සැඳෑ අඳුරත් එක්ක නිවසට ගොඩ වෙච්ච ඇක්මන්ට මහා කනස්සල්ලක් හිතට දැනුනා.ගෙතුලට නොගොස්ම පිල්කණ්ඩිය මත ඉඳගත් ඇක්මන් තොල්පට සපමින් කල්පනා කරන්නට උනා.අද දවස මහා මූසල දවසක්.. ඔහු තමාටම කියා ගත්තා.
" මට ඒක නොකරන්නයි තිබුනේ..ෂිහ්..." ඔහු තමාටම දොස් පවරාගනිමින් හිසකෙස් අතර ඇඟිලි තුඩු යවමින් හිස බිමට හරවගෙන උන්නා.
"පුතාලයි අප්පච්චි ඇවිල්ලා..මං දැක්කෙත් නැහැ නෙවැ.."
එතනාගේ හඬින් ඇක්මන් පියවි ලෝකයට පැමිණුනා.
"ඇයි මේ කනස්සල්ලෙන් වගේ...හිසේ කැක්කුමද.."
එතනාගේ කරුණාවන්ත මොලොක් හඬට ඇක්මන්ගේ පපුව කීරි ගැහිලා ගියා වගේ දැනුනා.ඔහු අසාර්ථක සිනහවක් මුවගට නගාගන්න වෑයම් කළා.
"ඉන්ට මං තේ කහට ටිකක් වක්කරගෙන ඇන්න එන්නම්.."
සියල්ල යහපත්ය.එහෙත් ඇක්මන්ගේ සිත දෙගිඩියාවෙනි.අද දවස කුමකින් කුමක් වේදැයි ඇති කුකුස නිසාම ඇක්මන්ගේ හිස යකාගේ කම්මල මෙන් කලබල වි ඇත.එතනා ගෙනත් දුන් තේ කහට කෝප්පය බී දැමු ඇක්මන් කිසිත් නොදොඩා වැල් ඇඳ මද ඇල උනේ ඇඟේ පත් මහන්සියත් සිතේ කනස්සල්ලත් නිසාමයි.ඔහු බොහෝ වෙලා කල්පනා කළා
"මං කලබලඋනා වැඩියි"
ඔහු තමාටම දොස් පවරා ගත්තා.ඒ සිතුවිල්ලත් එක්කම ඇක්මන්ට නින්ද ගියත් එතනාගේ හඬින් ඇහැරෙනකොට පැය දෙකක් විතර ඔහු නිදියගෙන තිබුනා.
"පුතාලයි අප්පච්චි රෑට කාල ඉන්ට..මහන්සිත් ඇතිනේ.."
එතනා ගෙනත් දුන් බත් පංගුව අතට අරගෙන පිල් කණ්ඩිය උඩ වාඩිවෙලා කටවල් දෙක තුනයි ගිල දැම්මේ..ලොකු පුතා ගෙට ගොඩ උනා.ලොකු පුතා දකින කොටම ඇක්මන්ගේ සිත කලබල උනා.ඔහු ලොකු පුතා දෙස හොරෙන් බැලුවා.ඔහු යකෙක් වගේ .හොඳටම බීලා..ඇස් දෙක ජම්බු ගෙඩි දෙකක් වගේ රතු වෙලා.හිස කෙස් අවුල් වෙලා.පැදගෙන ආපු බයිසිකලය පැත්තකට විසි කළා.ඒක රවුම් දෙකක් විතර කැරකිලා ගිහින් ගේ අයිනේ වලං මැස්ස දිහාවට යනකොට හට්ටි වලං කිපයකුත් පොඩි කරගෙන ගියේ මහා හඬක් නගමින්.
"මොකද බොල වෙලා තියෙන්නේ..ඇඟේ පතේ හිරි ඇරගන්න මගේ හට්ටි වලං ටික පලිද.."
එතනාගේ ගෝරණාඩුවට අනිත් ළමයි දෙන්නත් දුවගෙන ආවා.උන් දෙන්නත් බයවෙලා.ඇක්මන් නිහඬවම බත් පිඟාන දිහා බලාගෙන උන්නා.
" මෙන්න මූ මගේ ජීවිතේ විනාශ කරනවා .කාලකන්නියා.."
කියමින් එක්වරම ලොකු පුතා ඇක්මන්ගේ පපුවට පයින් ඇන්නා.හැඩි දැඩි තරුණයෙක් උනු පුතාගේ පා පහර කොතරම් වේගවත්දැයි කීවොත් ඇක්මන් අඩි තුන හතරක් ඈතට පෙරලිලා ගියා.තම අත තිබුණු බත් පිඟාන කුඩු වෙලා ගියා.කටවල් දෙක තුනකින් අවසන් වෙච්ච බත් ව්‍යංජන පලාත පුරාම විසිරුණා.
එතනාගේ මහ හඬ නගමින් තම පුතාව ඈතට තල්ලුකරගෙන ගියා.මහා හැඩිදැඩි තරණයෙක් වූ පුතා මෙල්ල කරගන්න ඇයට නොහැකි උනත් ඇය හැකි වෙර දරමින් ඔහු ඇදගෙන ගියා
සිද්ධ උනේ මොකද්ද කියන්න එතනාවත් අනිත් දරු දෙන්නාවත් දැනන් උන්නේ නෑ.ලොකු පුතත් ඇක්මනුත් පමණක් එය දැන සිටියා.ඉහලට ඇදගත් හුස්ම පහලට දාගන්න බැරුව හැමෝම ලතඋනා.එතනාගේ කෑ ගැසීම ඉකිබිඳුමක් වෙනකොට ගොඩක් වෙලා ගියා..ගොඩක් දේ සිද්ධ උනා.ඇක්මන් විසිවෙලා වැටුන තැනමහිටියේ නැගිටගන්න වාරු නැතුවමයි.තම පුතාගේ අත පය මේ තරම් ශක්තිමත්ද.ඇක්මන්ගේ දෑස තෙමුනේ උණු කඳුලු වලින් විතරක්ම නෙමෙයි.හදවත ඇතුලෙන්ම උපන් දාරක ප්‍රේමය නිසා හිතට ඇති උන දුක නිසා උනපු කඳුලුත් එක්කමයි.
අසල තිබු සියලු දේටම පයින් ගසමින් ගෙතුලට යනතම පුතු දෙස ඇක්මනුත් එතනාත් බලා උන්නේ මහා බයකින්.අනිත් සහෝදරයින් දෙන්නා බියපත්ව මුහුණින් මුහුණ බලාගනිද්දී එතනා දුවගොස් ඇක්මන් වත්තම් කරගෙන ඇඳ මත වාඩි කරවිය.
"සීවරන් දෙයි හාමුදුරුවනේ මේ මොකද්ද සිද්ද උනේ.මේ මොන අපරාධයක්ද.අනේ දෙයියනේ මේ අසරණ මනුස්සයට පයින් ගහන්න තරම් මූ තිරිසනෙක් උනාද.මේවා දෙයියන්ම බලාගන්න ඕන."
එතනා හිස් අහස දෙස බලා කෑගසන විට ඇක්මන් ඇගේ කටට අත තියලා තද කළා
"පුතාට දෙස් තියන්න එපා එතනාහාමියේ..ඒ අපේ පුතා නේ.මගෙයි වැරැද්ද.මං එහෙම නොකරන්නයි තිබුනේ.."
ඔහු තමාටම දොස් පවරා ගත්තා.
"සිද්ධ වෙච්ච දේ මට කියන්න පුතාලයි අප්පච්චි."
එතනාගේ පෙරැත්තයට ඇක්මන් හවස සිද්ධ වෙච්ච හැම දෙයක්ම කිවුවා.
"මං ලොකු පුතාගේ අසමත්ජාති යාලුවෝ ටිකට පුතා එක්ක නරක වැඩට යන්න එපා කියලා ටිකක් තදින් බැන්නා.ඒක පුතාට කියලා වෙන්න ඇති.එච්චරයි මං වරදකට කළේ.මං වැරදි ඇති හාමිනේ.ඒකයි පුතාට තරහා යන්න ඇත්තේ."
"ඒ වගේ දේකට තමන්ගෙම අප්පට කකුලක් උස්සලා ගහන්න තරම් මුගේ හයිය මොකද්ද.කාලකන්නියා.තොට හොඳක් නම් වෙන්න එපා"
එතනාගේ කෑ ගැසීමත් සමග ලොකු පුතු නැවත පැමිණ ගෝරණාඩු කළා.
"මගේ දේවල් වලට ඇගිලි ගහන්න එකෙක්වත් එන්න එපා.මං කරන්නේ මට ඕන දේවල්..මගේ යාලුවන්ට බැනලා මං නරක මිනිහයි කියන්න එපා"
ලොකු පුතුගේ කෑ ගැසීමට ඇක්මන් බය උනේ කරන්න දෙයක් නැති කමටමයි.එතනා නම් පුතාව තඹ සතේකට මායිම් කළේ නෑ.ඇක්මන්ට දුක හිතුනා.පුංචි කාලේ අතක් පයක් සීරෙන්නවත් නොදී රැක බලාගත් තම පුතා.....දවසක් පුතාට අසනීප වෙලා කිලෝමීටර පහක් විතර දුර බස් පාරටම උස්සගෙන දිවුවා...ඇඟිල්ල තැලුන වෙලාවේ කටින් පිඹිමින් හුලං ගැසු හැටි...කාගෙන් හරි කන්න ලැබෙන ටොෆියක් පලතුරක් සරම් පොටේ ගැටගහගෙන ඇවිත් පුතාට කන්න දෙන හැටි...මුලු දවසක්ම කුලී වැඩ කරලා සල්ලි හොයලා කිසිම අඩුවක් නැතිව පුතාට උගන්නපු හැටි....දහම් පාසලෙත්..පාසලෙත් දක්ෂම දරුවා සාමාන්‍ය පෙලත් උසස් පෙලත් සමත් වූ හැටි.............ඇක්මන්ට එකින් එක මතක් උනා.
ඒ අතීතය සිහිවෙද්දි නම් ඇක්මන්ගේ ඇසින් වැටෙන කඳුලු බිඳු නවතන්න එතනාටවත් බැරි උනා.මේ තරම් හොඳ දරුවෙක් තිරිසනෙක් උනේ ඇයි කියලා ඒ දෙන්නටම පුදුමයි.හැමෝම එපා කියද්දි උසස් පෙල කරන්න ටවුමේ ඉස්කෝලෙට දාපු එක තමයි අපි කරගනිපු ලොකුම මෝඩකම.එතනදි ඇසුරු කරපු යාලුවෝ ගොඩක් නරකයි දවසින් දවස අහංසක ව හිටපු ලොකු පුතා දඩබ්බරයෙක් උනා.හැමදාම ගෙදර එන්නේ දෙගොඩහරි ජාමෙ.වියදම් කරන සල්ලි සීමාවක් නැති උනත් කවදා හරි තම පුතා ඉගෙන ගෙන ලොකු මහත්තයෙක් වෙන එක ඇක්මන්ගේ හීනයක් උනා. ඒකයි ඇක්මන් කුලිවැඩ කරලා හරි පුතාට වියදම් කළේ..........ඒත්...?
දහසක් කල්පනා මැද කවුරුත් නින්දට ගියා.ඒත් මැදියම් රැයේදි ඇක්මන්ට ඇහැරුනේ පපුව රිදෙන්න අල්ලපු නිසා.පුතා පයින් පයින් ගහපු තැන පපුවේ ඇතුලෙන් රිදෙන්න ගත්තා .ඒක හරි යාවි කියලා හිතුනත් හිටි ගමන් ඇතුලෙන් රිදෙන්න ගත්තා.කරුවලේම ඇක්මන් බෝතල් රාක්කය අත ගෑවේ නාරායන තෙල් කුප්පියවත් හොයාගන්න......පපුවේ ටිකක් ගාගන්න කියලා..කරුවල නිසා අත වැදිලා බෝතල් කුප්පි හඬ නගමින් බිම වැටෙද්දි ඇක්මන් ආපහු ගියේ එතනා ඇහැරෙයි කියලා...එහෙම උනා නම් එයා ආයෙමත් කෑ ගහලා පුතාට බනීවි කියලා හිතුන නිසා.....
පුංචි කාලේ හුරතලේට හදපු ඒ මොලකැටි අත් පා දැන් මොන තරම් දරදඬුද...අවුරුදු දහනමයක ඉලන්දාරි පුතෙක් ....කාලය මැව් වෙනසක අපූරුව...ඇක්මන්ට සියුම් ආඩම්බරයක් සිතට නැගුනත් හුරතලයට රැකගෙන ඇති දැඩි කළ ඒ මොලකැටි අත්පා උස්මහත් වී තමාගේ පපුවටම එල්ල වේ යැයි ඇකමන් කිසිදාක හිතුවේ නෑ.කමක් නෑ මගේ පුතානේ...ඇක්මන් හිත හදාගන්න අසාර්ථක උත්සාහයක යෙදුනා......
තවත් දවසක් ගෙවුනා...දෙකක් ගෙවුනා...තුන්වන දවස ඇක්මන්ගේ නිවස මළ ගෙදරක් වගේ කලබල උනා..
ඇක්මන්ගේ දඩබ්බර ලොකු පුතා මෝටර් සයිකලය හැප්පිලා රෝහල් ගතකරලා.එතනටත්වැඩිය කලබල උනේ ඇක්මන්..කවුරුත් කලබලේට රෝහලට දිවුවා.පැය ගණනක ශල්‍යකර්මයකින් පස්සේ දඩබ්බර ලොකුපුතා ඇඳට ගෙනත් දැම්මා.ලොකුවෙනසක් තිබුනා.පුතාගේ දකුණු කකුල පේන්න තිබුනේ නෑ...ඇක්මන්ට ලොකුපුතා පහර දීපු දකුණු කකුල කලවය ලඟින්ම කපලා....
ඇක්මන්ට පපුව හිරවෙන්න ගත්තා.දවස් තුනකට කලින් පුතා පයින් ගහපු තැන තදින් රිදෙන්න ගත්තා.ඇක්මන් පුතා දිහා බැලුවා.ඒ ඇස් වලින් කඳුලු දෝරේ ගලනවා.ඇක්මන්ට ඒ දිහා බලන් ඉන්න බැරි උනා.එකපාරටම පපුව හිරවෙන්න ගත්තා...පුතාගේ පා පහර වැදුන තැනමයි...ඇක්මන් කවුරුත් පෙරලගෙන බිම වැටෙන කොට හැම දේම වෙලා ඉවරයි......
::::::::::නිමි:::::::
( සඳූ )
......පහන් සඳකැලුම්.....
උපුටා ගැනීමකි
No comments:
Post a Comment