයිනේ.
"අපෙ අම්මල එහෙම කරන්න උගන්නල නෑ. දන්නවද හැම පෝයකටම අපේ අම්ම තාත්තට වඳිනවා. අපිව ආරක්ෂා කරනවට, අපිට කන්න බොන්න දෙනවට තමයි අම්ම එහෙම කරන්නෙ."

ඔයා ඒ වගේ ලොකු කතා කියල මං දිහා බලාගෙන ඉන්න විදිය මට තාමත් මතකයි. ඔයා ඔය ඇස් වලින් ඇල්ලුවෙ මගෙ පපුවේ ගැඹුරුම තැන් නදී...

අපි ආදරේ කරන්න පටන් අරං ආව එයාගේ පලවෙනි උපන් දිනේට මං දුන්නෙ තඩි චොකලට් එකක්. ඒකෙන් වැඩි හරියක් කෑවෙත් මම. මගෙ උපන්දිනේට එයා චොක්ලට් එකකුයි, ලොකු පැන්ඩෙකුයි ගෙනත් දුන්නා. මං පොඩි කාලෙ ඉඳන්ම පැන්ඩෙකුට ආස කලා කියල මං එයාට කියල තිබුනා. මං චොක්ලට් එක කන අතරේ එයා මගෙ දකුණු අත අරන් මොනවදෝ මතුර මතුර පිරිත් නූලක් බැන්දා. ඒ විතරක්යැ. මාව බදාගෙන විනාඩි දෙකක්ම හිටියා. ඒ වෙලාවෙ නම් මට චොක්ලට් කන එක අමතක උනා. එයා හෙමීට උරහිස දෙපාරක් ඉම්බා. මට හුස්ම ගන්නත් අමතක උනා. මං එයාගේ ඔළුව අතගෑව. එයා කෙලින් වෙද්දී ඇස් දෙකේම කඳුළු. එයා මට එච්චර ආදරේ කරද්දි එයා කිව්වෙ "උදාර අයියෙ මට ඔච්චර ආදරේ කරන්න එපා.." කියලයි. මං මේ නැති කරගත්තෙ ඒ වගේ ආදරයක් යාලු. මං වාඩිවෙලා හිටි තැනින් නැගිට්ටා.

මං නිකං පාවෙනවා වගේ. දැනුයි මට තේරෙන්නෙ කිලෝ හැට ගානක් ඇඟේ මසුයි, කටුයි විතරක් නෙවේ..තිබුනෙ මගෙ හිතත් තිබිල. මට මාව නැතිවෙලා තිබුනා.

මං රෑ වෙලා බෝඩිමට ආවා. "තෝ මොන මගුලෙද ගියේ?"
"ෆෝන් එක කෝ බං? උඹට කෝල් නම් කීයක් කියල ගත්තද?" "කොහොමද මගුල?"
"කටවහපන්" කියල මං දීපු කම්මුල් පාර කාට වැදුනත් ඒක දොරේ වැදිලා වැටුන කියල මට සද්දෙන් කියන්න පුළුවන්.
"යකෝ මූ මගෙ ඒව ඇඳන් ගිහිං මටම කෙලිනවා.."
"මූට මහසෝනා ගහලද? "

මං කාමරේට ඇවිත් ඇතුලෙන් දොර ලොක් කරල ඇඳට වැටුනා. ඒ වැටෙද්දී නළල වැදුන ඇඳ විට්ටමේ. වේදනාවක් දැනුනේ නෑ. එහෙම්ම ඔළුව කොට්ටෙට තද කර ගත්ත.

එක එක දේවල් මතක් වෙන්න පටන් ගත්ත. නදී, එයාගේ අම්ම, වෙන්න ඉන්න හස්බන්ඩ් එතකොට..මං..මගෙන් ගුටි කාපු උන්..මගෙ පපුව හිර උනා. මට පිස්සු. නින්ද යන්නෙත් නෑ. මැරෙන්නේවත් බැරි හැටි. අපේ චූටි නංගි තාත්තට වැඩිය ආදරේ මට. තාත්තත් ලෙඩ ගානෙ. නෑ මං මැරෙන්නෙ නෑ. මං කරේ පිනක්. ලබන ආත්මෙදිවත් මට අම්මෙක් ලබෙයිනේ. ඒකෙන් පස්සෙ මට නින්ද යන්න ඇති.

මං ඇහැරෙද්දි අරුන් ටික ගිහිං. ඔළුව කෝට්ටෙන් ගත්තම කෝට්ටේ ලේ එකයි. දැන් නම් නලලෙන් පොඩි වේදනාවක් එනවා. මං නැගිටලා කන්නාඩියට හිනා උනා. ඊයෙ ඇඳුම් ගලවල අලුත් එකකට මාරු උනා. පරණ ඇඳුම් ටික බේසමකට දාල වතුර පිරෙව්වා. ඒ වතුරට පැල්ලම් ටික ටික දියවෙලා ගියා.******

අද සඳුදා. ටිකක් වස්සතේ එක්ක. අද නැකත් දවසක් නෙ. මං ඉන්න තැනට නදීව පේනවා. මෙච්චර කල් රෝස පාටට තිබුණු තොල් වල කවුදෝ රතු පාට උලලා. මුනෙත් එහෙමයි. ඒත් හිත් වල කඳුළු පාට ගාල වහන්න බෑ. කාට නැතත් මට ඒ කඳුළු පෙනුනා.

නදී අද ලස්සනයි. මේ ගවුමට අද තවත් ලස්සනයි. එයා ලස්සනයි කියල මං කවදාවත් එයාට කියල නෑ. අදවත් කියන්න තිබුන නම්..අද එයාගේ ඇත් මගෙ අත උඩ නෙවේ. මං හරි අමාරුවෙන් හුස්ම ගත්තා. එයාල ලොකු පොතක අත්සන් කරනවා මං දැක්කා. මං ආයෙ කවදාවත්, කාටවත්  මගෙ හිතට රිංගන්න දෙන්නෙ නෑ. ඒක ඔයාගෙම විතරයි නදී. දැන් ඒ දෙන්න බඩු පිරිච්ච බෑග් තල්ලු කරගෙන කාර් එකක් ලඟට යනවා. එයා අද ඉඳන් අලුත් ජීවිතයක්, අලුත් තැනකින් පටන් ගනියි. ඉතිං මැණික ..මං තරම් වෙන කවුරු සතුටු වෙන්නද?

"පෝම්..පෝම්..."

තෙත රැඳුනු පාර දිගේ තඩි ලොරියක් ඇවිත් හිතන්නත් කලින් නදී හිටිය කාර් එකේ හැපුනා. මං හිටියෙ එයාට නොපෙනන විදියට. ඒත් වැඩි දුරකින් නෙවේ. මං හිටියෙ යාළුවොත් එක්ක. මං කථා කළ නිසා උන් ආව නෙවේ. එපා කියද්දී මං ආව නිසා උනුත් ආවා.

"නදී.....නදී..." මං කෑ ගැහුවා. බ්රේක් කැඩුණු ලොරිය  එතනින් නොනැවතී අපේ පැත්තට ආවා. අපි පැනගන්න උත්සාහ කලා. මං නදී දිහා බැලුවා. යන්තම් ඇති එයාට කරදරයක් නෑ.

"ඩිග්...අඃ...ආ...."

මට මතක එච්චරයි. මං ටිකක් නදීගෙ ඇස් දෙක දිහා බලන් හිටියා. ඉස්සර වගේමයි. ඈත සුදු පාට එළියක් තියෙනවා. මට එතනින් කතා කරනවා වගේ දැනෙනවා. "මං ඔයාට ආදරෙයි නදී.." මං ඒ එළිය පැත්තට පා වෙලා ගියා.

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment