අවසානයට පෙර ඈ ගියා

💙💜අවසානයට පෙර ඈ ගියා💙️💛

       සලාන්.
කුස්සියෙ වීදුරුවක් බිඳෙන සද්දෙන් මට ඇහැරුනේ.
අදත් මේ ගෑනි වීදුරුවක් බින්ඳ නේද?

මට ආවේ පුදුම කේන්තියක්.

බිනරි,
උඹ අදත් වීදුරුවක් බින්ඳ නේද?
මම කෑ ගහගෙනම කුස්සියට ආවා.
මම හිතුව හරි බිනරි වීදුරුවක් බිඳලා බිම වාඩි වෙලා ඒකේ කෑලි එකතු කරනවා. 

අත් දෙක පන නැද්ද ?
උඹ  ඇල්ලුවොත් අල්ලන හැම දේම විනාශ වෙලා යනවා .
කාලකන්ණි ගෑනි.
මම එහෙම කියලා බිනරිට ගහන්න පැන්නා.

අනේ සුදු අප්පෝ ගහන්න එපා.
බිනරි ඇස් දෙකේ කඳුළු පුරවන් කිව්වේ.
ඒත් මට දුක හිතුනෙ නෑ .
මගේ කේන්තිය යනකම්  බිනරිට කීයක් ගැහුවද කියලාවත් මට මතක නෑ .

බිනරි ඉකි ගහ ගහා අඬනවා මට රිදෙනවා නේ ගැහුවම.
හැමදාම මට ගහන එකමයි වැඩේ.

කටවහපන් උඹ මේ ආයෙත් මගෙන් කන්න තමයි හදන්නේ.

මම එහෙම කියලා කාමරේට ඇවිල්ලා දොර වහ ගත්තා.
මටත් කොහෙන් ආපු කේන්තියක් ද මන්දා.
ඊට ටික  වෙලාවකට පස්සෙ බිනරි අඬන සද්දේ නතර වුණා.
බිනරි මොනවද කරන්නේ බලන්න මම සාලෙට ආවේ .
බිනරි පේන්න හිටියේ නෑ .
මම බිනරිගේ කාමරේ දොර රෙද්ද ඈත් කරලා බැලුවා.
බිනරි ඇඳ උඩ වාඩි වෙලා මොකද්ද ඇඳුමක් අතින් මහනවා.

මොකක්ද උඹ ඔය කරන්නෙ?

බිනරි ගැස්සිලා වගේ මගේ දිහා බැලුවේ.

මගේ සාය ලිහිලා මම මේ ඒක මහ ගන්නවා.

ඕක පස්සේ මහගන්න පුළුවන් මගෙ රෙදි ටිකක් තියෙනවා
ඒ ටික සෝදනවා.

අනේ සුදු අප්පෝ මේක මහ ගත්තෙ නැතොත් දවල්ට මට අඳින්න එකක් නෑ .
අනිත් ඇඳුම් ඔක්කොම තෙතයි.

ඇයි උඹට ඕක විතරද තියෙන්නේ.

අලුත් ඇඳුම් එකයි නේ.
ඇඳුම් ගොඩක් නැහැනේ මම ළඟ .
මේ ගෙදරට අඳින ඇඳුම් දෙකෙන් එකක්නේ

නවත්ත ගනින් උඹේ ඔය කියවිල්ල.

ඊට පස්සේ බිනරි මගේ කාමරයේ ඇඳ ලඟ බිම තිබුන රෙදි ටිකත් අරගෙන නාන කාමරය පැත්තට ගියා.

ඔය ටික ඉක්මනට සෝදලා මිදුල අතුගාලා
දවල් වෙන්න කලින් උයන්න.
තේරුනාද?

නාන කාමරයේ බිම රෙදි ටික දාගෙන සබන් ගාන බිනරිට මම සද්දෙට කිව්වේ.
බිනරි හැමදාම වගේ අදත් මොකුත් මුකුත් කිව්වේ නැහැ.
එකට එක කියාගෙන ආවොත් මගෙන් ගුටි කන්න වෙයි කියන බයට .

             -----****-----

   බිනරි මට හමුවුනේ  නුගේගොඩදී .
ඒ පියල් සර්ගේ සිංහල සිමිනර් එකේදි. නුගේගොඩ රොටරියේ .
බිනරිත් ඒ සිමිනර් එකට ඇවිල්ල හිටියා.
සර්ගේ උදව්වට.
පියල් සර් නෑකමට බිනරිගේ මාමා කෙනෙක් වුනේ.

කාලයක් බිනරි පස්සෙ ගිහිල්ලා කට්ට කාළා මම  බිනරිගේ කැමැත්ත ගත්තේ බොහොම අමාරුවෙන්.
බිනරි ගේ ප්‍රථම ආදරේ මම.
ඒත් මගේ ප්‍රථම ආදරේ නම් බිනරි නෙවෙයි.
මට ඊට කලින් කෙල්ලො තුන් හතර දෙනෙක්ම හිටියා.
ඒත් මම ඒ හැම කෙල්ලටම වඩා බිනරිට ගොඩාක් ආදරේ කලා.
බිනරි කළුත් නැහැ සුදුත් නෑ.
කළු සුදු අතර මැද පාටක් කිව්වොත් මම හරි .
බිනරිට තිබුණේ ලස්සන ඇස් දෙකක්
ඒ ඇස් දෙකටම හරියන්න  පුදුම ලස්සන හිනාවක්.
දිග කොණ්ඩයක්
බිනරිට තිබුණේ.
සමහරවිට මම ආදරය කරන්න ඇත්තේ බිනරිගේ  ලස්සන හිනාවට ඇස් දෙකට වෙන්න ඇති  කියලා මට දැන් හිතෙනවා.

මම ඕලෙවල් කාලේ ඉදලම කළේ ලංකාවේ ප්‍රසිද්ධ සංගීත බෑන්ඩ් එහෙක ගිටාර් ප්ලේ කරපු එක.
මගේ ළඟ ඒ නිසා ඕන තරම් සල්ලි තිබුණා.
මම ලැබෙන සල්ලි ඕන ඕන විදියට වියදම් කරන නිසාද කොහෙද තාත්තා මට ඉඩමක් අරන් ගෙයක් හදන්න ප්ලෑන් එක හදලා දුන්නා.
ඒ වැඩ කරන ගමන් තමයි මමත් ඒ ලෙවල් කලේ.

බිනරිට හිටියේ අයියලා තුන්දෙනෙක් විතරයි.  මමයි බිනරි යාළු වෙලා කියලා බිනරිගේ ගෙදරින් දැනගත්තම බිනරිගේ අයියලා බිනරිට හොඳටම ගහලා තිබුණා.
සංගීත බැන්ඩ් එහෙක  ගිටාර් පෙලේ කරන කිව්වම එයාල මාව දැක්කේ ගංජ කාරයෙක් කුඩු කාරයෙක් විදියට.
 
    බිනරියි මමයි අවුරුදු දෙකක් ආදරය කළා.
බිනරි මට වඩා අවුරුදු තුනක් බාලයි.
මගේ උසස් පෙළ ඉවර වුණ ගමන් මම  බිනරිට බල කරා බඳිමු කියලා. ඒත් බිනරි කිව්වෙම තවම විභාග ප්‍රතිඵල ආවෙත් නෑ විභාග ප්‍රතිඵල අවම ගෙදරටත් කියලා බඳිමු කියලා.
මම දැනගෙන හිටියා කවදාවත් බිනරිගේ ගෙදරින් අපි දෙන්නට කැමැත්ත ලැබෙන්නේ නෑ කියලා.
ඒ නිසා මම බිනරිව බලෙන්ම වගේ ගෙදරින් පන්නවල අරගෙන ආවේ.

    බිනරි මමත් එක්ක ආව නිසා බිනරිගේ අම්මා අයියලා බිනරි මැරුණ කියල පවුලෙන් අතෑරලා  දැම්මා.
ඒ නිසා බිනරිට හිටියේ මං විතරයි.

බිනරි බැන්ඳට පස්සෙ තමයි දැනගත්තෙ බිනරිට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා කියලා.
බිනරිට කවදාවත් ලිංගිකව එකතු වෙන්න බැරි රෝගයකින් පෙලුනා.
ඒ රෝගය හැදෙන්නේ  මිනිස්සු ලක්ෂයකින් එක්කෙනෙකුට විතරයි.
බිනරි ස්කෑන් කළාම කිව්ව බිනරිගේ යෝනි මාර්ගය කුඩා නිසා ඔපරේෂන් එකක් කරන්න ඕන කියලා.
බිනරි ඒ වෙලාවේ ගොඩක් බය වුනා .
බිනරි කැමති වුණේ නැහැ ඔපරේෂන් කරන්න.
මමත් වැඩිය ඒ නිසා බල කළේ නැහැ.
මට ඕන නම් තිබුණා  බිනරිගේ හිත හදලා  ඔපරේශන් එක කරන්න යවන්න.

           බිනරි මට කතා කළේ සුදු අප්පෝ කියලා. බිනරි මට ගොඩාක් ආදරේ කළා .
මගේ හිතේ බිනරි ගැන තිබුන ආදරේ ටික ටික  අඩු වුනාද කියලත් මට හිතෙනවා .
ආදරය කියන්නේ එක රැයක් නෙමෙයි,
බිනරි මට හැම වෙලාවෙම කිව්වා.

බිනරිට මම ගොඩක් කරදර කළා.
බිනරිට පයින් ගැහුවා.
බිනරි උදේට නැගිට්ට ගමන් කියනවා

සුදු අප්පෝ නම් ගොඩක් දඟලනවා මට පයින් ගහනව"
කියල .
සමහර රෑට බිනරිට  පයින් ගහපු පාරවල් වලට බිනරිගේ ඔලුව තුවාල වුන වෙලාවලුත් තිබුණා.
ඒත් මට දුක හිතුනෙ නෑ .

සුදු අප්පෝ ගොඩක් දඟලනවා වැටිලා තුවාල වේවි.
ඒ නිසා බිත්තිය පැත්තට වෙන්න සුදු අප්පෝ ඉන්න.
මම මේ පැත්තෙන් නිදාගන්නම්.

බිනරි එහෙම කියලා ඇඳේ බිත්තිය පැත්ත මට දුන්නා.
එදා රෑ මම බිනරිට පයින් ගැහුවා.
ගහපු පාරකට බිනරි  ඇඳෙන් වැටුලා දවස් තුන හතරක්ම වැඩ කරගන්න බැරුව ඇඳටම වෙලා හිටියා.

සුදු අප්පෝ පයින් ගහනවනේ ඒ නිසා මම තනියම නිදාගන්නම්.

ඊට පස්සේ බිනරි මගේ කාමරයට ආවේ නෑ .
මගේ යටි හිතින් බිනරිට වෛර කළාද කියලත් මට දැන් හිතෙනවා .
මම මොන දේ කිව්වත්, මම කොච්චර බැන්නත්, ගැහුවත්,
බිනරි බිම බලාගෙන ඉන්නවා මිසක් මුකුත් කිව්වේ නැහැ.
බිනරි  ඒ තරම් අහිංසකයි .
මම බිනරිට කරදර කරපු තරම් කියනවා නම් වෙන කෙල්ලෙක් නම් මෙලහකට යන්න ගිහින්. බිනරි කවදාවත් ගෙදරින් එලියේ ඉදපු කෙල්ලෙක් නෙමෙයි.
ඒ නිසා බිනරි හැම දුකක්ම දරාගෙන මගේ ලඟටම වෙලා හිටියා .

සුදු අප්පෝ..

මගේ කල්පනාව බිදුනේ මෙන්න බිනරිගේ හඬින්.

මොකද ?

රෙදි සෝදළා ඉවරයි .

එහෙනම් කුස්සිය අස් කරලා ගේ මොෆ් කරනවා.

ඊයේ ගේ මොෆ් කලේනේ සුදු  අප්පෝ.

ඒ පණ්ඩිත කම් වලින් වැඩක් නෑ.
මම කියන දේ කරනවා.

බිනරි බිම බලාගෙන යන්න ගියා.
   
      ඊට ටිකකට පස්සේ බිනරි ආයෙත් මගේ කාමරේ දොර ගාවට ආවා.

සුදු අප්පෝ වැඩ ටික සේරම ඉවරයි මම දැන් වත් මගේ සාය මහ ගන්නද ?

මිදුලේ හැම තැනම බැද්ද වැවිලා.
ඒ ටික උදලු ගාලා දාන්න.

හොදටම අව්ව සුදු අප්පෝ එලියේ.

පොඩ්ඩක් අව්වට ගියාට උඹ කලු වෙන්නේ නෑ.

බිනරි ඊට පස්සේ මුකුත් කිව්වේ නෑ.
බිනරි දන්නව මාත් එක්ක කියවගෙන ආවොත් මගෙන් ගුටි කන්න වෙනවා කියලා.
කෙල්ල ගුටි කන්න බයයි. ඒ නිසා සද්ද නැතුව මිදුලට ගියා.

මොකෝ අර හාමිනේ මහ දවල්  උදලු ගාන්නේ.

මම හිනාවුනා විතරයි.
අම්මා දැන්ද ආවේ?

ම්හු..

නිකන් කකා බිබී ඉන්න එකේ ඔහොම වැඩක් වත් කරව ගන්න එක හොදයි.

             ------****-----
බිනරි.

මම කතා කරපු ගමන් කෙල්ල දුවගෙන ආවා.

ඇයි සුදු අප්පෝ?

මට අද මියුෂිකල් එකක් තියෙයි.
ඒකට යන්න ෂර්ට් එකක් අයන් කරනවා තේරුනාද?

       මම එනකම් නිදා ගන්නේ නැතුව ඉන්නව.
කතා කල ගමන්  දොර අරින්න ඕන.
මට සිය පාරක් කෑ ගහන්න බෑ.
දන්නවනේ නැතොත් වෙන දේ.

බිනරි ඔළුව දෙපැත්තට වැනුවා.

මම ටීවී එක පොඩ්ඩක් දාන් බලන්ද?

බිනර අහිංසක විදියට  ඇහුවේ.

නෑ නෑ ඕන නෑ.
ගිය මාසෙත් ලයිට් බිල හොඳටම වැඩියි.

මට ෂැම්පු පැකට් එකක් ගන්න රුපියල් දහයක් දෙනවද?

ෂැම්පු ගාන්න ඕන නෑ. සබන් ගාලා නාගන්න.

මම එහෙම කියළා ආවා.

බිනරි මට කලින් දුවලා ගිහිල්ලා ගේට්ටුව ඇරියා මට කාර් එක එලියට ගන්න.

            ------****------

         මියුසිකල් එක ඉවර වෙද්දි උදේ හතරට විතර ඇති.
මම ගෙදර එද්දී ගෙදර එක ලයිට් එකයි දාලා තිබුනේ.

මම දොරට එක පාරක් ගහනකොටම බිනරි හනික දොර ඇරියා.

මොකෝ උඹ කලුවරේ කරන්නේ?
ඇයි මේ ලයිට් දාලා නැත්තේ?

කිව්වනේ ලයිට් බිල හොඳටම වැඩියි කියලා. මම ඉතිං එක ලයිට් එකක් දාගෙන පුටුවක් තියං වාඩිවෙලා හිටියා.

ඒක හොදයි.

මම එහෙම කියන ගමන් හැම තැනම ලයිට් දැම්මා.

මම ටිකක් බීල හිටියෙ.
ගලවපන් වගේ මේස් දෙක.
මම එහෙම කියන ගමන් පුටුවක හාන්සි වුණා.

බිනරි මගේ කකුල ලඟ බිම වාඩිවෙලා
මගේ සපත්තු දෙක ගැලෙව්වා.

නලවන්නෙ නැතුව ඕක හනික ගලවපන්.

මම එහෙම කියලා බිනරිගේ මූනට පයින් එකක් ගැහුවා.

බිනරි ඈතට විසික් වෙලා වැටුනා.

අනේ සුදු අප්පෝ ගහන්න එපා.
මම නැගිටලා බිනරි ලඟට එනකොට බිනරි  මට වැඳලා කිව්වේ.
මම තව පාරක් බිනරිට පයින් ගැහුවා.
අනේ ගහන්න එපා ..

කාලකන්ණි ගෑනි ..

මගේ කේන්තිය යනකම්ම බිනරිට පයින් හතර පහක්ම ගැහුවා.

බිනරි ඉකි ගහ ගහා අඬද්දීම මම කාමරයට ඇවිත් දොර වහගත්තා.

           ------****------

     වෙනදා මම උදේ නැගිටින්නත් කලින් ඇඳ ලඟට බිනරි තේ ඒක ගෙනල්ලා දෙනවා.
ඒත් අද ඇඳ ළඟ තේක තිබුනෙ නෑ.

බිනරි..

මම සද්දෙට කතා කළේ.

වෙනදා එක පාරක් කතා කතා කරන කොටම දුවන් එන බිනරි ආවේ නෑ.

මම ඇයි කියල බලන්න බිනරිගේ කාමරේට ගියේ.

බිනරිගේ ඔලුවෙන් ලේ ගලමින් තිබුණා. 
ඊයෙ රෑ මම ගහපු පාරකට බිනරිගේ ඔලුව  බිත්තියක වැදිලා තුවාල වෙන්න ඇති කියළා මට හිතුනා.

මම බිනරිව ප්‍රයිවට් හොස්පිටල් එහෙක නතර කළා.
බිනරිට මොනව හරි වුනොත් මට වග කියන්න වෙන්නේ .
මම ගහපු කැලැල් මූනෙ ඔලුවෙ නලලෙ හැම තැනම තිබුනා.
   ඩොක්ට මගෙන්ඇහුවා වයිෆ්ට තුවාල වුනේ කොහොමද කියළා.
මම කිව්වා බාත් රූම් එකේ වැටිලා කියළා.
බිනරිගෙන් ඇහුවමත් එහෙම කියළා තිබුනා.
එහෙම කිව්වේ මට බයට වෙන්න ඇති කියළා මට හිතුනා.

          ------****-----
     සුදු අප්පෝ  කකුල් දෙක මසාජ් කරන්නද?

බිනරි මගේ ලගට ඇවිත් අහනවා.

ම්ම්..

මම කකුල් දෙක පුටුව උඩින් තිබ්බා.

බිනරි පැයක් විතර කකුල් දෙක මසාජ් කළා.

ආ..

මම බිනරිට රුපියල් සීයක් දුන්නා.
බිනරි හිනාවෙළා හරි සතුටින් ඒක ගත්තේ.

ඊට ටිකකට පස්සේ බිනරි එයාට තියෙන එකම හොදම ඇදුම ඇදන් කාමරෙන් එලියට ආවා.

කොහෙද යන්න හදන්නේ?

කඩේට ගිහින් එන්න.

මේ රෑ.

ධර්මේ මාමලාගේ කඩේ රෑ වෙනකම් ඇරලා තියෙයි.

ම්ම්...

මම බිනරිට මාස දෙක තුනකට වතාවක් මේ වගේ පොඩි අවස්තාවක් දුන්න කඩේකට ගිහින් එන්න.
මට කොච්චර සල්ලි තිබුනත් මම කවදාවත් බිනරිට එයා ආස දෙයක් ගෙනල්ල දුන්නෙ නෑ.
අඩුම තරමෙ ඇදුමක්වත්.
මගේ කකුල් මසාජ් කරල,
ඇදුම් සෝදලා දුන්නම මම රුපියල් පනහක් සීයක් දුන්නා.

මොනවද අරන් ආවේ?
මල්ල  මෙහෙට ගේනවා.

බිනරි ෂොපින් මල්ලත් අරන් මං ලගට ආවා.
ඒක ඇතුලෙ ටිපිට්ප් පකට් එකකුයි,ෂැම්පු පකට් දෙකකුයි චොක්ලට් බෝල වගේකුයි තිබුනා.
බිනරි කකුල් මසාජ් කරන්න ඇත්තේ මේව කන්න සල්ලි හොයා ගන්න කියළා මට හිතුනා.
මොකද සල්ලි ඉල්ලුවට මම කවදාවත් බිනරිට සල්ලි දෙන්නේ නැහැනේ.

         -------****------
මොකද්ද ඔය කරන්නේ?

ෆෝන් එක චාච් කරන්න හැදුවේ සුදු අප්පෝ.

කාට කතා කරන්නද?

කාටවත් නෑ.
බැටරි බැහැලනේ.

ලයිට් බිල් ගෙවන්නේ උඹද?
හොස්පිටල් බිල් එකත් බර ගානක් ගියා.
උඹට මොකෝ ගෙදරට වෙළා කකා ඉන්න එකනෙ.

මම බිනරිගේ කම්මුලට ගැහුවා.

අනේ සුදු අප්පෝ ගහන්න එපා..
බිනරි අඩ අඩා  ගහන්න එපා කියද්දිත් මම කළේ බිනරිට ගහපු එක.

        බිනරි මට කෑම එක මේසෙට ගෙනත් දීලා බිනරි කුස්සියේ වාඩි වෙළා කෑවේ.
කවදාවත් මෙසෙට ආවෙ නෑ.
මම එන්න දුන්නෙත් නෑ.

           බිනරි කන්නේ නැද්ද ?
මම බත් එක අතට ගන්න ගමන් ඇහුවේ.
බිනරි පේන්න කුස්සියේ හිටියේ නැති නිසා.

සුදු අප්පෝ කන්න.
මම සුදු අප්පෝ කාලා ඉතුරු වෙන ටික කන්නම්.

බිනරි එහෙම කලේ මං ගහන එක නවත්තයි කියළා හිතලා වෙන්න ඇති කියළා මට හිතුනා.
මම වෙන කල්පනාවකඉදන් බත් කෑවේ.
බත් කටයි ඉතුරු වුනේ.
බිනරි ඒ බත් කට කාලා බඩ පිරෙන්න වතුර බොනව මම දැක්කා.
එදා ඉදලා බිනරි මම කාලා ඉතුරු වෙන දෙයක් කෑව මිසක් වෙනම බත් එකක් බෙදන් කෑවේ නෑ.
මම මියුසිකල් වලට ගියාම බිනරි කෑම හැදුවෙ නෑ.
බඩ පිරෙන්න වතුර බීලා
නිදාගෙන තිබුනා.

   ---------*****--------------
   බිනරි ..
මෙහෙ වරෙන්.

ඇයි සුදු අප්පෝ..

බලපන් මේ බත් එක දිහා.

බත් එකේ තිබුනේ බිනරිගේ දිගම දිග කෙස් ගහක්.

බිනරි බයවෙලා වගේ මගේ දිහා බලන් හිටියේ.

තොට මම..

මම බිනරිගේ කොන්ඩෙන් ඇදන් ආවා මගේ කාමරේට.

අනේ රිදෙනවා කොන්ඩෙ අතාරින්න සුදු අප්පෝ..

බිනරි අඩද්දිම මම බිනරිගේ කොන්ඩෙ කතුරෙන් කැපුවා.
බිනරි බිම වැටිලා ඉකි ගහ ගහා ඇඩුවා.

   එදා ඉදළා බිනරි මම ඉතුරු කරන බත් කටවත් කෑවෙ නෑ.
ඔහේ බලාගත්තු අත බලාගෙන හිටියා.
මම ගහවි කියන බයට ගෙදර වැඩ කළා විතරයි.

             ------****-----
මම මාවනැල්ලේ තිබුන ෂෝ එකක් ඉවර වෙළා ගෙදර එද්දි කවුදෝ ගෑණු කෙනෙක් කාර් එකට අත දැම්මා.

මම කාර් එක නතර කළා.

අය්යා මාව මාවනැල්ලේ ටවුන් එකෙන් ඩ්‍රොප් කරන්න පුළුවන්ද?

මම හිනවෙළා හා කිව්වේ.

අය්යා මෙහේ ගමේ කෙනෙක් නම් වෙන්න බෑ.

ඇයි නංගී එහෙම කියන්නේ?

මම මීට කලින් අයියාව දැකලා නැති නිසා එහෙම කිව්වේ.

ඔව් මම මෙහේ නෙමෙයි ..

මගේ නම ටීනා.
අයියගෙ නම?

ලහිරු...

ටීනා බිනරිට වඩා සුදුම සුදුයි.
කොන්ඩේ තැනින් තැන පාට කරලා තිබුණා.

අයියා මේ මගෙ නම්බර් එක කෝල් කරන්න.

ටීනා මාවනැල්ලේ ටවුන් එකෙන් බහින ගමන් මට නම්බර් එක දුන්නා.

        -------****----------

එක දිගටම සතියක් විතර ෂෝ තිබුණ නිසා ටීනාගේ  නම්බර් එකට කෝල් එකක් දෙන්න බැරි වුණා.

   මම හිතුවා ඔයා මට   කතා කරයි කියලා.
මම ටීනට කෝල් කර ගමන්ම ටීනා මට කියනවා. 

එදා ඉඳලා ටීනයි මමයි රැයක් දවාලක් නැතුව කතා කරා.

මම ටීනත් එක්ක කතා කරන සමහර වෙලාවට බිනරි ඇවිත් පැත්තකට වෙළා බලාගෙන හිටියා.
බිනරිට මතක් වෙන්න ඇති අපේ ඉස්සර දවස්.
බිනරිට දුක හිතෙන්න ඇති.
ඒත් බිනරි මගෙන් කා එක්කද කතා කරන්නේ කියලා ඇහුවේ නෑ.
එහෙම ඇහුවොත් මගෙන් ගුටි කන්න වෙයි කියල  බයවෙන්න ඇති.

    මම ටීනා හමුවෙන්න  ගියා.
ටීනා මට කතා කරා හොටෙල් එහෙකට යන්න.
මමත් දෙපාරක් හිතුවෙ නෑ.
ඊට පස්සේ උන දේවල් අමුතුවෙන් ලියන්න කියන්න ඕන නැහැනේ.
මම මාස වැඩිපුර කාලයක් ගත කළේ ටීනා එක්ක.

          -------****------
ටීනා සැලුන් එකක් ඕපන් කරන්න කඩයක් ගන්න ගන්න ලක්ෂ හැත්තෑවක් ඉල්ලුවා.
ඒත් ඒ වෙද්දී වෙද්දි මගේ ළඟ  තිබුන සල්ලි ගොඩක් ඉවරයි.
මම ටීනා වෙනුවෙන් වියදම් කරලා.
වාහනයේ වාරිගේ දාන්න තරමටවත් සල්ලි ඉතුරු වුණේ නැහැ.

සැලුන් එක ඕපන් කරාම
හැම ප්‍රශ්නෙම විසඳේවි.

ටීනා එහෙම කිව්වම මම ගෙදර ඉඩම උගස් කරලා ටීනාට සල්ලි අරන් දුන්නා..
ටීනා නිසා මගේ ආර්ථිකේ බින්දුවටම වැටිලා තිබුණේ.
ඒත් සැලුන් එක දැම්මම ගොඩ යන්න පුලුවන්  වෙයි කියලා මම හිතුවා.

         -------****----

මට ඔයාලගේ ගෙදර එන්න ඕන.

ටීනා එහෙම කිව්වම මම බය වුනා.

අපේ ගෙදර යන්නෙ අැයි ?

මට එන්න ඕන ටීන නිතරම පෙරැත්ත කළා.

හරි මම හෙට ඔයාව එක්ක යන්නම්.
අපේ ගෙදර මේ දවස්වල අම්මා නැහැ.
ගෙදර වැඩ කරන ගෑනු ලමයා විතරයි ඉන්නේ..

    මම ටීනට එහෙම කියලා ගෙදර ආවා .

බිනරි..

මම කතා කල ගමන්ම කෙල්ල දුවගෙන ආවා.

හෙට මෙහේ මගේ යාළුවෙක් එනවා.
මට ඒ වෙලාවට සුදු අප්පෝ කියලා කතා කරන්න එපා .
මම ඒ ළමයට කියල තියෙන්නෙ ඔයා අපේ  ගෙදර වැඩ කරන ගෑනු ලමය කියල.

එහෙම කිව්ව ගමන් බිනරිගෙ ඇස් දෙකෙන් කඳුලු බේරුනා.
එයාට ගොඩක් දේවල් තේරෙන්න ඇති.

බිනරිගේ මූණේ හැම තැනම තුවාල කැළැල් තිබුණා.
කොන්ඩේ කපලා පරණ ඇඳුම් අඳින බිනරි දැක්කම ටීනා මාව සැක කරන එකක් නැහැ .
බිනරි වැඩ කාරියක් වගේ නේද කියලා මට හිතුණා.
බිනරි ලග ඉස්සර තිබුණ ලස්සන දැන් කොහොමත් නැහැ. 
 
              -----****-----

ටීනා ගේ ඇතුළට ආවේ මගේ අතේ එල්ලිලා.

කෝ ඔයාලගේ ගෙදර වැඩට ඉන්නවා කියපු ගෑනු ලමයා.

මම බිනරිට කතා කළා.

ටීනා එතකොටත් හිටියේ මගේ අතින් අල්ලගෙන.
බිනරිගේ ඇස් දෙකට කඳුලු එනවා මම හොදටම දැක්කා.
බිනරිට දුක හිතෙන්න ඇති.
තමන්ගෙ මහත්තයා වෙන ගෑනියෙක්ගේ අතේ එල්ලිලා ඉන්නවා දකිද්දී මොන ගෑනිටද දරාගන්න පුළුවන්.
මම බිනරිව නොමරා මැරුවා කිව්වොත් මම හරි.

මොකද අනේ මේ ළමයගේ මූණ පුරා කැලැල්.
හරියට රන්ඩු වලට ගියපු වගේනේ.

ටීනා  බිනරිගේ මූණ දිහා බලලා කිව්වේ.

අපිට බොන්න කූල් මොනව හරි ගේනවද?

ටීනා බිනරිට කිව්වම බිනරි බිම බලාගෙන කුස්සියට ගියා....

බිනරි ටිකක් පරක්කු වෙලා ආවේ.
මට හිතුනා බිනරි කුස්සියට වෙලා අඬන්න ඇති කියලා.

මම ටීනාව ගෙනත් දාන්න මාවනැල්ලට ආවා .
මම මාවනැල්ලෙ ඉදලා ගෙදර එනකොට මගදි ලොකු අක්ක කෝල් කරා.
එයාගෙ දරුව ස්කෝලේ ගිහින් එන ගමන් බස් එකක හැප්පිලා ගොඩක් අමාරුයි කියලා .
හදිසි ඔපරේශන් එකක් කරන්න ලක්ෂ පහක් ඕන කියලා.

දෙවියනේ!
මගේ අතේ කීයක් වත් තිබුනේ නැහැ .

ඉඩම උගස් කරපු සල්ලි සේරම ටීනාගේ බෑන්ක්  එකවුන්ට් එහෙක තිබුනේ.
මම ආයෙත් වාහනේ හරවගෙන ටීනා නතර වෙලා හිටපු හෝටලේට ආවා.

ටීනාගේ කාමරයේ බෙල් එක ගැහුවා.
එළියට ආවේ ටීනා නෙමෙයි.
පිරිමි කෙනෙක්.

කෝ ටීනා?

මම ආවේගයෙන් ඇහුවේ.

බබා මෙන්න ඔයාට කවුද කතා කරනවා.

ටීනා බාත්රූම් එකේ ඉඳලා එළියට ආවා.

ටීනා ඔයා මේ දන්න කෙනෙක්ද?

නැහැ මම අඳුරන්නේ නැහැ.

ටීනා එකපාරටම කිව්වා.

කපටි ගෑනි තෝ මාව රැවැට්ටුවා.
මම අතින් ටීනාගේ බෙල්ල තද කරා.

පොලිසියට කෝල් කරන්න කලින් මෙතනින් වහාම යන්න.
ටීනා එක්ක ඉදපු  පිරිමි කෙනා මට සැරෙන් කිව්වේ.

මට තරහයි දුකයි.
මම එහෙමම රිපෙක්ෂන් එකට ආවා.  

රූම් නම්බර් දොලහේ ගර්ල් ගැන මට දැන ගන්න ඕන..

අපිට එහෙම කාගෙවත් විස්තර දෙන්න බෑ සර්.

මම වෙච්ච හැම දේම රිපෙක්ෂන් එකේ හිටපු පිරිමි ළමයට කිව්වා.

අයියෝ සර් බොරුවට රැවටිලා.

ඒ ගර්ල් මෙහේ ගොඩක් පිරිමි ළමයි එක්ක නතර වෙලා ඉඳලා තියෙනවා..
පිරිමි ළමයි රවට්ටලා සල්ලි එහෙම අර ගන්නවාලු.
එතනින් එහාට මට මුකුත් දැන ගන්න වුවමනා වුණේ නැහැ.
වාහනේ ෆිනෑන්ස් දාන්න සල්ලි නැතුව ඇරියස් වෙලා තිබුනේ.
වාහනේ හෙට හෝ අනිද්දා ෆිනෑන්ස් එකෙන් ඇවිත් අරන් යනවා කියලා මම දැනගෙන හිටියෙ.
ගෙදර ඔප්පුව තියලා  සල්ලි අරගත්තේ මාස තුනකින් බේර ගන්නවා කියලා.
දන්නෙම නැතුව මාස තුන ගෙවිලා ගිහින් ඉවරයි.
හැම දේම එක පිට එක නැතිවෙලා යන්න හදන්නේ කියලා මට තේරුනා.
සැනසිල්ලකට කියලා  අන්තිමට ඉතුරු වුණේ  බිනරි විතරයි.
ජීවිතේ ආයෙත් මුල  ඉඳලම පටන් ගන්න වෙනවා.
බිනරිගෙන් සමාව ඉල්ලනවා.
බිනරි පන වගේ බලා ගන්නවා.
බිනරි කියපු කතාව හරි ආදරේ  කියන්නේ එක රැයක් නෙමෙයි..

මම මෙහෙම හිත හිතා
ගෙදර ආවා.

බිනරි..

මම හරි ආදරෙන් කතා කළේ.
ඒත් බිනරි එළියට ආවේ නෑ.
මම බිනරිගේ කාමරේට එබුනා.
බිනරි කාමරයේ හිටියේ නෑ.
මම බිනරිව ගෙයි හැම තැනම හෙව්වා.
ඒත් බිනරි හිටියේ නෑ.
මම හොයන්න තියෙන හැම තැනම බිනරි හෙව්වා.

    මම පිස්සෙක් වගේ බිනරි හොයන්න පටන් ගත්තා .
හැම බස් හෝල්ට් එකක් ගානෙම ගිහින් බිනරිගේ ෆොටෝ එකක්
පෙන්න පෙන්න බිනරිව දැක්කද ඇහුවා.
ඒත් කවුරුත් බිනරිව දැකලා නැහැ.
මම බිනරිගේ ෆොටෝ එකක් දාලා පත්තරේ දැන්වීමක් දැම්මා.
ඒත් මට බිනරිව හොයාගන්න බැරි උනා.
බිනරි කොහේ ඉන්නද  ඇද්ද මොනව කරනවාද....

අනේ...බිනරි මට එකම එකපාරක් හමු වුනානම් සමාව ගන්න.
මට එකම එක අවස්ථාවක් ඉල්ලා ගන්න තිබුනා වැරදි හදා ගන්න .

           -----***-----
මගේ ගෙදර,
මගේ වාහනය මට හැමදේම නැති වුණා. මම දැන් කුලී කාමරයක ජීවත් වෙන්නේ.
කාත් කවුරුවත් නැති අනාථයෙක් වගේ.

             නිදා ගන්න ඇදට එන හැම රෑකම ඇස් දෙක පියා ගත්තම මට බිනරිගේ අහිංසක මූණ මැවිල පේනවා.
ඒ වෙලාවට පපුවේ කොනක හටගන්නා වේදනාවක් සිරුර පුරා දුවනවා වගේ මට දැනෙනවා..
බිනරි මට මට දස දහස් වාරයක් සමාවෙන්න මම සිතින් මුමුනනවා.
 
              ----නිමි----

සත්‍ය සිදුවීමක් ඇසුරින්  නිර්මාණය කරන ලද්දක්  වුව ද,
පාථක ඔබේ රසවින්දනය උදෙසා යම් යම් සිදුවීම් වෙනස් කරන්නට සිදු විය.

උපුටා ගැනීමකි

Unknown

මගේ නම තිසරි නදීෂා කුමාරසිරි.පුංචි කාලේ ඉදන්ම මගෙ විනෝදාංශයක් වගේම ආසාවක් තමා නවකතා කෙටිකතා කියවීම.ඉතිං දැන් පුංචි කාලේ වගේ කියවන්න ලැබෙන්නේ නැති උනත් ඉඩක් ලද හැම අවස්ථවකම ඉඩ ලැබෙන ඕනෑම කතාවක් මම කියවනවා..මං කියවන ගොඩක් කතා රචනා කරන්නේ අපි වගේම තරුණ තරුණියන් පිරිසක්.

No comments:

Post a Comment