සමා දෙනු මට

සමාදෙනු මට
💔💔💔💔💔

භවයෙන් භවේ..
පෙරුමන් පුරා..
ආවේ සොයා මා හද ආදරෙන්..
නදීෂානී.. නදීෂානී...
නදීෂානී.. නදීෂානී...

"වාව්.... හරිම ලස්සනයි... අනේ අනේ තව එකක් කියන්නකෝ..."

"මට බෑ.."

"අනේ ඉතිං හොඳ අයිය බබානෙ.. කියන්නකෝ.."

"ම්ම්...මොකද්ද කියන්න ඕන.."

"ඔයා දන්නවනෙ ඉතිං මම ආසා සිංදු.."

සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එලියේ සැඟවී යනවා..
ඇය රෑ එලියෙ සැඟවී යනවා....

මම ඒ කටහඩට ගොඩක් ආස කරා.. මම දුකින් ඉන්න හැමවෙලාවකම එයාගෙ සිංදුවක් දාගෙන මම අහන්නෙ ඒ කටහඬ ඇහෙද්දි සේරම දුක අමතක වෙලා ගිය නිසා..  අපි දුරකථනයෙන් කථා කරන හැම දවසකම වගේ එයා මං වෙනුවෙන් සිංදුවක් කිව්ව.. එයා දන්නව මම එයාගෙ කටහඬින් කියන සිංදුවක් අහන්න හරිම ආසා කරපු බව..

එයා ගගන ... එතකොට මම ධරණි.. නාමිකව එහෙම උනාට මුලදිනම් අපේ අදහස් ගැලපුනා හොදට..

අපි අදුරගත්තෙ අහම්බෙකින් උනාට ගොඩාක් කල් ඉදන් දැන අදුරගත්ත දෙන්නෙක් වගේ ඉක්මනින්ම ගොඩාක් ලං උනා.. මුලින් තිබුන මිත්‍රත්වය ඉක්මනින්ම ආදරයකට පෙරළුනේ ඒ අදහස් ගැලපීම නිසාමයි..

"සුදු බබා.."

"ම්ම්ම්..."

"කෑම කෑවෙ නෑ නේද හොර කෙල්ල තාම..."

"නෑ"

"ඉතිං බලන්නකො මේ මෝඩි.. දැන් කීයද වෙලාව.. ලෙඩ වෙන්නද ආසා.. දුවනව මගෙන් ගුටි නොකා ගිහින් කෑම කනව.."

"ඉතිං ඔයා කෑවෙත් නෑනෙ තාම.. ඔයා කද්දිම කන්නයි  මම නොකා හිටියෙ.."

"අනේ බබා මම ඔෆීස් එකේ වැඩ නිසානෙ කන්න පරක්කු උනේ..  මම කනකන් නොකා ඉන්න එපා.. ඔයා කන්න.."

"ම්ම්හ්.. මට බෑ.. ඔයා ඔහෙ මම මෙහෙ හිටියට අපිට පුළුවන්නෙ එකම වෙලාවට කන්න.. මම තනියම කන්නෙ නෑමයි.."

"අනේ මගෙ හිතුවක්කාරි.. හ්ම්ම්.. දැන් කමු පැටියො..."

"හාහා..."

එකම රටක හිටියත් අපි හිටියෙ ටිකක් දුරින්.. ඒත් ඒ දුරස්බව නොදැනෙන විදියට අපි අපිට ලංවෙලා හිටිය.. හැම මොහොතකම දුරකථනය හරහා මං ගැන එයා හොයල බැලුව..

ඒත් එයා රැකියාවක් කරපු නිසා මම නිතරම එයාට කරදර කරන්න ගියෙ නෑ.. ඒත් ඒකට එයා හිත රිදවගත්ත..එතනින් තමයි අපි අතර ප්‍රශ්න ඇතිවෙන්න පටන් ගත්තෙ..

"මට කෝල් එකක්වත් දෙන්නෙ නෑ සුදු බබා ඔයා.. මම කතා කරොත් විතරමයි.."

"අනේ ඉතිං ඔයා ඔෆීස් එකේ නිසා මම කෝල් කරේ නැත්තෙ.."

"මම එපා කියල නෑනෙ එහෙම කෝල් කරන්න.. මම ඔයාට අාදරේ කරාට ඔයාට මං ගැන ගානක් නෑ බබා.. අනික මම ආදරේට බබා, පැටියො ගගා කිව්වට මට ඒවා මොකුත් නෑ"

ඒ වචන වලට මගෙ හිත ගොඩාක් රිදුන.. මම එයාට ගොඩාක් ආදරේ කරා.. ඉතිං ඒ රිදුන හිතත් එක්ක මම කරේ එයා එක්ක තරහවෙන එක.. කතා නොකර අඩ අඩ ඉන්න එක..

"ඒ පාර ටැප් එක ඇරගත්තද.. අඩල ඉවර වෙලා මට කියනවකෝ.."

එ⁣යා තරහින් මට බනින්න ගත්ත.. අපි නිතරම පුංචි දේටත් රන්ඩු වෙන්න ගත්ත.. ඒත් වැඩි වෙලාවක් තරහ වෙලා ඉන්න බෑ දෙන්නටම.. කවුරුම හරි ඉක්මනින්ම කතා කරල යාළු කරගත්ත අනිත් කෙනාව..

එහෙම යාළු උනත් ඒ සිද්ධ උන රන්ඩු නිසා දෙන්නම දුක් වින්ද.. නොකා නොබී හිටිය..

"බබී තරහද අයිය පැටියො මං එක්ක.."

"නෑ කෙල්ල.. ආදරෙයි.."

"ම්ම්ම්.. මාත් ආදරෙයි.."

"ඇයි එහෙනම් මං ගැන හොයල බලන්නෙ නැත්තෙ"

"ඉතිං ඔයා බිසී නිසා මම කරදර කරන්නෙ නෑ.."

"අනේ මැට්ටි මේ.. මාත් අාසයි ගොඩක් මම ගැන හොයල බලනවට.."

"ම්ම්ම්.. සොරි ඉතිං.."

"හා... දැන් අපි ආදරෙන් ඉමුකො.."

"හා....මාත් ආසයි ආදරෙන් ඉන්න..සිංදුවක් කියන්නකො.."

"ම්ම්ම්... හා..."

මා සිත මියුරු කල්පනා
රස පද වලට පෙරලුනා
මිහිරියෙ ඔබට බැදුනු ප්‍රේමයේ නමින්
යොවුන් සිතක ඔබට බැදුනු ප්‍රේමයේ නමින්.......

"උම්මා.... අනේ මං ආසම  ආසයි..ආදරේම ආදරෙයි.. "

"ඉතිං අපි බදිමුකො.."

"හ්ම්ම්.. අපි මේ තියෙන ප්‍රශ්න ටික ඉක්මනින්ම විසදගෙන අනිවාර්යයෙන්ම 2018 ඉවර වෙන්න කලින් බදිමු.."

"බබා මේ අහන්න.. ඇයි මං එක්ක හැමවෙලාවෙම රන්ඩු කරන්නෙ.."

"ඉතිං මමද රන්ඩු කරන්නෙ.. "

"නැතුව මමද.."

"ඔව් ඔව් මම තමයි හැමදාම වැරදි.. ඔයා ඉතිං වරදක් කරන කෙනෙක් නෙමෙයිනෙ.."මම කියවන් යන්නෙ තරහින්..

"ඔන්න පටන් ගත්ත.. ෂිට්.. අද රෑට ඩෙසර්ට් එක ගන්න බැරි උනානෙ.. ඔයා⁣ ඉතිං තුන් වේල කාලා අතුරුපස කනව වගේ මං එක්ක රන්ඩු කරන එකනෙ කරන්නෙ.." එයා එහෙම බනිද්දි මට දැනෙන්නෙ දුකක්.. එතකොට මම නිහඬවම ඉන්නව කතා නොකර..

"ඔන්න දැන් පැය ගානක් හරි ඔහොම කතා නොකර ඉදී.. මට නම් එපා වෙනව හලෝ මේ මලවිකාර.. මම තියනව.." එහෙම කියන එයා දුරකථනය විසන්ධි කරල නින්දට යනව.. එහෙම දවසට මම මහ රෑ වෙනකන් අඩනව..

එයාගෙ කාර්යාලයේ වැඩ වගයක් නිසා එයා දවස් දෙක තුනක්ම කාර්යබහුල උනා.. මම ඉන්නෙ දුකින් එයා එක්ක කතා කරන්නවත් නැති එක ගැන.. ඒත් මම වෙනද වගේ රන්ඩු කරන්නෙ නැතුව ඉවසගෙන හිටියෙ එයා මට නිතරම චෝදනා කරපු නිසයි මම රන්ඩු කරනව කියල..

දවස් තුනකට පස්සෙ එලඹෙන ඉරිදා දවසෙ එයාට විවේකය ලැබෙද්දි මම කාර්යබහුල වෙනව හදිසියේම.. නොසිතුව විදියෙ ප්‍රශ්න ගොඩක පැටලෙන නිසා මට දුරකථනය ගැන අවධානය යොමු කරන්නම බැරි වෙනව..

ඒත් දහවල් මම ඇමතුමක් ගන්න වෙලාවක් හදාගන්නෙ එයා බලන් ඉන්න බව දන්න නිසාමයි..

"බබී... කෑවද අයිය පැටියො ඔයා.."

"නෑ.." එයා කතා කරන්නෙ තරහින්..

"අනේ සොරි.. මම වැඩ ගොඩක හිටියෙ.."

"හා.."

"ඉතිං දැන් ⁣සමාවෙලා හොදට කතා කරන්නකො.. "

"මම හොදින් තමයි.. "

"අනේ නෑ.. ඔයා තරහින් ඉන්නෙ.. බැක් ටු නෝමල් වෙන්නකො.. ප්ලීස්..."

"මට දැන් බැක් ටු නෝමල් වෙන්න දෙයක් නෑ.. මට දැන් ඔයා⁣ගෙ ආදරේ ලැබුන නොලැබුනා කියල ගානක් නෑ... ඔයාවවත් ඔයාගෙ අාදරේවත් ලොකුවට වටින්නෙ නෑ.. මම මගෙ සාමාන්‍ය ජීවිතේ මම ගෙනියනව.." එයා කියවන් ගියෙ තරහින්..

ඒ වචන වලට මටත් තරහ ගියා..

"වටිනා කමක් නැත්නම් මාව අතාරිනව.. වැඩක් නෑනෙ මෙහෙම.. " මමත් කියෙව්වෙ කටට ආව වචන මිසක් හොද නරක ⁣හිතල බලල නෙමෙයි..

"ඕකේ.. බායි" එයා ඇමතුම විසන්ධි කරා..

පහුවදා දවසම මම හිටියෙ ප්‍රශ්න ගොඩක.. ඒවා විසදගන්න මම දවස පුරාම වෙහෙසුනා.. හැම තප්පරේකම මම බලන් හිටිය එයාගෙන් ඇමතුමක් එයි කියල.. මගේ තිබුන හිතුවක්කාරකමට මමත් එයාට ඇමතුමක් ගත්තෙ නෑ..

'මාව වටින්නෙ නෑ කිව්වෙ එයානෙ.. එයාට වටිනවද නැද්ද බලමුකෝ' මම හිතුවෙ එහෙමයි.. ඒත් එයා දවසටම මට ඇමතුමක් ගත්තෙ නෑ..
එදා රෑ මම එයාට දෙපාරක් දුරකථන ඇමතුම් දුන්නෙ හිතට තවත් මේ දුක ඉවසන් ඉන්න බැරි උන නිසාමයි.. ඒත් එයා ඒවට පිළිතුරු දුන්නෙ නෑ වගේම එතනින් පස්සෙ කවදාවත් එයා මට ඇමතුමක් දුන්නෙ නෑ..

ගඟන වූ නුඹ ධරණි වූ මට අහසක්ම විය..
ගඟනතලයට දුරින් පිහිටිය ධරණි මම විය..

මම අදටත් බලන් ඉන්නව එයාට මාව ආයෙම ඕන හිතෙයි කියල.. 'මට ඔයාව වටින්නෙ නෑ' කියල ගියාට ආයෙම දවසක 'මට ඔයාව ඕන සුදු බබා' කියල මාව හොයන් එන දවසක් එයි කියල.. සමහරවිට ඒක කවදාවත් ඉටු නොවෙන බලාපොරොත්තුවක්ම වෙයි.. ඒ්ත් මම හැමදාමත් බලන් ඉන්නව..

එක වරක් යලි එන්න මා වෙත මගේ කුමරුනි මග බලමි මම්..
වැරදි සිදුවුනු තැන් හදාගෙන සෙනේ පුරමින්
ලග හදින්නම්..

- නෙතුලි
උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment